දෙමගක 🌈

(කෙටි නවකතාව - 10 කොටස)

-රමිත්-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

සමහර වෙලාවට මම මේ සමාජෙට වෛර කරනවා. මම හැදුණු, වැඩුණු, ජීවත්වෙන සමාජෙට, සංස්කෘතියට මං වෛර කරනවා. මොකද ඒ සමාජ, සංස්කෘතික සම්මත අස්සේ මට ඇත්ත මම වෙන්න කවදාවත් හම්බුණේ නැති නිසා. ඇත්ත මාව මේ සමාජය පිළිගත්තේ නැති නිසා. ආපහු හැරිලා බලනකොට අදටත් මං දන්නෑ මට පිස්සු හැදුණේ නැත්තේ ඇයි කියලා. ඇයි මං සුයිසයිඩ් කරගත්‍තේ නැත්තේ කියලා. සමහරවිට ඒකට හේතුව මං මගේ බොන්ඩ්ස් එහෙම ලේසියෙන් අතාරින්න සූදානම් නැති එකෙක් නිසා වෙන්නැති. ඒත් මෙහෙම ජීවත්වෙනවා කියන්නේ විඳවිල්ලක් එක්තරා විදියක. ඒක හරියට මගේ නොවන ශරීරයක් ඇතුලේ මගේ ආත්මය ජීවත් කරවනවා වගේ වැඩක්. මං විතරක් නෙවේ මං ආදරය කරන මිනිස්සුත් විඳෙව්වා කාලයක්. මං නිසාද..? නෑ... මට මං වෙන්න බැරිවුණු, මාව මගේ විදියට භාරගන්න අකමැති වුණු මේ සමාජය, සංස්කෘතිය නිසා. මං දැන් හොඳින්ද..? ජීවිතය විඳිනවද..? නෑ කියන්න බෑ. මං හොඳින්. මට මේ ප්‍රශ්නේ හිතට එන හැම මොහොතකම මං මට එහෙම කියාගන්නවා. මොකද මං දැන් වගකීම් ගොඩක් කර තියාගත්ත මිනිහෙක්. මං උත්සාහ කරනවා මට දැන් ලැබිලා තියන මගේ ජීවිතය විඳින්න... මට ආදරය කරන, මං ආදරය කරන අයව සතුටින් තියන්න... ඒ අයගේ සතුට දැකලා ජීවිතේ විඳින්න... මොකද මීට අවුරුදු පහළොවකට කලින් දෛවයට චැලෙන්ජ් කරපු පිරිමි ආත්මය තවත් මගේ ශරීරය ඇතුලේ පණ ගහන්නේ නැති නිසා.

ඔයාලා තුන්දෙනෙක්ගේ කතා ඇහුවා. එහෙම නැත්නම් එකම කතාව තුන් පැත්තකින් ඇහුවා. මේ මගේ වාරේ. මං කවුද කියලා ඔයාලා දැනටම දන්නවා. හැබැයි මං අනික් තුන්දෙනා වගේ මගේ කතාව කියන්න නෙවේ මේ චාන්ස් එක ගන්නේ. මෙච්චර කල් කවුරුවත් මගෙන් අහපු නැති, කාටවත් මට කියන්න බැරිවුණ, ඒත් මට මං වෙනුවෙන් කියාගන්න ඕනේ වුණ ටිකත් කියාගන්න මං මේ චාන්ස් එක ගන්නවා. නැත්නම් මං මෙහෙම කතා කරන එකෙක් නෙවේ. මං මෙහෙම ඕපන් වුණේ චූටි නිසා. එයා විතරක් දන්න කතාව තව අය එක්ක බෙදාගන්න මගේ කැමැත්තක් ඇත්තටම තිබ්බේ නෑ.

කතාව ඔයාලා දැනටම දන්න නිසා මං රිපීට් කරන්නේ නෑ. ඒත් ඔයාලා දන්න සිද්ධි කීපයක මගේ පැත්තෙන් කියන්න තියන ටික කියන්නම්.

චූටී... ඔයාලා දන්න විදියට අමන්දා... ඒ මං දැක්ක ලස්සනම කෙල්ල. අදටත් ඊට වඩා ලස්සන කෙල්ලෙක් මං මගේ ඇස් දෙකෙන් ලයිව් දැකලා නෑ. තවමත් කසාද බැඳපු දරුවෙක් ඉන්න අම්මෙක් කියන්න බැරි තරම් මගේ කෙල්ල ලස්සනයි. ඒක අතිශයෝක්තියක් වගේ ඔයාලට දැනුණත් ඇත්ත ඒක. මගේ හිතේ මුලින්ම ආදරයක් ඇතිවුණේ එහෙම කෙල්ලෙක් ගැන.

කෙනෙක්ගේ මුල්ම ආදරේ ඒ කෙනාගේ ගැඹුරුම ආදරේ වෙන්න ඕනේ කියලා නීතියක් නෑනේ. චූටි පැය විසිහතරම මගේ ඇස් ඉස්සරහා ඉද්දි, නෑකමට නෑනා වෙද්දි මගේ හිතේ එහෙම ෆීලින් එකක් නොආවා නම් තමා පුදුම වෙන්න ඕනේ. ටිකක් තේරෙන වයසට එනකොට චූටිගේ ඇසුත් මගේ මත්තේ වැටෙද්දි මං දැනගත්තා ඒ හිතේ මම අයියෙක්ට වඩා තැනක ඉන්නවා කියලා. නෙහාගෙන් මට ඒකට කිසිම බාධාවක් නොතිබ්බත් කෙල්ල ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකන් ලව් හුටපට පටලවගන්නවට නෙහා කැමති වුණේ නෑ. ඌ චූටිගේ එක් කුස උපන් අයියනේ. එහෙම හිතෙන එක වරදක් නෑ ඉතිං. එක ගෙදරක, අසීමිත නිදහසක ඉද්දි ඕවා පටලවගෙන කොහෙන් කොහෙන් කෙලවර වෙයිද කියන්නත් බෑනේ කල් තියා. අන්තිමටම නෑකමුත් නැති වෙන්න පුලුවන් කියලා මට ඒ කාලෙම තේරුණා. ඒ නිසා මං කන්ට්‍රෝල් වුණා.

නෙහා ගැන මගේ හිතට ෆීලින්ස් ආවේ කවද්ද, කොහොමද කියන්න මං දන්නේ නෑ. ඒත් නෙහා හිටියේ මගේ ජීවිතේ පතුලේ. ගැඹුරුම තැනක. අපේ මුල්ම එක්ස්පීරියන්ස් එකට මං එකඟ වුණේ නෙහාගේ ෆෝස් එකට වුණාට ඒක මට නෙහාටත් වඩා ෆීල් වුණා කියලා මට දැන් හිතෙනවා. ඒක නිකම්ම එක්ස්පෙරිමන්ට් එකකින් නොනැවතී අෆෙයාර් එකක් වෙනකන් ගියේ අපිටත් නොදැනිමයි. එච්චර කල් චූටිට වෙන්වෙලා තිබ්බ මගේ හිතේ හැම අහුමුල්ලක්ම නෙහා අයිති කරගන්නකොට චූටි ගැන මගේ ෆීලින්ස් ඉබේටම යටපත් වුණා.

නෙහා වගේම මාත් ෆැමිලි රෙස්පොන්සිබිලිටීස් එක්ක වයසට වඩා මුහුකුරා ගියපු මිනිස්සු වුණේ යන්තම් දහඅට වෙන්නත් කලින්මයි. ඒ නිසා වෙන්නැති අපිට අපේ අෆෙයාර් එක එක්ස්පෝස් නොකර තියාගන්න ලේසි වුණා. අනික කොල්ලෝ දෙන්නෙක් එක රූම් එකක හිටියට උන් දෙන්නා, උන් දෙන්නට ආදරේ කරයි වගේ අදහස් අපේ ගෙවල්වල මිනිස්සුන්ට එන්න තරම් ඒ මිනිස්සු ලෝකය එක්ක ඕපන් නෑ. චූටිත් අපේ ජෙනරේෂන් එකේ කෙල්ලෙක් වුණාට එයා වුණත් හිතුවේ අපේ ගෙදර වැඩිහිටියෝ හිතන-පතන විදියටම තමා. ඒ නිසා එයා එක්කවත් අපිට ඇත්ත කියන්න පුලුවන් වුණේ නෑ. අනික් අතට චූටිගේ හිතේ මං ගැන අයියෙක්ට වඩා ඩීප් ෆීලින් එකක් තියනවා කියලා දැන දැන මේ දේවල් එයාට කියන්න නෙහා කැමති වුණෙත් නෑ.

නෙහා දක්ෂ ක්‍රිකටර් කෙනෙක් ඉස්කෝලේ යන කාලේ. මං ක්‍රිකට් කළාට මගේ ආසාව තිබ්බේ ඇකඩමික් වලින් ඉස්සරහට යන එක. අපි ආදරේ කරන්න ගත්තට පස්සේ අපි දෙන්නාගෙම ටාර්ගට් එක වුණේ ලංකාවෙන් යන එක. මොකද ලංකාව ඇතුලේ අපිට කිසිම තැනක් නෑ විතරක් නෙවේ, homosexuality කියන්නේ ලංකාවේ නීතියට අනුව අපරාධයක්. නෙහා ක්‍රිකට් හීන පැත්තකට දාලා ස්ටඩීස් ෆෝකස් කළෙත් ඒ නිසාමයි. මං ඉංජිනියරින් යන්න රිසල්ට්ස් තියෙද්දි මොරටු යන්න බැරි නිසා ෆිසිකල් යනවා කියලා නෙහා එක්කම ෆිසිකල් ඇප්ලයි කළෙත් අපි දෙන්නාගේ අනාගතේ ගැන හිතලා වගේම නෙහාගෙන් ඈත්වෙලා දුර කැම්පස් එකකට යන්න තරම් බැරි තද බොන්ඩ් එකක් ඒ වෙද්දි නෙහායි, මායි අතරේ තිබ්බ නිසා. එතකොටත් අපි අපේ ආදරේ ඇතුලේ සෑහෙන දුර ගිහින් තිබ්බා වගේම අපිව ගෙවල්වල කවුරුවත් සැක කළෙත් නෑ. ඉස්කෝලේ උන් නම් විහිලු කළා. ඒත් ඒ කාලේ ඒවා නිකම්ම ජෝක්ස් විතරයි. නෙහා වුණත් ෆිසිකල් යන තරමට හරි මහන්සි වුණේ ඌටත් මගෙත් එක්ක නිදහසේ ජීවත්වෙන්න ලොකු හීනයක් තිබ්බ නිසාමයි. ඒත් අපේ ඒ හීනේ නම් හීනයක් විතරක්ම වුණා.

අපේ අයියාට අපි ගැන අහුවුණ වෙලේ මං හිතුවේ නැති විදියේ රිඇක්ෂන් එකක් එයාගෙන් ආවේ. ඒ අස්සේ අයියා එයාගේ කැම්පස් ස්ටඩීස් ඉවර වුණු ගමන් මැරි කරලා රට යන්න තීරණය කළාම එතනත් හිරවුණේ මං. අයියා ගියාම අම්මලා මාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න ගත්තේ අයියාටත් කලින් රට යන එක ගැන කියෙව්ව එකා මං නිසා. අපි දෙන්නම ලංකාවෙන් යනවට අම්මා වගේම අප්පච්චිත් කැමති වුණේ නෑ. නෙහා යනවට නම් මුල ඉඳන්ම නැන්දයි, මාමයි කේස් පිට හිටියේ. කොහොම හරි ඒකෙන් වුණේ අකමැත්තෙන් හරි අපේ අෆෙයාර් එක උපන් තැනම වළ දාන්න අපි දෙන්නටම සිද්ධ වෙච්ච එක.

ඒකට තවත් ලොකු හේතුවක් වුණේ අපි කැම්පස් ඉද්දි වෙච්ච සිද්ධියක්. ශෙනා ගැන ඔයාලා දැනටම දන්නවනේ. ශෙනා තමා අපි දෙන්නව කවර් කළේ කැම්පස් එකේදි. ශෙනාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, වරංගාත් අපිට වඩා ටිකක් වැඩිමල් වුණාට අපි දෙන්නා එක්ක ෆිට් වුණා. අපි තුන්දෙනාට කැම්පස් එකේ වැඩවලින් ෆ්‍රී වුණාමයි, වරංගාට ජොබ් එකෙන් ලීව් ගන්න පුළුවන් වුණාමයි අපි හතරදෙනා එකතුවෙලා දවස් දෙකේ, තුනේ ට්‍රිප්ස් ගියා. ගොඩක් අය අපිව දැක්කේ ස්ට්‍රේට් කපල්ස් දෙකක් විදියට හරි යාලුවෝ විදියට හරි. අපිත් එහෙම අඟවලා හිටියා. ඒ ගමනකදි වරංගා එක්ක ශෙනා මුහුදේ නාන අතරේ නෙහායි, මායි බීච් එකට වෙලා බියර් එකක් ගහන කොට අපේ ඉස්කෝලේ අපි එක්ක එකටම හිටපු එකෙක් අපි දෙන්නව දැකලා තිබ්බා. ඇත්තටම එතන අපි දෙන්නා ලවර්ස්ලා විදියට හැසිරුණේ නෑ මොකද එතන තව ෆැමිලීස් එහෙමත් හිටපු තැනක්. අනික නෙහාවත්, මංවත් එහෙම කෙයාලස් වෙලා නෑ කවදාවත්. එවෙලේ මං නෙහාගේ උරහිසක මගේ අතක් තියාගෙන හිටියා විතරයි. ඒත් අපිව දැකපු එකා අනික් උන්ට ගින්න දීලා තිබ්බේ අපි ලව් කරනවා දැක්කා කියලා. පොර අපිව බයිට් කරන්න කරපු වැඩෙන් අපි දෙන්නා ගැන ලොකු කටකතාවක් ඉස්කෝලේ අපේ උන් අතරේ ගිහින් තිබ්බා.

ඕක එළියට ආවේ ස්කූල් ගෙට්ටුගෙදර් එකකදි. අරූ කියපු කතාව විශ්වාස කරපු අපි එක්කම හිටපු තව එකෙක් එදා එකපාරටම කියපු කතාවක් නිසා මගේ ඉවසීමේ කට්ට පැන්නුවා.

"උඹයි, නෙහායි ගෑනියි, මිනිහයි වගේ කියලා විහිලු කළාට අපි ඒවා සිරා කියලා හිතුවේ නෑ බං... මොනා වුණත් ඕවා පොන්න වැඩ යකෝ..."

මට කෙන්තිගියේ අර වචනෙට. ඌ එහෙම කිව්වම අනික් උනුත් ඌට පෝර දාන්න ගත්තේ.

"උඹලා දෙන්නාගෙන් කවුද දැන් බොටම් කියන එක විතරක් කියහන්..."

තව එකෙක් එහෙම කිව්වා. මං හිටියේ කලින් කිව්ව වචනෙට කේන්තියෙන්. නෙහාටත් කේන්ති ගියා කියලා මට තේරුණා. මට අනුව ඒක තමා පිරිමියෙක්ට ලෝකේ තියන ලොකුම අපහාසය. අවමානය. ඒ වගේ වෙලාවක සිරිත් මල්දම කියන්න බෑ මට. ජීවිතේ එච්චර කාලෙකට ඔය වචනේ මොකෙක් හරි මං වෙනුවෙන් යූස් කළාමයි. ඒ වෙලේ අත පය අකුලගෙන ඒ වචනේ ඇත්ත කරන්න මට බැරිවුණා. ඒකයි මං ඌට ගැහුවේ. ලේසියෙන් මනුස්සයෙක්ට අතක් උස්සන්නැති නෙහාත් උන්ට ගැහුවා. අන්තිමටම ගෙට්ටුගෙදර් එක ඉවරවුණේ හොස්පිටල් එකෙනුයි, පොලිසියෙනුයි. ගහගෙන වෙච්ච තුවාලවලට හොස්පිටල් එකෙන් බෙහෙත් දැම්මට වචනවලින් තුවාල වුණු හිතට බෙහෙත් දාන්න නම් ඩොක්ටර්ස්ලටවත්, පොලිස් ඔෆිසර්ස්ලටවත් බැරි වුණා.

මට දැනුනේ ලොකු කලකිරීමක්. අපි ඉපදිලා හැදුනු, වැඩුණු සමාජය සහ සංස්කෘතිය ගැන කලකිරීමක්. එක කොල්ලෙක් කෙල්ලො දෙන්නෙක්ට ලව් කළොත් ඌ පට්ට වැඩ්ඩෙක්. කොල්ලෙක් කොල්ලෙක්ට ලව් කළොත් ඌ කොලුකාරයෙක්. එතකොට ඒක ආදරය නෙවේද..? අපේ ටෲ ෆීලින්ස් හිතේ තියාගෙන සමාජ සම්මත කියලා හදාගත්ත මඟුලක් ඇතුළට අපිව දාලා තියන්න හදන එක කොච්චර සාධාරණද..? ඇයි සමාජෙට විහිලුවක්වත්, කුණුහරපයක්වත් නොවී මට මං වෙන්න බැරි..?

ඒත් එදා අපි එකක් තේරුම් ගත්තා. ලංකාවෙන් යන්නේ නැත්නම් තවදුරටත් මේක ඉස්සරහට ගෙනියනවා කියන එක අපි දෙන්නටම ලේසි වෙන්නේ නෑ කියන එක. අනික නෙහා බයවුණා එයා ගැන ඇත්ත ලෝකෙට එළිවුණොත් ඒකෙන් චූටිගේ අනාගතේට බලපෑමක් වෙයි කියලත්. ඒ එක්කම රට යන අයිඩියා එකත් හිතින් අහක් කරගන්න වුණ නිසා අපි තීරණය කළා අපේ අෆෙයාර් එක නවත්තන්න. අපි දෙන්නා gay නෙවේ bisexual කියලා අපි දැනගෙන හිටපු නිසා අපි හිතුවා අපිට කෙල්ලෙක් එක්ක මූව්-ඔන් වෙන එක කරගන්න පුලුවන් කියලා. ඒත් ඒක හිතන තරම් ලේසියෙන්, එක රැයෙන් හිත හදාගන්න පුලුවන් තීරණයක් නෙවේ.

මගේ හිතේ ආයෙම චූටි ගැන ෆීලින්ස් ඇති කරන්න ගත්තේ නෙහාමයි. නෙහා හිතුවා එයාගෙම නංගිට මං කිට්ටු වුණොත් එයාට මේක නවත්තන්න ලේසි වෙයි කියලා. අනික චූටි ඇර වෙන කෙල්ලෙක් ගැන මං කවදාවත් එහෙම හිතලවත් තිබ්බේ නෑ. කොහොමත් නෙහාට ලොකු විශ්වාසයක් තිබ්බා මං චූටිව හොඳටම බලාගනීවි කියලත්. ඒත් මං චූටිට කිට්ටු වුණාට පස්සේ නෙහා විඳවන විදිය දැක්කම නම් මට ඒක දරාගන්න හිතපු තරම් ලේසි වුණේ නෑ. ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනාව එකම කාමරේ තියාගෙන යාලුවෙක් ගාණට ඉන්න වෙන එක මාර වේදනාවක්. සමහර තැන්වල අපි ලිමිට් පැන්නා. මං නෑ කියන්නේ නෑ. නෙහාට මං නොසෑහෙන්න ඇඩික්ට් වෙලා හිටියේ. ගොඩක් වෙලාවට නෙහාටත් කලින් බවුන්ඩ්‍රීස් ක්‍රොස් කළේ මං ඒ කාලේ.

චූටි හිටියත් නෙහාව තරම් මට මුලදි චූටිව දැනුනේ නෑ. නෙහා තනිවෙයි කියලා බයට මං නෙහාව තනි නොකර ඉන්න ට්‍රයි කළා. නෙහා වුණත් මාව ස්කිප් කරලා ඉන්න සෑහෙන්න ට්‍රයි කළා. සමහර නිවාඩු කාලවලට මං හිතලම ගමේ ගියා. අපිට සෙක්ස් නොකර ඉන්න පුලුවන් වුණත් ආදරේ නොකර ඉන්නවත්, ඒ ෆීලින් එක මරාගන්න විදියක්වත් අපි දැනගෙන හිටියේ. Homosexuality කියන්නේ ගොඩක් අය හිතනවා වගේ සෙක්ස් බේස් කරගෙන ඇතිවෙන ෆීලින් එකක් නෙවේ. ඒක කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන දැනෙන ආදරය කියන ෆීලින් එකම තමා. වෙනස ඒ ආදරේට මූලික වෙන කෙනා ඔපොසිට් ජෙන්ඩර් කෙනෙක් නොවී සේම් ජෙන්ඩර් කෙනෙක් වෙන එක විතරයි. පොඩි උන් වගේ අපි දෙන්නා අඬපු දවස් ඕනේ තරම් ඇති. ඒ තරම් ආදරය කරන කෙනෙක්ව ඇස් ඉස්සරහා තියාගෙන ඒ කෙනාව යාලුවෙක් විදියට පිළිඅරගෙන ජීවත්වෙනවා කියන්නේ පට්ටම දරුණු පේන් එකක්.

නෙහා මිහින්දිට කැමතියි කිව්වම මට මාර පේන් එකක් දැනුණේ. ඒක කියාගන්න මට අදටත් තේරෙන්නේ නෑ. මං චූටිට ආදරෙයි කියපු දවසේ නෙහාටත් එහෙමම දැනෙන්න ඇති නේද කියලා පස්සේ මං හිතුවා. මං ඒ ගැන නෙහාට නොකිව්වට ඌට තේරෙන්න ඇති. මටවත් නෙහාටවත් අපි ගැන තේරුම්ගන්න වචන ඕනේ නෑ. ඒත් මිහින්දි ආව එකෙන් අපිට අපෙන් ඈත්වෙන්න ලේසි වුණා කියලා දැන් හිතෙනවා. ඒත් ආදරේ... ඒක මරාගන්න අපි දෙන්නටම බැරිවුණා.

දැන් අහන්නෙපා එතකොට මං චූටිට ආදරේ කරන්නේ නැද්ද කියලා. මං චූටිට ආදරේ කළා. හැබැයි ඒකයි නෙහා ගැන මගේ හිතේ තිබ්බ ආදරෙයි දෙවිදියක්. ඒකෙන් වැඩියෙන් බර කාගේ පැත්තද කියන්න මං දන්නේ නෑ. ඒත් මං ඒ දෙන්නටම ගොඩක් ආදරෙයි. කෙල්ලෙක්ගෙ ආදරේ හරි වෙනස්. කෙල්ලෙක්ට ආදරේ කරන එක කොල්ලෙක්ට ආදරේ කරනවට වඩා ටිකක් අමාරුද කියලත් මට වෙලාවකට හිතෙනවා. කොහොමත් මිනිස්සු හරිම සංකීර්ණයි. ඒක කෙල්ලෙක් වුණත්, කොල්ලෙක් වුණත් ඒ සංකීර්ණ ගතියෙ වෙනසක් නෑ මට නම්. ඒත් මිනිස්සුන්ගේ ෆීලින්ග්ස් කියන දේ ඊටත් වඩා ගොඩක් සංකීර්ණයි. ඒවා එක්ක ගනු-දෙනු කරන එක හරි අමාරුයි.

චූටිගේ ආදරේ හරිම සොෆ්ට් ෆීලින් එකක් එක්ක ලොකු බරක් මගේ හිතට දැනුන ආදරයක්. මොකද ඒ අෆෙයාර් එක ඇතුලේ ඉබේටම මං ඩොමිනන්ට් වුණා. චූටි කොහොමත් සබ්මිසිව් ටයිප් කෙල්ලෙක්. අපෙ අෆෙයාර් එක ගැන ගෙවල්වලින් දැනගත්තමත් ඒ හැම වගකීමක්ම ගෙවල් දෙකෙන්ම දැම්මෙත් මගේ ඔලුවට. ඒ නිසා ඒක ඇතුලේ මට ලොකු රෝල් එකක් කරන්න වුණා. අනික් පැත්තෙන් නෙහාගේ ආදරෙන් ඩීප් වගේම ලයිට් ෆීලීන් එකක් මට ආවේ. අපි අතරේ කවුද ටොප්, කවුද බොටම් කියලා ප්‍රශ්න නැති තරම් අපි දෙන්නා හැමදේම සමානව බෙදාගත්තා. හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තිබ්බා. ඒක මිනිස්සු හොයන හිත නිවන, අවුලන ආදරයක් කිව්වා නම් හරි. ඒ නිසා චූටිගේ සිස්ටම් එකට හැඩගැහෙන්න මට ටිකක් කාලයක් ගියා.

නෙහාගේ මැරේජ් එකත් එක්ක අපි දෙන්නා ගොඩක්ම දුරස් වුණා. ඒත් එක්කම මායි, චූටියි දෙන්නත් ලීගලි මැරි කරපු නිසා මට වගකීම් තව ටිකක් වැඩි වුණා. අනික් පැත්තෙන් අපි එකම ගෙදරක හිටපු නිසා අපි වට වටේ තිබ්බ නීතිත් එන්න එන්න වැඩි වුණා. විශේෂයෙන්ම නැන්දාගේ නීති. වෙලාවකට ඒක හිසරදයක් වෙන මට්ටමක් තිබ්බේ. මොනවා වුණත් චූටි මගේ කසාද ගෑනි කියන එක මගේ ඔලුවට එනකොට මට ඒ නීති එක්ක හරි තරහක් ආවේ. චූටියි, මායි අතරේ තිබ්බ ලිමිට්ස් බිඳුනේ ඔය අතරේ. මොනවා වුණත් ඒකෙන් පස්සේ නම් මට චූටි ගැන කලින්ටත් වඩා ලොකු වගකීමක් හිතට දැනුනා. කෙල්ල පව් කියලත් හිතුනා. මං නෙහාටත් වඩා දරදඬු මිනිහෙක්. ඒත් චූටි මාව දරාගෙන හිටියා. චූටි මාව හොඳටම තේරුම්ගත්තා කියලා මට කියන්න බැරි වුණත් චූටි මාව දරාගත්තා. ඒක මට ගොඩක් වැදගත් වුණා.

සැක කිරීම් එක්ක ඒ ෆීලින්ස් පලුදු නොවුණා කියන්න මට බෑ. නෙහා, මිහින්දිට සමාවදෙන්න මිහින්දිගේ ප්‍රෙග්නන්සි එක හේතුවක් වුණාට හැමවෙලේම කටුඅත්තක් වගේ මගෙත් එක්ක එල්ලෙන්නම බලන් හිටපු චූටිට සමාවක් දෙන්න හේතුවක් මට හොයාගන්න බැරිවුණා. කොහොමත් මං නෙහාට වඩා ටිකක් රෆ් කැරැක්ටර් එකක් ඉස්සර ඉඳන්ම. අනික මං ටිකක් සයිලන්ට් වුණාට හරිම ඇග්‍රසිව්. ඒත් මං මාව පුලුවන් තරම් කන්ට්‍රෝල් කරගෙන හිටියේ මගේ පැත්තෙන් ඩාර්ක් හිස්ට්‍රි එකකුත් තියන නිසා.

හැබැයි නෙහාත් හිටියේ එකපාරටම ඔලුවට ආව වගකීම එක්ක ටිකක් කන්ෆියුස් වෙලා. ඌට එච්චර ඉක්මණට බබෙක් හදන්න අයිඩියා එකක් තිබ්බෙත් නෑ. ඒකෙන් ආයේ නෙහායි, මායි ක්ලෝස් වුණා. ඒ කියන්නේ අපි දෙන්නා බැඳපු කෙල්ලෝ දෙන්නව පැත්තක තියලා නිදාගත්තා කියන එක නෙවේ. අපි අපේ ප්‍රශ්න, පේන් එක ශෙයාර් කරගත්තා. ඒකෙන් ඉබේටම අපි දෙන්නා ආයේ අපි දෙන්නට ක්ලෝස් වුණේ අපේ අතීතයත් එහෙම එකට ලින්ක් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති.

ජීවිතේ අපි කරන සමහර දේවල් තියනවා ඇයි අපි එහෙම කරන්නේ කියලා නොදැන කරන. නෙහා එක්ක එදා ඉඳපු එකත් එහෙම එකක්. අදටත් මං දන්නේ නෑ ඇයි මට එහෙම ඕනේ වුණේ කියලා. සමහරවිට ඒක චපලකම වෙන්න ඇති. ශෙනා අපිට කොච්චර බැන්නත් අපිට එහෙම කරන්න ඕනෙම වුණා. සමහරවිට ඒක ෆේට් එක වෙන්න ඇති. මං දන්නේ නෑ ඒක මීට වඩා විස්තර කරන්න. මං ඒක මගේ හිතට එන හැමදවසකම මගෙන් අහනවා ඇයි මං එහෙම කළේ කියලා. ඒත් අදටත් මට ඒකට උත්තරයක් නෑ.

අපි දෙන්නා දිහා බලාගෙන ඉන්න චූටිව දැක්කම නම් මට මං ගැනම කලකිරුණා. ඒ ඇස්වල තිබ්බේ මොන වගේ ෆීලින් එකක්ද කියන්න මට අදටත් හිතාගන්න බෑ. මං නෙහාව අතෑරලා චූටි ගාවට ගියාට එයා මට එයාව අල්ලන්නවත් ඉඩදුන්නේ නෑ. මට කියන්න කිසිම දෙයක් හිතට ආවේ නෑ ගිල්ටි ෆීලින් එක ඇරෙන්න. ඊට ටිකකට කලින් මට නෙහාව ඕනේ වුණ තරමටම මට ඒ වෙලේ නෙහාගෙන් ඈතට යන්න ඕනේ වුණා. මං ටිකක් වෙලා යනකන් වැඩ කළේ හරිම කන්ෆියුස් ගතියකින්. මොන දේ කළත් චූටි මගේ කසාද ගෑනි. අනික ඒක නිකම්ම ලීගල් මැරේජ් එකක් නෙවේ ඒ වෙද්දිත්. එච්චර කල් ඒක නෙහාගෙන් හැංගුවට එදා ඒකත් එළියට ඇදිලා ආවා. ජීවිතේ පළවෙනි වතාවට නෙහායි, මායි අතරට එහෙම මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ආවේ එදා.

මොන දේ වුණත් ඒ සිද්ධියත් එක්ක මට වෙනදට වඩා චූටිව ෆීල් වුණා. ඒ වගේම එයාව දකින දකින වාරයක් පාසා මට ගිල්ටි ෆීලින් එකක් දැනුනා. හැමදාම හැමදේම ශෙයාර් කරගත්ත නෙහා එක්කවත් මං කිසිම දෙයක් ශෙයාර් කරගත්තේ නෑ.

වෙච්ච දේ ගැන අයියාට කිව්වම අයියා ගහපු එකට මට තරහා ගියේ නෑ. ඒත් අයියා කිව්ව එක දේකට මට ඌ ගැන කලකිරුණා.

"උඹලා දෙන්නා රට යන්න ඕනේ කියලා නහින කොට මං දැනගත්තා උඹලා දෙන්නා මේක නවත්තන්නෑ කියලා... ඒකයි මං මැරි කරපු ගමන් රට යන්න තීරණය කළෙත්. පවුලේ දෙන්නම රට යනවට අම්මලා කැමති වෙන්නේ නෑ කියලා මං කොහොමත් දැනගෙන හිටියා... අනික උඹ රට යන්න වලි කනකොට අම්මව ෆෝම් කරලා උඹව ලංකාවේ තියාගන්න කිව්වෙත් මෙහෙ උඹලට ඕනේ ඕනේ අඩව් අල්ලන්න බැරි නිසා... මං හිතුවා උඹලා දෙන්නා ගෑනු අරගෙන සෙට්ල් වෙයි කියලා ඔය මඟුල් අමතක කරලා... බලාගෙන යද්දි වෙලා තියෙන්නේ ඒකෙන් අනික් පැත්තනේ... උඹලට හුකාගන්න ගෑනු ඉද්දිත් උඹලා දෙන්නා හැමිනෙන්න තරම් උඹලට අසහනේ කියලා මං හිතුවේ නෑ..."

අයියා ගැන එච්චර කල් මට තිබ්බේ ගෞරවයක්. මොනා වුණත් ඌ මං ගැන හිතලා වැඩ කරයි කියලා මං හිතුවා. සහෝදරකම නිසා. අනික ඌ ඩොක්ටර් කෙනෙක්. ඒත් ඌත් මාව තේරුම් අරන් නෑ. දෙන්නෙක් අතර ඇතිවෙන ඇටෑච්මන්ට් එකක් එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ බිඳලා දාන්නේ කොහොමද..? අඩුමගානේ අපි දෙන්නට රට ගිහින් අපේ ජීවිත අපි කැමති විදියට සෙට්ල් කරගන්න ඉඩදුන්නා නම් අද මේ කෙල්ලෝ දෙන්නෙක් මේකට පැටලෙන්නේ නෑනේ. අපිටත් මේ අහිංසක කෙල්ලෝ දෙන්නට කොළේ වහලා ගේම ගහන්න වෙන්නේ නෑනේ. ඒත් කවුරුත් සමාජ සම්මත ගැන හිතුවා මිසක් අපේ සතුට ගැන හිතලා තිබ්බේ නෑ. අනික අපිට දැන් හැරෙන්න බෑ. මිහින්දි, චූටි වගේම දරුවත් ඉන්නවා. දැන් ඉතිං වැල යන අතට මැස්ස ගහනවට වඩා දෙයක් කරන්න අපිට බෑ. ඒත් මෙතනට එන්න පාර කපපු එක ගැන අයියා එක්ක පොඩි කොස්සක් හිතේ ඉතුරු වුණා.

චූටි මාව මැරි කරන්න කැමතියි කිව්වම මට සතුටු හිතුනා. එහෙම නෑ කියලා මට කියන්න බෑ. මැරේජ් එකට එයාගේ හිත හදාගත්තේ ඇයි කියලා මට එවෙලේ හිතාගන්න බැරි වුණත් මං ඒ තීරණෙන් සතුටු වුණා. කවුරු මං ගැන මොනවා හිතුවත් මං චූටිට ආදරෙයි. සමහරවිට නෙහා එක්ක මට ඒ තරම් ලොකු බොන්ඩ් එකක් ඇති නොවුණා නම් චූටි ගැන මට මීටත් වඩා ලොකු ෆීලින් එකක් ඇතිවෙයි. ඒත් එහෙම නැතත් මං චූටිට අදටත් මාරම විදියට ආදරෙයි.

වෙඩින් එක ඉවරවෙලා පිටත්වෙන්න යද්දි නෙහා චූටිට කියපු කතාවට චූටිට නම් කේන්ති යන්න ඇති. ඒත් මට ඇඬෙන තරම් දුකක් දැනුනේ. පෝරුව සේරමනි එක යද්දි නෙහා අපි දිහා බලාගෙන ඉන්නවා මුලින්ම දැක්කම මට හීල්ලුනා. එදා එවෙලේ ඌට දැනුනු දේම ඊට අවුරුදු කීපෙකට කලින් ඌයි, මිහින්දියි පෝරුව උඩ ඉද්දි, කසාද පොරොන්දුව කියවද්දි මටත් දැනුනා. ඒ නිසා මට දැනුනේ හරි අසරණකමක්.

චූටි මාව මැරි කරන්න ගත්ත තීරණේ ගැන මගේ සතුට තිබ්බේ අපි හනිමූන් ඉන්න තෝරගත්ත හොටෙල් එකට යනකන් විතරයි.

"ඔයා මේ දවස් ටිකට මාව පුච්චපු විදියටම ඔයාත් පිච්චෙනවා බලන්න මට ඕනේ. මං මේකට කැමති වුණේ ඒකයි... අයියව දවස ගාණේ දකිද්දි ඔයා පිච්චෙනවා මට බලන්න ඕනේ..."

හැමෝම අපි දෙන්නව ඒ හොටෙල් රූම් එකේ තනි කරලා ගියාම චූටි මට මුලින්ම කිව්වේ ඕක. මං උත්තරයක් නුදුන්නේ මේ හැමදේම වුණේ මගේ වරදින් නිසා. ඒ ගමනේ අපි දෙන්නා හිටියේ අමුත්තෝ දෙන්නෙක් වගේ. මං වෙඩින් එකෙන් පස්සෙත් සෑහෙන්න විඳෙව්වා. ඒත් මමනේ වරද කළේ. ඒ නිසා මං ඉවසුවා. එක ඇඳේ අමුත්තෝ දෙන්නෙක් වගේ දෙපැත්ත හැරිලා නිදාගන්න එක මට හරි වදයක් වුණා. ගෙවල්වල මිනිස්සුන්ට පේන්න බොරුවට මැරේජ් ලයිෆ් එක පවත්වාගෙන යන එක මට මාස පහක් විතර යද්දි එපා වුණා. චූටි මාව රිජෙක්ට් කරනවා වගේම මට එයාට ෆෝස් කරන්නත් බෑ. අන්තිමටම මං චූටිට කිව්වා අපි ඩිවෝස් වෙමු කියලා. මොකද එයාට රට යන්න චාන්ස් එකකුත් ඇවිත් තිබ්බේ. එයාට මාත් එක්ක ඉන්නවට වඩා මාව අතෑරලා වෙනම පරිසරයකට ගිහින් ඉන්න එකෙන් හොඳක් වෙයි කියලා මං හිතුවා. ඒත් මං නොහිතපු විදියට චූටි ලංකාවෙන් යන්න බෑ කිව්වා. ඒ වගේම ටිකෙන් ටික මාත් එක්ක ඉස්සර තරම්ම නොවුණත් පොඩ්ඩ පොඩ්ඩ රිඇක්ට් කරන්න ගත්තා.

ඔය කාලේ මට නෙහාව හම්බනොවුණා නෙවේ. අපි සමහර වෙලාවට බියර් එකක් ගහන්න එළියටත් ගියා. ඒත් අපි අපේ බවුන්ඩ්‍රීස් හිතලම මේන්ටේන් කළා. මටයි, නෙහාටයි තිබ්බේ අපේ අයියා හිතුවා වගේ සෙක්ස් සම්බන්ධ සම්බන්ධයක් නෙවේ. ඒක ඊට වඩා ගොඩක් ඩීප් මයින්ඩ් ලින්ක් එකක් වගේ දෙයක්. නෙහා කියන්නේ මට හරියට කන්නාඩියකින් මට පේන මගේ රිෆ්ලෙක්ට් එක වගේ. මං උගෙන් දැක්කේ මගේම අනික් කොටස. එහෙම අෆෙයාර් එකකදි අපි දෙන්නට නිදිවැදලා අපේ සෙක්ෂුවල් ටෙන්ෂන් එක රිලීස් කරගන්න ඕනේමයි කියලා එකක් තිබ්බේ නෑ. නෙහා එක්ක බියර් එකක් ගහන ගමන් මං මාව උගේ ඉස්සරහා නිදහස් කළා. ඌත් එහෙමයි. ඒත් ඒ වෙද්දි අපි දෙන්නටම ඕනේ කළේ අපේ ගෑනු ඉස්සරහත් එහෙම නිදහස් වෙන්න. ඒත් ඒ දෙන්නා හිටියේ අපිට ගොඩක් ඈතින්.

පුතා හම්බෙන කාලේ වෙද්දි චූටි ගැන මං කොච්චර හොයලා බැලුවත් චූටි සැටිස්ෆයි නෑ කියලා මට තේරිලා තිබ්බා. ඒත් මං ඒවා නොතේරුණා වගේ මගේ උපරිමය කළා. මං දන්නේ නෑ මං කොයි තරම් සාර්ථකද කියලා. මං කියන්නේ නෑ මං නෙහාට ආදරේ කරන එක නතර කළා කියලා. ඒක නතර කරනවා කියන්නේ හරියට මං හුස්ම ගන්න එක නතර කරනවා වගේ වැඩක් මට. නෙහාටත් එහෙමයි. ඒත් ආදරේ හිතේ තිබ්බා මිසක් ඒවා කවදාවත් අපි අපේ බැඳීම් අතරට ගෙනාවේ නෑ අපි ඊටපස්සේ. ඒත් වරදක් වුණාට පස්සේ මිනිස්සු හැමවෙලේම බලන්නේ අර ඈන්ගල් එකෙන්මනේ. චූටිගේ තැන මං ඉඳලා මගේ තැන චූටි හිටියා නම් මම වුණත් එහෙම කරයි. ඒත් ඒක හිතට හරි බරක්.

මිහින්දි ගැන නම් මට දුකයි. ඒත් නෙහා කරපු දේ වැරදි නෑ. හැමදාම ඒක මිහී දැනගනීවි කියන බයෙන් පිච්චි පිච්චි ඌ ඉන්නවට වඩා කියලා ඉවරයක් කරන එක හොඳයි කියලා මං වුණත් හිතනවා. ඒත් ඒකෙන් පස්සේ චූටි ගොඩක්ම මුරණ්ඩු වුණා. එයාගේ පැත්තට තව කෙනෙක් ගෙදරම ඉන්නවා කියලා එයා හිතපු එකෙන් මිහීත් ගොඩක් මුරණ්ඩු වුණා. මිහී දුව හම්බෙන්න ආවට පස්සේ කලින් පාරට වඩා හරි වෙනස් වුණා. නෙහා හිටියේ අවුලෙන්. එහෙමයි කියලා අපි කාටවත් කරන්න දේකුත් තිබ්බේ නෑ.

චූටි ඩිවෝස් එක ගැන කතා කරද්දි පුතාට අවුරුද්දක්වත් නෑ. අනික එයාත් ආයේ ප්‍රෙග්නනට්. එයා එයාවම ස්ට්‍රෙස් කරගත්තා. මම පුළුවන් තරම් ඉවසීමෙන් හිටියා. අද වෙනකන් මං චූටිට කෑගහලා බැනලා නෑ. එහෙම කරන්න මට කවදාවත් බෑ. වරදක් නොකළත් ගෑනියෙක් ඉස්සරහා එහෙම කතා කරන මට්ටමට මට වැටෙන්න බෑ. ඒත් මාස හතරෙන් ඒ පැටියා ඇබෝට් වෙනකොට චූටිට වඩා හිතින් වැටුණේ මං. මට දැනුනේ මං කරපු වැරදි ඉපදෙන්නත් කලින් ඒ අහිංසකයා පිටින් ගියා වගේ ෆීලින් එකක්. අපි කොච්චර උගත් වුණත්, දැනුවත් වුණත් සමහර තැන් එනවා අපිට එහෙම දරාගන්න බැරි වෙන. ඒත් මුල් වතාවට ඒ සිද්ධියත් එක්ක චූටියි, මායි ක්ලෝස් වුණා. අපි දෙන්නා අපිව බලාගන්න ගමන් පුතාවත් බලාගත්තා.

සමහර දේවල් අපි හිතන විදියටම නෙවේ වෙන්නේ. මං ඒකයි පටන්ගන්න කොටම කිව්වේ මං මේ ජීවිතේ විඳවනවා කියලා මට බොරු කියන්න බෑ. චූටියි, පුතයි නිසා මං ඇත්තටම සතුටින් ඉන්නේ.

ඒත් අදටත් නෙහා ගැන ෆීලින්ස් මට මගේ හිතෙන් මරාගන්න බෑ. උදේ-හවස ඌව දකින නිසා නෙවේ, මගේ ජීවිතේ ඉතුරු කාලෙම ඌව නොදැකම ගෙවුණත් මට නෙහාට ආදරේ කරන එක නතර කරගන්න බැරි වෙයි. එතනදි මං වැරදියි කියලා මං කියන්නේ නෑ. ඒ මට ජීවත්වෙන්න ඕනේ වුණු, ඒත් මට හම්බුණේ නැති ජීවිතේ. අපිව විකල්ප තෝරාගන්න තැනට තල්ලු කරලා, අපේ ෆේට් එකත් එක්ක අහිංසක කෙල්ලෝ දෙන්නෙක්ව පටලවගන්න තරම් අපිව අසරණ කරපු සමාජෙට මං ඇත්තටම වෛර කරනවා. හැබැයි මගේ පුතා දවසක මගේ ගාවට ඇවිත් එයා කැමති කොල්ලෙක්ට කිව්වොත් මං එයාව එයාගේ හිත ගිය තැනට යවනවා. එයා වෙනුවෙන් ලෝකේ ඉස්සරහා පෙනීහිටිනවා. ලෝකෙට පේන්න විතරක් හිනාවෙන ජීවිතයක් මට එයා වෙනුවෙන් උරුම කරන්න ඕනේ නෑ. එයා හරි සතුටින් ඉන්න ඕනේ.

මං ඕපන් ටයිප් කෙනෙක් නෙවේ. මගේ ෆීලින්ස් නෙහා වගේ ලස්සනට කියන්න මට තේරෙන්නේ නෑ ඒ නිසා. නෙහා කොහොමත් සෝෂල් මට සාපේක්ෂව. ඒ නිසා එයා මිනිස්සු එක්ක මට වඩා හොඳට ගනු-දෙනු කරන්න දන්නවා. මං මේ ටික හරි කියන්න එකඟවුණේ චූටි දැන් ඉන්න තත්ත්වේ ගැන හිතලා. මොකද කතා කරන්න තරම් ලස්සන ඉතිහාස කතාවක් මට නෑ. ඒක පිරිලා තියෙන්නේ පසුතැවීම්, වැරදි, වේදනාව වගේ දේවල් විතරයි. සමහරවිට චූටිව මැරි නොකළා නම් මං මේ වෙද්දි ජීවත්වෙන එකකුත් නෑ. ඒත් දැන් මට ජීවත්වෙන්න හේතු තියනවා.

අපේ මිනිස්සු හරියට මැෂින් වගේ. ෆ්‍රේම් හදාගෙන ඒ ෆ්‍රේම් නඩත්තු කර කර තමන්ගේ සතුට, සැනසීම බිලිදීලා ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා. මායි, නෙහායි වගේ තමන්ගේ ෆීලින්ස් මරාගත්ත මිනිස්සු තව ඕනේ තරම් ඇති මේ සමාජයේ. අන්න ඒ නිසයි මං මේ සමාජෙට, සංස්කෘතියට වෛර කරනවා කියලා කලින් කිව්වේ. සමහරවිට මං වැරදි ඇති. ඒත් මේ ලෝකේ සීයට සීයක් හරි මිනිස්සු නෑ නේද..? මාත් අන්න ඒ වගේ මිනිස්සු අතරෙන් තවත් එක මිනිහෙක්.

✍🏼 සකුනි හතරසිංහ 

*Bromance- (Bro + Romance) පිරිමින් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර පවතින ලිංගික හෝ ප්‍රේමණීය නොවන අතිශය සමීප සම්බන්ධතාවයකි. මෙය සාමාන්‍ය මිත්‍රත්වය ඉක්මවූ අතිශය සමීප සහ ළෙන්ගතු එකම ලිංගයකට අයත් පිරිස් අතර පවතින (Homosociality/ Homosocial) සබඳතාවයකි. මෙහි දී දැඩි චිත්තවේගී බැඳීමක් ඔවුනොවුන් අතර ඇති වේ. මෙය Male Bonding (පුරුෂ සබඳතා) ලෙස වර්ගීකරණය කෙරේ.

*Womance- (Woman + Romance) ස්ත්‍රීන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර පවතින ලිංගික හෝ ප්‍රේමණීය නොවන අතිශය සමීප සම්බන්ධතාවයකි. මෙය Bromance වලට සමාන වේ. මෙය Female Bonding (ස්ත්‍රී සබඳතා) ලෙස වර්ගීකරණය කෙරේ.

*Homosociality/ Homosocial- එකම ලිංගයට අයත් පුද්ගලයින් අතර ඇතිවන මිත්‍රත්වය මුල් කරගත් ලිංගික හෝ ප්‍රේමණීය නොවන සබඳතා. මෙය Homosexuality (සමලිංගිකත්වය) හා සම්බන්ධ නොවන ඊට හාත්පසින් වෙනස් සබඳතාවයකි.

*Platonic relationship- ප්ලේටොනික බැඳීම (නමක් නොමැති බැඳීම). ලිංගිකත්වය හෝ ප්‍රේමාන්විත භාවයන් නොමැති නමුත් මිත්‍රත්වයෙන් ඔබ්බට ගිය ආදරය මුල් කරගත් බැඳීම් විශේෂයකි. මෙම Platonic යන වදන නිෂ්පන්න වී ඇත්තේ ග්‍රීක දාර්ශනික Plato ගේ නාමය ඇසුරෙන් වුවත් ඔහු කිසිඳු විටෙක මෙම වදන භාවිත කර නොමැත. Platonic love හෙවත් ප්ලේටොනික ආදරය ප්‍රේමාන්විත ආදරයෙන් (Romantic love) වෙනස් වේ.

*Soulmate- ආත්මීය සහකරුවා. පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඇති වන ගැඹුරු සහ ස්වභාවික ළෙන්ගතුකමකි. මෙවැනි සබඳතාවලට සමානාත්මතාවය, ආදරය, ආදරණීය බව, සුවපහසුව, සමීපත්වය, ආධ්‍යාත්මිකත්වය, පෑහීම, විශ්වාසය මෙන් ම ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියාකාරකම් ද ඇතුළත් විය හැකි ය. මෙය ලිංගිකත්වයට සහ විවාහයට සුදුසු බැඳීමක් සේ සලකන නමුත් හොඳම මිතුරා, සමීප ඥාතීන් වැනි පිරිස් සමඟ ද මෙවැනි ආත්මීය බැඳීම් ඇතිවිය හැකි ය. එක් පුද්ගලයෙකුට ආත්මීය සහකරුවන් කිහිපදෙනෙකු සිටිය හැකි ය.

*Twin flame- නිවුන් දැල්ල හෙවත් එකම ආත්මයක් බෙදාගන්නා පුද්ගලයන්. මෙය දෙදෙනෙකු අතර පමණක් ඇති වන අතිශය ගැඹුරු සබඳතාවයකි. පුද්ගලයෙකුට සිය ජීවිත කාලය තුළ හමුවිය හැක්කේ එක් නිවුන් දැල්ලක් පමණි. මෙය Mirror Souls හෙවත් කැඩපත් ආත්මයන් ලෙස ද හැඳින්වේ. මෙය පදනම් වී ඇත්තේ එක් ආත්මයක් විසින් ශරීරයන් ද්විත්වයකට අවතීර්ණ විය හැකිය යන පදනම යටතේ වුවත් මෙය ආගමික ආත්මවාදය හා සම්බන්ධ නොවේ. මෙම පුද්ගලයින් දෙදෙනා අතර ශක්තීන්, දුර්වලතා, ප්‍රබලතා, රුචි-අරුචිකම්, අදහස්, අන්තරාකාරී බව, අතීත සහකම්පන ආදිය බෙහෙවින් සමාන ය. මෙය toxic (කරදරකාරී) නොවන සබඳතාවයකි. මෙය විවාහය සහ ප්‍රේමය සඳහා සුදුසු සබඳතාවයක් ලෙස සැලකේ.

*Better half- පුද්ගලයෙකුගේ බිරිඳ, සැමියා හෝ විවාහය වැනි ස්ථිර බැඳීමකට සුදුසු සහකරුවා/ සහකාරිය. 

මතු සම්බන්ධයි........

Comments

Popular Posts