මේඝයක් සේ... 🍃

🍃🍃🍃

⚠️මෙය "මේඝයක් සේ..." මුද්‍රිත ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක් පමණක් බව කරුණාවෙන් සලකන්න.⚠️


"තරූ අයියේ... ඔයාලා දැන්ද ආවේ..?"

තරුෂ දුටුවන ම ඇඳ මතින් නැගිටිමින් නුවිනි ඇසී ය. නුවිනිට පිළිවදන් නොදුන් තරුෂ හිස සොලවා, මදාරා දෙස බැලූ අතර නුවිනිගේ හඬින් හිස එසවූ මදාරාගේ දෑස් සහ තරුෂගේ දෑස් එකිනෙක ගැටිණි.

කිසිවෙකුටත් සිතාගන්නටත් පෙර ඇඳෙන් බැසගත් ඇය, තරුෂගේ තුරුලට වැදුනේත්, තරුෂ සිය දෑත් ඇය වටා යවමින් ඇය තම පපුවට තද කරගත්තේත් අනෙක් අයගේ දෑස් පුදුමයෙන් විවර වෙද්දී ය.

"අනේ අයියේ... මගේ අම්මා..."

යළිත් අලුත් වූ ඇගේ කඳුලු, ඔහුගේ සුදු පැහැති කමිසය මත තෙත පැල්ලම් රටා අඳිද්දී ඔහු, තම දෙතොල් ඇගේ හිස්මුදුන මත තද කළේ අනෙක් අය දෙස නොබලා ය.

"මැණික... දැන් ඇඬුවා ඇති... ඔයා මේ වැඩ ගැනත් බලන්න ඕනේ... ඔහොම අඬලා විතරක් මෙතන මුකුත් කරගන්න බෑනේ පැටියෝ..."

ඔහු, ඈ වෙත නැමී පැවසුවේ ය.

"අනේ... දැන් මට කවුරුත්ම නෑ අයියේ..."

"ඇයි මැණික මේ අපි ඉන්නේ... නුවී, මනූ, අපූලා සේරම ඉන්නවා මෙතන... අපේ අම්මලා ඉන්නවා ඔයත් එක්ක. ඒ සේරටම වඩා ඔයාට මං ඉන්නවා... දැන් හිත හයිය කරන් මේ වැඩ ටික කරමු මැණික හරියට..."

තම පපුවෙන් මිදුණු මදාරාගේ වත දෝතින් ගෙන ඒ දෑස් වෙත එබෙමින් ඔහු කීය. ඉකියක් සමඟින් ඇය නැවතත් ඔහුගේ පපුව තුළ සිය හිස හොවද්දී ඔහු ද යළිත් සිය දෑත් ඈ වටා යවමින් ඇයව තුරුලට ගත්තේ දෑස් තදින් පියාගනිමිනි.

"අයියේ... ඊයේ උදේ කෑවට පස්සේ නංගි මුකුත් කාලා නෑ... කන්න කිව්වට කන්නෙම නෑ. අඩුම තේකක්වත් බොන්නේ නෑ... නුවී නංගී සෑහෙන්න කිව්වා... දැනට දෙපාරක්ම ෆේන්ට් උනත් එක්ක... ඒත් වතුර ටිකක් ඇර මුකුත්ම කන්නේ බොන්නේ නෑ අයියේ. ඒකත් පොවාගන්නේ බලෙන් වගේ..."

සිතාරා කීවේ ගතු කීමක් විලසිනි. ඇගේ වදනට තරුෂ නෙත් විවර කළේ ය.

"නංගි... ඔයාලා ගිහින් කන්න මොනා හරි ගේන්නකෝ... මං කවන්නම්..."

තරුෂ, සිතාරා සහ නුවිනි දෙදෙනා දෙස ම බලමින් පැවසීය. ඔහුගේ හැසිරීමෙන් සහ වදනින් තමන් දන්නවාට වඩා ගැඹුරක් ඔවුන්ගේ ඇසුරෙහි පවතින වග නුවිනි අවබෝධ කරගනිමින් සිටියා ය. ඇයගේ සිතට දැනුනේ සියුම් අමනාපයකි. ඒ බව ඇගේ දෙනෙතින් තරුෂ කියෙව්වේ ය.

"නුවී, ප්ලීස්..."

තරුෂගේ ආයාචනාත්මක වදන් හමුවේ නුවිනි, තරුෂ වෙත දැඩි බැල්මක් හෙලා, සිතාරා සමඟ මදාරාට
කෑමට යමක් ගෙන ඒමට කාමරයෙන් පිටවූවා ය.

කොළඹ සිට පැමිණෙන අතරතුර දී තරුෂ ගෙන් දක්නට ලැබුණු නොසන්සුන් කැළඹිලිකාරී හැසිරීම් අනුව භවංගගේ සිතට යම් සැකයක් දැනී තිබූ නමුත් ඔහු ඒ පිළිබඳව නොවිමසූවේ අපූර්ව සහ චමත් ද මෝටර්රථයේ පිටුපස අසුනෙහි හුන් බැවිනි. තම සැකය සනාථ වූ බව භවංගට සිතුන මුත් ඔහු ද, අන් අය මෙන් ම එකවරම සිත අරක්ගත් මවිතය විසින් නිහඬ කර තිබුණි. මෙතරම් ළඟින් සිටියද තරුෂ, තමන් සමඟ කිසිවක් නොකීවේ යැයි සියුම් අමනාපයක් ඔහුගේ සිතෙහි ද දළු ලන්නට විය. නමුත් පසුගිය කාලයේ තම විවාහ මංගල්‍යය සමඟ කාර්යබහුල වූ තමාට ද, තරුෂව බෙහෙවින් මඟහැරුණු බව ඔහු අවසන සිතුවේ ය.

නුවිනි සහ සිතාරාගේ පිටවයාමෙන් මඳ වෙලාවක් යනතුරු අනෙක් පිරිමි ළමුන් සිව්දෙනා කාමරය තුළ රැඳී සිටියේ වික්ෂිප්ත හැඟීමෙනි. මනුරගේ දෑත් මිට මෙලවී තිබූ අයුරින් ඔහු සිටින්නේ කෝපයෙන් බව භවංගට වැටහිණි. කීමට යමක් සිතාගත නුහුණු වූ අපූර්ව කාමරය පුරා සක්මන් කරන්නට වූයේ ඉන් පිටවයාමේ බලවත් අවශ්‍යතාවයක් සිත පුරා පැතිරෙද්දී ය. චමත් පමණක් මඳ සිනාවක් සහිතව බිත්තියට පිට දී භවංග දෙස බැල්මක් හෙලීය. ඒ කිසිවක් නොසලකන්නාක් මෙන් මදාරා වත්තන් කරගත් තරුෂ තවමත් ඇඳ අසල සිටගෙන උන්නේ ය. පැවති නිහැඬියාව බිඳුණේ වරින් වර ඇසුණු මදාරාගේ ඉකියෙන් පමණි.

තරුෂ, හිස ඔසවා කාමරය සිසාරා බැල්මක් හෙලී ය. මනුරගේ දෑස සැරසූ කෝපාන්විත බැල්ම මඟහරිමින් ඔහු, මනුරට කතා කළේ ය.

"මචං... නුවීට එන්න කියපං..."

මනුර කෝපයෙන් යමක් කීමට තනද්දී ම තත්ත්වය වටහාගත් චමත් වහා කතා කළේ ය.

"තරූ අයියා හරි මනූ අයියේ... මේක ගමක්නේ. මේ කෙල්ල අපි පස්දෙනා එක්ක තනියම මේ කාමරේ ඇතුලේ හිටියා කියලා කතාවක් ගියොත් ඒක හරි නෑ මදූට... අනික තරුෂ අයියවත් හුඟක් අය දන්නවනේ... ඒ නිසා නුවීට එන්න කියන්න. අර අනික් ගෑණු ළමයා කන්න මොනවහරි ගෙනෙයිනේ..."

වේගයෙන් කෝපාන්විත සුසුමක් හෙලූ මනුර කාමරයෙන් පිටතට ගියේ ය. තමන් දෙස බැලූ තරුෂ හට හිස සලා ඉඟිකළ භවංග ඇඳ මතින් හිඳගත්තේය.

මිනිත්තු කිහිපයකින් නුවිනි කාමරයට පැමිණි හෙයින් මදාරා සහ තරුෂ එහි සිටියදී ම අනෙක් තරුණයින් තිදෙනා කාමරයෙන් පිටතට පැමිණියහ. අවසානයට පිටතට පැමිණි භවංග, කාමරයෙන් පිටව යන්නට මත්තෙන් තරුෂ දෙස කෙටි බැල්මක් හෙලී ය. තරුෂ ද, ඔහු දෙස බලා හිස සැලුවේ ය.


✍🏼 සකුනි හතරසිංහ


 

Comments

Popular Posts