දෙමගක 🌈

(කෙටි නවකතාව - 11 කොටස)

-අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

"තමන්ගේ හිතට එකඟ නැති තැනක අත් හරින්න වගේම හිතට විරුද්ධව රැඳිලා ඉන්නත් ධෛර්යයක් තියෙන්න ඕනේ. කසාදයක් ඇතුළේ ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ වෙනුවෙන් තමන්ගේ කාලය කැප නොකර තමන්ගේ ජීවිතේ හොයාගෙන යන ගෑනි වගේම, මොකක් හරිම හේතුවක් නිසා දරාගෙන, ඉවසගෙන කසාදේ ඇතුලේ රැඳෙන ගෑනුත් ශක්තිමත්. ඒක දුර්වලකම කියන්න කාටවත් බෑ. සමහරවිට ඒක කැපකිරීමක් වෙන්න පුලුවන්, සමහරවිට නැති වෙන්න පුලුවන්. මොකද අතාරින්න තරම්ම හයියක් සමාවදෙන්නත්, සමාව පිළිගන්නත් තියෙන්න ඕනේ. එකකට එකක් සාපේක්ෂ කරලා හිතන්නැතුව මම ඉන්නේ මේ මතයේ, මම කරන්නේ මේක, මේ තමයි මගේ තීරණය කියලා හිතන්න පුලුවන් නම් අන්න ඒකයි වැදගත්ම දේ. මොකද අපි මොන තීරණය ගත්තත් සමාජය අපි වෙනුවෙන් හොඳයි කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ තීරණය. මිනිසා සමාජ සත්ත්වයෙක් කිව්වට අපි සමාජය ගහන පදේට නටන්න ඕනේ කියලා කිසිම සයන්ටිස්ට් කෙනෙක්වත්, දාර්ශනිකයෙක්වත්, ආගමික ශාස්තෘවරයෙක්වත් කියලා නෑ. ඒ නිසා රැඳිලා ඉන්නවද, අතෑරලා යනවද කියන තීරණය අපේ අතේ තියන දෙයක් මිසක් සමාජය අපි වෙනුවෙන් තෝරන්න ඕනේ දෙයක් නෙවි. ඔය දෙකෙන් මොන තීරණය ගත්තත් ඒ තීරණය එක්ක ජීවත් වෙනවා කියන්නෙම ඒ කෙනා ශක්තිමත් කියන එක. මිනිස්සු අපි ගැන දෙන ජජ්මන්ට්ස් ගැන හිත හිත දුක්වෙන්න අපේ වටින කාලේ අපතේ යවන්නෙපා..."

සකූ... මගේ කතාව ඇහුවට පස්සේ එයා මට එවපු මැසේජ් එකක් මේ ගෙඩි පිටින් දැම්මේ. මගේ කතාව සකූට වඩා ප්‍රසිද්ධ, එයාට වඩා මැචුවර්ඩ් ඕතර් කෙනෙක්ට දෙන්න පුලුවන්කම තියෙද්දිත් මං සකූටම මේක ලියන්න කිව්වේ එයාගේ ජීවිතය ගැන තියන කියවීම් මගේ හිතේ ඒ තරම්ම තදට කාවැදුණු නිසා. සකූ හොඳ සවන්දෙන්නියක් වුණා මට. ඊටත් වඩා හොඳට එයා මාව වගේම මිහින්දිවත් කියෙව්වා. කතාව කියවගෙන යද්දි මට හිතුනේ එයා අපි හැමෝමවම හරි පරිස්සමින් කියවලා කියලා. අන්න ඒක තමා මේ කතාව සකූම ලියන්න ඕනේ කියන තැනට අපි දෙන්නම ආවේ. ඒ තීරණය වැරදි නෑ කියලා පහුගිය කොටස් 10 ඇතුලත මට තේරුණා.

පොඩි අයියා මට දුන්න වචනේ රැක්කා. හනිමූන් ගියා කියලා මට කිසිම බලපෑමක් කළේ නෑ. ඊටපස්සෙත් මාස කිහිපයක් යනකන් එයා මට බලපෑම් කළේ නෑ මාත් එක්ක ඉන්න ඕනේ කියලා. මට එයා එක්ක ඉන්න හිත හදාගන්න පුලුවන් වුණේ වෙඩින් එකෙන් මාස හය, හතකට විතර පස්සේ. හැබැයි අපි දෙන්නා මුලින්ම එකට හිටපු දවසේ තිබ්බෙවත් නැති චකිතයක් එදා මගේ හිතේ තිබ්බා. හැමදේම වෙලා ඉවරවුණාම මට හිතුනේ හරිම ශූන්‍ය හැඟීමක්. තෘප්තියක් නෙවේ. මට මැවිලා පෙනුනේ එදා පොඩි අයියයි, අයියයි එකට හිටපු විදිය. පොඩි අයියා එක්ක එකට ඉන්න හැමවාරෙකම අවසානයේ මගේ හිතට ඒක එන එක වළක්වගන්න මට බැරිවුණා. ඊට මාස තුනකට විතර පස්සේ මං දැනගත්තේ මං ප්‍රෙග්නන්ට් කියලා. එවෙලේ මගේ හිතට ආවේ "රාහුලෝ ජාතෝ, බන්ධන ජාතං..." (රාහුලයෙක් උපන්නා, බැඳීමක් ඇතිවුණා...) කියලා සිද්ධාර්ථ කුමාරයා කියපු වචන. ගිහිගෙයින් නික්මෙන්න කිසිම අදහසක් නොතිබ්බත් බැඳීම් එක්ක බැට කාපු මට එහෙම හිතෙන්නැති.

අපි ජීවත්වෙන්නේ ආදරේ පවා වර්ග කරපු ලෝකෙක. ඒක එහෙම නිසා තමයි අපි මිනිස්සුන්ව වර්ගීකරණය කරන්නේ. එක අතකට වර්ගීකරණයක් නැතුව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න පුලුවන් නම් මං වගේ කවුරුවත් ජීවිතේ මෙහෙම තැනකදි ඇදගෙන වැටෙන එකක් නෑ. මිහී වගේ කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙන එකක් නෑ. ඒ සේරටම වඩා මගේ අයියයි, පොඩි අයියයි වගේ හැඟීම් මරාගෙන ජීවත්වෙන එකක් නෑ. එක අතකට දෛවය කියන්නෙත් මාර දෙයක් නේද..?

අපේ ඉගෙනීම කියන දේ කොච්චර පටු පරාසයකද තියෙන්නේ කියලා මං දැනගත්තේ මගේ ජීවිතේට ආව ප්‍රශ්න එක්ක. අපි හිතනවා කැම්පස් ගිහින්, පෝස්ට් ග්‍රැජුවට් එකක් කළාම අපි පට්ට එඩියුකේටඩ් කියලා. ඒත් රටේ ලෝකේ ගැන ඉගෙනගන්න අපිට තියන එඩියුකේෂන් සිස්ටම් එක මදි කියලා මට හිතුනේ. සමහරවිට අපේ කාලෙට වඩා දැන් ඉන්න ළමයි දියුණු ඇති. අපිට ෆෝන්, ඉන්ටර්නෙට් වගේ දේවල් ෆමිලියර් වෙන්න කාලයක් ගියානේ. අපේ නොදැනුවත්කමට ඒකත් හේතුවක් වෙන්නැති.

පොඩි අයියා වගේම අයියා ගැනත් කාලයත් එක්ක මට තිබ්බ අප්පිරියාව නැත්තටම නැති වුණත් කලකිරීම අඩුවුණේ නෑ. පොඩි අයියා හොඳ හස්බන්ඩ් කෙනෙක්. පුතා හම්බෙන්න ඉද්දි වගේම හම්බුණාට පස්සෙත් එයා මං ගැන ගොඩක් කෙයාර් කළා. පුතාගේ නැපීස් හෝදන එකේ ඉඳන් මගේ වැඩ වෙනකන් ඒ හැමදේම පොඩි අයියා කළේ කිසිම කම්ප්ලේන් එකක් නැතුවමයි. පුතා හම්බුණ මුල් කාලේ ඔෆිස් ඇරිලා ආවම එයා මාව ෆ්‍රී කරලා පුතා ගැන බැලුවා. රෑකට වුණත් ඇහැරගෙන පුතාව ෆීඩ් කරද්දි පොඩි අයියා අනික් පැත්ත හැරිලා නිදාගන්න හස්බන්ඩ් කෙනෙක් වුණේ නෑ. එයත් මාත් එක්කම නිදිමැරුවා. කට්ට කෑවා. මගේ යාලුවෝ එයාලගේ හස්බන්ඩ් ලා ගැන කියලා කම්ප්ලේන් කරද්දි ඇත්තටම මට කියන්න එහෙම කිසිම දෙයක් තිබ්බේ නෑ. හස්බන්ඩ් කෙනෙක් විදියට පොඩි අයියා මාරම පර්ෆෙක්ට්.

අපේ අයියා වුණත් එහෙමයි. මං වගේම මිහීටත් එයාගේ හස්බන්ඩ් ගෙන් ඒ සැලකිලි අඩු නැතුව හම්බුණා. අයියාවත්, පොඩි අයියාවත් කවදාවත් දරුවන්ගේ වැඩවලදි, ගෙදර වැඩවලදි එයාලගේ වගකීම් පැහැරහැරියේ නෑ. ඇත්තටම ඒ දෙන්නා කෙල්ලෝ විශ් කරන ජාතියේ හස්බන්ඩ් ලා. නිවාඩු දවසට ගෙදර වැඩියෙන්ම වැඩ කළේ ඒ දෙන්නා. මොකද මිහී වගේම මමත් ජොබ්ස් කරන අය නිසා අපි දෙන්නම සතියේ දවස් පහේ බබාලත් එක්ක කළේ සුළු පටු යුද්ධයක් නෙවේ. අම්මායි, අප්පච්චියි හිටියත් එයාලා දවල් දවසේ පුතාලා දෙන්නා එක්ක ඔට්ටු වෙන නිසා ගෙදර අනික් හැමවැඩේම අපේ පිට පටවගන්න වුණා. මට පුතා හම්බුණාට පස්සේ නැන්දා, පොඩි අයියාගේ අම්මා අපේ ගෙදර ආවේ අපේ අම්මාට පුතාලා දෙන්නම බලාගන්න අමාරු නිසා. ඒ වෙනකොට එයාලා සේරම රිටයර් වෙලා හිටියේ. හස්බන්ඩ් ලාගේ උදව් තිබ්බ නිසා අපිට ඇත්තටම ලොකු අමාරුවක් වුණෙත් නෑ වැඩවලදි. ඒ අතින් නම් අපි ඇත්තටම වාසනාවන්තයි.

අයියයි, පොඩි අයියයි එහෙම උදව් කරන එක, වගකීම් ගන්න එක මට පුදුමයක් නොවුණේ අප්පච්චි වගේම මාමාත් එහෙම අය කියලා මං පොඩි කාලේ ඉඳන් දැකපු නිසා. කොහොමත් ඒ දෙන්නා අපිව මැරි කරන්න කලින් වුණත් වෙන කොල්ලෝ වගේ නෙවේ ගෙදර වැඩ කළා සෑහෙන්න. එහෙම නැතුව එයාලගේ වැරදි වහගන්න එයාලා එහෙම හැසිරුනා නම් නෙවෙයි.

උඩ තට්ටුවයි, යට තට්ටුවයි ගෙවල් දෙකක් වුණාට අපි ඉව්වේ කරේ එකට. ප්‍රශ්න නොතිබුණා කියන්නත් බැරි වුණත් ලොකුවට ඇවිලිලා යන, තරහා වෙලා ඉන්න තරම් ප්‍රශ්න තිබ්බෙත් නෑ. ඒත් හිතේ තිබ්බ අවුල කාලෙත් එක්ක සද්ද නැතුවම ඇවිලි ඇවිලී තිබ්බා මිසක් නිවුණෙත් නෑ.

මිහී හැමදේම දැනගත්තට පස්සේ මගේ හිතට දැනුනේ සහනයක්. හරියට මගේ උදව්වට ගෙදරම තව කෙනෙක් ඉන්නවා වගේ ෆීලින් එකක් මට දැනුණේ. ශෙනායා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාවට යන්න නිසා ලංකාවෙන් ගියාට පස්සේ මට දැනුනේ මං වෙනුවෙන් කවුරුවත් නෑ වගේ ෆීලින් එකක්. මට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. මට හිතෙන දේවල්, දැනෙන දේවල් ශෙයාර් කරගන්න කෙනෙක් හිටියේ නෑ. ඒත් මිහී හැමදේම දැනගත්තම මට ජීවිතේ පහසුයි වගේ දැනුනා.

"චූටි... මේ හැමදේම දැනගෙන ඔයා කොහොමද මෙච්චර කල් පොඩි අයියා එක්ක ජීවත් උනේ..?"

මිහී ඇහුවේ එයා හැමදේම අපි දෙන්නාගේ තීරණාත්මක කතාබහක් අතරෙදි.

"මං හැමදේම දැනගන්න කොට ආපහු හැරෙන්න බැරි දුරක් මං එයා එක්ක ගිහින් මිහී... අනික මම ආදරේ කරපු එකම පිරිමියා පොඩි අයියා. මගේ ලෝකේ ඒ තැන වෙන කෙනෙක්ට දෙන්න මට හිත හදාගන්න බැරි උනා..."

මිහී හීල්ලුවා.

"මට නෙහාර එක්ක කේන්තියි... පුතා විතරක් නෙවේ දැන් මං ආයේ ප්‍රෙග්නන්ට්නේ... අපිට මොනා උනත් දරුවන්ට තාත්තලා නැති කරන්නේ කොහොමද චූටි..?"

මිහී ඇහුව ප්‍රශ්නෙදි අම්මා කෙනෙක් විදියට මාත් හිරවුණා. අපි ජීවත්වෙන්නේ ලංකාවේ. අපේ සමාජේ ඇතුලේ තාත්තෙක් නැතුව ළමයෙක් නඩත්තු කරනවා කියන්නේ ෆයිනෑන්ෂියලි අමාරු දෙයක් කියලා මං කියන්නේ නෑ. ඒත් සමාජය දිහා බැලුවම මිනිස්සුන්ගේ කෙළවරක් නැති ප්‍රශ්න ගොඩකට උත්තර දෙන තැනට මගේ දරුවව මං පත් කරන්න ඕනෙද කියන ටිපිකල් ප්‍රශ්නේ ගාව මං වගේම මිහීත් හිරවුණා.

"අපි වෙන තැනකට යමුද චූටි..?"

දවසක් පොඩි අයියා ඇහුවේ ඔය අතරේ.

"ඒ ඇයි..?"

පොඩි අයියා දිහා බලන ගමන් මං ඇහුවා.

"ඔයාට තාම මාව ශුවර් නැති නිසා... අකමැත්තෙන් උනත් පුතා නිසා දැන් අපි හොඳින් ඉන්න ඕනේ චූටි..."

"ඔයා මගෙත් එක්ක ඉන්නේ අකමැත්තෙන්ද පොඩි අයියේ..?"

මං ඇහුවම පොඩි අයියා හිනාවුණා.

"මං ඔයාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් ඔයා මගෙන් ඇහුවේ... ඔයා දන්නවා චූටි එහෙම අකමැත්තක් තිබ්බා නම් මං කීයටවත් ඔයාව බඳින්නෑ කියලා..."

"ඔයා මාව බැන්දේ ඔප්ෂන් එකක් විදියට..."

"නෑ ඒක ඔප්ෂන් එකක් නෙවේ..."

"නැත්තේ නෑ... ඔයාට කාලයක් මාව බඳින්න උවමනාවක් තිබ්බේ නෑ..."

පොඩි අයියා හීල්ලුව සද්දේ හරි බරට මට ඇහුනා.

"වෙන්නැති... ඒත් නෙහාරයි, මායි අපේ ජීවිත වෙන වෙනම ගෙනියන්න පටන්ගත්තට පස්සේ මට ඔයාව බඳින්න ඕනේ උනා... මට ඔයාව බඳින්න උවමනාවක් තිබ්බේ නැත්නම් මං කීයටවත් ඔයාව බඳින්නෑ චූටි... ඒ වගේම මට ඔයා ගැන ෆීලින් එකක් නොතිබ්බා නම් මං ඔයාගේ කෙස් ගහකටවත් අත තියන්නෑ... ඔයා හිතනවට වඩා මං හරිම හිතුවක්කාර, මුරණ්ඩු කොල්ලෙක්. ඒ වගේම තමා මට දෙයක් සෙට් වෙන්නේ නැත්නම් මං ඒ දේවල් ඈත් කරලා දානවා. මගේ හිතට සෙට් නැති මිනිස්සුන්ව ළං දුක් විඳින්න මං කැමති නෑ... ඔයා තේරුම් නොගත්ත දේ ඒක... මං ඔයාට ආදරෙයි. ඒ නිසයි ඔයාව බැන්දේ. ඔයා එක්ක දරුවෙක් හැදුවේ... ඔයා කියන එක හරි කියමුකෝ චූටි. ඒ කියන්නේ මට නෙහාව මැරි කරන්න බැරි උන නිසාමයි මං ඔයාව බැන්දේ කියලා හිතුවත් ඔයා ඔප්ෂන් එකක් නෙවේ, එකම ඔප්ෂන් එක නෙවේද..? එහෙම නෙවේද එකට කියන්න ඕනේ..?"

වෙලාවකට පොඩි අයියාගේ හරබර ටෝක්ස් මට ඇත්තටම තේරුණේ නෑ. එයාගේ එහෙම පැත්තක් මං එයාව බඳිනකන් දැකලා තිබ්බෙත් නෑ. ඒත් එයා ඕනෙවටත් වඩා රියැලිස්ටික් මිනිහෙක් කියලා මට තේරිලා තිබ්බේ ඒ වෙද්දි.

"මට ඕනේ නෑ ඔයාගේ එකම එක ඔප්ෂන් එක වෙන්නවත්... මොකද මං ඔයාගේ වයිෆ්... දරුවාගේ අම්මා..."

මං කිව්වේ හූල්ලන ගමන්.

"එහෙනම් ඒ විකාර ඔලුවෙන් අයින් කරගන්න... පොඩි දේටත් රණ්ඩු වෙන පොඩි උන් දෙන්නෙක් නෙවේ චූටි දැන් අපි දෙන්නා... දරුවෙක් ඉන්න අම්මෙකුයි, තාත්තෙකුයි. ඒක අමතක කරන්නෙපා... මං ඒ වගකීම ගන්නවා නම් ඔයත් ඒ වගකීම ගන්න... මට ඕනේ මගේ පුතාව මට වඩා හොඳ කෙනෙක් කරන්න..."

මට හිනාගියා.

"ඒ කියන්නේ පුතා ඔයා වගේ bisexual කෙනෙක් නොවෙන්න කියලද ඔයා කියන්නේ..?"

ඊළඟට හිනාවුණේ පොඩි අයියා.

"පුතා ජීවත්වෙන්නේ ලංකාවේ නම් මං කැමතියි පුතා straight කෙනෙක් වෙනවට. මොකද අපේ සමාජේ එහෙම නොවෙන අයට සලකන විදිය මං හොඳට දන්නවා... එහෙම අයට කියන වචනෙත් මං අහලා තියනවා... ඒත් පුතා straight වුණත්, bisexual වුණත්, gay වුණත් ඒ මගේ පුතා... මං ෆේස් කරපු නරක දේවල්වලට එයා මූණදෙන්න ඕනේ නෑ... මට ඕනේ මගේ පුතාව straight කෙනෙක් කරන්න නෙවේ. එයාගේ sexual orientation එක එයාම හොයාගනී දවසක... හැබැයි දවසක එයත් මං වගේ වුණොත් එදාට එයාට සමාජෙට බම්බු ගහගන්න කියලා එයාගේ හිතට දැනෙන තැන නතරවෙන්න තරම් කන්ෆිඩන්ඩ් එකක් තිබ්බොත් මට ඒ ඇති හොඳටම... අනික එයාගේ තාත්තා එයා එක්ක ඉන්නවා එයා මොන පැත්තකට ගියත්..."

පොඩි අයියා හරි බරට හීල්ලුවා.

"මං වෙන ගෙදරකට යමු කිව්වේ ඔයා හිතේ සැනසීමෙන් ජීවත්වෙන්න ඕනේ නිසා... ඔයා කොහොමත් ඕවර්තින්කර් කෙනෙක් චූටි. පොඩි කාලේ ඉඳන් ඒක මං දන්න නිසයි ඔයාට මං ගැන ඇත්ත කියන්න මට බය හිතුනෙත්. ඒ එක හේතුවක් විතරයි... මට දැන් ඕනේ ඔයා හිතේ සතුටින් ඉන්නවා බලන්න... ඒ නිසා මං කියපු එක ගැන හිතලා බලන්න..."

නිදාගෙන හිටපු පුතාගේ අතක් ඉඹපු පොඩි අයියා, මාව පුතා එක්ක කාමරේ දාලා යන්න ගියා. මං පොඩි අයියා කියපු දේවල් හිත හිත කාමරේට වෙලා හිටියා. ගෙදරින් යන එක ඔප්ෂන් එක කියලා මට හිතුනෙම නෑ. අනික අම්මායි, අප්පච්චියි ගෙවල් මෙහෙම හැදුවෙම අපි දෙන්නවම මෙහෙ තියාගන්න ඕනේ නිසා. අඩුම එයාලා ජීවත්වෙනකන්වත් අපි එයාලා කැමති වුණු විදියට ඉන්න ඕනේ කියලා මට හිතුනේ.

අයියාගෙයි, මිහීගෙයි දුවට මාසයක් විතර වෙද්දි මම ආයෙම ප්‍රෙග්නන්ට් වුණේ. ඒත් ඒ කාලේ වෙද්දි මං හිටියේ ලොකු ස්ට්‍රෙස් එකකින්. කොච්චර වුණත් මගේ හිතේ ලොකු බයක් තිබ්බා පොඩි අයියා මාව දාලා යයි කියලා. එයාට මාව එපා වෙයි කියලා බය හිතුනා. මං කියන්නේ නෑ එයාගේ අතින් මට එහෙම හිතෙන විදියේ දේවල් වුණා කියලා. ඒත් මට එහෙම බයක් තිබ්බා. මිහී ඒ වෙද්දි හිත හදාගෙන තිබ්බේ අයියා එක්ක දිගටම ඉන්නවා කියලා. ඒත් මට ඒ වෙනකනුත් පොඩි අයියා ගැන හිත එකලස් කරගන්න බැරිවුණා.

මං ඇත්තටම හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වුණාට දෙයක් වුණාම ඒ ගැන ඕනෙවටත් වඩා හිතන කෙනෙක්. පොඩි අයියා හරි. මං ස්ට්‍රෙස් වෙන්නේ මගේම හිතළු නිසා වුණත් මට ඒක නතර කරගන්න තේරුණේ නෑ. ආයේ ප්‍රෙග්නන්ට් වුණාම මට දැනුනු ඉන්සෙකියුරිටි ගතිය වැඩි වුණා. ඇත්තම කිව්වොත් පොඩි අයියා මං ගැන ඉස්සර වගේම කෙයාර් කළා. මට උදව් කළා. ඒත් මට ඒ හැමදේකම අවුලක් පේන්න ගත්තා. මට ඩිප්‍රෙෂන් හැදෙන්න හේතු ගොඩගැහෙන්න ඇත්තේ කාලෙක ඉඳන්. සමහරවිට ඒක මං තේරුම් නොගත්තට මුල ඉඳන් තියෙන්නත් ඇති.

කොහොම වුණත් ඒ කාලේ වෙච්ච දේවල් නිසා අන්තිමටම මට ඇබෝෂන් එකකට ෆේස් කරන්නත් වුණා. මොන දේ වුණත් පොඩි අයියා මගේ ළඟ හිටියා. මං කවුන්සිලින් ගියත් මට මගේ හිතේ තියන සමහර ප්‍රශ්නවලට උත්තර හම්බුණේ නෑ. ඇත්තටම ඒවා ප්‍රශ්නවලටත් වඩා කියන්න නොතේරෙන හිතළු කිව්වා නම් තමයි වැඩියෙන්ම හරි. පොඩි අයියා මගෙන් ඈත්වෙන්න කලින් මං එයාගෙන් ඈත්වෙන්න ඕනේ කියලා පවා මට හිතුනා. එයා මාව අතාරින එක මට දරාගන්න බෑ කියලමයි මට හිතුනේ. මිහී කිව්වෙම මං අවුල් වෙන්නේ මගේ හිතේ තියන සැකේ නිසා කියලා. මොනවා වුණත් මට කරන්න ඕනේ දෙයක් හිතාගන්න බැරුව හිටියේ.

පොඩි අයියා ඇබෝෂන් එක ගැන කවදාවත් කතා නොකළට එයා මටත් වඩා දුක් වුණා කියලා මට නොතේරුණා නෙවේ. මූණ බලන්නත් කලින් මාව දාලා ගිය ඒ කිරිකැටියා ගැන මං දුක්වෙද්දි පොඩි අයියා ඒ ගැන වගේම මං ගැනත් දුක් වුණා. ඒත් එයා ඒ ගැන මගෙත් එක්ක කතා කළේ නෑ. ඒකෙන් මට හිතුනෙම එයා ආයේ අයියා එක්ක එකතුවෙලා ඇති කියලමයි. අයියා එක්ක පොඩි අයියා කතා කරද්දිත් මට බයක් හිතුනේ ඒ නිසා.

ඇබෝෂන් එකෙන් පස්සේ පොඩි අයියා කතා කළේම වෙන ගෙදරකට යන්න. වතාවක් එයා අපේ අම්මලා එක්කත් ඒක ගැන කිව්වත් අම්මලා ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. හේතු නොදැන හිටියට මට ඩිප්‍රෙෂන් තියනවා කියලා අපේ අම්මලා දැනගෙන හිටියේ. මාමා හදිසියේම නැති වුණ නිසා පොඩි අයියා, නැන්දාව අපි ගාවම තියාගත්තේ ලොකු අයියාත් ලංකාවේ නැති නිසා තනියම ගමේ ගෙදර නැන්දව තියන්න බෑ කියලා. නැන්දා වුණත් වෙන ගෙදරකට යන්න එච්චර කැමති වුණේ නෑ.

පොත් කියවන්න, ෆිල්ම් බලන්න මං ගොඩක්ම පුරුදු වුණේ ඩිප්‍රෙෂන් වලින් පොඩ්ඩ පොඩ්ඩ මිදෙන්න ගත්තට පස්සේ. ඒකෙන් හිතට සැහැල්ලුවක් වගේම ජීවිතේ ගැනත් ගොඩක් දේවල් මං ඉගෙනගත්තා. සකූගේ කතා කියවන්න ගත්තේ මිහී කිව්වට පස්සේ. ඒත් ඒ හමුවීම මගේ කතාව අකුරු කරන්න හේතුවක් වෙයි කියලා නම් මං හිතුවේ නෑ මුලින්ම.

කාලයත් එක්ක මං පොඩි අයියා දිහා සැකයෙන් බලන එක අඩු කරලා තිබ්බේ. කොහොමත් මං හරි සරල, සැහැල්ලු කෙනෙක්. මැරි කළා, අම්මා කෙනෙක් වුණා කියලා මට මාව වෙනස් කරගන්න ඕනේ වුණේ නෑ. පොඩි අයියා වුණත් මගෙන් එහෙම මැචුවර්ඩ් ගෑනියෙක්ව හෙව්වේ නෑ. එයා කොහොමත් පොඩි කාලේ ඉඳලම මාව දැක්කේ ඒ විදියටම තමා.

පොඩි අයියා එක්ක පරණ දේවල් අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න ට්‍රයි කරන කාලේ තමා සකූගේ පොත් දෙක ගන්න මං මියුසියම් එකට ගියේ. එතකොට සකූ වැඩ කළේ එහෙ. සකූ මගෙත් එක්ක පළවෙනි වතාවෙන්ම ගොඩක් ෆිට් වුණ නිසා මං එයාට මගේ කතාව කිව්වා.

"ඔය ටොපික් එක ගැන කතා ගොඩක් මං අහලා තිබ්බට මං මේ වගේ කතාවක් අහපු මුල්ම පාර මේ..."

සකූ මගේ කතාවට කිව්වේ එහෙම. කතාවක් කරන බලාපොරොත්තුවෙන් නොවුණත් මං හැමදේම සකූට කිව්වේ හිත නිදහස් කරගන්න. ඇත්තටම මිහී එක්ක කොච්චර කතා කළත් මට එහෙම හිත නිදහස් වුණේ නෑ. මගේ වෙන යාලුවෙක් එක්ක මේ දේවල් කියන්න මට පුළුවන්කමක් තිබ්බෙත් නෑ.

"ඔයා ඒ කාලෙම ඒ දෙන්නා ගැන දැනගත්තා නම් මුලින්ම කරන්නේ මොකක්ද..?"

සකූ මගෙන් ඇහුවේ මගේ කතාව කිව්වට පස්සේ අපි හම්බුණු දවසක. මං ටිකක් කල්පනා කළා. ඇත්තටම එහෙම වුණා නම්...

"එහෙම උනා නම් මං අම්මාටයි, අප්පච්චිටයි කියනවා..."

මං ඇත්තම කිව්වා.

"එහෙම කිව්වා නම් ඔයාගේ අම්මලා, නැන්දලා ඒ දෙන්නට මොනා කියයිද..? මං කියන්නේ ඒ දෙන්නා gay කියලා දැනගත්තා නම් ඒ ගෙවල් දෙකේ වැඩිහිටියෝ මොන විදියේ ඇක්ෂන් එකක් ගනීද..?"

මට ඇත්තටම එහෙම එකක් හිතිලා තිබ්බේ නෑ.

"එහෙම උනා නම් එයාලා ඒ දෙන්නට එකතුවෙන්න ඉඩ දෙයිද..?"

සකූ ආයෙම ඇහුවා.

"නෑ කීයටවත් නෑ..."

මං කිව්වම සකූ හිනාවුණා. සකූ මට වඩා අවුරුදු කීපයක්ම බාල වුණත් මං සකූගෙන් දැක්කෙම ශෙනායාව. සමහරවිට එයා ඉස්සරහා මං මේ තරම් ඕපන් වෙන්නත් හේතුව ඒකම වෙන්නැති.

"එහෙනම් ඒ දෙන්නගේ පැත්තට පොයින්ට් එකක් එතනින් එකතුවෙනවා නේද..? සමහරවිට ඔයාලගේ අම්මලා, නැන්දලා ඕවා දැනගත්තා නම් අද ඒ දෙන්නා මීට වඩා විඳවන තැන්වල ඉඳීවි... එයාලා වරදක් කළත් අදටත් එයාලා එතන හිරවෙලා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..?"

සකූ කියපු දේ ගැන මං සෑහෙන්න හිතුවා. ඇත්ත... මටවත් ඒක පිළිගන්න බැරි නම් අම්මලා කොහොම ඒක තේරුම්ගන්නද..?

"සමාවදෙන්න ඕනේ තැනදි සමාවදෙන්න ඕනේ... අතාරින්න ඕනේ තැනදි අතාරින්න ඕනේ... දෙපැත්තටම නැතුව හිරවුණාම ඒක ලොකු ස්ට්‍රෙස් එකක් විතරයි අපිට ඉතුරු කරන්නේ... හැබැයි සමාව දෙන එක වගේම අතාරින එකත් තමන්ගෙම තීරණයක් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ තමන්ට විතරයි..."

සකූ එක තැනකදි මට ඒ කියපු දේ මගේ හිතට වැදුනා. සෑහෙන්න කල්පනා කරලා මං තීරණය කළා ඉන්න. ඒ කියන්නේ පොඩි අයියා එක්ක ඉන්න. දෙපැත්තට වැනි වැනි ඉන්න නෙවේ, එයාගේ අතීතෙට සමාව දීලා ඉස්සරහා ගැන, පුතා ගැන හිතලා ජීවත්වෙන්න. ඒත් ඒකෙන් මං දුර්වල කෙනෙක් කියලා කෙනෙක් හිතයි කියලා මට බය හිතුනා. මට බයගුල්ලෙක් වෙන්න ඕනේ වුණේ නෑ. ඒක කිව්වම තමා සකූ අර උඩ කිව්ව මැසේජ් එක මට එව්වේ.

මේක කතාවක් කරන්න මට හිතුනේ මං ආයෙම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ. අකමැත්තෙන් වුණත් පොඩි අයියා කැමති වුණේ මං ගැන වගේම, බබා ගැනත් හිතලා කියලා මට තේරුණා. එයා පිට අය එක්ක කම්ෆටබල් වෙන කෙනෙක් නෙවේ. එයා එයාගේ පැත්ත වෙනුවෙන් කතා කරයි කියලවත් මං හිතුවේ නෑ. ඒත් එහෙම කළාට පස්සේ ඇයි එහෙම කතා කළේ කියලා ඇහුවම එයා කිව්වේ;

"ඔයා වෙනුවෙන් මට මොනා හරි දෙයක් කරන්න ඕනේ උනා... සමහරවිට මේ ඒක වෙන්නැති කියලා..."

මේ කතාව ඇතුලේ ඇත්තටම මට කියන්න ඕනේ කළේ කෙල්ලෙක් වුණාම කොච්චර දැනුවත්භාවයක් තියෙන්න ඕනෙද කියන එක ඇත්තටම. එහෙම නැතුව homosexual කතාවක් කියන්න මට ඕනේ වුණේ නෑ. ඇත්තටම සමාජයේ එහෙම පැත්තක් ගැන මං දැනගෙන හිටියා නම් මට මේක මීට වඩා පහසුවෙන්න තිබ්බා. මිහීටත් එහෙමයි. අපි දෙන්නා අසරණ වුණේ ලෝකේ ගැන නොදැන හිටපු නිසා. අපේ පාට්නර්ස් ලට අපි එක්ක ඕපන් වෙන්න බැරිවුණේ ලෝකේ ගැන අපි දැනගෙන නොහිටපු නිසා කියල මට අද හිතෙනවා. සමහරවිට මිහීත් එහෙම හිතනවා ඇති.

කෙනෙක්ට මගෙයි, මිහීගෙයි තීරණ වැරදි ඇති. අපි ඉන්න ගත්ත තීරණය වැරදි ඇති. සමාවදුන්න එක වැරදි ඇති. ඒත් කොහොමද අපි කියන්නේ එයාලා සම්පූර්ණයෙන්ම වැරදියි කියලා..? අනික මේ ලෝකේ සර්වසම්පූර්ණ මිනිස්සු නෑනේ. මං හිතනවා මං ගත්ත තීරණය හරි කියලා. මොකද මං මේ තීරණය ගත්තේ රටට, ලෝකෙට බයේ නෙවේ, මට ඕනේ නිසා. මේ මගේ තීරණය නිසා.

කතාවේ අවසානය කියන්න කතාව පටන්ගත්ත සකූටම මං භාරදෙනවා.

✍🏼 සකුනි හතරසිංහ 

මතු සම්බන්ධයි........

Comments

Popular Posts