දෙමගක 🌈

(කෙටි නවකතාව - 09 කොටස)

-නෙහාර-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

මං ඉපදුණේ හැදුනේ වැඩුනේ ෆ්‍රේම් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එක්ක. මං කියලත් ෆ්‍රේම්ලස් එකෙක් නෙවේ. ඒත් මට ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්න බැරි තැනක් ආවා. අන්න එතන ඉඳන් මගේ ජීවිතේ අප්සයිඩ් ඩවුන් වුණා.

මං ඉගෙනගත්තේ කිංග්ස් එකේ. ලංකාවේ හොඳම බෝයිස් ස්කූල් එකක. කොළඹ පදිංචි වෙලා හිටපු නිසා ලේසියෙන්ම මාව ග්‍රේඩ් වන් වලින්ම කිංග්ස් එකට දාගත්තා. නංගි මට වඩා අවුරුදු තුනක් බාලයි. එයාව අපේ සිස්ටර් ස්කූල් එක ක්වීන්ස් එකට දැම්මා.

රමියා කියන්නේ අප්පච්චිගේ එකම අක්කාගේ පොඩි එකා. මගේ වයසේ. ඌ මට වඩා මාස තුනයි බාල. පොඩි කාලේ ඉඳන්ම ඌ මීටරේ. පොර ශිෂ්‍යත්වේ පාස්වෙලා අපේ ඉස්කෝලෙට ආවා හයට. වෙලාවට ඌයි මායි එකම පන්තියටත් වැටුණේ. ඉස්කෝලේ කොච්චර යාලුවො හිටියත් මගේ බෙස්ටා වුණේ රමියා. නෑකමත් ඒකට හේතු වෙන්නැති.

රමියා ආවට පස්සේ මගේ හැමදේම ඌ එක්ක බෙදාගන්න මට සිද්ධවුණේ අප්පච්චිගේ තීරණය ඒක නිසා. මුලින් නම් මං ඒකට කැමති වුණේ නෑ. මං පවුලේ එකම කොල්ලා විදියට භුක්ති විඳපු හැමදේම තව කොල්ලෙක් එක්ක බෙදාගන්න මගේ ළමා මනස ඉඩදුන්නෑ. අප්පච්චි එහෙම කළේ රමියාට අපේ ගෙදර පිට තැනක් වගේ නොදැනෙන්න. රමියා අපේ ගෙදරට ආවට පස්සේ මගේ රූම් එකට ඇඳන් දෙකක් දාලා ඒක දෙකට බෙදුවා. මුලදි ඒක කොහොම දැනුනත් පස්සෙන්පහු රමියා ඉන්න එක මට ඕකේ වුණා. ඌත් මට හුරු වුණා මාත් ඌට හුරු වුණා. අපි දෙන්නගේ කින්ඩම් එක තමා අපේ රූම් එක. රමියා මුලින්ම ක්‍රිකට් ගහන්න ගියෙත් මං නිසා. ලොකු වෙනකොට ඌ ස්කූල් ටීම් එකට නැතුවම බැරි බෝලර් කෙනෙක් වුණා. මං හිටියේ බැටින් සයිඩ් එකට. අදටත් මං තියපු ස්කූල් රෙකෝර්ඩ්ස් තියනවා කඩලා නැති. රමියා මට වඩා බ්‍රයිටා නිසා ඌ මාව ස්ටඩීස් පැත්තෙන් ඇදගෙන ගියා. මොකද අපේ අම්මයි, අප්පච්චියි කැම්පස් ලව් එකක් නිසා ස්ටඩීස් වලට අපේ ගෙදර ලොකු තැනක් දුන්නා.

අපි දෙන්නා ගෙදර එක රූම් එකේ ඉන්න සීන් එක ඉස්කෝලේ සෙට් එකට මාට්ටුවෙලා අපිව gay couple එකක් විදියට හංවඩු ගැහුවා කාලයක්ම. Gay තියා ඒ කාලේ ක්‍රශ් එකක්වත් තිබ්බේ නෑ. ඒ නිසා ඒ කාලේ අපි gay කිව්ව උන් එක්ක අපිට තිබ්බේ තරහක්. මං මේ කියන්නේ කොට කලිසම් අඳින කාලේ ගැන.

ඊළඟට කියන්නම් මගේ කෙල්ල ගැන. කෙල්ල කියන්නේ කොක්ක නෙවේ. මගේ නංගි. අමන්දා. අම්මලාට චූටි මැණිකේ. අපිට චූටි. බෙලෙක්ක කටක් තිබ්බට ඒ තමයි මගේ පණ. මගේ සුරංගනාවි. මට දැන් අවුරුදු හතළිහකට ඔන්න මෙන්න තියලත් අදටත් ඒකි මගේ කෙල්ල. ඒ කාලේ කොල්ලෝ පිස්සු වට්ටපු ඒත් අයියලා දෙන්නෙක් ගාර්ඩ් කරපු නිසා ළංවෙන්න බැරිවෙච්ච කෙල්ල. ඕකි හින්දා මායි රමියයි කාපු කටු දන්නේ අපි දෙන්නා විතරයි. මැස්සෙක්ටවත් වහන්න දුන්නෑ. ඒ තරම් පරිස්සම් කළා. ඇස් මානෙන් එහා ඒකිව යවන්න බැරි තරම් ඒකි ලස්සනයි. ඉතිං පරිස්සම් නොකර කොහොමද..?

ඒකට තව හේතුවක් තිබ්බා. රමියා යන්තම් දැලි රැවුල එන්නත් කලින් ඉඳන්ම අපේ එකී ගැන හෝප්ස් තියන් හිටියේ. ඒත් ඕනෙවට වඩා ඒකට උඩගෙඩි දෙන්න මං කැමති වුණේ නැත්තේ කෙල්ල ටිකක් ලොකු වෙනකන් ඒකිට ඒකිගේ නිදහස දෙන්න ඕනේ නිසා. අම්මලා ඒකිට දසපනත දාලා හිරකරලා තිබ්බේ. මටම තේරිලා තිබ්බේ මගේ වැඩි පරිස්සමෙනුත් ඒකි ලිමිට් වෙනවා කියලා. ඒ නිසා කෙල්ල ඒලෙවල් කරනකන් ඉවසලා හිටහන් කියලා මං රමියට කිව්වේ ඒකිත් ඇටෙන් පොත්තෙන් බේරෙද්දි රමියා දිහා අමුතු ලයින් එකකින් බලනවා කියලා මට මීටර් වුණු නිසා. රමියා හැන්ඩියා. කෙල්ලෝ ඌට මැරෙන්න හදනවා. උගේ පොඩි නළු ලයින් එකකුත් තිබ්බා. අපේ එකී වහවැටෙන එක අහන්නත් දෙයක්ද ඉතිං. තුන්තිස් පැයේම රමියා ඇස් ඉස්සරහා ඉද්දි ඒකිගේ හඳුන්පොත කීන් ගාන්නැති.

මට තිලක්ෂාව සෙට් වුණේ ඕලෙවල් ක්ලාස්වලදි. ඒ කාලේ මොන ලබ්බ කළත් හිතන්නේ "අම්මෝ මං මේකිට බොක්කෙන්ම ලව්..." කියලනේ. ඉතිං මාත් පණදාගෙන ලව් කියලා එකක් කළා. ලව් කළාට ඒකිට මං කිස් එකක්වත් දීලා නෑ ඇත්තම කිව්වොත්. එකපාරක් දෙකක් අතින් අල්ලලා ඇති. ඒ කාලේ අපි හරි ලැජ්ජා බයට හැදුණු කොල්ලෝ. කොහොමහරි ඒකි ඕලෙවල් වලට මාස තුන, හතරක් තියලා මට බායි කියලා අපේ ඉස්කෝලෙම ඒලෙවල් ක්ලාස් එකේ අයියෙක්ට හායි ගෑවා. අරූට ගහන්නයැ. ඒකිමනේ එල්ලිලා ගිහින් තිබ්බේ මාව එපාම කියලා. ඒත් හිත හදාගන්න ලේසි වුණේ නෑ. රමියා නොහිටියා නම් අම්මපා ගොන්කමට මං මොනා හරි කරගෙන. ඒ තරම් සූකිරි මොළයක් මට ඒ කාලේ තිබ්බේ. මතක් වෙද්දිත් ලැජ්ජයි දැන්. හැබැයි මං කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා කියලා අප්පච්චි දන්නවා නම් මාව දඬුකඳේ ගහනවා කියලා බුදු ශුවර්. පස්සේ ඒලෙවල් කාලේ ඒකි මගෙත් එක්ක ආයේ පැච්-අප් වෙන්නත් ඇහුවා. ඒත් ඒ වෙද්දි මගේ ජීවිතේ සෑහෙන්න වෙනස්වෙලා. අනික එක පාරක් කරපුවා ආයේ ඕනේ නෑ කියන ලයින් එකත් හිතේ වැඩ කළා.

දැන් එන්නම් ඔයාලා බලන් ඉන්න කෑල්ලට. ඔයාලා මෙතෙක් කියෙව්ව කතාවේ මම දුෂ්ටයා වුණ තැනට.

අපේ කින්ඩම් එකට අපේ මව්බිසව වැඩිය ඔලුව දාන්න ආවේ නැති නිසා අපි දෙන්නා ඒකේ පාඩුවේ හිටියා. ඉඳලා හිටලා දුමක් දාන්න, බියර් එකක් ගහන්න, වැලක් බලන්න වගේ ටොයිං ටොයිං වැඩ ඒ කාලේ ගින්නක් නැතුව කළා ඒ නිසා. නංගි වුණත් අපේ රූම් එක අස්සේ රිංගන්න එන්නෑ. තිලක්ෂාගේ සීන් එකත් වෙලා හාට්බ්‍රෝකන් මයින්ඩ්සෙට් එකක ඉන්න වෙලාවක තමා රමියවයි, මාවයි අවුලපු කිසින් සීන් එක සිද්ධ වුණේ. ඒක නිකං ටෙස්ටින් එකක්. ඒ කාලේ වැල බලද්දි gay, mmf threesome වගේ ඒවා බලලා තමා ඕක ට්‍රයි කරන්න හිතුවේ. අපි දෙන්නා විතරක් නෙවේ ඕක බහුතරයක් කොල්ලෝ ට්‍රයි කරලා බලන වැඩක්. අපි දෙන්නා විතරක් -කේ අමාරුවට කරපු වැඩක් නෙවේ. සමහරුන්ට සෙට් වෙන්නෑ. ඒත් අපි දෙන්නට ඒක වර්ක්-අවුට් වුණා. මං දන්නෑ ඒ ඇයි කියලා. එච්චර කල් රමියා දිහා මං ලව් කියන ෆීලින් එකෙන් බලලා තිබ්බේ නෑ. තිලක්ෂා නිසා කෙල්ලෝ එපා වගේ ඩෙස්පරේට් මයින්ඩ් එකක හිටියෙත් නෑ. රමියාත් නංගිට ෆුල් බොක්කෙන් හිටියේ. අනික රමියා මගේ බොක්ක. ඌව මං ඇතිවෙන්න අමු හෙ-වෙන් දැකලා ඇති. ඌත් මාව එහෙමයි. ඒත් ඒ වෙලාවල ඌ ගැන එහෙම ෆීලින් එකක් ආවේ නෑ. සේරම පටන්ගත්තේ අර ටෙස්ටින් කිස් එකෙන්.

මං දන්නෑ ඒ කිස් එකට කලින් අපි දෙන්නා අතරේ තිබ්බ බොන්ඩ් එක friendship එකක්ද, brotherhood එකක්ද, bromance එකක්ද කියලා. රමියයි මායි අතරේ තිබ්බ ඒ සම්බන්ධේ විස්තර කරන්න අදටත් මට වචන නෑ. ඒක pletonic relationship එකක්. ආදරයක් තරම් දුර නොගිය යාලුකමකට, සහෝදරකමකට එහා ගිය බැඳීමක්. හැබැයි අදටත් ඌ මගේ soul mate. නෑ... ඌ මගේ twin flame. මොක වුණත් ඒ කිස් එකෙන් ඒ හැමදේම ලව් එකක් වුණා. ටෙස්ටින් එක සීරියස් වුණා. ඒත් ඔයාලා හිතන්නෙපා කිස් කළා කිව්වට අපි දෙන්නා සෙක්ස් කළා කියලත් එකපාරටම. ආදරේ මුල් ස්ටෙප් එක සෙක්ස් නෙවේ. ඒ දෙක දෙකක්. මං ඕනේ තැනක දිවුරලා කියන්නම් රමියායි, මායි අතරේ මුලින්ම තිබ්බේ පියෝ ලව් එකක්. පොඩි ටච් එකකින්, කිස් එකකින් එහා නොගිය ෆීලින් එකක්.

අපි ඒලෙවල් කරන කාලේ නම් ඒක ටිකක් දුරදිග ගියා. මේ කතාව කියවන gay or bisexual කොල්ලොයි, bl වලට ඇඩික්ට් වෙච්ච කෙල්ලොයි නම් දන්නවා ඇතිනේ gay sex වල ඇතුළාන්තය. මේකේ ඕතර් කතාව ඇතුළේ සෙක්ස් ලියන්නෑ කියපු නිසයි, මට මගේ අතිශය පෞද්ගලික දේවල් පාවලා දෙන්න බැරි නිසයි මං ඒක මෙහෙම කියන්නම්. ඒ කාලේ රමියයි, මායි අතරේ තිබ්බ සෙක්ෂුවල් ඉන්ට්‍රැක්ෂන් එක හරියට වර්ජින් කෙල්ලෙක් එක්ක කොල්ලෙක් සෙක්ස් කරනවා වගේ එකක්. දැන් තේරෙනවනේ..? එහෙම නැතුව ඔයාලා හිතන තරම් කොටු කොටු සීන් වුණේ නෑ.

රමියා මාව මාර විදියට කියෙව්වා. මං ගැන හොඳටම තේරුම්ගත්තා. කිසිතැනකදි මාව තනි කළේ නෑ. ඌ ළඟදි මට හිනාවෙන්න වගේම මට අඬන්නත් පුලුවන් වුණා. ඌ කවදාවත් මාව ජජ් කළේ නෑ. සැක කළේ නෑ. නීති දැම්මේ නෑ. මං ගැන විශ්වාස කළා. මට අවංක වුණා. බැඳීමක තියෙන්න ඕනේ හැමදේම උගෙන් මට අඩුවක් නැතිව තිබ්බා. අපේ අෆෙයාර් එක ඇතුළේ dominant or top කවුද, submissive or bottom කවුද වගේ ප්‍රශ්න තිබ්බේ නෑ. අපි දෙන්නම අපේ ආදරේ ඇතුලෙදි සමානයි. එකෙක් දුර්වල වෙනකොට අනිකා ශක්තිමත්ව හිටියා. කිසිම ජෙලසි එකක් නැතුව අනික් එකාවත් ඇදගෙන ගමන ගියා.

ඒ කොච්චර වුණත් අපි දෙන්නා ලවර්ස්ලා කියලා ලෝකෙට කියන්න අපි බයවුණා. එක රූම් එකේ අපි දෙන්නා ඉන්නේ කියලා දැනගෙන අපේ උන් අච්චර කතා කිව්ව නම් අපි ඇත්තටම gay කියලා දැනගත්තම මොනා නොකියයිද කියල අපි හිතුවේ. රමියා වගේම මාත් ලෝකෙට, සමාජෙට බයවුණා. මේ කතාවෙන් කියන්නේ අද ඉන්න අවුරුදු තිස් ගාණක පිරිමි දෙන්නා ගැන නෙවේ. මේ කතාවෙන් කියන්නේ මීට අවුරුදු පහළොවකට, විස්සකට විතර එහා හිටපු අවුරුදු දහඅටක, විස්සක පොඩි කොල්ලෝ දෙන්නෙක් ගැන. LGBTQ තියා gay හෝ lesbian කියන වචනවත් හරියට ෆමිලියර් නැති මිනිස්සු බහුතරයක් හිටපු කාලෙක සමාජ අත්දැකීම් නැති, සංස්කෘතිය අස්සේ හිරවුණු කොල්ලෝ දෙන්නෙක් ගැන. Homosexual කිව්වම රටේ ලෝකේ තියන ජරාම වචනවලින් එක්ස්ප්ලනේෂන්ස් දීපු කාලෙක ජීවත්වුණු කොල්ලෝ දෙන්නෙක් ගැන. අනික අවුරුදු විස්සක එකෙක් තරම් අපි ඒ කාලේ අප්ඩේට් නෑ. බට්න් ෆෝන් මිසක්, iPhone, android තිබ්බේ නෑ. "Google කරලා බලපන්, උඹලා මානසික ලෙඩ්ඩු නෙවේ ඕක සාමාන්‍ය දෙයක් බං..." කියලා කියන්න එකෙක් හිටියේ නෑ.

කොටින්ම මේ සීන් වුණේ මීට අවුරුදු පහළවකටත් එහා කාලේ. ඒ කාලේ gay හෝ lesbian කිව්වම ඒක මහා අපරාධයක් විදියට ගණන් ගත්තේ. ලංකාවේ නීතිය අනුවත් homosexual කියන්නේ අපරාධයක්.* එතකොට රමියාගෙයි, මගෙයි ආදරේ ලංකාවේ නීතියට, සංස්කෘතියට, සමාජයට අනුව අපරාධයක්. වරදක් නෙවේ අපරාධයක්. Crime එකක්. ලේසි නෑ කොල්ලෙක්ට තව කොල්ලෙක් එක්ක ආදරේ කරනවා කියන එකත්. අනික් අතට සදාචාරය, සාරධර්ම පැත්තෙන් homosexuality කියන එක වර්ග කරලා තිබ්බේ ජඩකමක්, ජුගුප්සාජනක දෙයක් කියලා. Homosexual මිනිස්සු කියන්නේ අසහනකාරයෝ, දකින දකින උන් එක්ක හැ-නෙන උන්, HIV වාහකයෝ, මානසික ලෙඩ්ඩු ඔය වගේ දෘෂ්ටි කෝණවලින් ඒ කලේ බැලුවේ. මේ කතාව කියවන අනූවට කලින් උපන්න අයට වගේම අනූව දශකයේ ඉපදුණු අයටත් මතක ඇති ඔය කියන කාලේ homosexual අය සමාජය ඉස්සරහා කොච්චර අපහාස, උපහාස වින්දද කියලා. 2000 න් පස්සේ ක්‍රවුඩ් එකට නම් ඒ කාලේ ගැන ගෙස් කරන්න පුලුවන් වෙයිද දන්නෑ. මෙහෙම හිතන්නකෝ. දැන් තරම්වත් ඕපන් මයින්ඩඩ් නැති අප්ඩේට් නැති හණමිටි අදහස් තිබ්බ මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් තිබ්බ කාලයක් ඒක. කොළඹට කිරි ගමට කැකිරි කිව්වට කොළඹ කියලත් එහෙමට ලකයක් තිබ්බේ නෑ. ලංකාවෙම ඔලු වැඩිහරියක් වැහිලා තිබ්බේ අර කලින් කියපු ලොන්ත ලොජික්වලින්.

මං මේ කියන සීන් වුණේ අන්න ඒ කාලේ. සමලිංගිකයෝ සමාජෙට, සංස්කෘතියට බයේ එළිබැහැපු නැති කාලේ. අද වගේ ඒ වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන ක්‍රියාත්මක නොවුණු කාලේ. ඒ නිසා මේ කතාවේ මටයි, රමියාටයි ඇඟිල්ල දික් කරන්න කලින් ඒ කාලයට සාපේක්ෂව මේ කතාව ගැන හිතලා බලන්න. අද තියන තත්ත්වේ ගැන නෙවේ. අනික අපි දෙන්නා අතිශය සම්ප්‍රදායික පවුලක, ගෙවල්වලින් යැපුණු, අවුරුදු විස්සක පොඩි උන් දෙන්නෙක්. මං කියන්න හදන්නේ අපි හරි කියලා නෙවේ. ඇයි අපි වරදක් කරන තැනට පෙළඹුනේ කියන පොයින්ට් එක ගැන හිතන්න කියලා විතරයි. ඇයි අපි gay කියලා කියන්න බයවුණේ කියන එක ගැන මං මේ කියන්නේ.

ඒලෙවල් ඉවරවෙන කාලේ වෙද්දි රමියා අපේ එකී ගැන අදහස හිතින් අතාරිනවා කිව්වා. මට ඒ ගැන ගිල්ටි ෆීලින් එකක් ආවේ නෑ කියන්න බෑ. මමනේ උන් දෙන්නා මැද්දට ආවේ. ඒත් ඒ වෙද්දි මං එක හිතින් රමියට ලව්. රමියාත් මට ෆුල් සිරා. ඒත් මං තේරුම්ගත්තා රමියා කළේ මට ප්‍රයෝරිටි දීලා නංගි ගැන හිතේ තිබ්බ අයිඩියා එක යටපත් කරගත්ත එක කියලා. ඒකෙන් මං ඌට තවත් ආදරේ වුණා. ඒ වගේම මං ඌ ගැන දුක්වුණා.

කැම්පස් සිලෙක්ෂන් වලදි රමියා ඉන්ජිනියරින් අතෑරලා මගේ කෝර්ස් එකම දැම්මා. ඌ ගෙදරට කිව්වේ ඒක උගේ ෆියුචර් ප්ලෑන්ස් වෙනුවෙන් ඌ කරන වැඩක් කියලා. ඒත් උගේ අයියා, ලොකූ අපි දෙන්නා ගැන ඒ වෙද්දිත් ඉව අල්ල අල්ල හිටියේ කියලා අපි දැනගෙන හිටියේ නෑ. ඒලෙවල් ලියලා ගමේ ගිහින් ඉද්දි ලොකූ අපි දෙන්නා කිස් කර කර ඉද්දි අල්ලගත්තේ රමියාගේ කාමරේදි. ඌ රමියාට පෙරලගෙන ගැහුවා. මටත් කනට දෙපාරක්, තුන්පාරක් ගැහුවා. රමියාට ගහද්දි ඌව බේරගන්න ගිහිනුත් මට තව පාරවල් ටිකක් වැදුනා. හොඳ වෙලාවට එදා නැන්දයි, මාමයි ගෙදර හිටියේ නෑ.

"තොපි ටෙස්ටින් වලට ඕනේ මඟුලක් කරගත්තට මට කමක් නෑ. ඇයි යකෝ ලව් කරන්න තියාගත්තේ..? තොපි දෙන්නට එච්චරටම මෝල් අමාරුවද..? ගෙවල්වල මිනිස්සු දැනගත්තොත් හම ගහයි තොපි දෙන්නව... කැරි පොන්නයෝ... ඔලුවක් නැද්ද තොපි දෙන්නට..? තොපි කැම්පස් ගියේ අත උස්සලද..?"

අපි දෙන්නා එක්ක පොඩි කාලේ ඉඳන් එකටම හිටපු ලොකූත් ඒක දිහා බැලුවේ ඒ විදියට. ඌ මෙඩ්ඩෙක්. අපිට වඩා මෙහෙම දේවල් ගැන දන්න එකෙක්. ඌ එහෙම නම් අනික් අය ගැන කවර කතාද...

"පොඩී... තෝ හොඳ හිතින් චූටි මැණිකේ ගැන තියන අදහස අතෑරගනින්... ආයේ ඒ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවොත් උඹෙයි මගෙයි සහෝදරකමත් එතනින් ඉවරයි... රමිත් කියලා එකෙක් අපේ පවුලේ නෑ එහෙම උනොත්... ඒකිට තෝ වගේ කොල්ලෝ එක්ක හැමිනෙන සක්කිලියෝ ඕනේ නෑ හුත්තෝ...
නෙහා... තෝ අයියෙක්ද පකෝ..? ලැජ්ජ නැද්ද බොට නංගිට ලව් කරන එකා එක්ක හැමිනෙන්න..? අහගනින් තෝත් කන් දෙක ඇරගෙන... තෝ තොගෙ නංගිට ඇත්තටම ආදරෙයි නම් තොගේ මේ කොලු ගෑනිව ඒකිගෙන් ඈත් කරලා තියාගනින්... ආයෙ මං නොකිව්වා කියන්නෙපා...
ආයේ අහු උනොත් මරනවා තොපි දෙන්නම... සක්කිලි හැත්ත... ලැජ්ජයි යකෝ තොපි මගේ සහෝදරයෝ කියන්නත්... මීට හොඳයි තොපි දෙන්නා මළා නම්. දානයක් දීලා හිත හදාගන්නවා... නෙදකින්... තුහ්..."

ලොකූ අපි දෙන්නට තර්ජනය කළා. ලොකූ ගියාම රමියා බිම වැටුණු තැන ඉඳගෙනම ඉකිගගහා ඇඬුවා. මටවත් ඌව නවත්තන්න බැරිවුණා. මට එදා මුල්ම වතාවට තේරුණා ඌ නංගිට සිරාවටම ආදරෙයි කියන එක. ඌ ඇඬුවේ ලොකූ ගහපු එකට නෙවේ. ලොකූ ගහද්දි මං වගේ නෙවේ ඌ අතක් උස්සලා මුවාවෙන්නවත් හැදුවේ නෑ. ඌ ඇඬුවේ උගේ හිතේ නංගි ගැන තිබ්බ යටපත් කරගත්ත ආදරේ නිසා. ඌ ඇඬුවේ ඌට නැතිවුණ ආදරේ වෙනුවෙන්.

කැම්පස් යද්දි මායි, රමියායි තීරණේ කරලා හිටියේ කැම්පස් පාස්-අවුට් වෙලා ලංකාවෙන් යමු කියලා. Homosexuality ලීගලයිස් කරලා තියන රටකට. අපේ ආදරේ අපරාධයක් නොවෙන රටකට. සමාජෙන් හැංගිලා ඉන්න ඕනේ නැති රටකට. ඒත් ඒ හීන එහෙම්ම වළදාන්න වුණේ ලොකූ රට යන්න තීරණය කරපු එකත් එක්ක. ඌ යනවා කියන්නේ රමියාගේ පවුලේ වගකීම දරන්න වෙන්නේ රමියාට කියන එක. ඒ වගේම මගේ පවුලේ වගකීම තියෙන්නෙත් මට කියලා මටත් තේරුණේ ඒකෙන්. ඒ නිසා අපි දෙන්නා තීරණේ කළා ලංකාවේ ඉන්න.

බැඳීම් අපිව පට්ටෙටම අසරණ කරනවා කියලා අපි තේරුම්ගත්තේ ඒ කාලේ. අපි දෙන්නගෙම අම්මලා, අප්පච්චිලා අපිට දෙන්න පුලුවන් උපරිම සැප දීලා අපිව හැදුවා. අපිට කටක් ඇරලා මේන් කියලා කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ. එයාලගේ මුළු තරුණ කාලෙම අපි වෙනුවෙන් දියකරලා ඇරියා. අදට වඩා හොඳ හෙටක් අපිට දෙන්න එයාලා නැහුනා. එහෙව් අම්මලා, අප්පච්චිලාව මෙහෙ දාලා හැතැම්ම දාස් ගාණක් ඈතකට ගිහින් සතුටෙන් ඉන්න පුලුවන්කමක් නෑ කියලා දැනුනේ. අපිට බැරි කාලේ අපි ගොඩනැගෙනකන් එයාලා අපිව දරාගෙන හිටියා නම් එයාලට බැරි කාලේ නර්ස් කෙනෙක්ට භාරදීලා අත පිහදගෙන ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අවුරුදු විසිඑකක් වෙලත් අපි දෙන්නට ආවා. එයාලා අපේ කැතකුණු අතගාලා කරදඬු උස් කළාට අපෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නෑ තමා. ඒත් එයාලගේ අන්තිම කාලේ එයාලව තනියෙන් දාලා ඉන්න තරම් අපි ගුණමකු වෙන්නේ කොහොමද..? අපි අපිට ආදරෙයි වගේම තමා එයාලත් අඩු නැතුව අපිට ආදරේ දුන්නා. අපි ආදරේ කරන්න ඉගෙනගත්තේ එයාලගෙන්. එහෙව් අම්මලා, අප්පච්චිලා තනිකරලා දාලා යන්න අදටත් හිත් දෙන්නෑ. දැනුත් ඕනේ තරම් ජොබ් ඔපොචුනිටීස් තියාගෙන ලංකාවට වෙලා ඉන්නේ අන්න ඔය හැඟීම් හිතින් මැරිලා නැති නිසා. නැතුව මේ ලංකාව ගැන තියන දේශප්‍රේමයකට එහෙම නෙවේ.

අනික් පැත්තෙන් තව සීන් එකක් වුණා. කැම්පස් ගිහින් ටික කාලෙකින් අපිට සෙට් වුණ එළකිරි කෙල්ලෙක් ශෙනායා. Tomboy ටයිප්, හයි ප්‍රොෆයිල් කෙල්ලෙක්. බැච් එකේ උන් ඒකි එක්ක ෆිට් වුණේ නෑ ඒකි ධනපති පංතියේ කියලා. ගම්වලින් ආව බහුතරයක් හිටියේ අපි එක්ක. පොලිටික්ස් වලදි යූස් කරන සෝෂල් හයරාකීස් ජීවිතේ හැම ල-බටම ඔබ්බන්න යන ගොන්නු අස්සේ ඒ කෙල්ල නිකම්ම කොන් වුණා. අපි දෙන්නා පොඩ්ඩක් ෆිට් වුණේ ඒකි lesbian කියලත් කතාවක් ගිය නිසා. ඒක නම් ගියේ ඒකිගේ අවුට්-ලුක් එක නිසා. ඒත් ෆිට් වුණාම තමා දැනගත්තේ ඒකි ඇත්තටම lesbian කියලා. අපි දෙන්නටත් කපල් එක ගගා කෝචොක් කරපු උන් ශෙනා අපිට සෙට් වුණාම threesome කියලා කාර්ඩ් එකක් ගැහුවා. අපි දෙන්නා gay කියලා දැනගත්තම ශෙනා අපිට ගොඩක් ෆිට් වුණා. ශෙනාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වරංගාත් අපි එක්ක ෆිට් වුණා. වරංගා අපිට වඩා ටිකක් වැඩිමල් පට්ට ලස්සන කෙල්ලෙක්. ඒකි එතකොට ජොබ් එකක් කරනවා. කිංග්ස් එකේදි ලංකාවේ මහ පුටු රන් කරන උන්ගේ පුත්තුන්ගේ ඉඳන් මුඩුක්කුවල කොල්ලෝ වෙනකන් හැමඑකාම ආශ්‍රය කරලා පුරුදු අපිට ශෙනා හයි ප්‍රොෆයිල් කෙල්ලෙක් කියන එක නතින්.

ශෙනායි, වරංගායි එක්ක දවස් දෙකක ට්‍රිප් එකක් ගිය වෙලේක තමා අපේ ඉස්කෝලේ එකෙක් අපි දෙන්නව දැකලා තිබ්බේ. ඌ කෙල්ලෝ දෙන්නව දන්නැති නිසා අනික් උන්ට ගින්න දීලා තිබ්බේ අපි දෙන්නා විතරක් බීච් එකක ලව් කරනවා දැක්කා කියලා. සිරා සිද්ධිය නම් අපි එහෙම පබ්ලික් ප්ලේස්වල කවදාවත් රොමෑන්ටික් වෙන්න යන්නෑ. ශෙනාලවත් නෑ. අද කාලේ වගේ නෙවේ ඒ කාලේ gay හරි lesbian හරි ෆොටෝ ෂූට් එකක් එහෙම කළොත් ලංකාවෙන් භාගෙකට විතර හාට් ඇටෑක් ඒවි. අපිව අපාගත වේවි. ඒ නිසා අපි එහෙම බිහේව් කරලම නෑ. ඒත් අර චීත්තේ ගින්න දීලා තිබ්බේ එහෙම. ඒකෙන් අපි දෙන්නව සෑහෙන කාලයක් යනකන් අපේ උන් බයිට් කළා. අපි දෙන්නා හිටියේ එපා වෙලා. අපි gay කියන්න අරූ ඇදබාපු බේගලේ ඇර වෙන එවිඩන්ස් තිබ්බෙත් නෑ. ඒත් එහෙමයි කියලා අපේ උන් අපිට කරන්න තියන හැම අපහාසයක්ම නොකර හිටියෙත් නෑ. කොටින්ම ඉස්කෝලේ යන කාලෙවත් එහෙමටම වලිවලට නොගිය අපි දෙන්නා ස්කූල් ගෙට් ටුගෙදර් එකකදි අපිට අනං-මනං කියවපු එකෙක්ට ගැහුවත් එක්ක. ඒකෙන් අපි දෙන්නා හොඳටම තේරුම්ගත්තා අපි දෙන්නට ලංකාවේ නම් එකතුවෙන්න බෑ කියන එක. ඒ කාලේ අර්බන් යන්ග් ක්‍රවුඩ් එක එහෙම නම් අපිට කලින් ජෙනරේෂන්ස් ගැන කියන්න දෙයක් නෑනේ.

ලංකාවේ ඉන්න ගත්ත තීරණෙත් එක්ක අපි දෙන්නා තේරුම්ගත්තා දවසක අපිට වෙන්වෙන්නම වෙනවා කියන එකත්. රමියා කොහොමත් totally gay නෙවේ කියලා ඌ වගේම මාත් දැනගෙන හිටියා. ඌ bisexual නිසා ඌට කෙල්ලෙක්ව ඇප්‍රෝච් කරන්න බැරිකමක් තිබ්බේ නෑ. ඒ නිසා මමම ඌට කිව්වා නංගි ගැන ආයේ හිතලා බලපන් කියලා. ඌ නංගිට කොච්චර ආදරෙයිද කියලා හොඳටම දන්න එකා මං. ඒකිවත් ඒක දන්නෑ. සමහර Straight කොල්ලෝ කරන බලු වැඩ එක්ක එක්ක බැලුවම රමියා කියන්නේ බය නැතුව කෙල්ලෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් සුපිරි කොල්ලෙක්. දුමක් දැම්මට, ඉඳලා හිටලා මූඩියක් පාගගත්තට උගේ ගෑනු කේස්, ජඩ වැඩ, බලු වැඩ නෑ. ඒ නිසා නංගිට ඌට වඩා හොඳ එකෙක් මට හිතාගන්න බෑ. එකම පළුද්ද උගෙයි මගෙයි අෆෙයාර් එක. ඒකත් නවත්තන්න තීරණය කළානේ.

ඒ විදියට අපි අපේ අෆෙයාර් එක ඇතුලේ පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් වෙන්න ගත්තා. ස්පෙෂලි සෙක්ස් පැත්තෙන්. සෙක්ස්වලින් අපේ බොන්ඩ් එක ශාර්ප් වෙනවා කියලා අපි දැනගෙන හිටියේ. ඒ නිසා එතනින් ලිමිට් වුණා අපි ටික ටික හරි අමාරුවෙන්. රමියත් ආයේ නංගි ගැන හිතන්න ගත්තා.

නංගි ඒලෙවල් ඉවරවෙලා ගෙදර ඉන්න කාලේ තමා රමියා නංගිට ආදරෙයි කියලා තිබ්බේ. අපේ එකිත් අහන පරක්කුවෙන් මූට හේත්තු වෙලා. කපටි නරිච්චි මගේ. නංගිට ආදරෙයි කියපු දවසේ රෑ නංගිගේ රූම් එකට රමියා ගියේ කිස් එකකට එහා දෙයක් කරන්නෑ කියලා මට දහඅතේ පොරොන්දු වෙලා.

"උඹට අවුල්ද..?"

රමියා ආයේ රූම් එකට ආවම මගෙන් ඇහුවා. මට හීල්ලුනා.

"මේක තවත් දුර ගෙනියන්න බෑනේ බං... ඒ නිසා මෙහෙම ඉවරවෙන එක හොඳයි කියලා හිත හදාගමු..."

මං කිව්වා. රමියාත් හීල්ලුවා.

"මං චූටිට සිරාවටම ආදරෙයි... ඒත් උඹටත් ආදරෙයි..."

ඌ හිටියේ අතරමං වෙලා.

"උඹ තරම් නංගිට ආදරේ කරන එකෙක් මේ ලෝකේ නෑ බං... අපි හිමින් හිමින් අපේ හිත් හදාගමු... නංගිට වරදක් කරන්න මට බෑ..."

මං රමියව හග් කරන ගමන් කිව්වේ. ඌ පොඩි එකෙක් වගේ ඇඬුවා. මටත් ඇඬුනා. ආදරේ කියන්නේ මෙච්චර පේන් එකක් කියලා දන්නවා නම් මේ තරම් ලව් කරන්නෑ අම්මපා. එදා ඉඳන් අපි ලිමිට් වුණා. රමියා මට ආදරේ කළා. මාත් එහෙමයි. ඒත් අපි දෙන්නා අෆෙයාර් එක ඇතුලේ ලිමිට්ස් තියන් හිටියා. එහෙම ඇඩික්ටඩ් ලව් එකක් එකපාර හලන්න බෑ. ඒක කියවන අයට තේරෙයිද දන්නෑ. ශෙනාලා එක්ක අවුටින් ගියාම අපි වෙනදා වගේ රිලැක්ස් වෙලා හිටියා. ඒත් ඒ ගමන්වලදිත් අමාරුවෙන් හරි අපි ලිමිට්ස් මේන්ටේන් කළා. කලාතුරකින් බවුන්ඩ්‍රීස් ක්‍රොස් වෙච්ච තැනුත් තිබ්බා, නැත්තේ නෑ. ඒත් පුලුවන් තරම් අපි ට්‍රයි කළා. එකපාර මුකුත්ම කරන්න බෑනේ.

රමියා මගෙන් එකපාරටම අයින් නොවුණේ මං තනිවෙයි කියලා බයට. මං හිතුවේ මං gay කියලා. ඒත් මට රමියාට ඇර වෙන කොල්ලෙක් ගැන එහෙම ෆීලින් එකක් ආවෙත් නෑ. හුඟක් අය homosexual කිව්වම හිතෙන්නේ දකින දකින එකට ගහනවා කියලනේ. ඇත්ත නම් අපි එහෙම නෑ. අපිත් straight අය වගේම තමා. ලව් කළත් සෙක්ස් කළත් ඒ සේරම අපේ හිතට ගැලපෙන එකා එක්ක විතරයි. එකෙක් හිතේ ඉද්දි Henry Cavil ඇවිත් කතා කළත් බෑම තමා. අනික අපි gay කියලා කොල්ලෙක් දැක්ක ගමන් අපිට නගින්නෑ. ඒකත් බේස් වෙන්නේ ලව් එක්ක. අසහනකාරයෝ නම් homosexual අය අතරට වඩා ඉන්නේ straight උන් අතරේ. මං අමුවෙන්ම මේ ටික කිව්වේ තේරුම්ගන්න ලේසි වෙන්න. කොහොමහරි මට පාට්නර් කෙනෙක් නැති එක ගැන රමියා වොරි වුණා. ඌ කිව්වා මට අඩුම ගානේ fuck buddy කෙනෙක්ව හරි ටෙම්පරරි සෙට් කරගන්න කියලා. ඒත් ඒකටවත් මට හිත ගියේ නෑ.

ඒ කාලේ තමා මං මිහින්දිව දැක්කේ. මං මුලින් හිතුවේ මිහී කොළඹ කෙල්ලෙක් කියලා. සුදු, ලස්සන ෆිගර් එකක් තිබ්බ, දිග කොණ්ඩයක් තියන, අහිංසක පාට, එච්චරම උස නැති කෙල්ලෙක්. ඒත් මං පස්සේ දැනගත්තම එයා මොණරාගලටත් එහා පට්ට දුෂ්කර ගමකින් ඇවිත් තියෙන්නේ කියලා මං පුදුම වුණා. මිහීව මං මුලින්ම පෙන්නුවේ රමියාට.

"අර කෙල්ලව නම් සෙට් කරගන්න හිතෙනවා බං..."

මං කිව්වම රමියාත් සතුටු වුණා. අනික ඒ කෙල්ල නංගිලගේ බැච් එකේ. අපේ කෝර්ස් එකේමයි. ජුන්නන්ගෙන් තමා මං දැනගත්තේ ඒකි ටේකන් නෑ කියලා. අපේ එකීගේ ලයින් නිසා මිහී එක්ක කතා කරලා තිබ්බේ නෑ එක බැච් එකේ වුණාට. මිහීත් හිටියේ තනියම. රමියා තමා අපේ එකීව ශේප් කරලා මිහී එක්ක ෆිට් කෙරෙව්වේ. පස්සේ කෙල්ලෝ දෙන්නා සෑහෙන්න ෆිට් වුණා. පාඩම් කරන්න අපේ ගෙදරත් එක්ක ආවා. ඔය විදියට තමා මං මිහීව සෙට් කරගත්තේ.

කියන්න තියන වැදගත්ම දේ මිහී එක්ක සෙට් වුණාට පස්සේ මායි රමියයි සම්පූර්ණයෙන්ම බ්‍රේක්-අප් වුණා. එක පාර නෙවේ. ඒකට අපිට මාස දෙක තුනක් ගියා තමා. අපේ හිත්වල ආදරේ තිබ්බා. ඒත් අපි ෆිසිකල් රිලේෂන්ශිප් එක අතෑරලම දැම්මා. ආදරේ... ඒක මරන්න විදියක් අපි දැනගෙන හිටියේ නෑ. කිස් එකක්වත් නොදී හිටියත් ඒ ආදරේ මැරුණේ නෑ. ඒක තමයි කරුමේ කියන්නේ. අත පය කන්ට්‍රෝල් කළත් හිත කන්ට්‍රෝල් කරන්න පට්ට අමාරුයි. මං මේ කියන්නේ අපි දෙන්නා කෙල්ලෝ දෙන්නා එක්ක යාලුවුණාට පස්සේ I love you කියාගෙන දිවට දිව ගාගෙන හිටියා කියලා නෙවේ. අපි දෙන්නම දන්නවා දැන් අපි දෙන්නා අපේ නෙවේ කියලා. ඒත් අපි දෙන්නම දන්නවා අපි දෙන්නට අපි දෙන්නා ආදරෙයි කියලා. එහෙම ඉන්න වෙන එක මාර කරුමයක්. පිච්චෙනවා වගේ දෙයක්.

හැබැයි මං මිහීටත් පුදුම විදියට ආදරේ කළා. රමියාට තිබ්බ ආදරේට වඩා මිහීට තිබ්බ ආදරේ වෙනස්. මිහී මගේ ජීවිතේට ආවට පස්සේ මට තමා මට දැනුනේ මං ෆුල්ෆිල් කියලා. මිහී හරිම සොෆ්ට් කෙල්ලෙක්. මිහීගේ ආදරෙත් හරිම සොෆ්ට්. හාට් ටචින්. එයා මගේ ජීවිතේ මමවත් එච්චරකල් නොදැක්ක පැත්තක් ෆෝම් කළා. ඒ එක්කම රමියා එක්ක තිබ්බේ ඩීප් ලව් එකක්. ඒක හිතේ ගැඹුරුම තැනට යනකන් විහිදිලා ගියා වනස්පතියක් වගේ. ඒ එක්කම මිහීගේ ආදරෙත් ඒ ගහේ හැම අත්තක්, කොළයක්ම වහගෙන පැතිරුණු වැලක් වගේ මගේ හිත පුරා ගියා. මං ආතල් එකටවත් කෙල්ලෙක්ව කිස් කරලවත් තිබ්බේ නෑ මිහීව කිස් කරනකන්. මට කෙල්ලෝ ගැන සෙක්ෂුවල් ෆීලින්ස් තියනවා කියලා මං දැනගත්තේ මිහී මගේ ජීවිතේට ආවට පස්සේ.

මිහීව බැන්දට පස්සේ මං සෑහෙන දුරකට මිහීට ඇඩික්ට් වුණා. එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක්. මිහී කියන්නේ පිස්සුවක්. ඩ්‍රග් එකක්. ඒ වගේ කෙල්ලෙක්ට දැපනේ වැටුණේ නැත්නම් තමා පුදුමේ. ඒත් ඒ කිසිම දේකින් රමියා ගැන මගේ හිතේ තිබ්බ ෆීලින්ස් මට අතුගාලා දාන්න බැරිවුණා. ඌ මගේ නංගිගේ මිනිහා කියලාවත් මට ඒ ආදරේ මරාගන්න බැරිවුණා. ඒත් එහෙමයි කියලා අපි දෙන්නා ලව් කරන්න ගියෙත් නෑ.

ලස්සනට අවුලක් නැතුව ගලාගෙන ගියපු රමියාගෙයි, මගෙයි මැරේජ් ලයිෆ්ස් කණපිට ගැහුවේ අපේ කැම්පස් එකේ උන් ගිය ට්‍රිප් එකක් නිසා. එදා ඒ ගමන යනකන් රමියායි මායි දැනගෙන හිටියේ නෑ ඒ ගමනට කෙල්ලොත් යනවා කියලා. ශෙනාත් අපිව සර්ප්‍රයිස් කරන්න නිසා නොකියම ආවා. අපිටත් ඒක ගිහින් දැනගත්තා කියල අවුලක් නූනේ කැම්පස් එකේ උන් නිසා. අපේ ගෑනුත් කැම්පස් ගිය උන්නේ කියලා හිතලා අපිත් ඕක හයිලයිට් කරලා කියවන්න ගියේ නෑ. ඒත් උන් ඒක සම්පූර්ණයෙන්ම වැරදියට අරගෙන තිබ්බා ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර යද්දි. අපේ එකී නම් ඉඳලා හිටලා මාත් එක්ක එල්ලුනා තමා. රමියාටත් ශෙනා ගැන ජෙලස් වුණාම එහෙම අනං-මනං කියවගෙන ගියාට නංගි රමියා එක්ක කවදාවත් රණ්ඩු කරලා නෑ. ප්‍රශ්නයක් වුණත් කතා කරලා උන් දෙන්නා විසඳගත්තා. මිහී නම් එහෙමවත් නෑ. ඒත් ට්‍රිප් එක ගිහින් ගෙදර ආවම නම් මිහීයි, අපේ එකීයි අපි එක්ක රණ්ඩු කරගත්තේ අපි දෙන්නා ග-කා මඩමකට පැනලා ඉද්දි පොලිසියෙන් අල්ලගත්තා වගේ. ඒ ගමන ගිහින් ශෙනා එක්ක තියා අපි දෙන්නාවත් අපේ ලිමිට්ස් ක්‍රොස් කළේ නෑ.

එක පාරක්, දෙකක් නෙවේ, දවසක් දෙකක් නෙවේ දවස් ගාණක් යනකන් කෙල්ලෝ දෙන්නා මේ වලිය ගෙනිච්චා. මට වගේම රමියාටත් ඒ වෙද්දි මේ රණ්ඩුව එපාවෙලා තිබ්බේ. ඇයි යකෝ පැත්තක ඉන්න ගෑනියෙක් අල්ලලා වෙලාවක් අවේලාවක් නැතුව දවස් ගාණක් රණ්ඩු කරද්දි එපාවෙන්නේ නැත්තේ මොන මිනිහටද..? ගෙදර එන එකත් එපාවෙලා හිටියේ. මුන් හින්දා හැමදේම අතෑරලා දාලා එක හිතින් මුන්ට ලව් කරද්දි මුන් නැති මඟුල් සෙට් කරන්න එනවනේ. මේ ප්‍රශ්නේ කොච්චර දුර-දිග ගියාද කිව්වොත් අන්තිමටම අප්පච්චි මිහීටයි, නංගිටයි බැන්නා මොන කන්දොස්කිරියාවක්ද කියලා. ඇත්තනේ. එහෙම ගැස්සිලි පිප්පිලි එක්ක දවස් ගාණක් ගෙදර ඉන්න ගියාම එපා වෙනවනේ.

ඒ අස්සේ මිහී ප්‍රෙග්නන්ට්. හිත රිදෙන්න වචනයක්වත් කියන්න බෑ. එයා ඒ ස්ට්‍රෙස් එක යැව්වෙත් මගේ පිටින්. මිහීගේ ස්ටඩීස් වලට අවුලක් වෙයි කියලා ඇබෝෂන් එකක් කරන්න කතා කළාම අම්මා මට බැන්නේ මිනීමරුවා කියලා. දරුවෙක්ට අකමැති කවුද..? මාත් ආසයි. ඒත් ඒකෙන් මගේ ගෑනිගේ ෆියුචර් ප්ලෑන්ස් වලට බාධාවක් වෙනවා නම් ඒකත් පව් නැද්ද..? ඊටත් මිහීට එතකොට අවුරුදු විසිහතරක්වත් නෑ. කසාද බැන්දට මහලොකු ගෑනියෙක්‍යැ. අපේ අම්මා බැඳලා තියෙන්නෙත් විසිහයෙන්. එහෙව් එකේ අපිට තව කල් තියේනේ. ඔය ඔක්කොම මඟුල් එක්ක හැප්පෙද්දි මං බැඳපු මිනිහෙක් වුණාට මටත් අවුරුදු විසිහතක් විතර. කසාදෙයි, ගෑනුයි දෙකම එපාවුණු තැන් තිබ්බා. නරකක් කරන්න ගියේ නෑ. ඒත් හැමඑකකම ඇදයක් හොයනවා. රමියා විතරයි මගේ පැත්තට හිටියේ. මාව තේරුම්ගත්තේ. ඔය තත්ත්වේ පොඩ්ඩක් ශේප් වෙන්න මාස දෙකක් විතර ගියා. එතකන් මට ගෙදර අපායක් වෙලා තිබ්බේ. රමියාටත්. ඉවසනවා කියලා ඔහොමත් ඉවසන්න පුලුවන්ද කියලා හිතුවට ගෑනුන්ට කෑගහන පිරිමියෙක් වෙන්න බැරි නිසා ඉවසුවා. මොන ප්‍රශ්නේ වුණත්, මොන වැරැද්ද කළත් අදටත් මං මිහීට කෑගහලා බැනලා නෑ. රමියාත් නංගිට බනිනවා මං අහලා නෑ. එහෙව් අපිව උන් මාස දෙකක් තිස්සේ නොමරා මැරුවේ.

ඒ කාලේ බොන්න හිතුනු තැන් එමටයි. අද වගේ එහෙම සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරගන්න තේරුමක් එතකොට තිබ්බේ නෑ. අප්පච්චිවත්, මාමාවත්, ලොකූවත් බොන්නැති නිසා අපි දෙන්නා බොනවා කියලා අම්මාටයි, නැන්දටයි අහුවෙලා චාටර් වෙන්න ඕනේ නැති නිසා ඉස්සර ඉඳන්ම අපි සුරාමේරය කළේ මඳ පමණටමයි. ගෙදර එන්න එපැයි මොකා එක්ක බිව්වත්. අපේ අම්මත් ආයේ නෑ බැලුම් පුම්බන්නැතුව හොයාගන්නේ බීලා කියලා. මාර ඉවක් තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ වතාවක්, දෙකක් අහුවෙලා අතට අහුවුණ හැමඑකෙන්ම ගුටිකෑවට පස්සේ රමියයි, මායි ශොට් එකකින්, දෙකකින් එහා යන්නෑ ගෙදර එන්න තියන දවසට. බිව්වම එන ස්මෙල් එක අල්ලපු ගෙදර බල්ලට වඩා හොඳට අපේ අම්මට දැනුනා. නිදහසේ සප්පායම් වෙන්න හම්බුණේ යාලුවෝ එක්ක දවස් දෙක, තුනේ ට්‍රිප් එකක් ගියොත් විතරයි. අදටත් අම්මාගෙන් ඒ සෙතේම තමා දැන් තිස්පහක් පැනලත්.

අනික් උන් වගේ වැටෙන්න නොබිව්ව අපි දෙන්නා අතරේ ආයේ අපේ අෆෙයාර් එක ආයේ පටන්ගත්තේ ඔය සුළු සිද්ධියෙන්. ආයෙම මං කියනවා. ඒ කියන්නේ අපි සෙක්ස් කළා කියන එක නෙවේ. ෆුල්ම මයින්ඩ් ෆ•ක් එකක හිටපු කාලේ රමියාගෙයි මගෙයි ඒ අන්ඩස්ටෑන්ඩින් එක එක්ක අපි දෙන්නා අපේ දුක, කලකිරීම ශෙයාර් කරගත්තා. නැතුව අපි දෙන්නා බුදියන්න ගියේ නෑ. ඒ කලකිරීම් මගේ පැත්තෙන් පොඩ්ඩක් ඕකේ වුණේ මිහීට බබා හම්බෙලා එයා රිලැල්ස් වුණාට පස්සේ. රමියාගේ පැත්තෙන් නම් ඒ ටෙන්ෂන් එක ටිකක් වැඩිවෙලා තිබ්බේ වෙඩින් එකට රෙඩි වෙන්න ගත්ත නිසා.

නංගිට කේස් එක අහුවුණ දවසේ වුණේ ඔයාලා කවුරුවත් ගෙස් කරන විදියේ ප්ලෑන් කරලා වෙච්ච දෙයක් නෙවේ. ඔය දවස වෙනකන් අපි කසාද බැන්දට පස්සේ රමියයි, මායි එකට ඉඳලා තිබ්බේ නෑ. එදා නංගිට වගේම රමියාටත් වැඩ තිබ්බ දවසක්. මං මිහීව එක්කන් එන්න මොණරාගල යන්න හිටියත් අම්මලා එනකන් යන්නෙපා කියලා අම්මා බල කරලම කියලා ගියේ. අම්මා නංගිව ඇහේ තියන් පරිස්සම් කළේ. මාත් එහෙමයි. ඒ නිසා රමියාට ඒකිව තනියම දාලා යන්න අම්මා ඉඩදුන්නෑ මට. රමියා නංගිව දාලා උගේ ඔෆිස් එකටත් ගිහින් වැඩ ටික සෙට්ල් කරලා දාලා පැයෙන් වගේ ආවා. ඌයි මායි ඇතිවෙන්න තනියම මෙහෙම ගෙදර ඉඳලා තියනවා අපි බැන්දට පස්සේ. එහෙමයි කියලා කොටු කොටු සීන් වුණේ නෑ. රමියා ඇවිත් පැය භාගෙන් වගේ ශෙනා ආවේ රමියා එක්ක මොකක් හරි ඔෆිස් එකේ ඉමීඩියට් වැඩක් ගැන ෆයිනලයිස් කරගන්න. උන් දෙන්නා වැඩ කළේ එකම ඔෆිස් එකේනේ.

හැබැයි ඒකි එන්න ටිකකට කලින් මායි රමියයි හිටියේ වෙන දෙයක් ගැන කතා කර කර. අවුරුදු ගාණක් එහෙම ඉඳලා මං තාත්තෙක් වෙලත්, රමියා කසාදේ කට උඩ තියාගෙනත් ඇයි අපිට එහෙම හිතුනේ කියලා අපි දෙන්නටම අදටත් තේරෙන්නෑ. මේ කොටසෙදි මගේ පැත්තට කරුණු දක්වන්න පුලුවන් කියලා ඕතර් කිව්ව නිසා මං නිදහසට කරුණක් කියන්නම්. සමහරවිට මං එවෙලේ ලොකු ටෙන්ෂන් එකක ඉන්නැති. පුතා හම්බුණාට පස්සේ මාස තුන, හතරක් යනකන් මං තාත්තෙක් කියන ෆීලින් එක මට තිබ්බට මට තාත්තෙක්ගේ රෙස්පොන්සිබිලිටීස් දැනුනේ නෑ මිහී එයාලගේ මහගෙදර ගිහින් හිටපු නිසා. ඒත් එක්කන් එනවා කිව්වම නම් පොඩි බයක් හිතට ආවා. තාත්තෙක්... ඒක වෙනම වගකීමක්. අපේ අප්පච්චි අවුරුදු විසිහතේදි බැඳලාවත් නෑ. රමියාත් වෙඩින් ටෙන්ෂන් එකේ ඉන්නැත්තේ. ඒත් ඇත්තටම ඔය මුකුත් හේතු කාරණා අදාළ නෑ. අපි කළේ වරදක්. ඒක අපි පිළිගන්නවා. ඒකට ආයේ නිදහසට හේතු ඕනේ නෑ. කිරි කළයක් දොවලා දොවලා ගොම බිංදුවක් දැම්මා වගේ වැඩක් අපි කළේ.

ශෙනා එන්න ටිකකට කලින් ඒ කාලකණ්ණි අදහස ඇයි අපි දෙන්නට එදාම ආවේ කියන්න අපි දෙන්නම දන්නෑ. ඒ වෙද්දි අපි අපේ සෙක්ෂුවල් රිලේෂන්ශිප් එක නවත්තලා ගොඩක් කල්. හරියටම කිව්වොත් කෙල්ලො දෙන්නා එක්ක යාලු වුණාට පස්සේ ඔය බරපතල සීන් වුණේම නෑ. අනික්වත් තිබ්බේ ටික කාලයක් යනකන් විතරයි. ඒත් ආදරේ කළා දෙන්නට දෙන්නා. ඒක නෑ කියන්න බෑ. ඇයි දෙයියනේ ඌ තුන්සිය හැටපස් දවසෙම ඉන්නේ මගේ ඇස් ඉස්සරහනේ. ලංකාවේ homosexual marriages ලීගලයිස් වුණා නම් අපි දෙන්නා කීයටවත් මේ කෙල්ලෝ දෙන්නා ගැන හිතන එකක් නෑ. Homosexuality කියන්නේ අපරාධයක් කියලා නම් කරපු රටක අපි ඈත්වුණා මිසක් අපේ ආදරේ අපි මැරුවේ නෑනේ. ආදරේ කියන්නේ මෙහෙම දේකට නෙවේ. ආදරේ මරන්න බෑ. මං දන්නෑ ආදරයක් මරන්න හිත්පිත් තියන එකෙක්ට පුලුවන්ද කියලවත්. මායි, රමියායි කටින් ආදරෙයි නොකියා, සෙක්ස් නොකර, හිතින් විතරක් ආදරේ කර කර ඈත ඉඳන් අනික් එකා දිහා බලන් හිටියා අවුරුදු ගාණක්. ඒත් එදා අපේ කාලකණ්ණිකමටමද මන්දා අපි දෙන්නටම ඒක ඕනෙම වුණා.

ශෙනා ආවම තේ හදලා දීලා ඒකිට ලන්ච්වලට ඉන්න කිව්වේ ඒකි ආයෙම ඔෆිස් යන්න ඕනේ කිව්ව නිසා. ඒකි එක්ක කතා කර කර ඉද්දි අපේ අයිඩියා එක ඒකිට කිව්වම ඒකිට මළපැන්නා.

"පිස්සුද ඕයි තමුසෙලට..? තාත්තෙක් නේද එකෙක්..? අනිකා තව දවස් ගාණකින් බඳින්න නේද ඉන්නේ..? මං හිතුවේ තමුසෙලා දෙන්නා ඔය දෙපිටකාට්ටු වැඩේ නැවැත්තුවා කියලා..."

ශෙනාට අපි bisexual කියන එක කවදාවත් අවුලක් වුණේ නෑ. ඒත් අපි දෙන්නා නංගිවයි, මිහීවයි මේ කතාවට ඇදලා ගත්තම නම් ඒකි හැපින්න වගේ අපි එක්ක රණ්ඩු කළා. වරංගාවත් එච්චර ඇග්‍රසිව් නෑ. මේකි කාලි අම්මා වගේ මාත් එක්ක නම් රණ්ඩු ඇල්ලුවේ. රමිත්ට වුණත් ඒකිගේ බැනුම්වලින් ගැලවිල්ලක් තිබ්බේ නෑ. හැබැයි මොන දේ වුණත් ඒකි අපි දෙන්නව අතෑරියේ නෑ. ඒ යාලු ෆිට් එකත් තියාගෙන හිටියා. අපි අපේ ෆිසිකල් රිලේෂන්ශිප් එක නවත්තලා ඉන්නේ කියලා ඒකිට කියන්න ගියේ නෑ. බැන්දට පස්සේ නම් රමියයි, මායි සෙට් වුණ වෙලාවට පවා අපි දෙන්නා කතා කළේ අනික් කොල්ලෝ කතා කරන දේවල්මයි. ඒ ඇර අපේ ගෑනු ගැන, ගෙදර කෙළ කෝටියක් ප්‍රශ්න ගැන කතා කළා. මං හිතන්නේ අපිට මෙච්චර ඉවසීමක් ආවේ අපි දෙන්නා ඒ හැම ලබ්බම කතා කරගත්තු නිසා. ඒ නිසා අපේ ගෑනු හිතුවා උන්ට මාර්වලස් ලයිෆ් එකක් තිබ්බා කියලා. ඒ මාර්වලස් ලයිෆ් එක උන්ට දෙන්න අපි ඉවසන තරම දන්නේ අපි. නැත්නම් වෙන පිරිමින්ට වගේ කෑගහලා, බඩු පොඩි කරන්න තරම් හිතෙන තරහා ගිය තැන් අපිට තිබ්බේ නැතුවා නෙවේ.

ඒ කොහොම වෙතත් ශෙනා අපේ කතාවට කැමති වුණේම නෑ.

"මේ පාර විතරයි ශෙනා... ප්ලීස්... වෙඩින් එකට කලින් අන්තිම පාර. ආයේ නෑ... ප්‍රොමිස්..."

රමියා වගේම මාත් ඉල්ලුවා.

ඇයි අපිට එහෙම හිතුනේ..? අදටත් අපිට ඒකට උත්තරයක් නෑ. කවුරු හරි කියනවා නම් ඒක චපලකම කියලා ඒක එහෙම වෙන්නැති. ඇයි මං මොහොතකට හරි මිහීටයි, පුතාටයි, නංගිටයි ද්‍රෝහි වෙන්නේ කියලා මට හිතුනේ නෑ එවෙලේ. එහෙම නැත්නම් මෙහෙම දෙයක් මගේ අතින් වෙන එකක් නෑ. රමියාටත් එහෙම වෙන්නැති. අපි කොච්චර ගිල්ටිද කිව්වොත් අපි දෙන්නා අතරේවත් එහෙම කළේ ඇයි කියලා අපි කතාවෙලා නෑ අදටත්. මින්ස්සු සත්තුන්ගෙන් සෙක්ස්වලදි වෙනස්වෙන්නේ තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක නිසා කියලා අපි දෙන්නම දන්නවා. ඒත් එතනදි මට මිහීට වඩා ඕනේ වුණේ රමියාව. ඒ හැමදාමත් මගේ ස්ට්‍රෙස් රිලීසින් පිල් එක වුණේ රමියා නිසාද, නැත්නම් මගේ ඩාර්ක් ඩර්ටි සීක්‍රට් එක රමියා නිසාද කියන්න මං දන්නෑ. මං කියන්නෑ ඊට කලින් හෝ ඊටපස්සේ මට මිහීව ඒ වගේ ෆීල් වුණේ නෑ කියලත්. ඒ දෙක දෙකක්.

රමියා එක්ක ඉද්දි මට හරි සමානතාවයක් දැනුනේ. එතනදි මට මිහී එක්ක ඉද්දි ඉන්න රෙස්පොන්සිබල් dominant වෙන්න ඕනේ වුණේ නෑ. ඒ රිලැක්ස් එක දැනෙන්නේ ඇඟටවත්, හිතටවත් නෙවේ ආත්මයටම. ඒක straight කෙනෙක්ට හිතාගන්න පුලුවන්ද කියන්න මං දන්නෑ. සමහරවිට straight අය අතරෙත් ඒ වගේ ඩීප් mentally and sexually bonds ඇති. මිහී එක්ක මට ඩීප් බොන්ඩ් එකක් නෑ කියන්න බෑ. මං මිහීට ආදරෙයි. එයා මගේ වයිෆ්. මගේ දරුවගේ අම්මා. හැබැයි එයා ළඟදි මට රමියා ළඟදි වගේ රිවීල් වෙන්න, අමු වෙන්න බැරි ඇයි කියලා මං අදටත් දන්නෑ.

එවෙලේ මං ඔලුව ඉස්සුවේ ඇහුන සද්දෙට මිසක් එතන නංගි ඉඳීවි කියලා හිතලා නෙවේ. මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා විතරක් නෙවේ හුස්ම ගන්නත් අමතක වුණ තරම් මට. අදටත් ඒ මෝමන්ට් එක භයානක හීනයක් වගේ. නංගිගේ ලොකු වෙච්ච ඇස් ෆෝකස් වෙලා තිබ්බේ අපි දෙන්නට. ඒ ඇස්වල තිබ්බේ මොන විදියේ හැඟීමක්ද කියන්න මං දන්නෑ. දුක, තරහ, කලකිරීම, අප්පිරියාව සේරම තියෙන්නැති. නංගි දොරට හේත්තු වෙනකොට මං හිතුවේ කෙල්ල ෆේන්ට් වෙන්න යන්නේ කියලා. මට මගේ මුළු ඇඟම ගල් වෙනවා වගේ දැනුනේ. රමියා මාව අතෑරලා නංගි ගාවට ගියාට නංගි එයාව අල්ලන්න රමියාට ඉඩදුන්නෑ. නංගි දොර අල්ලගෙන රූටලා බිම වාඩිවෙද්දි මගේ පපුවත් හූරලා දැම්මා වගේ. ඒ වෙලාවේ නම් මං මටම වෛර කරගත්තා. මං ඇඳගෙන හිටපු සරම පටලවගත්තේ හීනෙන් වගේ. රමියා වොෂ් දාලා ඇඳගෙන ආපු ටවල් එක ආයේ ඇඳගත්තේ. මෙහෙම දෙයක් අපි හිතුවෙම නෑ.

කොහොම වුණත් නංගිව අල්ලන්න ගිය රමියාට කලින් සිටුවේශන් එක ගැන මං තේරුම්ගත්තා. මං ඒකයි ශෙනාට කිව්වේ නංගිව බලන්න කියලා. එවෙලේ නංගි ආපිට හැරිලා අපි දිහා බලපු බැල්මටම මාව පිච්චුනා. ඊට වඩා මං පිච්චි පිච්චි හිටියේ මගේම හෘදසාක්ෂියෙන්. ඒක හරිම හිස් බැල්මක්. ඒකි මට වෛර කරන්නැති. දෙයියනේ මං ඒකිගේ එක බඩවැල කඩන් ආපු අයියා. නංගි එහෙමම පහළට ගියා. ශෙනාත් මට රැව්වා. ඒකි මට රවලා, බැනලා පහළට ගියා. රමියා හිටියේ ෆ්‍රීස් වෙලා. ඌ එහෙමම ඇඳ උඩට වැටුණා. ඊටපස්සේ අඬන්න ගත්තා. බොරු කියන්න ඕනේ නෑනේ මටත් එවෙලේ ඇඬුනා. ඇඳ උඩ වාඩිවෙලා මාත් ඇඬුවා. මට ආදරේ කරපු උන්ට මම මේ මොකක්ද කළේ කියලා හිතුනේ. මටම මාව අප්පිරියා වුණා. රමියා එකපාරටම කඳුළු පිහිදගෙන නැගිට්ටා.

"නෙහා... මට මගේ කෙල්ල එක්ක කතා කරන්න ඕනේ..."

රමියා දඩිබිඩියේ කඳුළු පිහදගෙන ඇඳුම් ඇඳගත්තා. මාත් අමාරුවෙන් අඬන එක නවත්තලා ඇඳුම් ඇඳගෙන පහළට යන්න හදද්දි දැක්කේ පඩිපෙළේ අන්තිම පඩියේ වාඩිවෙලා අත්වැටට ඔලුව ගහගෙන ඉන්න ශෙනාව.

"ඇයි බං..?"

මං ඒකි ගාවට ගිහින් කතා කළාම ඒකි පරල වෙලා වගේ නැගිට්ටා.

"මට බෑ ඒ කෙල්ලගේ මූණ බලන්න... මාත් කෙල්ලෙක් ඕයි..."

ඒකි ගසාබසා දාලා කිව්වා. අන්තිමටම නංගි එක්ක කතා කරන්න ඒකිට යාප්පු වුණා. වැන්දේ නැති ටික විතරයි. ඒකි නංගිගේ රූම් එකේ ඉඳන් නංගි එක්ක කතා කරපු සේරම අපි එළියේ ඉඳන් අහගෙන හිටියේ. ඒ මූණ බලන්න බැරි තරම් හිතට අවුල්. රමියා කවදාවත් නැතුව නියපොතු කෑවා.

මගේ බොක්ක රත්වුණේ අච්චර රැකලත් මේකි රමියා එක්ක හිටියා කිව්වම. අම්මා දනී නම් වැළලෙනවා. මං මොන වගේ නරුමයෙක් වුණත් බඳිනකන් මිහී එක්ක එකට ඉඳලා තිබ්බේ නෑ. ඔය ඇඳ රෙදි චාරිත්‍ර අපේ පවුල්වල තදටම තිබ්බා. නැන්දා ඉස්සරහවත් මගේ එකී එහෙම පාච්චල් වෙනවට මං කැමති නෑ. මං පුටුව පස්සට කරගෙන නැගිටින කොටම රමියා මට කතා කළා.

"නෙහා..."

මං ආයේ වාඩිවුණේ රමියට රවලා. උගේ ඇස්වල පවා තිබ්බේ සමාව ඉල්ලන බැල්මක්. ඇත්තටම මට ගහන්න තරම් තරහක් ආවේ රමියා එක්ක. ඊට ටිකකට කලින් මං ඌ එක්ක හිටියා කියන එක පවා මට අමතක වෙලා තිබ්බේ. රමියා නංගිට බලහත්කාරකමක් කළේ නෑ කියලා දැනගෙන හිටියත් මට කේන්ති ගියා. වර්ජිනිටි ගැන මහ ලොකු දේවල් ඔලුවේ නැතත් නංගිට කවුරුවත් ඇඟිල්ල දික් කරනවට මං කැමති නෑ. නංගි එක්ක කතා කරලා ඇවිත් ශෙනා ආයෙම ගියේ මාවත් කූල් ඩවුන් කරලා. ලන්ච් ගන්න නවත්තගත්තට ඒකි ගත්ත ලන්ච් එකක් නෑ. අපි දෙන්නත් කනවට වඩා බයවෙලා හිටියේ. ආපිට එද්දි නංගි නිදි නිසා ඉන්න ඇරලා හිටියා.

එදා මිහීලගේ ගෙදර ගිහින් මිහීව දැක්කමත් මට ඒ ගිල්ටි ෆීලින් එකෙන් මිදෙන්න බැරිවුණා. දරුවා අතට ගනිද්දි මාව වෙව්ලුවා. දෙයියනේ මං කොහොම තාත්තෙක්ද..? ඇයි මං මිහීටයි, පුතාටයි මෙහෙම කළේ හිතුනා.

නංගි අපි දෙන්නව මඟඅරිනකොට නම් පට්ට බයක් දැනුනා. මායි, රමියයි නංගිට හොරෙන් ඒ ටිකේම ඒකිව ෆලෝ කළා. ඒකි මොනා හරි කරගත්තොත් කියලා බය හිතුනා. රමියා වගේම මාත් ඒ ටිකේ බයෙන් හිටියේ. නංගි ඇත්ත කිව්වොත් කියන බයත් තිබ්බා. එහෙම වුණොත් මොන වගේ සිටුවේශන් එකක් එයිද කියලා හිතුවේ. රමියා ඒ ටිකේ කවදාවත් නැතුව සයිලන්ට් වෙලා හිටියේ. අම්මලා, නැන්දලා හිතුවේ වෙඩින් ටෙන්ශන් එකට කියලා. මමත් හිටියේ ලොකු ටෙන්ශන් එකකින්. ඒත් රමියාගේ ටෙන්ශන් එක වහන්න මට බොරුවට වෙනසක් නෑ වගේ ඇක්ට් කරන්න වුණා. ඒක හරිම අමාරුයි. තනියම බාත්රූම් එකට වෙලා ඇඬුවා. රමියාට කියලා ඌව තවත් ස්ට්‍රෙස් කරන්න බෑනේ කියලා හිතුවේ. සමහර දාට රමියාගේ ඇස් රතුවෙලා තිබ්බේ ඌත් අඬලා වෙන්නැති කියලා හිතුවා. ලොකූ ලංකාවට ආවම මේක කිව්වේ වෙන කියන්න එකෙක් නැති නිසා. ඌ ඩොකානේ. ඒත් ඌ රමියාගේ කන රත්වෙන්න එකක් ගැහුවා. මටත් කුණුහරපෙන් බැන්නා.

"තොපි දෙන්නට කිව්වා මං ඔය මඟුල නවත්තන්න කියලා... තොපිට හුකන්න ගෑනු මදිවෙලාද හැමිනෙන්න ගියේ..? එක්කෝ උඹලා දෙන්නා අපිට පව් නොදී උඹලට හරියන විදියක් කරගන්න ඕනේ. මේ අහිංසක කෙල්ලො දෙන්නෙක්ට ගිනිගෙඩි නොදී... මේවා හෙණ ගහන පව් යකෝ..."

නංගි ලොකූ එක්ක කතා කරද්දිත් ලොකූ සීන් කෝන් සේරම දන්නවා. ඒත් ඌ නංගිව ශේප් කළා. නංගි වෙඩින් එකට කැමතියි කිව්වම මායි රමියයි මුලින්ම තීරණය කරපු දේ ආයේ සෙක්ස් නෑ කියන එක. ඒත් ආදරේ... ඒක වේලි බැඳලා නවත්තන්න ගඟක් නෙවේ. අදටත් ආදරේ කරන එක වළක්වන්න අපිට බෑ.

"උඹව මූ තරම් හොඳට බලාගනී කියලා මට විශ්වාස කරන්න පුලුවන් එකෙක් මේ මුළු ලෝකෙම නෑ නංගි... මං උඹව දුන්නේ මේ ලෝකේ මං වැඩියෙන්ම විශ්වාස කරන එකාට. මං වැඩියෙන්ම ආදරේ කරන එකාට..."

නංගිගේ වෙඩින් එක දවසේ ඒකිව බදාගෙන මං මේක කිව්වේ ඇත්තටම. ඒකිට දුන්නේ මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන, වැඩියෙන්ම විශ්වාස කරන එකාව. මං අයියෙක්. නංගි මගේ පණ. මං මගේ ජීවිතේ වටිනම කෙනෙක්ට මට වටිනම දෙයක් ඇර වෙන මොනා දෙන්නද..? නංගිට ලව් කරපු උන් ගොඩක් මං දැක්කා. ඒත් රමියාගේ ඉවසීම අස්සේ නංගිට තිබ්බ ආදරේ මං ඒ එකෙක්ගෙන්වත් දැකලා නෑ. රමියා නංගිට ආදරේ කරන තරම් මං මිහීටවත් ආදරේ කරන්නැද්ද මන්දා. දැන් මං කියන්නේ මිහීට මං ආදරේ නෑ කියන එක නෙවේ. මිහී වගේ කෙල්ලෙක්ට ආදරේ නොකර ඉන්න කොල්ලෙක්ට බෑ. හේතුවක් නැතුවත් මං මිහීට ආදරෙයි. ඒ මගේ දරුවා නිසා නෙවේ. ඒත් රමියාගේ ආදරේ අස්සේ මං හැමදාම අමුතුම දෙයක් දැක්කා. නංගිට ඌව දෙන්න මට හිත හදාගන්න ඒකත් හේතුවක් වෙන්නැති.

මං මිහීට ඇත්ත කිව්වේ එයා ඉස්සරහා හැමදාම පර්ෆෙක්ට් හස්බන්ඩ් වෙන එක පවා මගේ හෘදසාක්ෂියෙන් මාව වැරදිකාරයෙක් කරන නිසා. අපිට දරුවෙක් ඉන්නවා. අපි දෙමව්පියෝ. ඒත් ඊටත් වඩා මිහී කියන්නේ මගේ ජීවිතේ එළිය කරපු කෙල්ල. එහෙම බොරු කර කර ඒකි එක්ක අවුරුදු දෙකක් මං හිටියෙත් හරි අමාරුවෙන්. කෙනෙක්ව රවට්ටන එක ආතල් වැඩක් නෙවේ. හිතට මහ වදයක්. මං ඇත්ත කිව්වම මිහී පුටුවේ ගුලි වෙවී අඬනවා දැක්කම මට මාවම මරාගන්න හිතුනා. මිහීව නංගිට භාරදීලා මං නංගිලා හිටපු රූම් එකට ඇවිත් හොඳටම ඇඬුවා. වැරදි කරනවට වඩා අමාරුයි ඒ වැරදි නිවැරදි කරන එක. මං කොච්චර ඇඬුවද කිව්වොත් නිදාගෙන හිටපු නංගිගේ පුතා ඇහැරිලා මං අඬන සද්දෙට බයවෙලා අඬන්න ගත්තා. රමියට මාව වත්තන් කරගෙන පුතාවත් නලවගන්න වුණා. එතකොට නංගිගේ පොඩි එකාට මාස ගාණයි. මගේ කොල්ලට අවුරුදු දෙකකට වැඩී.

ලබාගන්න බැරි කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ හුස්මගන්නකන් මැරි මැරි උපදින වැඩක්. ඒ දෙනා 24x7 අපේ ඇස් ඉස්සරහා ඉද්දි ඒක තවත් අමාරුයි. ඔව්... මායි, රමියයි අපි දෙන්නාට දෙන්නා තාමත් අපිට ආදරෙයි. ඒත් එදයින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. සමහර ෆීලින්ස් හිතට ආවත් එදා නංගිගේ මූණේ තිබ්බ එක්ස්ප්‍රෙෂන්ස් මතක් වෙද්දි හිතට එකඟම රමියා එක්ක එහෙම දෙයක් කරගන්න මට හිතුනේ නෑ. රමියගේ පැත්තෙනුත් එහෙමයි. ඒත් ඒ මුළු කාලය පුරාවටම නංගිගේ වගේම, ඇත්ත දැනගත්තට පස්සේ මිහීත් අපි දෙන්නා දිහා බැලුවේ වැරදියට. ඒ වෙද්දි මිහී ආයේ ප්‍රෙග්නන්ට්. ඒත් එයා කතා කළේම ඩිවෝස් එකක් ගැන. නංගිත් එහෙමයි. ඒකිත් අම්මා කෙනෙක් එතකොට. ඒත් අවුරුදු දෙකක් හිර කරගෙන හිටපු ප්‍රෙශර් එක ඒකිට රිලීස් කරන්න ඕනේ වුණාද කොහෙද.

මිහීට ඇත්ත කිව්වට පස්සේ රමියයි, මායි බයවෙලා හිටියේ අපිට අපේ වයිෆ්ලයි, දරුවොයි නැතිවෙයි කියලා. දුව හම්බෙනකලුත් මේ තත්ත්වේ වෙනස් වුණේ නෑ. ප්‍රෙග්නන්ට් නිසා මිහී පොඩ්ඩක් පහුබැස්සට හිටියේ හිතේ සතුටකින් නෙවේ. නංගිත් ආයේ ප්‍රෙග්නන්ට් වුණේ ඔය අස්සේ. මිහීට වඩා ප්‍රෙශර් එකක එයා හිටියේ. ඒ දෙන්නම හිටියේ දරුවෝ හිටියත් සතුටකින් නෙවේ අපි දෙන්නා එක්ක.

අන්තිමටම අපි දෙන්නා කිව්වා එයාලා දෙන්නා එක්කම එකපාර කතා කරන්න ඕනේ කියලා. වෙන ඔප්ශන් එකක් තිබ්බේ නෑ අපිට. අපි කවදාවත් ගහ මරාගෙන ප්‍රශ්න විසඳපු උන් නෙවේ පිරිමි වුණා කියලා. ඒ නිසා අන්තිම පාරට අපේ වැරදි හදාගෙන සෙට්ල් වෙන්න අපි දෙන්නම ට්‍රයි කළේ. අනික කොච්චර ආදරේ වුණත් අසතුටින් එයාලා අපි ගාව තියාගන්න එක තේරුමකුත් නෑනේ.

අපි හරි නෑ. වැරදියි. රමියාට ආදරේ කරන එක වරදක් වුණත් මං තාමත් ඒක කරනවා. ඒත් මං මිහීව මගේ හිතින් අහක් කරලා නෑ. මිහී කියන්නේ මගේ වයිෆ්. මගේ දරුවන්ගේ අම්මා. මාව විශ්වාස කරලා මගේ ගාවට ආව කෙල්ල. මං මිහීට ගොඩක් ආදරෙයි.

එතකොට රමියා... ඌ ගැන මගේ හිතේ තියන ආදරේ... ඒ ආදරේ කරන එක නවත්තන්නේ කොහොමද කියන්න මං අදටත් දන්නෑ. මොනවා වුණත් ආදරේ ලෙසටම කෙලෙව්වා මට මුල ඉඳන්ම.

✍🏼 සකුනි හතරසිංහ


*දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ. වගන්ති මගින් අස්වාභාවික වැරදි ලෙස දක්වමින් පුරුෂ සමලිංගිකත්වය (Gay Homosexuality) යනු අපරාධයක් ලෙස දක්වා ඇත. මෙය 1995 අංක 22 දරණ සංශෝධනය යටතේ සියලුම ආකාරයේ සමලිංගික ක්‍රියාවන් අපරාධ ලෙස දක්වා ඇත. 2023.03.17 දින මේ සම්බන්ධ නව සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහි දී 365 වගන්තිය සංශෝධනයකට ලක් කර ඇති අතර 365අ. වගන්තිය ඉවත් කරන ලෙස දක්වා ඇත. මෙම කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනු කරනු ලැබූ අතර මීට දින කිහිපයකට පෙර මෙය ව්‍යවස්ථා විරෝධී නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තීන්දුවක් ලබාදෙන ලදී. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගතහොත් එය පනතක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත. 

(උපුටාගැනීම...)
"365. යම් පුරුෂයෙක, ස්ත්‍රියක හෝ සතකු සමඟ ස්වභාවධර්මයට විරුද්ධව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු ය. ඔහු දඩයකට ද යටත් විය යුතු ය.
පැහැදිලි කිරීම- මෙම වගන්තියේ විස්තර කරනු ලැබූ වරදට අවශ්‍ය වූ කාමුක සංසර්ගය ඇති කිරීමට ප්‍රවේශ කිරීම ප්‍රමාණවත් වේ.
365අ. ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයෙකු සමඟ තදබල අශෝබන ක්‍රියාවක් කරන හෝ එබඳු ක්‍රියාවකට පාර්ශ්වකාරයෙකු වන හෝ එබඳු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවන හෝ කරවීමට තැත් කරන පුරුෂයෙකු වරදට වරදකාරයෙකු විය යුතු ය. ඔහුට අවුරුදු දෙකක් දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන් ම දඬුවම් කළ යුතු ය. එසේම කස පහර දීමකින් දඬුවම් කරනු ලැබීමට ද ඔහු යටත් විය යුතු ය."
(උපුටාගැනීම අවසන්.)

මෙයින් 365 වගන්තිය 'අස්වාභාවික වැරදි' ලෙසත්, 365අ වගන්තිය 'පුරුෂයන් අතර තදබල අශෝබන ක්‍රියා' ලෙසත් දණ්ඩ නීති සංග්‍රහයෙහි දැක්වේ. මින් 365 වගන්තිය සංශෝධනය කිරීමටත්, 365අ වගන්තිය ඉවත් කිරීමටත් මේ වනවිට කටයුතු කරමින් පවතියි. උක්ත (*) යටතේ දැක්වූ විස්තරය මෙයට අදාළ වේ.  

මතු සම්බන්ධයි........

Comments

Popular Posts