දෙමගක 🌈

(කෙටි නවකතාව - 06 කොටස)

-අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

බීච් එකට එනකම්ම අපි කතා කළේ නෑ. ඇයිද මන්දා එදා සෙනගත් අඩුයි. අපි වාඩිවුණේ බෙන්ච් එකේ වෙනදා තරම් ළඟින් නෙවේ. පොඩි අයියා වෙනදා වගේ මගේ අතින් අල්ලන්න හදද්දි මං අත අල්ලන්න එයාට ඉඩදුන්නෑ. ඒකට එයාගේ මූණේ යන්තම් හිනාවක් ඇදුනා.

"චූටි... තාම මට ඔයා සමාවදුන්නේ නැද්ද..?"

මට එවෙලේ දැනුනේ කියන්න නොතේරෙන අපි දෙන්නා අතරේ තියෙන මොකක්දෝ ලොකු ගැප් එකක්.

"සමාව ගැන අහන්නේ ඔයා කළේ වරදක්ද පොඩි අයියේ..?"

මං ඇහුවම පොඩි අයියා ඔලුව දෙපැත්තට වැනුවා.

"මට අනුව මං වැරදි නෑ චූටි. ඒත් මං දන්නවා ඔයාට අනුව මං වැරදිකාරයෙක් කියලා... කෙල්ලෙක්ට කවදාවත් තේරුම්ගන්න බැරි මගේ සමහර ෆීලින්ස් කොල්ලෙක් එක්ක ශෙයාර් කරගන්න එක වැරදිද චූටි..?"

මං තත්පර දෙක තුනක් සද්ද නැතිව හිටියා.

"ගොඩක් කල්ද ඔයාලා... මං අහන්නේ අයියයි ඔයයි..."

මට ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ විදිය තේරුණේ නෑ. පොඩි අයියා හරි බරට හීල්ලුවා. මුහුදු හුළංවලටත් වඩා සද්දෙට ඒ හීල්ලුම මටත් ඇහුනා. ඒකට මගේ හිතත් පොඩ්ඩක් හීරිලා ගියා.

"මට තේරෙනවා ඔයා අහන දේ... ඔව් සෑහෙන කල්. ඕලෙවල් කාලේ වගේ ඉඳන්... මං කතා කළාට කමක් නැද්ද..?"

හිතේ එක පැත්තක් ඒ කතාව අහන්නෙපා කියලා කෑගහද්දි අනික් පැත්ත අහපන් කියලා කෑගැහුවා. විත්තිකාරයෙක්ට උසාවියෙන් වුණත් නිදහසට හේතු දක්වන්න චාන්ස් එකක් දෙනවනේ. ඒත් රැවටීමකට චාන්ස් එකක් දෙන්න ඕනෙද..? දෙගිඩියාවෙන් මං හිතුවා.

"කමක් නෑ..."

මගේ හොඳ හිත දින්නා.

"නෙහාට ඕලෙවල් කාලේ ඔයාලගේ ඉස්කෝලේ ගර්ල් කෙනෙක් එක්ක අෆෙයාර් එකක් තිබ්බා කියලා ඔයා දන්නවනේ චූටි... ඒ කෙල්ල ඕලෙවල්වලට මාස දෙක තුනක් තියලා අපේ ඉස්කෝලෙම අයියෙක් එක්ක යාලු උනා නෙහාට බූට් එක තියලා... ඒ වයසෙදි කරන මොන ලව් එකත් සිරා කරන්නේ. ඒ නිසා නෙහාට ඒක දරාගන්න අමාරු වුණා. ඌ පුදුම විදියට ඇඬුවා. සෆර් කළා... ඔයාලට නොදැනුනාට එක රූම් එකේ හිටපු මට ඒක නොසෑහෙන්න දැනුනා... එක්සෑම් එකට නෙහාගේ හිත හදන්න ඕනේ නිසා මං සමහර දාට නිදි නැතුව ඌ ගාවට වෙලා හිටියා. ඔලුව අතගෑවා... සමහර වෙලාවට ඌ මගේ උකුලේ ඔලුව ගහගෙන ඇඬුවා... මං උගේ හිත වෙනස් කරන්න එක එක දේවල් මට පුලුවන් හැටියට කළා. ඒකෙන් ඌ මාසයක් හමාරයක් යද්දි සෑහෙන දුරට ඕකේ වුණා... නෙහා කියන්නේ බ්‍රිලියන්ට් ක්‍රිකටර් කෙනෙක්. ඌ දිගටම ප්ලේ කළා නම් මේ වෙද්දි නැෂනල් ටීම් ඉන්නත් තිබ්බා... මං දක්ෂ උනේ ඉගෙනගන්න... අපි දෙන්නා ක්‍රිකටුයි, ඇකඩමිකුයි බැලන්ස් කරගත්තේ එහෙම... ඕලෙවල් වලට කිට්ටුව පාඩම් කර කර හිටපු බෝරිං දවසක එක්ස්පෙරිමන්ට් එකකට වගේ නෙහායි, මායි කිස් කළේ. ඒක අපි ලොකුවට ආදරෙයි කියලා හිතාගෙන කරපු දෙයක් නෙවේ... ඒත් නෙහා ගැන ලොකු බොන්ඩ් එකක් ඒ වෙද්දි මගේ හිතේ තිබ්බා. නෙහාටත් එහෙම තිබිලා... අනික නෙහා හිටපු බ්‍රේක්-අප් ෆීලින් එකටත් ඒක සෙට් උනා... ඒ කිස් එක අපි දෙන්නම හිතුවට වඩා අපිට ෆීල් උනා... එතනින් තමයි හැමදේම පටන්ගත්තේ..."

පොඩි අයියාගේ ඇස් තිබ්බේ මූදේ තැනක නතරවෙලා.

"ඒක නිකම්ම ෆිසිකල් රිලේෂන්ශිප් එකකට වඩා තද ආදරයක් චූටි... නෙහා මගේ හිත කියවනවා වගේ. නෙහා අන්ඩස්ටෑන්ඩින් ඇන්ඩ් කෙයාරින්... ඒලෙවල් කාලේ ඉඳන් අපි දෙන්නා අතරේ සෙක්ෂුවල් රිලේෂන්ශිප් එකත් තදටම තිබ්බා... එක්සෑම් නිසයි, ක්‍රිකට් නිසයි ඔලුවට ආව ස්ට්‍රෙස් එක අඩුවුණේ අපිට අපි හිටපු නිසා... අපි ඒක රහසක් විදියට තියාගත්තේ මෙහෙම දෙයක් අනික් අය දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. මේ ලංකාවනේ... අපි දෙන්නා පොඩි කාලේ ඉඳන්ම එකටම හිටපු නිසා කිසිකෙනෙක් අපි ගැන එහෙම හිතුවෙත් නෑ... ඒලෙවල් වලින් මට ඉංජිනීරින් යන්න පුලුවන්කම තිබිලත් මං නෙහාගේ ඩිග්‍රී කෝර්ස් එකටම යන්න තීරණය කළේ ඒ වෙද්දි අපි දෙන්නට අපි දෙන්නා නැතුව ඉන්න බැරි තරම් ලොකු ඇටෑච්මන්ට් එකක් අපි දෙන්නා අතරේ තිබ්බ නිසා... කැම්පස් එකේදි අපි ගැන දැනගෙන හිටපු, අපිව තේරුම්ගත්තු එකම කෙනා ශෙනායා... ඒකි නිසා අපි දෙන්නව කවර් උනා..."

අයියා ගැන කියද්දි පොඩි අයියාගේ ඇස් දිලිසුණා. මට දැනුනේ ඉරිසියාවක්. ඒත් මට ඒක එක්ස්ප්‍රස් කරන්නවත් හිතුනේ නෑ.

"ඇයි මට ආදරේ කරනවා කිව්වේ එහෙනම්..?"

මං ඇහුවා. පොඩි අයියා යන්තම් හිනාවක් දැම්මා.

"මොකද මං ඔයාට ආදරේ කරපු නිසා චූටි... ඔයා කොච්චර පොඩි අයියේ ගගා මගේ පස්සේ කැරකුනත් මට ඔයාව නිකම්ම මගේ නංගි කෙනෙක් කියලා හිතලා අයින් කරන්න බැරි තරම් මං ඔයාට ආදරේ නිසා... මේ අදටත්, මේ මොහොතෙත් මං ඔයාට ආදරේ කරනවා... ඔයා මං ගැන කොහොම හිතුවත් මං ආදරෙයි ඔයාට..."

මාව ස්ටක් වුණා. එයා කොහොමද එහෙම කියන්නේ..?

"ඒත් අයියා..?"

මං ඇහුවේ ඒකයි.

"නෙහාට ආදරේ කරන්න හිතන්නත් කලින් මං ඔයාට ආදරේ කළේ... එතකොට ඔයා හරි පොඩියි. බිග් ගර්ල් කෙනෙක් වෙලාවත් නෑ... නෙහා ඒක දැනගත්තට පස්සේ මං ඌට පොරොන්දු වුණා ඔයා ඒලෙවල් ලියනකන් මගේ හිතේ තියන දේ ඔයාට කියන්නෑ කියලා... නෙහා ඔයා ගැන හරිම කෙයාරින් චූටි. ඉස්කෝලේ යන කාලේ ඔයාගෙන් කොල්ලෙක් ඇහුවත් නෙහාට මළපනිනවා. ඔයාගෙන් ආස්ක්-අවුට් කරපු කොල්ලෝ කීපදෙනෙක්ටම අපි දෙන්නා ගිහින් තග දාලා තියනවා... ඔයාට නොදැනෙන්න ඔයා පස්සෙන් අපි දෙන්නා ක්ලාස්වලට පවා ගියා. ඔයා ගැන අපිට සැකයක් තිබ්බේ නෑ... ඒත් ඔයා හරි ලස්සන කෙල්ලෙක් චූටි. ඔයාව දැක්කම අපේ උන් පවා ඔයා ගැන අපෙන් අහනවා... ඒ නිසා අපි දෙන්නට ඔයා ගැන හරිම රෙස්පොන්සිබල් ෆීලින් එකක් තිබ්බේ... ඔයා ටික ටික ලොකු වෙද්දි, ලස්සන වෙද්දි මං උනත් මගේ ෆීලින්ස් කන්ට්‍රෝල් කරගත්තේ හරි අමාරුවෙන්... නෙහා සමහර වෙලාවට මට හිනා උනා. ඒත් මං දැනගෙන හිටියේ නෑ ඔයාට ආදරේ කරන එක නවත්තන විදියක්. අදටත් දන්නෑ චූටි..."

මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. එයා කොහොමද එක පාර මටයි, අයියාටයි දෙන්නටම ආදරේ කළේ..?

"ඔයා කොහොමද එහෙම කරන්නේ..? මං අහන්නේ මටයි අයියාටයි දෙන්නටම..? එකට... මට තේරෙන්නෑ..."

පොඩි අයියාට ආදරේ කරන ගමන් තව කෙනෙක්ට ආදරේ කරන්නේ මට නම් බෑ.

"මේ ලෝකේ කොහේ හරි ලියවිලා තියනවද චූටි අපිට එක පාරටකට ආදරේ කරන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි කියලා රූල් එකක්..? එහෙම නැත්නම් ආදරේ කියන ෆීලින් එක ගැන නිශ්චිත තියරියක් තියනවද..?"

පොඩි අයියා මගෙන් ආපිට ඇහුවේ මං දිහා කෙලින් බලලා. මට එවෙලේ ඒකට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.

"එහෙම පුලුවන් චූටි... මං අදටත් ඔයාටයි නෙහාටයි දෙන්නටම ආදරෙයි... මට ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට වැඩියෙන්, එක්කෙනෙක්ට අඩුවෙන් ආදරෙයි කියලා කියන්න බෑ... මොකද ඒක දෙවිදියක්. මං ඔයාට ආදරේ කරන කරන එකයි, නෙහාට ආදරේ කරන එකයි දෙකක්... ඒත් ඒ දෙකම මට ඕනේ. ඒ කියන්නේ ඔයාලා දෙන්නවම මට ඕනේ... මට ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් නැති කරගන්න ඕනේ නෑ... මං සෙල්ෆිෂ් ඇති. ඒත් මනුස්සයෙකුට තමන්ගේ ඇස් දෙකෙන් එකක් තියාගෙන අනික පොට්ට කරගන්න බෑනේ චූටි... ඒ වගේ තමයි මට ඔයයි, නෙහායි කියන්නේ. ඔයාලා දෙන්නා මගේ ඇස් දෙක. මගේ පණ. මගේ හුස්ම... ඔයාලා දෙන්නම නැතුව ඉන්න විදියක් මං දන්නෑ. හිතාගන්නත් බෑ... මට ඔයාලා දෙන්නම ඕනේ... නෙහාට මිහීවත් එහෙමයි. නෙහා මට තරමටම මිහීටත් ආදරෙයි. එයාටත් මායි, මිහීයි අතරෙන් එක්කෙනෙක් තෝරගන්න බැරිවෙයි කවදාවත්... දැන් ඌට ඒ තැනට පුතාත් ඇවිත් තියෙන්නේ... ඔයාලා මොනවා හිතුවත් ඒක එහෙමයි..."

පොඩි අයියාගේ කතාව ඇහුවම මට දැනුනේ මාව කැරකෙනවා වගේ. එහෙම කරන්නේ කොහොමද..? දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුලුවන්ද..? ඒක මට තේරුම්ගන්න බෑ. මට එහෙම බෑ. මගේ හිතේ ඒ තැන ඉන්නේ පොඩි අයියා විතරයිනේ. දෙන්නෙක්ව කොහොමද එක හිතක දරාගන්නේ..? මට ඒක හරි ප්‍රශ්නයක්.

ඒකට ගැලපෙන උත්තරයක් මට එදා හම්බුණේ නෑ. ඒත් පස්සේ කාලෙක සකූගේ අහසම ගුගුරා... කියවද්දි මට ඒකට උත්තරයක් හම්බුණේ සකූ හැම එපිසෝඩ් එකකටම කලින් දාන ක්වෝට් එකකින්.

"...නමුත් කාලය, සියලු තුවාල සුවකරන්නාක් මෙන්ම මට අමුතු දෙයක් ද ඉගැන්වීය. එනම් ජීවිත කාලයක් තුළ ඔබට, එක් පුද්ගලයෙකුට වඩා ආදරය කළ හැකි බවයි..."*

මං සකූගේ අහසම ගුගුරා... කතාව ඇතුලෙන් ජීවිතේ හොයන්න ගත්තේ ඔන්න ඔය ක්වෝට් එක කියෙව්වට පස්සේ. රනුක ශ්‍රීමාලිට ආදරේ කරන අතරෙම නදිනිට ආදරේ කරන්න ඇත්තෙත් පොඩි අයියා ඔය කියන ෆැක්ට් එක නිසා වෙන්නැති කියලා මට හිතුනා. වෙනසකට තියෙන්නේ රනුක ආදරේ කරපු දෙන්නම කෙල්ලෝ වෙච්ච එකයි, රමිත් ආදරේ කළේ කොල්ලෙක්ටයි, කෙල්ලෙක්ටයි වෙච්ච එක විතරයි. මං එච්චර දවස් පොඩි අයියා චපලයි කියලා හිතුවට සකූගේ අහසම ගුගුරා... කියවද්දි මට හිතුනේ නෑනේ රනුක චපලයි කියලා. ඇයි මං රනුක ගැන එහෙම නොහිතුවේ..? ඇත්තටම මං පොඩි අයියාගෙයි, අයියාගෙයි මෙන්ටලිටි එක ගැන හරියටම තේරුම්ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ සකූගේ අහසම ගුගුරා... කතාවත් එක්ක.

අපි ආපහු මගේ කතාවට බහිමු...

"ඔයාට මං මේ කියන දේ තේරුම්ගන්න බැරුව ඇති චූටි..."

පොඩි අයියා කිව්වේ මගේ හිත කියවලා වගේ.

"මං මගේ ජීවිතේ මේ විදියට ආදරේ කළේ ඔයාලා දෙන්නට විතරමයි... වෙන කිසිම පිරිමියෙක් ගැනවත්, කෙල්ලෙක් ගැනවත් ඔයයි, නෙහායි ගැන මට දැනුනු ස්ට්‍රෝන්ග් ෆීලින් එකවත්, කම්ෆටබල් ගතියවත් දැනිලා නෑ... ඔයාලා දෙන්නා අයියයි, නංගියි උන එක අහම්බයක් උනත් මං ඔයාලා දෙන්නටම ආදරෙයි..."

මට ඕනේ වුණේ පොඩි අයියාට බනින්න. එයා මට වංචා කළා කියලා චෝදනා කරන්න. ඒත් ඔය මුකුත්ම නොකර කටවත් නෑර මං ඔහේ මුහුද දිහා බලන් හිටියා. සැරින් සැරේ අපි දෙන්නම හීල්ලුවා.

"අපි දැන් මොකද කරන්නේ පොඩි අයියේ..?"

අන්තිමටම මං ඇහුවා.

"ඒ කිව්වේ..?"

පොඩි අයියා සම්පූර්ණයෙන්ම මගේ පැත්තට හැරිලා ඇහුවේ.

"මං ඇහුවේ වෙඩින් එක ගැන... අපි හැමෝටම ඉන්වයිට් කරලා, හැමදේකටම සල්ලි ගෙවලා, සේරම දේවල් රෙඩි කරගෙනත් ඉවරයි මේ වෙද්දි... ඒකට අපි මොකද කරන්නේ..?"

"ඔයා කියන්නේ අපි වෙඩින් එක කැන්සල් කරමු කියලද..?"

පොඩි අයියා ඇහුවේ කලබලෙන් වගේ. මං එයා දිහා නොබලා උත්තර දුන්නා.

"මට හිතාගන්න බෑ මං කොහොමද ඔයාව බැඳලා එක ඇඳක් බෙදාගෙන ජීවත්වෙන්නේ කියලා... එදා මං දැකපු දේ තාමත් මගේ ඔලුවේ හොල්මන් කරනවා... අපි දෙන්නා වෙනම ගෙදරක පදිංචි වෙනවා නම් අපිට රූම්ස් දෙකක හරි ඉන්න තිබ්බා පොඩි අයියේ... ඒත් අපි දෙන්නා ඉන්නේ අපේම ගෙදර. මගේ අම්මා, අප්පච්චි වගේම ඔයාගේ අම්මත් ඉන්නේ එහේ මේ ටිකේම. තව ආච්චිත් ඉන්නවා... එහේ අපි දෙන්නට රූම්ස් දෙකක ඉන්න බෑ... මට එක රූම් එකක ඔයා එක්ක ඉන්න තරම් හිතකුත් නෑ තාම නම්..."

මං උත්තර දුන්නේ සන්සුන්ව.

"රූම්ස් දෙකක ඉන්න කතා, සෝෆා වල නිදාගන්න කතා තියෙන්නේ ඉන්ඩියන් මෙගා සීරිස් වල චූටි... ඇත්ත ජීවිතේ මොන මිනිහද කැමති තමන් ආදරේ කරන, තමන් කසාද බැඳපු ගෑනිව වෙන රූම් එකක තියන්න..? නැත්නම් ගෑනිට ඇඳ දීලා සෝෆා එකක නිදාගන්න..? මට නම් බෑ චූටි. බොරු කියන්න ඕනේ නෑනේ... අපි දෙන්නා එකට හිටියට පස්සේ මට ඔයාව ඕනේ වෙච්ච තරම ඔයාට හිතාගන්නවත් බෑ. මං මාරම අමාරුවෙන් කන්ට්‍රෝල් වෙලා හිටියේ මේ මුළු කාලේ පුරාම... නෙහා එක්ක කොච්චර එකට හිටියත් ඔයා එක්ක හිටියට පස්සේ තමා මාව ෆුල්ෆිල් උනේ... ඒ නිසා රූම් දෙකක ඉන්න තියා එක රූම් එකේ ඇඳවල් දෙකක දුරකින්වත් ඔයාව තියන්න නම් මට බෑ චූටි..."

දෙයියනේ... මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමීද..? එතකොට මං ඉන්නේ එයාගේ සෙක්ෂුවල් නීඩ්ස් ෆුල්ෆිල් කරන්න විතරද..? මට කේන්තියක් ආවේ. මං මගේ තරහා පිට කරන්න කලින් පොඩි අයියා ආයෙම කතා කළා.

"මං මේ කතා කරන්නේ සෙක්ස් ගැන විතරක්ම නෙවේ චූටි... හරි. සෙක්ස් පැත්තකින් තියන්නකෝ... ඔයාගේ අයිතිය අතාරින්න මට කොහෙත්ම බෑ... සෙකස් නොකර හරි ඔයා මගේ ගාව ඉන්නවා නම් මට ඒකත් ඇති එක අතකට. එහෙම ඔයාව ඈත් කරලා දාන්න මට බෑ... අවුරුදු ගාණක් හිතේ මේ හැම ෆීලින් එකක්ම හිරකරගෙන මං හිටියේ නෙහාට වෙච්ච පොරොන්දුව නිසා... හැමඅතින්ම ඔයාව අයිති කරගන්න තියන අන්තිම මොහොතේ මට ඔයාව අතාරින්න බෑ..."

පොඩි අයියා එකපාර කතාව නවත්තලා ටික වෙලාවක් කල්පනා කළා.

"ඒත්..."

මිනිත්තු කීපෙකට පස්සේ පොඩි අයියාම ආයේ කතා කළේ කලින්ටත් වඩා තදින් හූල්ලන ගමන්.

පොඩි අයියා ඉස්සර ඉඳන්ම අයියාටත් වඩා මගේ හිත කියෙව්වා. වෙනදට මං ඒකට කැමති වුණාට එදා මං ඒකට අකමැති වුණා. මොකද වෛර කරන්න, එයාගෙන් ඈත්වෙන්න මං කරුණු හොයද්දි එයා ඒ හැමපාරක්ම වහයිද කියලා මගේ හිතේ තිබ්බ සැකේ නිසා.

"ඒත් මට ඔයාව බලෙන් මා ගාව තියාගන්නත් බෑ චූටි... මගේ ආදරේ නිසා ඔයාගේ සතුට නැතිවෙනවා නම් ඒකෙන් ඇති වැඩකුත් නෑනේ... ඒ නිසා ඔයා හිතලා බලලා තීරණයක් ගන්න... මට ඇත්තටම බෑ ඔයා මගේ වයිෆ් කියලා ඔයාට වෙඩින් එක ගමු කියලා බලකරන්න..."

එක පාරටම හිතුවෙවත් නැති විදියට පොඩි අයියා තීරණේ මගේ අත් දෙක උඩ තියලා එයාගේ කතාව ඉවර කළා. වෛර කරන්නත් බැරි, ආදරේ කරන්නත් බැරි තැනකින් එයා මාව ගෙනත් නැවැත්තුවේ.

"මං මේ කාගෙත් හොඳට කියන්නේ චූටි... ඔයා ගන්න තීරණයක් තව දවස් තුනක් ඇතුළත ගන්න. බදාදා වෙනකොට ඔයා ෆයිනල් ඩිසීෂන් එකකට එන්න... ඔයාගේ තීරණේ වෙඩින් එක කැන්සල් කරන එක නම් ඒක අන්තිම දවස් තුන වෙනකන් ඉන්නැතුව කියන්න... මං මේ මං ගැන සෙල්ෆිෂ් වෙලා කියන දෙයක් නෙවේ. මට කොහොම හරි හිත හදාගත්තා කියමුකෝ... ඒත් අපේ අම්මලා, අප්පච්චිලාගේ ජෙනරේෂන් එක ගැන ඔයා දන්නවනේ. අනික ඒ හතරදෙනාම ලෙඩ්ඩු. ආච්චි පවා ලෙඩින්නේ... ඒ නිසා අන්තිම මොහොතේ කියලා ඒ මිනිස්සුන්ව ශොක් කරන්නෙපා... මොකද මේවා කිව්වම ශොක් වෙන්න එකකට වඩා හේතු අපි එයාලට දෙනවනේ. එහෙන් වෙඩින් එක කැන්සල් කරන එක. මෙහෙන් මගෙයි, නෙහාගෙයි අවුරුදු ගාණක රිලේෂන්ශිප් එක. ඔය වගේ දේවල් අපේ ගෙවල්වල මිනිස්සුන්ට වඳුරු කුණුහරප වගේ කියලා ඔයා දන්නවනේ චූටි... දවස් තුනක් කියන්නෙත් මහලොකු කාලයක් නූනට මොනාම හරි ශේප් එකක් දාගන්න ඒ කාලේ ඇතිවෙයි කියලා හිතමු... අන්න ඒ නිසයි මං ඔයාට ඩෙඩ්ලයින් එකක් ගැන කිව්වේ. නැතුව වෙන දේකට නෙවේ... අපේ තීරණ නිසා එයාලට මොනා හරි උනොත් ඒකේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඔයාට නෙවේ මට. මොකද මම නිසයි හැමදේම මෙහෙම උනේ..."

පොඩි අයියා කියපු ඒ පොයින්ට් එක හරි. ඒත් මට හිතන්න ඕනේ තව.

"මට පොඩ්ඩක් ඉන්න ඕනේ තනියම..."

මං කිව්වම පොඩි අයියා ඔලුව වනලා හා කිව්වා. මං බෙන්ච් එකෙන් නැගිටලා බීච් එක දිගේ ඔහේ ඇවිදගෙන ගියා. අපි හිටපු හරියේ සෙනග නොහිටියට සමහර තැන්වල සෙනඟ හිටියා. සමහර වෙලාවට රැල්ල ඇවිත් මගේ කකුල් ඔහේ තෙමලා දාලා ගියා. සමහර වෙලාවට රැල්ල කකුල් දෙක ගාවටම ඇවිත් මගේ කකුල් ස්පර්ශ කරන්නෙවත් නැතුවම ආපහු මුහුදටම ගියා. සමහර තැනක මං ඔහේ ඇවිදගෙන ගියා. සමහර තැනකදි මං නැවතිලා මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා. වෙනදා වගේ ලස්සනට ඉර බැහැලා යන එක මගේ ඇස්වලට පෙනුනේ නෑ. කළුවර වැටෙනවා දැක්කත් ඒක මට ගාණක් ගියෙත් නෑ. අත් පටලන් යන කපල්ස් දැක්කෙත් නෑ.

"චූටි, දැන් යමු නේද..?"

එක පාරටම මට පිටිපස්සෙන් ඇහුනේ පොඩි අයියාගේ කටහඬ. එයා මගේ පස්සෙන් එන්නැති.

"අදම තීරණයක් ගන්න හදිසි නෑනේ... අපි ආයේ කාර් එක තියන තැනට සෑහෙන දුරක් පයින් යන්න ඕනේ. ඒ නිසා ටුක් එකක යමු කාර් එක තියන තැනට... දැන් රෑ වෙලා වැඩී එච්චර දුරක් ආපිට පයින් යන්න තරම්..."

මං පොඩි අයියාගේ යෝජනාවට එකඟ වුණා. පොඩි අයියා ටුක් එකකින් මාත් එක්ක කාර් එක නවත්තලා තියන තැනට ආවා.

"බැරිවෙලා හරි මං වෙන කෙනෙක්ට ආදරෙයි කිව්වොත් ඔයාට ඒක දරාගන්න පුලුවන්ද පොඩි අයියේ..?"

මං ඇහුවේ කාර් එකට නැග්ගටත් පස්සේ. පොඩි අයියා හිනාවක් දාලා කාර් එක ස්ටාර්ට් කළා.

"ඔයා තව කෙල්ලෙක්ට ආදරෙයි කිව්වොත් මට ඒක සලකා බලන්න පුලුවන් වෙයි... ඒත් ඔයා තව කොල්ලෙක්ට ආදරෙයි කිව්වොත් නම් මට ඒක දරාගන්න පුලුවන් වෙන එකක් නෑ. ඒක හොඳ විදියකින් කෙලවර වෙන එකකුත් නෑ..."

මං මුකුත්ම නොකියා සීට් එකට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තා.

"මං මහ පාහර මිනිහෙක් තමා චූටි... මං කරපු දේවල්වලට සමාවක් නෑ. ඒකයි මං සමාව ඉල්ලුවේ නැත්තේ..."

පොඩි අයියාගේ ගැඹුරු කටහඬ ආයෙම ඇහුණට මං ගෙදර එනකන් ඇස් දෙක ඇරියෙම නෑ.

ඉරිදා... සඳුදා... අඟහරුවාදා...

දවස් ඔහොම ගෙවිලා ගියා. ඉරිදා ලොකු අයියලා බබාලා එක්ක ලංකාවට ආවා. එයාලා හිටියෙත් අපේ ගෙදරමයි. තට්ටු දෙකේම ඒ වෙද්දි කාමර අටක් විතර තිබ්බ නිසා ඉඩකඩ ප්‍රශ්නයක් වුණේ නෑ. කොහොමත් පොඩි කාලේ ඉඳන් අපි හතරදෙනා එකටමයි හිටියේ. අයියටයි, පොඩි අයියාටයි වඩා අවුරුදු එකහමාරක් විතර වැඩිමල් වුණ ලොකු අයියාත් අපිට යාලුවෙක් ගාණයි. ඉස්කෝලේ නිවාඩුවේ එක්කෝ අපි ගමේ ගියා. නැත්නම් ලොකු අයියලා කොළඹ ආවා. ඒ නිසා අපි අතරේ ලොකු බැඳීමක් තිබ්බා. පිටින් කියලා එකතු වුණ මිහී වගේම ලොකු අයියාගේ වයිෆ්නුත් අපේ සර්කල් එකට හොඳටම මැච් වුණා.

ඉරිදා හවස අයියා මගේ කාමරේට ආවේ මාත් එක්ක කතා කරන්න බලාගෙන. කලින් දවසේ පොඩි අයියාටත් කතා කරන්න චාන්ස් එක දුන්න නිසා අයියා එක්ක කතා කරන්න බෑ කියලා මට එයාව එලවලා දාන්න හිතුනේ නෑ. අයියම කාමරේ දොරත් වහලා ඇඳ උඩින් වාඩිවුණේ පුටුව ඇඳ ගාවට ඇදගෙන මටත් වාඩිවෙන්න කියලා.

"මං සමාව ඉල්ලන්න ඕනෙද චූටි..?"

අයියා ඇහුවා.

"මොකටද..? මගේ හස්බන්ඩ්ට ආදරේ කරන එකටද..?"

මං ආපිට ඇහුවා.

"නෑ... රමී ඔයාට ආදරෙයි කියලා දැන දැනත් ඌට ආදරේ කරපු එකට..?"

මට ඒකට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.

"ඒක හරි අමුතුයි නේද අයියේ..? මං කියන්නේ මං කතාවල, ෆිල්ම්ස්වල ඕනේ තරම් දැකලා තියනවා එකම කොල්ලට ආදරේ කරන අක්කයි, නංගියි. නැත්නම් එකම කෙල්ලට ආදරේ කරන අයියයි, මල්ලියි... ඒත් අපි..? එකම කොල්ලෙක්ට ආදරේ කරන අයියයි, නංගියි... පොඩි අයියගේ පැත්තෙන් ගත්තොත් නෑනටයි, මස්සිනාටයි දෙන්නටම ආදරේ කරන කොල්ලෙක්..."

"ඇයි නංගිගේ හොඳම යාලුවටයි, මස්සිනාටයි ආදරේ කරන කොල්ලෙක්..."

අයියා එයාගේ පැත්තෙන් කිව්වා. ඒක විහිලුවක් වුණාට අපි දෙන්නටම ඒකට හිනාවෙන්න බැරිවුණා.

"කොහෙන් කොහාට හැරෙව්වත් මේක හරි අමුතු කතාවක් අයියේ..."

අයියාත් ඒකට එකඟ වුණා.

"අරූ පිංසෙණ්ඩු උනා උඹව ස්ට්‍රෙස් කරන්නෙපා, උඹට ෆෝර්ස් කරන්නෙපා කිය කිය... ඒත් නංගි මං මේ ටික කියන්නම ඕනේ. ඒකමයි ආවේ..."

අයියා හීල්ලුවා. මං එයාට කියන්න ඇරලා බලන් හිටියා.

"සේරටම කලින් මං හරිම පොසෙසිව්, සෙල්ෆිෂ් අයියෙක් බං... උඹ ටිකෙන් ටික ලොකුවෙද්දි මං බය උනා උඹ කොල්ලෙක් එක්ක යාලු උනොත් මගෙන් ඈත්වෙයි කියලා... රමියා උඹට ආදරෙයි කියලා දැනගත්තම මට හිතුනා උඹව පේන දුරින් තියාගන්න හොඳම දේ උඹලා දෙන්න සෙට් වෙන එක කියලා... හැබැයි අදටත් රමියයි, උඹයි බඳින තැනට එනකන් බැක්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ප්ලෑන් ගහපු එක ගැන මට කිසිම දුකක් නෑ බං... රමියා උඹට පණ ඇරලා. සමහර වෙලාවට මට ජෙල හිතෙන තරම් ඌ උඹට ආදරෙයි..."

අයියාගේ මූණේ යන්තම් හිනාවක් තිබ්බා.

"රමියට ආදරේ කරනකන් මං දැනන් හිටියේ නෑ නංගි මට එහෙම ෆීලින්ස් තියනවා කියලා... ඒ දවස්වල හිතේ පොඩි අවුලකුත් තිබ්බා මං gay ද කියලත්... ඒක මගේ හිතෙන් සම්පූර්ණයෙන්ම නැති උනේ මිහී ගැන මගේ හිතට ආවට පස්සේ... මං මිහීට සිරාවටම ආදරෙයි... හැබැයි ඒ රමියට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද කියන්න මං දන්නෑ නංගි. මට උන් දෙන්නම ඕනේ... ඒ වගේම උඹවත් ඕනේ. මගේ පුතාවත් ඕනේ... අම්මා, අප්පච්චියි උඹලා හතරදෙනයි තමයි මගේ ලෝකෙම... මිහීවත්, රමියාවත් දෙන්නාගෙන් එක්කෙනෙක් නැතුව මං සම්පූර්ණයි කියලා මට දැනෙන්නෑ බං... අනික් අතට උඹව මගේ ඇස් මානෙන් එහා යවන්න මෙච්චර ලොකු වෙලා අවුරුදු විසිහතකුත් පැනලත් මට බෑ තාම. තාමත් මං ඒ පොසෙසිව්, සෙල්ෆිශ් අයියම තමා... මං රමියට ආදරේ නිසා නෙවේ මං උඹට ඌ එක්ක ඉන්න කියන්නේ. රමියා උඹට ආදරේ නිසා... ඌ මටත් කලින් උඹට ආදරේ කරන්න ගත්තේ. එහෙම බැලුවොත් උඹලා දෙන්නා මැදට ආපු එකා මං..."

ඒක හරියට පාපොච්චාරණයක් වගේ වුණත් මට හිතාගන්න බැරි වුණේ පොඩි අයියා කියපු සමහර දේවල් වෙන විදියකින් හරි අයියාත් කිව්ව එක ගැන. එක අතකට එක්කෙනෙක් මත්තේ නැහීගෙන ලව් කරන අපි ඉන්නේ කොච්චර ෆ්‍රී එකේද කියලා හිතුනා ඩබල් ගේම් ගහන මේ දෙන්නා ඒක බැලන්ස් කරගන්න දත කන විදිය දැක්කම.

"මං ආවේ උඹ හිතාගෙන ඉන්නේ වෙඩින් එක නවත්තන්න නම් ඊට කලින් ආයේ පාරක් හිතන්න කියල කියන්න... තමුසේ දන්නවනේ. අප්පච්චිගෙයි, නැන්දගෙයි තත්වේ. අප්පච්චි මේ වෙඩින් එක ඉක්මන් කළෙත් බයිපාස් එකෙන් පස්සේ අප්පච්චි බය උනු නිසා. එහෙම කෙනෙක්ට උඹ ඩිවෝස් වෙන්න ඕනේ කිව්වම දරාගන්න පුලුවන් වෙයිද කියලත් හිතපන්... අනික අම්මයි, මාමයි දෙන්නම බ්ලඩ් ප්‍රෙශර් තියන අය. අනික් පැත්තෙන් ආච්චි... උඹ දැන් මායි, රමියයි අතරේ තියන අෆෙයාර් එක ගැන කිව්වම මිහී හැමදේම දමලා ගහලා ගියොත් ඒක කවදහරි බලපාන්නේ පුතාට. අප්පෙක් නැතුව දරුවෙක් හැදෙනවා කියන එක කොහොම දෙයක්ද කියලා උඹ දන්නවනේ නංගි... ඒ එක්කම ඩිවෝස් උනු ගෑනියෙක්ට අපේ සමාජෙන් හම්බෙන්නේ කොහොම තැනක්ද කියලා උඹ දන්නේ නැතිවෙන්න බෑ... එහෙම අවනම්බුවක් උඹ දරාගත්තත් අම්මා, අප්පච්චි ඒවට කොහොම මූණදෙයිද කියලත් හිතලා බලපන්..."

අයියා මාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවා. මට ඒක නොතේරුණා නෙවේ. අයියා ඇඳෙන් නැගිට්ටා.

"ඒ නිසා තීරණයක් ගන්න කලින් හොඳට හිතපන්..."

"ඔයාලා දෙන්නා ගැන ඇත්ත අපේ පවුලේ අය දැනගත්තම ඒක එයාලට දරාගන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද අයියේ..?"

මමත් පුටුවෙන් නැගිටින ගමන් ඇහුවේ. අයියා කට කොණින් හිනාවුණා.

"උඹ අපි දෙන්නා එක්කම තරහා වුණත් ඒක ගෙදර මිනිස්සුන්ට කියයි කියලා මං හිතන්නෑ..."

මට හීල්ලුනා. පොඩි අයියාටත් වඩා අයියා සෙල්ෆිෂ්. ඒ දෙන්නම කිසිම තැනක කියන්නෑ මං මේ වෙඩින් එක ගන්නවා නම් ඒ දෙන්නගේ අෆෙයාර් එක එයාලා නතර කරනවා කියන එකත්. ඒ කියන්නේ ඒක නතර කරන්න ඒ දෙන්නට කිසිම ඕනේ කමක් නෑ. මට පොඩි අයියා එක්කම එයාලගේ අෆෙයාර් එකත් ඇක්සෙප්‍ට් කරන්නම වෙනවා වෙඩින් එක ගන්නවා නම්.

අයියා යන්න ගිහින් ආපහු ඇවිත් මාව ඇදලා අරන් බදාගත්තා. මට එකපාරටම මැවිලා පෙනුනේ අයියා, පොඩි අයියා එක්ක එදා ඇඳේ හිටපු විදිය. අයියා මාව තදින් බදාගත්තට මට මගේ අත් දෙක එයා වටේ දාලා එයාව බදාගන්න හිතුනේ නෑ. ඒක තේරිලාද කොහෙද අයියා මගේ අත් දෙක අරගෙන බලෙන්ම එයාගේ ඉණ වටේ දාගත්තා.

"තමුසෙට මාව එහෙම කුණු කරෝල කෑල්ලක් වගේ අහක දාන්න බෑ නංගි. මං තමයි අප්පච්චිටත් කලින් තමුසෙව අතට ගත්තේ... උපන්න දා ඉඳන් තමුසෙව බලාගත්තේ මං... උඹේ කැත කුණු අතගාලා තියෙන්නේ අම්මා, අප්පච්චි විතරක් නෙවේ... අම්මා, අප්පච්චිටත් වඩා තමුසේ කැමති, අකමැති දේවල් දන්නේ මං... කොච්චර රණ්ඩු කළත්, බැන්නත්, අපි වයසට ගියත් මං තමුසෙගේ අයියා. ඒ ලේ බැඳීම කඩන්න උඹටවත් මටවත් බෑ..."

අයියා මගේ ඉස්මුදුන ඉම්බා. මට කඳුළු ආවා මුල්පාරට. ඒ වෙන දේකට නෙවේ. කොච්චර රණ්ඩු වුණත් පොඩි කාලේ ඉඳන් මං ගැන වැඩියෙන්ම හොයලා බැලුවේ අයියා නිසා. ඇත්තම කිව්වොත් පොඩි කාලේ අයියා මගේ පස්ස පැත්ත පවා හෝදලා තියනවා. ලොකු වෙද්දි රණ්ඩු කරගත්තට පොඩි කාලේ මාව එයාගේ ඇස් මානෙන් ඈතට යැව්වෙම නෑ.

"පුලුවන් නම් මැරෙන්න කලින් මට සමාවදියන්. උඹයි, රමියයි මැද්දට ආවට..."

ආයෙම අයියා මගේ ඉස්මුදුන හරි තදින් ඉඹගෙන මිනිත්තුවක් විතර හිටියා. මාව අතෑරලා දාපු අයියා දොර ඇරගෙන එළියට යනකොට ඇස් පිහිනවත් මං දැක්කා.

ආදරේ... ඒක මාර අමුතු දෙයක්. ඒක එහෙම නොවුණා නම් අපි අද මෙහෙම අතරමං නොවී ඉන්න තිබ්බා.

හිතලා හිතලා කෙලවරක් තිබ්බේ නෑ. තාම මං තීරණයක නෑ. අඟහරුවාදා මං ගෙදර එද්දි ටිකක් රෑ වුණා. නාලා ඉවරවෙලා ඉස්තෝප්පුවට ආවම මං දැක්කා අඹ ගහ යට සිමෙන්ති බංකුවේ ලොකු අයියා කෝල් එකක ඉන්නවා. මං හිමින් ගිහින් එයා ගාවින් වාඩිවුණා. මාව දැක්ක අයියා ටිකකින් කෝල් එක ඉවරවෙලා මං දිහාට හැරුණා.

"මොකක්ද චූටි උඹට ඔහොම හූල්ලන්න තරම් තියන ප්‍රශ්නේ..?"

ලොකු අයියා ඇහුවේ මගේ ඔලුවත් අත ගාලා.

"පිස්සුද බං මේ රෑ නාන්නේ..?"

ලොකු අයියා කොණ්ඩේ තෙත අතට දැනුනු නිසා මට රවලා මගේ අතේ තිබ්බ ටවල් එක අරගෙන බලෙන්ම මගේ කොණ්ඩේ පිහදාන්න ගත්තා.

"හෙයාර් ඩ්‍රයර් එකක් නැද්ද බං ගෙදර..?"

"තියනවා. ඒක පොඩි අයියගේ කාමරේ..."

"ඒක අරගෙන ඩ්‍රයි කරගන්නවා තෙත පිටින් ඉන්නැතුව..."

"මට ඒ රූම් එකට යන්න තහනම්නේ..."

"අනේ මේ නැන්දගේ කෝලම්... තව දවස් තුන හතරකින් උඹ කොහොමත් ඉන්නේ ඒ රූම් එකේ තමා... පිස්සු නැතුව ඉඳපන් බං... අන්න ඌ මට කියලත් උඹට ඕනේ අරව මේව ගෙන්නව ගත්තා..."

ලොකු අයියා සැහැල්ලු හිනාවක් දැම්මට මට එහෙම හිනාවෙන්න බැරිවුණා. මං හීල්ලුවම ලොකු අයියා ටවල් එක මගේ උකුල උඩට දාලා මං දිහාට හැරුණා.

"නැන්දා එක්ක වලියක්ද..? මොකක්ද කේස් එක..? මං ආව දවසේ ඉඳන් නෝට් කළේ චූටි..."

ලොකු අයියත් හොඳට ඉගෙනගත්ත කෙනෙක්. අපි සේරටම වඩා වැඩිමල්. ඊටත් අපි හතරදෙනා පොඩි කාලේ ඉඳන් එකටමයි හිටියේ. ඒ නිසා මං හිත හයිය කරගෙන හැමදේම ලොකු අයියා එක්ක කිව්වා. ලොකු අයියා මුකුත්ම නොකියා අහගෙන හිටියා.

"උඹ සති දෙක තුනකට කලින් දැනගත්ත ඔය සීන් එක මං දැනගත්තේ උන් දෙන්නා කැම්පස් යන්නත් කලින්..."

ලොකු අයියා කිව්වම මාව ගැස්සුණා.

"අපේ එකා ඉංජිනියරින් යන්නැතුව මෙහෙම යන්න හදන කොටයි මට ඉව වැටුණේ. පස්සේ ටක්කෙටම දැනගත්තා..."

ලොකු අයියා යන්තම් හිනාවුණා.

"චූටි... මොනා උනත් දැන් උඹ අපේ එකාව බැඳලා ඉවරයි... නෙහාර සෙට්ල් වෙලා ඌට බබෙකුත් ඉන්නවා... අපේ එකාටත් චාන්ස් එකක් දෙන්න... නෙහාර බබා එක්ක බිසී වෙනකොට, අපේ එකා උඹ එක්ක බිසී වෙනකොට, උඹලා දෙන්නට බබාලා ඉන්නකොට උන් දෙන්නාගේ ඔය සම්බන්ධකම් ඉබේම දුරස් වෙයි..."

මං මුකුත්ම කිව්වේ නෑ. මං දැක්කා පොඩි අයියා ඉස්තෝප්පුවට එනවා. ලයිට් එළියෙන් එයා අපි දෙන්නව දැක්කට අපි ඉන්න පැත්තට ආවේ නෑ එයා අතේ පුතා හිටිය හින්දා.

"මං වගේම නෙහාරත් ඉක්මණට බැන්දා... ඒත් ඌට දරුවෙක්ගේ වගකීම් තිබ්බේ නෑනේ මෙච්චර කල්. දැන් ඌට ඒකත් තියනවා... අපේ එකාටත් ඕවා ඉබේටම එයි... අනික චූටි, කොල්ලෝ ගොඩක් වෙලාවට ඔය වයස්වලදි එක්ස්පෙරිමෙන්ට්ස් වලට ඔහොම වැඩ කරනවා. ඒත් පහුවෙනකොට එන මැචුවරිටි එකයි, රෙස්පොන්සිබිලිටීස් එක්කයි උන්ගෙන් ඕවා ඉබේටම අතෑරෙනවා... ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්නෙපා..."

ලොකු අයියා කිව්වේ බංකුවෙන් නැගිටින ගමන්. මාත් එයා එක්කම නැගිට්ටා.

"අඩුගානේ මුන් දෙන්නට වෙන කෙල්ලෝ කේස් තිබ්බේ නෑ මෙච්චර කොළඹ ඉඳලත්... මං කැම්පස් ගියාට පස්සෙත් අම්මාගෙන් ගුටි කාලා තියනවා කෙල්ලෝ දෙක තුන එකට රන් කරලා මාට්ටුවෙලා. මට එහෙම සීරියස් කොක්කක් තිබ්බෙම නෑ. උඹ දන්නවා ඇතිනේ ඒවා... මං ගැන ශුවර් නැති නිසාමයි අම්මලා මාව ඉක්මණට සෙට්ල් කරවලා දැම්මෙත්. දැන් ඉතිං වයිෆුයි, බබාලයි ඇරෙන්න වෙන මොකෙක්වත් ගැන හිතන්නවත් හිතෙන්නෑ... මාත් එක්ක බලද්දි මුන් දෙන්නා පට්ට හොඳයි චූටි..."

මං ලොකු අයියා එක්ක ඉස්තෝප්පුවට යද්දිත් පොඩි අයියා පුතාව නලවනවා.

"කොල්ලා නිදිද..?"

මට පිටිපස්සෙන් ඇහුණේ අයියාගේ කටහඬ. පොඩි අයියා ඔලුව දෙපැත්තට වැනුවා.

"දීපන්... මං ගන්නම්..."

අයියා කිව්වේ සාලේ පඩියෙන් ඉස්තෝප්පුවට බහින ගමන්.

"‍රෑ නෑවද මැට්ටි..?"

අයියා ඇහුවේ මගේ ළඟින් යන ගමන් මගේ කොණ්ඩේ අදින කොට අතට දැනිච්ච තෙත ගතිය නිසා වෙන්නැති.

"පොඩී... කොල්ලව නෙහාට දීලා මේකිගේ කොණ්ඩේ ඩ්‍රයි කරලා දීපන්... මෙච්චර මේ අව් අස්සේ රෑ නාලනේ මේකි..."

ලොකු අයියා කිව්වම පොඩි අයියා මගේ දිහා බැලුවා. මං මුකුත්ම නොකියා පොඩි අයියා දිහා බලාගෙන හිටියා. ටිකකින් පොඩි අයියා බිම බලාගෙන දොර පැත්තට ගියා.

"චූටි... වෙඩින් එක ඉවරවුණු ගමන් උඹලත් බබාලා කෝර්ස් එකට බැහැපන්. එතකොට මස්සිනාලා දෙන්නට බැරියැ පරණ දේවල් අමතක කරලා අනිත් වැඩ පැත්තකට දාලා තරඟෙට බබාලා නලවන්න..."

ලොකු අයියා කියපු දෙපිට කැපෙන කතාව අහගෙනම මං පොඩි අයියා පස්සෙන් ගියා. එයා කාමරෙන් හෙයාර් ඩ්‍රයර් එක අරගෙන ඇවිත් ඒක කෑම කාමරේ ප්ලග් කරලා මගේ කොණ්ඩේ වේලන්න ගන්නකොටම අයියයි, ලොකු අයියයි දෙන්නත් එතනටම ඇවිත් කෑම මේසේ පුටුවල වාඩිවුණා. ඊටපස්සේ වෙඩින් එකේ වැඩ වගයක් ගැන අයියලා කතා කරන්න ගත්තත් මං පොඩි අයියාට හෙයාර් ඩ්‍රයර් එක අල්ලන්න දීලා සද්ද නැතුව හිටියා. ටිකකින් මිහීයි, අක්කයි එක්ක මාමායි, අප්පච්චියි දෙන්නත් කෑම කෑමරේට ඇවිත් වාඩිවුණා. අයියලා මගේ කොණ්ඩේ වේලන එක, පීරන එක අපේ ගෙදරට අමුතු සීන් එකක් වුණේ නෑ කවදාවත්. ඒ නිසා ඩ්‍රයි කරලා ඉවර වෙලා පොඩි අයියා මගේ කොණ්ඩේ පීරනකොට එතන හිටපු අය තියා සැරෙන් සැරේ එතනට ඇවිත් ගිය අම්මාවත් ඒක ලොකු සීන් එකක් කරගත්තේ නෑ.

මේක කෙනෙක් ප්‍රාර්ථනා කරන පවුලක් වගේ නේද ඇත්තටම...? ඇත්තම කිව්වොත් එවෙලේ එතන තිබ්බේ සතුටම විතරයි. මගේ හිතේ ඇර.

කොණ්ඩේ පීරන කොට ගවුම් කරෙන් ඇරුණු පිටේ වැදෙන පොඩි අයියාගේ ඇඟිලිවලින් මට වෙනදා දැනෙන හිරිවැටෙන කිතිය දැනුණේ නෑ. මගේ ඒ හැඟීම් මැරිලද මන්දා... මට එහෙමත් හිතුනා.

මං හීල්ලුවා. පොඩි අයියා පීරපු කොණ්ඩේ එක උරයකින් ඉස්සරහට දාගෙන මිහී අතෙන් පුතාව ගන්න හිතාගෙන ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටිනකොට මං දැක්කේ මට ඉස්සරහින් වාඩිවෙලා ඉන්න අයියාවයි, ලොකු අයියාවයි. කටින් නොකියපු ඒ දෙන්නාගේ ඇස් දෙකෙන් කියපු කතා කියවගෙන මං මිහීගෙන් පුතාව ගන්නකොට මට දැනුනේ කවදාවත් නොදැනුණු අමුතුම හැඟීම් ගොන්නක්.

ඒ අතරෙම මට දැනුණේ කොතනක හරි මොනාම හරි මට මිස් වෙලා කියලා. ඒත් ඒ මොකක්ද කියලා කිසිම ක්ලූ එකක් මට පෙනුනේ නෑ.

✍🏼 සකුනි හතරසිංහ

*"...But time, as well as healing all wounds, taught me something strange too, that it's possible to love more than one person in a lifetime..."
from the novel 'The Witch of Portobello' by Paulo Coelho (පාවුලෝ කොයියෝගේ The Witch of Portobello කෘතියෙන් කළ උපුටාගැනීමකි.)

මතු සම්බන්ධයි........

Comments

Popular Posts