දෙමගක 🌈

(කෙටි නවකතාව - 03 කොටස)

-අමන්දා- 

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

අයියලාගේ වෙඩිමේ කතා කියලා මං ඔයාලව බෝරිං කරන්නෑ. වෙඩිම හොඳට කෙරුණා. හැබැයි ඒකෙන් පොඩි අයියාට එයා එච්චර කල් හිටපු එයාලා දෙන්නාගේ රාජධානිය අහිමි වුණා. පොඩි අයියාට උඩ තිබ්බ එක්ස්ට්‍රා රූම් එකට ශිෆ්ට් වෙන්න වුණා. එයයි, අයියයි හිටපු රූම් එකට අලුත බැඳපු කපල් එක ආවා. එතකොට මෙච්චර කල් අප්පච්චියි, පොඩි අයියයි ශෙයා කරගත්ත ගරාජ් එක ඉඩ මදිවෙලා තව පොඩි ගරාජ් එකක් අටවලා අයියාගේ කාර් එක දාන්න ඉඩ හදාගත්තා. හොඳ වෙලාවට අපේ ඉඩම ටිකක් ලොකු නිසා ඉඩ තිබුණා.

ඒ ඔක්කොම අස්සේ නැන්දට අපේ වෙඩිමත් ගන්න ඕනේ වුණා කියන්නකෝ. ලොකු අයියාත් ඒ වෙද්දි බැඳලා. ඒත් අයියාගේ වෙඩිම ඉවර වුණු ගමන් අප්පච්චිට තව වෙඩිමක් ගන්න සල්ලි තිබ්බේ නෑ. අපි පහළ මධ්‍යම පාංතික පවුලක්. ඒ නිසා එක ළඟ වෙඩින් දෙකක් ගන්නවා කියන්නේ කරන්න අමාරු නෙවේ කොහෙත්ම කරන්න බැරි දෙයක්. ඒ නිසා අපි දෙන්නගේ දැනට රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්න තීරණය කළා. මං අකමැත්තෙන් වුණත් හා කිව්වා. වෙන මොනා කරන්නද..?

ඇත්තටම මිහී වගේ හිරවෙන්න මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ. පොඩි කාලේ ඉඳන් අයියා නිසා මං හිරවෙලා හිටියේ. පොඩි අයියා මෙහෙ ආවම එයාත් අයියා වගේම මාව හිර කළා. මගේ දඟ වැඩ, කෑකොස්සන් ගැහිලි සේරම ගෙදරටයි, ඉස්කෝලෙටයි සීමා වුණා. හරියටම කිව්වොත් මට පිටත ලෝකය එක්ක කන්ටැක්ට්ස් අඩු වුණා. ඉස්කෝලේ යන කාලේ මට කැමැත්තෙන් හිටපු කොල්ලෙක්වත් මගෙන් ඇහුවේ නෑ, මං කිංග්ස් එකේ ක්‍රිකට් ටීම් කැප්ටන්ගෙයි, වයිස් කැප්ටන්ගෙයි නංගි වුණ පවට. ඒක හරියට නොදැන හරි ඇහුව උනුත් ආස්ක්-අවුට් කරපු දවසෙන් පස්සේ උත්තරයක් ගන්න තියා මගෙ දිහා බලන්නවත් ආවේ නෑ. සමහර වෙලාවට මට උන් දෙන්නව පෙනුනේ හිට්ලරුයි, මුසොලීනියි* වගේ. ඒ නිසාද මන්දා මං ඉස්කෝලෙදි හරි දඟයි. මටම හරියන දඟ කෙල්ලෝ ටිකකුත් උන්නා. කැම්පස් එකට යද්දිම මං කොකු ගහලා ගිය නිසා එතනත් මට බොක්කේ පිරිමි යාලුවො කියලා උන් හිටියේ නෑ. මිහී ඇරෙන්න අනික් කෙල්ලොත් කතා කළේ මාත් එක්ක ලිමිට් එකට වගේ. ඒ දවස්වල අපේ කැම්පස් යුනියන් එක රන් කළේ කිංග්ස් එකේ කොල්ලෝ සෙට් එකක් නිසා අයියල දෙන්නා නම් පිකට්, පාගමන් ඔය සේරටම ගියා. මට ඒකත් නැති වුණා. කොක්ක ගැහුවට පස්සේ මිහීටත් වුණේ මට වුණ එකමයි. ඒ නිසා තමා පොඩි අයියාට කොච්චර ආදරේ වුණත් ලීගලි බොන්ඩ් එකකට යන්න මගේ හිත පොඩ්ඩක් පස්ස ගැහුවේ. ඒත් එතනදි කවුරුවත් මගේ කැමැත්තවත්, අදහසවත් ඇහුවේ නෑ. වැඩිහිටියෝ කතා කළේ අයියලා දෙන්නා එක්ක විතරයි.

ඔය විදියට තමා මං තර්ඩ් ඉයර් එකේදි නීත්‍යානුකූලව හිරේ වැටුණේ. බැච් එකේ සමහර කෙල්ලෝ නම් හිතුවේ මිහීයි, මායි පට්ට ලකී කියලා කැම්පස් කාලෙම බැඳගන්න පුලුවන් වුණ නිසා. ඒත් ඒකේ අනිසි ප්‍රතිඵල කොච්චරද කියලා එයාලට තියා මේක කියවන ඔයාලටවත් තේරෙයිද මන්දා. හොඳට එන්ජෝයි කර කර හිටපු පාටියකින් කන්නත් කලින් බාගෙට ඩාන්ස් කර කර ඉද්දි ඇදගෙන ආවා වගේ වැඩක් හරියට බැලුවොත් කලින්ම බඳිනවා කියන්නේ. මොකද අපේ සමාජේ තනිකඩ කෙල්ලෙක්ටවත්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ටවත් තියන නිදහස කසාද බැන්ද කෙල්ලෙක්ට තිබ්බේ නෑ. මොන ලෝකේ ගියත් අපි කසාද බැඳලා කියලා අපිට මතක තියාගන්න වුණා. මිහීටයි, මටයි බැච් ට්‍රිප් වගේ ඒවා කවදාවත් යන්න හම්බුණේ නෑ. බකට්, සෝෂල් විතරයි යන්තම් හම්බුණේ. කැම්පස් එකේ කිසිම එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් කරන්න වුණේ නෑ. ඔන්ලි ඩිග්‍රී. ඕක තමා අපි වගේ ලංකාවේ සාමාන්‍ය ට්‍රැඩිෂනල් පවුල්වල කෙල්ලෝ වුණාම අත්වෙන ඉරණම. අපිට අපේ ට්‍රැක් එක වෙනස් කරගන්න බැරි නම් තත්ත්වය ශෝචනීයයි.

එකම නීතියක් යටතේ බැඳලා හිටියට අපි කපල්ස් දෙකට ගෙදරදි හම්බුණේ දෙවිදියක සැලකිලි. අයියටයි, මිහීටයි එක රූම් එකක ඉන්න පුලුවන් වුණාට මටයි, පොඩි අයියාටයි ඒ වරම හම්බුණේ නෑ. අනික අම්මා එයාට ආතරයිටිස් හැදිලා පඩි නැගගන්න අමාරු වුණත් දිගටම මා එක්කම නිදාගන්න ආවා මගේ කාමරේට. අපේ පවුල්වල එහෙම තමා. බඳිනකන් අරක බෑ මේක බෑ. පෝරුවට නගින්න ඕනේ මෙහෙම. ඔය වගේ දාහක් නීති. ඒ නිසා හැමෝටම එක වගේ ලැබීම් නෑ ඉතිං.

පොඩි අයියයි, මායි අතරේ කියන්න තරම් ලොකු ප්‍රශ්න තිබ්බේ නැතත් ශෙනායා නිසා මං හිටියේ සෑහෙන අවුලෙන්. ශෙනායා ලෙක්චරර් පෝස්ට් එකට ආවට පස්සේ සාරියක් එහෙම ඇඳලා කැම්පස් එන්න ගත්තා. ඉස්සර වගේම කොණ්ඩේ කපලම තමා හිටියේ. හැබැයි සාරියෙන් ටොම්බෝයි ලුක් එක ටිකක් විතර වැහුනා. පොඩි අයියයි, ශෙනායායි දෙන්නා හිටියෙත් එකම කැබින් එක ශෙයාර් කරගෙන. මට පේන්න බෑ. ඉතිං මං බැරිවෙලාවත් ඒ කැබින් එකට ගියේ නෑ. ශෙනායා මට නෝට්ස් දෙනවා තමා. ඒත් ඒකට හිලව්වට මට මගේ මිනිහව එයාට දෙන්න බෑනේ. අනික මං දැන් මැරීඩ්. මං දැන් මිසිස් රමිත්. ඒක මගේ අයිතිය.

මිහී නම් මට කිව්වේ ඒක මගේ හිතලුවක් කියලා. අපේ අයියා කැම්පස් එකට ආවමත් අපි දෙන්නට වඩා හිටියේ ශෙනායා එක්ක. බැන්දට පස්සේ අගේ අඩුවෙලා කියලා මිහී ඒ වෙලාවට හිනාවෙලා කියනවා. කොහොමත් අයියලා දෙන්නා ශෙනායාට ඔහොම ක්ලෝස් වෙන එක මට දිරෙව්වෙම නෑ. ඒත් මං තරහා ගියාම මිහීට කියලා නිකං හිටියා. මොකද පොඩි අයියාටවත්, අපේ අයියාටවත් ශෙනායා ගැන කම්ප්ලේන් කළාට එයාලා ගණන් ගත්තේ නෑ.

අයියයි, මිහීයි සතුටින් හිටියා. මිහී කොහොමත් මං වගේ නෙවේ හරි කීකරුයි. එයත් ගෙදර ආවට පස්සේ මං වගේම අම්මාට උයන්න උදව් කළා. ගෙදර වැඩ කළා. අම්මායි, අප්පච්චියි දෙන්නම ජොබ්ස් කරපු නිසා ගෙදර වැඩ කරන්න, උයන්න මං වගේම අයියලා දෙන්නත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා හිටියේ. මිහීත් නංගිලා, මල්ලිලා කීපදෙනෙක්ම ඉන්න පවුලක ලොකු අක්කා නිසා එයාටත් ඒ දේවල් හොඳට හුරුයි. අයියාගෙයි, මගෙයි වලි ඇරෙන්න නැන්දම්මා-ලේලි වලි එහෙම කියන්න තරම් තිබ්බේ නෑ අපේ ගෙදර. ඉඳලා හිටලා අම්මා මිහීට ටිකක් තදින් කතා කළත් මිහී ඒකට එකට එක කියාගෙන නොගිය නිසා ඒවා එතනින් එහාට ගියේ නෑ. ලොකු වලි වුණේ නෑ. අපේ අම්මා ට්‍රැඩිෂනල් අම්මෙක් වුණාට නපුරු නැන්දම්මෙක් වුණේ නෑ. හැබැයි අයියා යමක් කමක් තිබ්බ තැනකින් බඳිනවට අම්මා කැමැත්තෙන් හිටියා කියලා මං දැනගෙන හිටියා. මොනා වුණත් අම්මා කවදාවත් මිහීගෙන් දෑවැද්දක් ගැන නම් ඇහුවේ නෑ. ඇත්තම කිව්වොත් ඒ ගැන වචනයක්වත් කතා කළේම නෑ. එහෙම දෑවැද්දක් දෙන්න තරම් අයියක් මිහීගේ අම්මලාට තිබ්බෙත් නෑ. හැබැයි ඒ මිනිස්සු මොන අඩුපාඩු පිට වුණත් ළමයින්ට ඒලෙවල් වෙනකන් හොඳටම උගන්නනවා කියලා මට තේරුණේ මිහී මගේ නෑනා වුණාට පස්සේ. අපේ අම්මා, අප්පච්චිත් ඒක හරියට අගේ කළා.

අපේ අම්මා පිට අය ඉස්සරහා කවදාවත් මිහීගේ හොඳක් මිසක් වරදක් කිව්වෙත් නෑ. බෑනයි, ලේලියි ගැන කා එක්ක හරි කියන්න ගිය හැමතැනකදිම අම්මා වගේම අප්පච්චිත් කිව්වේ ඒ දෙන්නට හම්බෙලා තියෙන්නේ බෑනෙකුයි, ලේලියෙකුයි කියලා නෙවේ තවත් පුතෙකුයි, දුවෙකුයි කියලා. ඒ තරමට ඒ දෙන්නට මටයි, අයියාටයි වගේ අපේ ගෙදර සමතැන් හම්බුණා. පොඩි අයියාට නම් පොඩි කාලේ ඉඳන් ඒ තැන තිබ්බනේ. මිහී ආවට පස්සේ එයාටත් එහෙමයි. අප්පච්චි නම් කොහොමත් හොඳයිනේ. අම්මා වුණත් මට දාන සැර එහෙම මිහීට දැම්මේ නෑ. මිහී, පොඩි අයියත් එක්කත් ෆිට්. අයියාව බැන්දට පස්සේ මිහීයි, මායිත් තවත් ක්ලෝස් වුණා.

ඉස්සර වගේම තාමත් අයියයි, පොඩි අයියයි අම්මාට හොරෙන් බැල්කනියට වෙලා සිගරට් ගහනවා. ඉස්සර ඒ දෙන්නා හොර වැඩ කරනකන් මාව මුරට තිබ්බා. දැන් මායි, මිහීයි ළඟ තියාගෙන හොර වැඩ කරනවා. එතකොට අම්මා එන්නෑනේ අපි හතරදෙනාම ඉන්න තැනකට. මොකද අපේ අම්මා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වගේ. අයියලා දෙන්නා සතියකට දෙකකට දවසක් වගේ බියර් එහෙම ගෙනත් සප්පායම් වුණේ අම්මාගේ ඇස් වහලා. එයාලා බොන්න පිටට යන්න වැඩිය කැමැත්තක් නොතිබ්බේ එතකොට ලිමිට් පනිනවා කියලා. ආපහු ගෙදර එන්නත් එපැයි. දෙන්නා සිගරට් නම් ගහනවා හොරෙන්. හාර්ඩ් ලිකර් ගන්නේ දෙන්නම ෆන්ක්ශන් වලට ගියොත් විතරයි. මොකද අපේ අම්මා වගේම තමා නැන්දාත්. ලොකු අයියායි, මාමායි, අප්පච්චියි තුන්දෙනාම ඩ්‍රින්ක්ස් ගන්න අය නෙවේ. ඒ නිසා මේ දෙන්නාට ඒවට තදටම කේස් අම්මලා ගෙන්. මංවත්, මිහීවත් බොන්න කොහෙත්ම කැමති නැති වුණාට ඒ දෙන්නට නීති දාන්න ගියෙත් නෑ. නීති දාලා හදන්න පුලුවන් මිනිස්සු දෙන්නෙක් නෙවේ අපිට ඉන්නේ කියන කටුක සත්‍යය බැඳලා වැඩිකල් යන්න කලින් මායි, මිහීයි අවබෝධ කරගත්තා. ඒ නිසා එයාලගේ සමහර දේවල්වලට රෙස්ට්‍රික්ෂන්ස් නොදා ඉන්න නිහඬ සම්මුතියක් මායි, මිහීයි කාලයත් එක්ක ගහලා තිබ්බා. කොහොම වුණත් බැන්දා කියලා ලොකූවට අපේ ජීවිත වෙනස් වුණේ නෑ.

අපි ෆයිනල් ඉද්දි මිහීගේ අම්මාගේ අම්මා නැතිවුණා. බදුල්ලේ. ෆියුනරල් එක දවසේ අම්මලා යන්න රෙඩි වුණත් මට ෆියුනරල් එක දවසෙම ප්‍රසන්ටේෂන් එකක් වැටුණ නිසා යන්න විදියක් නැති වුණා. මිහීගේ ප්‍රසන්ටේෂන් එක තිබ්බේ ඊට දවස් දෙකකට කලින් නිසා එයාට ඒ ගැටලුව ආවේ නෑ. අපිට ප්‍රසන්ටේෂන් තියන නිසා පොඩි අයියාටත් එදා යන්න විදියක් නෑ. ඒ යුනිට් එක එයාට සම්බන්ධ එකක් නිසා. අන්තිමටම අකමැත්තෙන් වුණත් අම්මයි, අප්පච්චියි දෙන්නට අයියයි, මිහී එක්ක යන්න වුණේ මාව පොඩි අයියාට දාලා. එදා රෑම එනවා කියලා ගියේ. ඒ යන්න කලින් අම්මා මට අවවාද අනුශාසනා කෙල කෝටියක් දුන්නා. මං ඉතිං දොහොත් මුදුන් දීගෙන ඒ සේරම අහගෙන හිටියා.

පොඩි අයියයි, මායි එදා කැම්පස් එකෙන් ආවා වෙනදා විදියටම. ආව ගමන් මං උයන්න ගත්තා රෑට. පොඩි අයියත් එක එක කෝලං නරි නාටක කර කර මට උදව් කළා. අපි දෙන්නා එහෙම තනියෙන් ඉව්වාමයි. ඊටපස්සේ වොශ් දාගන්න පොඩි අයියා උඩට ගියා. මං උයලා ඉවරවෙලා උඩට එද්දි එයා නාගෙන බබා වගේ එනවා.

"අපෝ ගඳ... නානවා හඩ්ඩි..."

දවසම කැම්පස් ඉඳලා, ඊටපස්සේ දාඩිය පෙරාගෙන උයලා ආවම ගඳ ගහන්නැතුව සුවඳ හමනවා නම් ඉතිං ඒක ලොකු අවුලක් වෙන්න ඕනේ. මං රවාගෙන හිතුවේ පස්ස හරවලා යන පොඩි අයියා දිහා බලලා.

පොඩි අයියයි, මායි ගෙදර ආවට පස්සේ අර ඉස්සර සහෝදර ප්‍රේමයට දැන් ඉබේම ආවේස වෙනවා. පුරුද්දට ගිහින් වගේ දැන්. මං පොඩි අයියාට රවලා වොශ් දාගෙන ඇඳුමකුත් ඇඳලා තෙත කොණ්ඩෙත් තුවායකින් බැඳගෙන පොඩි අයියාගේ කාමරේට එබුනේ කන්න යමු කියන්න. අම්බානක බඩගින්නක මං හිටියේ. මං යද්දි පොර ලැප්ටොප් එක දිග ඇරගෙන බර වැඩක්.

"මිනිත්තුවක් දෙන්න බබා... දැන් ඉවරයි..."

ආපිට හැරෙන්නෙවත් නැතුව පොඩි අයියා කිව්වේ මගේ ගෝරනාඩුවට. දැන් සමහර වෙලාවට අම්මලා ඉස්සරහත් එයාට මට බබා කියවෙනවා.

"හරී..."

මං කාමරේට ගිහින් එයාගේ ඇඳ උඩ වාඩිවුණා. ඊටපස්සේ කොණ්ඩේ බැඳගෙන හිටපු ටවල් එක ගලවලා කොණ්ඩේ පිහදාන්න ගත්තා. අයියාගේ කාමරේට වඩා මේක පොඩී. උඩ තිබ්බ කාමර තුනෙන් පොඩිම කාමරේ පොඩි අයියා දැන් ඉන්න එක. මගෙයි, අයියාගෙයි රූම්ස් දෙක ටිකක් ලොකුයි. ඒත් අයියාගේ රූම් එකට විතරයි ඇටෑච්ඩ් බාත්රූම් එකක් තිබ්බේ. ඒකේ දැන් අයියලා ජෝඩුව ඉන්නවනේ. ඉස්සර අයියායි, පොඩි අයියායි කපල් එක වගේ හිටපු තැන ඒ කාමරේ. පව් මොනා වුණත්. සරණාගත ෆීලින් එකක් එයි මට ඔහොම වුණා නම්. පොඩි අයියාට දුක ඇති. මං ඔය මඟුල් හිත හිත ඉද්දි තමා පොඩි අයියා වැඩ ඉවරවෙලා ඇවිත් මගේ ගාවින් වාඩිවුණේ.

"මැණික, මොකක්ද ඔයාට ශෙනායා එක්ක ඔච්චරටම තියන අවුල..?"

පොඩි අයියා හරිම සාමකාමී ස්වරයෙන් එහෙම ඇහුවත් ඒ නම ඇහුන ගමන් මට වෙසමුණියා ආරූඪ වෙනවා. අද උදෙත් ඒ දෙන්නා ස්ටාෆ් කැන්ටිමේ ඉන්නවා දැක්කම මං ගස්සන්න පුලුවන් උපරිමෙන් ගස්සගෙන ගියේ. ප්‍රසන්ටේෂන් එක කරද්දිත් හිතාමතාම පොඩි අයියා ඉන්න පැත්තවත් බැලුවේ නෑ. පොරට ඒවා නෝට් වෙන්නැති. කොහොමත් ඔය ප්‍රශ්නේ අහන්න පොර කල්මැරුවා කියලා මට තේරිලා තිබ්බේ.

"එයා ඇයි හැමතිස්සෙම ඔයා එක්කම ඉන්නේ..? අයියා ආවමත් අයියාටත් අපිව මතකත් නෑ ශෙනායා පස්සෙමයි..."

මාත් අනික් අතට ඇහුවා.

"මේ අහන්න බබා... ශෙනා කියන්නේ ටිකක් වෙනස් කෙල්ලෙක්. ඒකි හයි ප්‍රොෆයිල් කෙල්ලෙක් නිසා බැච් එකේ උනුත් ඒකිගේ නැති ලොකුකමක් ගැන කියලා අතෑරලා දාලා හිටියේ... ඒකි එක්ක ඔහොම කතාබහ කරලා හිටියේ අපි දෙන්නා විතරයි. ඒකයි ඒකි අපි දෙන්නා එක්කම ඉන්නේ... ඔයා හිතනවා වගේ දෙයක් එතන නෑ පැටියෝ... ඒත් ශෙනායාට හර්ට් කරන්නෙපා. ඒකි මටයි, නෙහාටයි නොසෑහෙන්න උදව් කරලා තියනවා. අදටත් උදව්වක් ඉල්ලුවම ඒකි බෑ කියන්නෑ... මටවත් නෙහාටවත් ඒකි ගැන යාලුකමට එහා ගිය ලව් වගේ ෆීලින් එකක් නෑ... ඔයා වගේ උඩ දාගෙන ගස්සලා පද්දලා නොගියට ශෙනා එක්ක නෙහා ඉන්නකොට මිහීගේ මූණත් අහක බලාගෙන දාපු බිත්තර ආප්පයක් වගේ වෙනවා. ඌටත් ඒක තේරිලා තියෙන්නේ දැන්... අනික අපි දෙන්නා උඹලා දෙන්නාගේ බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවේනේ දැන්. හස්බන්ඩ්ලා... ශෙනායා කියන්නේ අපේ බුදු ෆිට් එකක්..."

මොනා කිව්වත් පොඩි අයියාට තියන සත්ව කරුණාව මට නෑ.

"මං කාටවත් හර්ට් කරන්නෑ. ඒත් පොඩි අයියේ ඔයාලා කාටවත් තේරෙන්නෑ ඔයාලා ඒ උඩැක්කිය ඔලුව උඩ තියන් ඉද්දි මට කොච්චර හර්ට් වෙනවද කියලා... මිහී නොකිව්වට එයාටත් එහෙමම තමා... මෙහෙමයි. මටත් ශෙනායා ගොඩක් උදව් කරලා තියනවා තමා. ඒත් මට කුප්පි දාපුවට හරියන්නවත්, නෝට්ස් දීපුවට හරියන්නවත් මට බෑ මගේ මනුස්සයව ඒකිට පූජා කරන්න... මිහීටත් බෑ..."

"මොනාද චූටි මේ කියවන්නේ..?"

"මං දන්නෑ ඔයාලා දෙන්නට ශෙනායා ඔච්චර ලොකු කරගන්න තරම් තියන විශේෂ හේතුව මොකක්ද කියලා... ඒත් ඔයාලගේ බැච් එකේ අය ඔය තුන්දෙනාට ත්‍රීසම් කියලා විහිලු කරද්දි මට හෙන අවුල්. මට විතරක් නෙවේ මිහීටත් අවුල්..."

"පිස්සුද චූටි..? ඒක අපේ උන්ගේ විහිලුවක් විතරයි. ඔයා දන්නවනේ කොල්ලන්ගේ කටවල්වලට බ්‍රේක් නෑ කියලා... මොනාද මේ කියවන මනස්ගාත..?"

"මං කියන්නේ ඇත්ත පොඩි අයියේ... අපේ අයියයි, මිහීයි වගේ අපි දෙන්නා එක කාමරේක නිදාගත්තේ නැතුවට ඔයයි මායි දෙන්නත් දැන් ලීගලි මැරීඩ්... මිහීව පැත්තකින් තියන්නකෝ... මං මේ කතා කරන්නේ මගේ ගැන හිතලා... මං දහයකට ආදරේ කරන්නෑනේ..."

අපි අතරේ මිනිත්තුවක විතර නිශ්ශබ්දතාවයක් තිබ්බා.

"පොඩි අයියේ, අපි අපේ ජීවිත කාලේ මහ ගොඩකට ආදරේ කරන්නෑනේ... ඒකට තෝරගන්නේ එකම මනුස්සයෙක්ව විතරයිනේ... ඒ මනුස්සයව මං කොහොමද තව කෙනෙක් එක්ක බෙදාගන්නේ..?"

පොඩි අයියා ලොකු හුස්මක් හෙලුවා.

"අපිට සමහර තැන්වල එහෙම කරන්න වෙනවා බබා..."

ඒ වචන මට හරි බරට දැනුනා. මං ඇස් ලොකු කරගෙන පොඩි අයියා දිහා බලාගෙන ඉන්නැති.

"මං අදහස් කළේ එහෙම දෙයක් නෙවේ බබා... මං කියන්නේ අපිට එක වරකට එක්කෙනෙකුට වඩා ආදරේ කරන්න වෙනවා කියන එක. ආදරේ අපිට බෙදලා දෙන්න වෙනවා කියන එක. ඒ කියන්නේ මං ඔයාට ආදරේ කරන ගමන් ශෙනායට හරි වෙන කෙල්ලෙක්ට හරි ආදරේ කරනවා කියන එක නෙවේ... මං කියන්නේ මං ඔයාට වගේම මගේ අම්මාට, අප්පච්චිට, ලොකූට, නැන්දට, මාමට, නෙහාට හැමෝටම ආදරෙයිනේ. ඔයාට ආදරෙයි කියලා අපි මැරි කළා කියලා ඔයාටවත් මටවත් අපි දෙන්නට විතරක් ආදරේ කර කර ඉන්න බෑනේ... ඒ නිසා අපිට පවුලක් විදියට ඉන්න නම් තනියම එක්කෙනෙක්ව බදාගෙන ඒ පුද්ගලයාට විතරක් ආදරේ කරන්න බෑ කියන එකයි මං අදහස් කළේ..."

මං මුකුත්ම කිව්වේ නෑ.

"ශෙනායා ගැන අහිතක් හිතන්නෙපා... ඒකි කැම්පස් එකේදි මාත් එක්ක හිටියට ඒකි එක්ක මට එහෙම ලව් අෆෙයාර් එකක් නෑ... නෙහාටත් නෑ... ඒකිගේ හිතෙත් අපි දෙන්නා ගැන ලව් වගේ දෙයක් නෑ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඇර... ඒ නිසා බය නැතුව ඉන්නවා... මිහීටත් ඕක තේරුම් කරලා දෙනවා..."

මට හීල්ලුනා. ඒත් තවත් වචනයක්වත් නොකියම මං ඇඳෙන් නැගිට්ටේ තුවායත් අරගෙන. ඒත් එක්කම පොඩි අයියා මගේ අතෙන් ඇද්දා. ඒ ඇද්ද ඇදිල්ලට මාව ගිහින් එයාගේ කකුල් දෙක උඩ ඉන්ද වුණා. නෑ. නෑ... ෆිල්ම්ස් වල වගේ මාව වට දෙක තුනක් කැරකුණේ නෑ. මගේ තෙත කොණ්ඩේ එකපාරට වේලිලා මදපවනට ලෙලදුන්නෙත් නෑ. ලස්සනට හරි පිළිවෙළකට ඉන්දවුණෙත් නෑ. ඒකට මොකද පොඩි අයියාගේ දණිස් පොල් කට්ට මගේ පුපේ ඇනුණා අම්මට සිරි වෙන්නම. සොරි. මං දන්නවා මං ඔයාලට රොමෑන්ටික් ඉමැජිනේශන්ස් වලට යන්නම දෙන්නෑ කියලා. සකූට මං කිව්වේ ඇත්ත ලියන්න කියලනේ. ඒ නිසා ඒ රොමෑන්ටික් මෝමන්ට්ස් වල කටුක යතාර්ථය තමා මේ කියන්නේ.

"ඌයියා... පොඩි අයියේ... තමුසෙගේ දණිහ වැදුනා හලෝ..."

මං කිව්වේ පොඩ්ඩක් නැගිටලා මගේ පුප අතගාගන්න ගමන්. පොඩි අයියා හිනාවෙන ගමන් මගේ ඉණ වටේ අත දාලා හරියට මාව කකුල් දෙක උඩ ඉන්දව ගත්තා. ඒ පාර නම් මගේ සත්තලං පුපට ආන්තරාවක් වුණේ නෑ. ඒවා මහ ගොඩක් නෑනේ. තියන එක රැකගන්න එපැයි.

"පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න බබා... මෙහෙම දවස් අපිට ලේසියෙන් එන්නෑ..."

ඒකෙ නම් සෑහෙන තරමේ ඇත්තක් තිබ්බා. අපේ අම්මා මැණිකක් රකින නාග රාජිණියක් වගේ පොඩි අයියයි, මායි ගෙදර ඉන්න වෙලාවට මගේ වටේ කැරකි කැරකි පෙණේ පුප්ප පුප්ප ඉන්නවා. යකෝ මේ මගේ කසාද මනුස්සයානේ කියලා කියන්නත් හිතලා අම්මගේ හිත රිද්දන්නේ මොකටද මේ ටික කාලෙට කියලා කට වහගන්නවා. ගෙදරදි නැති ඒ නිදහස හොයාගන්න මට නිතරම වීක්-එන්ඩ් එකේ එක්ස්ට්‍රා ලෙක්චර්ස් දාගන්න වුණා. සමහර දාට ලෙක්චර් ටයිම් ටේබල් එකත් එක්ස්ටෙන්ඩ් කරගන්න වුණා. පොඩි අයියාට නම් මට තරම් අවුලක් වුණේ නෑ. මොකද මං එනකන් ඉඳලා එයාට මාව එක්කන් එන්න බලධාරීන් පවරලා තිබ්බේ. අනික අපේ එකා අපිව සෑහෙන්න කවර් කළා. මිහීටත් අපි නිසා කට්ට සෙට් වුණා වෙලාවකට. පොඩි අයියා එක්ක අයියා ඒවා ගාණට ටැකල් කළා. අයියා ඌට තියන නිදහස අපිට නැති එක ගැන අනුකම්පා කළා මගේ හිතේ.

"නෙහාත් යද්දි කියලා ගියේ අද දවසින් උපරිම ප්‍රයෝජන ගනින් කියලා..."

සැක්. මුන් දෙන්නා රොමෑන්ටික් වෙන්නෙත් දෙන්නා එක්ක කතා කරලා ප්ලෑන් කරලද..? මේහ්, අයියලා ඉන්න නංගිලා... කවදාවත් අයියලාගේ හොඳම යාලුවෝ බඳින්නෙපා. එතකොට ප්‍රයිවසි කැළේ. ඒක මගෙන් ෆ්‍රී ඇඩ්වයිස් එකක්.

අපේ එකා නම් ඕෆ් වෙලා ආව වෙලේ ඉඳන් පැණි හැලියට වැටිච්ච ඇඹලයා වගේ මිහී පස්සෙම වැටිලා ඉන්න නිසා පොර දැන් රොමෑන්ස් වලින් PhD ලෙවල් එකටම ඇවිත් ඇති කියලා මට හිතුනා පොඩි අයියා ඒ කියපු කතාවට. ඒත් තාම මේ කසාද බැඳලත් අල්ලපු කාමර දෙකේ හූල්ල හූල්ල නිදාගන්න අපිව ඒකා අවුස්සන එක සාධාරණ නෑනේ.

නෙහා නැත්නම් අපේ එකා කිව්ව විදියට ඔන්න අපි රොමෑන්ටික් වෙන්න ගත්තා. ඒත් ඒ රොමෑන්ටික් වීමේ අවසානය නම් මෙහෙම වෙයි කියලා අපේ එකා කීයටවත් බලාපොරොත්තු වෙන්න නැතුවැති. එහෙම දැනන් හිටියා නම් ඕක කියන්නෑ කීයටවත්. එදා රෑ මහ වැහි වැස්සේ නෑ. ජනෙල් රෙදි පාවෙලා යන තරම් තද හුළං හැමුවේ නෑ. දොර ඉබේ වැහුණේ නෑ. (හායි ගාලා ඇරලා දාලා තිබ්බේ. අම්මලා ආවා නම් අප්පච්චිට හාර්ට් ඇටෑක් හැදෙන්නේ එවෙලේ.) එතකොට තව ඩිම් ලයිට් තිබ්බේ නෑ. (හොඳට එළිය තියන බල්බ් එකෙන් මුළු කාමරේටම එළිය වැටිලා තිබ්බේ ඕන් බලාගනින් කියලා.) අහ් තව ඒ ඇඳේ ලස්සන රෝස මල් පෙති තිබ්බෙත් නෑ. ඇඳ පොඩ්ඩක් චිරි චිරි ගෑවා. ඩබල් වුණාට ඒක පොඩ්ඩක් පරණ ඇඳක්. වෙන නම් ලොකු අවුලක් තිබ්බේ නෑ. එක්කෝ අපි තිබ්බ දේවල් අවුලක් කරගන්න තරම් ලොකු සිහියක ඉන්න නැතුව ඇති එවෙලේ.

කොහොම වුණත් ඒක ඉවරවුණාට පස්සේ අපි දෙන්නම එහෙමටම අවුලක හිටියෙත් නෑ. නවකතාවල වගේ පොඩි අයියා මට සොරි කිව්වේ නෑ. මොනා කිව්වත් ඒවා අහනවට වඩා මං හිටියේ පොඩි පහේ වේදනාවක. එතකොට අර සාක්ෂිය..? ආහ් ඒක තිබ්බා. මං ඒක දිහා බැලුවෙවත් නෑ හරියට. මොකක්ද මන්දා ගිල්ටි ෆීලින් එකක් ළාවට වගේ දැනුන නිසා මට ඒ දිහා බලන්න බැරිකමක් දැනුනා. හරියට අම්මා මාව මෙච්චර පරිස්සම් කළේ ඇයි කියන එක මට තේරුණා වගේ දෙයක් වුණේ පොඩි අයියා එක්ක එහෙම හිටියට පස්සේ.

"අපි කමුද..? මට බඩගිනියි..."

අත් දෙක ඔලුව යටට තියාගෙන උඩුබැලි අතට නිදාගෙන උඩ එල්ලලා තිබ්බ නෙට් එක දිහා බලාගෙන අනිමිසලෝචන පූජාවක හිටපු පොඩි අයියා ඇඳෙන් නැගිටින්නේ නැති තැන මං ඇහුවා.

"හා..."

එයා කිව්වේ එච්චරයි. මං ඇඳුම් ටිකත් බාගෙට පටලවගෙන වොශ්රූම් එකට ගිහින් වොශ් කරගෙන ආවා. හිතුවට වඩා වේදනාවක් දැනෙද්දි අර ගිල්ටි ෆීලින් එකත් ටිකක් තදේට දැනුනා. මං බාත්රූම් එකෙන් එළියට එද්දි පොඩි අයියා උඩ තට්ටුවේ සාලේ සෝෆා එකට වෙලා කල්පනාවක හිටියේ. සරමයි, ටී එකකුයි ඇඳලා හිටපු පොඩි අයියා මගේ දිහා ටිකක් උවමනාවෙන් බැලුවා.

"රිදෙනවද චූටි..?"

"ටිකක්... හෙට වෙද්දි හරියයි නේද..?"

"හ්ම්ම්ම්... පේන් කිලර් එකක් ගන්න... මං මේ හිතුවේ මොනා හරි ගන්න වෙයි නේද..? ටැබ්ලට් එකක් වගේ... නැත්නම් වෙන අවුලක් ගියොත් ගෙදරට නෝන්ඩි වෙන්න වෙනවා අපි දෙන්නටම..."

"ප්‍රෙග්නන්‍ට් වුණත් මොකෝ..? අපි දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නේ..."

"හ්ම්ම්ම්... ඒකත් ඇත්ත..."

"යමු කන්න..."

මගේ ගිල්ටි හිත වහගෙන මං ඉස්සර වුණා.

"පොඩි අයියේ..."

මං ආයෙම කතා කළේ පඩිපෙළේ මැදදි.

"හ්ම්ම්ම්..."

"ප්‍රෙග්නන්ට් නූනොත් අපිට වෙඩිමක් ගන්න වෙනවනේ. එතකොට අර සුදු රෙද්දේ චාරිත්‍රේ කරද්දි මොකද කරන්නේ අපි..?"

මං එහෙම ඇහුවේ අයියලත් එහෙම එකක් කළා කියලා එකපාරටම මතක වුණ නිසා. අපේ ගෙවල්වල මිනිස්සු කොහොමත් හරිම ට්‍රැඩිෂනල්. අයියලා වුණත් මේ වගේ දේකදි ටිකක් ඒ පැත්තට බර වුණා. කොළඹ ජීවත් වුණා කියලා අපි හෙන මොඩනයිස් වෙච්ච ෆැමිලි එකක් නෙවේ.

"දැන්ද කෙල්ලට ඒක මතක් වුණේ..? බලමු ඒක එවෙලෙට... කෝකටත් මං ඒ බෙඩ්ශීට් එක අරන් තියාගන්නම්..."

මං ඔලුව වැනුවා.

"මේහ්, එතකොට තමුසේ වර්ජින් කියලා කොහොමද මං හොයාගන්න ඕනේ..?"

මං ආයෙම ඇහුවේ කන ගමන්.

"අනේ මේහ් පව් නොදී කනවා චූටි... මං මේ කල්පනා කරන්නේ ගෑනුන්ටත් ඔහොම උලව්වක් නොතිබ්බනා නම් කොච්චර හොඳද කියලා... මඟුල... මගෙ ඔලුවත් ගිනි අරං තියෙන්නේ. ඔච්චර දුර දිග යන්න තුන් හිතකවත් තිබ්බේ නෑ ඕයි..."

දැන් තමා හරියටම බළලා මල්ලෙන් එළියට පැන්නේ. එයාත් ඉන්නේ මං වගේම ගිල්ටි ෆීලින් එකක. ඇත්තටම ඒක එහෙම සැහැල්ලුවට ගන්න පුලුවන් තැනක අපි හිටියේ නෑ. ඒත් මට බැන්නම කැඩුණු එක ඉබේට නිරුපද්‍රිතව පහළ වෙනවද..? නෑනේ.

මං දන්නවා නෑකම මොක වුණත් නැන්දට මං ඒක පෙන්නන්න ඕනේ කියලා. ඊටත් වඩා චණ්ඩියා වගේ කියෙව්වට ප්‍රෙග්නන්ට් වෙයි කියන බයත් තිබ්බා. ඒ නිසා ඒක හිතට පොඩි බරක් වෙලා තිබ්බේ මට ආයේ පීරියඩ්ස් වෙනකන්. ඒක හරියට ගාණට දවසට වෙනකන් පොඩි අයියයි, මායි ඇඟිලි ගැණ ගැණ හිටියේ. මට පීරියඩ්ස් වුණ දවසේ අපි දෙන්නා සතුටු වුණේ මං ආයේ බිග් ගර්ල් කෙනෙක් වුණා වගේ.

"ආයේ වෙඩින් එක ඉවර වෙනකන් ඕනේ නෑ චූටි. මට පුලුවන් කන්ට්‍රෝල් වෙන්න... තමුසෙත් ආයේ ඔහොම අවස්ථා හදාගන්නැතුව ඉන්නවා..."

හරියට මගෙ වරදක් වගේනේ. මං තනියමද මෙච්චර හරියක් කරගත්තේ..?

"මං තනි අතෙන් අප්පුඩි ගැහුවා වගේනේ ඔයා කතා කරන්නේ... මං එතකොට ඔයාව රේප් කළාද..?"

මං කිව්වේ කේන්තියටම.

"මං කිව්වේ එහෙම කතාවක් නෙවේ බබා... මෙහෙම බයෙන් ඉන්න ඕනේ නෑ මට... හොර වැඩක් කියන්නේ හිතට මහ ගින්දරක් බං. ඒවා කළාම පිච්චි පිච්චි ඉන්න වෙන්නේ හැමවෙලේම... දැන් වුණත් හිතේ ගිල්ටි ෆීලින් එකක් නෑ කියන්න බෑනේ..."

පොඩි අයියා කිව්වේ හූල්ලන ගමන්.

"මේක නම් මාර ලක් එකක් චූටි..."

පොඩි අයියා එවෙලේ එහෙමත් කිව්වා.

නෑ. ඒ ලක් එක හැමදාම තිබ්බේ නෑ. කාලයක් යද්දි ඒ ලක් එකට හිලක් ආවා. නැත්නම් හැමදේම පටන් ගන්නකොටත් ඒක හිලක් හැදිලා තිබ්බා අපි කවුරුත් නොදැක්කට. මොක වුණත් ලක් එක කනපිට ගහන්න පටන්ගන්න වැඩි කාලයක් ගියේ නෑ.

✍🏼 සකුනි හතරසිංහ

*Adolf Hitler (ඇඩොල්ෆ් හිට්ලර්)- ජර්මනියේ හිටපු ආඥාදායක චාන්ස්ලර්වරයෙක්. දෙවන ලෝක යුධ සමයේ යුදෙව්වන් බොහොමයක් මරාදැමූ Nazi (නාසි) පක්ෂයේ ප්‍රධානියා.
  Benito Mussolini (බෙනීටෝ මුසොලිනි)- ඉතාලියේ හිටපු ආඥාදායක අගමැතිවරයෙක්. ෆැසිස්ට්වාදයේ (Fascism) මූලාරම්භකයායි.

මතු සම්බන්ධයි........

Comments

Popular Posts