දෙමගක 🌈

(කෙටි නවකතාව - 01 කොටස)

Genre - Contemporary  (True Story Based)
Age Range - 18+
Language - Sinhala
Type - Novella
Trigger Points - Homosexuality, LGBTQ, Cultural Traits, Law
Episodes - 12

 -අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.)
 

"වාහන තියෙන්නේ හැප්පෙන්න තමයි... ඔහොම නොවී ඉගෙනගන්නේ කොහොමද දරුවෝ..."

අයියාගේ බැනුම් නැවතුනේ අප්පච්චිගේ ඒ වචනවලට. ආයේ මුකුත්ම නොකියපු අයියා මට ලුණු ඇඹුල් ඇතිව රවලා කාමරේට ගියා. හුහ්... එයාගේ සල්ලිවලට ගත්ත කාර් එක වගේනේ කෑගහන්නේ. අයියාගේ කාමරේ පැත්තට හැරිලා මම රැව්වත් ඒක බලන්න අයියා එතන හිටියේ නෑ. ඒ වෙද්දි මගේ කඳුලු වේලිලා. ඒත් මං කම්මුල් පිහදැම්මේ අප්පච්චිගෙයි, අම්මාගෙයි ඇස් මගේ දිහාට වැටිලා තිබ්බ නිසා අනුකම්පාව දිනාගන්න.

"ගොඩක් ඩැමේජ්ද සේනා..?"

අම්මා ඇහුවේ මගෙන් ඇස් අයින් කරගෙන.

"පොඩි සීරුමක් සෞම්‍යා... කොල්ලා කෑගහපු තරම් දෙයක් වෙලා නෑ... පුරුදු වෙනකොට ඕවා ඔහොම තමා..."

අප්පච්චි ආයෙම මාව බේරගත්තා. මං මුකුත් නොකියම බිම බලාගත්තා.

"මෙයා ටිකක් කලබල උනා මේ පාරට හරවද්දි... ඒ නිසා දර්ශන පුතාලගේ තාප්පේ යන්තම් වැදුනා... ඒක ලොකු දෙයක් නෙවේ... අනික ඔහොම දෙයක් වෙලා කෑකොස්සන් ගහලා මේ කෙල්ලව පහුබැස්සුවම මේ ළමයා ආයේ වාහනයක් අතින් අල්ලන එකක්වත් නෑ..."

අප්පච්චි අන්තිම කොටස ටිකක් උස් හඬින් කිව්වා. අම්මාත් ඔලුව වැනුවා. පුදුමයි. එයාගේ මහලොකු පුතණ්ඩියා වැරදිකාරයා කළා. නැත්නම් හොඳ පුතාලා දෙන්නා විතරයි. මං තමා හැමදාම අම්මාගේ උසාවියේ වැරදිකාරයා වුණේ.

"දුව ගිහින් වැඩක් කරගන්න... උන දේ ගැන හිත හිත ඉන්නෙපා. ඒවා හිතින් අහක් කරගන්න... ඕවා ඔහොම තමා..."

අප්පච්චි අම්මා එක්ක පහළට යන්න පඩිපෙළ ගාවට ගියා. මං ටිකක් වෙලා සෝෆා එක උඩ වාඩිවෙලා ඉඳලා බැල්කනිය පැත්තට ගියේ හිත නිවාගන්න හිතලා. හවස නිසා මදුරුවෝ ටිකක් කරදර කළාට බැල්කනියට මං හරි කැමතියි. අනික අපිට ලොකු බැල්කනි එකකුත් තිබ්බා.

මට ඒලෙවල් එක්සෑම් ඉවර වෙලා තිබ්බ නිසා ලර්නර්ස් එකකට යන්න ගත්තා. හවස අප්පච්චි එක්ක ටවුන් ගිහින් එද්දි අප්පච්චි මට කාර් එක ඩ්‍රයිව් කරන්න දුන්නා. ඒ එද්දි තමා මේ සන්තෑසිය වුණේ. කරුමෙට එදා අපේ එකා ගෙදර ඉන්න දවසක් වුණා. අප්පච්චි තාම අපිට දේපල බෙදලා නැති වුණාට අප්පච්චිගේ කාර් එක අයියා එයාගේ නමට අනීතිකව ලියාගෙන තිබ්බා. ඒකයි ඔච්චර සැර.

"කොහෙ බලන්ද ළමයා මේ යන්නේ..?"

බැල්කනියට යන පටු කොරිඩෝවෙදි සිහි කල්පනාවේ අවුලක් නිසා පොඩි අනතුරක් වුණා. පොඩි අයියාගේ ඇඟේ හැප්පුනා. පොඩි අයියා කියන්නේ අපේ නැන්දගේ, ඒ කියන්නේ අප්පච්චිගේ එකම වැඩිමල් සහෝදරීගේ බාල පුත්‍ර රත්නය. අපේ ගෙදර ඉන්න පුත්‍ර රත්නයයි, නැන්දගේ පොඩි පුත්‍ර රත්නයයි අතරේ ලොකු වෙනසක් තිබ්බේ නෑ. දෙන්නම එකම වයසේ. එකම ඉස්කෝලේ. එකම සබ්ජෙක්ට්ස් කළේ. දෙන්නම දැන් එකම කැම්පස් එකේ එකම ඩිග්‍රී කෝර්ස් එක එකටම කරනවා. හරියට ඉඳිකට්ටයි නූලයි වගේ. පොඩි අයියා ශිෂ්‍යයත්වේ පාස්වෙලා අපේ අයියා ඉගෙනගත්තු **** කොලේජ් එකටම ආවා. එදා ඉඳන් ඉඳිකට්ටයි නූලයි වගේ ඒ දෙන්නා එකටමයි. නෑ අමුඩෙයි, පුපයි වගේ. මං කියන්නේ එහෙම.

මං ඒ දෙන්නාට වඩා අවුරුදු තුනක් බාලයි. මං ගියේ එයාලගේ සිස්ටර් ස්කූල් එක **** කොලේජ් එකට. දැන් ඒ දෙන්නම ගෙදර ඉඳන්ම කැම්පස් යනවා. කැම්පස් එකට විනාඩි පහළොවේ දුර නිසා ඒ දෙන්නට කැම්පස් යන්න හොස්ටල්, බෝඩිම් ඕනේ වුණේ නෑ. ගෙදර ඉඳන්ම ගියා ආවා. මං නම් ඒ කාලේ ප්‍රාර්ථනා කළේ දෙන්නවම දුර කැම්පස් එකකට යවන්න කියලමයි. ඒත් දෙයියන්ට මගේ කන්නලව් ඇහිලා නෑ. දෙයියන්ට මොනා වුණත් දෙන්නම නැතුව අපේ එකාව විතරක් හරි යවන්න තිබ්බා. පොඩි අයියා නම් හොඳයි අපේ එකාට වඩා. හැබැයි ටිකයි.

දැන් මං හැපුනේ ඒ සද්ධන්තයාගේ ඇඟේ තමයි.

"ඕයි චූටි තමුසේ ඇඬුවද..?"

පොඩි අයියාට කොහොමත් සෙන්ස් එකක් වැඩියෙන් පිහිටලා තිබ්බා. මං ඔලුව වැනුවා.

"මොකෝ සීන් කෝන් එක..?"

පොඩි අයියා ඇහුවේ නළලත් රැළි කරගෙන. මං ඉතින් මට වෙච්ච අවනඩුව අකුරෙන් අකුර විස්තර කළා.

"ඕකටද ඇඬුවේ..?"

පොඩි අයියා ඇහුවේ හිනාවෙවී. හිනාවෙද්දි එයා හරි ලස්සනයි. කොහොමත් පොඩි අයියා අපේ අයියාටත් වඩා ටිකක් සුදුයි. රැළි කොණ්ඩේ. හීනි තොල් දෙකක් එක්ක හීන් වෙන ඇස් දෙකක් පොඩි අයියාට තිබ්බේ. මේ ගෙදරට එන මගේ ඉස්කෝලේ යාලුවන්ට තිබ්බ ලොකුම අවුල අපේ අයියාද..? පොඩි අයියාද..? කියන එක තමා. තරහා ගිහින් හිටියත් ඇත්ත කියන්න ඕනනේ. අපේ අයියාත් ඉතිං හැන්ඩියා. පොඩි අයියා වගේම. ඒ නිසා මගේ අසරණ කෙල්ලෝ ටික කොයි එකාවද තෝරගන්නේ කියලා ලොකු අසරණතාවයකින් පෙළුනා. අනික ඒ දෙන්නම කිංග්ස් එකේ ක්‍රිකට් ටීම් එකේ හිටියා. ඒ නිසා තව පොඩි වටිනාකමක් ඒ දෙන්නට ආරූඪ වෙලා තිබ්බා. මං නම් යාලුවන්ගේ ඒ අසරණකමින් උපරිම ප්‍රයෝජන අරගෙන අයියලා දෙන්නවම යාලුවන්ට විකුණලා සෑහෙන ලාභයක් ලැබුවා. චොකලට්, අයිස් ක්‍රීම් වගේ අරවා මේවා තමා ඉතිං ලාභය.

ඒලෙවල් වලට මාත් ඒ දෙන්නාගේ අඩි පාරෙම ගිහින් මැත්ස් කරන්න තෝරගත්තම ඒ දෙන්නා මගේ නිල නොලත් ගුරුවරු වුණා. ඇත්තටම මට ඉස්කෝලෙනුයි, ටියුෂන් පංතිවලිනුයි නොදුන්න තරම් ස්ට්‍රෙස් එකක් මට මගේ ආදරණීය අයියලා දෙන්නා දුන්නා. එක ටර්ම් එකක හරි එක සබ්ජෙක්ට් එකකට ලකුණු අඩු නම් මට ඒ සබ්ජෙක්ට් එක එපා වෙන්නම ඒ දෙන්නා කියලා දුන්නා. කරුම කියලා හිතුවට ඒ දෙන්නා නොහිටින්න මට එක්සෑම් එක මේ තරම් හොඳින් ගොඩදාගන්න බැරිවෙනවා. යාලුවෝ ෆස්‍ට් ශයි එක්සෑම් කරලා ඒ පිම්මටම අනික් අතට සෙකන්ඩ් ශයි වලටත් ක්ලාස් යද්දි මං කකා බිබී ගෙදරට වෙලා හිටියේ පොඩි ගටක් හිතේ තිබ්බ නිසා. ඒ නිදහස සතියේ දවස්වල නම් මටත් තිබ්බේ නෑ අපේ අයියාගේ වදේට පටන්ගත්ත කෝර්ස් එකක් නිසා.

ඒලෙවල් කරන කාලේ තමා පොඩි අයියා ගැන පොඩි මෙව්වා එකක් මගේ හිතට ආවේ. ඒත් ඒක ප්‍රදර්ශනය කරන්න ගිහින් බත් කාඩ් එක නැති කරගන්න ඕනේ නැති නිසා මං සුපුරුදු සේ ම හිටියා දෙන්නා එක්කම එක වගේ වලි දාගෙන. ආදරෙයි කියලා කොල්ලෙක්ට වුණත් සෙකන්ඩ් වෙන්න ඕනෙද මං අහන්නේ. අනික හිතේ තියන් ලව් කරද්දි පොඩි ලල් එකක් තිබ්බා.

ආයේ වර්තමානෙට......

පොඩි අයියා අරම ඇහුවේ හෙන සීරියස් මූඩ් එකක. හරියට නිකං මගේ දුක එයා ගන්න වගේ. අනුකම්පාව දිනාගැනීමේ පරම පිවිතුරු නිර්මල චේතනාවෙන් මං ඔලුව වැනුවා.

"අපෝ හොට්ටි... යනවා. දැන් බැල්කනියට වෙලා පාරේ යන කොල්ලෝ දිහා බලාගෙන අනිමිසලෝචන පූජාව දාන්නැතුව කාමරේට ගිහින් වැඩක් කරගන්නවා... බොරුවට හොටු පෙරාගෙන අඬලා කොහෙද යන්නේ කියලා මං නොදන්නවයැ..."

නෙදකින්. මෙහෙමත් අපහාස. අම්මපා මං මේ තාක් මේ මෝඩ මොට්ටල හිවලා දිහා ඇර අර වගේ ප්‍රේමයෙන් ආතුර හිතකින් වෙන කා දිහාවත් බලලා නෑ. බලලා නැත්තේ නෑ. ඒත් එහෙම වෙන මුකුත් හිතලා නෑ ඉතිං පොඩි අයියා ගැන මිසක් වෙන කා ගැනවත්. ඒ අතින් පාරිශුද්ධ ප්‍රේමයක් පොඩි අයියාට මගේ හිතේ බුර බුරා නැගී එමින් තිබ්බේ. කොහෙද මූ ඒක කෑවනේ කාමරේට යන්න කියලා. මං බැල්කනියට යන්නේ මනෝ ගහන්න තමා. මේකා කොහොමද ඒක දන්නේ..?

"අම්මා දැන් මට කැමති කොල්ලෙක් තෝරගන්න පර්මිශන් දීලා තියෙන්නේ. ඔයාලා දෙන්නට තියෙන්නේ මං හොයාගන්න කෙනාට පාවඩ දාලා තොරණ් බැඳලා පිළිගන්න එක තමා... ඒ නිසා එහෙම බලලා හරි හොඳ කොලු පැට්ටෙක් හොයාගන්න ඕනේ..."

මං හෙන සීරියස් පිට කිව්වා.

"එහෙමද මැඩම් හිතාගෙන ඉන්නේ..? ආස ඇති නේහ්..?"

මහ කැත හිනාවක් දාලා පොඩි අයියා ඇහුවේ. මං එයාට ඇද කරලා එයාව පාස් කරගෙන යන්න හැදුවට යන්න නොදී මග හරස් කළා. මං රවලා බලලා යන්න හදන කොටම මාව ඇදලා ගත්තෙ නැද්ද මේ මෝඩයා.

"රිදෙනවා බූරුවෝ..."

වැලමිටට උඩින් පොඩි අයියා අල්ලගෙන හිටපු තැන මිරිකෙන විදියට මගේ අස්ථි කුඩුවෙනවා ඇති. මස් කියලත් එහෙමට මස් ගොඩක් මගේ ඇඟේ ඒ දවස්වල තිබ්බේ නෑ.

"එහා ගෙදර කොල්ලෝ ටික උන්ගේ බැල්කනියේ පාටියක් දානවා. නිකං එතන ගිහින් ෆ්‍රී ශෝ කරන්නැතිව කාමරේට යනවා..."

එහෙනම් ඒකයි මේ. පොඩි අයියා එහෙම කිව්වට මට පරාජය බාරගන්න හිතුනෙම නෑ.

"බෑ... කවුද දන්නේ ඉරණම්කාරයා එතන ඉන්නවද කියලා..."

පොඩි අයියාගේ අතින් මගේ අත ගලවගන්න හදන ගමන් මං කිව්වේ දත් මිටි කාගෙන. එකපාරටම පොඩි අයියා මාව තව ටිකක් එයා ගාවට ඇදගෙන මගේ කම්මුලකට කිස් එකක් දුන්නේ මං හොල්මන් වෙලා යද්දි. මගේ වාග් කෝෂය කොයි තරම් පුළුල් වුණත් එවෙලේ නම් වචන තිබ්බෙම නෑ. මං ඇස් ලොකු කරගෙන බලන් ඉන්නැති පොඩි අයියා දිහා.

"දැන් හොයාගත්තනේ ඉරණම්කාරයා කවුද කියලා... යනවා හොඳ හිතින් රූම් එකට. ආයේ වෙන ඉරණම්කාරයෝ නෑ..."

මගේ අත ලිහිල් කරන ගමන් පොඩි අයියා කිව්වට ඒවා හරියට ඔලුවට ගියෙත් නැද්ද මන්දා. ලිහිල් උනු ඇහිල්ලේ මං අනික් පැත්ත හැරිලා කාමරේට දිව්වා. කෙලින්ම නැවතුනේ කාමරේ කණ්නාඩිය ගාව. මට දැනුනේ පොඩි අයියා කිස් එක දීපු කම්මුල පිච්චෙනවා වගේ. ඒ කියන්නේ එයාත් මං ගැන මෙව්වා එකකින් ඉඳලද..? අඩේ අමන්දා. ඔයා දින්නා. ඔයාගේ ක්‍රශ් එක ඔයාටත් ක්‍රශ්ලු. මං කාමරේ දොර වහලා ෆෝන් එකෙන් සිංදුවක් දාලා නටන්න ගත්තා. මේක සමරන්න ඕනේ එකක්නේ දෙයියනේ.

"නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
  දින දින දින දැන් ගෙවුණාට
  පණ නළ වගේ ඔබ ළඟ මගේ
  මගේ හිත මගේ හිත රැඳුනාට...

  ආදරේම ගීතයක්
  ආත්මයේ සංගීතයක්
  ආදරේම ගීතයක් වගේ...

  ආදරේම ගීතයක්
  ආත්මයේ සංගීතයක්
  ආදරේම ගීතයක් වගේ..."*


සිංදුවට කොහෙත්ම ගැලපෙන්නැති තාලයක් එක්ක මට ඔහේ හිතුනු අංග චලන ටිකක් දාලා නැටුවා. එහෙම වුණේ මගේ අදක්ෂතාවයට නෙවේ මං හිටපු සිටුවේශන් එක නිසා. ෆුල් කන්ෆියුස්. මගේ ක්‍රශ් එක මටත් ක්‍රශ්. අම්මෝහ්... කොච්චර බයෙන්ද හිටියේ කවුරු හරි නැට්ටිච්චියක් කරේ එල්ලගෙන එයි කියලා. අම්මපා, නැන්දට වඩා මං වොරි වුණා පුතා ගැන. කොහොම හරි කමක් නෑ දැන් පුතා මගේනේ. මස්සිනා අයිති නෑනාට කියනවනේ. අම්මෝ ඉතිං...

මේ සිංදුව ඉවර වුණාම ඊළඟ එකටත් නැටුවා. ඊළඟ එක. ඊටත් පස්සේ එක. ඔහොම සිංදු දහයකට වඩා නටලා මං එහෙමම බිම හාන්සි වුණා. ටයිල්වල සීතල සනීපෙට දැනුනා කම්මුලට. නෑ නෑ කිස් කරපු කම්මුල නෙවේ අනික් කම්මුල. හිනාවෙන්නෙපා, ඒත් මං අද ඒ කම්මුල නම් හෝදන්නෙම නෑ.

මට දැනුනේ හෑල්ලුවක්. දැන් හරිනේ. කොහොම හරි රෑ අටට විතර අම්මා දොරට ගහලා කෑගහලා කන්න එන්න කියනකන් මං බිම වැටිලා හිටියා. ඒ අතරේ මං හිටියේ පොඩි අයියා එක්ක හින්දි සිංදුවකට නට නට. අම්මාගේ සද්දෙට තමා ඒ හීන මාළිගාව බිඳුනේ. ඇත්තටම ඔහොම වෙන්න බෑ කියලා මට තේරුණේ අපේ අම්මාගේ ඝන්ටා නාදෙට පින් සිද්ධ වෙන්න. මොකද පොඩි අයියාට නටන්න බෑ. ඒ නිසා ඒවා හීනම තමා.

අම්මා කෑගැහුවම දඩිබිඩියේ වොශ් දාගෙන පහළට ගියා කෑම ගන්න. ගෙදර හැමෝම ඉන්න දවසට හැමෝම එකට කෑම ගන්න එක අපේ ගෙදර අලිඛිත නීතියක්. පොඩි අයියා අවුරුදු දහයේ විතර ඉඳන්ම අපේ ගෙදර නිත්‍ය සාමාජිකයෙක් නිසා දැන් එයාත් එක්ක පවුලේ පස්දෙනෙක් කියලා තමා ගණන් හදන්න අපි පුරුදු වෙලා හිටියේ. ලොකු අයියා, ඒ කියන්නේ නැන්දගේ ලොකු පුත්‍ර රත්නය නම් හරි සතුටෙන් හිටියේ පොඩි අයියාව නිවසෙන් පිටුවහල් කළා කියලා.

මං යනකොටත් ඒ මෝඩ ජෝඩුව කෑම මේසෙට ඇවිත්. අයියාකාරයා මාව දැකලා රැව්වා. මූ බලහන්. හරියට මං උගේ කාර් එක හැප්පුවා වගේනේ. අප්පච්චිවත් ඔහොම නෑ. ගස් නරියා. රවන කැත. මූ කොච්චර හැන්ඩියා වුණත් මූට කෙල්ලෝ වැටෙන්නේ නැත්තේ ඕක තමා. කොයි වෙලෙත් බුකෝගත්ත ගමන්මනේ. හැටි විතරක්. ශුවර් එකට කැම්පස් එකෙත් ඔහොමම ඇති මේකා. පව් අම්මා. දවසක මේ ගොන් නාම්බාට හරියන නෑම්බියෙක් හොයන්නත් එපැයි.

මං අයියාට රවාගෙනම පුටුවක් ඇදගෙන වාඩිවුණා. මට ඉස්සරහින් හිටපු පොඩි අයියාව දර්ශන පථයට අහුවුණේ ඒ වෙලේ. මං බිම බලාගන්න චුට්ටකට කලින් පොඩි අයියා මට ඇහැක් ගැහුවා. තව පොඩ්ඩෙන් කෑම කටත් හිරවෙනවා. මං වතුර එකක් දාගෙන බොනකොට පොර කට කොණට හිනාවක් දාලා පිඟාන දිහා බලාගෙන කන්න ගත්තා. ටිකකින් අප්පච්චි මැච් එකක් ගැන කතාවක් ඇදලා ගත්තා. අයියලා දෙන්නම දැන් කැම්පස් ටීම් එකට ක්‍රිකට් ගහනවා. ඒ නිසා ඒ දෙන්නම ඒකට සම්මාදම් වුණා. අම්මා අඩුපාඩු පුරව පුරව කනවා. මං ඉතිං ඔහේ කෑවා.

තාම කම්මුල දනවා වගේ. මං හිමින්ම වමතින් කම්මුල අත ගෑවා. ඒ කරන ගමන් ඔලුව උස්සද්දි දැක්කේ පොඩි අයියා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං බලන කොටම එයා ඇස් බැමි උස්සලා ඉඟි කළා. දෙයියම්පා මාව හෙල්ලිලා ගියා. ඒ වේලේ ජයග්‍රාහී දෙවනි වතාවටත් මට කෑම හිරවුණා. අම්මා මට බැන බැන පිට අත ගෑවා.

කාලා ඉවරවෙලා අනික් අයට කතා කරගන්න ඇරලා මං මගේ පුංචි හිත එක්ක තනිවෙන්න මගේ රාජධානියට ආවා. නයිට් ඩ්‍රස් එකක් ඇඳගෙන මං ඇඳට වැටුනට මට නිදිමතක සේයාවක්වත් තිබ්බේ නෑ. හෙට ක්ලාස්. ඒත් නිදිමත පලාගිහින්. ඇඳේ ඒ මේ අත පෙරළි පෙරළි ඉන්නකොට තමයි මට මතක් වුණේ අද දවස කැලැන්ඩරේ මාර්ක් කරන්න ඕනේ කියලා. ඔහොම සිඟිති වැඩ මං කරනවා ඉතිං. කොහොමද මාර්ක් කරන්නේ..? First kiss..? ඒකත් නරකම නෑ. ෆෝන් එක අරගෙන ඒක මාර්ක් කරලා ආයෙම ඇඳේ පෙරළි පෙරළි ඉද්දි තමා කාමරේ දොරට තට්ටු කරන සද්දේ ඇහුනේ.

අපේ අම්මාගේ පුරුද්දක් තිබ්බා අපි කාමරවල දොරවල් වහගෙන ඉද්දි දොරට තඩි බාලා කතා කරන. ලොක් කරලා නැතත් අම්මා එහෙම කරනවාමයි. ඒත් මෙහෙම ලතාවකට තාලෙකට නම් අම්මා තට්ටු කර කර ඉන්නෑ. අයියලා දෙන්නාට නම් කවදාවත් පුරුද්දක් තිබ්බේ නෑ තට්ටු කර කර ඉන්න. දොර ඇරගෙන එනවා මිසක්. මම ලොකු ළමයෙක් වුණාට පස්සේ තමා 'මං එනවා' කියලා මුළු ගෙදරටම ඇහෙන්න තරම් සද්දෙන් කාමරේට එන්න කෑගහගෙන ඒ දෙන්නා පුරුදු වුණේ. ඒ වුණාට ඒකෙන් වැඩක් නොවුණේ ඒක කියනවත් එක්කම දොර ඇරගෙන ඇතුළට එන නිසා. ඒ නිසාම මං වොශ්රූම් එකෙන්ම ඇඳුම් ඇඳගෙන එන්න පුරුදු වුණා. නැත්නම් මේ අපතයෝ දෙන්නගේ ලැජ්ජා බය නැතිවෙනවනේ.

ඒ නිසා අපේ ගෙදර ඔහොම දොරට තට්ටු කර කර ඉන්න කෙනෙක් හිටියේ නෑනේ කියලා මං හිතන ගමන් ඇඳෙන් බිමට බහිනවත් එක්කම දොර ඇරුණා. ඒ එක්කම දොර වැහුණේ ආපු කෙනා කාමරේ ලයිට් එකත් දාද්දි. වෙන මොකාද ඉතිං පොඩි අයියා මිසක්. ඒත් එයා වෙනදට ඔහොම සද්ද නැතුව එන්නේ නෑනේ.

"මොකෝ බය වෙලා වගේ..?"

පොඩි අයියා ඇහුවේ නක්කලේට. මට තේරුණා. ඒත් වෙනදා වගේ එකට එක කියන්න වචන එන්නැති ගතියක් තිබ්බා.

"බය නෑ..."

මං අමාරුවෙන් කියලා දැම්මා. ඇති යන්තම්. මගේ සවුන්ඩ් සිස්ටම් එක වැඩ.

"නැත්තේ මොකෝ..? බය උනු පාරට හවුස්කෝට් එකක්වත් ඇඳගන්න මතක් වෙලා නැහ්..."

පොඩි අයියා කිව්වමයි මීටර් වුණේ මං නයිට් ඩ්‍රස් එක පිටින් කියලා. හවුස්කෝට් නම් දාපු තැනක් මතක තිබ්බේ නැති නිසා මං වටපිට බැලුවේ ටී එකක්වත් තියනවද කියලා. ඒත් එක්කම පොඩි අයියා මා ගාවට ඇවිත් මාව තුරුල් කරගත්තා. ආයේ මං ස්ටක්.

"කවදා දැක්කත් ඕවා දකින්නේ මං විතරනේ. ආයේ මොකටද හවුස්කෝට්... තමුසේ පහසු විදියට ඉන්නවා චූටි මං ඉස්සරහා වෙනදා වගේම... බයවෙන්නෙපා මට හොඳ කන්ට්‍රෝල් එකක් තියනවා. නැත්නම් අවුරුදු ගාණක් ඇස් දෙක ඉස්සරහා තියාගෙන මෙහෙම බලන් ඉන්න බෑනේ..."

හෑ... අවුරුදු ගාණක්..? වෙන්න පුලුවන්ද..?

"ඒ කියන්නේ මේ..."

මං තැතනුවා.

"කවදා ඉඳන්ද කියලා මං හරියටම දන්නෑ. ඒත් එතකොට ඔයා බිග් ගර්ල් කෙනෙක්වත් වෙලා නෑ... පස්සේ පොරොන්දු උනා ඔයා ඒලෙවල් ඉවර කරනකන් මං ඔයාට අඟවන්නේවත් නෑ කියලා..."

පොඩි අයියා කිව්වා.

"කාටද..?"

මං ඇහුවේ පොරොන්දු වුණා කිව්ව එක ගැන.

"මොනාද..?"

"පොරොන්දු වුණා කිව්වේ. ඒ කාටද..?"

පොඩි අයියා මාව තුරුල් කරගෙනම අහක බලාගෙන හිනාවුණා.

"මම මටම තමා..."

හිමින් කියපු පොඩි අයියා මගේ නළලට කිස් එකක් දුන්නා. අම්මෝ ගිනි ගන්නවා වගේ දැනුනේ නළල.

"ආයේ එක එක කොල්ලන්ට ලයින් දාලා අහුවෙන්නෙපා... උගුල්ලනවා ඇස් දෙකම..."

මං මුකුත් නොකියා බලාගෙන හිටියා. පොඩ්ඩක් ලස්සන කොල්ලෙක් දිහා බැලුවට මං කාටවත් ලයින් දාලා නෑ. ඕක කියාගන්නයි ඕනේ වුණේ මට.

"ඒ ඇයි..?"

මං යන්තම් අහගත්තා. අදාළම නැති දෙයක්. ඈ බං අමන්දෝ... මොකක්ද ඒ අහපු ගොන් ප්‍රශ්නේ..? හිතයි දැන් තෝ ටියුබ් ලයිට් එකක් කියලා.

"ගොන් ගහ... මං තොට ආදරෙයි කියලා කිව්වේ බොල... තෝ නම් මහ මැටි අලයක්..."

ඔච්චර විශේෂණ පද ඕනෙද ආදරෙයි කියන්න..? සැක්... ඕක පොඩ්ඩක් රොමෑන්ටික් විදියට කියන්න බැරිද අප්පා..?

"හ්ම්ම්ම්..."

"හ්ම්ම්ම් කියන්නේ..? යකෝ නංගි කෙනෙක්ට විදියට නෙවේ මං තොට ආදරේ කරන්නේ හරකියේ... මට ඕනේ තෝව මගේ වාහේ කරගන්න..."

වාහේ..? අන්තිමයි රමිත් ඔයා නම්. වාග් කෝෂය තුච්චයි. නින්දිතයි. එක ලස්සන වචනයක්වත් නෑ. මෙහෙම ආදරෙයි කියලා අහපු ලෝකේ එකම කෙල්ල මංද කොහෙද. සහෝදර ප්‍රේමෙන් හිටපු එකාට ලව් කරද්දි ඔහොම වෙනවා ඇති. දුක තමයි අමන්දා...

"නෙහාව මං ශේප් කරගන්නම්... අනික් අයට දැන්ම දැනෙන්න තියන්නෙපා. තමුසේ කැම්පස් ගියාට පස්සේ මං ගෙවල් දෙකම බැලන්ස් කරගන්නම්. ඒ වැඩේ මට ඉතුරු කරනවා..."

එහෙම කියපු පොඩි අයියා ආයෙම මගේ කම්මුලකට කිස් එකක් දීලා මාව අතෑරියා.

"මං යනවා... තමුසෙව ඔහොම දැක්කම මට වෙන වෙන ඒවා හිතෙනවා... ඒත් පටන්ගත්ත දාම ඒවා කරන්න බෑනේ. ඒ නිසා මං යනවා... ආයේ මෙහෙම එන්නෑ මං... අද නෙහා නිදි නිසා ආවේ..."

නෙහා කිව්වේ අපේ එකාට. අයියාගේ නම නෙහාර. එතකොට පොඩි අයියා රමිත්. වාසගම් තෝම්බු එක්ක අපේ නම් ඔයාලට ඕනේ නෑනේ. මොකද මේක කෙටිකතාවක් මිසක් නවකතාවක් නෙවේ සේරම ඔයාලා ඉස්සරහා දිග අරින්න.

පොඩි අයියා දොර වහගෙනම ගියා. මෙහෙම අත්භූත විදියට ආදරෙයි කියන තව උන් ඉන්නවා නම් කියන්න මට. මං හිතාගෙන හිටියේ සෝ රොමෑන්ටික් විදියට I love you, baby කියලා, දිග උම්මා එකක් දීලා ආදරේ ප්‍රකාශ කරනවා ඇත්තේ කියලා. මොන බොරුද..? නම් වානම් ගොඩක් එක්ක නෝර්මලි කතා කරන විදියටම ආදරෙයි කියලා පොර චුත වුණා. මේවා ඇවිත් සසර පතන් ආව උරුම කරුම. ඒත් ඉතිං මගේ ක්‍රශ් එකනේ. ආයෙම මං ඇඳට පැන්නා. බයවෙන්නෙපා. මගේ ඇඳට හොඳ දරාගැනීමේ හැකියාවක් තියනවා. මොකද මේ මෙහෙම වුණ පළවෙනි වතාව නෙවේ. අවසාන වතාව වෙන එකකුත් නෑ.

මං දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඒක මාර කික් එකක්. අමුතුම මෙව්වා එකක් තියෙන්නේ. කිචි කිචි වගේ. කාර් එක හැප්පුනාට අද දවස නරකම නෑ. මං ආයේ ඇඳ පුරා පෙරළි පෙරළි හීන මැව්වා.

මං හිතුවේ එදායින් මගේ ජීවිතේට වසන්තය උදා වුණා කියලා. ඒත්, ඒක එහෙමමද..? මං තාම මගෙන් අහනවා.

✍🏼 සකුනි හතරසිංහ
       (02.05.2023)

*පද- ඉසුරු වීරසිංහ මුදලි
  නද- තිලයම්පලම් රාජ් කුමාර්
  හඬ- කසුන් කල්හාර


 මතු සම්බන්ධයි........

Comments

Popular Posts