දෙමගක 🌈

(කෙටි නවකතාව - 07 කොටස)

-අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.) 

 

 

 

 

බදාදා මං වැඩට ගියේ හාෆ්ඩේ එන්න හිතාගෙන. හවස වෙඩින් එකේ වැඩ වගේකට යන්න ඕනේ කියලා අම්මා කිව්වේ ඉරිදාමයි. බ්‍රහස්පතින්දා ඉඳන් කොහොමත් මං සති දෙකකට නිවාඩු ඉල්ලලා තිබ්බේ. පොඩි අයියා නම් බදාදා ඉඳන්ම නිවාඩු දාලා හිටියේ කල් තියාම. තාමත් වෙඩින් එක ගැන ෆයිනල් ඩිසීෂන් එකක් මං අරගෙන නැති නිසා ඒ තීන්දු තීරණ වෙනස් කරන්නත් මට බැරිවුණා.

දොළහට විතර ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියලා මට හදිසියෙම හිතුනා මිනිත්තු දහයකට හරි ශෙනායාව මීට් වෙන්න ඕනේ කියලා. මං එහෙමම කෝල් එකක් ගත්තම එයා කිව්වා එයාට ලන්ච් අවර් එකේ එයාලගේ ඔෆිස් එක කිට්ටුවම තියන පාර්ක් එකට එන්න පුලුවන් කියලා. මං එතනට ඇවිත් ටිකකින් ශෙනායාත් ආවා.

"මොකක්ද දැන් නංගිගේ තීරණේ..?"

ශෙනායා ඇහුවේ මං කියපු සේරම අහගෙන හිටියට පස්සේ.

"මට තේරෙන්නෑ අක්කේ... මගේ ඔලුව පුපුරන්න වගේ..."

මං කිව්වේ අත් දෙකෙන්ම නළල අල්ලගෙන.

"මට ඔයාට කියන්න දේවල් ටිකක් තියනවා නංගි... රමිත්වවත්, නෙහාරවවත් සුද්ධ කරලා උන් දෙන්නා හරි කියලා කියන්න නෙවේ. මේ සබ්ජෙක්ට් එක ඔයාට ටෝටලි නිව් නිසා කියන්න හිතුවේ... ඔයා නොදන්න සහ මං මගේ සෙල්ෆ් ස්ටඩීස්වලින් හොයාගත්ත යම් යම් දේවල් ටිකක් තියනවා. මං හිතනවා ඔයාට තීරණයක් ගන්න මේ දේවල් දැනගෙන ඉන්න එක පහසුයි කියලා... ඒ නිසා මං ඔයාට මේ ටික කියන්න හිතුවේ..."

ලොකු කතාවක් පටන්ගන්න තමයි ශෙනායා එහෙම කිව්වේ.

"ඔයා දන්නවද නංගි, LGBTQ අය අතරෙත් bisexual අයට තියෙන්නේ හරිම පහත් තැනක්... ඒකට හේතුව එයාලගේ සෙක්ෂුවල් ප්‍රිෆරන්සස් හරියටම එක ඔරියන්ටේෂන් එකකට සෙන්ටර් වෙලා නැති නිසා... ඔයා දන්නැති උනාට bisexual අයව ඔයාලා වගේ straight අය වගේම මං වගේ homosexual අයත් කොන් කරනවා එයාලගේ ඒ ගතිය නිසා... Bisexual අය පත්වෙන ඇත්තම තත්වේ මං දැක්කේ නෙහාරයි, රමිතුයි නිසා. LGBTQ සොසයිටීස් එක්ක ඒ දෙන්නටම වඩා මං ගැටෙන නිසා මට හිතාගන්න පුලුවන් එයාලා bisexual කියන එක එළිවුණොත් එයාලට එන ප්‍රෙෂර් එක. කොහොමටත් ඒ දෙන්නා ඒ බය නිසා ඒ වගේ සොසයිටීස් එක්ක එන්‍රෝල් වෙන්න කැමති උනේම නෑ... හැබැයි මෙතන ඊටත් වඩා කම්ප්ලිකේටඩ් උනේ උන් දෙන්නම උන් දෙන්නට ආදරේ කරන අතරේ කෙල්ලෝ දෙන්නෙක්ටත් ආදරේ කරපු එක. ඒක ඇබ්නෝර්මල් කියලා අපිට හිතුනට ඇත්තටම මේ ලෝකේ ගෑනු දෙන්නෙක්ට එකපාර ආදරේ කරන පිරිමි වගේම පිරිමි දෙන්නෙක්ට එකපාර ආදරේ කරන ගෑනුත් ඉන්නවනේ... අපේ භාෂාවේ ඕකට කියන ප්‍රසිද්ධම වචනේ චපලකම කියලා... එතකොට ඒ පැත්තෙන් හිතලා බැලුවොත් සෙක්ෂුවල් ප්‍රිෆරන්සස් පැත්තකින් තිබ්බම චපලකමට තමා නෙහාරයි, රමිතුයි කරපු වරද... ඒ වගේම තමා ඔයයි, මිහින්දියි ඒ දෙන්නට පණ දාගෙන ආදරේ කරද්දි ඒ දෙන්නා ඔයාලව මෙහෙම රවට්ටපු එකත් සමාවක් දෙන්න බැරි වරදක්..."

ශෙනායා කිව්වේ හැමපැත්තකටම කතාව කරකවලා. එවෙලේ ශෙනායා කියපු ටික මගේ ඔලුවට හරියටම නොගියට පස්සේ කාලෙක සකූගේ අහසම ගුගුරා... කියවද්දි රනුක, ශ්‍රීමාලි, නදිනි ආදර ත්‍රිකෝණේ අස්සටත් මං ඔය ශෙනායා කියපු ෆැක්ට්ස් ඔබ්බවලා ඒක හරියට තේරුම්ගන්න ට්‍රයි කළා. කොහොමත් අපේ කියැවීම් බේස් වෙන්නේ අපේ ජීවිත අත්දැකීම් එක්කනේ.

"රමිත්ටයි, නෙහාරටයි බැච් එකේ කෙල්ලෝ සමහරු වහ වැටිලා හිටියේ. උන් හැන්ඩියෝ. ඒක සාමාන්‍යයි ඉතිං. උන් දෙන්නත් ඒවා දන්නවා... මට මතකයි ෆස්ට් ඉයර් බෙන්ච් වලදිත් රමිත්ගෙන් සින්නෝ උගේ කොක්ක ගැන ඇහුවම ඌ දෙපාරක් නොහිත ඔයා ගැන කිව්වා. ඌට කිසිම තැනක ඔයා උගේ කොක්ක කියන්න ලැජ්ජාවක් මං දැක්කේ නෑ... ඒ නිසා උන් දෙන්නා අතරේ තියන අෆෙයාර් එක දැනගත්තම මට පුදුම හිතුනා. ඊටත් ඔයා නෙහාරගෙම නංගි නිසා... පස්සේ නෙහාරත් මිහින්දිට පුදුම විදියට ආදරේ කරන්න ගත්තා... LGBTQ සොසයිටීස්වල අය කෙසේවෙතත් උන් දෙන්නගේ bisexual ගතිවලට මටමත් සෑහෙන්න අවුල් ගිය තැන් තිබ්බා... මායි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්නුයි එක්ක අවුටින් ගිහින් මාර රොමෑන්ටික් විදියට ඉන්න උන් දෙන්නා ඊට පහුවදා ඔයායි, මිහින්දියි එක්කත් රොමෑන්ටික් වෙනවා දකිද්දි මට මාර අප්පිරියාවක් දැනුනේ උන් දෙන්නා ගැන... Bisexual කියන්නේ ගෑනු-පිරිමි දෙගොල්ලොම එක්ක රිලේෂන්ශිප්ස් තියාගන්න පුලුවන් අයට මිසක් එක පාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි රන් කරන එකට නෙවේනේ නංගි... මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට වඩා ගොඩාක් බ්‍රෝඩ් මයින්ඩඩ් කෙල්ලෙක්. ඒ වගේම එයා හරිම අප්ඩේටඩ් කෙල්ලෙක්... එයා තමා මට පැහැදිලි කළේ ඒ දෙන්නට එහෙම ජෙන්ඩර්ස් දෙකේම අය එක්ක රොමෑන්ටික් වෙන එක ගැටලුවක් නෑ, ගැටලුව තියෙන්නේ දවසක ඔයාලා දෙන්නා ඒ දෙන්නා ගැන ඇත්ත දැනගත්තම කියලා. මොකද අපි දැනගෙන හිටියේ ඔයාලා දෙන්නා straight කියලා... මං ඒ ගැන උන් දෙන්නත් එක්ක කතා කළා ඊටපස්සේ. ඒත් උන් දෙන්නා ඔයාලා දෙන්නව අතාරින්නවත්, උන් දෙන්නගේ අෆෙයාර් එක නවත්තන්නවත් කොහෙත්ම කැමති වුණේ නෑ... සමහරදාට මං ඕවට රණ්ඩුවෙලත් තියනවා උන් දෙන්නා එක්ක... කොහොම හරි අන්තිමටම අපි ආවේ මෙතනට..."

අයියලාගේ යාලුවා වුණාට ශෙනායාගේ වචනවල තිබ්බේ අපක්ෂපාතීකමක්.

"නංගි... රමිත්ගෙයි නෙහාරගෙයි බිහේවියර්ස් මට වියර්ඩ් නිසා මං එයාලා ගැන ඒ කාලේ ඉඳන්ම හෙව්වා... මොකද straight උනත්, bisexual උනත්, homosexual උනත් මං කාගෙන්වත් දැකලා නැති සමහර දේවල් උන් දෙන්නාගේ ලව් ලයිෆ් එක ඇතුළේ දැක්කා... වැදගත්ම දේ දෙන්නෙක් එක්ක ඉමෝෂනලි ඇන්ඩ් සෙක්ෂුවලි එකම කාලෙක ඒ දෙන්නම ඉන්වෝල්ව් වෙන එක. ඒක ජෙන්ඩරස් දෙකක දෙන්නෙක් එක්ක කියන එකට වඩා මට අමුතුවට දැනුනේ මනුස්සයෙක්ට එකපාර දෙන්නෙක්ට එක විදියට ආදරේ කරන්න පුලුවන්ද කියන එක. ඇත්තම කිව්වොත් ඒක ටිකක් වියර්ඩ් විදියට මට පෙනුනේ... ඒවත් එක්ක මං ඒ දෙන්නා ගැන සෙල්ෆ් ස්ටඩී කළා... එතනදි මට bisexuality වලට වඩා දෙයක් නෝට් උනා..."

That's the missing point. ශෙනායා කලින් කිව්ව දේවල්, අයියාගෙයි පොඩි අයියාගෙයි කන්ෆෙසින්, ලොකු අයියාගේ ඔපීනියන් වගේම මං ගූගල් එකට වාතවෙවී මේ සති දෙකක් තිස්සෙම හොයපු දේවල් අතරේ මට මිස් වෙච්ච තැන ඒක. ඒ දෙන්නම කොහොමද අෆෙයාර්ස් දෙකක් එකට බැලන්ස් කළේ කියන එක... කොහොමද දෙන්නෙක්ට එක විදියට ප්‍රයෝරිටි දුන්නේ කියන එක... ඒවා මගේ හිතේ මටවත් නොතේරී වුණත් මුල් බැහැගෙන තිබ්බ ප්‍රශ්න ටිකක්. ඒ නිසා ශෙනායාගේ ඒ කතාව මගේ හිතේ ඇති කළේ අමුතුම එනර්ජි එකක්.

"ඔයා අහලා තියනවද Polyamory (බහුපුද්ගල සබඳතා)* ගැන..?"

ශෙනායා එපාර අහලම නැති එකක් ගැන කියන්න හදන්නේ කියලා මට තේරුණා. මං ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.

"Polyamorous people කියන්නේ කීපදෙනෙක් එක්ක ඉන්ටෙන්ශනල් ඇන්ඩ් ඉන්ටිමේට් රිලේෂන්ශිප්ස් (වේතාන්විත සහ අතිශයින් සමීප සබඳතා) කීපයක් එකපාර පවත්වන්න පුලුවන් අයට... මේකට තමා Polyamory කියන්නේ. මේකට සෙක්ස් කරන එක විතරක් නෙවේ ආදරේ කරන එකත් අදාළයි... ඒ කියන්නේ Polyamorous relationship එකකදි එක පුද්ගලයෙක්ට පුලුවන් දෙන්නෙකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට එකම කාලයකදී ආදරේ කරන්න වගේම එයාලා එක්ක එකම කාලයකදී සෙක්ෂුවල් රිලේෂන්ශිප්ස් මේන්ටේන් කරන්න... ඒක නිකං Polygamy (බහුවිවාහ) වගේ එකක්. හැබැයි ඒකෙදි සම්බන්ධකම් පවත්වන හැමෝගෙම කන්සෙන්ට් එක ඒකට තියෙන්න ඕනේ නංගි... දැන් මෙහෙම හිතන්නකෝ. ලංකාවේ Polygamy ලීගලයිස් කරලා තිබ්බා නම් රමිත්ට ඒ යටතේ ඔයාවයි, නෙහාරවයි දෙන්නවම මැරි කරන්න පුලුවන් හැබැයි ඔය දෙන්නගෙම අනුදැනුමයි, කැමැත්තයි ඇතිව... ඒත් ඒකට Polyandry (බහුපුරුෂ) හරි Polygyny (බහුභාර්‍යා) හරි ලීගලයිස් වෙන්න නම් Polygamy වලට නීතියෙන් අවසර දෙන්න ඕනනේ. ලංකාවේ ඒක තහනම්... ජෙන්ඩර්ස් දෙකක දෙන්නෙක්ව මැරි කරන එක නම් ඕකෙන් කොයිකට අයිති වෙනවද කියලා මටත් හිතාගන්න බෑ... Group marriage කියන්නත් බෑ ඒකට. මොකද ඔයයි නෙහාරයි බ්ලඩ් රිලේෂන්ස්ලනේ... අනික් පැත්තෙන් ඔයයි, මිහීයි totally straight... ඒ නිසා ඔයාලගේ සිටුවේශන් එක කම්ප්ලිකේටඩ්. මට ඒක හරියටම එක්ස්ප්ලේන් කරන්න අමාරුයි... අනික් ටික තේරුණාද..? හැබැයි මෙතනදි දැනුවත්භාවය සහ කැමැත්ත කියන එක අනිවාර්ය සාධකයක් නංගි..."

ඒ ටික ඇහුවම මගේ ඔලුවත් කැරකෙන්න ගත්තා. ඒත් ඒක තමා මගේ මිසින් පොයින්ට් එක. දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුලුවන්ද කියන එක.

"Polyamory relationships වලදි පොඩි පොඩි රූල්ස් තියනවා නංගි. මං කියන්නේ ඒවා මස්ට් නෙවේ එතිකල් රූල්ස් වගේ ඒවා... මං එකපාර දෙන්නෙක්ට ආදරේ කරනවා නම් ඒ දෙන්නම ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ සහ ඒකට ඒ දෙන්නගෙම කැමැත්ත හම්බෙන්න ඕනේ කියන එක එතනදි ස්පෙෂල් රූල් එකක්... ඔයාලගේ සීන් එකේදි රමිතුයි, නෙහාරයි පැහැරහැරලා තියෙන්නේ අන්න ඒ රූල් එක... Polyamory කියන්නේ Threesome relationship එකක් නෙවේ නංගි. ඒ කියන්නේ මං ආදරේ කරන දෙන්නා, දෙන්නට දෙන්නා ගැන දැනුවත් සහ කැමැත්ත දුන්නා කියලා ඒ දෙන්නට දෙන්නා ඉන්ට්‍රැක්ට් කරන්නෑ. ඒ දෙන්නා සෙපරේට්ලි තමා මාත් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ... එහෙම ඉන්ට්‍රැක්ට් වෙනවා නම් ඒක Threesome හරි Group sex හරි යටතට වැටෙනවානේ. මේක එහෙම නෑ හරිද..? ඒ කියන ෆැක්ට්ස් එක්ක Polyamory කියන්නේ අතිශය සාමාන්‍ය තත්ත්වයක් විදියටයි සලකන්නේ..."

ශෙනායාගේ පැහැදිලි කිරීම් එක්ක මට මගේ මිසින් පොයින්ට් එක තරමක්දුරට පැහැදිලි වුණා වගේම ප්‍රශ්න ගොඩකුත් මගේ හිතට ආවා.

"අක්කේ... මේක මෙන්ටලි අවුලක්ද..? මං අහන්නේ අපේ අයියටයි, පොඩි අයියාටයි මොකක් හරි මෙන්ටලි ඩිසෝඩර් (මානසික ගැටලුවක්) එකක්ද තියෙන්නේ..?"

මගේ ප්‍රශ්නෙට ශෙනායා ඔලුව වනලා හිනාවුණා.

"නෑ පැටියෝ... Polyamory කියන්නේ මෙන්ටලි ඩිසෝඩර් එකක් නෙවේ. ඒක කෙනෙක්ගේ මෙන්ටලි හෝ ෆිසිකලි හෙල්ත් එකට පොඩ්ඩක්වත් බලපාන්නෑ... Polyamorous කියන්නේ එක්තරා විදියක මනුෂ්‍ය හිතේ පැතිකඩක්. සාමාන්‍ය ස්වභාවයක් විතරයි. ඒක මෙන්ටලි අවුලක් කියලා කැටගරයිස් කරන්න ඕනේ නෑ... Bisexual වගේම තමා. ඒක ලෙඩක්වත්, මානසික අවුලක්වත් නෙවේ... හැබැයි අපේ සංස්කෘතියයි, සදාචාරයයි එක්ක එතන ගැටලුවක් තියනවා... මේකනේ. අපි ගොඩක් වෙලාවට දකින්නේ Monogamy marriages නේ නංගි. ලංකාවේ විවාහ නීතියත් Monogamy... ඒත් මේ ලෝකේ Non-monogamy relationships වගේම Non-monogamy marriages කියලා දේවලුත් තියනවා... Polyamory අයිතිවෙන්නේ අන්න ඒකට. ඒකට ලංකාවේ නම් කියන ප්‍රසිද්ධම වචනේ Extramarital affairs කියන එක. එතකොට ඒ අර්ථයෙන් බැලුවොත් රමිත්ගෙයි, නෙහාරගෙයි අෆෙයාර් එකත් extramarital affair එකක් තමා. මොකද ඒ දෙන්නම දැන් මැරීඩ්නේ... ඒත් Polyamory කියන එක එහෙම ලඝු නොකර ගත්තොත් ඒක වෙනම සෝසියෝලොජිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියන දෙයක් නංගි... හැබැයි ලංකාවේ ඔය මඟුල් එකක්වත් ලීගලයිස් නෑ හරිද..? එතකොට ලංකාවේ කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි එකපාර දෙන්නෙක් ගැන ආදරයක් ඇතිවුණාම ඒ පාර්ට්නර්ස්ලා දෙන්නගේ කැමැත්ත සහ අනුමැතිය තිබ්බ පළියට Polyamory relationship එකකට යන්න බෑ. ඒක නීතියෙන් වගේම සංස්කෘතියෙන්, සදාචාරයෙනුත් අපිට තහනම්..."

වෙන්න පුලුවන් තමයි. අපිට කොල්ලෝ කීපදෙනෙක් ගැන එකට ක්‍රශ් වෙන්න පුලුවන් වෙන්නේ එහෙම පොඩි හරි Polyamory ගතියක් තියන නිසා වෙන්නැති. ක්‍රෂ් කියන්නේ ලව් එක්ක බැලුවම නතින්නේ. ඒත් මට නම් පුද්ගලිකව පාට්නර්ස්ලා දෙන්නෙක් එක්ක කමිටඩ් ලව් අෆෙයාර් එකක් බැලන්ස් කරන්න බෑ. ඒ මං Monogamy පැත්තට බර නිසා වෙන්නැති.

"ඔය සෙක්ෂුවල් බිහේවියර්ස් ඇන්ඩ් හියුමන් අෆෙයාර්ස් ගැන කතා කරද්දි ඒවගේ තව පැති ගොඩක් තියනවා නංගි... රමිත්වත්, නෙහාරවත් කොහෙත්ම Partner-swapping වලට ඕකේ අය නෙවේ කියලා ශුවර්... එකක් ඔයා නෙහාරගෙම නංගි. ඒ නිසා නෙහාරට ඔයා එක්ක සෙක්ෂුවලි තියා ඉමෝෂනලිවත් එන්ගේජ් වෙන්න බෑනේ... මං කියන්නේ මේ ලෝකේ Consanguinity කියලා දේකුත් තියනවා තමයි. හැබැයි ඒවගේ ජෙනටිකලි ඉෂූස් තියනවා කියලා මං කියවලා තියනවා... අනික ඔය කියන දේ වැටෙන්නේ Incest (ව්‍යභිචාරය) යටතට. ඒක ලංකාවේ නීතියෙන් තහනම්... මොන දේ වුණත් සෙක්ෂුවල් ඕර් ඉමෝෂනල් පැත්තෙන් එහෙම දෙයකට රමිත්වත්, නෙහාරවත් ඔයාලා දෙන්නව යොමුකරන්නෑ කියලා නම් මට හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර්... මොකද ඒ දෙන්නගේ ඉමෝෂනලි ස්ටේටස් වගේම සෙක්ෂුවල් ප්‍රිෆරන්සස්නුත් මං සෑහෙන්න නෝට් කළා කැම්පස් හිටපු අවුරුදු හතරට. ඒ දෙන්නා කවදාවත් ඒ දෙන්නාගෙන් පිට පිරිමි එක්ක ඉන්වෝල්ව් උනේවත්, ඔයාලා දෙන්නාගෙන් පිට කෙල්ලෝ එක්ක ඉන්වෝල්ව් උනේවත් නෑ කියලා මට හොඳටම ශුවර්... මේ සේරම දේවල් එක්ක ගත්තම අර මං කියපු සෙක්ෂුවල් බිහේවියර්ස් වගේ දේවල්වලට එයාලා යොමුවෙයි කියලා හිතන්න කොහෙත්ම ඉඩක් නෑ නංගි. ඒ ගැන පොඩිමවත් සැකයක් තියාගන්නෙපා... මං මේ ටික කිව්වේ ඔයාගේ ඔලුව අවුල් කරන්න නෙවේ. මේ තොරතුරුවලින් ඔයාට මොකක්ම හරි අපැහැදිලි තැනක් තියේ නම් ඒක පැහැදිලි කරගෙන හරි තීරණේකට එන්න පහසු වෙන්න නංගි..."

මගෙම අයියා ගැන එහෙම ආදරයක් නම් මගේ හිතේ ඇතිවෙන්නෑ කියලා මට ශුවර්. ඒ වගේම පොඩි අයියා මං සම්බන්ධව කොච්චර පොසෙසිව්ද කියලා මං දන්නවනේ. සමහර වෙලාවට The Lord of the Rings ෆිල්ම් එකේ Gollum මුද්ද පස්සේ යනවා වගේ මගේ පස්සෙන් ගියේ.

"තව දෙයක් නංගි... අපි හිතුවට එක පාර දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ කියලා සයන්ටිස්ට්ලා කියනවා එහෙම එකක් නෑ කියලා. එයාලා කියන්නේ මිනිස්සු එකම මොහොතේ දෙන්නෙක් හෝ කීපදෙනෙක් එක්ක ඉමෝෂනලි හෝ සෙක්ෂුවලි රිලේෂන්ශිප්ස් හදාගන්න එක නෝර්මල් කියලා... ඒක ලෝකේ මිනිස්සු තනි පුද්ගලයෝ විදියට ගත්තම බහුලවම තියන දෙයක්ලු. ඒ කියන්නේ ලෝකේ බහුතරයක් මිනිස්සු Polyamorous people ලා... මං මේ රමිත්වත්, නෙහාරවත් කරපු දේ සුද්ධ කරනවා නෙවේ. එයාලගේ මෙන්ටලිටි එක ගැන ඔයාට පැහැදිලි කරලා දෙන එක කරන්නේ නංගි. එයාලා ඇබ්නෝර්මල් නෑ කියන එක කියන්නේ... ඒත් මෙතන වැරැද්ද එයාලා දෙන්නා ඔයාලගේ දැනුවත්භාවය සහ කැමැත්ත කියන දෙක නොසලකා හැරලා තියන එක..."

ශෙනායා කිව්ව දේ මට තේරුණා. ශෙනායා හදන්නේ අයියලා දෙන්නා වරද කරපු පොයින්ට් එක මට හයිලයිට් කරලා දීලා මාව නිරවුල් කරවන්න. එයාලා bisexual වීම සහ polyamorous වීම වරදක් නෙවේ. ඒත් ඒ ගැන මායි, මිහීයි දැනුවත් කළා නම් මේක මෙච්චර සංකීර්ණ නොවෙන්න තිබ්බා. එහෙම වුණා නම් අපි දෙන්නට එයාලා එක්ක ඉන්න හෝ නොඉන්න පැහැදිලි තීරණේකට එන්න තිබ්බා අපේ ජීවිත මෙච්චර සංකීර්ණ වෙන්න කලින්ම.

"ඔයා හිතනවද අක්කේ පොඩි අයියා මාව බැන්දම එයාගෙයි, අපේ අයියාගෙයි අෆෙයාර් එක නතරවෙයි කියලා..?"

මං ශෙනායාගෙන් ඇහුවා.

"ඔයා එහෙම හිතනවද..?"

ශෙනායා මගෙන් ආපිට ඇහුවා.

"මං හිතන්නෑ... මට තේරෙන විදියට එයාලා දෙන්නට එයාලා දෙන්නා නැතුව බෑ..."

මං හීල්ලුවා.

"රමිත් නැතුව ඉන්න ඔයාට පුලුවන්ද නංගි..?"

ශෙනායා හරිම ආදරණීය විදියට අහපු ඒ ප්‍රශ්නෙට මං ඔලුව දෙපැත්තට වැනුවේ බෑ කියන්න.

"ඔයාට ඒකත් එක්ක ජීවත්වෙන්න පුලුවන්ද නංගි..? මං අහන්නේ ඔයා පණ වගේ ආදරේ කරන කෙනා ඔයාගෙම අයියා එක්ක ඔයාට ශෙයාර් කරගන්න පුලුවන්ද..?"

ශෙනායා ඇහුවේ ටික වෙලාවකට පස්සේ.

"බෑ අක්කේ..."

"ඔයාට රැවුලයි, කැඳයි දෙකම බේරගන්න ඕනේ නම් Open relationship වගේ එකකට හිත හදාගන්න වෙනවා නංගි... එහෙම නැතුව ඔය දෙකම හැන්ඩ්ල් කරන්න වෙන ඔප්ශන් එකක් නෑ..."

ශෙනායා කිව්වම මං හීල්ලුවා.

"අද බදාදා නංගි. ගන්න තීරණයක් අදම ගන්න... රමිත් කියන දේ ඇත්ත. වෙඩින් එක හෙටයි කියලා ඒක කැන්සල් කරන්න කියන්නෙපා..."

මං මුකුත් කිව්වේ නෑ.

"නංගි, මං මෙහෙම දේකුත් කල්පනා කළා... මේ ඇත්ත ඔයාලගේ ගෙදර අයට කිව්වොත්, ඒක නෙහාලා ඔය බයවෙන විදියේ ප්‍රශ්නයක් වෙයිද..? එයාලා ඔයාට කැමති තීරණයක් ගන්න ඉඩදෙන එකක්ම නැද්ද..?"

ශෙනායා ඇහුවා.

"මමත් ඔය ගැන සෑහෙන්න හිතුවා අක්කේ... ලොකු අයියාගේ රිප්ලයි එකෙන් පස්සේ මට මෙහෙමත් හිතුනා... අප්පච්චිටයි, නැන්දටයි මේක දරාගන්න බැරිවෙයි කියන එක පැත්තකින් තියමුකෝ. ඒත් මං හිතන්නෑ ගෙදර කවුරුවත්ම ඩිවෝස් කියන ඔප්ශන් එකට ඕකේ වෙයි කියලත්... මොකද එයාලා හරි ට්‍රැඩිෂනල්. එයාලා හිතන්නේ ගෑනු දුක්විඳලා හරි පවුල රැකගන්න ඕනේ කියලා... ඔයා දන්නවද දන්නෑ මේ සිද්ධිය... මිහී ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ අයියා කිව්වා ඇබෝෂන් එකකට යමු කියලා එවෙලේ. ඒ වෙන දෙයක් නිසා නෙවේ මිහීට කැම්පස් එකේ වැඩ ප්‍රෙග්නන්සි එකත් එක්ක බැලන්ස් කරගන්න බැරිවෙයි කියල අයියා බයවුණ නිසා. මිහී එතකොටත් බැච් ෆස්ට් මට්ටමේ හිටියේ කියලා අක්කා දන්නවනේ. අයියාට ඕනේ වුණේ පොඩි අයියා වගේම මිහීත් බැච් ෆස්ට් වෙනවා දකින්න... එතනදි අපේ පවුලේ හැමෝම අයියට විරුද්ධ උනා. අයියා මිනීමරුවෙක් ගාණට දාලා හැමෝම බැන්නේ එයාට... අන්තිමටම මිහී ඇබෝශන් කරන්නත් බයවුණ නිසා එයාලා බබාව තියාගන්න තීරණය කළා... ඒත් මිහීට ඒ සෙම් එකම ඇනුනා ප්‍රෙග්නන්සි නිසා මුල් මාසවල ආව අමාරු එක්ක. අයියා බයවුණා වගේම මිහීට බැච් ෆස්ට් එක විතරක් නෙවේ ෆස්ට් ක්ලාස් එකත් මිස් උනා... එහෙම එකකදි අර විදියට රිඇක්ට් කරපු අපේ ගෙදර අය කීයටවත් මට ඩිවෝස් එකකට ඕකේ වෙයි කියලා මං හිතන්නෑ අක්කේ... ඊටත් මං දැන් වර්ජින් කෙනෙක් නෙවේ කියලා දැනගත්තම කොහොමත් මාව බලෙන් හරි පොඩි අයියාටම බන්දලා දෙයි..."

මං කිව්වේ ගෙදර තත්ත්වේ. මේ පසල් එක කොහාට කැරකුවත් මට තිබ්බේ එකම ඔප්ශන් එකයි කියලමයි මට හිතුනේ.

"නෙහාර මට කියලා තියනවා අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි කියලා නංගි... සමහර විට මේකට විසඳුම අන්කල්ට දෙන්න පුලුවන් වෙයි ඔයා ඇත්තම කිව්වොත්... මොන තාත්තෙක්වත් තමන්ගේ දරුවෙක්ව එහෙම කරදරේ වැටෙන්න දෙන්නෑ නංගි... අනික ඔය වර්ජිනිටි සීන් එක ගැන දැන් හිතන්නෙපා. පිට මිනිහෙක් අතින් උනා නෙවේනේ ඔයාගෙම හස්බන්ඩ් අතින්ගේ. කාටවත් ඒකට ඇඟිල්ල දික් කරන්න බෑ... අනික ඔයාලා වැඩිහිටියෝ... ඔයා වගේ ලස්සන කෙල්ලෙක් ඇස් දෙක ඉස්සරහා තියාගෙන රමියා හිටියෙත් සෑහෙන අමාරුවෙන් වෙන්නැතිනේ... අනික වර්ජිනිටි එක නැති උනා කියන එකට වඩා දරුවො එක්ක අනාථ උන දුවලවත් දෙමව්පියෝ බාරගන්නවා... ඒ නිසා ඒ ගැන චුට්ටක් හිතලා බලන්න නංගි..."

ශෙනායා අන්තිමටම මට කිව්වා. මං ඔලුව හොලවලා නැගිට්ටේ යන්න. ශෙනායාටත් කලින් මං ශෙනායාව හග් කළා. එයා lesbian කෙනෙක් වුණත් මට එයා ගැන එහෙම වෙනසක් දැනුනේ නෑ. මානුෂීයව ගත්තම ශෙනායා මාර හොඳ කෙනෙක්. ගොඩක් ගෑනු අය ගාව තියන කුහක ගති මං කවදාවත් ශෙනායාගෙන් දැකලා නෑ නේද කියලා මට වුණත් තේරුණේ මේ ප්‍රශ්නෙදි එයා මගේ ගාවින් හිටගත්තට පස්සේ. එහෙම කෙනෙක් ගැන අහිතක් හිතන්න තරම් දරුණු හිතක් මට නෑ.

මං ශෙනායාව අතාරිනකොට එයාගේ ඇස්වල යන්තම් කඳුළු තිබ්බා. මං ශෙනායාගේ අත් දෙක තදින් අල්ලගත්තා.

"මං මීට කලින් ඔයාට මේ තරම් ක්ලෝස් උනා නම් කියලා මට දැන් හිතෙනවා අක්කේ..."

මං එහෙම කිව්වම ශෙනායා හරි ලස්සනට හිනාවුණා. ඒක මං දැක්ක පියෝම සහ ලස්සනම හිනාවක්.

මං කරගන්න තියන වැඩත් කරගෙන පැයකින් විතර ගෙදර එද්දි පොඩි අයියා ආච්චියි, නැන්දයි, අම්මායි එක්ක වෙඩින් එකේ වැඩකට ගිහින්. මාමාත් කොහෙදෝ ගිහින්. අයියා ඔෆිස්නේ. මිහී පුතා එක්ක කාමරේ. ලොකු අයියගේ ෆැමිලි එකම එයාගේ යාලුවෙක්ගේ ගෙදර ගිහින්. අප්පච්චි විතරක් ෆ්‍රී එකේ හිටියේ මගේ වෙලාවටම වගේ. අසනීප වුණාට පස්සේ කොහොමත් අප්පච්චි වැඩිය ගමන් ගියේ නෑ. මට මතක් වුණේ ශෙනායා මට කියපු දේ. මං ඔෆිස් ඇඳුම් පිටින්ම සාලෙට වෙලා අප්පච්චි එක්ක කයියකට සෙට් වුණා. අපේ පොඩි කාලෙන් පටන් අරගෙන ගොඩක් දේවල් ගැන පැය දෙකක් විතර මායි, අප්පච්චියි කියෙව්වා. අප්පච්චි නම් කිව්වා වෙඩින් එකට කලින් මගෙත් එක්ක එහෙම කයියක් දාන්න එයා හිතාගෙනමලු හිටියේ. වැඩ එක්ක අපිට ඇත්තටම එහෙම දේකට වෙලාවක් තිබ්බේ නෑනේ. අනික මං හිටියේ පඹ ගාලක පැටලිලා. ඒ කතා ඇතුළේ මට මගේ තීරණයට බලපෑම් කරන්න පුලුවන් දේවල් ගොඩක් අප්පච්චිගෙන් කියවුණා.

ඊටපස්සේ මං වොෂ්රූම් එකෙත් ඒ වගේම කාලයක් ගත කළා. ඊටත් වැඩිද මන්දා. කොමඩ් එක වහලා ඒ පියන උඩින් වාඩිවෙලා අන්තිම සති දෙකහමාරේ සිද්ධවුණ දේවල් ගැන කල්පනා කළා. මට මුලින්ම හිතුනේ මං වගේම මිහීත් සමාජය ගැන හරි අවබෝධයක් නැතුව අතරමං වුණ කෙල්ලෝ දෙන්නෙක් කියලා. මම පවුලෙන් එහා ලෝකයක් දැක්කේ නැතිම තරම්. මිහීත් ගමෙන් එහා ලෝකයක් දැකලා තිබ්බේ නෑනේ. අපි දෙන්නටම එහෙම සෝෂලයිස් වෙන්න තිබ්බ අවස්ථා නැතිවුණා අපි දෙන්නාගේ ඉක්මන් මැරේජ්ස් නිසා. අපි දෙන්නා සමාජෙට අඩියක්වත් නොතියා හිරගෙදරකින් තව හිරගෙදරකට මාරුවුණ හිරකාරයෝ වගේ දෙන්නෙක්. අනික් අතට සංස්කෘතිය, සදාචාරය කරපින්න ගත්ත අපේ පවුල්වල අය ලෝකෙට විවෘත වුණේ නෑ. ලෝකෙට විවෘත වුණු අයියලාව වුණත් අපේ වැඩිහිටියෝ සීමා මායිම් දාලා හිරකරලා තියෙන්නේ. මට මතක් වුණේ මිහීව හොස්ටල් ප්‍රශ්නේ නිසා අපේ ගෙදර නවත්තගන්න මං අම්මාගෙන් ඇහුවම අයියාව මැරි නොකර මිහීව ගෙදර නවත්තගන්න බෑ කියලා අම්මා එකහෙලාම කියපු හැටි. මං මේ අම්මලාට ඇඟිල්ල දික් කරනවා නෙවේ. ඒත් එයාලා එයාලගේ කණ්නාඩිවලින්මයි අපිටත් සමාජය පෙන්නුවේ. අයියලාට වුණත් එයාලගේ ජීවිතේ සමහර තීන්දු තීරණ ගන්න වුණේ අම්මලාගේ දස පනතට යටත්ව. අයියාට ඉක්මණට මැරි කරන්නවත්, ඉක්මණින් බබාලා හදන්නවත් අයිඩියා එකක් තිබ්බා කියලා මං හිතන්නෑ. ඒත් අපේ ගෙදර වැඩිහිටියෝ අයියලාව වගේම මාවත් ඒ තැන්වලට අඩු වයසෙන්ම තල්ලු කරලා දැම්මා. එතනදි එයාලටත් එයාලගේ ෆීලින්ස් සහ මේ ලිමිට්ස්, රූල්ස් එක්ක මොකක්ම හරි හිරවීමක් තියෙන්නැති කියලා මට හිතුනා.

දරුවෝ හදනවා කියන්නේ ගේ ඇතුළට කරගෙන රකින එකට නෙවේ. සමාජාවබෝධය දීලා තමන් තනියම සමාජය ඇතුලේ සර්වයිව් වෙන්න තරම් කොන්දක් හදන එක නෙවේද කියලා මට හිතුනේ. ලොකු අයියා වගේම අපේ අයියාත් අවුරුදු විසිපහ වෙද්දි බැන්දා. පොඩි අයියා වුණත් රෙජිස්ටර් වුණේ අවුරුදු විසිපහේදිනේ. මාවත් අවුරුදු විසිහතර වෙනකොට බන්දලා දීලා පවුලක් කරන්න හදන්නේ. ඒක මෙච්චර පරක්කු වුණෙත් ගෙදර ප්‍රශ්න නිසානේ. නැත්නම් මාත් මේ මුකුත් නොදැනම පොඩි අයියාව බැඳලා මෙලහකට. එතකොට අපේ පවුලේ මං වගේම කොල්ලො තුන්දෙනත් කසාද අස්සේ හිරකරලා දාලා නෙවේද..? ලොකු අයියා වැල යන අතට මැස්ස ගහගෙන ජීවත්වෙනවා. අපේ අයියයි, පොඩි අයියයි එයාලගේ බැඳීමුත් එක්ක ස්ට්‍රගල් කරන්නැතිනේ. අනික ඔය කියන විදියට bisexual අයට කොහෙනුත් කැපිලි නම් එයාලට එයාලගේ ඇත්ත අනන්‍යතාවය එක්ක ලොකු සටනක් කරන්න වෙන්නැති. ඒක එයාලට ලේසි වුණා කියලා මං හිතන්නෑ.

මං මෙහෙම නැතුව ඕපන් මයින්ඩඩ් මිනිස්සු ඉන්න මොඩනයිස් වෙච්ච ෆැමිලි එකක කෙනෙක් වුණා නම් මං මෙතනදි කොහොම රිඇක්ට් කරයිද කියලත් මං හිතුවා. සමහරවිට මං මේ LGBTQ අය ගැන වගේ සමාජයේ හැම පැතිකඩක් ගැනම යම් තරමක හෝ අවබෝධයක් තියන කෙනෙක් වුණා නම් මීට කලින් මට අයියයි, පොඩි අයියායි ගැන හින්ට් එකක් හරි දැනෙන්න ඉඩක් තිබ්බා. ඔයාලම හිතන්නකෝ. ඔයාලා බහුතරයක් මගේ කතාව කියවනකන් මේ දේවල් ගැන මේ තරම් දැනුවත්කමක් තිබුණද කියලා. නෑ නේද..? විශේෂයෙන්ම කෙල්ලෝ සහ කාන්තාවෝ. අපි දන්නේ හරි සුළු පරාසයයි කියලා මට හිතුනේ. එහෙම සමාජාවබෝධය සහ සාමාන්‍ය දැනුමක් මට තිබ්බා නම් අයියලා දෙන්නා වුණත් එයාලගේ රිලේෂන්ශිප් එක ගැන මාත් එක්ක ඕපන්ලි කතා කරන්න ඉඩක් තිබ්බා. එහෙම වුණා නම් පොඩි අයියා මට ආදරෙයි කිව්වම ඒ අවබෝධයත් එක්ක ඒක ඇක්සෙප්ට් කරන්න හරි, රිජෙක්ට් කරන්න හරි මට ඔප්ශන්ස් තියනවනේ. පොඩි අයියා මට ආදරෙයි කිව්ව වෙලේම 'චූටි, මං bisexual. මට ඔයාගේ අයියා එක්කත් අෆෙයාර් එකක් තියනවා. ඔයාට ඒවා ඕකෙද..?' කියලා ඇහුවා නම් මං ඕක අම්මලා එක්කත් කියලා ගින්නකුත් අවුලලා තියයි. ඒක තමා ඒ වෙලාවේ මං හිටපු තැන. ඒ වගේම මං ඒ ගැන දැනුවත්ව සහ ඕපන් මයින්ඩ් එකක හිටියා නම් මං straight වුණත් එයාලා දෙන්නගේ අෆෙයාර් එක ටොලරේට් කරන්නත් ඉඩතිබ්බා. මොකද මං දේවල් දැනගන්න කොට, සමාජය එක්ක ගැටෙනකොට මීට වඩා හාත්පසින්ම වෙනස් මත වුණත් දරන්න ඉඩ තිබ්බනේ.

Bisexual වුණත් Polyamory වුණත් වරදක් වුණේ අපේ සමාජය ඇතුළේ තියන සංස්කෘතිය කියන ෆැක්ට් එකට අනුකූලව අපි හිතන පතන නිසා නෙවේද..? හරියටම බැලුවොත් තමන් ආදරේ කරන කෙනා තෝරගන්න ඕනෙම කෙනෙක්ට අයිතියක් තියනවනේ. ඒක තමන්ගේ ජෙන්ඩර් එකෙන්ද, ඔපොසිට් ජෙන්ඩර් එකෙන්ද, transgender කෙනෙක්ද කියලා ගැටලුවක් නෑ. Love is love and sex is sex. (ආදරය කියන්නේ ආදරයට සහ ලිංගිකත්වය කියන්නේ ලිංගිකත්වයට) ඒවා කවදාවත් නිර්වචනය කරන්න බැරි දේවල්නේ. මං කියන්නේ සෙක්ස් වුණත්. හිතන්නකෝ කෙනෙක්ට සෙක්ස් කරන්න ලව් ඕනේ. තව කෙනෙක්ට එහෙම ඕනේ නෑ. තවත් කෙනෙක්ට සෙක්ස් කියන්නේ තමන්ගේ වෘත්තීය. සමහර අයට සෙක්ස් කොයි විදියකින්වත් ඕනෙම නෑ. ඒ අතරේ තවත් සමහරු සෙක්ස් ගැන නොහිතා ලව් මත්තෙම නැහෙනවා. එතකොට ඇත්තටම ආදරය කියන ෆීලින් එකට වගේම සෙක්ස් කියන ක්‍රියාපදයටත් නිර්වචනයක් දීලා අපි කොහොමද රාමුවක් ඇතුළේ කොටු කරන්නේ..? මං අහන්නේ ලව් කියන එක ඇතුළේ සෙක්ස් අනිවාර්‍යම නෑ නේද..? ඒ වගේම සෙක්ස් කියන එක අපි කරන්නේ රීප්‍රඩක්ෂන් වෙනුවෙන් විතරමද..? මායි, පොඩි අයියායි වුණත් එදා සෙක්ස් කළේ බබෙක් හදන්න හිතාගෙනම නෙවේනේ. ඒක හියුමන් ෆීලින් එකක් එක්ක වුණ දෙයක්. ඒ වගේම ප්‍රොස්ටිටියුට්ස්ලා එක්ක ඉන්නේ බබෙක් හදන්න නෙවේනේ. ඒක බේසික් හියුමන් නීඩ් එකක් ෆුල්ෆිල් කරගන්න කරන දෙයක්. එතකොට ලව් වුණත්, සෙක්ස් වුණත් අපි අපේම රාමු අස්සේ දාගෙන නෙවෙයිද මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නේ..?

අයියලා දෙන්නම එක තැනකදි බරපතල වරදක් කළා. ඒ එයාලා අපිව දැනුවත් නොකර එයාලා දෙන්නා අතරේ අෆෙයාර් එකක් තියාගෙන හිටියා. Polyamory රූල්ස් බින්දා. Bisexual ඕකේ වුණාට දෙන්නෙක්ට එකපාර නොදන්වා ආදරේ කරනවා කියන්නේ රැවටීමක්. ඒක තමා එයාලා දෙන්නගේ වරද. ඒක උඩුදිව්වේ කසාද බැඳිල්ල ඉක්මන් කරවපු තීන්දු තීරණ. මං එදා එහෙම කොමඩ් පියනක් උඩට වෙලා උතුර-දකුණ මාරු කරගෙන කල්පනා කළේ ඒක නිසා. කවදාහරි මිහී දැනගත්ත දවසක මීටත් වඩා ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ඒක නිසා. සමහරවිට එයාලා දෙන්නා Polyamorous කියලා අයියලා දෙන්නාවත් දන්නැතුව ඇති. ලොකු අයියා ඕවා ගැන අහලා තිබ්බට එයත් මේ ප්‍රශ්නෙදි ඒ දන්න ඒවා ඇප්ලයි කරලා බලන්න නැතුවැති. කතාවක් තියනවනේ ප්‍රශ්නය තමන්ගේ වනතාක් පිළිතුරු දාර්ශනිකයි කියලා. අපි අනුන්ගේ දේකදි මෙහෙම කරන්න කියලා උඩ දාගෙන උපදෙස් දුන්නට අපිටත් එහෙම ප්‍රශ්නයක් ආවම අපි හිරවෙනවා. ඒක තමයි හැටි. මිනිස්සුනේ අපි.

Open relationship එකක් මේන්ටේන් කරන්න මං දන්නෑ. මට හිතාගන්න බෑ මං ආදරේ කරන මනුස්සයව කොහොමද තව කෙනෙක් එක්ක බෙදාගන්නේ කියලා. ඒක මගේ හිතෙන් හුඟක් ඈත දෙයක්. ඒ අස්සේ මෙතන ලීගලි බොන්ඩ් එකක් හැදිලා ඉවරයි. තව දවස් තුනකින් තියෙන්නේ අර PK** ෆිල්ම් එකේ කියනවා වගේ අද ඉඳන් මං මෙයා එක්ක සෙක්ස් කරනවා කියලා ලෝකෙටම කියන මඟුලක් විතරනේ. ඒකටනේ අපි රටේ ලෝකේ නැති විච්චූරණ, චාරිත්‍ර-වාරිත්‍ර එක්ක මෙච්චර නැටුමක් නටන්නේ. මායි පොඩි අයියායි නම් ඒ ස්ටෙප් එකටත් ගිහින් ඉවරයි එකපාරක් හරි. ඒ කියන්නේ සම්ප්‍රදායානුකූලව මං ගෑනියෙක්. ඇත්තටම ගෑනියෙක් කියන අකුරු හතර ඇතුළෙදි පවා මට දැනුනේ හුස්ම හිරවීමක්. කෙල්ලෙක් කියන අකුරු හතර ඇතුළෙත් ඒක තිබ්බා. ඒත් මං ඒක දැක්කේ නෑ. දැන් ජීවිතේ අවුල් ජාලාවක් වුණාට පස්සේ මං කවදාවත් නොහිතපු මඟුල් ගොඩක් ඔලුවට දාලා දෙකොන් පාස්සගන්න බැරුව නහිනවා කොමඩ් පියනක් උඩ ඉඳගෙන. එදා ඒ කල්පනා කිරිල්ල ගැන අද හිතුවම මට හිතෙන්නේ ජීවිතේ කියන්නෙම ෆක් එකක් කියලා.

ඇත්තම කිව්වොත් ඒ මොහොතෙත් Bisexual and Polyamory ගැන මෙලෝ සංසාරයක් හරි විදියට මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ. කොච්චර අයියලා දෙන්නව සුද්ධ කරන සිතුවිලි ආවත් මෙහෙම දේවල් ලෝකේ තියනවද කියන ෆීලින් එකත් ඔලුවේ කොණක වැඩ කළා. මං කතාවක එහෙම තැනක් දැක්ක පළවෙනි තැන මුරුගසන් වැහි එකේ තිබ්බ හරිත්ගේ කතාව. ඒ කියන්නේ හරිත් දිවුලට ආදරේ කරද්දිම කවිනිටත් ආදරේ කරපු එක. සකූ එතනදි ඒක Polyamory නොකිව්වට ඒකත් එහෙමම නෙවේද..? කතාව ෆික්ශන් එකක් වුණත් ඒක මගේ හිතට වැදුනා සෑහෙන්න. හරිම විදියට කිව්වොත් සකූගේ ලියැවිලිවලින් තමා අවුරුදු කීපෙකට පස්සේ වුණත් ඒ බැඳීම් ගැන මගේ හිතෙන් හරිහමන් විග්‍රහයක් කරගන්න තරම් මට්ටමකට මං ආවේ. එතකොට මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙලා තිබ්බත් ඒ කතාව මට දැනෙන්න ඒ වගේ හරිම පොඩි පොයින්ට්ස් ටිකක් මට බලපෑවා. ඒ පොඩි පොයින්ට්ස් දිගේ මං වගේ ගෑනියෙක් එච්චර දුර හිතයි කියලා සකූවත් හිතන්නැතුව ඇති.

අර කොමඩ් එක උඩ ඉඳගෙන ආයෙම මං හිතුවේ එදා එතන පොඩි අයියයි, අපේ අයියයි නැතුව පොඩි අයියා එක්ක ශෙනායා හරි වෙන කෙල්ලෙක් හරි එහෙම හිටියා නම් ඒක මට කොහොම බලපායිද කියලා. එහෙම වුණා නම් Bisexual, Polyamory වගේ දාර්ශනික බැඳීම් ගැන නොදැන මං හැඟීම් මත ඉඳගෙන තීරණ ගනී. සමහරවිට අඬයි. කෑගහයි. පොඩි අයියා එක්ක රණ්ඩු කරයි. එයාව රිජෙක්ට් කරයි. ඒත් ආයෙම සම්ප්‍රදායික වටරවුමෙන් ඇවිත් හිත හදාගෙන කසාද බඳින්නත් තිබ්බා. මෙච්චර හිත හිත, ලෝකේ ඔලුව උඩ තියාගෙන හූල්ල හූල්ල ඉන්න එකක් නෑ එහෙම වුණා නම්. අනික් අතට පොඩි අයියා එක්ක එතන අපේ අයියා නැතුව වෙන කොල්ලෙක් හිටියා නම් මං ශොක් වුණත් මේ තරම් ශොක් වෙන එකක් නෑ කියලා මට හිතුනේ. ඔය සේරටම වඩා ඒක දකිනකන් මේ ලෝකේ එහෙම වෙනවා කියලා නොදැන හිටපු මං ගැන මට දැනුනේ ආත්මානුකම්පාවක්. ඒ සිද්ධියෙන් සති දෙකහමාරක් වුණාට පස්සේ මං කොච්චර අප්ඩේට් වුණාද..? ජීවිතේ අනික් දේවල් ගැන වුණත් මගේ දැනුම එච්චරයි නේද කියලා මං හිතුවේ. එනිඩ් බ්ලයිටන්ගේ පොත්, ෂර්ලොක් හෝම්ස් පොත් කියවපු කාලයෙන් ඔබ්බට මං ඇවිත් තිබ්බේ නෑ එතකන්. ඒ ෆික්ශන් අස්සේ මං මාව හිරකරලා තියෙද්දි මට ඉන් එහා ගොඩක් දේවල් මඟඇරිලා. ඇත්තම කිව්වොත් යතාර්ථය ඊට වඩා කොච්චර වෙනස්ද කියලා කවුරුවත් මට කියාදීලාවත් නෑ.

මං පැය ගාණක් ශවර් එක යට ඉන්නැති. එතන ඉඳගෙනත් මං තව කල්පනා කළා. නාලා ඉවරවෙලා කවදාවත් නැතුව වොෂ්රූම් එකේ මිරර් එක ඉස්සරහින් මං හිටගත්තේ සෑහෙන කාලෙකට පස්සේ ෆිසිකලි වගේම ඉන්ටිමේට්ලි නියුඩ් වෙලා. ෆිසිකලි ගත්තම මං හරි ලස්සන ඇති. ඩිවෝස් වුණත්, වර්ජින් කෙනෙක් නොවුණත් මට ආයේ ගේමක් නැතුව මැරි කරන්න තරම් රූපයක් මට දෙයියෝ දීලා තිබ්බා. ඒත් ඇතුලෙන් මං හරිම හිස් වගේ දැනුනේ. නෑ... යන්තම් පුරවපු භාජනයක් වගේ. වැඩිහරියක් හිස්. මං කණ්නාඩියෙන් හිනාවුණේ මටමයි. මගේ හිස් අභ්‍යන්තරයට. අවුරුදු විසිහතරක් වෙලත් ෆැන්ටසියක නිදන් ඉඳලා ඇහැරුණු මෝඩ අමන්දාට.

අම්මලා එනකොට ගන්න ඕනේ තීරණය ගැන පැහැදිලි අයිඩියා එකක් මගේ ඔලුවේ තිබ්බා. ඒ නිසයි කළුවර වැටුණට පස්සේ මිදුලේ අඹ ගහ යට බංකුවේ වාඩිවෙලා කල්පනා කර කර හිටපු පොඩි අයියා ළඟට ගිහින් මං එයාට මූණට මූණ දාලා වාඩිවුණේ. මං ආවම පොඩි අයියා කල්පනාවෙන් මිදිලා වගේ මං දිහා බැලුවා.

"සනීප නැද්ද..?"

මං එහෙම ඇහුවේ ඇත්තටම පොඩි අයියාගේ මූණේ අසනීප පාටක් තිබ්බ නිසා.

"මහන්සියි බබා... අද උදේ ඉඳලම එහාට මෙහාට දිව්වා අම්මලා එක්ක... මටම හිතාගන්න බෑ මේවා නතර කරන්න කියලා එයාලට කොහොමද මං කියන්නේ කියලා..."

පොඩි අයියා හීල්ලුවා.

"කිසිදෙයක් නතර කරන්න ඕනේ නෑ පොඩි අයියේ... හැමදේම රෙඩි කරගත්ත විදියට උනාදෙන්..."

මගේ උත්තරේ ගාව පොඩි අයියා ගැස්සුනා. එයා මගේ දිහා බැලුවේ ඇස් පොඩි කරගෙන.

"චූටි... ඇත්තටමද ඔයා මේ කියන්නේ..? ඒ කියන්නේ වෙඩින් එක ගමු කියන එකද..? ඔයා... ඔයා සීරියස්ද මේ කියන්නේ..?"

පොඩි අයියා කලබලෙන් ඇහුවේ. මං ඔව් කියන්න ඔලුව හෙලෙව්වා. පොඩි අයියාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා. ඒක අහිංසක හිනාවක් වගේ මට දැනුනේ. හිනාවෙද්දි පොඩි අයියගේ අමුතුම ලස්සනක් තිබ්බේ. මට මොහොතකට හිතුනේ එයයි, අයියායි අතරේ තියන අෆෙයාර් එක මං දැනගෙන නොහිටියා නම් කියලා. ඇත්තටම මං එයාට ලෝබ වුණා. එයා හැන්ඩ්සම් නිසා නෙවේ. මගේ ජීවිතේ කොන්දේසි විරහිතව බැඳුණු එකම පිරිමියා එයා නිසා. ඒත් එක්කම මගේ හිතට ආවේ එයයි, අයියයි එකට හිටපු හැටි. මං හීල්ලුවේ මං මැරෙනකන් වෛර කරන ඒ මතකෙට.

"හැබැයි එක කොන්දේසියක් තියනවා අයියේ..."

මං කිව්වම පොඩි අයියා මගේ දිහා උවමනාවෙන් බැලුවා.

"මට ඕනේ වෙනකන් ඔයයි, මායි අතරේ සෙක්ෂුවල් රිලේෂන්ශිප් එකක් ඇතිවෙන්න බෑ... එච්චර දෙයක් මට තාම දරාගන්න පුලුවන්කමක් නෑ... මට ඒකට හිත හදාගන්නම බැරි උනොත් මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න ඕනේ. මං කියන්නේ මට ඩිවෝස් වෙන්න ඕනේ..."

පොඩි අයියා මුකුත් නොකියා ටිකක් වෙලා මා දිහා බලාගෙන හිටියා.

"ඒ කියන්නේ අපේ මැරේජ් එක ට්‍රයල් එකක්ද..?"

මං උරහිස් ගැස්සුවා.

"මෙහෙම ඇහුවට තරහ වෙන්නෙපා චූටි... හිතට එකඟ නැතුව ඇයි මාව බඳින්නේ..? මේක ඔයාගේ හිතට වදයක් නෙවෙයිද..? මං දන්නවා නෙහායි, අපේ එකයි ඔයාට කියපු දේවල්. ඒවා අමතක කරන්න චූටි. එයාලා කිව්ව දේවල් නිසා මේ තීරණේ ගන්නෙපා... මැරේජ් එක කියන්නේ අපි දෙන්නගේ ලයිෆ් ඩිසීෂන් එකක්. ඒක ගන්න ඕනේ අපි දෙන්නා..."

මං යන්තම් හිනාවුණා.

"ඇත්තම කිව්වොත් පොඩි අයියේ, අපේ මැරේජ් එක කිව්වම ඒක ඇතුළේ ඔයයි, මායි විතරක් නෙවේ නේද ඉන්නේ..? මං කියන්නේ අපේ අයියවත් ඒකට අදාළයි නේද..? මේ මුකුත් නොදන්නවා උනත් එහෙම බැලුවම මිහීටත් ඒක අදාළයි... එහෙම බැලුවම මේ ගෙදර ඇතුළේ ඉන්න යන්නේ මැරි කරපු කපල්ස් දෙකක්ම නෙවේ. මේක නිකන් Group marriage එකක් වගේනේ..."

මං එහෙම කිව්වම පොඩි අයියා ගැස්සුනා.

"ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්ද මාව බැන්දම අපේ අයියා එක්ක තියන සම්බන්ධේ නවත්තනවා කියලා..? මං කියන්නේ ඔයාලා දෙන්නගේ සෙක්ෂුවල් රිලේෂන්ශිප් එක ගැන විතරක් නෙවේ. ඉමෝෂනලි ඇටෑච්මන්ට් එකත් ගැනයි මං කතා කරන්නේ..."

පොඩි අයියා මගෙන් ඇස් අහකට අරගෙන කළු පාට අහස දිහා බැලුවා. මට එයාගේ උත්තරේ තේරුණා. මං හිනාවුණ නිසාද මන්දා එයා ආයෙම මගේ දිහා බැලුවා.

"කොච්චර උනත් ඔයා මට වඩා අයියට ආදරෙයි නේද පොඩි අයියේ..? ඔයාට එයාව අතාරින්න බැරි තරම් ඔයා එයාට ආදරෙයි නේද..?"

මං ඇහුවා.

"නෑ චූටි... මං ඔයාටත් ආදරෙයි..."

"ඒත් අයියාට තරම් නෙවේ නේද..? ඔයා අපි දෙන්නව තරාදියක දාලා කිරලා බැලුවොත් අයියාගේ පැත්ත බර වැඩී නේද..?"

"චූටි, ඒ දෙක දෙකක්... ඒක මට..."

"දෙන්නෙක් එකට බැලන්ස් කරන්න බෑ අයියේ. එක්කෙනෙක්ට පොඩ්ඩක් හරි වැඩිවෙනවා... ඔයාගේ ආදරේ බර වැඩි පැත්තේ ඉන්නේ අපේ අයියා මිසක් මං නෙවේ..."

මං කිව්වම පොඩි අයියා හීල්ලුවා.

"මට මේක ඔයාට තේරුම්කරන්න තේරෙන්නෑ චූටි..."

මට හිතුනා එයත් ඉන්නේ මං තරම්ම පැටලිල්ලක කියලා.

"මට ඉරිසියයි පොඩි අයියේ..."

මං කිව්වම පොඩි අයියා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.

"ඔයාට වගේ දෙන්නෙක්ට ආදරේ කරන්න මගේ හිත ඔයාගේ හිත තරම් ලොකු නෑ පොඩි අයියේ... ඒ පොඩි හිතේ ඉන්නේ ඔයාම විතරයි... ඉතිං මට මගෙම අයියත් එක්ක ඔයාව බෙදාගන්න බැරි තරම් ඉරිසියයි. දුකයි. තරහයි. වේදනයි..."

පොඩි අයියා ආයෙම හීල්ලුවා.

"ඔයා දුකින් නම් මේ තීරණය ගන්නෙපා චූටි... මං මෙහෙමත් හිතුවා... අපි අම්මලාගේ හිත් රිද්දන්නැතුව මේක කියන්න ඕනේ නිසා ඔයා කියන්න මට වෙන කෙල්ලෙක් එක්ක අෆෙයාර් එකක් තිබිලා ඒක ඔයාට අහුවුණා කියලා. ඒ නිසා බඳින්න බෑ ඩිවෝස් වෙන්න ඕනේ කියන්න... මං ඒක පිළිගන්නම්... එතකොට සේරම වරද මට මිසක් ඔයාට නෙවේනේ... අනික නෙහාගේ මැරේජ් එකත් බේරෙනවා... අම්මලා මට බනී. කෑගහයි... ඒත් වෙන හානිය අවම වෙයි... අපි එහෙම කරමුද චූටි..? ඔයා හිතේ සතුටක් නැතුව මා ගාව ඉන්නවට මං කැමති නෑ..."

පොඩි අයියා කියාගෙන ගියා.

"එච්චර ආදරේද..? මං කියන්නේ මට නෙවේ අයියට..? එයාගේ මැරේජ් එක බේරලා තමන්ගේ මැරේජ් එක කඩාගන්න තරම් ආදරෙයිද..?"

මං ඇහුවම මුල්පාරට පොඩි අයියාගේ හකුපාඩා තද වුණේ කේන්තියෙන් කියලා මට තේරුණා.

"තමුසෙට කොච්චර කිව්වත් තේරෙන්නෑ චූටි... මගේ හිතේ නෙහාට තියන ෆීලින් එකයි, තමුසෙට තියන ෆීලින් එකයි දෙකක්. ඒ දෙක කම්පෙයාර් කරලා එක්කෙනෙක්ට මම වැඩියෙන් ආදරෙයි කියන්නේ කොහොමද කියලා නම් මං දන්නෑ... මං මහ ජරා මනුස්සයෙක්. පාහරයෙක්. කෙල්ලෙක්ගෙන් විතරක් සැනසෙන්න බැරි මිනිහෙක්... පොඩි කාලේ ඉඳන් ආදරේ කරපු කෙල්ලෙට ද්‍රෝහි උනු පාදඩයෙක්... බොක්කටම දැනුනු කොල්ලව අතෑරගන්න උනු දුර්වලයෙක්... හැබැයි උඹව මේ කසාදේ අස්සේ හිරකරගෙන මැරෙනකන් උඹට දුක්දෙන්න තරම් මං නරුමයෙක් නෙවේ චූටි... ඒකෙන් කියන්නෑ මට උඹව එපා කියලා. නෙහාව තරමටම මට උඹවත් ඕනේ... ඒත් මේක තවත් කම්ප්ලිකේටඩ් කරගෙන උඹේ මුළු ජීවිතේම නාස්ති කරපු එකා වෙන්න මට බෑ. මං දැනටමත් උඹේ ජීවිතෙන් කොටසක්ම කාලා ඉවරයි. ඉතුරු ටිකත් මට එහෙම කාලා දාන්න බෑ චූටි... ඇත්ත, මං මහ සෙල්ෆිෂ් මිනිහෙක්. මට ඕන කළේ මං ආදරේ කරපු උන් දෙන්නවම මගේ ළඟ තියාගන්න... උඹ එදා අපිව නොදැක්කා නම් ඒ සෙල්ෆිෂ් මිනිහා හැමදාම එහෙමම හිතාගෙන ඉඳීයි. ඒත් උඹ විඳවන හැටි දැක දැක නොදැක්කා වගේ ඉන්න මට බෑ චූටි... ඒ නිසා මේක ඉවරයක් කරපන්. ඒක කාටත් හොඳයි... කොහොම උනත් වැරදිකාරයා මමනේ. මාව වැරදිකාරයා කරලා මේකෙන් අයින් කරපන්... හැමෝටම ඒකෙන් හොඳක් වෙයි..."

පොඩි අයියා කේන්තියෙන් බැන්නත් ඒක හයියෙන් කිව්වේ නැත්තේ ගෙදර අයට ඇහෙයි කියලා වෙන්නැති.

"එහෙම කළාම ඔයා ආදරේ කරන එක නවත්තනවද අයියට..?"

පොඩි අයියා ලොකු හුස්මක් අරගෙන පොඩි හිනාවක් දැම්මා.

"කොහොම කළත් මං මැරෙනකන් තමුසෙටයි, නෙහාටයි ආදරෙයි... අර මං කිව්ව විදියට හැමදේම ඉවරයක් කරලා ලංකාවෙන් ගියත් ඒක එහෙම වෙයි... අනික මොන සක්කරයාටවත් බෑ මං ඔයාලා දෙන්නට ආදරේ කරන එක නවත්තන්න..."

මට මතක් වුණේ ශෙනායා කියපු Polyamory කතාව. පොඩි අයියාටවත්, අපේ අයියාටවත් එක්කෙනෙක් තෝරගන්න බැරි තැනක එයාලා දෙන්නම හිරවෙලා. අපේ රටට අනුව මේක අසම්මතයක්. ඒත් ඉස්සර රජවරු අගබිසවක් ඉද්දි තව බිසවක් ගත්තම රජතුමා චපලයි කියලා අපේ රටේ ඉතිහාසය ලියපු ඒ කවුරුවත් ලිව්වේ නැත්තේ ඇයි කියලා මට හිතුනා. මිනිස්සු කියන්නේ හැඟීම් පාලනය කරගන්න පුලුවන් අය. ඒත් එහෙම පාලනය කරගන්න බැරුව දෙගොඩතලා යන හැඟීම් මිනිස්සුන්ටත් ඇති නේද..? ඒකද එතකොට චපලකම කියන්නේ..? පොඩි අයියාගේ හිත මටයි, අපේ අයියාටයි සමව බෙදිලා නම් එයාගේ හිත ඒ තරම් ලොකුද..? එතකොට අපේ අයියා..? දෙන්නම මෙහෙම වුණේ කාලයක් එයාලා දෙන්නම එකටම හිටපු හින්දද..? නැත්නම් මේක ශෙනායා කියපු එකම ෆැක්ට් එකක්වත් සම්බන්ධ නැති මෙන්ටලි අවුලක්ද..? එයා කිව්වනේ එහෙම මෙන්ටලි ඉෂූ එකක් මෙතන නෑ කියලම. මට තේරුණේ නෑ.

ජීවිතේ මාරයි. කෙනෙක්ට ජීවිතේටම එකපාරයි ආදරේ හම්බෙන්නේ. කෙනෙක්ට ජීවිත කාලේ ඇතුළත කීපසැරයක් ආදරේ හම්බෙනවා. කෙනෙක්ට එකපාර එක වගේ ආදරේ කරන අය හම්බෙනවා. සමහර අයට කොච්චර ආදරේ කළත් ආපිට ආදරයක් හම්බෙන්නෑ. සමහරු ආදරේ නොකරම මැරිලා යනවා. Life is a bloody hell. ඒ වෙලේ මට හිතුනේ එහෙම.

"ලොකු අයියා... එයා ඔයාලා ගැන දන්නවා කිව්වා... එයා කිව්වා ඒක සාමාන්‍යයි කියලා... එතකොට එයත්..?"

මං ඇහුවේ එවෙලේ මගේ හිතට ආව ප්‍රශ්නේ. ඒකට නම් පොඩි අයියාට හිනාගියා.

"ඔයා අහන්නේ චූටි අපේ එකත් bisexual ද කියලද..?"

මං ඔලුව වැනුවා.

"ඌ totally straight. ඌවත් දන්නැතුව ඇති ඌට කොච්චර කෙල්ලෝ හිටියද කියලා... මාව මැරුවේ නැති ටික විතරයි මගෙයි, නෙහාගෙයි අෆෙයාර් එක ඌට අහුවුණ දා... ඌ මට බල්ලෙක්ට වගේ ගැහුවේ. නෙහාටත් කනට එකක් දෙකක් ගැහුවා... ටෙස්ටින් කළාට කමක් නෑ ලව් කරන්න තියාගත්තේ ඇයි ඇහුවා... ඌත් එතකොට ඔයා ගැන මගේ හිතේ තිබ්බ දේ දැනගෙන හිටියේ. ඔයාව හිතින් අතාරින්න කිව්වා. පැත්තක ඉන්න ඔයාව මේ අපායට ඇදලා දාන්නෙපා කිව්වා... පස්සේ මං ඔයා එක්ක අෆෙයාර් එක පටන්ගත්තා කිව්වම ඌ හිතුවා හැමදේම හරියයි කියලා... මිහී එක්ක නෙහා යාලු උනාම ඌ හිතුවෙම හැමදේම හරි කියලා... ඌ මේපාර ලංකාවට ආවට පස්සේ අපි වෙච්ච දේ කිව්වම ඌ අමු තිත්ත කුණුහරපෙන් බැන්නේ අපි දෙන්නට. මට නම් කනටත් එකක් ගැහුවා... නෙහාට බැන්නා උඹ දැන් දරුවෙක් ඉන්න තාත්තෙක් නේද කියලා... ඌ ඩොකා නිසා ඌ දන්නවා මේක ඇබ්නෝර්මල් කේස් එකක් නෙවේ, අපි දෙන්නට මෙන්ටලි අවුලක් නෑ කියලා... ඒත් ඌ බයයි අපේ පවුල කැඩෙනවට... ඒ නිසා ඌට ඕනේ මාවයි, නෙහාවයි ඈත් කරන්න... කොටින්ම ඌ මට ඔයාව බැඳලා වෙන තැනක රෙන්ට් එකට පදිංචියට යන්නත් කිව්වා. ඒත් මාමාගේ තත්වේ එක්ක එහෙම බෑ කියලා පස්සේ ඌටම තේරුණා..."

මං ඔලුව වැනුවා. ඒත් මුකුත් කිව්වේ නෑ. හැමෝම හැමෝගෙම පර්ස්පෙක්ටිව් එකෙන් ගත්තම හරි ඇති කියලා මට හිතුනා.

"මොන දේ උනත් පොඩි අයියේ අපි වෙඩින් එක ගමු. ඊටපස්සේ මං කියපු විදියට බලලා තීරණයක් ගමු... හදිසියේ නවත්තන්න ඕනේ නෑ මේ හැමදේම..."

මං කිව්වම පොඩි අයියා අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා. හයියෙන් හයියෙන් කීපසැරයක් හුස්ම ගත්තා. මට බයකුත් නොදැනුනා නෙවේ. එයා මෙහෙම හැසිරෙනවා මං දැක්කමයි.

"ඇයි චූටි මෙහෙම කරන්නේ..? ඇයි මාව බඳින්නේ..?"

පොඩි අයියා ඇහුවේ මිනිත්තු පහකට විතර පස්සේ. අපි දෙන්නා අතරේ තිබ්බ සිමෙන්ති මේසය උඩ තියාගෙන හිටපු මගේ අත් දෙක දිහා බලාගෙන මං හිනාවුණා.

"මට කරපු දේට ඔයා දඬුවම් විඳින්නම ඕනේ පොඩි අයියේ... ඔයාට අපේ අයියා එක්ක ඉන්න හැමවෙලාවකම මාව මතක් වෙන්න ඕනේ, මාත් එක්ක ඉන්න හැමවෙලාවකම අපේ අයියවත් මතක් වෙනවා වගේම... ඒ ගිල්ටි ෆීලින් එක දවස ගාණේ දැනෙන්න ඕනේ... මං විඳවන හැටි ඔයා දකින්න ඕනේ. අපි ඈත් උනොත් මං සතුටින් කියලා හිතලා ඔයා හිත හදාගනී... ඒත් මට ඕනේ මාව පුච්චන ගින්නෙන් ඔයත් හැමදාම පිච්චෙනවා බලන්න... මං දුක්වෙන හැටි බල බල ඔයත් විඳවනවා බලන්න... මෙතනින් මං නැවතුනත් මට ඔයාගෙන් ඈත්වෙලා කොච්චර දුරක් යන්න පුලුවන් වෙයිද මං දන්නෑ පොඩි අයියේ... ඒත් එහෙම අවිනිශ්චිත තීරණේකට වඩා ඔයා ළඟ ඉඳගෙන ඔයා දුක්වෙන හැටි බලන්න මං ආසයි... මේ සති තුනට මං ඒ තරම් විඳෙව්වා..."

මං කිව්වම පොඩි අයියා හිනාවුණා.

"ඔයා හදන්නේ මගෙන් පළිගන්න ඔයාගේ ජීවිතේම බිල්ලට දෙන්නද චූටි..? එච්චරම මෝඩද තමුසේ..?"

එපාර හිනාවුණේ මං.

"මගේ ජීවිතේ මීට අවුරුදු ගාණකට කලින් ඔයයි, අයියයි දෙන්නම බිලිගත්තේ... මගේ ජීවිතේ විතරක් නෙවේ මිහීගේ ජීවිතෙත්... මේක හෙන ෆිල්මි වගේ කියලා හිතන්නෙපා... මං ඇත්තටම ඉන්නේ ඔයාලා දෙන්නව මරලා දාන්න තරම් තරහකින්..."

පොඩි අයියා හීල්ලුවා.

"මං මගේ අහිංසක කෙල්ලව මරාගත්තා..."

වෙන්නැති. මං මෙහෙම නපුරු වෙලා නෑ කවදාවත්. ඒත් මට පොඩි අයියව රිද්දන්නම ඕනේ වුණා. මං මුකුත් නොකියම බංකුවෙන් නැගිට්ටා. පොඩි අයියත් මාත් එක්කම නැගිටලා මගේ පස්සෙන් ආවා.

"පොඩි අයියේ, මං කලින් කියපු මුකුත්ම බොරු නූනට ඒවා එච්චරම මගේ තීරණේට මං බේස් කරගත්තේ නෑ. ඊට වඩා දෙයක් තියනවා ඔයා දැනගන්න ඕන..."

මං ආපිට හැරිලා කිව්වේ ඉස්තෝප්පුවට කිට්ටු කරලා.

"මං ඔයාව බඳින්නේ මොකට උනත් ඒකට මූලිකම හේතුව ඔය එකක්වත් නෙවේ... ඔයාලා වගේ bisexual, gay අයට අපේ සමාජෙන් සලකන විදිය මං දැන් හොඳටම දන්නවා. ඒ නිසා ඒ සමාජේ ඉස්සරහා ඔයා කොලුකාරයෙක් කියලා හංවඩු නොගැහී ඉන්න ඕනේ නිසයි මං ඔයාව බඳින්නේ... ඇත්ත මං හෙන මෝඩයි... හැබැයි මගේ කොන්දේසිය මං වෙනස් කරන්නෑ... ඉවසන් ඉන්න බැරි නම් දමලා ගහලා යනවා මං. ආයේ චාන්සස් නෑ..."

පොඩි අයියා නතරවෙලා හීල්ලුවා.

"අනික මාත් හරිම ආත්මාර්ථකාමීයි. අයියාට ඔයාව දීලා පරදින්න මට බෑ... ඔයා මට නම් කලින් ආදරේ කළේ ඔයා මට කළේ ද්‍රෝහිකමක්. ඒකට ඔයා විඳවයි..."

මං පොඩි අයියා එළියේ ඉද්දිම ආවා ගේ ඇතුළට. සාලේ හිටපු ලොකු අයියා මගේ දිහා බලන් ඉන්නවා මං දැක්කත් එයාව නොදැක්කා වගේ මං කාමරේට ගියා. මං ඔය සේරටම වඩා වෛර කළේ මගේ දෛවයට. මගේ නොදැනුවත්කම්වලට. බැඳීම්වලින් සීමා කරපු මගේ ජීවිතේට.

අප්පච්චිගේ කතාවලින් මං තේරුම්ගත්තා මං මොන තත්ත්වෙන් හිටියත් අප්පච්චි මාව භාරගන්නවා කියලා. ඒත් මං පොඩි අයියාගෙන් ඈත්වුණොත් ඒක එයාලට දුකක් නෙවේ කියලා කියන්න බෑනේ. අප්පච්චි හරි සංවේදී මිනිහෙක්. මාමත් එහෙමයි. ඒ දෙන්නට අපේ ඈත්වීමක් දරාගන්න කියන තරම් ලේසි නෑ. අප්පච්චිගේ මරණෙට හේතුව මං වෙනවා දකින්න මට ඕනේ වුණේ නෑ. ඔයාලා හිතනවා නම් මෝඩ තීරණයක් මං ගත්තේ කියලා ඒක එහෙම වෙන්නැති. ඒත් මං ආදරේ කරන මිනිස්සුන්ගේ මළගම් උඩින් මගේ සතුට හොයන්න මං එවෙලේ බයවුණා. අනික් පැත්තෙන් පොඩි අයියා ගැන දන්න කියන කාලේ ඉඳන් තිබ්බ ලෝභකම මට එයාගෙන් ඈත්වෙන්න ඉඩක් දුන්නෙත් නෑ. ඇත්ත... මට පොඩි අයියාගෙයි, අපේ අයියාගෙයි අෆෙයාර් එක දරාගන්න බෑ තමා. ඒත් මට ඒ මොහොතේ පවුලේ අයගේ මෙන්ටලිටි එක ගැන ටෙස්ටින් කර කර ඉන්න හැකියාවක් තිබ්බෙත් නෑ. මොකද වෙඩින් එකට තිබ්බේ හරියටම බැලුවොත් දවස් දෙකයි. බ්‍රහස්පතින්දා... සිකුරාදා... ඊටපස්සේ වෙඩින් එක.

ඒ සෙනසුරාදා අපේ වෙඩින් එක ගත්තා හිතාගෙන හිටපු විදියටම. මං හිටියේ සතුටින් කියලා කියන්න බැරිවුණත් මං හිනාවෙලා හිටියා. හුඟක් අය කිව්වා අපි හරි ලකී කපල් එකක් කියලා. ඒකට මට හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි උනා. ඇත්ත දන්නවා නම් එහෙම කියන උන්ගේ හකු පනීවි.

චාරිත්‍ර-වාරිත්‍ර ඉවරවෙලා පිටත්වෙන්න හදද්දි අපේ අයියා මාවයි, පොඩි අයියාවයි දෙන්නවම තදින් බදාගත්තා.

"උඹව මූ තරම් හොඳට බලාගනී කියලා මට විශ්වාස කරන්න පුලුවන් එකෙක් මේ මුළු ලෝකෙම නෑ නංගි... මං උඹව දුන්නේ මේ ලෝකේ මං වැඩියෙන්ම විශ්වාස කරන එකාට. මං වැඩියෙන්ම ආදරේ කරන එකාට..."

අයියා අන්තිමටම මට කියපු වචන මගේ කන්වල සෑහෙන කාලයක් යනකන් රැඳිලා තිබ්බා.

✍🏼 සකුනි හතරසිංහ

*Polyamory- එකවර ප්‍රේම සබඳතා හෝ ලිංගික සබඳතා කිහිපයක් පවත්වාගැනීම සඳහා භාවිත වන ආවරණිත වදනකි (umbrella term). Polloi යනු ග්‍රීක බසින් බොහෝ (many) යන්නත්, amor යනු ලතින් බසින් ආදරය (love) යන්නයි. මෙහි දී සහරුවන්ගේ කැමැත්ත සහ දැනුවත්භාවය යන්න වැදගත් වේ. (කතාවෙදි මෙන්න මේ කොටස උල්ලංඝනය වීමක් තමයි වෙලා තියෙන්නේ.) මෙම සබඳතාවල දී ඊර්ෂ්‍යාව කළමනාකරණය කිරීම වැදගත් වන අතර මෙමෙ සබඳතා ගැඹුරු, කැප වූ සහ දීර්ඝකාලීන සබඳතා වේ. මෙම සබඳතා බොහෝවිට ලිංගිකත්වය මත පමණක් පදනම් නොවන ආදරය, විශ්වාසය, කැපවීම, වටහාගැනීම වැනි සාධක මත පදනම් වන සබඳතා වේ. මෙය ENM සහ CNM ප්‍රවර්ගවලට අයත් සබඳතාවයක් ලෙස වර්ගීකරණය කෙරේ.
ENM- Ethical Non-Monogamy (සදාචාරාත්වක තනිපුද්ගල නොවන)
CNM- Consensual Non-Monogamy (සම්මුතික තනිපුද්ගල නොවන)
මෙහි වර්ග කිහිපයක් වේ. ඒ Triad, Quad, Vee, Solo Polyamory, Polycule, Hierarchical Poly, Anchor Partners, Kitchen-Table Poly, Parallel Poly, Polyfidelity, Relationship Anarchy වශයෙනි. 

*Polyamorous people- එකවර කිහිපදෙනෙක් සමඟ වේතාන්විතව සහ ආත්මීය වශයෙන් ප්‍රේමණීය හා ලිංගික සබඳතා පවත්වන පුද්ගලයින්.

*Polygamy- බහුවිවාහ. එක් පුද්ගලයෙකු කාලත්‍රයන් කිහිපදෙනෙකු එකවර විවාහ කරගැනීම. මෙය ඇතැම් රටවල නීත්‍යානුකූල ය. Polyandry සහ Polygyny ලෙස ආකාර දෙකකි. මෙය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ය. (දණ්ඩ නීති සංග්‍රහය 362 B වගන්තිය)

*Polyandry- බහුපුරුෂ විවාහ. එක් කාන්තාවක් විසින් එකම කාලයක දී පිරිමින් කිහිපදෙනෙකු විවාහ කරගැනීමයි. උදාහරණ ලෙස ලංකාවේ එකගෙයි කෑමේ සිරිත (සහෝදරයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු විසින් එක් බිරිඳක පාවාගැනීම) දැක්විය හැකි ය. මෙය අදට ද හිමාල කඳුකර ප්‍රදේශයට අයත් ඉන්දියාව, නේපාලය, ටිබෙටය, චීනය වැනි රටවල දක්නට ලැබේ. මෙයට ඇති ප්‍රකටම සාහිත්‍යමය නිදසුන වන්නේ මහාභාරතයෙහි ද්‍රෞපදී විසින් පාණ්ඩව සහෝදරයන් වන යුධිෂ්ධිර, අර්ජුන, භීම, නකුල හා සහදේව හා විවාහ වීම යි.

*Polygyny- බහුභාර්යා විවාහ. එක් පුරුෂයෙකු විසින් එකම කාලයක දී කාන්තාවන් කිහිපදෙනෙකු විවාහ කරගැනීමයි. උදාහරණ ලංකාවේ රජවරුන්ගේ අන්තඃපුර පැවතීම දැක්විය හැකි ය. මෙය වර්තමාන ලෝකයේ බහුල Polygamy ක්‍රමයයි. බොහොමයක් අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල මෙය නීත්‍යානුකූල විවාහ ලෙස පිළිගැනේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, එරිත්‍රියාව, පිලිපීනය, මලයාසියාව සහ සිංගප්පූරුව යන රටවල මෙය මුස්ලිම් ජාතිකයන් සඳහා පමණක් අවසර ලැබෙන විවාහ ක්‍රමයක් ලෙස නීතිගත කර ඇත.

*Group Marriages/ Conjoint marriage- සමූහ විවාහ. විවාහ විය හැකි වයස් සීමාවට අයත් සැමියන් කිහිපදෙනෙකු සහ භාර්යාවන් කිහිපදෙනෙකු සිටින පවුල් ඒකකයක් පවත්වාගෙන යාම. මෙහි දී විෂමලිංගිකත්වය සහ සමලිංගිකත්වය යන දෙකොටසම එම විවාහයට අන්තර්ගත වේ.

*Bigamy- නීත්‍යානුකූලව එක් පුද්ගලයෙක් සමඟ විවාහ වී සිටිය දී තවත් පුද්ගලයෙකු සමඟ වීවාහ වීම. දික්කසාදය සඳහා අදාළ අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින විට එම අධිකරණ බල ප්‍රදේශය තුළම නැවත විවාහයක් කරගැනීම මෙයට අයත් වේ. මෙය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ය. (දණ්ඩ නීති සංග්‍රහය 362 B වගන්තිය)

*Group sex- දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් එකවර එකට එක්ව ලිංගික ක්‍රියාකාරකම්හි යෙදීම. මෙය බොහෝවිට ලිංගික සාද (sex parties) සහ සහකරුවන් හුවමාරු කරගැනීම (Swinging) වල දී සිදුකෙරේ. විෂමලිංගික සහ සමලිංගික ක්‍රියාවන් සිදුවන ක්‍රියාවලියකි.

*Monogamy- ඒකපුද්ගල. වරකට එක් පුද්ගලයෙකු සමඟ පමණක් ආදරණීයව හෝ ලිංගිකව සබඳතා පැවැත්වීම. මෙය ලොව බොහෝ රටවල නීත්‍යානුකූල විවාහ ක්‍රමය යි. Serial monogamy හෙවත් දාම පුද්ගල විවාහ යනු එක් පුද්ගලයෙකු සමඟ වූ සබඳතා සම්පූර්ණයෙන්ම අවසන් කිරිමෙන් අනතුරුව තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වීම යි.

*Non-monogamy- එක් පුද්ගලයෙකුගෙන් සෑහීමට පත්නොවීම සඳහා යෙදෙන ආවරණිත වදනකි. Group marriages, Polyamory සහ Extramarital sex සඳහා මෙය භාවිත කෙරේ.

*Extramarital affairs- නීත්‍යානුකූල විවාහයෙන් පරිබාහිර ආදර හෝ ලිංගික සබඳතා.

*Adultery- කාම මිත්‍යාචාරය. විවාහයෙන් පිටත ලිංගික සබඳතා පැවැත්වීම. මෙය සාමාජීය, ආගමික, සදාචාරාත්මක හා නීත්‍යානුකූලව පිළිකුල් කරනු ලබන සබඳතාවයකි.

*Swinging/ Partner swapping- සහකරුවන්/ සහකාරියන් හුවමාරු කරමින් කරන ලිංගික ක්‍රියාකාරකමකි. මෙහි දී එම කාර්යයට සහභාගී වන සියල්ලන්ගේ කැමැත්ත සහ දැනුවත්භාවය වැදගත් වේ.

*Consanguinity- ලේ ඥාතීන් සබඳතා හෝ විවාහ. ලෝකයේ Con-sanguine marriages වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ දකුණු ආසියාව යන කලාපවල ය. මෙයට ශ්‍රී ලංකාව ද ඇතුළත් වේ. නමුත් ශ්‍රී ලංකාවේ මෙහි ඇතැම් ඥාති සබඳතා අනුව විවාහය තහනම් කොට ඇත. මෙය බහුලවම පවතින්නේ පකිස්ථානයේ ය.

*Incest- ව්‍යභිචාරය. එකම පවුලේ හෝ පවුලේ ආසන්නතම ඥාතීන් අතර වන විවාහ. මෙය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ය. (දණ්ඩ නීති සංග්‍රහය 364 අ. වගන්තිය)

*Open relationship- සහකරුවන් දෙදෙනාම වෙනත් සහකරුවන් සමඟ එකිනෙකා දැනුවත්ව ආදර හෝ ලිංගික සබඳතා පවත්වන සම්මුති සහ ඒකාධිකාරී නොවන සබඳතා.

**PK- 2014 දී තිරගත කළ විද්‍යා ප්‍රබන්ධ ප්‍රහසන නාට්‍ය ශානරයට අයත් Rajkumar Hirani විසින් අධ්‍යක්ෂණය කළ සුප්‍රකට ඉන්දීය (හින්දි) චිත්‍රපටයක්.


මතු සම්බන්ධයි........

Comments

Popular Posts