අවසානයට පෙර ඈ ගියා 🥀

 (කෙටිකතාව)

මං බස් එකෙන් බහින කොටම මහ සද්දෙන් අකුණක් පිපුරුනා. හීන් පොද වැස්ස, මහා වැස්සකට අරඅදිද්දි මම බස් එකෙන් බැහැලා යන්තමට වගේ තෙමෙමින් ම බස් නැවතුම ගාව තියන ඔරලෝසු කණුව දිහා බැලුවා. පාන්දර එකයි පහළොවට වෙලාව සටහන් වුණ ඒ වෙලාවේ නගරය තිබ්බේ පාලු කනත්තක් වගේ. එක ම කඩයක්වත් ඇරලා නෑ පේන මානෙක. පාර නිවහන කරගත්ත බල්ලෙක්වත් පේන්න නොහිටියේ වැස්ස නිසා වෙන්න ඇති.

මං ජංගම දුරකතනය කනේ තියාගෙන වැස්සට යටින් ම පාර මාරු වෙලා බස් නැවතුමට ආවා. ගෙවල් පාරේ මුල්ම බස් එක තියෙන්නේ උදේ හයට. ඒ නිසා මං අසංගට ඇමතුමක් ගත්තා.

"උඹ ආවද නිසා..? මට මිනිත්තු විස්සක් දීපන් මං එන්නම්..."

මං වචනයක්වත් කියන්න කලින් ම අසංග කිව්වා.

"හරි බං... මං බස් ස්ටෑන්ඩ් එකේ... නෑමක් තියෙන්නේ..."

මං උත්තර දෙන අතරතුරේ දී ම මගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වුණා.

'හොඳ වෙලාවට කතා කළේ...'

මං හිතින් මට ම කියාගත්තා.

වැස්සෙන් මුවාවෙන්න බස් නැවතුම ඇතුලට ආපු මම බෑග් එක ගලවලා බංකුවක් උඩින් තියලා වතුර උගුරු දෙකක් විතර ඉතුරුවෙලා තිබ්බ වතුර බෝතලේ අඩියට ම වෙනකන් බීලා ඉවර කළා. වැස්ස නිසා අසංග එද්දි එකයි හතළිස්පහවත් වෙනවා.

ඒත් ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බේ ඒ මොනවත් නෙවි, එදා ම හවස ආව දුරකතන ඇමතුම.

"නිසූ, මං ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් එකකට කැමති උනා... ලබන මාසේ රෙජිස්ට්‍රේෂන් එක..."

ඒ කටහඬ, ඒ වචන ටික ආයෙ ආයෙ ම මගේ කනට ඇහෙනවා වගේ දැනුනා.

මන්දාරා........

මන්දාරාව මට මුලින් ම හමුවුණේ විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉද්දි. ඇය එතකොට ප්‍රථම වසරේ. වසර කිහිපයක පෙම් පළහිලව්වකින් හිත රිදවගෙන හිටපු මට, මන්දාරා දැක්ක ගමන් විශේෂ හැඟීමක් ඇති වුණේ නෑ. ඇත්තමට මන්දාරා කියන්නේ හරි ම චාම් පෙනුමක් තියන කෙල්ලෙක්. කාලයක් යද්දි ඇති වුණ දැන හැඳුනුම්කම යාළුකමකටත්, ඒ යාළුකම ආදරයකටත් පෙරළෙන්න මහා කාලයක් ගියේ නෑ.

මන්දාරායි-මමයි, අහසයි-පොළොවයි වගේ. අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ වෙද්දි අපේ පවුල හිටියේ දරිද්‍රතාවයේ එක් අන්තයකට ළඟාවෙමින්. මන්දාරාගේ දෙමව්පියන් රජයේ රැකියා කරපු, යම් සමාජ තත්ත්වයක් තිබුණු අය. ඒත් මන්දාරාටවත්, එයාගේ පවුලේ අයටවත් මගේ අධ්‍යාපන මට්ටම මිසක් මගේ ගෙදර ආර්ථික මට්ටම ඒ තරම් ප්‍රශ්නයක් වුණේ නෑ.

අපි අතරේ තිබ්බ නොගැලපීම් මන්දාරා හරි අපූරුවට ගලපගත්තා. අවුරුදු කිහිපයක් ම හුඟක් ඉවසීමෙන් මාත් එක්ක ඉන්න මන්දාරාට පුලුවන් වුණා. මගේ නොඉවසිල්ල, කේන්තිය, කලබලය හැමදේම නිවන කෙනා බවට මන්දාරා පත්වුණා. කාලයත් එක්ක අපි වටේ දේවල් කොච්චර වෙනස් වුණත් මන්දාරාවත්, එයාගේ ආදරයවත් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නෑ.

ඒත් හදිසියෙම මගේ තාත්තා මියගියා. ඒ වෙනකොටත් තාත්තාගේ ආදායම ගෙදර වියදමට මදිවෙලා තිබුණේ. ලොකු නංගී විශ්වවිද්‍යාලයේ. පොඩි නංගී උසස්පෙළ පංතිවල. මම විතරයි පවුලෙන් ම රැකියාවක් කළේ. අම්මාත් අසනීපෙන්. මට මගේ ආදරයයි, පවුලයි දෙකෙන් එකක් තෝරගන්න වෙන තැනට එන්න තරම් ඒ ප්‍රශ්න බලවත් වුණා.

මගේ තීරණයට මන්දාරා අඬා වැටුණා. මට මන්දාරාගේ දෙමව්පියන්ගෙන් උදව් ගන්න තරම් තැනකට වැටෙන්න හිතුනෙත් නෑ. ඒ මුරණ්ඩුකම අපේ සම්බන්ධය නතර කරන තැනට මගේ හිත ගලක් කළා. අවුරුද්දක් විතර මගේ තීරණය වෙනස් වෙනකන් දරාගෙන, බලාගෙන හිටිය මන්දාරා, ඊටපස්සේ නිහඬ වුණා. ඊළග අවුරුදු දෙක ම ගතවුණේ එහෙමයි.

ඒ අවුරුදු දෙකට පස්සේ මන්දාරා ආයෙ ම මට දුරකතන ඇමතුමක් දුන්නේ එයාගේ විවාහය ගැන කියන්න. ඒ වෙද්දිත් මට ඒ ගැන යාළුවන්ගේ මාර්ගයෙන් ආරංචි වෙලා තිබුණේ. ගෙදර අයගේ ඉල්ලීමට විවාහයට එකඟ වුණ බවක් මන්දාරාගේ කතාවෙන් මට තේරුණේ.

'එයා සතුටින් නෙවි...'

මොකක්දෝ හේතුවකට මගේ හිත ඒ දුරකතන ඇමතුම ආ වෙලේ ඉඳන් කෑගැහුවා. මන්දාරාගෙන් පස්සේ කිසිම ගැහැණු ළමයෙක් මගේ ජීවිතයට ආවේ නෑ. මේ වෙද්දි මං ආර්ථිකව ස්ථාවර වෙලා හිටියත් ආයෙම මන්දාරා ළඟට යන්න තරම් මට ආත්මශක්තියක් තිබුණේ නෑ. මාව විශ්වාස කරපු ඒ දෙමව්පියන් ඉස්සරහට යන්න හැකියාවක් මට තිබුණෙත් නෑ.

මන්දාරාගේ මතකයෙන් දෑස් තෙත් වුණ මං මගේ අත බැඳි ඔරලෝසුව දෙස බැලුවා. පාන්දර එකයි තිහ ලෙස ඔරලෝසුවේ වෙලාව දක්වෙද්දී මං හුස්මක් හෙලළා බංකුවේ වාඩිවෙන්න හැදුවා. ඒත් බංකුව ළඟ ම හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්න මන්දාරාව දැක්කම මාව ගැස්සුනා.

"දාරා, ඔයා මොකද මෙහේ..?"

තත්පර කිහිපයකින් සිහි ලබාගත් මං ඇහුවේ වචනයක්වත් නොකියා මා දිහා බලන් හිටිය මන්දාරා ගෙන්. මන්දාරා මට උත්තර දෙනවා වෙනුවට යන්තම් හිනා වුණා.

'මෙච්චර රෑ වෙලා මන්දාරා මොකද මෙතන කරන්නේ..?'

මගේ ඔලුව ඇතුලේ වැඩ කළේ ඒ ප්‍රශ්නෙ ම යි. එතකොට ම මට මතක් වුණේ මන්දාරාගේ නැන්දා කෙනෙක් මේ කිට්ටුව ඉන්නවා කියලා. ඒ කාලෙත් මන්දාරා නිතර එහේ එනවා යනවා.

"නැන්දලහ ආවද දාරා..?"

මං ඇහුවේ හිමින්. ඒකටත් මන්දාරා කළේ හිනාවෙන එක.

'මේ වෙලාවේ මොකෙන්ද මෙතනට ආවේ..? වෙන වාහනයක් යන සද්දයක්වත් මට ඇහුනේ නෑනේ... අනික මෙච්චර රෑ වෙලා ඇයි මෙහේ..?'

මගේ හිත එක ම යුධ පිටියක් වෙලා. අවුරුදු දෙකකට පස්සේ මන්දාරාව දැක්ක සතුට වගේ ම, මේ වගේ වෙලාවක මන්දාරාව දකින්න ලැබුන එක ගැන පොඩි තිගැස්මකුත් එවේලේ මට දැනුනා.

වචනයක්වත් නොකියූ මන්දාරාගේ ඇස් දෙක මගේ අතේ තිබ්බ හිස් වතුර බොතලේ දිහාට යොමුවුණා.

'බෝතලේ දිහා බැලුවේ... වතුර තිබහද දන්නෑ...'

මට එක පාරට ම එහෙම හිතුන නිසා මං ආයෙම මන්දාරා දිහා බැලුවා. තාමත් යන්තම් හිනාවක් මන්දාරාගේ තොල් අතරේ තිබුණා.

"වතුර ඕනෙද..? තිබහද දාරා..? මං වතුර එකක් අරං එන්නම්. ඔයා ඔහොමම ඉන්න..."

කියන්න දෙයක් සිතට නොපැමිණි නිසාත්, මට ද පිපාසයක් දැනුණු නිසාත් මං වතුර බෝතලය අරගෙන ටැප් එක ගාවට යන්න ටික දුරක් ගිහින් ආපහු හැරිලා මන්දාරා දිහා බැලුවා. මන්දාරා අර හිනාව ම පාලා මං දිහා බලාගෙන ඉඳියා.

එතකොටයි මට මතක් වුණේ. මන්දාරා ඇඳගෙන හිටියේ මං එයාට ඒ කාලේ අරන් දීපු ගවුමක් නේද කියලා. කහ පසුබිමේ චූටි සුදු මල් තියන, අත් දිග, උස් කොලර් තියන, දණහිස වැහෙන ගානට තියන ගවුමක්. ඒ කාලේ මගේ චින්තනයට සහ රුචිකත්වයට සමානුපාතිකව මගේ මහපොළ සල්ලිවලින් අරන් දුන්න ඒ ගවුමට මන්දාරාගේ චාම් සුන්දරත්වය තවත් ඉස්මතු වුණා.

ඒත් මට පුදුම හිතුනේ ඒ ගවුම තාමත් එයා ගාව තිබුණ එකට. ඒක අරන් දීලත් දැන් අවුරුදු පහක් විතර. ඒ කාලේ තරම් පිරිපුන් බවක් දැන් මන්දාරාගේ නැතත් ඒ කෙට්ටු බවෙත් අමුතු ගතියක් තිබ්බා කියලා මට ඒ ටිකට හිතුනා. තව ටික දවසකින් අන් සතුවෙන මගේ මන්දාරා ගැන අවුරුදු දෙකකට පස්සේ මට ආයෙම ලෝභකමක් දැනෙන්න ගත්තා. ලොකුකම, පශ්චාත්තාපය පැත්තක දාලා මන්දාරාව ඉල්ලලා ඒ දෙමව්පියන්ගේ පය පාමුල වැඳ වැටෙන්න තරම් සිතුවිල්ලක් හිතට ආවා.

ටැප් එකෙන් බෝතලේට වතුර පුරවන වෙලාවෙත් මගේ ඔලුවේ වැඩ කළේ මන්දාරා ඇයි මේ වගේ මහ රෑක නැන්දලගේ ගෙදර යන්නේ කියන එකම යි. මන්දාරා ඒ කාලෙත් වැඩි සද්ද නෑ. හැමවෙලේම ලස්සන සිහින් හිනාවකින් මූණ සරසගෙන ඉඳපු කෙල්ලෙක්. සමහරවිට කෙල්ලෝ පේන්න බැරුව ඉඳපු මට, මන්දාරා ගැන හිතක් පහළ වුණේ එයාගේ තිබ්බ ඒ හිනාවට ම වෙන්නත් ඇති. අවුරුදු හතරක් පුරාවට මන්දාරා මගේ ජීවිතය, ඒ හිනාවෙන් කොච්චර නම් හැඩ කළාද කියලා ඒවෙලේ මට හිතුනා.

මොකක් වුණත් ලොකු ප්‍රශ්නයක් නැතිව මන්දාරා මේ අවේලාවේ නැන්දලගේ ගෙදර යන්නේ නෑ කියන එක මං දන්නවා. එයා විවාහ වෙන්නේ අකමැත්තෙන් කියලා මට මුල්වතාවට සහතික වුණා. එයා කෝල් කරපු වෙලාවෙත් එයාගේ වචනවලින් කෙලින් ම නොකිව්වත්, වක්‍රාකාරව කිව්වේ මේ විවාහය පවුලේ අයගේ ඉල්ලීමට කරන විවාහයක් කියලා.

ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මෙහෙම ආවද..?
ඒත් මන්දාරා කියන්නේ දඩබ්බර කෙල්ලෙක් නෙවි. මං ඒ කාලේ, කොලුකමට අපේ ගෙදර එක්ක පොඩි පොඩි රණ්ඩු හදාගත්තම මන්දාරා තමයි ඒ රණ්ඩු විසඳුවේ. මන්දාරා, එයාගෙම ගෙදර අය එක්කත් හරි සුහදශීලී කෙනෙක්. එයා, මගේ දෙමව්පියියන්, නංගිලා එක්කත් ඒ සුහදශීලීත්වය තියාගෙන හිටියා. ලොකු නංගි මන්දාරාගේ වයසේ. නංගිලා දෙන්නා එයාට හරිම එකතුයි ඒ කාලේ. සම්බන්ධය නතර කරන්න මං ගත්ත තීරණය නිසා ලොකු නංගි මාස කීපයක් යනකන් මාත් එක්ක කතා කළෙත් නෑ. මන්දාරා කියන්නේ පවුලට ලැදි, හැමෝම සතුටින් තියන්න උත්සාහ කරන චරිතයක්. ඒ නිසාමයි මගෙයි, මන්දාරාගෙයි සමාජ මට්ටම් අතරේ කොයි තරම් නුසුදුසුකම් තිබුණත් මන්දාරාගේ ගෙදරින් මට කැමැත්ත හිමිවුණේ.

"දුව මෙහෙම සම්බන්ධයක් ඇති කරගත්ත පළවෙනි වතාව පුතා... කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා කරදර කරපු ළමයෙක් නෙවෙයි... එහෙම එකේ මේ ඉල්ලීම අපි කොහොමද අහක දාන්නේ...."

මං මුලින් ම මන්දාරාගේ ගෙදර ගියාම මන්දාරාගේ තාත්තා කෙලින් ම මට එහෙම කිව්වා. ඇත්‍තටම මන්දාරා තැන්පත් කෙල්ලෙක් කියලා වර්ග කරන්න බැරි වුණත් දඩබ්බර කෙල්ලෙක් නෙවි.

මං වතුර බෝතලයත් පුරවගෙන, වතුර ටිකකුත් බීලා ආවේ උභතෝකෝටික ප්‍රශ්න කිහිපයක් ම මගේ ඔලුවේ පුරවගෙන. මට දැන් අයිතියක් නැතත් මන්දාරාගේ ප්‍රශ්නය ගැන එයා එක්ක කතා කරන්න ඕනේ කියලා මං හිතුවා. මන්දාරා හරි ම විවෘත චරිතයක්. මොනවා හරි ප්‍රශ්නයක් තියේ නම් අනිවාර්යෙන් මගෙත් එක්ක ඒ ගැන කතා කරයි කියන විශ්වාසය මට තිබුණා. ඒ වගේම එහෙම අහන එක හරිද කියලත් හිතේ එක පැත්‍තක ප්‍රශ්නයක් ඉතුරු වුණා. ඒ සේරම අස්සේ මන්දාරාව නැවත හිමිකරගැනීමේ අමුතුම හැඟීමකුත් මගේ සිතුවිලි අස්සෙන් එබෙන්න ගත්තා. ඒක ලෝබකමද, ආදරයද කියන්න මට තේරුණේ නෑ. මොනව වුණත් මොන පිරිමියද කැමති මේ ලෝකේ තමන්ව වැඩියෙන්ම වටහාගත්ත ගෑනිව අතාරින්න..? මට දැනුණේ මං ප්‍රමාද වුණා කියන හැඟීම. ඒත් මන්දාරාව අහම්බයෙන් හරි මෙහෙම හමුවුණ නිසා ආයෙම අවස්ථාවක් අයදින්නත් හිතට අදහසක් නොආවා කියන්නත් බෑ.

අසංග ආවම මන්දාරාව නැන්දලගේ ගෙදරට ඇරලලා එන්න ඕනේ කියන සිතුවිල්ලත් හිතට ආවා. ඒ වෙද්දි අවුරුදු දෙකකට පස්සේ මුලු ඇඟ ම හිරිවැටෙන තරම් පසුතැවීමකින් හිත වැහෙන්න පටන් අරගෙන තිබුණේ.

බෑග් එක තියලා තිබුණු බංකුව ගාවට එනකොට මාව ගැස්සුනා. වතුර බෝතලයත් තදින් අල්ලගෙන මං එහාට මෙහාට ඇවිදිමින් හෙව්වේ මන්දාරාව. දැන් ටිකකට කලින් මෙතන හිටිය ගැහැණු ළමයා එකපාරට ම අතුරුදන් වුණේ කොහොමද කියලා මං කල්පනා කළේ. බස් ස්ටෑන්ඩ් එක පුරාම බැලුවත් මන්දාරාගේ සලකුණක්වත් හොයාගන්න බැරිවුණාම මගේ ඔලුව ම අවුල් වුණා. කෝල් කරන්නවත් මගේ ෆෝන් එක වැඩ නෑනේ කියලා මං කල්පනා කරන කොටම වාහනයක විදුලි පන්දම් එළියක් මගේ මුහුණට යන්තම් එල්ල වුණා.

ඔලුව හරවලා බලන කොට ඒ ඇවිත් හිටියේ අසංග. පිස්සෙක් වගේ වතුර බෝතලයත් අතින් අරගෙන කැරකෙමින් ඉන්න මා ළගට අසංග ආවා.

"චුට්ටක් පරක්කු උනා බං... මොකෝ මේ වටේ කැරකෙන්නේ..? මොනා හරි වැටිලද..?"

මගේ නොසන්සුන්කම දැක්ක අසංග මගේ ළඟට ඇවිත් කතා කරන්න ගත්තා.

"නෑ බං... මන්දාරා ආවා ටිකකට කලින්... මං වතුර එකක් පුරෝගෙන එන ටිකට ගිහින්නේ..."

මං අසංගගේ හිසට ඉහළිනුත් බස් නැවතුම පුරා යළිත් දෑස් යවමින් කිව්වා.

"මන්දාරා..? උඹට පිස්සුද බං..? ඒකි කොහේද මෙහේ..? ඊටත් මේ මහ රෑ..? උඹට නින්ද ගිහින් හීනයක්වත් පෙනුණද..? අනික බස් ස්ටෑන්ඩ් එකේ නෙවි ටවුන් එකේම මෙලෝ යකෙක් නෑ බං මේ වෙලාවේ...."

අසංග ඇස් දෙක පියවලා සමච්චල් හිනාවක් දාන ගමන් මගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවා.

"නෑ බං... දාරාම තමා ඒ... මං දීපු ගවුමකුත් ඇඳගෙන ඉඳියේ... මං එයාට වතුර ගේන්න ගිය ටිකට කොහාට ගිහින්ද මන්දා... අනේ ටිකක් බලපන්කෝ... මේ රෑ කෙල්ලක්ව මෙතන තනියම දාලා යන්න බෑනේ බං... අඩුගානේ ගෙදර ළඟට හරි ගිහින් දාලා එමු....."

මං කියාගෙන ගියේ අසංග ආයෙමත් මං දිහා ඇස් ලොකු කරලා බලන් ඉද්දි.

"මන්දාරාලෑ ගෙදර..? උඹ කියන්නේ දැන් කොළඹ යං කියලද..? උඹට අද ගසලද ඉන්නේ..?"

අසංග ඇහුවේ පුදුමයෙන්.

"දාරගේ නැන්දලෑ ගෙදරට බං. කිලෝමීටර් දහයක් ඇති මෙතන ඉඳන්... උඹ ඉඳහන් මං ගිහින් දාලා එන්නම්..."

"හරි... මොක කරන්නත් කෝ දැන් මන්දාරා..? මං එද්දි නම් බලු බල්ලෙක්ව දැක්කේ නෑ බං..."

අසංගත් කිව්වේ ඔලුව කස කස වටපිට බලමින්.

මිනිත්තු පහළොවක් විතර මායි, අසංගයි දෙන්නම බස් නැවතුමේත්, ඒ අහල පහළත් බැලුවත් මන්දාරාගේ ඡායාවක්වත් තිබුණේ නෑ.

"නිසා, උඹට ෂුවර්ද ඒ මන්දාරාමයි කියලා..? උඹට ෂුවර්ද කවුරු හරි උඹට ඇවිත් කතා කළා කියලා..?"

අවසානයේ අසංග සැකයෙන් වගේ ඇහුවා.

"ඔව් බං... මට මන්දාරාව අඳුරන්න බැරිකමක් නෑනේ. මං අවුරුදු හතරක් ලව් කරපු කෙල්ලව මට අමතක වෙනවද බං..?"

හිතාගන්න බැරිව මමත් දකුණතින් කොණ්ඩය අදින ගමන් ඇහුවේ. අපි දෙන්නම ආයෙත් හොඳට වටපිට බැලුවත් කිසිම කෙනෙක් ඉඳියේ නෑ.

"දැන් දෙකටත් කිට්ටුයි බං... කෙල්ල සිරාවටම ආවා නම් තනියම ආවා වෙන්න බෑ. එන්න ඇත්තේ කාත් එක්ක හරි වෙන්නැති... සමහර විට උඹ දැකලා කතා කරන්න එන්නැත්තේ... එක්කෝ ආව කෙනා එක්කම යන්නැති... එහෙම නැත්නම් ඕක උඹ ඒකි ගැන කල්පනා කර කර ඉද්දි හිතට ආපු දෙයක්... අපි යං බං දැන්... මං හෙට වැඩටත් යන්න ඕනේ...."

මමත් ඔලුව වනලා අතේ තිබුණු පිරුණු වතුර බෝතලේ දිහා බලලා අසංගගේ පස්සෙන් ම මෝටර් සයිකලය තිබුණු තැනට ආවා. ඒවෙද්දිත් අපි දෙන්නම වැස්සට හොඳටම තෙමිලා හිටියේ. හිත ඇතුලේ මොකක්දෝ අමුත්තක් දැනුනත් ඒක කියාගන්න තේරුණේ නෑ. අන්තිමට ම මං හිතුවේ ඒ වෙලාවේ මං මන්දාරා ගැන හිත හිත ඉඳපු නිසා ඒක මගේ හිතේ ඇතිවුණු හිතළුවක් වෙන්නැති කියලා. ගෙදර ගිහින් නාලා ඇඳට වැටිලා මේ ගැන කල්පනා කර කර ඉද්දි එහෙමම නින්ද ගියේ ගමන් මහන්සියටත් එක්කම යි.

පහුවදා මට නිවාඩුවක් දීලා තිබ්බ නිසා ගෙදර වැඩ කීපයකුත් කරලා දවල්ට කන්න හදන කොට ම වගේ මගේ ජංගම දුරකතනය නාද වෙන්න පටන් ගත්තා. එදා අවදි වුණු වෙලේ ඉඳන් හිතේ ඉඳියේ මන්දාරා විතරම යි. ඒ නිසා ම උදේ ඉඳන් කීපවරක් මන්දාරාට කතා කරන්න හිතුවත් ගැටළුවක් ඇතිවෙයි කියන සැකයට ඒ හැමවර ම ඒ අදහස අතහරින්න වුණා. නද දෙන ජංගම දුරකතනයේ විශ්වවිද්‍යාලයේ මිතුරියක වන ගයනිගේ නම සඳහන් වෙද්දි සතුටක් දැනුනා. ඒ හිනාවත් එක්ක ම ඇමතුමට සම්බන්ධ වුණේ කන්න බෙදාගත්ත බත් පිඟාන මේසය මත තියලා.

"අම්මෝහ්... උඹට මාව මතක් උනාද..? පුදුමයිනේ බං..."

ගයනිගේ කටහඬ ඇහෙන්නත් කලින්ම මං කියන්න ගත්තා.

"නිසල්, ඔයා කොහේද ඉන්නේ..? ගෙදරද..? ඔෆිස් එකේද..?"

"ගෙදර බං... දවස් තුනක ෆීල්ඩ් වර්ක් එකකට ගියා. අද පාන්දර ගෙදර ආවේ... ඒ නිසා අද ලීව්... හෙට ආයේ වැඩ බං... උඹ වැඩ නැද්ද..?"

ගයනි සේවය කළේ මන්දාරා ඒ වෙනකොට සේවය කරපු ආයතනයේම යි. ඒ නිසා ගයනිගේ මේ හදිසි ඇමතුම මන්දාරාගේ විවාහය ගැන කියන්නට විය යුතුයි කියලා මට හිතුනා.

"නිවාඩු නිසල්... ඔයාට ළඟදි දාරා නංගී කතා කළාද..?"

ගයනිගේ පැනයෙන් මගේ අනුමානය නිවැරදි බව තහවුරු වුණා.

"මට ඊයේ කතා කළා හවස බං... එවෙලේ කිව්වා එයා ගෙදරින් ගෙනාපු ප්‍රොපෝසල් එකකට කැමති වෙලා ලබන මාසේ මැරි කරනවා කියලා..."

"ඔයා මොකද කිව්වේ..?"

"මොනා කියන්නද බං..? මමනේ අතෑරියේ... මගේ අතේ වැරැද්ද තියාගෙන දාරට ඇඟිල්ල දික් කරන්නේ කොහොමද..? මෙච්චර කාලයක් ඉඳියෙත් මං නිසා කියලා මං දන්නවා බං... ඒත් දැන් නම් හරි ලෝබයි බං වෙන එකෙක්ට මගෙ කෙල්ලව දෙන්න..."

ගයනි ගැඹුරු සුසුමක් හෙළන හඬ දුරකතනය ඔස්සේත් මට ඇසුනා. ඊයේ රෑ මන්දාරා හමුවුණු එක ගැන ගයනි එක්ක කියනවද කියලා හිතන කොට ම ගයනි ආයෙම කතා කරන්න පටන් ගත්තා.

"ඊයේ කෙල්ල ඔෆිස් ඇඳන් ඇවිත් තිබ්බේ ඔයා අරන් දුන්න ගවුමක් නිසල්. ඒ ගැන කියද්දි කෙල්ල හරිම දුකින් කතා කළේ... ඕෆ් වෙලා මාත් එක්කම ගිහින් රෙජිස්ට්‍රේෂන් එකට සාරිත් බලලා දාරා එහෙමම ගෙදර ගියා... බස් එකෙන් බැහැලා ගෙදරට යන ටිකට කෙල්ලට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා නිසල්....."

කතාවක් කියන්නා වගේ ගයනි විස්තරේ කියාගෙන ගිහින් ඉවර කළේ ඉකියකුත් එක්ක.

නුහුරු බියක් හිත වෙලාගනිද්දි මං පුදුම වෙලා ජංගම දුරකතනය තදින් ම කනට තෙරපවාගත්තා.

"කොයි වෙලාවෙද..? දැන් කොහොමද මගේ දාරට..? තාම හොස්පිටල්ද..?"

කලබලයෙන් මම, ගයනි ගෙන් අහගෙන ගියා.

දුරකතනයේ එහා අන්තයෙන් ගයනි ගෙන් පිළිතුරක් වෙනුවට ඉකියක් නික්මෙද්දි මට දැනුනේ මුලු ලෝකෙම මගේ පය පාමුලට ඇදගෙන වැටුනා වගේ හැඟීමක්.

"ඒ කියපංකෝ බං අඬලා බය කරන්නේ නැතිව... කෝ දාරා දැන්..? කොහොමද මගේ කෙල්ලට..?"

මං මහා හඬින් දුරකතනයට ගුගුරද්දි මට පිටුපසින් ලොකු නංගීගේ කටහඬ ඇහුනා.

"ඇයි අයියේ මේ...?"

එයට පිළිවදන් නොදුන් මම යළිත් ගයනිට කතා කළා.

"ගයනි, කතා කරපන්කෝ බං..."

"මචං, මං කසුන්... මන්දාරාගේ ඇක්සිඩන්ට් එක නිසා ගයනි පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ... උඹ කලබල නැතිව ඉඳපන්කෝ..."

ගයනිගේ සැමියා වගේ ම මගේ විශ්වවිද්‍යාල සගයෙකු වන කසුන්ගේ කටහඬ දුරකතනයෙන් ගලාගෙන ආවා. ලොකු හුස්මක් අරගෙන තරමක් සන්සුන් වූ මම යළිත් කසුන්ව ඇමතුවා.

"කස්සා, මොකක්ද බං දාරට වෙලා තියෙන්නේ..? විස්තරේ කියපන්කෝ... උඹේ ගෑනි මාව බය කරනවනේ..."

"රිලැක්ස් මචං... දන්නවනේ ගෑනුන්ගේ හැටි... මන්දාරා ඇක්සිඩන්ට් වෙලා එහෙමම හොස්පිටල් ඇඩ්මිට් කරලා... ටිකක් තදට බ්ලීඩ් වෙලා... ඇක්සිඩන්ට් උනු වෙලෙව් ඉඳන් කෙල්ල දිගින් දිගටම උඹ ගැන කිය කිය අහලා... පස්සේ සිහි නැති වෙලා... ආයේ පාන්දර සිහි ඇවිත් තියෙන්නේ ඔපරේෂන් එකෙනුත් පස්සේ..."

"හ්ම්ම්ම්..."

නොඉවසිලිමත්ව හිස් සුරත මිට මොලවගනිමින් මම හූමිටි තිබ්බා.

"පාන්දර එකට විතර සිහිය ඇවිත් තියෙන්නේ... එවෙලෙ ඉඳනුත් උඹ ගැනමයි අහලා තියෙන්නේ... බැරිම තැන මන්දාරාගේ අම්මා උඹට කෝල් කරන්න කියලා ගයනි ගෙන් උඹේ නම්බර් එකත් ඉල්ලලා..."

"ඉතිං..."

මුලු ඇඟම අප්‍රාණිකව යන්නා සේ දැනුනා වූ සංවේදනයත් සමඟ ඊළඟට කසුන්ගේ මුවින් පිටවී දුරකතනය ඔස්සේ ගලා ආ වදන්වලට ජංගම දුරකතනය මගේ අතින් ගිලිහුණේ නිලංකාර වුණු ඇස් පියවීගෙන යනවත් එක්කම යි.

"ආයේ එකපාරටම අමාරුවෙලා... එතකනුත් උඹ ගැන විතරමයි කියවලා තියෙන්නේ... අමාරු උනාම එහෙමම සිහි නැති වෙලා... අද පාන්දර එකහමාරට විතර මන්දාරා නැතිවෙලා මචං........."

✍🏼 සකුනි හතරසිංහ

      (2021.08.16


 

Comments

Popular Posts