දෙමගක 🌈

 (කෙටි නවකතාව - 02 කොටස)

 -අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.)

 

 

 

 

ඔන්නොහොමයි මං ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණේ. එහෙම වුණා කියලා මගේ ජීවිතේ හෙන වෙනසක් වුණා කියලා ඔයාලා හිතුවා නම් සෝ සොරි. වෙනදා වගේම තමා. උදේ ඉඳන් රෑ වෙනකන් ගෙදර ඉන්නවා නම් අයියලා දෙන්න එක්ක සුපුරුදු වලි දාගනිමින් ගෙව්වා. රෑට නිදාගන්න ඇඳට ආවට පස්සේ තමා මං ගර්ල්ෆ්‍රෙන්ඩ් භූමිකාවට ආවේ. එහා කාමරේ ඉඳන් මෙහා කාමරේට කෝල් ගන්නකොට නම් ඒක නිකං ඔඩ් වගේ අප්පා.

ටික දවසකින් පොඩි අයියා අපේ අයියාට කියලා තිබ්බා. එදා කැම්පස් ගිහින් පොර ආවේ මහ නෝන්ඩි හිනාවක් එක්ක. මට තේරුණා වැඩේ කියලා තමා කියන එක. මං එදා දවසට කරබාගෙන උන්නා. ඒත් රෑට පොඩි අයියාගේ පෙම්වත් වොයිස් එක අස්සෙන් අපේ අයියාගේ ටකරන් වොයිස් එකෙන් ඇඩ් යද්දි නම් මට කේන්ති ගියා. ඊටපස්සේ ඒක දිගටම ඇහුණා. මං ඒ ඇස්වර්ටීස්මන්ට්ස් ඉවසීමෙන් අහගෙන හිටියා. නැත්නම් බැන්නා. අපේ එකාට ලවක් සෙට් වෙනකන් අපිට පොඩ්ඩක් ඉවසන්න වුණා.

කොල්ලෙක් එක්ක යාලු වුණාම අරම කරනවා මෙහෙම කරනවා කියලා හිතාගෙන හිටියට ඒවා නම් හඳේ හොඳේ. නැත්නම් එහෙම වුණේ මට විතරද දන්නෙත් නෑ. කොහොම වුණත් අර එදා කාමරේට පැනලා තුරුල් කරගෙන දීපු චූටි කිස් එක වගේ චූටි කිස් එකක් ආයේ ගන්න මට සති දෙකකට වඩා කාලයක් බලන් ඉන්න වුණා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. ඒත් ඒකයි ඇත්ත. ශෝචනීයයි. කවදාවත් ඇවැස්ස මස්සිනාට ලව් කරන්නෙපා. විශේෂයෙන්ම ඌ ඉන්නේ ඔයාලගෙම ගෙදර නම්. එතකොට ඔයාටත් මට වගේම වෙයි. ඊටපස්සේ පොඩි අයියා ආයේ එහෙම කාමරේට පැන්නේ නෑ, ටික කාලයක් යනකන්.

අපේ රිසල්ට්ස් ආවා. මට අයියලාගෙම කෝර්ස් එකට යන්න තරම් රිසල්ට්ස් තියනවා කියලා දැනගත්තම මං බල්ටි ගැහුවේ නැති ටික විතරයි. අම්මා නම් මට සෙකන්ඩ් ශයි කරන්න කියලා බලම කළා. අප්පච්චි නම් මුකුත් කිව්වේ නෑ. අයියා නම් මාව විහිලුවට ගත්තා. මට රැග් කරනවා කියලත් තග දැම්මා. ඒත් අපිට රැග් නෑ කියලා මං දැනගෙන හිටියේ ඒ බූරුවෝ දෙන්නාගෙන්ම තමා. පොඩි අයියා නම් මුකුත් ප්‍රසිද්ධියේ කිව්වේ නෑ. ඒත් පොර හිටියේ ෆුල් හැපි එකේ. අම්මාට ඕනේ වුණේ මාව ඉංජිනියර් කෙනෙක් කරන්න. ඒකයි එයාට තිබ්බ දුක. ඒත් මං අයියලා තරම් බ්‍රයිට් කේස් එකක් නෙවේ. කොහොමිම් කොහොම හරි අවසානේ මං දිනුවා. අම්මාත් දැනගන්න ඕනේ මං මෙච්චර මේ දත කන්නේ අම්මාගේ අනාගත බෑණාව ආරක්ශා කරගන්න කියලා.

කොහොම හරි මං අයියලාගේ කැම්පස් එකේ අයියාගේ ඩිග්‍රී කෝර්ස් එකටම යාන්තමට සෙට් වුණා. දැන් තේරෙනවා නේද ඇයි අපේ අම්මා අච්චර බය වුණේ කියලා. අයියාකාරයා වුණත් බයෙන් හිටියේ. පොර කැමති වුණේම නෑ මාව දුර යවන්න. කොටින්ම මාව කොළඹට ළඟ කැම්පස් එකකට නොතේරුණොත් ප්‍රයිවට් කැම්පස් එකකට දාන්න අයියා ඒකමතිකව තීරණය කරලා තිබ්බේ. හරියට පොර වියදම දරනවා වගේ. හැබැයි අප්පච්චිත් එතනදි අයියාගේ කීම අනුමත කළා. අයියා තමා පොඩි අයියාවත් ඒ තීරණයට නම්ම ගත්තේ. කොහොම වුණත් අන්තිමේ මං එයාලගේ එකටම තේරුණා.

"මොකෙක් හරි ඇහුවොත් කියනවා මං තමුසෙගේ අයියා, මූ තමුසෙගේ කොක්ක කියලා. හරිද..? බය නැතුව කටඇරලා ඕනේ එකෙක්ට එහෙම කියනවා..."

පොඩි අයියාවත් පෙන්නලා අයියා කිව්වේ මං හාපුරා කියලා කැම්පස් යන දවසේ උදේ. කොහොම හරි අපිට කැම්පස් පටන් අරගෙන මාසයක් විතර යනකොට ඩිපාට්මන්ට් එකේ හෙඩ් පවා දැනගෙන ඉන්නැති මං රමිත්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සහ නෙහාරගේ නංගි කියලා. සමහර විට VC ත් දැනගන්නැති. ඒ තරම් සුප්‍රසිද්ධ වුණ කතාවක් ඒක.

කැම්පස් ගියාම තමා මං අපේ ගෙදර උන් දෙන්නාගේ කෙරුවාව දැනගත්තේ. එතකොට උන් දෙන්නා ෆයිනල්නේ. මොනා වුණත් අයියලා දෙන්නා ඇකඩමික් වලින් කැපීපේන දෙන්නෙක් වුණා. ඉස්කෝලේ යන කාලෙත් බ්‍රයිට් කේස් වුණු උන් දෙන්නා කැම්පස් එකේ එයාලගේ බැච් එකේ මුලම හිටිය තුන්දෙනා අතරේ උන් දෙන්නම ඉන්නවා කියලා දැනගත්තම මට ඇඬුනේ තනි ඇහැට. කොච්චර පාඩම් කළත් මට නම් උන් දෙන්නාගේ මට්ටමට එන්න බෑ කියන සත්‍යය පළවෙනි සෙම් එක ඉවරවෙන්න කලින් මං අවබෝධ කරගත්තා. සෙකන්ඩ් අපර් එක එකම හීනය කරගන්න වුණේ මට ඒකයි. අයියලා දෙන්නාම හිටියේ බැච් ටොප් කම්පෙටිශන් එකේ. මොනා වුණත් මට ආඩම්බරයි ඉතිං. දෙන්නම මගේනේ. එතකොට අර මං කියපු බැච් එකේ මුලම හිටිය තුන්වෙනියා තමා ශෙනායා.

කැම්පස් එකේ ගොඩක් කෙල්ලෝ ඉද්දි ශෙනායා හොඳම යාලුවෝ දෙන්නා කරගෙන තිබ්බේ අපේ එකාවයි, පොඩි අයියාවයි. මං කැම්පස් එකට එනකන් ඒ නමවත් මට ඇහිලා නොතිබ්බට මොකද කැම්පස් එකට ගියාට පස්සේ මට තේරුණේ ඒ තුන්දෙනා එකට යන්නේ නැත්තේ වොශ්රූම් එකට විතරයි කියලා. ඒකත් ශෙනායා කෙල්ලෙක් වුණ නිසා වෙන්නැති. ශෙනායා ලස්සනයි. ඒත් කොල්ලෙක් වගේ කොණ්ඩේ කොටට කපලා හිටියේ. Tomboy* ගතියක් තිබ්බේ ශෙනායාගේ. මොනා වුණත් පට්ට බ්‍රයිට් කේස් එකක්. මුළු බැච් එකම පාඩම් කළේ එයාගේ නෝට්ස්වලින්. මුළු බැච් එකටම කුප්පි දැම්මේ ශෙනායා. එයාලට පස්සේ බැච් පවා එහෙමයි. කොටින්ම මාත් පාඩම් කළේ ශෙනායාගේ නෝට්ස්වලින්. හැබැයි මට පේන්නම බැරි දේ තමයි ඒකි කොයිවෙලෙත් අපේ උන් දෙන්නා අස්සේ රිංගන් ඉන්න එක.

මට මගේ බැච් එකේ වැඩියෙන්ම ෆිට් වුණේ මිහින්දිව තමයි. එයාට මං කිව්වේ මිහී කියලා. මං තරම්ම වගේ උස, මහත, පාට තියන හරි මං වගේ දඟ නැති අහිංසක කෙල්ලෙක්. මිහී හිටියේ හොස්ටල්. එයා මොණරාගල පැත්තේ දුෂ්කර ගමකින් ඇවිත් හිටියේ. ආර්ථික ප්‍රශ්න නොසෑහෙන්න තිබ්බ ගෙදරක ළමයෙක්. එයාගේ රූමලා සේරම වෙන වෙන සබ්ජෙක්ට්ස් කරපු නිසා එයාට ලෙක්චර්ස්වලදි යාලුවෙක් හිටියේ නෑ. මගේ ඩිග්‍රී කෝර්ස් එක කරන අපේ ඉස්කෝලේ කෙල්ලෙක්වත්, මං ඉස්කෝලේ කාලේ දන්න කියන එකෙක්වත් හිටියෙත් නෑ. අයියලා දෙන්නාගේ අනුහසින් වැඩිය කොල්ලෝ මගෙත් එක්ක කතාවට ආවෙත් නෑ. ඒ නිසා ඉස්කෝලෙදි වගේ නෙවේ කැම්පස් එකේ මං සති දෙකක් විතරම හෙන කම්මැලි තනිකඩ ජීවිතයක් ගත කළේ. ඒ අතරේ තමා මට මිහීව සෙට් වුණේ. පස්සේ අපි හොඳම යාලුවෝ වුණා.

මිහීලට හොස්ටල් රූම්වල උයන්න තහනම් කරලා තිබ්බේ. ඒක ෆස්ට් ඉයර් හොස්ටල්වල තිබ්බ කේස් එකක්. ඒ නිසා මං මිහින්දිටත් එක්කම කෑම ගේන්න පුරුදු වුණා. පොඩිඅයියාට මාමා පොඩි කාර් එකක් අරගෙන දීලා තිබ්බා එයාලා කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේ ඉද්දි. මටත් ඒකේ ට්‍රාන්ස්පෝට් හම්බුණා ඉතිං. මිහින්දි සමහර වෙලාවට අපේ ගෙදර ආවා. ගෙවල් දුර නිසා මිහී වැඩියම ගෙදර ගියේ නෑ. ෆස්ට් සෙම් එක්සෑම් එකට පාඩම් කරන්න මං මිහීව අපේ ගෙදර ටික දවසක් නවත්තගත්තා. දෙන්නම ඉද්දි පාඩම් කෙරෙනවා. නැත්නම් මං කරන්නේ ඇඳ බදන් නිදාගන්න එක තමා. අනික අයියලා දෙන්නත් ඉඳපු නිසා ඒ දෙන්නට කියලා කුප්පි දාගන්නත් පුලුවන් වුණා. හැබැයි ඒ කුප්පිවල වැඩි හරියක් තිබ්බේ අයියාගෙයි මගෙයි රණ්ඩු.

කැම්පස් යන්න ගත්තට පස්සේ මට පොඩි අයියා එක්ක මං අර හීන මවපු විදියේ ලව් ලයිෆ් එකක් ගත කරන්න චාන්ස් හම්බුණා. ගෙදරදි පෙර සේ හිටියාට යන්තම් කැම්පස් එකේදි මට මගේ පොඩි අයියා වෙනුවට මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක කාලේ ගත කරන්න පුලුවන් වුණා. ඒක පොඩ්ඩක් එහා මෙහා වුණා නම් ශෙනායා හින්දා තමා. ශෙනායාව තනි කරන්න අපේ උන් දෙන්නා කැමති නෑ වගේ සීන් එකක් මට දැනුනා. කොච්චර මට උදව් කළත් මොන හේතුවක් හින්දද මන්දා මට ශෙනායාව පේන්න බැරි වුණා.

සෙකන්ඩ් සෙම් එක පටන් ගත්තට පස්සේ දවසක් මායි මිහින්දියි බෙන්ච් එකකට වෙලා අපේ නෝට්ස් වගයක් හද හද ඉන්න වෙලාවක අපේ දෙබෑයෝ එතනට කඩාපැන්නා. හොඳ වෙලාවට එවෙලේ අර ශෙනායා සක්කරවට්ටම හිටියේ නෑ.

"මේහ් ඕයි... මට පොඩ්ඩක් තමුසෙගේ යාලුවා එක්ක කතා කරන්න ඕනේ..."

අපේ අයියා එකපාරටම කියපි.

"මිහී එක්ක..? තමුසෙට මොනාද මිහීට කියන්න තියන දේ..?"

මං ඇහුවේ රවන ගමන්.

"තමුසේ පැහෙන්නැතුව ඉන්නවා ඕයි...
රමියා මේකිව එක්ක පලයන්කෝ... මේ බෙලිකටු මල්ල හොලවන්න ගත්තම හිතාගෙන ආව ඒවත් අමතක වෙනවා..."

මෙච්චර වෙලා හිනාවෙවී හිටපු පොඩි අයියාට අපේ එකා කිව්වා.

"චූටි... මුන් දෙන්නට කතා කරගන්න ඇරලා අපි දෙන්නා පොඩි වටයක් ගහලා එමුකෝ..."

පොඩි අයියා යාප්පු වුණා. මගේ කොක්ක වුණත් ඇත්ත කියන්න එපැයි. ලව් කරන වෙලාවට ඇරෙන්න වෙන වෙලාවක පොඩි අයියා ඔහොම ආදරෙන් කතා කරනවා කියන්නේ අනිවා එතන කොස්සක් තියනවා. මූ මගේ බෝයියා වෙන්න කලින්නේ මගේ පොඩි අයියා වුණේ. ඒ නිසා මට ඕවා නාඩියට නෝට්.

"නෑ නෑ නෑ... මං කොහෙවත් යන්නෑ... කියන්න තියන දෙයක් මං ඉන්න තැන කියනවකෝ... අනික තමුසේ මේ කෙල්ලගේ අහිංසකකමෙන් අයුතු ප්‍රයෝජන ගත්තොත් එහෙම... මට තමුසෙව සතේකට ශුවර් නෑ අයියේ..."

මං කිව්වේ අත් දෙකත් පපුවෙන් බැඳගෙන. මෙන්න එපාර පොඩි අයියා රවනවා. මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ..? මං කිව්වේ අපේ පොල් බූරුවාටනේ. මෙයා මොකටද මට රවන්නේ..? කොහොමත් මං හොඳ යාලුවෙක්.

"තමුසේ නම් මහ වාතයක් නංගි... කරුමෙට තමුසෙව මෙහෙට අහුවුණේ..."

අයියා කියෙව්වා. කවුද උගේ නරි ටෝක් ගණන් ගන්නේ. පොඩි අයියාත් මට ඇද කළා. මේවට වාඩුව මං පස්සේ ගන්නම් මහත්තයෝ...

"උඹ මට දීලා තියෙන්නේ මහ මැටි අලයක් නෙහා... ඔන්න ඕක කියලා දාපන්. මේකි කොහොමත් ඕක දැනගන්නවනේ..."

එපාර පොඩි අයියා. මට නිකමට හිතුනා අපේ අයියා මිහී දිහා බලන බැල්මට ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න තමා කියලා.

"මිහී... මට උත්තරයක් ඕනේ... මං මාසයක් කල් දුන්නනේ. තවත් නම් බලන් ඉන්න බෑ බබා..."

බබා..? හුහ්... යකෝ මූ එහෙම ආමන්‍ත්‍රණත් දන්නවද..? අවුරුදු විසිඑකටම මට අපේ එකා ඔහොම ආදරණීය වචනයක් කියලා නෑ කියලා මට ඌ මත්තේ දිවුරන්න පුලුවන්. බබාහ්...

"අයියේ..."

අයියාගේ බබා අමාරුවෙන් වචනයක් කිව්වා තත්පර ගාණකට පස්සේ.

"මිහී දැන් මාසයක් පහුවෙලා සතියකුත් ගෙවිලා ඉවරයි..."

බළලා මල්ලෙන් එළියටම පැන්නා. යකෝ මූ මගේම යාලුවාගෙන් ආස්ක්-අවුට් කරලද..? හම ගහන්න ඕනේ තමුසෙව නෙහාර. මිහින්දි ඇඹරෙන ඇඹරිල්ලට උත්තරේ මට තේරුණත් මං කටවහන් හිටියේ අනාගත නෑනන්ඩිට ඉඩදීලා.

"මං කැමතියි අයියේ..."

ඇහෙන නෑහෙන ගාණට මිහින්දි කියලා දැම්මා. අපේ අයියාගේ මූණේ හෙන මනමාල හිනාවක් මැවුනේ. ඉඳකින් වලත්තයා. පටන්ගත්ත ගමන් කෙල්ල දිහා ඔහොම සෙවල පෙරන් බලන් ඉන්නෙපා ඕයි. ලැජ්ජාවේ බෑ මටත්. පොඩි අයියාවත් ඔහොම සෙවල පප්පෙක් වුණේ නෑ.

"කන්ග්‍රැජුලේශන්ස් නෙහා... එහෙනම් ඒකත් ජයසිරි මංගලම්..."

අපේ උන්දැ කිව්වේ අයියාට පහක් දාන ගමන්. හිනාවෙවී ඉන්න අයියා පොඩි අයියාව බදාගත්තා.

"මේ එක්ස්කියුස් මී... දැන්වත් මං කතා කරන්නද..?"

මං ඇහුවේ මිහින්දි දිහා බලන ගමන්. මිහින්දි රතු වෙලා බිම බලාගෙන හිටියේ.

"තමුසෙගේ කටේ සද්දේ බලනවා ඕයි... මට බය රමියාගේ කන් දෙක ගැන..."

අයියා කිව්වේ මගේ දිහා නක්කලේට බලලා. දිනුවා කියලා හිතේ ඇති. ඒවා කොහෙද මේ නංගි එක්ක.

"රමිත්ගේ කන් දෙක විතරක් නෙවේ සරුවාංගෙම ගැන බලාගන්න තමා මං ඉන්නේ. මං කතා කරන්න හදන්නේ ඒ ගැන නෙවේ... තමුසේ මේ අහිංසකීව දැලේ දාගත්තේ කොහොමද කියලා මං දන්නෑ අයියේ... හැබැයි එක දෙයක්... කරනවා නම් මේක සිරා කරනවා. නැත්නම් අතෑරලා දානවා. නිකං අහිංසක කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න බෑ... ඊටත් මිහී මගේ යාලුවෙක්... මං දන්නවා තමුසේ සෙල්ලක්කාරයෙක් නෙවේ කියලා. ඒත් දැන්ම වෝනින් දීලා තිබ්බම ලේසීනේ... තමුසේ මේක නැවැත්තුවොත් තමුසෙගේ කනට මුලින්ම ගහන්නේ මං..."

අයියලා දෙන්නා වගේම මිහීත් තුෂ්නිම්භූත වෙලා වගේ මගෙ බලන් හිටියා. මං එතනදි නංගි සහ ගර්ල්ෆ්‍රෙන්ඩ් රෝල්ස් දෙකටම බායි කියලා මාත් කෙල්ලෙක් කියන රෝල් එකේ ඉඳන් කතා කළේ. මොනා හරි ප්‍රශ්නයක් වුණොත් මමනේ වගකියන්න ඕනේ.

"මූ ආතල් එකට යාලු උනා නෙවේ මෝඩ හරකියේ... මූ සිරා කරන්නේ..."

පොඩි අයියා තෝල්කයා වුණා.

"ඔයාද මිහීගෙන් ඇහුවේ මෙයාද..?"

මං ඇහුවම අපේ උන්දැ සැලෙන්ඩර් වුණා. මං කෙලින්ම බැලුවේ ආදරණීය සහෝදර රත්නයගේ ඇඹුල් වුණ මූණ දිහා.

"සිරාවට තමා ඇහුවේ ඕයි... තමුසේ හිතුවද මං ආතල් එකට කෙල්ලො එක්ක යාලුවෙන ජාතියෙ එකෙක් කියලා..? මටත් නංගි කෙනෙක් ඉන්නවා කියලා මං කවදාවත් අමතක කරලා නෑ. හරිද..?"

අපේ එකත් කැත්තට පොල්ල වගේ කියාගෙන ආවට අග හරියේ පොඩ්ඩක් ඉමෝෂනල් වුණා. අඩේ නෙහාර, ඔයා මං ඉස්සරහා එහෙම වුණාමද මන්දා සහෝ. හෙහ්...

"හරි හරි... තමුසෙගේ ස්කූල් රෙකෝඩ් එකෙත් කෙල්ලෙක්ගේ නමක් තියන හින්දා මං ඇහුවේ..."

අයියාට ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක්ගේ හුටපටයක් තිබ්බා. ඕලෙවල් කාලේ. ඒක නැවතිලා අවුරුද්දකින් වගේ. පස්සේ පොර ස්කූල් ක්‍රිකට් කැප්ටන් වුණා. ඊටපස්සේ ගියේ අඩි දෙක තුනක් උඩින්. ඒ නිසා කෙල්ලෙක් සෙට් වෙන්න නැතුවැති.

"චූටි... දන්න දෙයක් කතා කරනවා ඕයි... ඒ කෙල්ල නෙහාට බූට් එක තිබ්බා මිසක් නෙහා ඒ කෙල්ලට බූට් එක තිබ්බේ නෑ... අනික ඒකි ලැජ්ජා නැතුව නෙහා ක්‍රිකට් කැප්ටන් වුණාම පස්සෙනුත් ආවා. ඒ ඇවිල්ලාවත් මූ ආයේ ඒකි එක්ක පැච් වෙන්න ගියේ නෑ..."

පොඩි අයියා කිව්වේ. ඒක නම් ඇත්ත වෙන්නැති. මං කිව්වේ අර ආයේ පැච් නොවුණ එක ගැන. උපතින්ම ඕකුන් දෙන්නගේ නහරයක් වැඩියෙන් පිහිටලා තිබ්බා. ඒක නිසා අතෑරපුවා ආයේ ගන්නවා වගේ වැඩ මේ දෙන්නා කරයි කියලා හිතන්න අමාරුයි.

ඔන්නොහොම තමා අපේ එකාගෙයි, මිහීගෙයි පලහිලව්ව ස්ටාර්ට් කළේ. හැබැයි ඒකෙන් අපේ අයියා රෑට මල් කඩද්දි මටයි, පොඩි අයියාටයි බාල්දි දාන එක නතර වුණා. එච්චරයි හොඳකට කියලා වුණේ.

දවසක් අයියා කවදාවත් නැතුව එයාගේ ලදරං බයික් එකේ කැම්පස් ගියා මට පොඩි අයියා එක්ක කාර් එකේ එන්න කියලා. හවසත් එයා මිහී හම්බෙලා පරක්කු වෙලා එන්නේ කියලා අපි දෙන්නව වේලාසන ගෙදරත් එව්වා. කාර් එකෙන් බැහැලා පොඩි අයියා එක්ක ගේ ඇතුළට යනකොටම මෙන්න නැන්දයි, මාමායි, අම්මයි, අප්පච්චියි හතර දෙනාම සාලේ සෝෆා එකේ වාඩිවෙලා කතාවක්. ඒත් අපි යද්දි කතාව නතර කරලා අපි දෙන්නා දිහා බැලුවා.

"ඔය එන්නේ ජෝඩුව කියන කොටම..."

නැන්දා කිව්වේ අමුතුම ටෝන් එකකින්. අමන්දා... එන පොට හොඳ නෑ පුතේ. කෝකටත් කියලා මං පොඩි අයියා දිහා බැලුවා. එයා කිසි ගින්නක් නැතුව හිනාවෙලා ගිහින් සෝෆා එකෙන්ම වාඩි වුණා. මාත් අමාරුවෙන් මූණට හිනාවක් මවාගෙන අම්මා ගාවින් වාඩිවුණා.

"ගින්දරයි පුළුනුයි එක ගාව තිබ්බම ගිනි ගන්නවා කියල අපිටනේ මෙච්චර කල් අමතක වෙලා තිබ්බේ..."

අම්මාගෙත් ටෝන් එක වෙනස්. මේක නම් ලොකු වින්නැහියක පෙර නිමිත්තක් රමිත්. මං පොඩි අයියා දිහා බැලුවා. පොරගේ මූණත් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ ඒ ගමන නම්.

"දැන් කොච්චර කල්ද සම්බන්ධෙට..?"

මාමා කෙලින්ම ඇහුවේ පොඩි අයියාගෙන්.

"මං ඊයේ කිව්වේ අප්පච්චි. දැන් අවුරුද්දක් විතර..."

හා ඔය කියන්නේ... බලාගෙන යද්දි අපේ උන්දැමයි සේරම අල කරගෙන තියෙන්නේ. ඔය කොලේ... හත් පොළේ ගාගන්නවා කියන්නේ ඕකට තමා.

"කොහොමද මෙච්චර කල් අපෙන් හංගන් හිටියේ දෙන්නා..?"

එපාර අම්මා.

"හැංගුවා කියන්නේ නැන්දේ එක පාරටම එහෙම කියන්න පොඩි මෙව්වා එකක් තිබ්බා... ඒත් නොකියා ඉන්න එක හරි නැති නිසයි මං ඊයේ අපේ අප්පච්චිට කෝල් කරලා කිව්වේ..."

පොඩි අයියාත් අම්බානක අමාරුවේ වැටිලා හිටියේ. හුහ්... මහලොකු කෙරුමා.

"බලන්න අක්කේ, අද කාලේ ළමයි... මෙච්චර කල් මේ වහල යට අපෙන් හංගන් හිටියනේ..."

අම්මා විස්සෝප වුණේ අහස කඩන් වැටිලා, මුහුද ගොඩ ගලලා ඒ අස්සේ පොඩි අයියාගෙන් මං බඩ වෙලා වගේනේ. පොඩි පොඩි එව්වා මෙව්වා කළාට එච්චර දුර අපි තාම ගිහින් නෑ සෞම්‍යා ඔයා මෙහෙම දෝස්මුර තිබ්බට...

මං බැලුවේ අප්පච්චි දිහා. අප්පච්චිත් එවෙලේ මං දිහා බලන් හිටියේ. ඒ මූණේ ළා හිනාවක් තිබ්බා. එකපාරටම නැන්දයි, අම්මයි, මාමයි හිනාවෙන්න ගත්තා. පිස්සු හැදෙයි සඳ බබලයි... ටිකකින් ඒ හිනාවට අප්පච්චිත් එකතු වුණා. මහ සද්දෙන් නෙවේ. ඒත් ඒ හිනාව නම් ඇල්ලුවේ නෑ සනා...

"හොර කරන්න පුලුවන්. අපි එක්ක කතා කරද්දි තමා නේහ් දෙන්නම ඇඹරෙන්නේ..?"

අම්මා ඇහුවේ මගේ කනෙන් අල්ලලා.

"කෝකටත් හඳහන් බලවමු මල්ලි... මං හිතන්නෑ අවුලක් වෙයි කියලා..."

"අවුලක් වුණත් ළමයින්ගේ කැමැත්තනේ අයියේ වැදගත්..."

අප්පච්චි කිව්වේ මාමගේ කතාවට. මාමත් ඔලුව හෙලෙව්වා. එතකොට මේක මෙයාලගේ ප්‍රෑන්ක් එකක්ද..? මං හිතුවා අම්මා Fb අකවුන්ට් එකක් හදාගන්නකොටම ඔහොම විකාර තමා ඕකෙන් ඉගෙනගන්නේ කියලා. ඒකටම හරියන්න නැන්දත් ඉන්නවනේ. පොඩි අයියාගේ මූණෙත් පොඩි හිනාවක් තිබ්බා ඒ පාර. හඳහන් අවුලක් නෑ. ඒක අපි දෙන්නම දැනගෙන හිටියා. මොකද අපේ ගෙවල්වල සිස්ටම් එක දන්න නිසා අපි දෙන්නා ඒවා කලින්ම බලවලා තිබ්බේ. ඒත් එතන ඒවා කියන්න ගියේ නැත්තේ මං මගේ හඳහන අම්මා හංගපු තැනින් ගත්ත විදිය කියන්න ගියා නම් මෙතන සිරාම නඩු ඇහිල්ලක් වෙන්න පුලුවන් නිසා. ඒක හෙන ඉන්ට්‍රෙස්ටින් ඇඩ්වෙන්චර් එකක් වුණාට සභාව මැද්දේ කියන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ මිත්‍රවරුනි.

ඊළඟ ෆිල්ම් එක තිරගත වුණේ රෑ කෑම මේසෙදි. අද අපි පස්දෙනාට නැන්දයි, මාමයි දෙන්නත් එකතුවෙලා හිටියේ. අපේ අයියා කෑම කකා ඉද්දි ඒ කතා අස්සෙම මිහී ගැන කියලා දැම්මා. අම්මාගේ කට ඇරුණා විදියට ආමාශෙට යනකන් පෙනුනා. නැන්දාගේ හක්කත් පැන්නා. මාමාට ඉස්මොල්ලේ ගියා. අප්පච්චිගේ බත්කට අතරමග නතර වුණා. නෑ. නෑ... ඔය මුකුත් වුණේ නෑ. ඒත් හැමෝගෙම ඇස් අයියා දිහාට හැරිලා තිබ්බා.

"මුන් නම් ලෝක හොරු සෞම්‍යා..."

අප්පච්චි කිව්වේ හිනාවෙන ගමන්. අම්මයි, අප්පච්චියි මිහීව දන්නවනේ මෙහෙ ආව ගිය නිසා. ඊටපස්සේ අම්මා ප්‍රශ්න අහන්න ගත්තා. සමහර ප්‍රශ්න යොමුවුණේ මට. මිහීගේ සර්නේම් එකේ ඉඳන් මිහී කන්න කැමති කෑම එක ගැන වෙනකන් ඇහුවා. ඒ අහලා ඉවරවෙද්දී පොඩි අයියා තුන්වෙනි වටේටත් බත් බෙදාගන්නවා. අයියා කිව්වා ඒ වෙද්දිත් එයා මිහීගේ අම්මලා එක්ක ෆෝන් කෝල්ස් වලින් කතා කළා කියලා. මගෙයි, පොඩි අයියාගෙයි එකට තරම් ලොකු ගෝ එකක් අයියාගෙයි, මිහීගෙයි එකට ආවෙ නෑ. සමහරවිට කලින් ෆිල්ම් එකෙන් ඒ වයිබ් එක ඇතිවෙන්න දුන්න නිසා වෙන්නැති. නැත්නම් අම්මාගේ එකම පුතා දුප්පත් පවුලක කෙල්ලෙක්ව බඳින්න අහපු නිසා අම්මා පොඩ්ඩක් හිතින් වැටිලා හිටපු නිසා වෙන්නැති. කොහොම වුණත් ඒ කතාවත් ඉවර කළේ හඳහන් කතාවෙන්මයි.

කොහොමින් කොහොම හරි ඒ ගිනි විජ්ජුම්බර සේරම අහවර වුණා. හඳහන්වලින් අපි දෙගොල්ලොම බේරිලා තිබ්බා. ඒක ගැන පොඩි බයකින් හරි හිටියා නම් ඒ අයියලා තමා. ඒත් එයාලාටත් අවුලක් වුණේ නෑ.

දැන් ඔයාලට හිතෙනවා ඇති නේද මොනාද මෙතන කතාවකට තියෙන්නේ කියලා..? කිසිම බාධාවකින් තොර ලව් ස්ටෝරීස් දෙකක්නේ කියලද හිතුවේ..? ඉන්න තාම පටන්ගත්‍තා විතරයි. ඔයාලා ඔය කට ඇරගෙන බලන් ඉන්න හින්දි ෆිල්ම්ස් වල නළුවයි, නිළියයි ලව් කරන්න පටන්ගත්ත දා ඉඳන් බාල්දි පෙරලුනාට හැබෑ ජීවිතේ බාල්දි පෙරලෙන්නේ අපි සේරම හරි කියලා හිතන තැනදි වෙන්න පුලුවන්. ඒ තරම් යතාර්ථය කුරිරුයි.

කැම්පස් ෆයිනල්ස් ලිව්වට පස්සේ පොඩි අයියා ටෙම්පරරි ලෙක්චර් පෝස්ට් එක හම්බෙලා කැම්පස් එකටම ආවා. එයා බැච් ෆස්ට්. එතකොට ශෙනායාත් එයා එක්කම ඒ පෝස්ට් එකකට ආවේ මගේ හිතට පහන් සංවේගයක් දනවලා. කියන්නත් සතුටුයි මිත්‍රවරුනි අපේ එකාටත් ෆස්ට් ක්ලාස් එකක් තිබ්බා. පොර නම් ජොබ් එකකට ගියා කැම්පස් නොඉඳ. ඒත් සතියට දෙකක්වත් පොර වැඩ ඇරිලා කැම්පස් බඩගානවා. මාව බලන්න නෙවේ මිහීව බලන්න.

අපේ සෙකන්ඩ් ඉයර් එකේදි මිහීලට හම්බුණේ කැම්පස් එකෙන් පිට ටිකක් ඈත හොස්ටල් එකක්. මිහීලා එහෙට ගිහින් සති දෙකක් යන්නත් කලින් තමා ඒ හොස්ටල් එකට යමින් හිටපු අපේ බැච් එකේ කෙල්ලෙක්ගේ මාලයක් කඩන් ගියපු සීන් එකක් වුණේ. අපි නම් අනේ අපොයි කියලා හිතුවට අපේ එකා එහෙම හිතුවේ නෑ. පොර තීරණය කළා මිහීව හොස්ටල් එකෙන් අයින් කරගන්න. අපේ ගෙදර නතර කරගන්න මං ඉත සිතින් කැමති වුණත් අම්මලා ඒකට අකමැති වුණේ එයාට දැනටමත් මායි පොඩි අයියයි ගැන ඇහැ ගහන් ඉන්න වෙලා තියෙන්නේ, මිහී ආවම තව දෙන්නෙක් ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙනවා කියලා. අපේ අම්මාට මාව කොච්චර ශුවර්ද කිව්වොත් නැන්දලා ඇවිත් ගිය දා ඉඳන් අම්මා රෑට නිදාගත්තේ මගේ කාමරේ. ඒ වගේම මට කාමරේ ලොක් කරගැනීම තහනම්. ඕවා ඇත්තටම ප්‍රාථමික ආරක්ෂණ පිළිවෙත් සෞම්‍යා... ඒත් අම්මලානේ. පව් ඉතිං.

ඉතිං මිහීගේ ප්‍රශ්නෙදි අයියා චණ්ඩියා වගේ තීරණ ගන්න ගියාට සමහර තීරණ ක්‍රියාත්මක කරගැනීමේ හැකියාවක් අයියාට ඇත්තටම තිබ්බේ නෑ කියන එක මං වටහාගත්තා. අයියා මිහීව කැම්පස් එක ගාව බෝඩිමක නතර කරන්න හිතුවට ඒ වියදම මිහීගේ ගෙදර අයට දරන්න බෑ. ජොබ් එකට ගිය අලුත නිසා අයියාටත් බෑ. අන්තිමටම තිබ්බ එකම ඔප්ශන් එක අයියා මිහීව බැන්දා. බැන්දා කියන්නේ වෙඩිමක් එහෙම අරගෙන බරසාරෙටම බැන්දා. එතකොට අපි සෙකන්ඩ් ඉයර්. මිහී එච්චර ඉක්මණට මැරි කරන අයිඩියා එකක නොහිටියත් එයාලගේ ගෙදරිනුත් කැමති වුණා මැරේජ් එකට. වෙඩින් එකේ බරපැන සේරම අප්පච්චි දැරුවේ. අයියා කාර් එකක් ගත්තා. ඒ නිසා එයාට බරක් නොදී අප්පච්චි සේරම කළා.

ඉතිං ඔන්න ඔය විදියට අපේ පවුල හයදෙනෙක් වුණා. ඒ කාලේ අපි ඇත්තටම සතුටින් හිටියා. තාම මේ කතාවේ මුල. චුට්ටක් ඉවසන් ඉන්න ක්ලයිමැක්ස් එකට එනකන්. ජීවිතේ කියන්නේ කවදාවත් හැමදේම තිතටම හරියන එකට නෙවේ.

✍🏼 සකුනි හතරසිංහ

*ටොම්බෝයි (Tomboy)- සාමාන්‍යයෙන් පිරිමි ළමයින් හා සම්බන්ධ රළු, ඝෝෂාකාරී ක්‍රියාකාරකම්වල යෙදෙන සහ පිරිමි ස්වරූපයේ පෞරුෂත්වයක් දරණ ගැහැණු ළමයෙක්.


මතු සම්බන්ධයි........
 


Comments

Popular Posts