තීව්‍ර 💥
(කෙටි නවකතාව - 02 කොටස)
"පහුගිය ටිකේම මේක උඹට කියන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියේ. ඒත් මේනකාව ආයේ උඹට meet වුණා කිව්ව නිසා මට මේක කියලා දාන්න හිතුනා..."
පැතුම් යළිත් කතාව ඇරඹුවේ දිවා ආහාරයෙන් පසු දුම්වැටියක් දල්වාගැනීමෙන් අනතුරුව ය. මම ප්‍රශ්නාර්ථයක් රැඳි මුවින් පැතුම් දෙස බලාසිටියෙමි.
"නිරෝට ළඟදි විශ්මිව meet වෙලා තිබුණා, ගගනයා... ළඟදි කිව්වට දැන් අවුරුද්දකට දෙකකට විතර කලින්..."
විශ්මි යන නම මගේ මතකයට ආවේ සෙමිනි. ඇය පාසැල් සමයේ මේනකාගේ සමීපත ම මිතුරිය බව මට සිහිවිය.
"විශ්මිව නම් මට studies වලට රට යන්න කලින් meet වුණාට පස්සේ ආයේ හම්බුණේම නෑ බං... දැන් නම් දැක්කත් අඳුරන්නත් බැරුව ඇති..."
පැතුම් හිස සැලුවේ ය.
"නිරෝට නම් දෙතුන් පාරක්ම meet වුණා කිව්වා ඉස්කෝලේ කාලෙන් පස්සේ. ඒත් හරියට කතා කරන්න තරම් ඉස්පාසුවක් තිබ්බේ මේ අන්තිම පාර හම්බුණ වෙලේ විතරයිලු... විශ්මි මාර කතා ටිකක් කියලා බං. උඹේ මේනු ගැන..."
මම නළල රැළි කොට පැතුම් දෙස බැලුවෙමි.
"උඹ අවුල් ගන්නෙපා මේවා අහලා... මං කලින් කිව්වා වගේම මේනකාව ආයේ උඹට හම්බුණා කිව්ව නිසාමයි මං මේක කියන්න හිතුවෙත් උඹට... මේනකා කියන්නේ අපි හිතපු ගෑනි නෙවෙයි, ගගනයා..."
පැතුම්ගේ වදනට මගේ ගත මෙන් ම සිත ද නොදන්නා හැඟුමකින් සලිත විය.
"ඒ කිව්වේ..?"
ඔහු දුම් වළාවක් මුවින් නිදහස් කළේ ය.
"මේනකාට නාරදව ගෙදරින් propose කරලා තියෙන්නේ ඕලෙවල් ඉවර වුණ ගමන්මයිලු බං... ඒ කියන්නේ මේනකා උඹ එක්ක යාලුවෙද්දිත් නාරදව marry කරන්න ගෙදරට වචනේ දීලා ඉවරයිලු..."
"මොකක්..?"
මා අසුනේ කෙලින් වූයේ අනිච්ඡානුගව ම ය.
"ඉඳහන් කියනකං... මුලින් නාරදට කැමැත්තෙන් හිටියට පස්සේ උඹ ඇහුවම මේනකා නාරදට අකමැති වෙන්න අරගෙන. මුල්ම දවස්වල විශ්මි හිතුවෙත් නෑලු මේනකා උඹට කැමති වෙයි කියලා... කොහොමින් කොහොම හරි මේනකා උඹට කැමතිවෙලා උඹලා යාලු වුණානේ... පස්සේ උඹලා දෙන්නගේ affair එකත් සෑහෙන දුරදිග ගිය එකක් නිසා විශ්මිත් හිතුවලු මේනකා එහෙමම නාරදව අමතකම කරලා දායි කියලා..."
මම වදනක්වත් නොපවසා පැතුම් දෙස බලාසිටියෙමි.
"උඹලගේ affair එක තියෙද්දිම මේනකා, නාරද එක්කත් එහෙ-මෙහෙ ගියාලු ගෙදර උන්ගේ බලේට. විශ්මිට කිව්වලු ඒක උඹට දැනගන්න තියන්න එපා කියලා... උඹ ගිහින් මාසෙකින් තමා මේනකා දැනගෙන තියෙන්නේ එයා pregnant කියලා... එපාර තමා හදිසියෙම marry කරලා තියෙන්නේ නාරදව... විශ්මි කියපු විදියට ඒ කාලේ උඹට වඩා නාරදට සල්ලි තියන නිසයි ඒකි, නාදරව reject කරලා නැත්තේ... අනික නාරද කොහොමත් වලව්කාරයානේ. ඒකිගේ පවුලේ උන්ටත් අතේ සතේ නැති වුණාට, හිටියේ කොළඹ වුණාට වලව් මාන්නේ ඉහටත් උඩින් තිබ්බනේ බං... කොහොමත් පස්සේ කාලෙක උඹට වඩා සල්ලි පැත්තෙන් ඌට, ඒකි කැමැත්තෙන් හිටපු කතාවකුත් විශ්මි, නිරෝ එක්ක කියලා තිබ්බා. නිරෝ නම් කියනවා ඒක නම් විශ්වාස කරන්න බෑ කියලා..."
පැතුම් මොහොතකට නිහඬ වූයේ ය.
"මොනවා වුණත් එක අතකට උඹ බේරුනා බං... මේනකා ඔච්චර cheap ගෑනියෙක් කියලා මං නම් හිතුවෙම නෑ, ගගනයා. අහපු වෙලේ මටත් පුදුම හිතුනා... ඒත් උඹට මූණටම හම්බුණු වෙලාවේ හොඳට කතා කළා කිව්වම ආයේ අඩව්වක් අල්ලයි කියලා හිතිලා මං මේක කිව්වේ දැන් උඹට... අපි දන්නෑනේ බං ඔය කුමාරිහාමිලාගේ කැරැට්ටු දැන් කොහොමද කියලා ඒ කාලෙත් ඔහොම නම්..."
පැතුම්ගේ අවසන් වදන් සවනත වැකුණේ යන්තමිනි. කෙනෙකුට, තමන්ගේ තුන් වසරක ප්‍රේමය මුලාවක් යැයි කීම කම්පනයක් නොවේද..? විසිඅට වසරක් මුළුල්ලේ අතීත සැමරුම් අතර ඇවිදිමින්, ඒ ප්‍රේමයට වන්දනා කරමින් සිටිය දී එය හුදෙක් බොරුවක් පමණක් යැයි දැනගැනීම දරාගත නොහැකි වේදනාවකි. මා තවත් දුම්වැටියක් දල්වාගත්තේ වේදනාව දුමෙන් පිටකිරීමට සිතමිනි.
"උඹට අවුල් ඇති... ඒ තියා මටත් අවුල් ගියා බං අහපු වෙලේ... උඹ ගියාට පස්සේ ඒකි නුවර ආච්චිලා ගාවට යනවා කියලනේ ගියේ... උඹට මං කිව්වේ උඹට ඒකි ලියන්නෑ කිව්වම මං අපේ එකෙක් එක්ක නුවර පවා ගියා කියලා ඒකිව හොයාගෙන... අපි හිතුවෙත් එහෙදි බලෙන් ඒකිව නාරදට බන්දලා දීලා කියලා... ඒත් විශ්මි කියන විදියට මේනකා කලබලේට නාරදව බැඳලා තියෙන්නේ ඒකි vomit කරද්දී ආච්චිට අහුවෙලා පස්සේ pregnant කියලා දැනගෙන පවුලේ නම්බුව රැකගන්න ඕනේ වුණ නිසාලු... හිතපන්කෝ.., උඹ ගිහින් මාසයක් යද්දී pregnant වෙන්න නම් නුවර ඉඳපු කාලේ මොන මොන කෙළි වෙන්න ඇද්ද කියලා..."
පැතුම් යළිත් කියන්නට විය. මම නිසසලව ඔහු දෙස බලාසිටියේ අතීතයේ දිනක් සිහිකරමිනි. ජීවිතයේ මෙතෙක් තනිකඩව හිඳින්නට තරම් ඈ, මා සිතෙහි අරක්ගන්නට හේතු වූ ඒ දිනය මට කිසිසේත් අමතක කළ නොහැකි විය.
"පැතුමා, විශ්මි කියපු දේ විශ්වාස කරන්න බැරි එකම දෙයක් තියනවා... ඔය කියන විදියට නාරද එක්ක එහෙ-මෙහෙ යන්න තරම් සම්බන්ධයක් මේනුට, නාරද එක්ක තිබ්බා කියන එක මං විශ්වාස කරන්නෑ... සමහරවිට propose කරපු කතාව ඇත්ත වෙන්නැති... ඒත් මේනු මං ගාවට ආවේ පිරිසිදු කෙල්ලෙක් විදියට. කොටින්ම කිව්වොත් මේනු ගෑනියෙක් වුණේ මගේ අතින්. ඒක මට සීයට දාහක් sure... මං ඒක දැක්කා. ඒක අත්වින්දා... ඒ කාලේ ඕවා repair කරනවා කියන එක දැන් තරම් simple නෑනේ... අනික ඒක වෙනකොට අපි ඒලෙවල් ලියලාවත් නෑ බං... මේනු සම්බන්ධ case එකේදි මං හැමදාම suffer කළෙත්, feel කළෙත් ඔය reason එක නිසා බං..."
මගේ පැහැදිලි කිරීම් හමුවේ පැතුම්ගේ මුවග දැල්වූයේ සරදම් සිනහවකි.
"උඹ මෙච්චර බිස්නස්කාරයා වෙලා තාම මිනිස්සු ගැන හරියට දන්නේ නෑනේ බං... ඇත්තටම මේනකා, උඹ ගාවට එද්දී virgin වෙන්න ඇති... හැබැයි බං උඹ අතින් ඕක කැඩුනට පස්සේ කවුරු බෝට්ටු පැද්දත් උඹ දැනගන්න විදියකුත් නෑ නේද..? මොකෝ නැව් ගිය පාරක බෝට්ටුවක් ගියාට පාරක් හිටිනවා කියලද..? අනික නාරදයා එක්ක ඒකිට එහෙම මුකුත් නොතිබ්බා නම් උඹ රට ගියාට පස්සේ නාරදගේ ළමයෙක්, ඒකිගේ බඩට එහෙනම් හුළඟන් තමා එන්න ඕනේ... අනේ පලයං ගගනයා යන්න..."
පැතුම්ගේ තර්කය ද නිවැරදි බව මට මුල්වරට සිතිණි. මෙතරම් මුලාවක මා හෙලන්නට තරම් මේනකා පහත් තැනකට වැටුණේ කෙසේදැයි මට සිතාගන්නට බැරි විය. මා ආදරය කළ යුවතිය එවැන්නියක නොවූ බව මට විශ්වාසයක් විය. නමුත් එය ද මේ වදන් අභියස දෙදරා යන්නට වූයේ ය.
.
.
.
.
(flashback)
උපාධිය හැදෑරීමට විදෙස්ගත වීමට දෙසතියකට පෙර සුපුරුදු ලැගුම්හලේ දී අවසන් වරට මා හා පෙම්සුව විඳි අවස්ථාවේ දී මේනකා කියූ වදන් තවමත් මා සිතේ දෝංකාර දෙයි.
"රවී.., බැරිවෙලා හරි ඔයාගේ පැටියෙක් මගේ බඩට ආවොත් මං මොකද කරන්නේ..? ඔයා එනවද මා ගාවට..?"
සියලුදෙනාම මා හට ගගන ලෙස අමතද්දී මේනකා මා හැඳින්වූයේ ගගන රවිනාත් නම් වූ මගේ සම්පූර්ණ නමෙහි අනෙක් කොටස වූ රවිනාත් යන්න කෙටි කර රවී ලෙස ය.
"ලෝකේ කොහේ හිටියත් මං එනවා මේනු. ඒ ගැන පුංචිම සැකයක්වත් ඔයාගේ හිතේ තියාගන්නෙපා... මං ඒ වගේ වගකීමක් ගන්න බැරි මිනිහෙක් නම්, ඔයා එක්ක මෙච්චර දුර එන්නේ නෑ මේනු... ඒ වගේ වෙලාවක අහක බලාගන්න තරම් මං පොන්නයෙක් නෙවෙයි, මැණිකේ..."
මේනකාගේ හිස අතගාමින් මම එවෙලෙහි කීවෙමි.
(end of the flashback)
.
.
.
.
පිරිමියෙකු වුවත් සිත වඩාත් දුර්වල වූයේ ඒ මතකයන් හමුවේ ය. ඒ සියලු පෙම්වත් මතකයන් වංචාවකැයි සිතීම ම පවා දරුණු වේදනාවකි. දිවියේ වසත් සමය ගෙවාදැමුවේ ඒ මතකයන් නමට ම පේවී ය. ඈ අහිමි වීම දරාගත හැකි ය. නමුත් එකී ප්‍රේමය වංචාවකැයි කීම දරුණුතම පහරකි. මා, ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථකවෙත්ම පැමිණි සියලු විවාහ යෝජනා අත්හළේ ගතින් පමණක් විවාහයක බැඳීමට තිබූ අකමැත්ත හේතුවෙනි. ගැහැනියක හා සිතින් නොබැඳී ගත පමණක් යහනක් මත සනසන්නට තරම් සිත හදාගන්නටත් මා හට වසර දහයකට අධික කාලයක් ගතවිය.
"අහම්බෙන් හරි හම්බුනු වෙලාවේ ගාණක් නැතුව කතා කරපු ගෑනි ආයේ මොන අඩව්වක් අල්ලයිද දන්නෑනේ බං... කොහොමත් මේනකා උඹට කරපු දේ ගැන පොඩ්ඩක්වත් guilty නෑ කියලා sure. ඒකනේ ගාණක් නැතුව උඹ එක්ක කතා කරන්න ඇත්තෙත්... ඒ නිසා පරිස්සමින්, ගගනයා..."
අතීත මතකයන්ගෙන් මා මිදුණේ පැතුම්ගේ හඬට ය. මම නිහඬව ම හිස සැලීමි.
ආපසු නිවසට පැමිණි පසුව ද පැතුම්ගේ වදන් අමතක කරන්නට මට අපහසු විය. විසිඅට වසරක් පුරා සිත අරක්ගෙන තිබූ වේදනාව පැය කිහිපයකට පෙර දැනුණු කෝපයෙන් යටපත් වන්නට විය. මා විරහ වේදනාවෙන් අතීතය හා පොරබදද්දී ඇය, මගේ ප්‍රේමයට ද්‍රෝහි වී වෙනත් මිනිසෙකු හා යහන්ගතව මවක් වී සාර්ථක දිවියක් ගත කරමින් හුන්නාය. කෝපය පිටකිරීමට නිවසේ ව්‍යායාම කාමරයේ වූ පන්චින් බෑගයට (punching bag) වැරෙන් පහර කිහිපයක් එල්ල කළෙමි.
හදිසියේ පැමිණි සිතුවිල්ලකින් පසෙක වූ විසල් කැඩපත ඉදිරියේ සිටගත්තෙමි. ඇඳසිටි ඇඳුමෙන් නිදහස් වූ මම කැඩපතින් මා දෙස බලා සිනාසුනෙමි. දශක පහකට ආසන්න කාලයක් වයස්ගත වූ මගේ සිරුරෙන් පෙනෙන්නට වූයේ දශක තුනක පමණ වයසකි. දෙනෙතින් මගේ රුව විඳිද්දී මනසෙහි ඇඳුනේ දින කිහිපයකට පෙර දුටු තරුණ රුවැත්තියගේ සියුමැලි මුහුණ යි.
"මේඝා..."
මම සිතින් මිමිණුවෙමි. මේනකාගේ තුරුණු රුව පිළිඹිබු කරන ඇය තරම් මේනකාට රිදවීමට මඟක් නොමැත. මම සිනාසුනෙමි. වියරුවෙන් මෙන් මගේ ප්‍රතිබිම්බය සිනාසෙන දෙස බලමින් යළි යළිත් සිනාසුනෙමි.
.
.
.
.
සාදයෙන් සමුගෙන පැමිණි මා මගේ ජීප් රථයට නැගුණේ කල්පනාබරව ය. දින කිහිපයකට පෙර මේනකා පිළිබඳව සිතෙහි උපන් කෝපය කාලයත් සමඟ යටපත්වීමට ඉඩහැරීමට සිතුණු වාර ද අපමණ ය. මේඝා ගැන සොයන්නට සිතුන ද ඒ සඳහා කාර්යබහුලත්වය හරස් විය. අතීතය යළිත් අවුලුවා ඉන් ජීවිතය උඩු-යටිකුරු කරගැනීමට ද මට අවැසි නොවී ය. ජීවිතය ගලායන රිද්මය පිළිබඳව මා සිටියේ තෘප්තියෙනි. ව්‍යාපාර විකුණාදමා උතුරු ඇමෙරිකානු මහද්වීපයේ කොහේ හෝ අස්සක සැඟවීම මගේ ඒකායන පරමාර්ථය විය. නමුත් වංචාව... එය ඉවසිය නොහේ.
කල්පනාවලියක ගැලී සිටි මා තිගැස්සුණේ පණගැන්වූ ජීප් රිය ඉදිරියෙන් එය හරස් කරගෙන මෙන් සිටගෙන සිටි රුව දැකීමෙනි. රථගාලේ අඩඅඳුරෙන් ඇගේ රූමත් මුව පැහැදිලිව නොපෙනුණ ද වරක් පමණක් දැක තිබූ ඇය හඳුනානොගැනීමට තරම් මගේ මතකය වියවුල් නොවීය.
මගේ ජීප් රිය හරස් වන සේ සිටගෙන ඍජුව මා දෙස බලාගෙන සිටි ඇය, මා එන්ජිම නැවැත්වූ පසු හුන් තැනින් ඉවත්ව ඉදිරිපස මගී අසුන දෙසට පියනගන්නට වූයේ මගේ දෙනෙත්, ඇගේ සෑම පියවරක් ම ලුහුබඳින විට දී ය. ඉදිරිපස මගී අසුනේ වසා තිබූ ජනෙල් වීදුරුවට ඇඟිලි තුඩගින් තට්ටුවක් දමා එය විවෘත කරන මෙන් සන් කළ ඇය මෝහනීය සිනාවක් මවෙත පෑවා ය. ජනෙල් වීදුරුව විවෘත කළ පසු ඇය කවුළුවට දෑත් තබා ජීප් රිය තුළට එබුණාය.
"Hi... මාව මතකද..?"
ඇය සිනහව සමඟින් ම විමසුවා ය.
"මතකයි, දුව... ඔයා මේ pub එකේ තිබ්බ party එකට ආවද? මං දැක්කේ නෑනේ..."
මගේ නොසැලකිල්ල පිළිබඳ විමතියට පත්වෙමින් මම විමසුවෙමි.
"නෑ අනේ... මං restaurant එකට ආවා යාලුවෙක් එක්ක..."
"Oh... boyfriend එක්කද..?"
මම සිනාසුණෙමි.
"අනේ නෑ... ගෑනු යාලුවෙක් එක්ක... මට තාම boyfriend කෙනෙක් නෑ..."
"ම්ම්ම්... බය වුණාද මන්දා... Anyway, මාව දැකලද මෙතනට ආවේ..?"
"හ්ම්ම්... ඔව්... මට ඔයා එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද..? මෙතන චුට්ටක් busy වගේ. අපි free තැනකට යමුද..?"
මා, ඈ දෙස බැලුවේ මවිතයෙනි. මා අත්හරින්නට තැනූ මගේ සැලසුම් වෙත යාම මේ තරම් පහසු වේ යැයි මා කිසි ලෙසකින්වත් සිතුවේ නැත. මෙය මෙතකින් අවසන් කළ හැකි ය. ව්‍යාපාර විකිණීම සහ ඇමෙරිකා ගමන පිළිබඳව කල්පනාවලිය මඳක් පසුපසට දැමූ මම මේ සුරූපී යුවතියට ඉඩදීමට තීරණය කළෙමි. මොහොතක් ඈ දෙස උවමනාවෙන් බලාසිටි මම හිසින් සන් කොට රථයට නගින්න යැයි ඇයට කීවෙමි.
රථයේ දොර විවර කරගත් මේඝා අසුනෙහි හිඳගෙන ආරක්‍ෂිත බඳපටිය පැළඳගත්තා ය.
"කොහේ හරි free තැනකට යමු... Beer එකක් බොන ගමන් කතා කරන්න පුළුවන් තැනකට..."
මා සිනාසෙමින් ඈ දෙස බැලුවේ රථය පණගන්වා ගනිමිනි.
"දුවට බොන්න අරං දුන්නා කියලා අම්මාගෙන් මට බැනුම් අහන්න වෙයිද..?"
මම විමසුවෙමි.
"මං කරන හැමදේම මං අම්මිට inform කරන්නේ නෑ අනේ... අපි එච්චර close නෑ... අනික Colombo ආවට පස්සේ මට කැමති විදියට තමා මං ජීවත් වෙන්නේ... මං දැන් පොඩි නෑනේ..."
"පොඩි නැති වුණාට අම්මිට දුවව වටිනවා ඇතිනේ..."
ඇය දෙවුර සැලුවාය.
"ඔයාට පුදුම නැද්ද මං මෙහෙම ඇවිත් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වම..? අපි එදා meet වෙලා හරියට කතා කළේවත් නෑනේ..."
මා දෙසට හැරෙමින් ඇය විමසුවා ය.
"පුදුමයි නම් තමා... ඒත් මොකක් හරිම important reason ඇතිනේ මෙච්චර ලස්සන කෙල්ලෙක්ට මේ වගේ මහ රෑක පිරිමියෙක් එක්ක තනියම කතා කරන්න තරම්..."
"ඔයා මාව misunderstand කළාද..?"
මම සිනාසුනෙමි.
"එහෙම කරන්න ඕනෙද..?"
ඈ දෙස දෑස් අගින් බැලුවෙමි.
"මං දන්නේ නෑ... ඒක ඔයාගේ decision එකක්..."
ඈ යළිත් ඉදිරිය දෙසට නෙත් රැඳවූවා ය.
"මං දන්න තැනක් තියනවා... එතනට ගිහින් කතා කරමු..."
ඇය, මා හා එකඟවූවා ය.
මින් පෙර කිහිපවරක් ම පැමිණ තිබූ අවන්හලකට ඈ කැටුව පැමිණි මා එළිමහනේ වූ මේසයක් අප දෙදෙනා වෙනුවෙන් තෝරාගත්තෙමි. තරමක ලැහැබක් වැනි තුරු ගොමුවකින් වට වූ ස්ථානයක් වූ එහි පුද්ගලිකත්වයට ගැටලුවක් නොවීය.
සුදු පැහැති, අත් රහිත, ඉතා කෙටි ගවුමකින් සැරසී සිටි ඇගේ රුව වෙත අවන්හලේ බොහොමයක් පිරිමි නෙත් යොමුවිය. මගේ ගොදුර සිතුවාටත් වඩා පහසුවෙන් මා වෙත පැමිණීම පිළිබඳව මා පසුවූයේ ඉමහත් උද්යාමයකිනි. එසේ ම පැහැදිලි අහසක් සහ සිසිල් සුළඟක් හමන මෙවන් පරිසරයක ඈ වන් අතිශය රූමත් යුවතියක හා බීර වීදුරුවකින් සැනහෙන්නට ලැබූ අවස්ථාව පිළිබඳව හද කොණක වූයේ සියුම් ආඩම්බර සතුටකි.
මෙනුපත අතට ගත් මා, ඈ දෙස බැලුවෙමි. ඇගේ පූර්ණ අවධානය යොමුව තිබුණේ ඈ අතැති අනෙක් මෙනුපත වෙත ය. පාදයක් පිට පාදයක් දමා සිටි ඇගේ පැහැපත් දෙපාවලින් වැඩි ප්‍රමාණයක් නිරාවරණය වී තිබිණි. ඇගේ නිරාවරිත වටොර එකිනෙකට තෙරපී නැගූ රටාවන් සොඳුරු ය.
පෙර දින පැළඳ සිටි නූපුරක් වන් වළලුකර පටියට ඉහළින් ඉතා කුඩා ටැටූවක් විය. දෙපා නිය කළු පැහැයෙන් වර්ණගන්වා තිබිණි. එක් අතක මැණික්කටුව සැරසූයේ රැහැන් කිහිපයකින් යුතු කළු පැහැති අත්පළඳනාවකි. අනෙක් අතෙහි මැදඟිල්ල සහ සුලැඟිල්ල සරසා තිබුණේ කළු පැහැති සහ රිදී පැහැති මුදු ද්විත්වයකිනි. දෑතේ නිය ද වර්ණගන්වා තිබුණේ කළු පැහැයෙනි. දෙසවන් සැරසුවේ උරහිස තෙක් දිගු එල්ලෙන කළු පැහැති කර්ණාභරණ යුවලකි. කළු පැහැති සැහැල්ලු පාවහන් යුවලකින් දෙපා සරසා තිබිණි. ඇය අමුතුම විලාසිතා මවන්නියක ලෙස මගේ දෙනෙත් මත සටහන් කරගත්තෙමි.
විලාසිතා වනාහි මගේ ජීවිතයේ වැදගත් ම අංගයක් විය. මන්දයත් මගේ ව්‍යාපාර විලාසිතා හා බැඳී පවතින හෙයිනි. එහෙයින් ඕනෑම අයෙකුගේ විලාසිතා අංග මගේ දෑසින් පහසුවෙන් නොමිදුණි.
"මගේ දිහා බලාගෙන කරපු අනිමිසලෝචන පූජාව ඉවර නම් අපි මොනවා හරි order කරමුද..?"
ඈ මෙනුපතින් හිස ඔසවන්නේ නැතුවම විමසූ පැනයෙන් මම තිගැස්සුනෙමි.
"ඔයා Harry Potter fan කෙනෙක්ද..?"
ඇගේ වදනින් වූ ලැජජාව වසාගන්නට මෙන් මම, ඇගේ පාදයෙහි වූ කුඩා tattoo සටහන දෑසින් පෙන්වමින් විමසුවෙමි. මගේ පැනයට ඇය දෑසින් ම සිනාසුණා ය.
"මේ deathly hallows symbol එක නිසාද එහෙම ඇහුවේ..? ඔව්. මං Harry Potter diehard fan කෙනෙක්. මා ගාව සේරම novels ටිකයි, movies ටිකයි තියනවා... ඔයා ඒවා බලනවද..?"
මම නැතැයි කීමට හිස සැලුවෙමි. ඇගේ පාදයේ වූ කුඩා ටැටූ සටහනෙහි වූයේ හැරී පොටර් කෘතියෙහි එන ත්‍රිකෝණයක් මැද වෘත්තයක් සහ ඉරක් සහිත Deathly Hallows නැමැති සංකේතය යි.
"මං පොත් නම් කියවන්න ආස වුණත් වෙලාවක් නෑ මට දැන්... හැබැයි මං Harry Potter movies නම් සේරම වගේ බැලුවා. මං කොහොමත් tattoos වලට ආසයි... I have one too. On my back..."
"මං නම් fantasy stories and movies වලට addicted... Harry Potter, Tolkein universe, The Song of Ice and Fire, Narnia, Twilight මේ සේරම novels කියෙව්වා. Movies බැලුවා... I really love fantasy more than reality. For a moment I can get rid of the bitterness of reality..."
"Do you hate reality..? Or run away from reality..?"
මගේ පැනයෙන් ඇය මොහොතක් කල්පනා කළා ය.
"Maybe, both..."
දෑස් සඟවමින් මෙන් ඇය පිළිතුරු දුන්නෙන් මම සංවාදය නවතා මගේ නෙතු යළිත් මෙනුපත වෙත රැඳවීමි.
"Lion lager pitcher එකක් order කරන්නද..? නැත්නම් tower එකක්ම ගමුද..?"
මම යළිත් ඈ දෙස බැලුවෙමි.
"Pitcher එකක් ඇති... ඔයා අද party එකේදි liquor ගත්තේ නැද්ද..?"
"මං hard liquor ගන්නේ නෑ parties වලදි... Only beer... And also other things. You can guess..."
ඇය සිනහවක් පෑවා ය.
"Just like me..."
ඇය ගෙල ඇල කොට කීවේ රිද්මයානුකූලව ය.
"What..? You mean cannabis..?"
මම විමතියෙන් යුතුව විමසුවෙමි.
"ම්ම්...හ්ම්ම්..."
ඈ ළයාන්විතව පිළිවදන් දුන්නා ය. මම මොහොතක් ඈ දෙස නෙත් දල්වා බලාසිටියෙමි.
"You're an awesome girl..."
මම, ඇයව අගය කළෙමි.
"Thanks..."
ඇය සිනහවක් පෑවා ය. නොදන්නා හේතුවක් නිසා මට එම මාතෘකාව වෙනස් කිරීමට අවැසි විය.
"Beer with a dish of hot butter cuttlefish..?"
ඇගෙන් නෙත් ගලවා ගනිමින් මම යළිත් විමසුවෙමි.
"Okay..."
"ඉතිං.., මොනවද ඔයාට මගෙත් එක්ක කතා කරන්න තියෙන්නේ, දුව..?"
ඇණවුම භාරදුන් පසු ඈ දෙසට හැරෙමින් මම විමසුවෙමි. 'දුව' යන්න මා උච්චාරණය කළේ තරමක් බර කොට ය. ඇය බරැති සුසුමක් හෙලුවා ය.
"Can I ask you something old and personal..?"
ඇය, මා දෙස ඍජුව බලමින් විමසුවා ය.
"උත්තර දෙන්න පුළුවන් දෙයක් නම් මං උත්තර දෙන්නම්, දරුවෝ.."
"මං දන්නවා අපේ අම්මි school යන කාලේ අම්මිට ඔයා එක්ක affair එකක් තිබ්බා කියලා..."
මම දෑස් සිහින් කොට ඈ දෙස බැලීමි. මට සිහි වූයේ දින කිහිපයකට පෙර පැතුම් කළ අනතුරු හැඟවීම යි.
"අම්මිද ඔයාට එහෙම කිව්වේ..?"
"අපෝ නෑ... මං කිව්වනේ අම්මියි මායි close නෑ කියලා... ඒ නිසා ඔය වගේ දේවල් අපි අතරේ කතාබහ වෙන්නේ නෑ... මේක මං හොයාගත්ත දෙයක්. ඒවා හොයාගත්ත විදිය ගැන විස්තර මං පස්සේ කියන්නම්..."
ඇය කීවේ අවධාරණයෙනි.
"ඔව් තිබ්බා..."
ඉදිරියට පැමිණිය හැකි තත්ත්වය කුමක් වුවත් සත්‍යය පිළිගැනීම වඩා යෝග්‍ය යැයි මට සිතිණි. ඇණවුම ගෙනැවිත් තැබූ වේටර්වරයා ආපසු යන තෙක් අපි කතාබහ මඳකට නවතාගතිමු.
"කියන්න..."
ඇගේ වීදුරුවට බීර වත්කරමින් මම හිසින් සන් කළෙමි. ඇය, මා විසින් පුරවාදුන් බීර වීදුරුවෙන් උගුරක් පානය කළා ය.
"Did you have any physical bond with අම්මි..? I mean sex..?"
ඇගේ ඍජු පැනය හමුවේ මම යළිත් තිගැස්සුනෙමි.
"දරුවෝ..."
"Please answer me..."
ඇය ඉදිරියට මඳක් නැඹුරු වෙමින් කීවා ය. යන්තමින් තෙත් වූ ඇගේ දෙනෙත් දෙස ඍජුව බැලූ මා හට ඇයට බොරු කීමට නොසිතිණි.
"ඔව්..."
ඇය මොහොතකට ඉවත බැලුවේ දෙතොල් තද කරගනිමිනි. ළා රෝස පැහැති ආලේපන දියවුණු ඇගේ දෙතොල් යන්තමින් සැලෙන බව අඩඅඳුරේ වුවත් මට පෙනිණි. ඇය එය වසන් කරන්නට මෙන් තවත් බීර උගුරක් පානය කළා ය. මම ද සිතට දැනුණු නොසන්සුන් බව තවනු වස් බීර උගුරක් පානය කළෙමි.
"මං කවදාවත් ඔයාගේ අම්මිව ඒ තරම් දුරක් අරං ගිහින් අතාරින්න හිතුවේ නෑ, දරුවෝ... මං රට ගිය අතරේ ඔයාගේ අම්මි තමයි මාව අතෑරලා හදිසියේම ඔයාගේ තාත්තිව marry කළේ..."
"I know Everything... I don't blame you for what my she did. ඒ කිසිම දේකට ඔයා වැරදි නෑ කියන්න මම දන්නවා... That's not what I want to kප්now..."
"එහෙනම්..?"
ඇය තවත් බීර උගුරක් පානය කළා ය.
"ඔයා රට යන්න කලින් කවද්ද අන්තිමටම අම්මි එක්ක එකට හිටියේ...? Sorry ඒ තරම් personal දෙයක් අහනවට... මං දන්නවා ඔයා රට ගිහින් මාසෙකින් විතර අපේ අම්මිට මාව හම්බෙන්න ආවේ කියලා. ඊට මාස දෙකකට පස්සේ තමා අම්මි හදිසියේම අප්පච්චිව marry කරලා තියෙන්නේ..."
"ඔව් ඒක හරි... ඒත් ඒකයි, ඔයා අහපු දේයි අතරේ interconnection මොකක්ද..?"
මා විමසුවේ හදිසියේ මෙන් බීර උගුරක් පානය කරමිනි.
"Connection එකක් තියනවා. ඒකයි අහන්නේ... Please, උත්තර දෙන්නකෝ..."
මම සුසුමක් හෙලුවෙමි. ඇගේ ආයාචනය මා කළඹවා තිබූ අතර කතාබහ දිවෙන දිශාව මා හට නුහුරු බියක් දනවන්නට සමත් විය.
"මං ලංකාවෙන් යන්න දවස් දහයකට විතර කලින් අපි දෙන්නා එකට හිටියා... ඒ තමා අන්තිම පාර..."
ඇගෙන් ඉවතක දෑස රන්දමින් කී මම සෙමෙන් නෙතු ඈ මතට ගෙන ගියෙමි. වේදනාත්මක හැඟුම් ගොන්නක් නෙතග දලවාගත් ඇගේ දෑස් පෙරටත් දඩා තෙත්ව දිලිසිණි. බීර වීදුරුව නියගින් පිරිමදිමින් කල්පනා කළ යුවතිය මොහොතකින් නිහැඬියාව බිඳදැමුවා ය.
"පොඩි කාලේ ඉඳන් අප්පච්චියි, ආච්චම්මයි මට හරියට වෙනස්කම් කළා. ආච්චම්මා කියන්නේ අප්පච්චිගේ අම්මා... පිට මිනිස්සු ඉස්සරහා මාර ආදරයක් පෙන්නුවට ගෙදරදි එයාලා මාව ගණන් ගන්නෙවත් නෑ... නංගිටයි, මල්ලිටයි නම් අප්පච්චි හරිම ආදරෙයි. ඒත් මට කවදාවත් එහෙම ආදරේ කරලා නෑ... මං කොච්චර දේවල් achieve කළත් මාව appreciate කළේ නෑ... ඒ අතරේ තමා මං ඔයා ගැන අම්මිගේ පරණ diary එකක තිබිලා විස්තර හොයාගත්තේ... පස්සේ අම්මිගේ නැන්දා වෙන ආච්චි කෙනෙක් ගෙන් මං ඔයාලා දෙන්නා ගැන විස්තර දැනගත්තා. මං එයාට කියන්නේ නැන්දාච්චි කියලා පොඩි කාලේ ඉඳන්ම... මං හිතන්නේ ඔයා එයාව දන්නවා..."
මගේ මතකයන් අවුස්සමින් ගෙවූ මිනිත්තුවක පමණ කාලයක අවසන මට මතක්වූයේ මේනකා විසින් නිරන්තරයෙන් කියූ ඇගේ පියාගේ අවිවාහක සොහොයුරියක පිළිබඳව යි. මේඝා පවසන නැන්දාච්චි, ඇය විය යුතු යැයි මම සිතාගත්තෙමි. මා, ඇය දෙස බලා හිස සැලුවේ ඒ තැනැත්තිය මට මතක බව හඟවමිනි.
"ඒ නැන්දාච්චි තමා මට ආදරේ කරපු අපේ පවුලේ එකම කෙනා... මං grade five scholarship exam pass වුණාම අප්පච්චි මාව Colombo girls' school එකකට දාලා hostel කරන්න decide කළා. පස්සේ නැන්දාච්චි එයාගේ ගෙදර තනියම ඉන්නේ කියලා මාව hostel නොතියා එහේ තියාගත්තා... හැබැයි නංගි, මල්ලි දෙන්නම school යන්නේ නුවර. එයාලාව කොළඹ එවන්න අප්පච්චි කැමති වුණේ නෑ... කොළඹදි මං survive වුණේ නැන්දාච්චියි, මගේ හොඳම යාලුවො දෙන්නයි නිසා... පවුලේ වෙනස්කම් දරාගන්නම බැරි නිසයි මං ඒලෙවල් වලින් පස්සේ වුණත් Kandy වල ඉන්නේ කැමති වුණේ නැත්තේ... ඒලෙවල් හොඳට results තිබ්බ නිසා මං first choice එකටම Colombo දාලා මෙහෙම හිටියා... ඊටපස්සේ job එකයි MBA එකයි පිටදාලා දැන් මෙහෙ annex එකක් අරන් ඉන්නේ... නැන්දාච්චි නැති වුණා මං campus final year ඉද්දි. එයාගේ properties එයා කලින්ම orphanage එකකට ලියලා තිබ්බේ... ඒ නිසා මං දැන් totally independent life එකක් ගත කරන්නේ..."
ඇය බීර උගුරක් බොමින් විරාමයක් ලබාගත්තා ය.
"ඔයාව meet වෙන්න මට අවුරුදු ගාණක ඉඳන් ඕනෙකම තිබ්බා. ඒත් ඔයා කොහොම කෙනෙක්ද කියලා දන්නේ නැතුව meet වෙන්න බය හිතුනා.... එදා ඔයාව දැක්කම තමා ඒ බය ගියේ...."
කතාව ඇදෙන දිශානතිය පිළිබඳව ලැබෙන ඉඟි හේතුවෙන් මගේ සුරත වෙව්ලන්නට විය. අතට ගත් බීර වීදුරුව මේසය මත තබමින් මම, ඈ දෙසට දෑස් දැල්වූයෙමි. ඇය, මා දෙස ඍජුව බැලුවා ය. අනතුරුව, ඇය තෙපලූ වදන් මගේ හිස තුළ අකුණු දහස් ගණනක් පුපුරුවා හැරීමට සමත් විය.
"මට sure කරගන්න ඕනේ අපි දෙන්නා අතරේ ලේ නෑකමක් තියනවද කියලා. I mean I want to know if you are my biological father... මං හිතන්නේ ඒක දැනගන්න තියන හොඳම ක්‍රමය DNA test එකක් කරන එක... ඒත් එහෙම දෙයක් කරන්න නම් මට ඔයාගේ permission ඕනේ..."
✍🏼 සකුනි හතරසිංහ
මතු සම්බන්දයි......



Comments
Post a Comment