අනේ මං හදිසිද මන්දා... 🖤

(කෙටි නවකතාව - අවසාන කොටස)

ආරක්‍ෂිත බඳපටියවත් පළඳා නොගත් අමායා වාහනට නැගුනු මොහොතේ පටන් නොනවත්වා හඬාවැටුණා ය. ඇගේ දෙසවන ගිගුම් දුන්නේ ඔවුන් එම කාමරයෙන් පිටතට එන විට ම නැගුනු වෙඩි හඬත්, බැඳ සිටි මිනිසා නැගූ මරණීය විලාපයත් ය. එම උණ්ඩයට බිලිවීමට තරම් ඔහු සිදුකර ඇති වරද ඔවුන්ගේ තොරතුරු පිටට ලබාදීම ය. තමන් හඬාවැටෙද්දී පවා විරාජ්ගේ හෝ උදිතගේ මුහුණුවල කිසිඳු සසල වීමක් දක්නට නොවූ බව ඈ මෙනෙහි කළේ බියෙනි. උදිත යනු විරාජ්ගේ ඥාති සොහොයුරන් අතුරෙන් ඇයට වඩාත් ම කුළුපග වූ අයෙකි. ඔහුගේ පියා වූ විරාජ්ගේ පියාගේ වැඩිමහලු සොහොයුරා හිටපු ඇමතිවරයෙකු වූ අතර උදිතගේ වැඩිමහලු සහෝදරයා ද රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු විය. මුල් විවාහයෙන් වෙන්ව සිටි ඔහු දෙදරු පියෙකු බව ද ඈ දැනසිටියා ය.

හඬාවැටෙන අමායා දෙස බලමින් මඳ දුරක් රිය ධාවනය කළ විරාජ් ජනශූන්‍ය ස්ථානයක වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නතර කළේ ය.

"අමා..."

තවමත් වැළපෙන ඇගේ හිසට අතක් තබමින් ඔහු, සිය ගැඹුරු ස්වරයෙන් මිමිණුවේ ය. හඬමින් ම හිස එසවූ අමායා, ඔහුගේ අත් ගොබයක හිස රඳවා අඬන්නට වූවා ය. ඇය නිවෙන තෙක් ඇගේ හිස අතගෑ ඔහු, ඇය නිවීයත්ම යළි හඬ අවදිකළේ ය.

"අමා, අඬන එක නවත්තන්න... දැන් ඒක ඉවරයි ඩාලිං..."

ඇගේ හිස අත ගාමින් ඔහු කීවේ ය.

"විරූ, අනේ අපි මෙහෙන් යමු... මේ හැමදේම දාලා යමු මෙහෙන්... මේ මුකුත් මට එපා... ඔයා විතරක් හිටියම හොඳටම ඇති... අනේ විරූ අපි යමු... මට බයයි ඔයාව මට නැතිවෙයි කියලා... මේවා කරන්නෙපා විරූ... ඔයා නරක කෙනෙක් නෙවි... අනේ විරූ අපි මෙහෙන් යමු..."

ඔහු දෙස බලමින් ඈ කන්නලවු කරන්නට වූවා ය.

"ඕ... ස්වීට් ඒන්ජල්... මෙහෙ එන්න..."

ඔහු කීවේ ඇයව ඔසවා තම උකුල මතට ගනිමිනි. ඔහු සිය අසුන ද පසුපසට කර ඇයව සුවපහසු ලෙස තම උකුළ මත හිඳුවාගත්තේ ය. ඇය, ඔහුගේ පපුව මතට ගුලිවෙමින් යළිත් හඬන්නට වූවා ය.

"Baby, I can't go now. There are many more things to do... After all those things let's go wherever you wanna go..."

ඈ හිස සැලුවා ය. ඔහු මුවගින් සිනහවක් පාමින් ඇගේ හිස පිරිමැද්දේ ය.

"දැන් යන්න හොඳ කෙල්ල වගේ සීට් එකට..."

ඇයව ඔසවා මගී අසුනෙන් තැබූ ඔහු යළි රිය පණගන්වා ගත්තේ පෙර සිනහවෙන් යුතුව ම ය.
.
.
.
.
අමායාට දැනුනේ තම සිහිය විකල්ව යමින් පවතින බවකි. චේතනා ගෙන් ලද දුරකතන ඇමතුම අවසන්ව හෝරාවකට අධික කාලයක් ගත වුවත් ඇයට, තමන් හිඳි තැනින් අංශුවකුදු සෙලවිය නොහැකි තරම් සිය ගත ම බරව දැනිණි. හැඬුම් අතරින් චේතනා කී සියල්ල ඇගේ මනසට ගියේ කොටසින් කොටස ලෙස ය.

"අක්කේ... තිලිණ ඇක්සිඩන්ට් වෙලා..."

චේතනා කීවේ ඔතරම් පැහැදිලිව නොවේ. වැළපීම්, ඉකිලෑම් අතරින් ඒ වදන් කිහිපය සම්පූර්ණ කිරීමට ඇයට මිනිත්තුවක් පමණ ගත විය.

"ඒ කොහෙද..? කොහොමද තිලිණට..? අවුලක් නෑ නේද..?"

අසුබ නිමිත්තක පෙර ලකුණු නැගණියගේ හැඬුම් ස්වරයේ වුවත් එය එසේ යැයි පිළිගැනීමට අමායාගේ සිත එකවරම එකඟ නොවීය.

"අනේ අක්කේ... තිලිණ..."

චේතනා නොකී ඉතිරිය අමායා හට වැටහුණේ චේතනාගේ ළතෝනියත් සමඟ ය. ඒ සමඟ ම දුරකතන බනුව සීරු-මාරු වූයේ පියා අතට බැව් මීළඟට ඇසුණු කීර්තිරත්නගේ හඬින් අමායාට පැහැදිලි විය.

"ලොකු දුවේ... අනේ බලන්නකෝ වෙච්ච දේ... පුලුවන් නම් ගෙදර එන්න... අහපු වෙලේ ඉඳන් මේකි පොළොවේ පස් කනවා... මට බෑ මේකිව ආන්බාන් කරන්න..."

පියාගේ වදනට එකඟතාවය පළ කරමින් අමායා යමක් මිමිණුව ද ඇයට හිඳගෙන සිටි අසුනෙන් නැගීසිටීමට තරම් ජවයක් නොවීය. ඉදින්, හෝරාවක් පමණ ම සිත බර කළ පුවතෙහි අග-මුල ලිහාගත නොහී ඈ සිටියේ කම්පාවට පත්වී ය.

"අමා..හ්... තමුසෙගේ කන් බීරි වෙලාද..?"

අමායා, තම සිතුවිල්ලෙන් මිදුණේ විරාජ්ගේ කෝපාන්විත හඬට ය.

"මං දැන් ඇවිත් පැය කාලක් විතර... තමුසෙට කතා කළා පහළ ඉඳන් ඇහුනේ නැද්ද..?"

අමායා වෙතට ළංවෙමින් කී ඔහුගේ හඬට ඈ හිස එසවූවා ය.

"මොකද මේ අඬන්නේ..?"

විරාජ් විමසුවේ දෙනෙත් හකුලුවමිනි.

"අනේ විරාජ්..."

කී අමායා හඬමින් ම විරාජ්ගේ තුරුලට වූවා ය.

"මොකක්ද උනේ කියන්න අඬන්නේ නැතුව..."

අඩහෝරාවක් යනතුරුත් ඈ හැඬුම් නොනැවත්වූ බැවින් ඔහු විමසුවේ ඇයව, තම තුරුලෙන් ඉවත් කරමිනි. අනතුරුව ඈ ඉකිලමින්, වදන් අමුණමින් කී සියල්ල වටහාගැනීමට ඔහුට තවත් මිනිත්තු කිහිපයක් ගත විය.

"අමා... ඇත්තටම තමුසේ අක්කෙක්ද..? ඔච්චර දෙයක් උනා නම් මෙතන අඬ අඬ ඉන්නැතුව ඩ්‍රයිවර් කෙනෙක් කතා කරගෙන යන්න එපැයි එවෙලේම ගෙදර... තාත්තාට පුලුවන්ද අර සේරම බලාගන්න..?"

ඔහු, ඇයට බැණ වදිමින් කාමරයට වූයේ ඇයවත් ඇදගෙන ම ය.

"රෙඩි වෙනවා යන්න... මිනිත්තු දහයක් දෙන්නම්..."

කී ඔහු නාන කාමරය තුළට වැදුණේ ය. හිස් හැඟීමෙන් යුතුව අමායා සූදානම් වන්නට වූවා ය.
.
.
.
.
අවසන් කටයුතු අවසානයේ අමායා සහ විරාජ්, කීර්තිරත්න සහ චේතනා සමඟින් ආපසු කීර්තිරත්නගේ නිවසට පැමිණෙන විට රාත්‍රිය එළඹී තිබිණි. තිලිණ අවාසනාවන්ත ලෙස රිය අනතුරට පත්ව තිබුණේ ඔහු සේවය කළ ලක්සිරි විජේමාන්න නැමැති ප්‍රකට නීතිඥවරයා සමඟ ඔහුගේ මෝටර්රථයෙන් යමින් සිටිය දී ය. රිය අනතුරෙන් මෝටර්රථය තුළ සිටි දෙදෙනා ම ජීවිතක්‍ෂයට පත්ව තිබුණි. එය සිතා-මතා සිදුකරන ලද අනතුරකැයි ඇතැමුන් අතර කටකතා පැතිර ගොස් තිබුණ ද කිසිවෙකු හට එය තහවුරු කරගත නොහැකි විය. අනතුර සිදු වී තිබුණේ පාළු මාවතක ය. රථයේ ගැටුණු අනෙක් රථයේ රියැදුරා අනතුරින් පසුව පලා ගොස් තිබිණි.

විසිත්ත කාමරයේ කීර්තිරත්න මහතා සමඟ කතාබස් කරමින් සිටි විරාජ් හදිසියේ ම පැමිණි දුරකතන ඇමතුමකට සම්බන්ධ වීම සඳහා කීර්තිරත්න මහතාගෙන් සමාවගෙන මිදුලට ගියෙන් කීර්තිරත්න මහතා අසුනෙන් නැගිට මුළුතැන්ගේ දෙසට ගියේ ය.

"කෝ ලොකු දුව නංගි..?"

තේ සාදමින් හුන් අමායා ගෙන් ඔහු විමසුවේ ය.

"කාමරේ තාත්තේ... එයාට ඔහෙ ඉන්න දෙන්න... කරදර කරන්න යන්නෙපා..."

මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි අමායා කීවා ය.

"හ්ම්ම්ම්... ලොකු දුව පුලුවන් නම් අර ළමයාගෙන් අහලා දවසක් දෙකක් මෙහෙ ඉඳලා යන්නකෝ... මට නංගිව තනියම බලාගන්න බෑ... බයයි මොනවා උනත්..."

කීර්තිරත්න මහතා කීවේ කල්පනාකාරීව ය.

"මං විරූ ගෙන් අහලා බලන්නම් තාත්තේ..."

අමායා කීවා ය.

"මගේ තේ එක වහලා තියන්න. ඇඟ හෝදගෙනම ඇවිත් බොන්නම්... අන්න පුතා මිදුලට ගියා කෝල් එකක් ඇවිත්. ඒ ළමයට තේක ගිහින් දීලා එන්න..."

අමායාට කියූ කීර්තිරත්න මහතා නානකාමරය වෙත ගියේ ය. විරාජ් වෙනුවෙන් සකස් කළ තේ කෝප්පය රැගත් අමායා ආලින්දයට ගියේ විරාජ්ව සොයමිනි. මිදුලෙහි අතුපතර විහිදුණු ගසක් සෙවණෙහි තබා ඇති සිමෙන්ති බංකුවක තමන්ට පිටුපා අසුන්ගෙන සිටින ඔහු තවමත් ඇමතුමේ බව ඇයට වැටහිණි. ඈ හඬ නොනගා ම ඔහු දෙසට ගියේ ඔහුට බාධා නොවනු වස් ය.

"ආයේ හත් දවසේ බණ තියනවා බං... ඒකටත් එන්න වෙයි..."

........

"අමා නම් දැන් ශේප්... නංගි නම් අඬනවා තාම. ඒකි නැළවෙන්න තව කාලයක් යයි ඉතිං..."

........

"කවුද නංගිද..?"

........

අමායා, විරාජ්ට අඩි කිහිපයක් පසුපසින් නතරවූයේ ඔහුගේ කතාව චේතනා වෙත එල්ල වූ බැවිනි.

"පිස්සුද යකෝ..? ඒ කෙල්ල හොඳයි උඹට දරුකමට හදාගන්න නම්... අනික ඒකි අමා තරම් ලස්සනත් නෑ..."

........

අමායා දෙනෙත් හැකිලුවේ විරාජ්, චේතනා පිළිබඳව ඒ කී කතාව සිත් නොගත් බැවිනි.

"උඹ ඔයිට වඩා කෑලි රන් කරලා තියනවනේ අයියේ... ඒකි උඹට සෙට් නෑ... අනික අර මැරිච්ච ප-යා රන් කරපුවා කරගහගන්න උඹට පිස්සුවක් නෑනේ..."

........

"හා... හා... දැන් අරූ කොහෙද..? ඌට අපි මොකද කරන්නේ..?"

........

"ඌට ළමයි ඉන්නවද..?"

........

"මං ශෙවෝන්ට කියන්නම් උන්ට කන්න බොන්න දේවල් ටිකක් යවන්න කියලා... අර බූරුවා කලින් කතා උනා වගේ කළා නම් ඉවරයිනේ... කොහෙද උන් දන්නේ මොකක් හරි කරලා පැනලා යන්නනේ... Slum pigs..."

........

අමායාට දැනුණේ තම හෘද ස්පන්ධන වේගය වැඩි වන බවකි.

"ලක්සිරියි, තිලිණයි දෙකම එක තැන ඉවර උනු එක ලොකු දෙයක් අයියේ... ඕකුන් දෙන්නා අර නඩුව ඇද්දා නම් මට මේ ආත්මෙට ගැලවෙන්න බැරිවෙනවා..."

........

"තාත්තාගේ තරහ තව ටික දවසයි... එයාම ඊටපස්සේ ඕක අපූරුවට යටගහයි... එහෙම නිකං හිටියා නම් අපේ අයියා මෙලහකට පාර්ලිමේන්තුවේ නෙවේ වැලිකඩ ඉන්න ඕනේ..."

........

විරාජ්ගේ සිනා හඬ සිදුරු කළේ අමායාගේ දෙසවන් නොව හදවත යි. එසේ නම් මෙය රිය අනතුරක් නොව මිනීමැරුමකි. අමායාට දැනුනේ තම දෙපා අවසඟ බවකි. ඈ සෙමෙන් සෙමෙන් පිටුපසට ගොස් ආලින්දය තෙක් ගියා ය. අනතුරුව ආපසු හැරී විසිත්ත කාමරය තුළට වූවා ය.

ඇය ළය පිරෙන්නට හුස්මක් ගත්තේ අතැති තේ කෝප්පය කනප්පුව මත තබා ඒ අසල වූ අසුනකින් හිඳගත් පසුව ය. තමා මොහොතකට පෙර ශ්‍රවණය කළ කටුක සත්‍යය ඈ එකිනෙක මෙනෙහි කරන්නට වූවා ය.

"අමා..."

පැය කාලකට පමණ පසුව ඈ කල්පනාවෙන් මිදුණේ විසිත්ත කාමරයට ගොඩවැදුණු විරාජ්ගේ හඬිනි.

"තේ හැදුවද..? ඇයි ගෙනත් දුන්නේ නැත්තේ..?"

ඔහු විමසුවේ ඈ අසලින් ම අසුන්ගනිමිනි.

"ඔයා කෝල් එකක හිටපු නිසා ඩිස්ටර්බ් කළේ නෑ..."

අමායා සාමාන්‍ය වන්නට උත්සාහ කරමින් කීවා ය.

"කෝ තාත්තා..?"

"බාත්රූම් එකේ... දැන් ඒවි..."

ඈ කීවේ ඔහු දෙස හොරැහින් බලමිනි. ඔහු කිසිඳු වෙනසක් නොමැතිව ම තේ පානය කරන්නේ ය.

"තාත්තා ආවම කියලා අපි යමු අමා... මට හරිම ටයර්ඩ් අද නම්..."

විරාජ් කීවේ පානය කර අවසන් කළ තේ කෝප්පය මේසය මත තබමිනි.

"තාත්තා ඇහුවා දවස් දෙක තුනකට මට මෙහෙ ඉන්න බැරිද කියලා..."

අමායා එය විමසුවේ අවිනිශ්චිත ලෙස ය.

"ඔයා දන්නවනේ අමා එහෙම බෑ කියලා... දැන් යමු. මං හෙට ඔෆිස් යන ගමන් ඔයාව මෙහාට ඩ්‍රොප් කරගෙන යන්නම්... හවස පික් කරන්නම්..."

අමායා සිතූ පිළිතුර ම ඔහු දුන්නේ ය. ඈ හිස සලා එය පිළිගත්තේ වෙනත් පිළියමක් නොමැති හෙයිනි.

පියාගෙන් සහ සොහොයුරිය ගෙන් සමුගෙන ආපසු එන අතරතුර දී අමායාගේ කල්පනාව තිබුණේ ඈ ශ්‍රවණය කළ විරාජ්ගේ දුරකතන සංවාදය කෙරෙහි ය. එය බිඳවැටුණේ ඇගේ සුරත ඔහුගේ වමතෙහි සිර වූ බවට වූ ස්පර්ශයෙනි.

"අද නම් බෑ කියන්න බෑ අමා... ෆියුනරල් එක නිසා මට මේ ටිකේම ඔයාව මිස් උනා... I'm badly need you darling..."

විරාජ්ගේ ඇරයුමට ඈ හිස සැලුවේ හිත ම භීතියෙන් සලිත වෙද්දී ය. ඔහු තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා බව සැබෑ ය. නමුත් ඔහු මිනීමරුවෙකි. එකක් නොව ප්‍රකට මනුෂ්‍ය ඝාතන තුනක ම පිටුපස සිටින අදිසි හස්තය ඔහු ය. එසේ ම ඔහුගේ දෑතෙහි තවත් මිනිසුන් කීදෙනෙකුගේ රුධිරය ගෑවී ඇත්දැයි ඈ හට අනුමාන කරන්නට හෝ නොහැකි විය.
.
.
.
.
දෙමසක් ඉක්මගියේ අමායාගේ සිතට තිලිණගේ ඝාතකයින් කවුරුන්දැයි තහවුරු කරදෙමිනි. තිලිණගේ මරණයෙන් අමායා තුළ සිටි බොළඳ ගැහැණිය සේ ම භක්තිවන්ත භාර්යාව ද මියැදී තිබිණි. එනයින් උපත ලැබුවේ සූක්ෂ්ම ගැහැනියකි. ඈ තමා අවට වූ සියල්ල ඈට හැකි අයුරින් නිරීක්ෂණය කළේ විරාජ්ගේ සැකයට බඳුන් නොවන අයුරිනි.

තිලිණ හා විවාපත්ව විදෙස්ගත වන්නට බලාසිටි චේතනා විවාහ නොවීම විදෙස්ගත වූයේ තිලිණගේ මරණයෙන් මාස එකහමාරකට පසුව ය. එරටෙහි විසූ තම ඥාති සොහොයුරියකගේ නිවසෙහි චේතනා හට නවාතැන් සූදානම් කළේ අමායා විසින් ය. අමායාගේ දැඩි බලකිරීම් හමුවේ කීර්තිරත්න මහතා ද මසක කාලයක් සඳහා චේතනා සමඟ විදෙස්ගත වූයේ ය. මවගේ අභාවයෙන් අනතුරුව තමන් උදෙසා ම ජීවිතය කැප කළ පියාට කටුක කාල පරිච්ඡේදයකින් අනතුරුව වෙනසක් සමඟ විවේකයක් ලැබිය යුතු බව අමායාගේ හැඟීම විය.

සත්‍ය දැනගැනීමෙන් අනතුරුව විරාජ් පිළිබඳව අමායාගේ සිතෙහි දළු ලා වැඩුණේ පිළිකුලකි. ඔහුගේ සරාගී ප්‍රේම ආලිංගන හමුවේ දී එකී පිළිකුල තව තවත් වර්ධනය වූවා මිස අඩුවක් නොවීය. නමුත් ඇය වටහාගත්තේ තමාට ඔහුගෙන් මිදීමක් නොමැති බව ය.

සතියක පමණ සිට සිරුරට දැනුණු වෙනස්කම්වලට හේතු වූ කාරණය අමායාගේ අත වූ ගර්භණීභාවය පරීක්ෂා කරන උපකරණයේ වූ ඉරි දෙකෙන් පැහැදිලි විය. ඇය වෙව්ලන දෙපයින් කාමරයේ වූ සෝපාමය අසුනෙන් අසුන්ගත්තා ය. ඇගේ සුරත තවමත් සලකුනකුදු නොපෙන්වන කුස තෙරපාගත්තේ වේදනාවෙනි. අනතුරුව ඈ මහා හඬින් හඬාවැටුණා ය.

සවස හයට කිට්ටු වනවිට ඈ ගත දොවා සූදානම් වූවා ය. කලකට ඉහත එනම් විවාහ වූ මුල් අවධියේ දරුවෙකු පිළිබඳව වූ නොවක් සිහින පිළිබඳව ඇයට දැනෙන්නට වූයේ දුකකි. ඒ කිරි සිහිනය සාක්ෂාත් කරගැනීමට සිදුවන්නේ මිනීමරුවෙකු සමඟ ය. එය ගත කිළිපොලන තරම් භීතිය ගෙන දෙන්නකි.

ඇඳුම් අල්මාරියේ විරාජ් භාවිත කරන ලාච්චුව අමායා අතින් විවර වූයේ වැරදීමකිනි. නමුත් එය යළි වසාදමන්නට මත්තෙන් අමායාගේ දෙනෙත් නැවතුනේ එහි වූ කළු පැහැති තුවක්කුව වෙතට ය. ඈ වෙව්ලන දෑතින් එය ගෙන බැලුවා ය. තරමක් බරින් වැඩි වූ එය මූණිස්සම් පුරවා ඇතැයි ඈ අනුමාන කළා ය. ගැඹුරු හුස්මක් ඉහළට ඇද්ද ඇගේ දැහැන බිඳුනේ පහත මාලයෙන් ඇසුණු විරාජ්ගේ ගැඹුරු හඬට ය. වහා තුවක්කුව එම ලාච්චුවට ම දැමූ ඇය අල්මාරිය වසාදැමුවා ය. අතට ගත් ගවුම ගත ලාගෙන අවසන් වනවිට ම විරාජ් කාමරය තුළට පැමිණියේ ය.

"අමා..."

ළා රෝස පැහැති සැහැල්ලු ගවුමක් ගත ලාගෙන කොණ්ඩය විසුරුවා හැර තිබූ ඈ වෙතට පැමිණි ඔහු නැඹුරු වී ඇගේ දෙතොල් තදින් සිපගත්තේ ය.

"දැන් කොහොමද අමාරු..?"

පහත මාලයේ දී මේනකා, තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පුවත ඔහු හමුවේ තබා ඇති බව ඇයට වැටහිණි. ඈ ආයාසයෙන් මවාගත් සිනහවක් ඔහුට පිළිගන්වමින් ඔහුගේ සුරත දෝතින් ම ගෙන තම කුස මත තබාගත්තා ය. ඔහුගේ දෑස විසල් වූයේ ඇගේ අනපේක්ෂිත ක්‍රියාව හමුවේ ය.

"මම ප්‍රෙග්නන්ට්..."

ඈ ඔහුගේ දෙනෙත් දෙස ඍජුව බලමින් මිමිණුවා ය.

"Seriously..?"

ඔහු විමසුවේ මවිතයෙනි. ඈ හිස යන්තම් සැලුවා ය. ඔහු මොහොතක් ගොළුව සිට සිනහවක් මුවගට නංවාගෙන ඇගේ නළලත සිපගත්තේ ය.

"මං දැන්ම එයාව බලාපොරොත්තු උනේ නම් නෑ තමා... ඒත් මං දැන් නම් තාත්තෙක් වෙන්නත් ආස හිතිලා තියෙන්නේ..."

ඔහු කීවේ ඈ අසල දණගසා ගනිමිනි. අමායා ඇඳසිටි ගවුම එසවූ ඔහු නිරාවරණය වූ ඇගේ කුස මතින් තම රළු දෙතොල තබද්දී අමායාගේ දෙනෙතින් කඳුළු ගලන්නට විය.

"මේ මොකද අම්මි අඬන්නේ..?"

වහා නැගිටගත් ඔහු විමසුවේ ඇයව තම ළයෙහි සතපා ගනිමිනි. ඔහු අඩහෝරාවකටත් අධික කාලයක් ඇය, තම ළයෙහි දරාගෙන අගේ හිස පිරිමැද්දේ ය.

"මං ලෝකේ හොඳම තාත්තා වෙන එකක් නෑ අමා... ඒත් මං මගේ දරුවට මට දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දෙනවා. එයාට කිසිදේකින් අඩුවක් වෙන්න ඉඩ තියන්නේ නෑ..."

එසේ පිළිණ දුන් ඔහු, ඇගේ හිස සිඹ ඈ වෙතින් ඉවත්වූයේ ය.

"මං වොෂ් දාගෙන ඇවිත් අපි සෙලිබ්‍රේට් කරමු මේක... අද තාත්ති, අම්මිව ගොඩාක් සතුටු කරවන්න යන්නේ..."

ඔහු කී දේ වටහාගත් අමායා නිහඬ සිනහවක් පාමින් දෑස් සහ දෙකොපුල් පිසදාගත්තා ය. ඇය වෙතින් ඉවත් වූ ඔහු ඇඳුම් එකිනෙක ඉවත්කොට තුවාය පමණක් ගත දවටාගත්තේ ය.

"අමා..."

අමායාව අමතමින් ආපසු හැරුණු ඔහු, ඇයව දැකීමෙන් මවිතයට පත්වූයේ ය. ඈ ඇඳසිටි සැහැල්ලු ගවුම සහ අනෙකුත් ඇඳුම් ඈ පය පාමුල්ලේ වූයේ පිළිමයක් සදිසි ඈ නිරුවත් ගත ඔහුගේ දෑසට නිරාවරණය කරමිනි. ඈ පියවරෙන් පියවර තබමින් ඔහු වෙත පැමිණියේ කිසිඳු හැඟීමකින් තොර වතෙනි.

"අපි දැන්ම සෙලිබ්‍රේට් කරමුද විරූ..?"

ඔහුගේ ඉණ රැඳි තුවායෙහි ගැටය ලිහමින් ඈ විමසුවා ය.

"අමා..!"

ඔහු මිමිණුවේ මවිතයෙනි. යළිත් වදනක් හෝ නොබිණූ ඈ නිරුවත් ඔහු ඉදිරියේ දණ ගසාගත්තේ ඔහුව තව තවත් මවිත කරමිනි.
.
.
.
.
"මෙයා අම්මිව වෙනස් කරලා වගේ..."

විරාජ් කීවේ අමායාගේ නිරුවත් කුස මතින් රළු අතැඟිලි යවමිනි.

"මං ආදරෙයි..."

අමායා එකවරම කීවා ය.

"මාත් ආදරෙයි බබා... ඇත්තටම ඔයා මට අද සප්‍රයිස් ගොඩක් දුන්නා... මං කියන්නේ මෙයා ගැන දුන්න නිව්ස් එක ගැන විතරක් නෙවේ..."

ඔහු කීවේ යළිත් ඈ කුස මත අතක් තබමිනි.

"මේ දැන් චුට්ටකට කලිනුත් ඔයා මාව සප්‍රයිස් කළා... මට දැනුනේ මං නිකං ඇෆ්‍රොඩයිට්* එක්ක සෙක්ස් කළා වගේ අද නම්..."

ඈ කෙටි සිනහවක් පෑවා ය.

"මං වොෂ් දාගෙන එන්නම් පැටියෝ... හෙට දවසම මං නිවාඩු දාලා ඔයා එක්ක ඉන්නම්..."

ඔහු, ඇය ගෙන් මිදෙමින් කීවේ ය. ඇය හිස සලා යළි යහන මත වැතිරගත්තා ය. ඈ දෙස සෙනෙහස මිශ්‍ර බැල්මක් හෙලූ ඔහු බිම වැටී තිබූ තුවාය ගෙන නානකාමරය තුළට වැදුනේ ඈ දෙස යළි බලමිනි.

තත්පර කිහිපයක් නිසොල්මන්ව වැතිර හුන් අමායා යහනෙන් බැස පිඟන් ගඩොල් මත වැටී තිබූ ඇඟලුම් එකිනෙක ගෙන ඇඳගත්තා ය. අනතුරුව කණ්නාඩි මේසය වෙත ගොස් පනාව ගෙන කොණ්ඩය පීරාගත්තා ය. නිහඬව ම මොහොතක් සිටි ඈ අල්මාරිය වෙත ගොස් ලාච්චුව විවර කළා ය. එහි වූ තුවක්කුව ගත් ඈ එය යහනෙහි කොට්ටයක් යටින් තැබුවා ය. දොර වෙත ගොස් එය අගුලු ලෑවා ය. අනතුරුව සිය ජංගම දුරකතනය අතට ගත් ඈ එහි කෙටි පණිවිඩයක් සටහන් කොට එය යැව්වා ය. එය අවසන් වනවාත් සමඟ ම නානකාමරයෙන් පිටතට පැමිණියේ තුවාය ගත දවටාගත් විරාජ් ය.

ඔහු, ඈ වෙතට පැමිණ ඇගේ දෙතොල් තදින් සිපගෙන අල්මාරි කාමරය වෙත ගොස් ඇඳුමක් ගත ලාගෙන එනතුරු ඇය යහන මත හිඳගෙන සිටියා ය.

"බඩගිනිද අමා..?"

විරාජ්ගේ ඇමතුමට ඈ හිස දෙපසට සැලුවා ය.

"මට පැය කාලක් දෙනවද..? මේල්ස් වගයක් චෙක් කරන්න ඕනේ..."

ඔහුට අවසර දුන් ඈ යහන මත පහසුවෙන් හිඳගත්තා ය. ඇයට පිටුපා මේසය අසල වූ පුටුවෙන් හිඳගත් ඔහු තම උකුල් පරිගණකය දිගහැර එයින් විද්‍යුත් ලිපි පිරික්සන්නට විය. මිනිත්තු කිහිපයකට පසු ඇය නැගීසිටියේ ඇයට එලෙස සිටීමට අපහසු යැයි දැනුනු හෙයිනි. ඈ නිහඬව ම ඔහු වෙතට පා නැගුව ද පරිගණක තිරය මතට වැටුණු ඇගේ සෙවනැල්ලෙන් ඔහු, ඇයව දුටුවේ ය.

"Five more minutes baby..."

ඇය, ඔහුට සමීපව නැවතී තත්පර කිහිපයක් ඔහු දෙස බලාසිටියා ය. අනතුරුව එකවරම පසුපසට කොටගෙන සිටි සුරත ඉදිරියට ගත් ඈ එහි වූ තුවක්කුව දෝතින් ම අල්වාගෙන ඔහුගේ හිස පිටුපසට ඉලක්ක කොට කොකා ගැස්සුවේ දෑස් තදින් පියාගෙන ය. කාණු හය ම පුරවා තිබූ තුවක්කුවේ කාණු තුනක් ම හිස් වූයේ අවට වූ වාතය දෙදරවමිනි. උකුල් පරිගණක තිරය පුරා විරාජ්ගේ රුධිරය ගලායන්නට විය. කම්පනයට අමායා පියවර කිහිපයක් පසුපසට විසිවූවා ය. මූණිස්සම් තුනක ගමනාන්තය විරාජ්ගේ හිස තුළට වූයෙන් ඔහුට තමා වෙනුවෙන් පෙනීහිටින්නටවත් අවස්ථාවක් හිමිනොවීය. ඔහුගේ හිස මේසය මතට පතිත විය.

මොහොතක් නිසලව තිබූ නිවස පුරා කලබල හඬවල් ඇසෙන්නට වූයේ මිනිත්තු කිහිපයකට පසුව ය. වෙඩි හඬ එතරම් දුරක් යන්නට ඇතැයි ඈ නොසිතුවාක් මෙනි. නිශ්චලව පිඟන් ගඩොල් අතුල ගෙබිම මත හිඳගෙන සිටි ඇය පියවි සිහිය ලද්දේ උඩු මහල පුරා ඇසුණු කටහඬවල් හේතුවෙනි. එතරම් වෙලාවක් යන්නට මත්තෙන් ඔවුන් කාමරය තුළට ඒමට උත්සාහ කරනු ඇතැයි ඈ අනුමාන කළා ය. තමන්ට පියවර කිහිපයක් ඉදිරියෙන් රුධිරය ගලන විරාජ්ගේ නිසල සිරුර නොපෙනෙන සේ ඈ හිඳගත් වන ම පසෙකට හැරුණා ය.

"ඔයා වැරදි අම්මා කෙනෙක්ගේ බඩට ආවේ මගෙ පුතේ... මට සමාවෙන්න... වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ... ඔයාගේ පුංචි අපිව කවදාවත් අතාරින එකක් නෑ..."

ඈ කුස මත සුරත තබාගෙන මිමිණුවා ය. ගැඹුරු හුස්මක් ගත් ඈ තවත් කාණු තුනක් ඉතිරිව ඇති තුවක්කුවෙහි මුවවිට තම නළලත කෙළවරකට තෙරපවාගත්තා ය.

"මට සමාවෙන්න තාත්තේ..."

ඈ තම අවසන් වදන් කිහිපය මිමිණුවා ය. මීළඟට ඇසුණු හඬට ඒ වනවිට උඩු මහලට පැමිණ සිටි සියල්ලෝ ම හඬ ආ දෙස වටහාගනිමින් විරාජ්ගේ සහ අමායාගේ කාමරය වෙත දිව එන්නට වූහ.
.
.
.
.
පැය කිහිපයක් ම උකුල් පරිගණකයේ යමක් කියවමින් හුන් චේතනා, සිය ජංගම දුරකතනය අතට ගත්තා ය. අමායා නමින් WhatsApp පණිවිඩයක් සටහන්ව ඇති බැව් ඈ දුටුවා ය. වහා එම කෙටි පණිවිඩය ඈ විවෘත කළා ය.

"I'm so sorry..."

එහි වූයේ එපමණකි.

✍🏼 සකුනි හතරසිංහ

*ඇෆ්‍රොඩයිට් (Aphrodite) යනු පුරාණ ග්‍රීසියේ ලිංගිකත්වය, ආදරය සහ සුන්දරත්වයට අධිපති දෙවඟනයි.

සමාප්තයි.

Comments

Popular Posts