මැණික යැයි නුඹ කී පමාවට... 🎶

(කෙටිකතාව)

 

"අකුරු අස්සේ ආදරේ හොයන්නෙපා බං...."

ඔහු කීවේ උඹ කීමේ පාපයෙන් ඔහු හා උරණව පළිදරමින් සිටි මා හට ය. 

'මොන බොරුද? අකුරුවලින් හැදෙන වචන නැතුව කොහොමද ආදරයේ වාචික ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ....?'

මගේ හිතට ආවේම ඔය වාගේ දාර්ශනික තර්ක ය. ඒවා මුව තුළ ම ලොප් කරගත්තේ ඔහු හා නොබිනීමේ දැඩි අදිටනෙනි. 

"මැණික.... තාමත් තරහින්ද මා එක්ක....? ම්ම්ම්ම්....?"

යළිත් රැහැන් රහිත දුරකතනය ඔස්සේ ඇදී ආවේ ඔහුගේ ළයාන්විත ගැඹුරු සර ය. එය පෙර සේ ම නිවී තිබුණේ අඩු නොවූ ආලය තවරාගෙන ය. 

ඔහුගේ ම වදන්, ඔහුගේ ම පූර්විකාවන් සාවද්‍ය කරමින් මගේ හදේ නොදන්නා පතුළක ගැටී දෙනෙතින් උණු කඳුලු කැට දෙකක් කඩාවැටුණේ සිහින් ඉකියක් දෙතොලතරින් නික්මෙන විට ය. එය ඔහුගේ මීළඟ ස්වරයෙහි පෙර නොවූ විරූ කලබලකාරී ප්‍රේමයක් තැවරීය. 

"මැණික.... අඬනවද ඔය? 
කෝ ඉතිං.... 
හරි හරි.... ආයේ ඒ වචන කියන්නෑ.... පොරොන්දු වෙනවා.... 
හොඳ දරුවා වගේ මා එක්ක කතා කරන්නකෝ මැණික...."

ඒ සපථය මගේ අගුළු ලූ මුව විවර කරවීය. 

"අයියේ...."

ඉදින්, ඔහු, ඉසබෙල් අයියෙන්දේගේ වදන් මොනවට පසක් කරමින් සිටියේ ය. ගැහැණිය උත්තේජනය කළ හැක්කේ ස්පර්ශයෙන් නොව වදන්වලිනි. 

"මලට පෙළහර පාන බඹරුන්
  අඩුව නැතුවම ඉන්නවා
  උඹ වගේ නෑ කවි කරන්නට
  වදන් උන් ළඟ තියනවා
  හිනා ඔච්චම් කතා නිතරම
  වුණත් තනියක් මකනවා
  මැණික යැයි නුඹ කී පමාවට
  තවම හිත හිරි වැටෙනවා...
"*

ප්‍රියාදරය, ඔබ දැන් එය උගෙනගනිමින් හිඳින්නේ ය. ♥️ 

"....For women, the best aphrodisiacs are words. The G-spot is in the ears. He who looks for it below there is wasting his time….
-from Of Love and Shadows by Isabel Allende
(....වචන තමයි ගැහැණියක් කාමයෙන් මත් කරන්න පුළුවන් හොඳම උත්තේජකය. දෙසවන් තමා ඇගේ කාමෝද්දීපක ප්‍රදේශය. කවුරු හරි මිනිහෙක් ඒක ඇගේ ඉණට පහළින් හොයනවා නම්, ඒ මිනිහා කරන්නේ කාලය නාස්ති කිරීමක්....)
-ඉසබෙල් අයියන්දේගේ ආදරය සහ සෙවණළි කෘතියෙන්

✍🏼 සකුනි හතරසිංහ 

*පද- ශාලිකා දිසානායක
  හඬ- සොනාලි යසාරා
  තනු- තරිඳු දම්සර

Comments

Popular Posts