මම වෙස්සන්තර නොවෙම් ⭐️
(කෙටිකතාව)
ඇය ප්‍රියමනාප යුවතියකි. දැකුම්කලු රුවැත්තියක වූ ඇයට මනහර සිනහවක් සහ සිනාසෙන දෑසකුත්, දයාවත් හදවතකුත් හිමි ය. ඇය තමා වටා සිටි සියල්ලෝ ම සතුටින් තැබීමට උත්සාහ කළාය. ඈ හදුනාගෙන සිටි සියල්ලෝම ඇයව ප්‍රිය කළහ.
ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් තරුණයෙකි. උස් වූ දේහයකින් යුක්ත මනා වූ පෞරුෂයකින් හෙබියේ ය. මනා කොට නඩත්තු කරන රූපයක් හිමි ඔහු දක්ෂතාවලින් ද අනූන අයෙකු විය. ඔහුගේ පෙනුමත්, දක්ෂතාවයනුත් හේතුවෙන් ඔහු නිතැතින්ම කාන්තා අවධානයට සහ ආකර්ෂණයට පාත්‍ර විය. ඔහුගේ අතීතය පෙම් සබඳතාවලින් නම් අඩුවක් නොවී ය.
ඇයට, ඔහුව මුණගැසුනේ අහම්බෙනි. දැන හැඳුනුම්කම් මිත්‍රත්වයකටත්, මිත්‍රත්වය ප්‍රේමයකටත් පෙරලිණි. ඔහු එතෙක් තම ජීවිතයේ උන් අන් සැමට ම වඩා ඇයට ආදරය කළේ ය. ඇයගේ ප්‍රථම සහ එක ම ප්‍රේමය ඔහු ම විය. ඒ ප්‍රේමයට බාහිර බාධාවන් නොවී ය. දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ අනුමැතිය ද ඔවුන්ට හිමිවිය.
කාලය ගත විය......
ඔහුගේ සුපුරුදු දිවිය යළිත් ඉස්මතු විය. පෙර මෙන් ප්‍රේම සබඳතා ඇති කර නොගත්ත ද ඇය හැර ඔහු ඇසුරු කරන යුවතියන් බොහෝ ය. ඇතැමුන් ඇය පිළිබඳව පවා දත් අය වූහ. කාලය ගෙවා දමන්නට මෙන් ඔහු, ඔවුන් හා සබඳතා පැවැත්වීය.
කටන්-කට ගිය කටකතා ඇගේ සවනට ඒමට එතරම් කල් ගතනොවී ය. ඇය හඬමින් ඔහුගෙන් යැද්දා ය. වරද පිළිගැනිණි. සමාව යැද්දේ ය. සමාව ලද්දේ ය. ඔහු පොරොන්දු විය. එම පොරොන්දු වරින්-වර කඩ විය. එවැනි බොහෝ වාර ගණනකින් අනතුරුව ඇය නිහඬ වූවා ය. ඔවුන්ගේ සබඳතාවය පෙර සේ ම පැවතිය ද ඔහුගේ ක්‍රියාවන් හමුවේ ඇය මුණිවත රැක්කා ය. ඔහු ම වටහාගන්නා තෙක් ඉවසුවා ය.
ඔහුට ද කිසිදිනෙක ඒ කිසිවෙකු, ඈ තරම් වැදගත් නොවී ය. එනමුදු ඔහුගේ දිවි පැවත්ම වෙනස් වූයේ ද නැත.
සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව ඇය රැකියාවකට බැඳුණි. ඇය ඉතා ආසාවෙන් සහ අවංක හැඟීමෙන් යුතුව එහි නිරත විය.
ඇයගේ අංශ ප්‍රධානියා මහත්මා ගතිගුණවලින් හෙබි තරුණ, කඩවසම් අවිවාහකයෙකු විය. ඉතා කෙටි කලකින් ම ඇගේ චාම් විලාසිතා සහ සරල ගති පැවතුම් ප්‍රධානියාගේ සිත්ගත්තේ ය. ප්‍රධානියා කිහිපවරක් තම අදහස් ඇයට ඇඟවී ය.
ඇය කිසිමවිටෙක කිසිවෙකු හට තම ප්‍රේම සබඳතාවය වසන් කළේ නැත. අවසානයේ ප්‍රධානියා මහත්මයෙකු සේ තම අදහස් යටපත් කරගත්තේ ය. ඇයට කිසිඳු වෙනස්කමක් හෝ බලපෑමක් ද ප්‍රධානියා වෙතින් එල්ල නොවී ය.
ඇයගේ ආයතනයේ සේවය කළ තම මිතුරන්ගෙන් ඔහු මෙම පුවත ආරංචි කොට තිබුණ ද ඇගෙන්, එම අංශ ප්‍රධානියා හට කිසිඳු අනුබලයක් නොලැබෙන වග දත් හෙයින් නිහඬ විය. නමුත් මෙය ඔහුගේ හිත තදින් කැලඹීමට ලක් කළ කරුණක් බවට ක්‍රමයෙන් පත්විය.
දිනක් ආයතනයේ රාජකාරියක් සඳහා ඇයට සිය ප්‍රධානියා සමඟ ආයතනයෙන් බැහැර යාමට සිදුවිය. යළි ඒමට ප්‍රමාද වන නිසා ඇය කැටුව යාමට පැමිණීමට ඔහු පොරොන්දු විය.
නමුත් එදින ම ඔහුට තමන් ඇසුරු කළ යුවතියකගෙන් ඇරයුමක් ද විය. එය ද භාරගත් ඔහු, ඇය කැටුව යාමට කාලය ප්‍රමාණවත් බව ප්‍රත්‍යක්ෂ කරගත්තේ ය.
තරමක් ප්‍රමාද වුවත් අපේක්ෂිත කාලයට පෙර රාජකාරි අවසන් වූ හෙයින් ඈ, ඔහු එන තෙක් ආයතනයට වී බලාසිටියා ය. ඈ කිහිපවරක් ඇමතුව ද ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත ය. ඇගේ කාර්යාලයේ සියල්ලන් ම පිටව ගොස් ය. රාත්‍රී අටෙන් පසුව ගෙදර යාමට පොදු ප්‍රවාහන සේවයක් ද නොමැත. ඔහුට නොදන්වා යාමට ද සිත මැලි කරයි. සිය අංශ ප්‍රධානියා පමණක් තවමත් ලිපිගොනු පරීක්ෂා කරමින් සිටින බව ඈ දැනසිටියා ය.
ඇය සෙමෙන් කාර්යාලයෙන් පිටතට පැමිණ පිටත වූ අසුනකට බර වූවා ය.
"තාම බෝයිෆ්‍රෙන්ඩ් ආවේ නැද්ද..?"
ප්‍රධානියා ඇගෙන් අසද්දී ඇය තිගැස්සිණි.
"නෑ සර්... දැන් එයි."
"අටහමාරත් පහුවෙලානේ දරුවෝ... හැමෝම ගිහින් දැන්... කෝල් කරලා බලන්න..."
"එයාගේ ෆෝන් එක ඕෆ් වෙලාද කොහෙද සර්....."
"ඒ මොකද ඒ..? යාලුවෙක්ටවත් කතා කරලා බලන්න... ඔෆිස් එකේ වැඩකට හිරවෙලාද දන්නේ නෑනේ..."
ඇය ඔහුගේ යහලුවෙකුට අමතා ඔහු කාර්යාලයෙන් පිටව ගිය බව දැනගත්තා ය.
"මං එයා එනකන් ඉන්නම්... මේ රෑ ගෑණු ළමයෙක්ව තනියම ඉන්න ඇරලා යන්න බෑනේ..."
අංශ ප්‍රධානියා, ඇයට තරමක් ඈතින් වූ අසුනක අසුන් ගනිමින් කීවේ ය.
තවත් අඩ හෝරාවකටත් වැඩි කාලයක් ගෙවී ගියේ ය. ඔහු එන පාටක් නම් නැත. දුරකථනය ද දිගින් දිගට ම ක්‍රියාවිරහිත ය. අවසානයේ ඇය, තම ප්‍රධානියා සමඟ පිටව යන්නට තීරණය කළා ය.
.
.
.
.
මෝටර්රථය ආයතනයේ ගේට්ටුව අසල නැවතූ ඔහු මඳ වෙලාවක් බලා සිටියේ ය. වාහනය දුටු මුරකරු, ඔහු වෙත ආයේ ය. මුරකරු, ඔහුව හඳුනයි. ඒ ඈ කැටුව යාමට ඔහු ඇතැම්විට පැමිණෙන හෙයිනි.
"මිස් හුඟක් වෙලා බලන් ඉඳලා ලොකු සර් එක්ක ගියා සර්... දැන් පැය භාගයක් විතර ඇති ගිහින්..."
"මං එනකන් ඉන්න කිව්වනේ..."
මුරකරු ඉදිරියේ දී ම ඔහුට කියැවිණි.
"මිස් කිව්වා සර්ගේ ෆෝන් එක ඕෆ් වෙලාය කියලා...."
ඔහු වහා තම ජංගම දුරකථනය අතට ගෙන බැලුවේ ය. අනෙක් යුවතිය හමුවීමට පෙර තමා එය අක්‍රිය කළ බවත්, මෙතෙක් එය සක්‍රිය නොකළ බවත් එවෙලෙහි සිහි විය. බර වූ හදින් ම ඔහු, ඇයව ඇමතී ය.
"වැඩ කලින් ඉවර උනා... සෑහෙන වෙලාවක් බලන් ඉඳලා මං ගෙදර ආවා අයියේ..."
"සොරි මැණික ෆෝන් එක ඕෆ් වෙලා. මං වැඩ වගේක හිටියෙ..."
"එකට කමක් නෑ අයියේ... සර් මාව ගෙදර ඇරලියා... ඔයා බයවෙන්නෙපා. මං ගෙදර ආවනේ... ඔයත් දැන් ගෙදර යන්න... ගිහින් කියන්න. හොඳද..?"
ඔහුට ප්‍රථමවරට වරදකාරී හැඟීමක් ඇති විය. වෙනත් යුවතියක නිසා තමන්ට ඇයව මඟහැරී ඇත. නමුදු ඇය ඒ වගක් වදනකින්වත් නොඅඟවන්නී ය. එය සිත සනසන කරුණක් නොව සිත බියගන්නා කරුණකි.
.
.
.
.
පසුදින ඉරු දිනක් විය. ඔහු, ඇය හමුවීමට ඇගේ නිවසට පැමිණෙන විට ඇය, සිය නිවස ඉදිරිපිට බංකුවක අසුන්ගෙන පොතක් කියවමින් සිටියා ය. ඔහුගේ දසුනෙන් සුපුරුදු ළයාන්විත සිනාවෙන් ම ඇගේ ලවන් සැරසිණි.
"මට ඔයා එක්ක කතා කරන්න ඕනේ මැණික..."
"කියන්න අයියේ..."
අතැති පොත වසා දමමින් සිනහව පිරි මුවින් ම ඇය කීවා ය.
"මං කැමති නෑ ඔයාව කාත් එක්කවත් බෙදාගන්න... ඔයා මගේ... මට ඔයාව ඕනේ..."
එවදන් ඍජු ය. නමුදු එහි සසැලීමක් විය. ඔහුගේ වත අඳුරු ය. රතු වූ දෑස්වල වූයේ නොනිදා පහන් කළ රැයක නටබුන් ය. වසර ගණනාවක් පුරා ඇයගේ හද පෙලූ ගින්දර අද ඔහුට ද උරුමව ඇති බැව් එම වතින් ඈ අවබෝධ කරගත්තා ය.
"හ්ම්ම්ම්... ඉතිං..?"
ඇය සැනසිල්ලේ විමසීය. ඔහු නොසන්සුන් ලෙස තම අතැඟිලි කොණ්ඩය මතින් යැව්වේ ය.
"ඔයාගේ ලොක්කා ඔයාට කැමතියි. ඒක ඔයා දන්නවනේ... මං ඌට ඔයාව දෙන්නේ නම් නෑ. කාටවත්ම දෙන්නේ නෑ..."
ඔහුගේ ස්වරය ගැඹුරු වුව ද මුහුණෙහි වූ හැඟීම් තම ප්‍රියතම සෙල්ලම් බඩුවට රණ්ඩු කරගන්නා කුඩා දරුවෙකුගේ මෙන් විය.
ඇය සිනහවක් පෑවා ය. සිය නිදහස් අතින් ඔහුගේ අත අල්වාගත්තා ය.
"සර් මට කැමති උනාට මං සර්ට කැමති නෑනේ අයියේ. ඒක සර්ත් දන්නවා... අනික ඉතිං ඔයා මාආ සර් එක්ක දකින්න අකමැතියි වගේම මාත් කැමති නෑ ඔයා කෙල්ලෝ එක්ක ඕනේවට වඩා යාලුකම් තියාගෙන ඉන්නවට... මොකද මං දන්නවා ඒවා යාලුකමට එහා ගිය දේවල් කියලා. ඒවා ගැන එක එක අය කියද්දි මටත් ඔයාට දැන් රිදෙනවා වගේම රිදෙනවා අයියේ... ඊටත් වඩා මට රිදුනා... මේ කාලයට මං කොච්චර අඬන්න ඇද්ද කියලා ඔයාට හිතන්නවත් බෑ... ඔයා වරදක් කළාම ඒක පිළිගන්නවා තමයි. ඒත් ඔයා ආයෙ ආයෙම ඒකම කරනවා. හදාගන්නේ නෑනේ..."
ඇගේ වදන් මෘදු වුවත් ඒ අදහස් තුළ එතෙක් නොපැවති දැඩි බවක් ද විය. ඇය අල්වාගත් ඔහුගේ අත නිදහස් කොට යළිත් තම අත පොත මතින් තබාගත්තා ය.
ඇගේ ස්පර්ශය ලිහීයාම පිළිබඳව ඔහු බියගත්තේ ය. හද තුළ හෙණ දහසක් පුපුරන්නා සේ දැණිනි. පොත මත වූ ඇගේ නිදහස් සුරත ඔහු තම දෝතින් ම අල්වාගත්තේ ය.
"ඔයා මාව අතාරින්නද හදන්නේ මැණික..?"
ඔහුගේ ස්වරය වෙව්ලීය.
"ඔයාට මාව තාමත් ඕනෙද අයියේ..?"
"ඔව්... හැමදාටම ඕනේ... කියන්න අතාරිනවද මාව..?"
"නෑ... ඒත් ආයේ අවස්ථාවක් නෑ..."
"නෑ... ආයේ එහෙම කරන්නෑ... මට ඔයාව මැරි කරන්න ඕනේ..."
ඈ දෑස දල්වා ඔහු දෙස බැලීය. වදනින් නොකියූ තවත් බොහෝ හැඟීම් ඒ තුළ විනිවිද දැකීමට ඔහුට හැකි විය.
"ඔයා දන්නවා... මට ඔයා නැතිව බෑ..."
ඔහු , ඇගේ ඒ දෑසට මිමිණුවේය.
මම යසෝදරා නොවෙම්
වලට යන්නට ඔබව අත්හල...
ඔබ රාවණ නොවේ
සීතාවන් මැද බඹසර රකින...
ඔබ ද්‍රෞපදී නොවේ
පාණ්ඩවයන් හා බෙදාගන්නට...
මම වෙස්සන්තර නොවෙම්
ඔබව දන්දී බලා ඉන්නට...
✍🏼 සකුනි හතරසිංහ
(2022.09.28)




Comments
Post a Comment