දෙමගක 🌈

(කෙටි නවකතාව - 08 කොටස)

-මිහින්දි-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.) 

 

 

 

 

ජීවිතේ දිහා ආයේ හැරිලා බලන්න අවස්ථාවක් එයි කියලා මං හිතලා තිබ්බෙම නෑ. ඒත් අද එහෙම කරද්දි කියාගන්න නොතේරෙන හැඟීමක් දැනෙනවා.

මගේ ජීවිතේ තිබ්බේ හරිම සීමාකාරී වටපිටාවක. ගමේ ඉඳන් ටවුන් එකට එන්නත් බස් එකේ පැයකට වඩා එන්න ඕනේ. ටවුන් එකට එන්න බස් එක ගන්න කිලෝමීටර් දෙකහමාරක් විතර පයින් යන්න ඕනේ. අද තාර දාලා තියන ඒ පාරවල්වල එදා අපි ඒ ටික දුර ආවෙත් දූවිලි කාගෙන. වැස්ස දවස්වලට නම් මඩ වලවල් උඩින් පැන පැන. අපේ ගෙදරට කරන්ට් ගත්තේ මං ඒලෙවල් කරන කාලේ. දැන් නම් පැයකට කරන්ට් යනවා කියන්නෙත් හුස්ම හිරවෙනවා වගේ වැඩක් අපිට. එදා බස් අල්ලන්න දුවපු මම අද අපේම වාහනයක යනවා. ගමේ කොරටුවලින් එලවළු කඩපු, කලාතුරකින් ටවුමේ සතිපොළ පුරා කකුල් රිදෙනකන් එලවළු ගන්න ඇවිදපු මං අද සුපර් මාර්කට් එකෙන් එලවළු ගන්නේ. අණ්ඩ දදා එකම ඇඳුම අවුරුදු ගාණක් ඇන්ද මං මාස තුන, හතරකට වතාවත් අලුත් ඇඳුම් ගන්නවා. කාලය මාරම මාරයි. එදා හිටපු මට වඩා වෙනස්ම කෙනෙක්ව මගේ ඉස්සරහම මවලා තියනවා.

මගේ හීනේ වුණේ ඉංජිනියර් කෙනෙක් වෙන එක. අපේ ගමේ ඉස්කෝලේ සයන්ස් ක්ලාසස් තිබ්බේ නැති නිසා අර කිලෝමීටර් දෙකහමාරක් ඈතින් තිබ්බ හංදියේ මහ විදුහලට ඒලෙවල් කරන්න ගියේ මැත්ස් කරන්න තිබ්බ ආසාවට. අපේ ගමේ ඉස්කෝලේ ඕලෙවල් හොඳම රිසල්ට්ස් තිබ්බේ මට. ටවුමේ ඉස්කෝලෙකට යන්න ඒ රිසල්ට්ස් ඇති වුණත් අම්මායි, තාත්තායි මාව ඒ තරම් දුර යවන්න කැමති වුණේ නෑ. අම්මා මාව කඩේටවත් හදිසියකට තනියෙන් යැව්වේ නෑ. ලොකු මල්ලි හරි දෙවනි මල්ලි හරි මා එක්ක යවනවා කොහේ යැව්වත්. කුඹුරු වැඩ, හේන් වැඩ එක්ක තාත්තාට මගේ පස්සෙන් එන්න බැරි වුණාට අම්මා නම් මාවවත්, නංගිලා දෙන්නාවත් තනියම කොහේවත් යැව්වෙම නෑ. හැමවෙලේම අපි තුන්දෙනා පස්සෙන් මල්ලිලා හරි, අම්මා හරි හිටියා.

"ඇහැට කනට පේන කෙල්ලෙක්ව තනියම එහෙම යවලා මට නිදහසේ හුස්මක් ගන්න බෑ බං..."

ඒක ගැන කවුරු හරි ඇහුවම අම්මා කිව්වේ එහෙම. ඉස්කෝලෙදිත් තාත්තාගේ අයියාගේ පොඩිම පුතාව අම්මා සිකියුරිටි පෝස්ට් එකට පත් කරලා හිටියේ ලොකු මල්ලි මට වඩා අවුරුදු දෙකක් බාල නිසා. මගේ පන්තියෙම හිටිය ලොකුතාත්තාගේ පුතා, අපේ අම්මා පවරපු රාජකාරිය ඕනෙවටත් හිතට ගත්තු එකෙක්. ඒකෙන් වුණේ මං හැමඅතින්ම කොටුවුණ එක.

ඒලෙවල්වලට ටවුමේ ටියුෂන් යන්න හීන මැව්වට ඒක හරි ගියෙත් නැත්තේ හංදියේ පන්සලේ ඒ වෙද්දි නොමිලේ හැම සබ්ජෙක්ට් එකකටම වගේ ක්ලාස් තිබ්බ නිසා. සල්ලි දීලා ටවුමේ ටියුෂන්වලට යනවට වඩා නොමිලේ ඒකට යන එක හොඳයි කියලා මමම තීරණය කළේ ළමයි හයදෙනෙක්ගේ බර තාත්තාට ඇත්තටම දරන්න අමාරුයි කියලා පවුලේ වැඩිමලා විදියට මට එතකොටත් තේරුණු නිසා. සමහර කන්නවල කුඹුරු පාලු වුණාම අපි හරිම අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්තේ. තාත්තායි, අම්මායි ගොඩක්ම උත්සාහ කළේ ගෙවල් දොරවල් පිළියෙළ කරගන්නවටත් වඩා අපි හයදෙනාට හොඳට උගන්නන්න. එයාලා විශ්වාස කළේ අපිට ගොඩයන්න තියන එකම පාර ඉගෙනීම කියලා. ඒ නිසා එයාලා එයාලට පුලුවන් උපරිමය කළා අපේ ඉගෙනීම වෙනුවෙන්.

හිතපු විදියට ඉංජිනේරු හීනෙට යන්න මට බැරිවුණා. ඒත් කොළඹ කැම්පස් එකකට යන්න මට රිසල්ට්ස් තිබ්බා. සෙකන්ඩ් ශයි එකක් කරන්න මං නොහිතුවේ ලොකු මල්ලිත් ඒ වෙද්දි ඒලෙවල් කරන නිසා. දෙන්නෙක්ගේ බර දරන්න අම්මලාට අමාරු නිසා මං මගේ රිසල්ට්ස්වලට යන්න පුලුවන් හොඳම ඩිග්‍රී කෝර්ස් එකට ඇප්ලයි කළා. මහපොළ එක්ක මොනා හරි ගැටයක් ගහගෙන, හොස්ටල් ඉඳලා ඉගෙනගන්න බලාගෙන මං කැම්පස් ආවේ.

ඒත් ආව ගමන් මං බයවුණේ අපේ ඩිග්‍රී කෝර්ස් තිබ්බේ ඉංග්ලිෂ් මීඩියම් එකෙන් නිසා. මට බැරිම දේ ඉංග්ලිෂ්. බැරිම නෙවේ ඇත්තම කිව්වොත් මට ඉගෙනගන්න ලැබුණෙම නැති දේ. ගමේ ඉස්කෝලේ අපිට ඉංග්ලිෂ් ටීචර් කෙනෙක් හිටියේ නෑ ඕලෙවල් වෙනකන්. යන්තම් පන්සලේ ඉංග්ලිෂ් ක්ලාස් එකට පින් සිද්ධ වෙන්න C එකක් ගොඩදාගත්තා. ඒලෙවල් කාලේ ඉංග්ලිෂ් කියලා එකක් තිබ්බා කියලවත් දන්නෑ. ඔහේ ගිහින් පේපර් එක ලිව්වා. ඒකට ආව රිසල්ට් එක හිතාගන්න පුලුවන්නේ ඔයාලට... කවුරුවත් කිව්වේ නෑ කැම්පස් ගියාම ඉංග්ලිෂ් ඕනේ කියලා. ඒ නිසා මට දැනුනේ බයක්. ඒ බය නැතිවුණේ අමන්දා හින්දා.

මං හුරු නැති නිසා වැඩිය කා එක්කවත් කතා නොකරන කෙල්ලෙක්. ඒ නිසා හැමෝම මාව වර්ග කළේ ආඩම්බර කෙල්ලෙක් කියලා. ඒත් අමන්දා ඇත්තටම ආඩම්බර කෙල්ලෙක්. එයා හරිම ලස්සනයි. බැච් එකේ කොල්ලෝ එයා දිහා බලාගෙන ඉන්නවා මං සෑහෙන්න දැකලා තියනවා. ඒත් එයාගේ අයියලා දෙන්නම ෆෝර්ත් ඉයර් එකේ නිසා කවුරුවත් එයාගෙන් අහන්න ගියේ නෑ. පස්සේ මං දැනගත්තේ ඒ එක්කෙනෙක් එයාගෙම අයියා, අනික් එක්කෙනා එයාගේ මස්සිනා කියලා. ඒ වගේම අමන්දා ඒ වෙද්දිත් එයාගේ මස්සිනා එක්ක යාලුයි කියලා.

මොන හේතුවක් නිසාද මන්දා අමන්දා අනික් කෙල්ලන්ට වගේ මට ලොකු ලයින් දුන්නෑ. දැක්කම හොඳට හිනාවෙලා කතා කළා. මං හිතුවා එයාගේ ලස්සන නිසා එයා ලොකු ෆැමිලි එකක කියලා. ඒත් පස්සේ මං දැනගත්තේ එයත් සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලක කෙල්ලෙක් කියලා. මං කන්නේ කැම්පස් එකේ කැන්ටින් එකෙන් කියලා දැනගත්තට පස්සේ අමන්දා කැමැත්තෙන්ම මට බත් එකක් ගේන්න ගත්තා. උදේටයි, දවල්ටයි දෙකටම එයා මට කෑම ගෙනාවා. අපිට හොස්ටල් එකේ උයන්න තහනම්. ඒ නිසා කැන්ටින් එකෙන් කන්න වුණේ. ඒත් ඒ වියදමත් අමන්දා නිසා මට අඩුවුණ එක ඇත්තටම සහනයක් වුණා. පස්සෙන් පහු අමන්දා අනික් අය එක්ක ටිකක් ෆිට් වුණාට ලෙක්චර්ස් ගියේ ආවේ, කෑවේ, පාඩම් කළේ, නෝට්ස් හැදුවේ මගෙත් එක්ක විතරයි. මගේ රූම් එකේ අනික් තුන්දෙනාම වෙන ෆැකල්ටිවල අය නිසා මමත් අමන්දා එක්ක කැමැත්තෙන්ම හිටියේ එයා මට හොඳ යාලුවෙක් වුණ නිසා. අනික මට බැරි ඉංග්ලිෂ් හදාගන්න මට උදව් කළේ එයා.

අමන්දාගේ අයියා නෙහාර වගේම, අමන්දාගේ මස්සිනා රමිත් අයියත් අපිත් එක්ක කන්න, තේ බොන්න එහෙම සමහර දාට සෙට් වුණා. අයියලා දෙන්නා එක්ක එකටම හිටපු ශෙනායා අක්කාත් ඒ වෙලාවට ආවා. ඒ තුන්දෙනාත් අපේ ඩිග්‍රී කෝර්ස් එකම කරපු නිසා අපිට අමාරු තැන් එහෙම එයාලා කියලා දුන්නා. අයියලා දෙන්නගේ ඉංග්ලිෂ් නොලේජ් එක සෑහෙන හොඳ මට්ටමක තිබ්බේ. ඒ නිසා අමන්දා මට ඉංග්ලිෂ් උගන්නන වැඩේ අයියලා දෙන්නට භාරදුන්නා. රමිත් අයියාටත් වඩා ගොඩක් වෙලාවට නෙහාර අයියා තමා මගේ ඉංග්‍රීසි සර් වුණේ.

ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකට පාඩම් කරන්න අමන්දා මාව ස්ටඩී ලීව් එක දුන්න දවසෙම එයාලගේ ගෙදර එක්කන් ගියා. කොළඹම ගෙදරක් වුණාට අමන්දලා හිටපු හරිය හරි නිස්කලංකයි. ගෙදර ඉඩකඩත් තිබ්බා. අයියලා දෙන්නත් ෆයිනල් ඉයර් නිසා මහන්සිවෙලා පාඩම් කළා. ඒ දෙන්නා කොහොමත් ස්ටඩීස්වලට සෑහෙන අවධානය දීපු දෙන්නෙක්. රමිත් අයියා නම් ඒ වෙද්දිත් බැච් ෆස්ට් කියලා ශුවර් කරන්න පුලුවන් මට්ටමක හිටියේ. නෙහාර අයියාත් කැම්පස් එකේ ක්‍රිකට් ටීම් කැප්ටන් වුණාට ස්ටඩීස් මිස් කරගත්තේ නෑ. රමිත් අයියාත් කැම්පස් එකේ ක්‍රිකට් ටීම් එකට ප්ලේ කළා. ශෙනායා අක්කාත් එයාලා දෙන්නා එක්ක කරට කර හිටියා. අමන්දාත් අයියලා දෙන්නා වගේම දක්ෂ වුණාට එයා ආස වුණේ චැරිටි වැඩවලට. කැම්පස් එකේ ඒවට සම්බන්ධ සොසයිටි එකක අමන්දා සෑහෙන ඇක්ටිව් වෙලා වැඩ කළා. ඉංග්ලිෂ් වලින් විතරක් කතා කරන, පොෂ් විදියට අඳින පළඳින ලංකාවේ ලොකු ලොකු ඉස්කෝලවලින් කැම්පස් ආපු ළමයි හිටපු ඒ ක්ලබ්ස් වලට යන්න මට හිතුනේ නෑ. අමන්දා වගේම අයියලා දෙන්නත් ඒවායේ සාමාජිකයෝ වුණාට අයියලා දෙන්නා නම් අමන්දා තරම් ඒකේ ඇක්ටිව් වුණේ නෑ. අමන්දා ඒවට වැඩි අවධානයක් දෙනවට අයියලා කැමති වුණේ නැතත් අමන්දා ආසාවෙන් කරන ඒ දේවල්වලට එයාලා එපා කිව්වෙත් නෑ. අමන්දා මීට වඩා පොඩ්ඩක් තව මහන්සි වුණා නම් එයාට හොඳම රිසල්ට් එකකට යන්න තිබ්බා කියලා පවා මට හිතුනා.

පාඩම් කරන්න අමන්දලාගේ ගෙදර හිටපු නිසා අමාරු පාඩම් කුප්පි දාලා අයියලා දෙන්නා කියලා දුන්නා. අයියලා දෙන්නා ගොඩක් වෙලාවට අයියාලාගේ රූම් එකේම පාඩම් කරපු නිසා මායි, අමන්දායි උඩ සාලේ පාඩම් කළා. සමහර වෙලාවට බැල්කනි එකේ හරි, මිදුලේ අඹ ගහ යට බංකුවලට වෙලා හරි අපි පාඩම් කළා. අමන්දාගේ අම්මා අපිට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක්ම දුන්නා. අම්මාත්, අමන්දා වගේම ලස්සනයි. අමන්දාගේ අප්පච්චිත් සෑහෙන උස, උසට ගැලපෙන මහතක් තිබ්බ මාර පර්සනැලිටි එකක් තිබ්බ කෙනෙක්. ඒක නෙහාර අයියාට හොඳටම පිහිටලා තිබ්බා. රමිත් අයියාත් මාර හැන්ඩ්සම්. කැම්පස් එකේ කෙල්ලෝ ඒ දෙන්නට සෑහෙන්න ලයින් දැම්මා. ඒත් අයියලා දෙන්නා එහෙම සෙල්ලක්කාර කොල්ලෝ දෙන්නෙක් නෙවේ. වැඩිය කතාබහක් නැතත් අමන්දා තරම්ම ආඩම්බරකමක් අයියලා දෙන්නාගේ තිබ්බේ නෑ.

ස්ටඩී ලීව් එකේ වගේම එක්සෑම් කාලෙත් සමහර දාට අයියලා දෙන්නා අමන්දා එක්ක ඉව්වා. මාත් උදව් කළා. ඒ ගෙදර ගෑනු-පිරිමි කියලා බෙදපු වැඩ තිබ්බේ නෑ. අමන්දාගේ අම්මායි, අප්පච්චියි දෙන්නම රස්සා කරන අය. ඒ නිසා හැමදේම හැමෝම පුලුවන් විදියට කළා. උයන එක, රෙදි හෝදන සහ නවන එක, අතු-පතු ගාලා අස් කරන එක, මිදුල අතුගාන එක විතරක් නෙවේ අමන්දාගේ අම්මා ලස්සනට හදලා තියන මිදුලේ මල්වලට වතුර දාන එක, සාත්තු කරන එක පවා අමන්දායි, අම්මායි වගේම අමන්දාගේ අප්පච්චියි, අයියලා දෙන්නයිත් කළා. ෆැකල්ටි එකේ සෑහෙන තත්ත්වයක් තියන් හිටපු අයියලා දෙන්නා මෙහෙම වැඩ කරනවා දැක්කම මට ඇත්තටම පුදුමත් හිතුනා. අපේ තාත්තාවත්, මල්ලිලාවත් කවදාවත් ඉවුම්-පිහුම් කරනවා මං දැකලා නෑ. අපේ ගෙවල්වල ගෙදර වැඩ කළේ ගෑනු උදවිය විතරයි. ඒ නිසා මට ඒක අමුතුම දෙයක් වගේ දැනුනේ. ඒත් ඒකට මං හරිම ආසා වුණා.

මගේ පවුල තරම් ලොකු නැතත් අමන්දලාගේ පවුලේ මාර එකමුතුවක් තිබ්බා. අයියලා දෙන්නාත් කොච්චර කරදඬු උස් මහත් වුණු කොල්ලෝ වුණත් අමන්දාගේ අම්මායි, අප්පච්චියි කියන දේකට උඩින් ගියේ නෑ. අමන්දායි, නෙහාර අයියායි රණ්ඩු වෙද්දි වුණත් අමන්දාගේ අප්පච්චි හයියෙන් කතා කළත් ඒ දෙන්නා රණ්ඩුව නවත්තගන්නවා. ඒත් අනික් වෙලාවට විහිලු කරලා හිනාවෙලා ඉන්නවා යාලුවො වගේ ඒ හැමෝම.

ෆස්ට් සෙමෙස්ටර් එකේ අන්තිම පේපර් එකට දවස් දෙකකට කලින් මං උඩ සාලේ පාඩම් කර කර ඉද්දි නෙහාර අයියා මං ඉන්න තැනට ආවා. එවෙලේ අමන්දායි, රමිත් අයියායි පහළ කුස්සියේ වැඩක හිටියේ. ඒ වෙද්දි ගෙදරින් එයාලගේ අෆෙයාර් එක දන්නැති නිසා ඒ දෙන්නට එහෙම කතාබහ කරලා ඉන්න හම්බෙන්නේ අම්මායි, අප්පච්චියි එන්න කලින් විතරයි. ඒකයි මං එයාලට බාධා නොකර උඩට ආවේ. ඊට කලින් දවසේ අයියලා දෙන්නට එක්සෑම් ඉවරවුණු නිසා ඒ දෙන්නා හිටියේ අපිට වඩා නිදහසේ.

"පාඩම් කරනවද මිහී..?"

නෙහාර අයියා ඇහුවේ මගේ ඉස්සරහින් පුටුවක් ඇදගෙන ඉඳගන්න ගමන්. අමන්දා වගේම නෙහාර අයියාත් මට කතා කළේ මිහී කියලා. රමිත් අයියා නම් මට නංගි කියලමයි මුල ඉඳන්ම කතා කළේ. නෙහාර අයියා අහපු ප්‍රශ්නෙට මං හිනාවෙලා ඔලුව වැනුවා.

"මට මිහී එක්ක දෙයක් කතා කරන්න තියනවා..."

නෙහාර අයියා එහෙම කිව්වම මං හිතුවා අමන්දා ගැන දෙයක් වෙන්නැති කියලා.

"කියන්න අයියේ..."

"මං මේක මිහීට ටික කාලෙක ඉඳන් කියන්න හිටියේ. ටික කාලෙක ඉඳන් කියන්නේ මිහී අපේ එකීගේ යාලුවා උන කාලේ ඉඳන්... කෙලින්ම කියන්නම්කෝ... මගේ හිතේ මිහී ගැන අදහසක් තියනවා... ඒ කියන්නේ මං මිහීට ආදරෙයි... මට ඔයාව මැරි කරන්න ඕනේ මිහී. හැබැයි අද හෙටක නෙවේ... අපි ඉගෙනගෙන ඉවර කරලා තැනකට ආවට පස්සේ... එක්සෑම් අස්සේ මිහීගේ හිතට බරක් දෙන්න ඕනේ නැති නිසයි මෙච්චර දවසක් චාන්සස් තිබිලත් කිව්වේ නැත්තේ... ඒත් මිහී අනිද්දට එක්සෑම් ලියලා එහෙමම ගෙදර යනවා කිව්ව නිසා අදම කියන්න හිතුවා..."

නෙහාර අයියා කියපු දේවල්වලට මට පුදුම හිතුනා. බැච් එකේ හැමෝම වගේ කිව්වේ බැච් එකේ ඉන්න ලස්සනම කෙල්ලෝ දෙන්නා මායි, අමන්දායි කියලා. අමන්දා තරම් මං ලස්සනද කියන්න මං දන්නෑ. ඒත් කැම්පස් එකේදි මගෙන් ගොඩක් අය අහලා තියනවා. ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි. අමන්දා කොච්චර ලස්සන වුණත් එයාගෙයි, රමිත් අයියාගෙයි අෆෙයාර් එක මුළු කැම්පස් එකම දැනගෙන හිටපු නිසා කොල්ලෝ එයාගෙන් අහන්න ආවේ නෑ. ඒත් එහෙම බාධාවක් නොතිබ්බ මගෙන් කීපදෙනෙක්ම ඇහුවා. ඒ හැමඑකක්ම මං ප්‍රතික්ෂේප කළේ කොල්ලෙක් එක්ක යාලුවෙනවට වඩා අරමුණක් මට තිබ්බ නිසා. ඒත් නෙහාර අයියා, මගේ දිහා කෙලින් බලාගෙන මට ආදරෙයි කිව්වම නම් මට වෙනදා අනික් කොල්ලන්ට වගේ ගත් කටටම කැමති නෑ කියලා එයාට කියන්න හිතුනේ නෑ.

"ඇත්තම මේක ලව් ඇට් ෆස්ට් සයිට් වගේ එකක්... ඔයාව මුලින්ම දැක්ක වෙලේ මං රමියට ඔයාව පෙන්නලා කිව්වා ඒ ලස්සන කෙල්ලව දැක්කම නම් මගේ හිත ගැස්සුණා බං කියලා... රමියා ඒකයි ශේප් එකේ අපේ එකීට ඔයා හොඳ යාලුවෙක් කියලා හගිස්සලා ඔයා එක්ක සෙට් කෙරෙව්වේ... ඒක හිතුවටත් වඩා හොඳටම උනා..."

නෙහාර අයියා ආයෙම කිව්වා. මාව දැක්ක ගමන්..? මට පුදුමයි තාමත්.

"අයියේ මං... මං..."

මට දෙන්න උත්තරයක් නැතුව මං වචන අස්සේ ගොලු වුණා.

"හදිසියක් නෑ මිහී... ඔයා හිමින් හිතලා මට උත්තරයක් දෙන්න... ඒත් ගොඩක් කල් ගන්නෙපා ප්ලීස්. මට එච්චර ලොකු ඉවසීමක් නම් නෑ... මාසයක් ඇති නේද..?"

නෙහාර අයියා ඇහුවා. මං ඔලුව හෙලෙව්වේ හා කියන්න.

"එහෙනම් දැන් මේවා අමතක කරලා දාලා පාඩම් කරන්න... එක්සෑම් ඉවරවෙලා ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ කල්පනා කරලා බලලා කියන්න මට..."

නෙහාර අයියා පුටුවෙන් නැගිට්ටා.

"මිහී... මේක දැන්ම අපේ නංගිට කියන්නෙපා... මං එයාට කියන්නම්... රමියා නම් දන්නවා කොහොමත්... ඌ දැනුත් මට ඔයා එක්ක කතා කරන්න චාන්ස් එක අරන් දෙන්න නිසයි අපේ එකී එක්ක වළං හෝදන්න ගියේ... ඔයාගේ උත්තරෙන් පස්සේ මමම නංගිට කියන්නම්..."

මං ඔලුව හෙලෙව්වා. නෙහාර අයියා හිනාවෙලා ගියා. එයා කොච්චර කිව්වත් එදා මට හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න නම් සෑහෙන අමාරුවුණා. ඒක තේරිලාද මන්දා මං එහෙන් යනකන් නෙහාර අයියා වැඩිය මගේ ඉස්සරහට ආවේ නෑ.

ගෙදර ගිහින් මං කළේම නෙහාර අයියා ගැන හිතපු එක. ඒක මට හීනයක් වගේ. මගේ හිතේ කොහෙන්දෝ මන්දා තැනකින් නෙහාර අයියාගේ පැත්තට හිත ඇදෙන්න ගත්තා. නෙහාර අයියා ගාව මගේ ෆෝන් නම්බර් එක තිබිලත් එයා මට මැසේජ්, කෝල් කර කර වදදුන්නෑ. නෙහාර අයියා හැන්ඩ්සම්. උසයි. ගොඩාක් මහත නැති වුණාට ස්පෝර්ට්ස් කරලා හදාගත්ත ඇඟක් තිබ්බා. අර රිතික් රෝෂන්ගේ ඇඟ වගේම නූනට ටිකක් ඒ වගේ. ටිකක් ක්‍රේල් අකීකරු කොණ්ඩයක් තිබ්බේ. රමිත් අයියාගේ වගේ නෙවේ දඟ හිනාවක් තිබ්බේ. රමිත් අයියාට තිබ්බේ හරිම අහංකාර හිනාවක්. පාඩම් කරන්න ගිහින් ඉද්දි සමහර වෙලාවට අයියලා දෙන්නා බැල්කනියට වෙලා හොරෙන් සිගරට් බොනවා මං දැක්කා. ඒ ඇරෙන්න යන්තම් ඩ්‍රින්ක්ස් ගන්නවා කියලත් දැනගෙන හිටියා. අමන්දා කිව්ව විදියට නම් එයාලා දෙන්නම කණ සාක්කුවේ වැටෙන්න බොන්නෑලු අම්මටයි, නැන්දටයි බය නිසා. ඒ සේරටම වඩා නෙහාර අයියා හරිම ඩීසන්ට්. මං දන්න කියන සීමිත පිරිමි අතරින් නෙහාර අයියයි, රමිත් අයියයි වගේම අමන්දාගේ අප්පච්චිගෙත් මං දැක්ක වැදගත්ම දේවල් ටිකක් තිබ්බා. එයාලා කෙයාරින්. හරිම වගකීම් සහගතයි. ඒ වගේම කාට වුණත් ගෞරවනීයයි. කලාතුරකින් කේන්ති ගත්තට ගොඩක් පිරිමින්ට නැති තරම් ඉවසීමක් මං එයාලගෙන් දැක්කා. අපේ තාත්‍තලා, මල්ලිලා ගිරිය පුප්පගෙන කෑගහන සමහර දේවල් එයාලා හරිම ඉවසීමෙන් දරාගත්තා. අයියලා දෙන්නා කවදාවත් කෙල්ලෙක්ට කෑල්ල, බඩුව වගේ වචන අපි ඉස්සරහා යූස් කළේ නෑ. කුණුහරප නම් කවදාවත්ම නෑ.

සේරටම වඩා ඒ තුන්දෙනාම පවුලට හරිම ලැදියි. ඒක මං පිරිමින්ගෙන් ඒ තරම් දැක්කාමයි. රමිත් අයියාගේ අම්මලාව මං ඒ වෙනකන් දැකලා නොතිබ්බත් මට තේරුණා එයාත් එයාගේ පවුලට හරිම සමීපයි කියලා. ඒ වගේම අයියලා දෙන්නම පුදුම තරම් කීකරුයි. අමන්දාගේ අප්පච්චි බනිද්දි ඒ දෙන්නා එකට එක කියාගෙන යන්නෑ. වැරැද්දක් කිව්වම රණ්ඩු කරන්නෑ. මුරණ්ඩු කොල්ලෝ දෙන්නෙක් නෙවේ. එහෙමයි කියලා ගෑනු ටයිප් කොල්ලොත් නෙවේ. ගෙදර වැඩ කරන්න වුණත් කිසිම පැකිලීමක් තිබ්බේ නෑ එයාලගේ. මං ඒ දේවල්වලට පුදුම විදියට ආස කළා. මට ඕනේ වුණේ මං වෙනුවෙන් ඉන්න එහෙම පිරිමියෙක්. මං කියන්නේ මට කීකරු පිරිමියෙක් කියන එක නෙවේ. මං ගැන එහෙම හොයලා බලන, මට ගරු කරන, මාව හොඳට බලාගන්න, පවුලට ලැදි පිරිමියෙක්. එහෙම මට හිතුනේ කොයි කාලෙද කියලා මට මතක නම් නෑ.

නිවාඩු මාසේ ඉවරවෙලා යද්දි නෙහාර අයියාට මගේ හිතින් මං කැමතියි කියන ඇත්ත මං තේරුම්ගත්තත් මට බයක් තිබ්බා ඒක එයාට කියන්න. ඒත් ආයෙම නෙහාර අයියා ඇවිත් අහද්දි එයාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණා. ඊටපස්සේ අපි ආදරේ කරන්න ගත්තා.

ඇත්තටම නෙහාර හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. ලව්, කෙයාරින්, ශෙයාරින්, ප්‍රොටෙක්ශන්, අන්ඩස්ටෑන්ඩින් සේරම අඩු නැතුව තිබ්බා. සමහර දාට අපි දෙගොල්ලෝ ඩේඅවුට්ස් වලට ගියා. ඒ කාලේ මාර සැහැල්ලු සතුටෙන් පිරුණු කාලයක්.

යාලුවෙලා මාස කීපෙකින් නෙහාර අපේ අෆෙයාර් එක ගැන එයාලගේ ගෙදරට කියලා තිබ්බා. මාව දන්න නිසාද මන්දා කේන්දර බලමු කියලා විතරක් ගෙදරින් අවසර ලැබුණා. පස්සේ කේන්දරත් ගැලපුණු නිසා අපේ ගෙදරටත් කියලා අපේ අෆෙයාර් එක ඔෆීෂියල් කරගත්තා. ඉන්පස්සෙත් මං නෙහාරගේ ගෙදර ආවා ගියත් එහේ රෑ නැවතුනේ නෑ අම්මලා මොනවා කියයිද දන්නැති නිසා.

සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් අපිට හොස්ටල් හම්බුණේ කැම්පස් එකෙන් ටිකක් ඈත පාලු පාරක තිබ්බ එකක. එතකොට නෙහාර කැම්පස් පාස්-අවුට් වෙලා ජොබ් එකකට ගිහින්. පොඩි අයියා බැච් ටොප් නිසා එයාට කැම්පස් එකේම ටෙම්පරරි ලෙක්චරර් පෝස්ට් එකක් හම්බුණා. ශෙනායා අක්කාටත් එහෙමයි. නෙහාරටත් ෆස්ට් ක්ලාස් එකක් තිබ්බා. අපි අලුත් හොස්ටල් එකට ගිහින් වැඩි දවසක් යන්න කලින් හොස්ටල් එකට යමින් හිටපු ගර්ල් කෙනෙක්ගේ මාලයක් කඩාගෙන ගිහින් තිබ්බා. ඒකෙන් නෙහාර මටත් වඩා බයවුණා. ඒකට විසඳුමක් විදියට අමන්දා කිව්වා මාව එයාලගේ ගෙදර නවත්තගමු කියලා. ඒත් ඒකට නෙහාරගේ අම්මා අකමැති වුණේ බඳින්න කලින් එහෙම කරන්න බෑ කියලා. අමන්දාගෙයි පොඩි අයියාගෙයි අෆෙයාර් එක දැනගත්ත දා ඉඳන් නෙහාරගේ අම්මා හැමදාම රෑට නිදාගත්තේ අමන්දාගේ කාමරේ. නිදහසේ මලක් කඩන්නවත් නෑ කියලා අමන්දා ඒකට සෑහෙන්න කංකෙඳිරි ගෑවත් අම්මා එයාගේ නීතිය වෙනස් කළේ නෑ. එහෙම එකේ නෙහාරව බඳින්න කලින් මාව එහේ නතර කරගන්න අම්මා අකමැති වුණ එක මට පුදුමයක් වුණෙත් නෑ. ඒ නිසා නෙහාර මට බෝඩිම් හෙව්වා. ඒත් බෝඩිමකට ගෙවන්න මට ගෙදරින් සල්ලි ඉල්ලන්න පුලුවන්කමක් නෑ. ඕක නෙහාරට කිව්වම නෙහාර කිව්වා ඒ වියදම එයා දරන්නම් කියලා. ඒත් නෙහාරට වියදම් කරන්න පුලුවන් ගණන්වල බෝඩිම්වලට එයා කැමති වුණේ නෑ මොකක් හරිම හේතුවක් නිසා. එයා කැමති වුණ බෝඩිම්වලට මාසෙකට එච්චර ගාණක් දෙන්න අලුතින් ජොබ් එකකට ගිය නෙහාරට පුලුවන්කමක් තිබ්බෙත් නෑ. ඒ නැතත් අපි දෙන්නා වෙනුවෙන් ඉතුරු කරගන්න තියන සල්ලි එහෙම බෝඩිමකට නාස්තිකරන එක බොරු වැඩක් කියන හැඟීම දෙන්නටම යන්තමට වගේ තිබ්බා. ඒත් මං හොස්ටල් ඉන්නවට නෙහාර කොහෙත්ම කැමති වුණේ නෑ.

අන්තිමටම නෙහාරගේ අම්මලා කියලා තිබ්බා නෙහාරට එහෙනම් මාව මැරි කරලා ගෙදරට එක්කන් එන්න කියලා. නෙහාර මුලින්ම ඒකට කැමති වුණේ නෑ. මගේ නිදහස සීමාවෙයි කියලා එයා කිව්වේ. අනික මට එතකොට අවුරුදු විසිදෙකයි.

"විසිදෙකක් කියන්නේ බඳින වයසක් නෙවේ මිහී... ඔයා පොඩි කෙල්ලෙක් තාම... මට උනත් තාම විසිපහයිනේ... ලොකු අයියාත් විසිපහ වෙච්ච ගමන් බැන්ද නිසා අපේ අම්මලාට ඒක ගාණක් නෑ..."

නෙහාර එහෙම කිව්වේ පොඩි අයියාගේ අයියා ගැන කියලා. එයා ඒ වෙද්දිත් මැරි කරලා ලංකාවෙන් ගිහින් හිටියේ.

අන්තිමටම නෙහාර කැමති වුණා වෙඩින් එකකට. එතකොටත් අපි ආදරේ කරන්න අරගෙන අවුරුද්දක්වත් වෙලා නෑ. ඒත් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

"ඕක පරක්කු කරන්න නිසා දැන් බෑහ් ගාලා ඔය කොල්ලාගේ හිත වෙනස් උනොත් එහෙම උඹමයි විඳවන්නේ ලොක්කක්කේ..."

ලොකු මල්ලි එහෙමත් කිව්වා. සේරගෙම කැමැත්ත ඒක නිසා නෙහාර මාව බැන්දා වෙඩින් එකක් අරගෙනම. ඇත්තටම මගේ පැත්තෙන් නම් වියදමක් ගියේ නැතිම තරම්. ඒ සේරම වියදම් දැරුවේ නෙහාරගේ අප්පච්චි. එයාලා මගෙන් දෑවැද්දක්වත් ඇහුවේ නෑ.

"අපිට ඕනේ දුවෙක් විතරයි..."

නෙහාරගේ අප්පච්චි කිව්වේ එහෙම. අමන්දා මගේ දෙවනි මනමාලි වුණේ මගේ ඉල්ලීමට. පොඩි අයියා දෙවනි මනමාලයා. වෙඩින් එක සෑහෙන තරම් හොඳ මට්ටමින් ගත්තා. බැඳලා අපි පදිංචි වුණේ නෙහාරගේ ගෙදරමයි. උඩ තට්ටුවේ එච්චර කල් නෙහාරයි, පොඩි අයියායි හිටපු කාමරේ ඊටපස්සේ මගෙයි නෙහාරගෙයි කාමරේ වුණා. අමන්දායි, පොඩි අයියායිත් ගෙදර හිටපු නිසා පාලුවක් වුණේ නෑ. අමන්දායි මායි නම් කලින්ටත් වඩා ක්ලෝස් වුණා. අපි හොඳම යාලුවෝ වුණා නෑනලාට වඩා. නෙහාරගේ අම්මාත් සමහර වෙලාවට සැර වුණාට හිත රිදෙන කතා කියන කෙනෙක් නෙවේ. අම්මා තරහින් දෙයක් කිව්වත් මං කරබාගත්තා. ගොඩක් වෙලාවට අම්මාගේ කේන්තිය ගියේ අමන්දාගේ පිටින්. ඉඳලා හිටලා අහුකොන්වලට තමා මාව අහුවුණේ. අප්පච්චි නම් එහෙමවත් මුකුත් කිව්වේ නෑ.

වෙඩින් එකෙන් පස්සේ අමන්දා මට චූටි වුණා. ඒක එයාට ගෙදරට කියපු නම. නෙහාරගේ අම්මයි අප්පච්චියි මට කතා කළේ දෝණි කියලා. මං ඒ ඇමතුමට හරි ආස කළා. අමන්දාගේ ඉස්කෝලේ යාලුවොත් එයාට විහිලුවට චූටි කියලා කියන්නේ. ඒක මං දැනගත්තේ අපේ වෙඩින් එක දවස්වල. චූටිගේ යාලුවෝ යාලුවෝ හුඟදෙනෙක් නෙහාරටයි, පොඩි අයියාටයි ඒ කාලේ ඉඳන්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලා මං දැනගත්තෙත් ඒ දවස්වල. එහෙම කොල්ලෙක්ව බඳින්න ලැබුණු එක ගැන මං සතුටු වුණා. ආඩම්බර වුණා.

චූටිගෙයි, පොඩි අයියාගෙයි රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඕනේ කියන තීරණේට පවුල් දෙකේ අය ආවේ අපේ වෙඩින් එක දවස්වලමයි. චූටි ඒකට අකමැති වුණත් පොඩි අයියා නම් වැඩිහිටියෝ කියපු දේවල්වලට පිටින් මුකුත්ම කිව්වේ නෑ. අන්තිමටම චූටිටත් ඒකට එකඟවෙන්න වුණා. අපේ වෙඩින් එකෙන් මාස එකහමාරකට විතර පස්සේ චූටියි, පොඩි අයියයි දෙන්නාගේ රෙජිස්ට්‍රේෂන් එක ගත්තා.

කසාද බඳිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවේ කියලා මං තේරුම්ගත්තේ වෙඩින් එකෙන් පස්සේ. අම්මලා එක්ක හිටියත් අපි වෙනම පවුලක්නේ. ඉතිං මට වයිෆ් කෙනෙක් වෙන්නම වුණා. ඒක ලේසි නෑ. වගකීම් ගොන්නක්. සමහර වෙලාවට මං ගැන චූටි දුක්වුණා.

මං ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ ෆෝර්ත් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකට ඔන්න මෙන්න තියලා. මං පාස්-අවුට් වෙනකන් බබාලා හදන්නෑ කියලා අපි තීරණය කරලා හිටපු නිසා මමයි, නෙහාරයි ඒ ගැන පරිස්සම් වුණා. ඒත් කොතනක හරි ඒක පොඩ්ඩක් එහා-මෙහා වෙලා. මං ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ නෙහාර හිටියේ කැම්පස් යාලුවො සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගිහින්. පොඩි අයියාත් ගිහින්. ආරංචිය කියන්න නෙහාර ළඟ නැති එක මට සෑහෙන්න දැනුනා. ඊටත් වඩා හිත රිදුනේ කොල්ලෝ විතරක් යනවා කියලා ගියපු ට්‍රිප් එකේ ෆොටෝස්වල කෙල්ලොත් ඉන්නවා කියලා ගිය දවසේ රෑම මායි, චූටියි දැනගත්ත එකට. ඒකෙනුත් ශෙනායා අක්කා, ඒ දෙන්නා ඉන්න හැම ෆොටෝ එකකම ඒ දෙන්නගේ කරට අත්දාගෙන ඉන්නවා දැක්කම මට ඒක වාවන්නැතුව ගියා.

නෙහාරයි, පොඩි අයියායි ට්‍රිප් එක ගිහින් ආයේ ආවට පස්සේ මං නෙහාර එක්ක රණ්ඩු කළේ හිතේ දුකටයි බයටයි දෙකටම. නෙහාර මුකුත්ම කිව්වේ නෑ. මං අඬ අඬ බනිද්දි ඔලුව පාත් කරගෙන අහගෙන හිටියා. ශෙනායා අක්කා එක්ක ඉන්න ෆොටෝස් චූටිට වගේම මටත් අවුල් ගියේ එයාලට කැම්පස් එකේදිත් යාලුවෝ threesome කියලා විහිලු කරපු නිසා. එතෙක් මං ඒ ගැන නෙහාරට වචනයක්වත් නොකිව්වට එයයි, පොඩි අයියායි එක්ක ශෙනායා අක්කා ඉන්න එක මට ඔලුවට මහ බරක් වුණා. කොල්ලෙක් වගේ කොණ්ඩේ කපපු කෙල්ලෙක් වුණත් එයත් කෙල්ලෙක්නේ. ඒත් කාලයක් යද්දි අපි මොනා කිව්වත් ඒ යාලුකම වෙනස් වෙන්නෑ කියලා මායි, චූටියි තේරුම්ගත්තා.

නෙහාර බබා හදාගන්න ආස වුණත් මට ෆයිනල් ඉයර් එක ගොඩදාගන්න බැරිවෙයි කියලත් බය වුණා. ඒ නිසා එයා ගෙදර හැමෝම ඉන්න තැන ඇහුවා ඇබෝශන් කරන්න. පොඩි අයියාගේ අම්මායි, ආච්චියිත් ගෙදර හිටපු දවසක් එදා. අම්මා, අප්පච්චි, නැන්දා, ආච්චි හැමෝම නෙහාරට හොඳටම බැන්නා. චූටි බයවෙලා බලාහිටියට එයා මුකුත්ම කිව්වේ නෑ. පොඩි අයියා විතරක් නෙහාරගේ පැත්තට හිටියා. මං පළවෙනි වතාවට නෙහාර එයාගේ අම්මලාත් එක්ක එකට එක කියනවා දැක්කේ එදා.

"මිහී තමා පොඩි ළමයෙක් අම්මේ මං දඩිබිඩියේ එයාව කසාද බැඳගත්තට. තාම විසිහතරක්වත් නෑ... එයාට ඉගෙනගන්න තියනවා. මෙච්චර කල් කට්ට කාගෙන එයා ආව ඒම් එකට එයා යන්නම ඕනේ... අපි කොහොමත් දැන්ම බබෙක් හදන්න හිතලා තිබ්බේ නෑනේ... අනික මේ එයාගේ ෆයිනල් ඉයර් එක..."

නෙහාර කියනකොට වැඩිහිටියෝ හැමෝම එයාට බැන්නා. මටමත් බය හිතුනා ඇබෝෂන් එකක් කරගන්න නම්. ඒ නිසයි මං පස්ස ගැහුවේ. මගෙනුත් ලොකු කැමැත්තක් ඒකට නැති නිසා අන්තිමටම අපි බබාව හදාගන්න තීරණය කළා. ඒත් නෙහාර මං ගැන දුක්වුණා. එයා පුදුම විදියට මාව බලාගත්තේ. බබා ගැන මුලින්ම එයාට කියන්න එයා ගෙදර නොහිටපු එක ගැන මගේ හිතේ තිබ්බ කහටත් ඒ එක්කම නැතිවුණා. මං ආස දේවල් කන්න අරන් දෙන්න, මගේ ඉදිමුණ කකුල් තවන්න, මගේ ආවතේව කරන්න නෙහාර පොඩ්ඩක්වත් පැකිලුනේ නෑ. වෙලාවකට නෙහාර මට තාත්තා කෙනෙක් වගේ.

පුතා හම්බුණ දවසේ නෙහාර හිටියේ සක්විති රජ වුණා වගේ සතුටකින්. ගවර්මන්ට් හොස්පිටල් එකක නැතුව ප්‍රයිවට් එකකට වියදම් කරගෙන ඒකට ඕනේ සේරම එයාම සපයලා දුන්නා. මං එතකොටත් ජොබ් එකක් කළෙත් නෑනේ. නෙහාර බයවුණා වගේම මට ෆස්ට් ක්ලාස් එක මිස් වුණා. එදා මං නෙවේ ඇඬුවේ නෙහාර. අපි මැරි නොකළා නම් මාත් පොඩි අයියා වගේ බැච් ටොප් වෙයි කිය කිය නෙහාර ඇඬුවා. පොඩි අයියා තමා නෙහාරව ශේප් කරගත්තේ. මටත් දුකයි තමා. ඒත් ඒ වෙද්දි පුතා නිසා ඒ දුක මට ටිකක් අඩුවෙලාද මන්දා දැනුනේ. චූටි නම් හරිම අවුලෙන් හිටියේ. එයාටත් තිබ්බේ සෙකන්ඩ් අපර්. මහන්සි වුණා නම් එයාට ෆස්ට් ක්ලාස් එකකට අපූරුවට යන්න තිබ්බා.

පුතා හම්බුණාට පස්සේ මං මාස හතරක් ගමේ ඉඳලා ආයේ ආවේ චූටිගෙයි, පොඩි අයියාගෙයි වෙඩින් එකට. චූටි නම් වෙඩින් එකට බයවෙලා ඉන්නේ කියලා මට හිතුනේ. පස්සේ කාලෙක තමා මං දැනගත්තේ මොකක්ද හරියටම වෙලා තිබ්බේ කියලා. එයාලා මැරි කරලා හිටියේ පහළ තට්ටුවේ නිසා අපි නිතර මුණගැහුනා. කොහොමත් උඩට වෙනම පැන්ට්‍රි එකක් එක්ක කුස්සියක් තිබ්බට ඒකේ තේකක් හදාගන්නවට වඩා දෙයක් අපි කළේ නෑ. පහළ කුස්සියේ අපි හැමෝටම එකට තමා ඉව්වේ. හැමෝම කිව්වේ මායි, නෙහාරයි, චූටියි, පොඩි අයියායි, අම්මායි, අප්පච්චියි. සමහර වෙලාවට පොඩි අයියගේ අම්මායි, ආච්චියිත් අපේ ගෙදර ඇවිත් ටික දවසක් හිටියා. අපේ තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් කාලේම ගෙදර හරියට ප්‍රශ්න වුණා. තාත්තා, නැන්දා දෙන්නම අසනීප වුණා. ඒ නිසාමද මන්දා අපි අතරේ සෑහෙන තද බැඳීමක් ඒ වෙද්දි ඇතිවෙලා තිබ්බේ. ළමයි හයක් ඉඳලත් අපේ ගෙදර නම් එහෙම බැඳීමක් තිබ්බේ නෑ.

ලොකු මල්ලියි, දෙවනියි දෙන්නම ඒලෙවල් වලින් පස්සේ ජොබ්ස් වලට ගියා. ඒ දෙන්නා හොඳට ඒලෙවල් පාස්වෙලා තිබ්බත් කැම්පස් යන්න කැමති වුණේ නෑ. එතකොට තාත්‍තා පැරලයිස් වෙලා එක්තැන්වෙලා හිටියේ. දෙවනිට කැම්පස් යන්න රිසල්ට්ස් තිබ්බා. ඒත් එයාට ජොබ් එකක් කරන්නම ඕනේ කිව්ව නිසා නෙහාර එයා දන්න කෙනෙක් මාර්ගයෙන් ප්‍රයිවට් බෑන්ක් එකකට දාලා දුන්නා දෙවනිව. දැන් එයා ඒකේ සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා. ලොකූටත් ජොබ් එක හොයලා දුන්නේ නෙහාර. එයත් ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ. එයා ප්‍රමෝට් වෙවී සෑහෙන තැනකට ඇවිත් ඉන්නේ. ලොකු නංගි කැම්පස් ගිහින් දැන් ටීචර් කෙනෙක්. පොඩි නංගි නර්ස් කෙනෙක්. චූටි මල්ලි දැන් මෙඩිකල් ෆැකල්ටි. එයාට නම් නෙහාරට පින් සිද්ධ වෙන්න ඒලෙවල් කරන්න නෙහාරගෙයි, පොඩි අයියගෙයි ඉස්කෝලෙටම යන්න පුලුවන් වුණා. ඔයාලට මේ දේවල් සාමාන්‍ය වුණාට දුප්පත්කමේ පතුලෙම හිටපු අපේ අම්මාටයි, තාත්තාටයි නම් දරුවෝ හයදෙනාම ඒලෙවල් පාස් කරගෙන හොඳ රස්සාවල් කරනවා කියන්නේ මැජික් එකක් වගේ දෙයක්. අපේ ගමේ අපේ වයස්වල ගොඩක් ළමයි ගොවිතැන් හරි වෙන මොනා හරි ගමේම ජොබ්ස් කරද්දි අපි ඒකෙන් එළියට ආවා වගේ හැඟීමක් අපිට දැනුනේ. තාත්තා පැරලයිස් වුණාට පස්සේ කුඹුරු ටික මල්ලිලා දෙන්නා අඳේට දුන්නා. එයාලටත් ඕවා කරන්න වෙලාවක් නෑනේ. එයාලත් බැඳලා එයාලටම කියලා ගෙවල් හදාගෙන දැන් හොඳින් ඉන්නවා. චූටි මල්ලි විතරයි තාම ඉගෙනගන්නේ. එයාලා හැමෝම නෙහාරට හරි ආදරෙයි නෙහාර අපේ පවුල මේ මට්ටමට ගේන්න ගොඩක් දේවල් කරපු නිසා.

චූටිලගේ වෙඩින් එකෙන් මාස දෙකකට පස්සේ අපේ තාත්තා ආන්ත්‍රාවුණේ එයාගේ ළමයි හයදෙනා ගැනම හරිම සතුටින්. දැන් අපේ ගෙදර ඉන්නේ ලොකු මල්ලියි, ඒ නංගියි. අම්මා ඉන්නේ ලොකු මල්ලි ගාව. දෙවනි ටවුමේ ඉඩමක් අරන් ගෙයක් හදලා එයාගේ වයිෆ් එක්ක එහේ පදිංචි වුණා. නංගිලා දෙන්නත් බැඳලා. චූටි මල්ලි තාම කැම්පස් නිසා එයා ඉන්නේ ලොකු මල්ලිගේ ගෙදර. ඒ කාලේ තිබ්බ කටුමැටි ගේ දැන් හොඳ ගෙයක්.

චූටිලාගේ සෙකන්ඩ් වෙඩින් ඇනිවසරි එක එක්කම ආව ලෝන්ග් වීක්-එන්ඩ් එක අල්ලලා ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කළේ නෙහාරයි, පොඩි අයියායි දෙන්නා. කොහොමත් ඉඩක් ලැබුණම අපි දෙගොල්ලෝ එහෙම ගමන් යනවා. ඒ වෙද්දි මමත් ජොබ් එකකට යනවා. ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න එක අපරාදයක් කියලා නෙහාර කිව්වේ. අපි හැමෝම ජොබ්ස් එක්ක බිසී වෙන නිසා නිවාඩුවක් ආව ගමන් කොහේ හරි යනවා. අවුරුද්දකට වතාවක් නෙහාරගේ පවුලේ හැමෝම අනුරාධපුර යන ට්‍රිප් එක ඇර අපි ඔහොම ගමන් ගියාට අම්මායි, අප්පච්චියි නම් අපි එක්ක යන්න එන්නෑ. එයාලා ගෙදර ඉන්නවා. ඒ දෙන්නම දැන් රිටයර් වෙලා ඉන්නේ. එතකොට පුතාටත් අවුරුදු දෙකක් නිසා ගමන් යන එක ලොකු කරදරයක් වුණෙත් නෑ. හැබැයි එහෙම නෑ කියන්නත් බෑ. පුතා ටිකක් දඟයි.

දවස් හතරක ට්‍රිප් එක ඉවරවෙලා ආපිට කොළඹ එන දවසට කලින් දවසේ පුතාව කලින්ම ෆීඩ් කරලා නිදිකෙරෙව්වා. අපි හිටියේ රූම්ස් දෙකක් තියන කොටේජ් එකක. නෙහාර, පොඩි අයියා එක්ක පහළ කතාවක් කියලා මං දැක්කේ පුතාව නිදිකරවලා බැල්කනියට ගියාම. පුතා හම්බෙන්න ආවට පස්සේ නෙහාර සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නතර කළා. පොඩි අයියාත් ඒ නිසා ඒක නතර කරලා කියලා චූටි මට කිව්වා. ඒ නිසාද කොහෙද ඒ දෙන්නා අතේ එවෙලේ තිබ්බේ බියර් කෑන් දෙකක් විතරයි.

මං ආයෙම රූම් එකට ඇවිත් පුතා වටේ කොට්ට ටිකක් තියලා බාත්රූම් එකට ගිහින් වොෂ් දාගෙන එද්දි නෙහාර රූම් එකට ඇවිත් හිටියා. එයා තාමත් අපි යාලුවුණ කාලේ වගේමයි. ගාණට ෆිගර් එක මේන්ටේන් කළා. පොඩි අයියා එක්ක සතියට කීප දවසක්ම ජිම් ගියා. බැන්දා, තාත්තෙක් වුණා කියලා එයා ලොකු වෙනසක් වුණේ නෑ. මං වුණත් පුතා හම්බුණාට පස්සේ ආයේ හිටපු ගාණටම ආවේ නෙහාරගේ ඉන්ස්ට්‍රක්ශන්ස් නිසා.

"මිහී... මට පොඩ්ඩක් ඔයාට එක්ක කතා කරන්න ඕනේ..."

නෙහාර කිව්වේ මං ඇඳුම් මාරු කරගන්න අතරේ.

"මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

මං ඇහුවේ ඇඳුම් ඇඳගෙන එයා ගාව තිබ්බ අනික් සෝෆා චෙයාර් එකෙන් වාඩිවෙන ගමන්.

"දැනට නෑ... ඒත් මේ දේ ඔයාට මං නොකියා හිටියොත් දවසක ඔයා පිටින් දැනගෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."

ඒ අණ්ඩරදෙමළ මට තේරුණේ නෑ. නෙහාර හීල්ලුවා.

"මට ඔයාව හම්බෙන්න කලින් මං වෙන කෙනෙක්ට ආදරේ කළා මිහී..."

ඒක මං දන්නවා. එයාගේ ඉස්කෝලේ කාලේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.

"ඔව් මං දන්නවා ඒක නෙහාර... ඔයා ඉස්කෝලේ කාලේ යාලුවෙලා හිටපු ගර්ල් ගැන ඔයා මට කිව්වනේ. ඒත් මං හාර ඇවිස්සුවේ නැත්තේ මට ඒක වැඩක් නැති නිසා..."

"නෑ. ඒ කෙල්ල නෙවේ... ආපිට හිතද්දි දැන් හිතෙනවා ඒ ළමයා ගැන මගේ හිතේ ආදරයක් තිබ්බද කියලත්... ඔයා හම්බුණාට පස්සේ තමා මං තේරුම්ගත්තේ කෙල්ලෙක්ට ආදරේ කරනවා කියන්නේ ඊට වඩා සෑහෙන ගැඹුරු දෙයක් කියලා..."

නෙහාර කියන දේ මට තේරුණේ නෑ. නෙහාරගේ ජීවිතේ මට කලින් හිටියේ එකම එක කෙල්ලයි කියලා මං දැනගෙන හිටියේ. එයාව දන්න අය වුණත් කවදාවත් කියලා නෑ එයාට වෙන කෙල්ලෝ එක්ක සම්බන්ධකම් තියනවා කියලා. මං කන්ෆියුස් වෙලා බලාගෙන හිටියා.

"ඒ කෙල්ල ගැන මගේ තිබ්බ ෆීලින් එක ඇට්‍රෑක්ෂන් එකක් කියලා අද මට හිතෙන්නේ මිහී... ඒත් මං ඔයාට ඇර තව කෙනෙක්ට ආදරේ කළා... එයා කෙල්ලෙක් නෙවේ. කොල්ලෙක්... හරියටම කිව්වොත් මං bisexual..."

නෙහාර කියපු හරුප මුකුත්ම මගේ ඔලුවට ගියේ නෑ. මං දන්නවා bisexual කියන්නේ මොකක්ද කියලා. මට එතකොට අවුරුදු විසිහයක්. කොළඹට ඇවිත් අවුරුදු හයක්. ඒක මට නොතේරෙන්න විදියක් නෑනේ. ඒත් bisexual වෙන්නේ කොහොමද නෙහාර..?

"මට...මට තේරෙන්නෑ..."

මගේ වචනත් පැටලුනා.

"ඔයා හම්බෙනකන් මං හිතාගෙන හිටියේ මං gay කියලා... මොකද මගෙ කලින් අෆෙයාර් එක දුර දිග ගිය එකක් නෙවේ. මට ඒ ගර්ල් ගැන ඒ තරම්ම ෆීලින් එකක් තිබ්බෙත් නෑ... ඒත් මං ඔයාට ආදරේ කරන්න ගත්තා. බැන්දම ඔයා එක්ක සෙක්ස් කරන්න ගත්තා. මට ඒ මුකුත් ප්‍රශ්නයක් වුණේම නෑ... ඒ නිසා මං තේරුම්ගත්තා මං gay නෙවේ bisexual කියලා... ඉතිං මං ඔයාට තරමටම මගේ බෝයිෆ්‍රෙන්ඩ්ටත් ආදරේ කළා..."

නෙහාර මොනාද මේ කියන්නේ..? එයාට කොහෙන්ද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්..?

"මොනාද මේ කියන්නේ..?"

"සොරි බබා... මං දන්නවා මේක ඇහුවම ඔයාට හර්ට් වෙනවා කියලා. ඒත් පිට කෙනෙක් ගෙන් ඔයා දැනගන්නවට වඩා මමම මේක ඔයාට කියන එක හොඳයි කියලා මට හිතුනා... අනික මං අවුරුදු ගාණක් ඔයාට චීට් කළා..."

චීට් කළා..? නෙහාර මොනා කරලද මාව රැවැට්ටුවේ..?

"න්..නෙහාර..."

නෙහාර මගේ උරහිස් දෙකෙන් තදින් අල්ලගත්තා.

"මේ කියන දේ අහන්න කොච්චර අමාරු වුණත් කියන්නම ඕනේ මැණික... නැත්නම් මට හැමදාම මං ඔයාට බොරුවක් කරනවා කියන ෆීලින් එක එක්ක ඉන්න වෙන්නේ... මුල්ම දේ මං ඔයාට ආදරෙයි බබා... මේ ලෝකේ මං ගෑනියෙක්ට කියලා වැඩියෙන්ම ආදරේ කරන්න ඔයාට... හරි වුණත් වැරදි වුණත් මං මගේ අම්මාටත් වඩා ඔයාට ආදරෙයි... ඔයා මං වෙනුවෙන් හරිම පොඩි කාලේ ඔයාගේ හැමදේම අතෑරියා. මාව විශ්වාස කරලා මාව බැඳලා මා ගාවට ආවා... මට කිසිම අඩුවක් නොකර හැමදේම දුන්නා... ඔයා මගේ දරුවගේ අම්මා... පුතාව වගේම මාවත් බලාගත්තා... ඔයා පර්ෆෙක්ට් වයිෆ් කෙනෙක්. පර්ෆෙක්ට් අම්මා කෙනෙක්. පර්ෆෙක්ට් දුවෙක්..."

ඉතිං නෙහාරත් එහෙමනේ. එයා පර්ෆෙක්ට් හස්බන්ඩ් කෙනෙක්. පර්ෆෙක්ට් තාත්තා කෙනෙක්. පර්ෆෙක්ට් පුතෙක්. පර්ෆෙක්ට් අයියෙක්. අපිට කියන්න තරම් ලොකු ප්‍රශ්න තිබ්බෙත් නෑ.

"ඒත් මං පර්ෆෙක්ට් නෑ බබා ඔයා වගේ..."

නෙහාරගේ කටහඬ වෙව්ලුවා.

"මට කොල්ලෙක් එක්ක අෆෙයාර් එකක් තිබ්බා... පොඩි කාලෙක නෙවේ සෑහෙන කාලෙක එකක්... ඒක ඕලෙවල් කාලේ පටන්ගත්තේ... ඔයාට තරමටම මං එයාටත් ආදරෙයි... තාමත් ආදරෙයි... මට තේරෙන්නෑ ඒ ආදරේ මරන්නේ කොහොමද කියල... ඒත් මේක පිට කෙනෙක්ගෙන් ඔයා දැනගන්නවට මං කැමති නෑ. ඒකයි මෙහෙම කිව්වේ..."

තාමත් ආදරෙයි..? එතකොට මං..?

"එයා කවුද..? පොඩි අයියත් දන්න කෙනෙක්ද..? ඔයාට දැන් එයා ගාවට යන්න ඕනෙද..?"

මං අහද්දි නෙහාර තදින් ඇස් දෙක වහගත්තා.

"මට එයා ගාවට යන්න ඕනේ නෑ මැණික. මං ඔයාව දාලා යන්නෑ. ඔයාව අතාරින්නෑ... ඒත් මං තාමත් එයාට ආදරෙයි. ඔයාට තරම්ම එයාටත් ආදරෙයි... රමියා දන්නවා... මොකද ඒ කොල්ලා වෙන කවුරුත් නෙවේ රමිත්..."

මට දැනුනේ මගේ ඔලුව ඇතුලේ අකුණු දහස් ගාණක් පුපුරා හැලුනා වගේ. රමිත්... ඒ කියන්නේ පොඩි අයියා... එතකොට චූටි..? ඒ කෙල්ල දන්නවද..? කොහොමද එහෙම වෙන්නේ..? කොහොමද එයාලා අපි දෙන්නට මෙහෙම කළේ..? නෙහාර කොහොමද තමන්ගෙම නංගිට මෙහෙම කළේ..?

"ච්..චූටි..?"

මං හෙමින් ඇහුවා.

"එයා දන්නවා..."

නෙහාරගේ කටහඬ මට ඇහුනේ ඈතින් ඇහෙනවා වගේ. ඒ වචන දෝංකාර දි දී මට ඇහුනා. මට ඇඬුනා. මං මූණ වහගෙන අඬද්දි නෙහාර මගේ ඔලුව අතගානවා මට දැනුනා. මට එයාව මා ගාවින් අයින් කරන්න ඕනේ වුණා. ඒත් ඒකටවත් මට ඔලුව උස්සගන්න බෑ. මං පුටුව උඩම ගුලිවෙවී ඇඬුවා.

"මං එයාව බලන්නම්... ඔයාලා දෙන්නා යන්න මෙතනින්..."

ටිකකින් මට ඇහුනේ චූටිගේ සද්දේ. නෙහාර මගේ ඔලුව අතගාන එක නැවැත්තුවා. රූම් එකේ දොර වැහෙන සද්දේ යන්තමින් වගේ මට ඇහුනා. ඊටපස්සේ මං අඬලා ඉවර වෙනකන් චූටි මගේ ඔලුව අතගෑවා.

මීට හොඳයි මං මැරිලා ගියා නම්. නෙහාරට තිබ්බේ මාව මරලා දාන්න. නෙහාර මගේ පළවෙනි සහ අන්තිම ආදරේ. මං නෙහාරට ආදරේ කළා මහ හුඟක්. කොටින්ම මගේ පොඩි ලෝකේ පුරාම හිටියේ නෙහාර විතරයි. මැරි කළාට පස්සේ මගේ ගෙදරත් එක්ක තිබ්බ බැඳීම් අඩු වුණාට මං නෙහාර එක්ක කිසිම වෙනසක් නැතුව හිටියා. අපිට හොඳ ෆැමිලි ලයිෆ් එකක් තිබ්බා. මහා ලොකුවට සල්ලි නැතිවුණාට අපිට ජීවත්වෙන්න ඕනේ ප්‍රමාණෙන් සල්ලි තිබ්බා. නෙහාර හොඳ පෝස්ට් එකක හිටියේ. හොඳ සැලරි එකක් හම්බුණා එයාට. මමත් හොඳ ජොබ් එකක් කළා. නෙහාරට තරම් නැතත් මටත් හොඳ සැලරියක්, පෝස්ට් එකක් තිබ්බා. මං ලස්සන කෙල්ලෙක්. නෙහාර වගේ හැන්ඩ්සම් කොල්ලෙක්ට මැච් වෙන තරම් ලස්සනක් මට තිබ්බා. පුතා හම්බුණා කියලා ඇඟ ආරලා මහත්වෙන්න දුන්නෑ මං මට. නෙහාරයි මායි අතරේ හොඳ සෙක්ස් ලයිෆ් එකක් තිබ්බා. මං පිට මිනිස්සු ඉස්සරහා කුලෑටි කෙල්ලෙක් වුණාට නෙහාරව බැන්දට පස්සේ එයාගේ රුචි-අරුචිකම් තේරුම් අරගෙන එයාගේ සිස්ටම් එකට මාත් හැඩගැහුනා. මං එයාව ඒ හැමවෙලාවකම උපරිමම මට්ටමෙන් සැටිස්ෆයි කළා. අපිට දරුවෙක් ඉන්නවා අවුරුදු දෙකක. දැන් මාස දෙක තුනක ඉඳන් අපි ආයේ බබෙක්ට ට්‍රයි කරන ගමන් හිටියේ. නෙහාරට දුවෙක් ඕනේ වුණා. ඒ නිසා අපි දෙන්නා ආයේ දුවෙක් හදමු කියලා හිතුවේ.

එතකොට පොඩි අයියා..? ඇත්ත. එයත් මාර හැන්ඩ්සම්. චූටිගේ ඉස්කෝලේ යාලුවෝ විහිලු කළේ ඒ කාලේ එයාලට ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බැරුව හිටියේ කියලා. එයා නෙහාරට වඩා ටිකක් කෙට්ටු නෙහාර තරම්ම උස සුදු කොල්ලෙක්. නළු ලුක් එකක් එන කොණ්ඩයක් එයාට තිබ්බේ. මං ඉස්සරත් හිතුවේ මෙච්චර හැන්ඩ්සම් මස්සිනා කෙනෙක් ගෙදරම ඉද්දි චූටි වෙන අතක් බැලුවේ නැති එක සාධාරණයි කියලා. පොඩි අයියා චූටිට පුදුම විදියට ආදරේ කළේ. මාරම විදියට ආරක්ෂා කළා. ඒ තරම් ආදරේ කරද්දි කොහොමද එයා නෙහාරටත් ආදරේ කළේ..? අනික ඒ චූටිගෙම අයියා.

මං ඔලුව උස්සලා බලද්දි චූටි මගේ දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඇස් හරිම හිස්. එයා මේවා දන්නවා කිව්වනේ. ඒ කියන්නේ එයත් අදද දැනගත්තේ. ඇයි එයා අඬන්නේ නැත්තේ..? දුක නැද්ද එයාට..?

"ඔ..ඔයා දන්න..ව්..වද ච්..චූටි..?"

මං පැටලි පැටලි ඇහුවා. එයා ඔලුව හෙලෙව්වා ඔව් කියන්න.

"අහන්න පුලුවන්ද මං දැනගන්න විදිය..?"

චූටි කතාව කියාගෙන ගියා. දෙවියනේ... එයා කොහොමද මෙච්චර දෙයක් දරාගත්තේ..? මට කනට ඇහිලා මෙහෙම වේදනාවක් දැනෙනවා නම් එයා ඇස් දෙකෙන් දැකලා කොච්චර අවුල් යන්නැද්ද..?

හරි සතුටෙන් ආව ට්‍රිප් එක ආපිට යද්දි අපි ගියේ වචනයක්වත් කතා නොකර. නෙහාරව විතරක් නෙවේ පොඩි අයියාව දැක්කත් මට අප්පිරියා හිතුනා. ගෙදර ඇවිල්ලත් සතියක් විතර යනකන් මං නෙහාර එක්ක කතා කළේ නෑ. එකම කාමරේ අපි හිටියේ අමුත්තෝ වගේ. එකම ඇඳේ පුතාව මැදි කරගෙන අපි නිදාගත්තේ මූණට මූණවත් නොබලා.

"නෙහාර, මට ඩිවෝස් වෙන්න ඕනේ..."

මං කිව්වේ ට්‍රිප් එක ගිහින් ඇවිත් සතියකට විතර පස්සේ අපේ කාමරේදි. නෙහාර මුකුත්ම කිව්වේ නෑ. ඇහුවෙත් නෑ. මං ඒ හැඟීම හිතේ තියාගෙන තවත් දවස් දෙක, තුනක් ගත කළා. මගේ පීරියඩ්ස් ලේට් නිසා හිතේ සැකේට චෙක් කළාම තමා මං දැනගත්තේ මං ආයෙම ප්‍රෙග්නන්ට් කියලා. මං ඩොක්ටර් හම්බෙන්න පවා ගියේ චූටි එක්ක.

"මං ප්‍රෙග්නන්ට්..."

මං හොඳ හුස්මක් අරගෙන එදා හවස ගෙදර ආව නෙහාරට කිව්වෙත් අපේ කාමරේදි. නෙහාරගේ මූණ එළිය වුණා. එයා එකපාරටම මාව බදාගෙන මගේ නළලට කිස් එකක් දුන්නා. එයා මොන මොනාදෝ කියෙව්වා. ඒත් මට ඒවා මුකුත්ම ඇහුණේ නෑ. රෑ කෑම මේසෙදි එයාම ඒ ආරංචිය අම්මලා එක්ක කිව්වා. හැමෝම ගොඩක් සතුටින් හිටියේ. පොඩි අයියා පවා. ඒත් චූටි. එයා විතරක් කිසිම හැඟීමක් නැති වියළි හිනාවක් දුන්නා.

"අපි ඉස්සරහා තීරණ දෙකක් තියනවා මිහී..."

ඒ සිද්ධියෙන් සතියකට විතර පස්සේ චූටි කිව්වේ මාත් එක්ක තනියම කතා කරද්දි. අපි දෙන්නා හිටියේ කුස්සියේ උයන ගමන්. එදා නෙහාර අප්පච්චිව එයාගේ ඇනුවල් ටෙස්ටින්වලට එක්කන් ගියා නිවාඩුවක් දාලා. අම්මාගෙත් චෙක්-අප්ස් වගයක් තිබ්බ නිසා අම්මාත් එයාලා එක්කම ගියා. පොඩි අයියා එතකොටත් ඕෆ් වෙලා ඇවිත් හිටියේ නෑ.

"මෙච්චර කල් මගේ පැත්තට හිටියේ මං විතරයි මිහී... ඒත් දැන් ඔයත් ඉන්නවා... අපි දෙන්නම තනි නෑ..."

මං හොද්ද හැඳිගාන ගමන් චූටි දිහා බැලුවා. එයා එලවළු කපන එක නතර කරලා මං දිහා බැලුවා.

"එක්කෝ අපි දෙන්නා මේ හැමදේම දැනගෙනත් නොදන්නවා වගේ ඉස්සරහට ජීවත්වෙන්න ඕනේ... හරියට අවුරුදු දෙකක් මං හිටියා වගේ..."

චූටි එක්කම මාත් හීල්ලුවා.

"නැත්නම් අපි දෙන්නා ඒ දෙන්නාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ... අපිට දැන් හොඳ ජොබ් දෙකක්, හොඳ සැලරියක් තියනවා... දරුවෝ බලාගන්න ප්‍රශ්නයක් නෑ... මෙහෙ ඉන්න බැරි නම් ඇනෙක්ස් එකකට හරි යන්න පුලුවන්..."

චූටි කියාගෙන ගියා.

"මොන දේ කළත් මං ඔයාට ඉන්නවා..."

චූටි ආයෙම එලවළු කැපුවේ මට කල්පනා කරන්න ඇරලා. ඇත්ත චූටි කියපු කතාව. හිත් රිද්දගත්ත ගෑනුන්ට තමයි මේ ලෝකේ ශක්තිමත්ම හිත් තියෙන්නේ. ඒ හිත් තරම් කළු ගල්වත් හයිය නැතුවැති. වේදනාව කියන්නේ ඒ තරම් දරුණු දෙයක් කියලා මං තේරුම් ගනිමින් හිටියා.

✍🏼 සකුනි හතරසිංහ

මතු සම්බන්ධයි........

Comments