අනේ මං හදිසිද මන්දා... 🖤

(කෙටි නවකතාව - 02 කොටස)

"මං මීට කලින් මේ වගේ හොටෙල් එකකට ඇවිත්ම නෑ..."

අමායා මිමිණුවේ විරාජ්ට ඇසෙන නෑසෙන ගාණට ය. සුවපහසු සෝපාවේ හිඳගෙන සිය උකුල් පරිගණකයේ නෙතු රඳවා හුන් විරාජ්ගේ දෙසවනින් එම වදන් නොගිලිහිණි. ඔහු සෙමෙන් උකුල් පරිගණකය පසෙක තබා නැගිට ඈ වෙත පැමිණ ඈ පසුපසින් සිටගත්තේ ය.

"මීට වඩා ලස්සන හෝටෙල්ස් තියනවා වෙන රටවල... මං එක්ක යන්නම්කො..."

අමායාගේ ගෙල සිපගනිමින් ඔහු ළයාන්විතව මිමිණුවේ ය. ඔහුගේ ස්පර්ශයෙන් හැකිලුනු ඇගේ බඳ වටා දෑත් යවා ඔහු, ඇයව තමන්ට නතු කරගත්තේ ය. ඔහුගේ විසල් සිරුර තුළ ඈ සැඟව ගියාක් මෙනි.

"බේබි, ඔයා දැන් මගේ වයිෆ්... ඔහොම ලැජ්ජා වෙලා නම් බෑ... මට ඕනේ හොඳ ඇක්ටිව් වයිෆ් කෙනෙක්... මාව පිස්සු වට්ටන කෙල්ලෙක්..."

ඈ, තමා වෙතට හරවා ගනිමින් ඔහු කීවේ ය. ඇය මඳ සිනහවක් පෑවා ය. ඒ සිනහව විඳිමින් ම ඔහු, ඇගේ දෙතොලට බර විය. තත්පර, මිනිත්තුවලට පෙරළුණු එම හාදුව ඇරඹී මොහොතකට පසු ඇය ද පෙරළා ඔහුව සිපගන්නට වූයේ ඔහුගේ දෙනෙත් සිහින් කරවමිනි. එනමුත් ඇයට ඉඩදුන් ඔහු තවත් මිනිත්තු කිහිපයක් පුරා එම හාදුව රැගෙන ගියේ ය.

"දවස් දෙකට කෙල්ල හොඳට ප්‍රැක්ටිස් වෙලා වගේ..."

ඇගේ දෙතොල් මුදවූ වහා ඔහු කීවේ ඇගේ පැහැපත් වත ලැජ්ජාවේ සළුවෙන් වැසී යද්දී ය.

"ඔහොම රතු වෙනකොට නම් මට ආයේ උඹව ඇඳට ගන්න හිතෙනවා කෙල්ලේ..."

ඔහු, ඇගේ ගෙල දෙසට නැඹුරු වෙමින් කීවේ ය. ඔහුගේ වදනින් ඇය තරමක් නොසන්සුන් වූවා ය.

"අනේ විරාජ්, අද අපි චුට්ටක් රෙස්ට් කරමුද..? මට හරි අමාරුයි..."

ඇය කියන්නට වූයේ ඔහුගෙන් මඳක් ඈත්වෙමිනි.

"අමාරුයි..?"

ප්‍රශ්නාර්ථයක් රැඳි දෙනෙතින් ඔහු, ඇගේ වතට නැඹුරු වූයේ තරමක් රළු හඬින් විමසමිනි. අඩි හයකටත් වඩා උසැති ඔහු ඉදිරියේ අඩි පහක් පමණ උසැති යුවතිය කුරුමිට්ටියක මෙන් හැකිලී ගියා ය.

"ඊයෙයි පෙරේදයි දෙකේම කීපසැරයක්ම නිසා... අනේ මට තාම අමාරුයි විරාජ්. ඒකයි..."

ඇය කඳුළු පිරුණු දෙනෙතින් යුතුව මතුළා ය. ඔහුගේ රළු බැල්ම මොහොතක් ඈ වත සිසාරා ඇදිණි.

"හ්ම්ම්ම්... හැබැයි ඕක පුරුද්දකට තියාගන්න එපා බබෝ... මට ඔයාව ඕනේ වෙනකොට ඔයා රෙඩි පිට ඉන්න ඕනේ... ඔයාට තාම පුරුදු නැති නිසා ඔහොම රිදෙන්නේ... තව සතියක් දෙකක් යද්දි ඕක හරියයි..."

ඇගේ නාසාග්‍රය සිපගනිමින් ඔහු දැඩි හඬකින් කීවේ ය. ඇය තරමක් කනස්සලු වතකින් ඔහු දෙස බලාසිටියා ය. ඒ දෙනෙත් තුළ වූයේ දෙදිනක් පුරා ගලාගිය ඔහුගේ සරාගයෙන් ඈ ලද විඩාව යි.

"ඇත්තටම කැම්පස් එකේදිවත් හිත ගිය කොල්ලෙක් හිටියේ නැද්ද..?"

ඔහු යළිත් සුපුරුදු ගැඹුරු හඬට අවතීර්ණ වෙමින් විමසන්නට විය.

"නෑ... මගේ ඔලුවේ තිබ්බේ ඩිග්‍රී එක ඉවර කරගන්න එක විතරයි..."

ඇය, ඔහු දෙස බලමින් කීවා ය.

"එහෙම උන එක හොඳයි... කොල්ලෙක් හිටියා නම් ඌ මගෙ අතින් මැරුම් කනවා..."

ඇගේ හුස්ම හිරවූයේ ඔහුගේ වදන් අසල ය. ඈ දෑස් නොපියා ඔහු දෙස බැලුවේ ය.

"දැන් එහෙම වෙන්න විදියක් නෑනේ ඉතිං... කොහොමත් මං හිතාගෙන ඉන්නේ හෝම්කමින් ෆන්ෂන් එකෙන් පස්සේ සති දෙකකට විතර ටුවර් එකක් යන්න... බාලි පැත්තේ ඔයාව එක්කන් යන්නත් ඕනේ... අපේ සෙකන්ඩ් හනිමුන් එකට..."

ඔහුගේ එම වදනට ඈ මඳ සිනහවක් පෑවා ය.

"මං එෆ්බී එකේ දැකලා තියනවා එහේ ෆොටෝස්... හරි ලස්සනයි..."

ඔහුගේ එතෙක් මුව රැඳි සෞම්‍ය බැල්ම යළි රළු රැවිල්ලකට පෙරළිණි.

"අමා... මං කැමති නෑ මගේ වයිෆ් සෝෂල් මීඩියා වලට ටයිම් වේස්ට් කරනවට. ඒ නිසා අදම ඔයාගේ Fb අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරන්න ඕනේ. ආයේ මට කියන්න තියන්නෙපා..."

රෞද්‍ර හඬින් කියූ ඔහු, ඇයව අතහැර ඉවතට හැරුණේ ඔහුගේ වදනින් කම්පිත වූ ඇය නිහඬව ම බලාසිටිය දී ය.

"අමා, මට ඔයාගේ ෆෝන් එක දෙන්න..."

ආපසු හැරී නොබලාම ඔහු අණ කළේ ය. සිහි එළවාගත් ඇය යුහුසුළුව තම ජංගම දුරකතනය ඔහු අතට දුන්නේ ය.

"මේකේ පාස්වර්ඩ් එක මොකක්ද...?"

ඔහු යළිත් විමසුවේ ය.

"අනූවයි, දොළහයි, තිස්එක... (901231)"

ඇය පහත් හඬින් මතුළා ය. ඉනික්බිති වදනක් හෝ නොදෙඩූ ඔහු වහ වහා ඇගේ ජංගම දුරකතනය මත සිය අතැඟිලි යවන ආකාරය දෙස ඇය බියපත්ව බලාසිටියා ය. පැය භාගයකට වඩා වැඩි කාලයක් පුරා ඇගේ ජංගම දුරකතනය ඔබමින් සිටි ඔහු එය එකවරම ඈ දෙසට දිගු කළේ ය.

"මං ඔයාගේ එෆ්බී, මැසෙන්ජර් අකවුන්ට්ස් සේරම ඩිඇක්ටිවේට් කරලා ඒ ඇප්ස් ඩිලීට් කළා... වට්ස්ඇප් විතරක් තියාගන්න. ඒකෙත් ස්ටෝරීස් ශෙයා කරන්නෙපා... වෙන සෝෂල් මීඩියා යූස් කරන්න බෑ... මං හෙටම ඔයාට අලුත් ෆෝන් එකක් අරන් දෙන්නම්. ඒකට ඔයාට ඕනේ වෙන ඇප්ස් ටිකත් මමම දාලා දෙන්නම්... මං එපා කියපු දේවල් කරලා අහුවෙන්නෙපා බේබි..."

ඔහු මෘදු ලෙස කීව ද ඒ තුළ සැඟව ඇති තර්ජනය ඇයට වැටහිණි. වදනක් හෝ නොදෙඩූ ඇය හිස සොලවා ඔහුට එකඟ බව දැක්වූයේ ය.

"Good girl... I don't want my wife to be a stubborn woman..."

ඇගේ හිස අතගාමින් ඔහු පවසා සෝපාව මත වූ තම ජංගම දුරකතනය අතට ගත්තේ තවමත් නිහඬව සෙල් රුවක් මෙන් හිඳින ඇය දෙස නෙතගින් බලමිනි.
.
.
.
.
කාලය ඉගිලී යන්නට විය. අමායා, විරාජ් හා විවාහ වී මාසයක් පමණ ගතව තිබූ අතර එම මාසය ඇයට සාදවලින් නොඅඩු කාර්යබහුල මාසයක් විය. විරාජ්ගේ දිවිය තමන් සිතුවාට වඩා හාත්පසින් ම වෙනස් බව අමායා මේ කාලය තුළ වටහා ගනිමින් සිටියා ය. ස්වභාවයෙන් ම නිහඬ, තැන්පත් යුවතියක වූ අමායා, මුලදී විරාජ්ගේ රළු හැසිරීම් දරාගත්තේ අපහසුවෙන් වුවත් ක්‍රමයෙන් ඇය එයට අනුවර්තනය වන්නට උත්සාහ කළා ය. විරාජ්ගේ පියා රටේ අග්‍රාමාත්‍යවරයා වූ බැවින් ඔහුගේ සියලුම ක්‍රියාකාරකම් රටවැසියාගේ අවධානයට නිරන්තරයෙන් පාත්‍ර විය. පාරම්පරික ධනවතුන් වූ අගමැතිවරයාගේ බාල පුතු විසින් පහළ මධ්‍යම පාන්තික පවුලක යුවතියක විවාහ කරගැනීම ජනමාධ්‍ය තුළ අවධානයට පාත්‍ර වූ කරුණක් විය. අනෙක් අතට කතාබහට ලක් වූ ප්‍රධාන කරුණක් වූයේ ඔවුන් දෙදෙනා අතර වූ වයස් පරතරය යි. විරාජ් හා විවාහ වනවිට අමායා සිව්විසි වියේ පසු වූ අතර විරාජ් තිස්හය හැවිරිදි තරුණයෙකු විය.

තරමක් තද පැහැති ඡවි වර්ණයකින් යුක්ත වූ විරාජ් වූ කලී දේශපාලනයේ නිරත වූ තම සොහොයුරාට වඩා හාත්පසින් ම වෙනස් ස්වරූපයකින් යුක්ත වූවෙකු විය. කලෙක ඔහු වඩාත් ප්‍රකට වූයේ ආවේගශීලී රග්බි ක්‍රීඩකයෙකු වශයෙනි. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ ඔහුට හෝටල් ජාලයක් සහ රාත්‍රී සමාජ ශාලා කිහිපයක් හිමි බව අමායා දැනගත්තේ විවාහයෙන් ද අනතුරුව ය. ඔහුගේ ආදායම සහ වත්කම පිළිබඳව අමායා කිසිවිටෙකත් ඔහුගෙන් නොවිමසූවේ මුදල් කෙරෙහි තණ්හාවක් ඈ තුළ නොවූ බැවිනි. අඩි හයකටත් වඩා උසැති ඔහු ව්‍යායාම මඟින් සකස් කරගත් නිරෝගී ජව සම්පන්න ක්‍රීඩකයෙකුගේ මෙන් වූ සිරුරක් සහිත අයෙකු විය. ඔහුගේ පපුවේ වම්පසින් ඇරඹුණු ටැටූව අවසන් වූයේ වම් අතේ මැණික්කටුවෙනි. ඔහු බොහෝවිට වම් කනෙහි පැළඳුවේ කළු පැහැති තරමක් විශාල කරාබුවකි. එය වෙනස් වූයේ ඔහු යම් උත්සවයකට සහභාගී වන අවස්ථාවක දී පමණි. අගමැතිතුමාගේ බාල පුතු ලෙස ප්‍රසිද්ධියේ පෙනීසිටීමට ඔහු එතරම් කැමැත්තක් නොදක්වන බව අමායා හට ඒ වනවිට වැටහී තිබිණි.

විරාජ්, සිය රූමත් මනාලිය පිළිබඳව පසුවූයේ අතිශයින්ම සතුටිනි. ඇගේ මුල්ම දර්ශනයෙන් ම ඈ කෙරෙහි බැඳුණු ඔහු, ඇයව තමන් සතු කරගැනීමට පිඹුරුපත් සකස්කළේ ඇය තමන් හා වදනක් කතාබස් කළ මුල් ම දිනයේ සිට ම ය. ඇගේ උස හැර අනෙක් සියලුම ලක්ෂණ ඔහු, යුවතියකගෙන් පැතූ ලක්ෂණ ම විය. බොහෝ යුවතියන් හා යහන්ගතව පුරුදු ඔහුට, මධුසමයේ දී දුටු ඇගේ නෑඹුල් බව හමුවේ ඈ කෙරෙහි දැනුණේ අසීමිත ආදරයකි. එතෙක් ඈ රුව පමණක් ආකර්ෂණීය සාධකය කොටගත් ඔහු එවක් පටන් අමායා නම් යුවතිය ම, තම දිවිය බවට පෙරළා ගත්තේ ය.

අමායා නම් මෙම මසක කාලය පුරා සිටියේ දෝලනාත්මක මානසිකත්වයකිනි. වරෙක අතිශය කරුණාවන්ත, ආදරණීය සැමියෙකු වන විරාජ් තවත් වරෙක අතිශය රෞද්‍ර සහ කර්කශ පුද්ගලයෙකු ලෙස හැසිරෙන අරුමය ඇයට වටහාගත නුහුණු විය. විවාහයට පෙර ගෙවුණු සීමිත කාලය තුළ ඇය, ඔහුගෙන් දුටුවේ ආදරණීය තරුණයෙකුගේ ස්වරූපයකි. මුලින් මෙම විවාහ යෝජනාව කෙරෙහි චකිතයකින් පසු වූ ඇගේ සිතින් එම සිතුවිලි පහව ගියේ ද ඔහුගේ එම ආදරබර හැසිරීම් හේතුවෙනි. විවාහයෙන් අනතුරුව ගෙවුණු මසක කාලය පුරාවට ම ඇය කෙරෙහි ඔහුගේ රුදු හැසීරීම් ප්‍රකට නොවුණ ද නිවසේ සේවකයන් අරඹයා ඔහුගේ කෝපය කඩාහැලෙන ආකාරය ඈ අත්විඳ තිබිණි. නමුත් ඔහු, ඈ කෙරෙහි අතිශය ආදරවන්ත සැමියෙකු විය.

"අමා, අද මගේ යාලුවෙක්ගේ එන්ගේජ්මන්ට් පාටි එකක්... ඔයත් යන්න ඕනේ... මං ඔයාට මැච් වෙන ෆ්‍රොක් එකක් ගෙනාවා... ඒක ඇඳගෙන මේනකාට කියලා මේක්-අප් එකක් දාගෙන හය වෙද්දී රෙඩි වෙන්න..."

දිනක් නිවසට පැමිණි වහා විරාජ් කීවේ ඈ අතට බඩු මලු කිහිපයක් දෙමිනි. ඒ වනවිට විරාජ්ගේ සුඛෝපභෝගී නිවසේ ජීවන රටාවට අමායා තරමක්දුරට අනුගතව සිටියා ය. සිය මාපියන්ගෙන් වෙන්ව ඔහුම ඉදිකරවා ඇති එම නිවස මන්දිරයක් සදිසි විය. මුල දී සියල්ල ඇයට නුහුරු, නුපුරුදු වූ නමුත් කාරුණික ගෘහ පාලිකාවක වන රාධිකා විසින් ඇයට ඒ සියල්ල ඉවසීමෙන් යුතුව කියාදුන්නා ය.

විරාජ් රැගෙන ආ කළු පැහැති ගවුම ඇඳගත් අමායාට දැනුනේ ලැජ්ජාවකි. විලුඹ තෙක් දිගු එය ඇගේ කලවයක් පවා නිරාවරණය වන තරම් වන විවරයක් සහිත විය. අනෙක් අතට එහි කර ද බෙහෙවින් ගැඹුරට කැපී තිබුණේ පපුවෙන් කොටසක් ම නිරාවරණය කරමිනි. එම කොටස නෙට් රෙද්දකින් ආවරණය වුව ද එය අතිශය දුහුල් ය. පිටුපස විවරය ද ඉණ ආසන්නයට එන තෙක් විය.

"අනේ මේනකා, මට මේක නම් ඇඳගෙන යන්න බෑ... බලන්නකෝ, සේරම එළියෙනේ..."

අමායා කෙඳිරිගාන්නට වූයේ සිය පෞද්ගලික සහායිකාව වශයෙන් විරාජ් පත්කර සිටි මේනකා හට ය. අමායා හට සූදානම් වීමට මේනකා උදව් කරමින් සිටියා ය.

"ඒත් චූටි මැඩම්, මේක දැන් අඳින්න බෑ කිව්වම චූටි බේබිට කේන්ති යයිනේ..."

මේනකා පැවසූයේ කනස්සල්ලෙනි. මේනකා හට අමායාගේ සිතැඟි වටහාගත හැකි වුවත් විරාජ්ගේ අණකට පිටුපෑමට තරම් දිරියක් ඈට නොවිණි.

"ඒත් මේනකා මේ බලන්නකෝ..."

පැල්මෙන් පෙනෙන සිය නිරාවරිත කකුල පෙන්වමින් අමායා යළි කියන්නට වූවා ය. ඉන් ඇගේ පැහැපත් කලවයක් ද තරමක්දුරට නිරාවරණය වී තිබිණි.

"එතනට තව මිනිස්සුත් එනවා ඇතිනේ... අනේ මට ලැජ්ජයි මෙහෙම ඇඟ පේන්න ඇඳගෙන යන්න..."

"අනේ මැඩම්..."

"අමා... Are you ready, darling..?"

අමායාගේත්, මේනකාගේත් සංවාදය නවතාලමින් කාමරය තුළට පැමිණියේ විරාජ් ය. යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු බෙහෙවින් කඩවසම් විය. ඔහු දෙස බැලූ අමායා පවා මොහොතකට සසලව ගියා ය.

"Oh my god... Is this my wife..?"

කැඩපත මතින් තමා දෙස ඇසි පිය නොහෙලා බලාසිටින අමායා දෙස බලමින් විරාජ් විමසුවේ ය. ඔහුගේ මුවග මැවුණේ මනමාල සිනහවකි. ඔහුගේ සිනහවෙන් විපිළිසර වූ ඇය බිම බලාගත්තා ය.

"Is she ready and done..?"

විරාජ් විමසුවේ පසෙක සිටි මේනකාගෙනි.

"Yes sir..."

"Good... You can go now..."

විරාජ්ගේ අණට කීකරු වූ මේනකා අවසන් වරට ආයාචනාත්මක බැල්මක් අමායා වෙත හෙලා කාමරයෙන් පිටව ගියා ය.

"You look like a beauty queen, honey..."

අමායා පිටුපසින් ඇයට ළංවූ විරාජ්, ඇගේ කන් පෙත්තක් සිපගනිමින් කීවේ දෑසින් ඇගේ රූසිරි කැඩපත මතින් විඳිමිනි.

"Now I don't even feel like going to the party. I think something different to do now... You're so sexy today. My friends will wonder that I've such a hot wife..."

ඇගේ නිරාවරිත පැහැපත් පිට දිගේ සිය අතැඟිලි යවමින් ඔහු මුමුණන්නට විය.

"විරූ..."

ඇය ආයාසයෙන් යුතුව මතුළා ය.

"ම්ම්ම්ම්..."

"අනේ මං වෙන ෆ්‍රොක් එකක් අඳින්නද..?"

ඇය ආයාචනාත්මක බැල්මක් නෙතග තවරාගෙන ඔහුගෙන් විමසුවා ය. එකවරම ඇගේ ගෙලෙන් හිස එසවූ ඔහු, ඇයව වහා තමන් වෙත හරවා ගත්තේ ය.

"ඇයි..? මොකක්ද මේ ඩ්‍රෙස් එකේ තියන අවුල..?"

ඔහු වහා විමසුවේ සිය ආදරණීය ස්වරූපයෙන් බැහැර වී ය.

"අනේ... මං මෙහෙම ඇඳුමක් මීට කලින් ඇඳලා නෑනේ..."

ඈ තෙපලන්නට වූයේ බියෙනි.

"දැන් නිකන් ගොඩේ ගෑනියෙක් වගේ ඉන්න හදන්නෙපා අමා... ඔයා ප්‍රයිමිනිස්ටර්ගේ ඩෝටර් ඉන් ලෝ... ඔයා ඉන්න ඕනේ අපේ ක්ලාස් එකට මැච් වෙන්න... පරණ මනස්ගාත ඔලුවෙන් අයින් කරලා දානවා දැන්..."

ඔහුගේ ස්වරය තරමක් දැඩි වුවත් ඇයගේ සිතෙහි ගවුම කෙරෙහි වූ අකමැත්ත ඊට වඩා බලවත් විය.

"අනේ විරූ... මේක ගොඩක් ඕපන්නේ... ඇන්දත් නෑ වගේ..."

ඈ යළිත් මැසිවිලි නගද්දී ඔහුගේ දෙනෙත් මත බොර පැහැය පුරන්නට වූයේ ඔහුගේ නැග එමින් පැවති කෝපය පිළිඹිබු කරමිනි. ඔහු වමතින් ඇගේ බාහුවක් දැඩිව ග්‍රහණය කොට තමන් වෙත ඇදගත් අතර සුරතින් ඇගේ මුව අල්වාගත්තේ ඇයට වේදනාවක් දැනෙන සේ ය.

"තමුසේ මාව මැරි කළා නම් මං කියන විදියට ඉන්නවා... තමුසේ දැන් විරාජ් සේනාධිලංකාරගේ වයිෆ්... මං කියන දේ කරගෙන, මං ඉල්ලන දේවල් දීලා සද්ද නැතුව ඉන්නවා..."

ඇගේ මුව මතට ගිගිරූ ඔහු, ඇයව අතහැර පසෙකට වූයේ ය. කඳුලින් පිරුණු දෑසින් කඳුළු ගලායාම වැළැක්වීමට ඇය කිහිපවරක් ඇසි පිය සලමින් බර වූ නාසය උඩට ඇද්දා ය.

"දැන් බොරුවට ටැප් එක ඇරගෙන මේක්-අප් එක රුයින් කරගන්නේ නැතුව, එනවා යන්න... ලේට් වෙනවා..."

ඈ වෙතට සිය සුරත දිගු කරමින් ඔහු කීවේ ය. දැනුණු අසරණකම සඟවා ගනිමින් ඇය, ඔහු පෑ සුරත මත සිය අතක් තැබුවේ නෙතින් හඬන්නට වරම් නොලද්දෙන් හඬා වැළපෙන සිත වාරු කරගෙන ය.

✍🏼 සකුනි හතරසිංහ

මතු සම්බන්ධයි......

Comments