අනේ මං හදිසිද මන්දා... 🖤

(කෙටි නවකතාව - 04 කොටස)

"අමා, ඇකඩමි එකටයි, ඔයාලගේ ගෙදරටයි ඇර වෙන කොහාටවත් ගමන් තියාගන්නෙපා..."

විරාජ් දැඩිව කීවේ අමායා බියෙන් ඇලලී යද්දී ය.

"ඉතිං විරූ, මං කොහෙවත් ගියේ නෑනේ..."

ඈ වහා කීවේ ඔහුගේ බැල්මෙන් මිදෙමිනි.

"යන්න කලින්ම කියලා තිබ්බම ලේසීනේ... ඔයාට ෂොපින් යන්න ඕනේ නම් වීක්-එන්ඩ්ස් වල මාත් එක්ක යමු. වෙන වෙන ගමන් තියාගන්නෙපා... යාලුවො හම්බෙන්න ඕනේ නම් එයාලව ගෙදරට ගෙන්න ගන්න. හැබැයි කිසිම කොල්ලෙක්ව ගෙන්න ගන්නවත්, කොල්ලෝ එක්ක යාලුකම් තියාගන්නවත් එපා... යාලුවො ගෙදරට ආවත් මොනම හේතුවකටවත් අපේ බෙඩ්රූම් එකට එක්කං එන්නත් එපා..."

මෙම නීති-රීති සියල්ල ඇයට නුහුරු නුපුරුදු නොවීය. ඇය සුසුම් ලමින් ඔහුට එකඟවූවා ය. ඔහු, ඇයව තම දෙපා මතට ගත්තේ ය.

"මොන දේ උනත් මට ඔයාව නැති කරගන්න බෑ ඩෝල්... මට මේ ඕනෙම දෙයක් අතාරින්න පුළුවන්, ඒත් ඔයාව අතාරින්න බෑ..."

ඇය හිස මඳක් ඇල කොට ඔහු දෙස බැලුවේ ඔහුගේ ගෙල වටා දෑත් යවමිනි.

"බැරිවෙලා හරි මං ගියොත්..? යන්නම ගියොත්..?"

සිනාවක් සමඟින් ඇය විමසුවේ ඔහුගේ සවන් මතට තම දෙතොල් ළං කොට ය. ඔහු, ඇගේ දෙපා තම බඳ වටා යවා ඇයව, තම මුහුණ වෙතට හරවා ගත්තේ ය. ඇය ද, ඔහු වටා දෙපා යවමින් ඔහුගේ උකුලෙහි හොඳින් හිඳගත්තා ය. ඇගේ එම ක්‍රියාවෙන් ඔහුට සිනහවක් නැගුන ද ඔහු සුපුරුදු රළු ස්වරයෙන් ම පිළිතුරු බඳින්නට විය.

"ලෝකේ පීරලා හරි හොයාගන්නවා..."

"හොයාගෙන..?"

යළිත් හිස ඇළ කොට ඔහුගෙන්, ඇය විමසුවේ ඇහි බැමි ද ඔසවමිනි.

"මරලා දානවා..."

ඒ වදන් ද්විත්වය විදුලි සැරයක් වැදුනාක් මෙන් දැනී ඇගේ හදවතේ ගැඹුරුම පතුලට එකවරම කිඳාබසින්නට විය. ඔහු, සිය සුරතේ වෙදැඟිල්ල සහ සුලැඟිල්ල අල්ල දෙසට නවා අනෙක් ඇඟිලි තුන දිග හැර තුවක්කුවක හස්ත මුද්‍රාවක් තනා එහි මැදඟිල්ල සහ දබරැඟිල්ල ඇගේ නළලත පසෙකට තද වන සේ තැබුවේ ය.

"මට හොඳට ටාර්ගට් එකට වෙඩි තියන්න පුලුවන් ගර්ල්... ඔයාගේ මේ පුංචි ඔලුවට මට එක බුලට් එකක් හොඳටම ඇති..."

ඔහුගේ කතාවෙන් උපන් බියට ම ඇගේ නෙත් ඉවුරු කඩාගෙන කඳුළු කැට කිහිපයක් කොපුල් සීරා ගලාබසින්නට විය.

"Stupid girl... ඕනේ නැති ප්‍රශ්න අහලා මගේ කට අවුස්සගෙන දැන් බොරුවට අඬනවා..."

ඇගේ කඳුළු පිසිමින් ඔහු සිනාසුනේ ය.

"ඉතිං ඔයානේ මාව බය කළේ..."

ඇයගේ හඬෙහි වූයේ නෝක්කාඩුවකි.

"පොඩ්ඩක් අවුස්ස ගන්න හිතුනා... උඹව මරලා ඊළඟ පාරෙන් මටත් ෂූට් කරගෙන මටත් මැරෙන්න තමා වෙන්නේ..."

"ඒ ඇයි..?"

දෑතින්ම කොපුල් පිසගනිමින් ඇය දෑස් දල්වා ඔහුගෙන් විමසීය.

"ඔයා නැතුව තනියම මට ඉන්න බෑ හනී..."

මොහොතකට පෙර කඳුළු සැලූ ඇය එවර සිනා නගන්නට විය.

"ඔයා නම් පිස්සු කෙල්ලෙක් අමා... මේ අඬනවා, මේ හිනාවෙනවා... කොහොමද බං ඔච්චර ඉක්මණට මූඩ් චේන්ජ් වෙන්නේ..?"

"එහෙම තමා මං..."

ඇගේ වදන්වල මඟ අවුරාලමින් ඔහු, ඇගේ දෙතොල් සිපගන්නට විය. ඇගේ සිහින් දිගු අතැඟිලි ඔහුගේ හිස පිටුපස හිසකෙස් අතර සරන්නට වූයේ ඔහුගේ හාදුවට අනුබල දෙමිනි. ඔහුගේ සුරත, ඇගේ කකුලක් දිගේ ඉබාගාතේ සරන්නට වූයේ එම ස්පර්ශයෙන් හැකිලෙන ඕ තව තවත් ඔහුගේ පහසට නතු කරවමිනි.

"උඹ නම් පිස්සුවක් කෙල්ලේ... මීට කලින් මං කිසිම දේකට මෙහෙම ඇඩික්ට් වෙලා නෑ..."

ඇගේ දෙතොල් නිදහස් කළ පසු, වමතේ මහපටඟිල්ල ඇගේ දෙතොල් පෙති මත තදින් ගෙන යන්නට විය.

"බොරු කියන්නෙපා..."

ඇය දෙතොල් උල් කරමින් කීවා ය.

"මොකක්ද බොරුව..?"

"ඔයා ඩ්‍රග්ස් වලට ඇඩික්ටඩ්නේ... මට විතරක් නෙවෙයිනේ..."

ඔහු දෙඋර ගස්වමින් මහා හඬින් සිනාසෙන්නට වූයේ ය.

"මෝඩි... මං ඩ්‍රග්ස් ගන්නවා තමා හැබැයි ඇඩික්ටඩ් නෑ. මට ඒවා නැතුවත් ඕනේ තරම් ඉන්න පුලුවන්... සිගරට් නම් දවසට තුන හතරක් පෙවෙනවා ඉතිං..."

"විරූ, ඔයා ඩ්‍රග් බිස්නස් කරනවද..?"

ඇගේ එම පැනයෙන් ඔහු, ඈ වෙත හෙලුවේ තියුණු බැල්මකි.

"දැන් මොකාද කිව්වේ මං ඩ්‍රග් බිස්නස් කරනවා කියලා..?"

ඔහු රළු ස්වරයෙන් විමසුවේ ඈ දෙස දැල්වූ දෑස් බැල්ම නොබිඳිමිනි.

"මං නිකං ඇහුවේ... ඔයාට ඩ්‍රග්ස් යූස් කළා කියලා නඩුවක් තියනවා කියලා මං නිව්ස් එකක් දැක්කා..."

ඇය ආයාසයෙන් කියාදැමුවේ ඔහුගේ සැකයෙන් ගැලවෙනු පිණිස ය. ඔහු නිහඬව ම යහන පසෙක වූ කුඩා මේසය වෙත සුරත දිගුකොට ඒ මත තබා තිබූ සිගරට් පැකට්ටුව සහ ලයිටරය අතට ගත්තේ ය. පැකට්ටුවෙන් එක් දුම්වැටියක් ගෙන සිය මුවග තබාගෙන, ලයිටරය ක්‍රියාත්මක කොට එය දල්වාගත්තේ ඈ දෑස් අයා ඔහු දෙස බලාසිටින විට ය.

"ඔයා සිගරට් බීලා තියනවද බේබි..?"

ලයිටරය සහ සිගරට් පැකට්ටුව යළිත් කුඩා මේසය මත තබමින් ඔහු විමසීය. ඇය හිස දෙපසට සැලුවේ දුම්වැටි දුම හේතුවෙන් දෑසට නැගි කඳුළු වළක්වාගනිමිනි.

"Good... Then let's try..."

වමතින් ඇගේ නිකටට පහළ තද කර අල්ලාගත් ඔහු සුරතින් දැල්වූ දුම්වැටිය ඇගේ රෝස පැහැති දෙතොල් අතර තැබීය.

"Inhale honey..."

ඔහුගේ නියමයෙන් කඳුළු පිරි දෙනෙතින් ම හුස්මක් ඉහළට ගත් ඈ රතු වූ මුහුණෙන් ඔහු දෙස බලාසිටියේ ය.

"Exhale now, darling... Slowly..."

එකවරම හුස්ම පිටකළ ඇය තදින් කහින්නට වූවා ය. වහා අතැති දුම්වැටිය අළුබඳුන තුළට දැමූ ඔහු, ඇයව වැළඳගෙන ඇගේ පිටට තට්ටු කරමින් හිස අතගාන්නට විය.

"You have to practice more sweetie..."

ඔහු මඳ සිනහවක් සමඟින් කියන්නට වූයේ ඇය යථා තත්ත්වයට පත්වූ පසුව ය.

"අපෝ එපා... ඒවා ජරාව... ඈක්කා..."

යළි ප්‍රකෘතියට පත් ඇය, ළදැරියක මෙන් සිය පිළිකුල ප්‍රකාශ කරන ආකාරය දෙස ඔහු බලාසිටියේ සිනහව සමඟින් ම ය.

"මං හැම ජාතියකම ඩ්‍රග්ස් යූස් කරලා තියනවා ස්වීටි. Weed, Hash, Taba, LSD, Ecstasy, Ketamine, Coke, Mandy, Crystal meth, Marijuana everything. But I'm not addicted to... You're the only thing I'm addicted to. Only you..." 

ඇගේ බඳ වටා දෑත් යවා තමන් වෙතට තුරුළු කරගනිමින් ඔහු කියන්නට විය.

"මම... මම ඒවට ආස නෑ විරූ... අනේ, ආයේ කලින් කළා වගේ දේවල් කරන්නෙපා... මට තාම අප්පිරියයි..."

ඇය ආයාචනාත්මක ස්වරයෙන් තෙපලන්නට වූවා ය.

"Sh... Sh... Sh... Oh honey... Don't be afraid, my cutie... If you don't like it, I won't force you to do it again... I promise... හැබැයි මගේ බිස්නස් ගැන ආයේ අහන්නෙපා අමා... මං මොන දේ කළත් ඒ කරන කිසිම දේකින් කිසිම ඉෆෙක්ට් එකක් ඔයාට එන්න ඉඩක් තියලා නෑ. තියන්නෙත් නෑ... මට නඩු එකකට වඩා තියනවා. ඔය කේස් එක ගැන දන්නවා නම් මට මර්ඩර් කේස් එකකුත් තියනවා කියලා ඔයා දන්නවා ඇතිනේ... බට් ඔයාම හිතලා බලන්න ඔයාට මේ තරම් ආදරේ කරන මට එහෙම මිනිහෙක්ව මරලා දාන්න පුලුවන්ද කියලා... කවුරු හරි ඔයාගෙන් මගේ බිස්නස් ගැන ඇහුවොත් මගේ හොටෙල් නෙට්වර්ක් එක ගැන කියන්න. නයිට් ක්ලබ්ස් ගැනවත් කියන්නෙපා... මං ඒ දේවල් ගැන ඔයා එක්ක කතා නොකරන්නේ ඔයාගෙම හොඳට... ඒ ටික දැනට මතක තියාගත්තම හොඳටම ඇති..."

ඇගේ මුව දෝතින්ම ගත් ඔහු කීවේ විශ්වාසවන්ත හඬිනි. යළිත් ඇයට වදනක් හෝ කීමට අවස්ථාවක් නුදුන් ඔහු වහා ඇගේ ලවන්, සිය දෙතොලින් වසාගත්තේ ය.
.
.
.
.
"අමා...හ්..."

පහත මාලයෙන් ඇසුණු විරාජ්ගේ ගෝරනාඩු හඬට බියවුණු අමායා වහා උඩු මහලේ සිට දිව එන්නට වූවා ය. හති හලමින් ඔහු අසල නතර වූ ඇය මඳ සිනහවක් පෑවේ ඔහු සමඟ ම සිටි ඔහුගේ මිතුරු ශෙවෝන් හට යි. පිනපෝ ගවුමක් ඇඳ කොණ්ඩ කරල් දෙකක් ගොතාසිටි අමායා දුටු විට ශෙවෝන් හට සිතුනේ ඇය තවමත් පාසල් යන යුවතියක ලෙස යි. නමුත් කෝපයෙන් සිටි විරාජ් හට නම් අමායාගේ මේ එකඳු හැඩයක්වත් එවෙලෙහි නොපෙනිණි.

"කවුද අමා, තිලිණ කියන්නේ..?"

විරාජ්ගේ එම හඬේ වූයේ ද කෝපය යි.

"තිලිණ කියන්නේ අපේ නංගි යාලුවෙලා ඉන්න බෝයි... ඇයි විරූ..?"

"ඌව මට හම්බෙලා තියනවද..?"

"එයා අපේ වෙඩින් එකට ආවනේ... ඇයි තිලිණට මොනා වෙලාද..?"

"ඌට නම් කිසිම හෙණයක් නෑ... ඌ අපේ වැඩවලට ඔලුව දානවා... ඌ මොනා කරන එකෙක්ද කියලා ඔයා දන්නවද..?"

"තිලිණ ලෝයර් කෙනෙක්නේ විරූ... ඇයි එයා ඔයාලගේ වැඩ වලට ඔලුව දාන්නේ..? එයා බිස්නස්මන් කෙනෙක් නෙවෙයිනේ..?"

ශෙවෝන් හට මුල්වරට අමායා ගැන අනුකම්පාවක් ඇති විය. මේ කුඩා යුවතිය බාහිර ලෝකය පිළිබඳව දන්නා දෙයක් නොමැති බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. විවාහයට පෙර පියාගේ සෙවනැල්ලෙනුත්, විවාහයෙන් පසු විරාජ්ගේ සෙවනැල්ලෙනුත් වැසුණු ඇය දැක ඇත්තේ සීමාකාරී ලෝකයකි.

"ඌ වැඩ කරන්නේ, ලක්සිරි විජේමාන්න කියන ලෝයර්කාරයා එක්ක... ඌගේ වැඩේ අපේ තාත්තාව ප්‍රයිමිනිස්ටර් පුටුවෙන් එළියට ඇදලා දාන්න දත කන එක..."

විරාජ් දත් මිටි කමින් කීවේ ය. කඳුළු පුරවාගත් යුවතිය වෙත ඔහුගේ අවධානය මීළඟට යොමුවිය.

"තමුසේ මොනවද ඊයේ ඌත් එක්ක රෙස්ටොරන්ට් ගානේ ඇවිද ඇවිද කියෙව්වේ..?"

ඇගේ නෙතින් කඳුළු ගලා හැලෙන්නට විය.

"ම..මම..."

ඇය වදන් ගලපන්නට උත්සාහ කළා ය.

"උඹ තමා... නැත්නම් මමද ඌ එක්ක රෙස්ටොරෙන්ට් ගානේ ගියේ..?"

ශෙවෝන් වහා විරාජ්ගේ අතකින් ඇද ඔහුව පසෙකට කළේ ය.

"කෙල්ල හොඳටම බයවෙලා ඉන්නේ බං කෑනොගහා අහපන් අහන දෙයක්..."

බිත්තිය මතට ඇලී ඉකිලන යුවතිය දෙස බලමින් ශෙවෝන් කීවේ ය. ශෙවෝන්ගේ අත දමා ගැසූ විරාජ්, අමායාගේ ඇඟේ ගෑවී නොගෑවී මෙන් සිටගත්තේ ඈ මැදි කොට බිත්තිය මතට දෑත් තබමිනි.

"ශෙවා, උඹ එළියෙන් ඉඳපන්..."

විරාජ්ගේ විධානයෙන් තවදුරටත් තමන් එතන රැඳී නොසිටිය යුතු බව වටහාගත් ශෙවෝන් විසිත්ත කාමරයෙන් ආලින්දය දෙසට යන්නට වූයේ ය. විසිත්ත කාමරයේ වූයේ ඔවුන් දෙදෙනා පමණි.

"දැන් කියපන් බේබි ගර්ල්, තමුන් මොනාද කළේ ඊයේ අරූ එක්ක..?"

ඈ දෑස උස්සා ඔහු දෙස බැලුවේ ය. අපහසුවෙන් ඉකිය වළක්වා ගනිමින් ඈ වදන් අමුණන්නට වූවා ය.

"මං... මං ත්..තිලිණව මීට් උ..උනේ න්..නංගි..ග්..ගේ ර්..රෙජිස්ට්‍රේෂන් එක්..ක ගැන ක්..කතා කරග්..ගන්න..."

"එච්චරද..?"

"ඔ..ඔව්... ප්..ප්‍රොමිස්..."

"Okay then... බට් මීට පස්සේ ඌව මීට් වෙන්න ඕනේ නම් යන්න ඕනේ මාත් එක්ක... Okay..?"

අමායා හිස සැලුවා ය.

"Good girl... මෙහෙ එන්න... මාව කේන්ති ගස්සන වැඩ කරන්නෙපා ලව්..."

ඇයව, සිය පපුවට තුරුළු කරගනිමින් ඔහු සෙමෙන් ඇගේ හිස අතගෑවේ ය.

පැය කාලකට ආසන්න කාලයක් ඈ හා ගත කළ ඔහු, ශෙවෝන් සමඟින් නිවසෙන් පිටවුණේ ය.

"ඔහොම කෙල්ල ඉස්සරහා හැසිරෙන්නෙපා බං... ඒකි හිතයි උඹට මෙන්ටලි ඉශූ එකක් තියනවා කියලා..."

ශෙවෝන් කීවේ රිය පදවන විරාජ් හට ය. විරාජ් එයට සිනහවක් පෑවේ ය.

"උඹට හිනා... අරකි හාවියෙක් වගේ බයේ ගැහි ගැහි බිත්තියට ගුලි උනේ උඹේ සද්දෙට... පව් බන්..."

"ඒකනේ මං උඹලා වගේ හදිසි නොවී බලන් ඉඳලා ඉඳලා හොයලා හොයලා මට හරියන එකම හොයාගත්තේ... මට ඕනේ උනේ ඔහොම ඉන්න කෙල්ලෙක් තමා... මොකද මං එක දෙයක් දන්නවා ශෙවා... මං අමාව මැරුවොත් මිසක් එහෙම නැතුව ඕකි මාව දාලා යන්නෑ... සල්ලිවලට නෙවෙයි, ඕකි මට පණ ඇරලා ආදරෙයි... හැබැයි ඕකිව පොඩ්ඩක් බය කරලා තියාගන්න වෙනවා..."

විරාජ්ගේ හඬේ වූයේ විශ්වාසවන්ත බවකි.
.
.
.
.
"විපුල්, ඔය ඉස්සරහා පාක් එකෙන් පොඩ්ඩක් නවත්තන්නකෝ වාහනේ..."

කලායතනයේ සිට එන අතරතුර අමායා පැවසුවේ විරාජ්ගේ රියදුරු හට යි.

"චූටි මැඩම්, මට චූටි බේබි කියලා තියෙන්නේ චූටි මැඩම්ව කලායතනයටයි, ගෙදරටයි ඇර වෙන කොහාටවත් එක්කන් යන්නෙපා කියලනේ..."

"අනේ විපුල්... මං විරාජ්ට කියන්නම්... විපුල් බයවෙන්නෙපා... මං වැරදි ගමනක් යන්නෑනේ..."

"ඒත් චූටි මැඩම්..."

"ඔන්න ඔතනින් නවත්තන්න විපුල්... මං ඉක්මණට එනවා..."

මෝටර්රථය මන්දගාමී වූ සැණින් ඉන් බැසගත් අමායා එතැනම වූ රථ ගාල දෙස හොඳින් බැලුවේ ඇය සෙවූ රුව සිටින්නේදැයි සොයමිනි. ඈ දුටු වහා අත වැනූ ඔහු වෙත ඈ ඉක්මන් අඩි තබමින් ඇවිද ගියා ය.

පාසැල් වියේ පටන් වූ මිතුරුකම අභිබවා ඔවුනතර වූයේ සහෝදර බැඳීමකි. ඒ බැඳීම ඈ මුවට සොඳුරු සිනහවක් ගෙන එන්නට සමත් විය.

"හිනාවෙයන් ගොන් එළදෙන... රාස්සයෙක්ව බැඳගෙන දැන් අපිට වදදෙනවා... මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉද්දි උඹටත් අර යකාවම ඕනේ උනානේ..."

තිලිණ බනින්නට වූයේ තමන් වෙත නියවමින් සිටින යුවතිය වෙත රවමිනි.

"ඒකට තමා සැබෑ ආදරේ කියන්නේ..."

යුවතිය විරිත්තමින් කීවා ය.

"ල-බ..."

තිලිණගේ මුවින් එය පිටවූයේ කේන්තියෙනි.

"මං දන්නෑ ලොකූ ඇයි ඔයා මෙහෙම රිස්ක් එකක් ගත්තේ කියලා... අරූ ඔයාට මාව මීට් වෙන්න තහනම් කරලා නේද තියෙන්නේ..?"

ඇය හිස සැලුවා ය.

"මං කියන්න බොරුවක් රෙඩි කරගෙන ආවේ... අහු උනොත් කියනවා නංගිගේ හොරස්කෝප් එක ඔයාට දෙන්න ආවේ කියලා හදිසියේ..."

තිලිණ දෑස් හකුළුවා ඈ දෙස බැලුවේ ඈ දිගු කළ කඩදාසිය අතට ගනිමිනි.

"ඒක එච්චරම හරියන බොරුවක් නම් නෙවෙයි ලොකූ... ඊටත් දැන් නැකැත් හදලත් ඉවරයි..."

"ඒකට කමක් නෑ. විරූ ඕවා දන්නෑනේ... ඒක නෙවේ. මට අර විස්තර කියන්නකෝ දැන්..."

තිලිණ සුසුමක් හෙලුවේ ය.

"ඩිවෝන් කියන මිනිහා හම්බෙන්න ඔයා නොගිය එක හොඳයි ලොකූ... ඌ එක්ක මොකක් හරි අවුලක් තිබිලා තියනවා කාලයක් විරාජ්ට. ඒත් මෑතක ඉඳන් ආයේ උන් එකට බිස්නස් කරන්න අරගෙන..."

"මොනාද..?"

"ඩ්‍රග්ස්, ඇන්ටික් බඩු, වෙපන්ස් වගේ ඒවා... බ්ලැක් මාකට් ඩීල් තමා..."

අමායාගේ දෑස් විසල් විය.

"විරාජ්ට අන්ඩර් වර්ල්ඩ් එකත් එක්කත් කන්ටැක්ට්ස් තියනවා ලොකූ... වැවේවත්තේ නාලක එක්ක තදටම ඩීල් යනවා පොරගේ... රිශාන් මැරෙනකොට එයා ලංකාවේ නම්බර් වන් බයික් රේසර් කෙනෙක්. අනික් පැත්තෙන් ඒ වෙද්දී විරාජ් කියන්නේ ලංකාවට හිටපු හොඳම රග්බි ප්ලේයර් කෙනෙක්. ඒත් විරාජ්ගේ රග්බි කරියර් එක සම්පූර්ණයෙන්ම නවතින්නේ ඔය මර්ඩර් එකත් එක්කමයි... එතකොටත් පොර නැෂනල් රග්බි පූල් (ජාතික රග්බි සංචිතය) එකේ හිටපු ප්ලේයර් කෙනෙක්... ඒත් කේස් එකේදී පොර මර්ඩර් එකට සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න බැරිවෙනවා... තිබ්බ එකම සාක්ෂිය තමා ඊට සතියකට කලින් ක්ලබ් එකේ ගිය රණ්ඩුවකදී රිශාන්ව මරනවා කියලා විරාජ් තර්ජනය කරලා තිබ්බ එක... ඒ ඇර මිනිහට විරුද්ධව කිසිම දෙයක් නෑ..."

අමායා සුසුමක් හෙලුවා ය.

"තිලිණ ඔයා හිතනවද ඒක කළේ විරාජ් කියලා..?"

තිලිණගේ දෑස් අමායාගේ වත මත උනන්දුවෙන් සරන්නට විය.

"ඒක කළේ විරාජ් නෙවෙයි. ඒත් ඒක කෙරෙව්වේ විරාජ්..."

අමායා, යටි තොල සපාගත්තා ය.

"ලොකූ, ඔයාට ඌගෙන් දැන් බේරීමක් නෑ... ඇත්තම කිව්වොත් ඌ ඔයාව දැක්ක දා ඉඳන් ඔයාට බේරීමක් තිබිලා නෑ. ඌ පිස්සෙක් වගේ ඔයාව ෆලෝ කරලා තියෙන්නේ... ඔයා ඌව නොබැන්දා නම් මේ වෙද්දී ඔයාත් ඉන්නේ රිශාන් ගාව..."

තිලිණ කීවේ ඉවත බලාගෙන ය. අමායා ද මේ වනවිට ඒ සත්‍යය වටහාගෙන සිටියා ය.

"මං එයාගෙන් ඩිවෝස් උනත් වෙන්නේ ඒකමයි තිළිණ... එයා මාව විතරක් නෙවෙයි තාත්තාවයි, නංගිවයිත් මරයි එහෙම උනොත්... ඔයාලා දෙන්නා මැරි කරලා UK යන්න තාත්තාවත් අරං... අනේ එයාට මේ මුකුත් දැනගන්න තියන්නෙපා. තාත්තාට එක පාරකුත් බයිපාස් එකක් කරලනේ තියෙන්නේ..."

අමයාගේ හඬ කන්නලව්වක් සදිසි ය.

"අපි නෙවෙයි ලොකූ... ඔයාට පුළුවන් නම් ඔය මඟුල්වලින් ඕකව අයින් කරගෙන ලංකාවෙන් යනවා... සේනාධිලංකාරට බලය නැති උනොත් ඕකා කොහොමත් එල්ලුම් ගස් යනවා..."

අමායා නැවතත් සුසුමක් හෙලුවා ය.

"මට තේරෙන්නෑ අප්පා... කොහොම උනත්..."

කතාව අතරමග නතර කළ අමායා කලබලකාරී ලෙස තිලිණගේ පිටුපස බලමින් කතා කරන්නට වූවා ය.

"තිලිණ, ඔයා පස්ස බලන්නෙපා... විරූ අපි ඉන්න තැනට එනවා... හිනාවෙලා කතා කර කර ඉමු... ඔය හොරස්කෝප් එක අතේ තියන් ඉන්න..."

තිලිණට බියක් දැනුණේ තමා ගැන නොව ඈ ගැන ය.

"මේක හරියන බොරුවක් නෙවෙයි ලොකූ... අරූ කොහොමද දන්නේ ඔයා මෙතන කියලා..?"

"විපුල් කෝල් කරලා කියන්නැති... දැන් කිට්ටුයි..."

අමායා, ඔවුන් අසලට පැමිණෙමින් සිටින විරාජ් හට පුළුල් සිනහවක් පා අත වැනුවා ය. රවාගත් වතින් යුතුව ඔහු, අමායා සහ තිලිණ සිටින ස්ථානයට පැමිණියේ ය.

"ඔයා මොකද අමා මෙතන කරන්නේ..?"

අමායා, ඔහු වෙත පුළුල් සිනහවක් පෑවා ය.

"තිලිණට නංගිගේ හොරස්කෝප් එක දෙන්න ආවා... එයාලගේ නැකැත් හදන්න යන්නේ... විරූ, මේ තිලිණ. අපේ අනාගත මස්සිනා...
තිලිණ නම් දන්නවනේ මේ කවුද කියලා..."

විරාජ්ගේ අතක් වටා වෙලෙමින් අමායා කියන්නට වූවා ය. විරාජ් සිනහවක් පා තිලිණ වෙත අත දිගු කළේ ය.

"හායි තිලිණ..."

"හායි විරාජ්... වෙඩින් එක දවසේ මීට් උනාට මතක නැතුව ඇතිනේ..."

සුහදත්වයක් පාමින් ඔහු කීවේ ය.

"මතකයි මට... ඉස්සරහට කොහොමත් අපි නිතරම මීට් වෙයිනේ..."

තිලිණ සිනහවක් පෑවේ විරාජ්ගේ දෙබිඩි අරුත් දෙන කතාව වටහාගනිමිනි. රිශාන්ගේ මරණ පරීක්ෂණය යළි විභාග වන බවත්, තම ජ්‍යෙෂ්ඨ නීතිවේදියා වන ලක්සිරි විජේමාන්න එහි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින බවත් තමන් දන්නා බව හැඟවීම විරාජ්ගේ යටි අරමුණ වූ බව තිලිණ හට වැටහිණි.

"විරාජ්, මං ඉමීඩියඩ් මීටිං එකකට යන ගමන් අමාව දැකලා නැවතුනේ... අපි ෆ්‍රී වෙලාවක සෙට් වෙමු එහෙනම්...
බේබි, අපි යමුද..?"

තිලිණගේ උරහිසට අත තබා සුහද ලෙස හමුව අවසන් කළ විරාජ්ගේ විමසුමට අමායා හිස සැලුවා ය. තිලිණ ගෙන් සමුගත් විරාජ්, තමන්ව ඔහු පැමිණි වාහනය වෙත රැගෙන යන විට අමායා, ඔහු දෙස බැලුවා ය.

"විරූ, මං විපුල් එක්කනේ ආවේ..."

"මං විපුල්ව යැව්වා... ඔයා යමු මගෙත් එක්ක පොඩි ගමනක්..."

අමායා හට විරුද්ධ වන්නට ඉඩක් නොතබමින් විරාජ් වහා කීවේ ය. විරාජ්ගේ ජීප් රියට නැගුණු ඇය, ඔහු දෙස බලාසිටිය ද ගමනාන්තයක් පිළිබඳව කිසිඳු දෙයක් ඔහු නොකීවේ ය. රථය කොළඹ නගරයෙන් පිටත් වී පැය දෙකක පමණ ගමනකින් පසු ගමන් ගනිමින් තිබුණේ රබර් වත්තක් මැදින් වූ රළු මාවතක ය.

"මේ කොහෙද විරූ..?"

සියවෙනි වතාවට පමණ අමායා විමසුවා ය.

"ගියාම බලන්න..."

පෙර පිළිතුරම ලද්දෙන් ඇය නිහඬ වූවා ය. රථය නැවතූයේ කුඩා වනාන්තරයක් බඳු ගෙවත්තක් මධ්‍යයේ වූ අඩක් නිම කළ නිවසක් අසල ය. එහි මිදුලෙහි තවත් සුභෝපභෝගී ජීප් රථයක් සහ නවීන පන්නයේ මෝටර්රථයක් ද නවතා තිබිණි.

අමායාගේ අතකින් අල්වාගත් විරාජ් නිවසෙහි ආලින්දයට පිවිසෙන විට ම නිවස තුළ සිට පිටතට පැමිණි ශෙවෝන්, ඔවුන් දෙදෙනා වෙත පැමිණියේ කලබලයෙනි.

"පිස්සුද ගොනෝ මේ කෙල්ලව මෙහෙ එක්කං ආවේ..?"

ඔහු පහත් ස්වරයෙන් විමසුවේ විරාජ්ගෙනි.

"එයාට පොඩි ලෙසන් එකක් කියාදෙන්න තියනවා..."

විරාජ්ගේ දැඩි ස්වරයට ශෙවෝන් යළිත් මුමුණමින් බනින්නට විය.

"මගේ ගෑනිනේ. තොගේ නෙවෙයිනේ. ඒ නිසා කටවහන් හිටපං... කෝ උදිත අයියා..?"

ශෙවෝන් රැවුමක් විරාජ් වෙත හෙලමින් පිළිවදන් දුන්නේ ය.

"ඇතුළේ..."

වදනක් හෝ නොපැවසූ විරාජ්, අමායා සමඟින් නිවස තුළට ඇතුළු විය. පෙට්ටි සහ ගෝනි පිරවූ බරාඳයක් ඔස්සේ යන විට අමායාට ඇසුනේ පිරිමින්ගේ ගොරහැඬි හඬවල් ම ය.

"අඩෝ..."

විවර වූ දොරකින් බරාඳයට පා තැබුවේ අමායා හොඳින් දන්නා විරාජ්ගේ ඥාති සොහොයුරෙකු වන උදිත ය. විරාජ් මෙන් උස මහත අයෙකු නොවුණ ද ඔහු කඩවසම් බව රැකගනිමින් සිටින මැදි වියට පානගන්නෙකු විය.

"උඹේ බියුටි ක්වීන් මෙහාට නම් කැමති වෙන එකක් නෑ කොල්ලෝ..."

විරාජ් සමඟ සිටි අමායා දෙස ඉඟිමරමින් උදිත කීවේ ය.

"එයාට පොඩ්ඩක් පෙන්නන්න හිතුවා... මොකද උනේ..?"

"මං උඹේ පංගුව ඉතුරු කළා..."

"එහෙනම් මං මගේ කොටස ඉවර කරන්නම්..."

"ඕඩියන්ස් එක නම් අවුල් වෙයි මචං..."

විරාජ් හිස හරවා පසෙක සිටි අමායා දෙස බැලුවේ ය.

"පොඩි ෂොක් එකක් දෙන්න අරන් ආවේ..."

උදිත හිස සැලීය.

"පරිස්සමින්..."

"උඹ යනවද..?"

"නෑ බං... මං එළියෙන් ඉන්නම්... අද බව්වලගේ ගෙදර කට්ටිය සෙට් වෙන්න කතා උනා... එන්න වෙන්නෑ කියලා බව්වට කියන්න ඕනේ..."

"හරි... මං ඉක්මණට එන්නම්..."

"ඇහැ ගහගෙන ඉඳපන්..."

අමායා නෙතගින් පෙන්වූ උදිත බරාඳය දිගේ ඔවුන් පසුකර යන්නට විය.

"එන්න..."

උදිත, පැමිණි කාමරයට ඇතුල්වෙමින් විරාජ් කීවේ අමායා හට ය. කාමරයට පිවිසුණු අමායාගේ නෙත ගැටුණේ එහි සිටි විවිධාකාර පිරිමි මුහුණු කිහිපයකි. නමුත් ඇගේ අවධානය වැඩියෙන්ම දිනාගත්තේ කාමරයේ මුල්ලක පුටුවක බැඳ දමා සිටි මිනිසා ය. ඔහුගේ ගත පුරා වූයේ රුධිරය බව වටහාගත් සැණින් අමායා සලිත වූවා ය.

"ව්..විරූ..."

ඈ අපහසුවෙන් මිමිණුවේ ඔහු දෙසට දෑස යවමිනි. නමුත් ඊළඟ මොහොතේ ඇගේ සියොළඟ ම බයෙන් ගල් ගැසී ගියේ විරාජ්, පසෙක සිටි තරුණයෙකු දිගු කළ පිස්තෝලයක් සුරතින් ගන්නා අයුරු දුටු විට ය.

✍🏼 සකුනි හතරසිංහ

මතු සම්බන්ධයි........

Comments