අනේ මං හදිසිද මන්දා... 🖤
(කෙටි නවකතාව - 01 කොටස)
Genre - Physiological Thriller + Romance
Age Range - 18
Language - Sinhala
Type - Novella
Trigger Points - Sex, Violence, Self Harm, Murders
Episodes - 05
* * *
විරාජ්ගේ තියුණු දෙනෙත් එල්ල වී තිබුණේ අඳුරු කළ රිය කවුළුවෙන් එපිට වූ ස්ථානයක් වෙත ය. ඔහු මඳක් ඉදිරියට ද නැඹුරු වී බැලුවේ යළි යළිත් ඒ වත, සිය සිතෙහි මනාව සිතුවම් කරගනු පිණිස ය. පියදාස විසින් ගේට්ටුව විවර කිරීමට පමා වූ කාලය ඔහුට වෙනදා මෙන් කෝපයක් ගෙන දෙන කරුණක් නොවීය. ඔහු මෝටර් රථයෙන් බැසගන්නා තෙක් පියදාස බලාසිටියේ සුපුරුදු පමාවීමේ වරදට එල්ල වන දෝස්මුරය අසාගැනීමට ය.
නමුදු එදින විරාජ් සිටියේ සිතින් පියදාසගේ පමාවට තුති පුදමිනි. විවර කුඩා ගේට්ටු පියන්පත් ද්විත්වයෙන් දර්ශනය වූ අසල්වැසි නිවසේ වාසය කරන්නා වූ නමක්වත් නොදන්නා ඇය කවුරුන්දැයි සිතමින් ඔහු මෝටර්රථයේ දොර වසාදැමී ය.
"උදිත මහත්තයා ආවද පියදාස..?"
පියදාස මවිතයට පත්කරවමින් සුපුරුදු අකාරුණික ස්වරය වෙනුවට ස්වභාවයෙන්ම රළු ස්වරයෙන් සන්සුන් ලෙස විරාජ් විමසුවේ ය.
"ත්..තාම ආවේ නෑ චූටි බේබි..."
විරාජ් සෙමෙන් හිස සැලුවේ ය.
"කෑම රෙඩි කරන්න පියදාස... මං ඉක්මණට වොෂ් දාගෙන එන්නම්. බඩගිනී..."
නිවසට ඇතුළුවෙමින් විරාජ් කීවේ ය.
"හොඳමයි චූටි බේබි..."
දහවල් ආහාරයෙන් පසුව දුම්වැටියක් දල්වාගත් විරාජ් කාර්යාලීය ලිපිගොනුවක් සහ තම ජංගම දුරකතනය අතැතිව සඳළුතලය වෙත පියනැගී ය. නමුත් ඔහුගේ අභිප්‍රායන් බිඳීගියේ කාන්තා කිකිණි සිනා නාදයකිනි. ඔහු සඳළුතලයේ කෙටි තාප්පයෙන් එබී අසල්වැසි ගෙමිදුල දෙස බැලුවේ ය. යුවතියන් දෙදෙනෙක් කිසියම් කරුණක් අරභයා මහා හඬින් සිනාසෙමින් සිටිනු ඔහු දුටුවේ ය. ඒ අතර මීට පැය කිහිපයකට පෙර ඔහුගේ සිත සසල කළ රුවෙහි හිමිකාරිය ද වන බව දුටුවෙන් ඔහු වඩාත් උවමනාවෙන් ඔවුන් දෙස බලාසිටියේ ය. කුඩා දරුවෙකු වඩාගෙන සිටින ඇය, එම දරුවාගේ මව විය හැකිදැයි ඔහු කල්පනා කරමින් සිටින අතරතුර දරුවාත් සමඟින් යුවතියන් දෙදෙනා, ඔවුන්ගේ නිවස තුළට පියමන් කළහ.
.
.
.
.
"පියදාස, අල්ලපු ගෙදර ගෙස්ට් හවුස් එකක්ද..?"
විරාජ් විමසුවේ සවස තේ පානය සඳහා පහත මාලයට පැමිණි අවස්ථාවේ දී ය.
"නෑ චූටි බේබි. වීරතුංග කියලා ඉස්කෝලේ මහත්තයෙක්ගේ ගෙදරක්..."
ඔහු හිස සැලුවේ ය.
"තරුණ මනුස්සයෙක්ද..?"
"අපෝ නෑ චූටි බේබි... ඉස්කෝලේ මහත්තයාගේ ලොකු දුවට පොඩි දරුවෙකුත් ඉන්නවා..."
"මං දැක්කා කවුද ගෑණු කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නවා. එහෙනම් ඒ දුව වෙන්නැති..."
"වීරතුංග ඉස්කෝලේ මහත්තයා නම් දැන් අවුරුදු දෙක තුනකට කලින් අන්තරා උනා... දැන් ගෙදර ඉන්නේ නෝනයි, පොඩි දුවයි තමා. ලොකු දුව බැඳලා ඉන්නේ කොළඹ කිට්ටුවට... මේ දවස්වල ලොකු දුව දරුවා එක්ක නිවාඩුවකට මෙහෙ ඇවිත්... තව නෑදෑ වෙන ගෑණු දරුවෙකුත් ඇවිත් ඉන්නවා. දිග කොණ්ඩයක් තියන සිරියාවන්ත කෙලි පොඩ්ඩක්..."
එසේ නම් තමාගේ සිත කැළඹූ යුවතිය ඇය විය යුතු ය. මින් එහා තොරතුරු පියදාසගෙන් විමසීම නොකටයුත්තක් වූ බැවින් විරාජ් පානය කර අවසන් කළ කෝප්පය මේසය මත තබමින් අසුන පසුපසට කර සිටගත්තේ පියදාස දෙසට මඳ සිනහවක් ද පාමිනි.
"පියදාසත් දන්නැති දෙයක් නෑ නේද..?"
විහිලුවට මෙන් පියදාස හට කියමින් ඔහු විසිත්ත කාමරය වෙත ගියේ ය. ඔහු වෙත යටහත් පහත් ලෙස හිස නවමින් සිනාසුණු පියදාස වදනක්වත් නොකීවේ ය.
.
.
.
.
පසුදින උදෑසන ව්‍යායාම් කිරීමෙන් අනතුරුව විරාජ් උද්‍යානයට පිවිසෙන විට ද යන්තම් අඳුරක් පරිසරය වසාගෙන පැතිර තිබුණි. ගත හිරිවට්ටවන නුවරඑළියේ සීතලෙන් මිදීමට ඔහු ගත උණුසුම් කරවන කබායක් සහ සැහැල්ලු බොටම් කලිසමක් ඇඳසිටියේ ය. දෑත් දෙපසට දිගු කර සිසිලස විඳගනිමින් සිටි ඔහුගේ දැහැන් බිඳුනේ ගේට්ටුව දෙසින් පැමිණි ආගන්තුක හඬට ය. පියදාස හෝ රියදුරා වූ විපුල් අමතන්නට සිතමින් ඒ දෙස බැලූ ඔහු තිගැස්සුනේ කුඩා අතුරු ගේට්ටුව විවර කරගෙන පැමිණි රුව දැකීමෙනි.
දෙදණ තෙක් වූ මල් සහිත ගවුමක් ඇඳසිටි ඇය ඊට උඩින් ගත උණුසුම රඳවන තරමක් දිගු සීත කබායක් පැළඳ සිටියා ය. දිගු වරලස තනි කරලකට වන්නට ගොතා හිස වසා හිස්වැසුමක් පැළඳ සිටියා ය. රබර් පාවහන් යුවළක් පැළඳ සිටි ඇගේ එක අතක එළකිරි බෝතලයක් වූ අතර අනෙක් අතෙහි වූයේ නැවුම් මල් කිනිති කිහිපයකි.
"ගුඩ් මෝනින් සර්, අනේ සමාවෙන්න කරදර කරනවට... අදත් කිරිකාරයා සර්ගේ කිරි එක අපේ ගේට් එක ගාව තියලා ගිහින්. මං මේ ඒක පියදාස මාමට දෙන්න කියලා ආවේ..."
මොහොතක් ළතැවෙමින් සිටි ඇය පහත් ස්වරයෙන් කීවා ය.
රෝස පැහැති ඇගේ දෙතොල් චලනය වන ආකාරය දෙස බලාසිටි ඔහුගේ සවනත ඇගේ වදන් පතිත වුවත් ඔහු එකවරම පිළිතුරු නොදුන්නේ තම සිත් ගත් ඈ රුවෙහි සියලුම අංගයන් තම දෙනෙතට හසුකරගැනීමේ ව්‍යායාමය ඔහු තවමත් සම්පූර්ණ කර නොසිටි බැවිනි. ඇය වනාහි දෙවියන් විසින් මැවූ අග්‍ර කලා කෘතියක් සදිසි ය. හිස්වැසුමෙන් මිදුණු කියඹු ලතාවන් කිහිපයක් ඇගේ පුළුල් නළල් තලය සැරසුවේ ය. විසල් නෙතු යුග්මය ඔහුගේ දර්ශනයෙන් ඈ සිත ඇතිවූ කැළඹීම මනාව පිළිඹිබු කරවීය. රෝස පැහැති කම්මුල් සහ අදර යුවළ සිපගන්නට තරම් ඔහුට සිත් විය. එතරම් උස් නොවූ සිරුරක් හිමි ඇයගේ ගත නාරි ලාලිත්‍යයෙන් හෙබි පිරිපුන් සිරුරක් බව ඔහුගේ නිරීක්ෂණයන්ට ලක්විය. පිරුණු ළැම, පුළුල් උකුළ සහ තරමක් සිහින් ඉඟ ඔහුගේ සිත්ගත්තේ ය.
"සර්..."
ඔහුගේ නිහඬතාවය නිසා ඇය යළිත් ඔහුව ඇමතුවා ය.
"යන්න. පියදාස ඇත්තේ කිචන් එකේ. කලින් ඇවිත් තියනවා නම් දන්නවා ඇති නේද කිචන් එකට යන්න..?"
ඔහු හිසින් සන් කරමින් කීවේ ය. මඳ සිනහවක් පාමින් හිස සැලූ ඇය, නිවස දෙසට පියවර තැබීය.
"මේහ්..."
ඔහුගේ හඬින් ඇය හිටිවනම නතර වී ආපසු හැරී බැලුවා ය.
"සර්..?"
ප්‍රශ්නාර්ථයක් මුහුණට නංවාගත් ඇය සෙමෙන් මතුළාය.
"එන්න, ගේ ඇතුලෙන්ම යන්න. එහා පැත්තේ බල්ලෝ ඇරලද දන්නෑ..."
ඔහු, ඇය දෙසට එමින් පැවසුවේ ය. මෙතරම් උදෑසනින් පියදාස බල්ලන් දෙදෙනා, ඔවුන්ගේ රැඳවුමෙන් පිටතට නොගන්නා බව විරාජ් දැනසිටිය ද, තම සිත ගත් රුවැත්තිය අසල තවත් තත්පර කිහිපයක් ගතකිරීමට ඔහුට අවැසි විය. බල්ලන් ගැන ඇසූ යුවතිය ද තරමක් බියපත් වූයෙන් ඔහුට එකඟවෙමින් ඔහු පසුපසින් නිවස දෙසට යන්නට වූවා ය.
"එහෙනම් ඔයාලා තමා මගේ නේබර්ස්ලා..."
ඔහු නිවස වෙත යන අතරතුර කීවේ ය.
"මම නම් සර් නිවාඩුවකට නැන්දලාගේ ගෙදර ආව ගමන්. අල්ලපු ගෙදර අයිති මගේ නැන්දට..."
ඇය සංයමයෙන් යුතුව පිළිතුරු බැන්දා ය.
"නම මොකක්ද ඔය ළමයගේ..?"
ඔහු, සිය සිතැඟි සඟවමින් විමසුවේ ය.
"අමායා..."
"අමායා... අමායාගේ ගෙවල් කොහෙද..?"
"කඩවත සර්..."
"ඉස්කෝලේ යනවද තාම..?"
විරාජ් දොර විවර කරමින් විමසුවේ ය.
"අනේ නෑ සර්. මං දැන් කැම්පස් පාස් අවුට් වෙලා ඉන්නේ..."
ඔහුව විමතියට පත් කරමින් ඈ කීවා ය. නමුදු ඔහුට දැනුණේ සතුටකි. එසේ නම් ඈ, ඔහු සිතූ තරම් ළාබාල යුවතියක නොවූවා ය.
"ඔය කොරිඩෝ එක කෙලවරේම දොරෙන් ඇතුළට යන්න. කිචන් එක එතන..."
ඔහු අතක් දිගු කරමින් ඇයට කීවේ ය.
"හරි සර්..."
හිස වැනූ ඇය, ඔහු පෙන්වූ බරාඳය දිගේ නොපෙනී ගියා ය. ඇය නැවතත් පැමිණෙන්නේ මේ මාර්ගයෙන්ම බව දත් ඔහු, උඩුකය වසා ඇඳසිටි ගත උණුසුම් කරන කබාය ගලවා හාන්සි පුටුවක් මතට දමා සුවපහසු සෝපාව මතින් හිඳගෙන රූපවාහිනිය ක්‍රියාත්මක කළේ ය. මිනිත්තු දහයකට ආසන්න කාලයකට පසුව ඇය යළිත් බරාඳය දිගේ විසිත්ත කාමරය වෙත පැමිණියේ හිස් වූ දෑතිනි.
විරාජ් හට කතා කරන්නට ඔහු වෙත නෙත් යොමුකළ යුවතිය විළිබරව ඉවත බලාගත්තේ ඔහුගේ නග්න උඩුකය දැකීමෙනි. ව්‍යායාම මගින් මනාව පවත්වාගෙන ගිය විරාජ්ගේ සිරුර ඔහුට, යුවතියන් වසඟයට ගැනීමට බොහෝවිට ප්‍රයෝජනවත් විය. ඇය විසිත්ත කාමරය තුළ නතර වූ බව දුටුවේ හදිසියෙන් මෙන් බව ඇයට ඇඟවූ ඔහු සෝපාවෙන් නැගීසිටියේ ය. යළිත් අපහසුවෙන් ඔහු වෙතට නෙත් ගෙන ආ යුවතියට යළිත් දැනුණේ පෙර දැනි අපහසුතාවයම ය. අඩි හයකටත් වඩා උසැති ඔහුගේ මනාව වැඩුණු සිරුර සහ අමුතුම තද දුඹුරු පැහැයකින් යුත් ඡවි වර්ණය නිසා ඔහු ඕනෑම තැනක අනිවාර්යෙන්ම කැපීපෙනෙනු ඇතැයි ඇය සිතීය. යළිත් ඇගේ නෙත් විළියෙන් ඉවතට හැරවුණේ ඇගේ නෙත්වලට ඔහුගේ ඉණ ප්‍රදේශයෙන් පෙනෙන්නට වූ යටඇඳුමෙහි පටිය හසුවූ බැවිනි. ඇගේ ලැජ්ජාව ඔහුට නම් විනෝදයක් විය.
"අමායා, යන්නද..?"
නිහඬතාවයට තිත තබමින් ඔහු විමසුවේ ය.
"ඔව් සර්..."
ඇය බිම බලාගෙනම මතුලා ය.
"කෝ මල් ටික..?"
ඇගේ දෑත හිස් බව දුටු ඔහු විමසුවේ පුදුමයෙනි.
"පියදාස මාමා කිව්වා මෙහෙ ඉන්න චූටි බබා මල්වලට ආසයි කියලා. මං ඒ ටික පියදාස මාමට දුන්නා ඒ නිසා... මං යන්නද සර්..?"
ඈ කියූ 'චූටි බබා' තමන් නොවේදැයි සිතූ ඔහු, දෙතොලතරින් ගිලිහෙන්නට ආ සිනහව ආයාසයෙන් වළකාගත්තේ ය. ඇය, ඔහුගෙන් පැතූ අවසරයට ඔහු වදන් ගොනු කරන්නට විය.
"හරි අමායා... තෑන්ක් යූ..."
ඔහු සිය ගැඹුරු ස්වරයෙන් කී විට ඇගේ මුව මත අපූරු සිනා රැල්ලක් නැගිණි.
"මං යන්නම් සර්..."
ඔහුගෙන් සමුගත් ඇය, ගේට්ටුවෙන් පිටතට යන තෙක් විරාජ් බලාසිටියේ විසිත්ත කාමරයේ විසල් වීදුරු ජනේලවලිනි.
.
.
.
.
කීර්තිරත්න පැමිණ නිවසෙහි ප්‍රධාන දොර විවර කළේ නිවසේ විදුලි සීනුව නාද වූ බැවිනි. අමායා මුළුතැන්ගෙයි කාර්යබහුලව සිටි බව දන්නා ඔහු, ඇයට බාධා නොකර ඔහු ම එම කාර්යය සඳහා පැමිණියේ ය. විවර වූ දොරෙන් පිටත සිටගෙන සිටියේ මැදි වයසේ ප්‍රසන්න පෙනුමක් සහිත ආගන්තුක පුද්ගලයෙකි. ඔහු සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි අතර ඔහු උපැස් යුවළක් ද පැළඳ සිටියේ ය.
"මේ මිස්ටර් කීර්තිරත්න නේද..? මිස් අමායාගේ තාත්තා වෙන්න ඕනේ..?"
එම පුද්ගලයා පැහැදිලිව විමසුවේ ය.
"ඔව්... කවුද මේ..?"
කීර්තිරත්න විමසුවේ දෙනෙත් හකුලුවමිනි.
"මට පොඩ්ඩක් මිස්ටර් කීර්තිරත්න එක්ක කතා කරන්න ඇතුලට එන්න පුලුවන්ද..?"
කීර්තිරත්න වහා බැලුවේ අමුත්තාට පිටුපස නවත්වා ඇති නවතම BMW වර්ගයේ මෝටර්රථය දෙස ය. ඊට පිටුපසින් කළු පැහැති Discovery වර්ගයේ ජීප් රථයක් ද නවතා තිබූ අතර ගේට්ටුවෙන් පිටත ඩිෆෙන්ඩර් රථ දෙකක් ද නවතා තිබෙනු ඔහු දුටුවේ ය. මෝටර්රථය සහ ජීප් රථය ගාල් කෙරූ පසු සිය ගෙමිදුලෙහි ඉඩ මදිවීම හේතුවෙන් ඩිෆෙන්ඩර් රථ දෙක ගේට්ටුවෙන් පිටත නවතන්නට ඇතැයි ඔහුට ක්ෂණයෙන් සිතිණි. තවත් තත්පර කිහිපයක් කල්පනා කළ ඔහු හිස සලමින් පැමිණ සිටි ආගන්තුකයාට නිවසට ආරාධනා කළේ ය.
"එන්න මහත්තයා..."
ආගන්තුකයා නිවස තුළට පැමිණ නිවස දෙස ඉක්මන් බැල්මක් හෙළුවේ ය. තරමක් පැරණි ගෘහ භාණ්ඩ සහිත එම නිවස සම්පූර්ණයෙන් ම පහළ මධ්‍යම පංතියේ නිවසක ලක්ෂණ පෙන්නුම් කරන සාමාන්‍ය නිවසක් විය.
"වාඩිවෙන්න මහත්තයා..."
කීර්තිරත්න යළිත් පැවසුවේ ආගන්තුකයා වෙත ය. ඔහුගේ ආරාධනයෙන් ආගන්තුක පුද්ගලයා සෝපාවේ අසුන්ගත්තේ ය.
"මිස්ටර් කීර්තිරත්නට බයවෙන්න දෙයක් නෑ... මං රජයට සේවය කරන නිලධාරියෙක්... මට විස්තර වගයක් දැනගන්නයි ඕනේ..."
ආගන්තුකයා හඬ අවදි කරමින් කීවේ ය.
"මට පැහැදිලි මදි මහත්තයා..."
අසල වූ වේවැල් පුටුවකට බරදෙමින් කීර්තිරත්න කියන්නට වූයේ ය.
"මම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්... මට මිස්ටර් කීර්තිරත්න ගෙන් පොඩි විස්තර ටිකක් අහන්නයි ඕනේ..."
කීර්තිරත්න මොහොතකට කල්පනා කළේ ය. උපාධිය අවසන් කළ සිය වැඩිමහලු දියණිය වූ අමායා රැකියා කිහිපයකට ම ඉල්ලුම් කළ බව ඔහුට සිහියට නැගිණි. ඒ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැකියාවක් වීදැයි ඔහු තත්පර කිහිපයක් කල්පනා කළේ වික්ෂිප්ත වී ය. එසේවුවත් රැකියා අපේක්ෂිකාවක් උදෙසා මෙලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අයෙක් නිවසට පැමිණිය නොහැකිය යන්න කලක් තැපැල් සේවයේ නිරත වූ කීර්තිරත්න මහතාට සිතිණි.
"අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කිව්වේ මහත්තයා..?"
"මිස්ටර් කීර්තිරත්නට ඉන්නේ දුවලම දෙන්නෙක් නේද..?"
කීර්තිරත්නගේ පැනය නොසලකා හරිමින් ආගන්තුකයා විමසීය.
"ඔව් මහත්තයා..."
"ලොකු දුව අමායා. පොඩි දුව චේතනා... එහෙම නේද..?"
"ඔව් මහත්තයා... අනේ අපි හරි සාමාන්‍ය මිනිස්සු මහත්තයෝ... අපි අතින් මොනා හරි වෙලාවත්ද..?"
කීර්තිරත්න විමසුවේ කලබලයෙනි. එම හඬ තරමක් උස් වූයෙන් මුළුතැන්ගෙයි සිටි අමායා වහා විසිත්ත කාමරය දෙසට පැමිණියා ය.
"මේ මිස්ටර් කීර්තිරත්නගේ ලොකු දුවද..?"
අමායාගේ පැමිණීමෙන් ආගන්තුකයා වහා විමසීය. කොළ පැහැති ගවුමක් ඇඳ කොණ්ඩය හිස්මුදුනට ගුලිකොට බැඳසිටි අමායා දෙස ආගන්තුකයාගේ දෑස් කලබලයෙන් මෙන් දිවයන්නට විය.
"ඔව් මහත්තයා..."
"දුවේ, අපිට තේ තුනක් හදාගෙන එනවද..? අඩු සීනි...
මිස්ටර් කීර්තිරත්නත් තේ බොනවද..?"
ආගන්තුකයාගේ ඉල්ලීමෙන් වික්ෂිප්තභාවයට පත් අමායා, කීර්තිරත්න දෙස බැලුවා ය.
"මට දැන් තේ එපා මහත්තයා...
ලොක්කි, මේ මහත්තයා කිව්වා වගේ තේ තුනක් හදන් එන්නකෝ..."
කීර්තිරත්න, අමායාට හිසින් ඉඟි කරමින් කීවේ ය. අමායා හිස සලමින් යළි මුළුතැන්ගෙට ගියා ය.
"පොඩි දුව කෝ මිස්ටර් කීර්තිරත්න..?"
"පොඩ්ඩි තාම කැම්පස් මහත්තයා. අද එයාට ලෙක්චර්ස්... මට තාමත් මේ මහත්තයා ආපු කාරණාව පැහැදිලි නෑ..."
ආගන්තුකයා හිස සෙලවීය.
"අමායා දැන් කසාද බඳින වයසේ නේද මිස්ටර් කීර්තිරත්න..? අමායාට කවුරු හරි පිරිමි ළමයෙක් ඉන්නවද..?"
ආගන්තුකයාගේ මීළඟ ප්‍රශ්නයෙන් කීර්තිරත්න විමතියට පත්විය.
"න්..නෑ මහත්තයා... මං මේ දවස්වල ඒ ගැන හොයන ගමන් ඉන්නේ..."
කිසිවක් නොපැවසූ ආගන්තුකයා, තම ජංගම දුරකතනය අතට ගෙන එහි යම් සටහන් කිරීමක් යුහුසුළුව කළේ ය.
"මිස්ටර් කීර්තිරත්න කලින් තැපැල් සේවයේ නේද රස්සාව කළේ..? දැන් පෙන්ෂන්ද..?"
"ඔව් මහත්තයා... මගේ පෙන්ෂන් එකෙන් තමයි ළමයින්ගේ වැඩත් සේරම කරන්නේ... ලොක්කිට තාම රස්සාවක් හම්බුණෙත් නෑ උපාධිය ඉවර උනාට..."
"මෙහෙම අහනවට සමාවෙන්න මිස්ටර් කීර්තිරත්න... දුවලගේ අම්මා කෝ..?"
කීර්තිරත්න වේදනාත්මක සිනහවක් පෑවේ ය.
"දුවලගේ අම්මා එයාලා පොඩි කාලෙම පිළිකාවක් හැදිලා අන්තරා උනා මහත්තයෝ... එතකොට ලොක්කි අට වසරේ. පොඩ්ඩි හය වසරේ... ඉන්පස්සේ මං තනියම හරි පරිස්සමට ඔය කෙල්ලෝ දෙන්නව හැදුවේ..."
ආගන්තුකයා, කීර්තිරත්නගේ මුහුණෙන් පළවූ පිය සෙනෙහස සිය දෑසින් අල්වාගත්තේ ය. ඔහු මඳක් අසුනෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. ඒත් සමඟ ම පිළියෙළ කළ තේ කෝප්ප තුනක් බන්දේසියක තබාගත් අමායා යළි විසිත්ත කාමරය වෙත පැමිණියා ය. ඇය මඳ සිනහවක් පා තේ කෝප්පයක් ආගන්තුකයා හට පිළිගැන්වීය.
"අනික් තේ දෙක ඔහොම ටීපෝ එක උඩින් තියන්න දුව... සර්ලා දැන් ඒවි..."
ආගන්තුකයා කීවෙන් අමායා බන්දේසිය මත ඉතිරි තේ කෝප්ප දෙක පීරිසි සමඟින් කනප්පුව මත තැබුවා ය.
"දුවත් පොඩ්ඩක් හිටියා නම් තමා හොඳ..."
යළි මුළුතැන්ගේ දෙසට යන්නට හැරුණු අමායා හට ආගන්තුකයා කීවෙන් සිය පියාගේ වත දෙස බලමින් ඇය විසිත්ත කාමරය සහ කෑම කාමරය වෙන්කරන බිත්තිය අසලින් සිටගත්තා ය.
"මිස්ටර් කීර්තිරත්නටයි, දුවටයි මම කවුද කියලා මං කිව්වේ නෑනේ... මම අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්..."
ආගන්තුකයා, සිය ආගන්තුක කාඩ් පතක් කීර්තිරත්න අතට දෙමින් කීවේ ය. කීර්තිරත්න මහතා එම කාඩ් පත දෙස විමසුම් සහගත බැල්මක් හෙලුවේ ය.
"මං ආවේ මේ දුවට ප්‍රපෝසල් එකක් අරගෙන..."
නිහඬතාවය බිඳිමින් ඇසුණු ආගන්තුකයාගේ වදනින් බියපත් වූ අමායා අසල වූ බිත්තියට හේත්තු වූවා ය. ඒ සමඟ ම විසිත්ත කාමරයට ඇතුළු වන ප්‍රධාන දොරෙන් විසිත්ත කාමරයට පිවිසුණු ආරිය සිංහල ඇඳුම ඇඳි පුද්ගලයා දුටු කීර්තිරත්න අනිච්ඡානුගව ම අසුනෙන් නැගිට්ටේ ය. ආගන්තුකයා ද වහා සිය අසුනෙන් නැගිටගත්තේ ය.
"එන්න සර්..."
ආගන්තුකයා වහා කීවේ දොර අසල සිටින්නා දුටු පියාත්, දියණියත් කම්පනයට පත් මුහුණින් ඔහු දෙස බලාසිටින අතරතුර ය.
"මෙයාද ධර්මසේන ගෑනු ළමයා..?"
පැරණි ආගන්තුකයා වෙත යමින් අලුත් ආගන්තුකයා විමසීය.
"ඔව් සර්..."
"අගමැතිතුමා..."
කීර්තිරත්න මිමිණුවේ අසරණ විලසිනි.
"කීර්තිරත්න මහත්තයා වාඩිවෙමුකො... අපි හෙමින් කතා කරමු... අද මං මේ වෙනුවෙන්මයි මේ සේරම වැඩ දාලා ආවේ..."
අගමැති සේනාධිලංකාර, සිය ගැඹුරු හඬින් කීර්තිරත්න හට කීවේ ය. කීර්තිරත්න, සිය ධෛර්ය ඒකරාශී කරගනිමින් හිඳසිටි අසුනෙන් ම යළි අසුන්ගත්තේ අමායා බිත්තියට ඇලීගියාක් මෙන් සිටින අතරතුර ය.
"මගේ පොඩි පුතාට කීර්තිරත්න මහත්තයාගේ ලොකු දුව ගැන යෝජනාවක් කරන්න අද අපි මෙහෙ ආවේ..."
සේනාධිලංකාර ඍජුව කීවේ ය.
"අනේ සර් අපි... අපි හරි ස්..සාමාන්‍ය මිනිස්සුනේ..."
සේනාධිලංකාර සිනාසෙමින් කනප්පුව මත වූ තේ කෝප්පයක් අතට ගත්තේ දොර දෙස බලමිනි.
"ඒවා කීර්තිරත්න මහත්තයා දරුවන්ගේ තෝරාගැනීම්නේ...
කෝ මේ අපේ ඉලන්දාරියා..?"
ඔහු අවසන් වාක්‍ය කීවේ තරමක හඬිනි. ඒ හඬට අමායා, සිය දෑස් ප්‍රධාන දොර වෙත ගෙනගියේ විසිත්ත කාමරය හරහා වැටුණු සෙවණැල්ලක් ඇගේ නෙතගට හසු වූ බැවිනි. ප්‍රධාන දොර අසල සිටගෙන සිටි පුද්ගලයා දුටු අමායාට දැනුණේ සිය දෙපා අවසඟව යන බවකි. මීට පෙර ඔහුව දුටුවේ එක වරක් වුවත් ඒ රුව ඇගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබිණි. ඔහුගේ කැපීපෙනෙන පෞරුෂය සහ තද පැහැති ඡවි වර්ණය ඇයට හොඳින් ම මතක ය. මුල් ම වර දුටු දිනට වඩා ඔහු වෙනස් වූයේ ඇඳුමින් පමණි. සුදු පැහැති අත් දිගු කමිසයක් වැළමිට තෙක් අත් නවා ඇඳසිටි ඔහු කළු පැහැති කාර්යාලීය කලිසමක් ඇඳසිටියේ ය.
"ස්..සර්..."
මතක ගබඩාවේ රැඳුණු ඔහු රුව හඳුනාගත් මොහොතේ ඈ මුවින් පැටලෙමින් ඒ වදන් පිටවූයේ ඇයට, අවට සියල්ල බොඳවන බවක් දැනෙනවාත් සමඟ ය. යුවතියගේ මුහුණෙහි ඇති වූ හැඟුම් දෙස ම දෑස් දල්වා ගෙට ඇතුළු වූ විරාජ් හට තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් සිටි යුවතියගේ එකඳු මනෝභාවයක්වත් ගිලිහුණේ නැත. වහා බිත්තිය මතට ඇලවුණු යුවතියගේ වැසෙන නෙතුපියන් කී කතාවෙන් ඈ සිහිවිසඳව යන බව වටහාගත් ඔහු වහා ඈ දෙසට පිනුවේ තම ගැඹුරු හඬින් නොසන්සුන් ලෙස ඇයව අමතමිනි.
"අමා...හ්..."
✍🏼 සකුනි හතරසිංහ
(2022.05.04)
මතු සම්බන්ධයි........

Comments
Post a Comment