තීව්‍ර 💥
(කෙටි නවකතාව - 01 කොටස)
Genre - Mystery + Romance
Age Range - 18+
Language - Sinhala
Type - Novella
Trigger Points - Sex, Bulling, Age Gap
Episodes - 06
"ගගනයා, උඹ සිරාවටම යනවද බං..?"
පැතුම් විමසුවේ ඍජුව මදෙස බලමිනි. මම හිස සලමින් තවත් වොඩ්කා උගුරකින් සන්තර්පණය වූවෙමි.
"උඹ මෙච්චර කාලයක් තිස්සේ නැහිලා නැහිලා business එක මේ තත්ත්වෙට ගෙනත් දැන් ඒ සේරම විකුණලා අහිකුණ්ඨිකයා වගේ යන්නේ ඇයි බං....?"
මගේ ප්‍රතිචාරය හමුවේ යළිත් වරක් පැතුම් විමසන්නට වූයේ ඔහුගේ හිස් වූ වීදුරුවත්, මගේ හිස් වූ වීදුරුවත් යළි වොඩ්කා වලින් පුරවමිනි.
"ගෙදර ඉන්න බෑ බං තනියම...."
මම කෙටියෙන් පිළිතුරු දුන්නෙමි.
"අනික මං හිතන් ඉන්නේ US ගිහින් farming පැත්තට බහින්න... ඒක ඉස්සර ඉඳන්ම මගේ හිතේ තිබ්බ හීනයක් කියලා උඹ දන්නවනේ... දැනටමත් එහේ මට ගන්න හොඳ farms දෙක-තුනක් මං බලලා තියෙන්නේ. හිතට අල්ලන එකක් මං ගන්න ඉන්නේ, මේවා විකුණලා දාලා..."
පාසැල් සමයේ පටන් සමීපත ම මිතුරා වූ පැතුම් හට සඟවන්නට තරම් රහසක් මගේ දිවියෙහි නොවීය.
"කිව්වම අහලා දැන්වත් settle වෙයං බං... Uncle පවා හැමදාම දුක්වුණේ uncle නැති දාක උඹ තනිවෙයි කියලා... හිතුවා වගේම ඒක වුණානේ... කොච්චර බොක්කේ යාලුවෝ හිටියත් වයසට යනකොට තමන්ටම කියලා හව්හරණක් තියෙන්නම ඕනේ ගගනයා..."
පැතුම් කීවේ මවෙතින් ඈත වූ ඉමක නෙතු රඳවාගෙන ය. ඔහුගේ නෙත් ඔස්සේ දෙනෙත් ගෙනගිය මගේ දෙනෙතට හසුවූයේ පැතුම්ගේ ආදරණීය දියණිය සහ පුතණුවන් ය. පැතුම්ගේ බිරිඳ වූ නිරෝධා සමඟ සිනා පිරි මුවින් යුතුව කතාවක නියැලී සිටි ඔවුන් දෙදෙනා දෙසට යොමුව තිබූ පැතුම්ගේ දෙනෙතෙහි වූ සෙනෙහස හඳුනානොගැනීමට තරම් මම මුග්ධයෙකු නොවීමි.
"මට දැන් හතළිස්අටක් බං... දැන් ඉතිං දෑවැද්දට ළමයි දෙතුන්දෙනෙකුත් එක්කම තමා ගෑනියෙක්ව ගන්න වෙන්නේ..."
මා කීවේ මඳ සිනහවක් පාමිනි.
"අනේ පලයං ගගනයා යන්න... කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං උඹට හතළිස්අටක් කියලා පේනවද කියලා... නොදන්න කෙනෙක් තිස්පහකට වඩා කියන්නෑ... මේ ළඟදී අපේ කෙල්ල, නිරෝ එක්ක කියලා උඹට uncle කියලා කියන්න හිතෙන්නෑ කියලත්..."
පැතුම්ගේ සිනහවට මම ද දායක වුණෙමි.
"උඹට දැන් මාව පේන්නේ sugar daddy කෙනෙක් වගේද..?"
"මේ යන යෑමට නම් උඹට sugar daddy කෙනෙක් වෙන්න තමා කොල්ලෝ වෙන්නේ..."
අපි දෙදෙනා ම එයට සිනහා වීමු.
"තාත්තාගේ අවුරුද්දේ දානේ ලබන සතියේ පැතුමා... නිරෝගෙන් තමා උදව් ගන්න වෙන්නේ. කමක් නෑ නේද බං..?"
සිනහව අවසන් වූ පසුව මම විමසුවෙමි.
"පිස්සුද යකෝ... මොනවද උඹ මේ අහන්නේ..? උඹේ දෙයක් අපි එහෙම miss කරනවද..? අපි දෙන්නට ඒවා අමතක නෑ... නිරෝ කොහොමත් අද ඒ ගැන උඹත් එක්ක කතා කරන්න ඕනේ කියලත් උදේ කිව්වා උඹ මෙහේ එනවා කිව්වම..."
"මට දැන් මගේ කියලා ඉන්නේ උඹලා විතරයි බං..."
මගේ කතාවෙන් පැතුම්ගේ මුව මත පැතිරුණු වේදනාව මගේ මත්බර නෙත්වලින් නොගිලිහිණි.
"ගගනයා, උඹට ළඟදි මේනකාව meet වුණා කිව්වා නේද..?"
පැතුම් මොහොතකින් විමසුවේ හදිසියේ මෙනි.
"ඔව් බං... Kandy ගිය වෙලේ KCC එකේදි meet වුණේ..."
මම තවත් වොඩ්කා වීදුරුවක් අවසන් කළෙමි.
"මොකෝ කිව්වේ උඹේ මහලොකු මේනු..?"
පැතුම්ගේ ස්වරයෙහි වූයේ අවඥා සහගත බවකි. මට ඊට ඔහු සමඟ කෝපයක් ඇති නොවුණේ ඔහුගේ උපහාසයෙහි ඇති සාධාරණත්වය හේතුවෙනි. මගේ සිත දිවගියේ මීට තෙදිනකට පෙර මහනුවර නගරයේ ප්‍රකට සාප්පු සංකීර්ණයේ දී සිදු වූ ඒ අහඹු හමුවීම වෙතට ය.
.
.
.
.
(flashback)
ව්‍යාපාරික කටයුත්තක් සඳහා මහනුවර නගරයට පැමිණි මා එම සාප්පු සංකීර්ණයට තනිව ම ගොඩවැදුණේ ඉතුරු වූ කාලය ගෙවාදැමීමේ අරමුණෙනි. වෙළඳ කුටියකින් පිටතට පැමිණෙමින් සිටින අතරතුර දී කිහිපවරක් ම මගේ නමින් කිසිවෙකු මා අමතනු ඇසුනෙන් මම ආපසු හැරී බැලුවෙමි.
"මේ ගගන නේද..?"
තරමක් වියපත් බවක් පෙන්වූව ද ඒ රුව එතෙක් මගේ සිතේ තැන්පත් වූ එක ම කාන්තා රුව විය.
මට වයස අවුරුදු තුනක් පමණ වනවිට මගේ මව දිවියෙන් සමුගෙන ගොස් තිබූ නිසා, පියා සහ පිරිමි සේවකයෙකු සමඟ හැදීවැඩුණු මට කාන්තාවන් විෂයයෙහි බොහෝකලක් යන තෙක් එතරම් පරිචයක් නොලැබිණි. මේ හේතුවෙන් පාසැල් වියේ දී ගැහැණු ළමුන් අභියස දී මම තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළෙමි. ඒ නිසා ම එකල මා වඩාත් ප්‍රකට වූයේ කඩවසම් නමුත් අහංකාර කොල්ලෙකු ලෙස ය. එහෙත් වයස අවුරුදු දාහතේ දී පමණ ඒ කඩවසම්, අහංකාර කොල්ලාගේ සිත සෙලවීමට මේනකා ගජසිංහ නම් අසල්වැසි බාලිකාවක උගත් රූමත් යුවතියක සමත් වූවා ය.
එකල අප පාසැලේ දක්ෂ කථිකයෙකු සහ නිවේදකයෙකු ලෙස හැඳින්වුණු මට අවට බාලිකා පාසැල් බෙහෙවින් හුරුපුරුදු වූයේ නිරන්තරයෙන් පැවැත්වුණු කථික, නිවේදන හා විවාද තරඟ හේතුවෙනි. බාලක පාසැලක උගත් මා, අසල්වැසි බාලිකා පාසැල්වල ජනප්‍රිය සිසුවෙකු වීමට ද මෙය හේතුවක් වූ අතර ඉන් මම නිරන්තරයෙන් කාන්තා නෙත්වල අවධානයට පාත්‍ර වුණෙමි. සංගීතයෙන් සහ ඉගෙනීමෙන් හික්මුණු මා, සත්‍ය වශයෙන් ම අයාලේ යන හිතක් ඇත්තෙකු නොවීය. නමුදු මාගේ හිත ඇදබැඳගත් මේනකා නම් රූමත් යුවතිය අසල දී නම් සිත දුවන්නට වූයේ අනන්තය පුරාවට ය.
අවසානයේ දී මේනකාගේ ආඩම්බර සිත ද, මගේ සසල සිත අසල නැංගුරම් ලෑවේ ය. ඉදින්, ඒ වූ කලී කොළඹ නගරයේ ප්‍රකට පාසැල් රැසක් පුරා ප්‍රචලිත වූ පෙම් පුරාවතක ආරම්භය විය. නමුත් උසස් පෙළ විභාගය අවසන්ව සුළු කලෙකින් මා හදිසියේ විදෙස්ගත වීමෙන් එය හුදෙක් ශෝකාන්ත මතකයකට පමණක් සීමා විය.
පාසැලේ දී අනේකවිධ බාහිර ක්‍රියාකාරකම්වලට මුල්තැන දීම හේතුවෙන් විශ්වවිද්‍යාල කඩයිමේ දී අවැසි තරම් ප්‍රතිඵල ලබාගන්නට අසමත් වූ මා, පියාගේ ඉල්ලීම අනුව විදේශීය විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීයෙකු වශයෙන් දිවයිනෙන් පිටවූයේ උසස් පෙළ විභාගය ලියා වසරකට පමණ පසුව ය. ඒ වනවිට සාමාන්‍ය නිමි ඇඳුම්හල් කිහිපයක හිමිකරුවෙකු පමණක් වුවත් මගේ පියා හට මා විදේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමට තරම් සෑහෙන ආදායමක් විය. දෙවන වර උසස් පෙළ කිරීමට රුචියක් මට නොවුණ ද මේනකා දෙවන වර සඳහා සූදානම් වූවා ය. මා විදෙස්ගත වීමට තීරණය කළ නමුත් ගුරු මාපිය යුවළකගේ වැඩිමහල් දියණිය වූ මේනකා හට එවන් පිරිවැයක් යෙදවීමට හැකියාවක් නොවූ හෙයින් මා කැටුව ඒමට ඇයට නොහැකි විය. එහෙයින් මා තනිව ම විදෙස්ගත වූයේ සිව් වසරකින් නැවත පැමිණීමේ පොරොන්දුව සමඟිනි.
ලිපි මඟින් හුවමාරු වූ ඇගේ පණිවිඩ එකවරම ඇණහිටියේ මා විදෙස්ගතව තෙමසක් ගත වූ පසුව ය. අනතුරුව ගෙවුණු පුරා සිව්මසක් ඇයව සම්බන්ධ කරගැනීමට මා ගත් සියලුම උත්සාහයන් ගඟට කැපූ ඉණි සේ ව්‍යර්ථ විය. අද මෙන් ජංගම දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් දියුණුව නොපැවති එදා ලිපියක් එනතුරු මඟබලාහිඳීම හැර වෙනත් මගක් මා හට නොවුණි. උපාධිය අවසන් කරන්නට පෙර ආපසු ලංකාවට ඒම යනු මගේ පියාට දැරිය හැකි පිරිවැයක් නොවන බව දැනහුන් හෙයින් එකී පියවර තබන්නට මම පැකිලුනෙමි. ඉවසීම හැර අන් මගක් මා හට නොවීය.
සිව් මසකට පසුව පැමිණි මේනකාගේ ලියමනෙහි වූයේ සිය දෙමාපියන්ගේ බලවත් ඉල්ලීමට අනුව තමන්, තමන්ගේ දුරින් ඥාතිවරයෙකු වන තරුණයෙකු හා විවාහ ගිවිස ගත් බවත්, තවදුරටත් අපගේ සම්බන්ධය පවත්වාගෙන යාමට නොහැකි බවත්, මා සිත හදාගෙන මගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගත යුතු බවත් ය. ඉදින් ගෙවුණේ මා, මත්පැන් සහ මත් විය හැකි ඕනෑ ම දෙයක් සමඟින් ගත කළ කාලයකි. නමුත් මගේ අනාගතය සිය එකම බලාපොරොත්තුව කොටගත් පියාගේ සිහින බිඳදැමිය නොහැකි බව සිතට තදින් අවධාරණය කරවාගත් මම අධ්‍යාපන කටයුතු කෙසේ හෝ සාර්ථකව අවසන් කරගත්තෙමි. විවාහ වී වසරක් යන්නටත් මත්තෙන් මේනකා, මවක් වූ බව දැනගැනීමෙන් මගේ සිතෙහි ඈ පිළිබඳව වූ අවසන් අපේක්ෂාව ද බිඳවැටිණි.
සිව් වසරකට පසුව උපාධිය සම්පූර්ණ කරගත් මා නැවතත් ශ්‍රී ලංකාවට පැමිඹීමෙන් අනතුරුව පියාගේ ව්‍යාපාරය කෙරෙහි පූර්ණ අවධානය යොමුකළෙමි. වසර ගණනාවක් පුරා මගේ වගකීම් සමඟ ව්‍යාපාර හා හරි හරියට ඔට්ටු වූ මගේ පියා හට ඉන් ලැබුණේ නොමඳ අස්වැසිල්ලකි. එතැන් පටන් මගේ ජීවිතය බවට පත්වූයේ ව්‍යාපාර යි. අද වනවිට නිමි ඇඳුම් කර්මාන්ත ශාලා කිහිපයක, ලෝ ප්‍රකට නිමි ඇඳුම් සන්නාමයක සහ සුපිරි නිමි ඇඳුම්හල් ජාලයක හිමිකරුවෙකු වීමට මා හට හැකි වී ඇත්තේ මාගේ ඒ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
නමුදු මේනකාගෙන් හිස් වූ තනතුර පුරවන්නට තරම් සුදුසු අයෙකු ගත වූ සූවිසි වසර පුරා මා හට හමුනොවිණි. වරින් වර පැමිණි යුවතියන් ලැගුම්ගත්තේ මගේ යහන මත විනා සිතෙහි නොවේ.
"අඳුරන්න බැරිද මාව..?"
මේනකාගේ රුවින් අතීතයට ගිය මා ක්‍ෂණයෙන් යළිත් වර්තමානයට පැමිණියේ මේනකාගේ ඊළඟ වදන් හමුවේ ය.
"මොකද බැරි..? සෑහෙන කාලෙකින්නේ... මේනු නම් දැන් සෑහෙන්න වෙනස් වෙලා..."
මම වෙනසක් නොපෙන්වා කියන්නට වූයේ අතීත රිදුම් හද යන්තමින් කොනිති ගසන අතරතුර ය. මේනකා තරමක් තරබාරු වී සිටි අතර පෙර දී ද තරමක් පැහැපත්ව තිබූ සම තවත් පැහැපත් බවකින් දිලිසුණේ කෘත්‍රිම ආලේපනවල පිහිටෙන් බව නොඅනුමාන ය. වැඩිහිටි බවක් දක්වන දෙතොල්වල ආලේප කර තිබුණේ රතු පැහැය යි. රූපලාවණ්‍ය සත්කාරවලින් මඟහැරුණු කාලයේ වැලි තලාවට හසුවුණු රැළි කිහිපයක් දෑස් වටා විය.
"ඒකටත් එක්ක ගගන නම් තාම ඒ වගේමයි... ඉස්සරටත් වඩා handsome වෙලාද මන්දා..."
ඈ කීවේ සිනාසෙමිනි. මම ද පෙරළා නොමසුරුව සිනාසුණෙමි.
"ඉතිං.., marry කළේ නැද්ද ගගන..?"
ඇය මොහොතකින් විමසුවේ මගෙන් ප්‍රතිචාරයක් නොවූ හෙයින් විය යුතු ය.
"Girlfriends ලා ගොඩක් ඉද්දී wife කෙනෙක් maintain කරන්න අමාරුයි මේනු..."
මගේ සාවඥ ස්වරයට ඇගේ මුව ඇද විය.
"තාත්තාට කොහොමද ගගන..?"
ඇය මාතෘකාව වෙනස් කළා ය.
"තාත්තා ගිය අවුරුද්දේ නැතිවුණා මේනු..."
"අනේ... ඒ මොනවා වෙලාද..?"
"Heart attack එකක් මේනු... නින්දෙන්මයි. He didn't suffer..."
මේනකා සුසුමක් හෙලුවාය.
"ගගන, මා එක්ක තාම තරහින්ද..?"
දෑස් උස්සා මා දෙස බලමින් ඇය විමසුවා ය. එහි එදා වූ කෝමළ බව වෙනුවට වූයේ පරිණත බවක් සහ වෙහෙසකර බවකි.
"අනේ නෑ මේනු... මං ඒ කාලෙම හිත හදාගත්තා... Marry කළේ නැත්තේ මගේ හිතට fit වෙන කෙනෙක් හම්බුණේ නැති නිසා. එහෙම හම්බුණොත් හෙට හරි මං marry කරනවා..."
මම පුළුල් සිනාවක් පාමින් කීවෙමි. මේනකා යමක් කීමට උත්සාහ කළ ද, එයට බාධාවූයේ පසුපසින් ඇසුණු සීනුමය කටහඬ හේතුවෙනි.
"අම්මී.., මං හැමතැනම හෙව්වා ඔයාව.... Call කළාට answer කළෙත් නෑ.... You scared me..."
මා ඒ හඬ පැමිණි දෙසට හැරෙන්නට තනන විටම ඒ සීනුමය කටහඬෙහි හිමිකාරිය, මේනකා අසලට පැමිණියා ය. මගේ දෑස් තිගැස්සුණේ මේනකාගේ තරුණ වියෙහි රුවට අතිශයින් සමාන නමුත් මේනකා අභිබවා යන තරම් සුරූපී ඒ රුව දැකීමෙනි. ඒ යුවතියගේ දෙනෙත් ද මා දුටු විගස විසල් විය. මේනකාගේ තරුණ වියෙහි සුන්දරත්වය අඩු නැතුව උකහාගත් මේ නාඹර යුවතිය, ඇගේ දියණිය විය යුතු යැයි එකවරම මට සිතිණි. දියණිය, තම මව අභිබවා යමින් අභිරූපිණියක් වූ අතර නාරිමය හැඩතල සහිත සිරුරකට උරුමකම් කීවා ය.
"ගගන.., මේ මගේ ලොකු දුව, මේඝා..."
මේනකා කීවේ සුරූපී අමුත්තියව මා හට හඳුන්වාදෙමිනි. දණහිසෙහි සිට අඟල් කිහිපයක් ඉහළට දෙපා නිරාවරණය වන සේ කෙටි, තද රෝස පැහැති ගවුමක් ඇඳසිටි ඇය, ඊට ගැළපෙන පාවහන් යුවළක් පැළඳ සිටියාය. සිහින් උරපටි සහිත ගවුමෙන් නිරාවරිත ඇගේ ළපටි සිරුරෙන් ඉස්මතුව පෙණුනේ සරාගී බවකි. පාදයක විලුඹට ඉහළින් බැඳ තිබූ නූපුරක් මෙන් වූ සිහින් කාල වර්ණ පටිය ඇගේ පැහැපත් සම නිසා ඉස්මතුව පෙනිණි. එක් අතක මැණික්කටුව ද එවැනි සිහින් ආභරණ කිහිපයකින් සරසා තිබූ ඇගේ ඉඟටිය තෙක් වූ දිගු කේශ කලාපය නූතන විලාසිතාවකට අනුව සකස්කොට, තැනින් තැන රක්ත වර්ණයට හුරු බර්ගන්ඩි පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි. පුළුල් උකුළ, පිරුණු ළැම, සරාගී දෙතොල්, විසල් දිගු දෙනෙත් යන සියල්ලෙන් ඈ, තම මව අභිබවා ගිය සුරූපිනියක වූවා ය. මේනකාගේ ඇවෑමෙන් ගැහැනුන් විෂයයෙහි කෙළපැමිණියෙකු වූ මා හට ඇගේ දේහයේ නාරි කිසිදු හැඩතලයක් මඟනොහැරිණි.
"ලොකු දූ.., මේ මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක්... ගගන... අවුරුදු විස්සකට විතර පස්සේ meet වුණේ අද..."
මේනකා කීවේ යුවතිය හට මා හඳුන්වාදෙමිනි.
"අවුරුදු විසිඅටකට පස්සේ..."
මම, ඇයව නිවැරදි කරමින් යුවතිය වෙත හැරුණෙමි.
"Hi... Nice to meet you, Mr. ගගන..."
මා වෙතට සුරත දිගු කරමින් කියූ ඇගේ සීතල වූ අතක් මගේ උණුසුම් අත්ලට සිරවිය. ඇගේ තියුණු දෙනෙත් විනිවිදින බැල්මකින් සැරසී මගේ වත සිසාරා සැරිසරන්නට වූයේ කලබලයෙන් මෙනි.
"Nice to meet you too, young lady..."
ඇගේ අත මුදවමින් මම කීවෙමි.
"දුව නම් සෑහෙනදුරට ඔයා ඒ කාලේ වගේ මේනු... එතකොට මේනුට ඉන්නේ මේ දුව විතරද..?"
"නෑ ගගන. තව දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා... පුතා බාලයා. තාම school යනවා. ලබන අවුරුද්දේ A/Level... අනික් දූ දැන් පේරාදෙණි කැම්පස් final year... මෙයාට කොළඹ යන්න ආසාවක් තිබ්බා පොඩි කාලේ ඉඳන්ම. ඒ නිසා Colombo කැම්පස් ගියා. දැන් Masters කරන ගමන් Colombo වලම job එකක් කරනවා. ඉන්නෙත් එහෙමයි. Kandy එන්නේ හරිම කලාතුරකින්... අප්පච්චිගේ business වලට join වෙන්න කිව්වට කැමතිම නෑනේ මේ ළමයා..."
හිසින් යුවතිය දක්වමින් මේනකා කියද්දී, ඇය මඳ සිනහවක් පෑවා ය.
"අම්මිගේ age කිව්වම මං පුදුම වුණා... මගේ වයසේ කොල්ලෙක් වගේනේ..."
මා දෙස හොඳින් බලාසිටි යුවතිය එකවරම කීවේ මාත්, මේනකාත් දෙදෙනාම සිනහා ගඟුලක ගිල්වමිනි.
"ලොකූ දන්නෑ ඒ කාලේ මේ uncle ට කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ..."
සිනහව අතරින්ම මේනකා කීවා ය. නමුත් යළි යළිත් සිත සිරකරවන අතීත සැමරුම් සිහිපත් කිරීම වළකාලමින් මේ අහඹු හමුව නිමාවට පත්කිරීමට මා හට ඒ මොහොතෙහි අවැසි විය.
"මේනු, මට late වෙනවා... මං යන්නම් එහෙනම්... සතුටුයි අවුරුදු ගාණකට පස්සේ හරි මෙහෙම දැක්ක එක ගැන... මං යන්නම් එහෙනම්...
දුව, මං යන්නම්..."
හදිසියෙන් මෙන් මා පැවසුවෙන් මේනකා හිස සැලුවාය.
"Okay ගගන... ආයෙම meet වෙයි කියලා හිතනවා... Bye..."
"බලමු මේනු... Bye...
Bye, දුව..."
යුවතියගේ ප්‍රතිචාරය එන තෙක්වත් එහි නොරැඳුණු මම ඉක්මන් පියවර තබමින් එතැනින් නික්මුනෙමි.
(end of the flashback)
.
.
.
.
"මොකද උඹ මනෝ ගහන්න පටන්ගත්තේ..? මොනාද මේනු කිව්වේ..?"
පැතුම්ගේ හඬින් යළිත් වර්තමානයට ඇදවැටුණු මම හිස දෙපසට සැලුවෙමි. අප දෙදෙනාට බාධා කරමින් එහි පැමිණියේ පැතුම්ගේ පුතණුවන් ය.
"Uncle.., සිංදුවක් කියමුකෝ..."
මගේ ගිටාරය මා වෙත පාමින් අයැදින පුතුගේ ඉල්ලීම අහක දැමීමට මට නොසිතුණි. ඔහුගේ අතින් ගිටාරය මා ලබාගත්තේ සිනහවකින් ඔහුගේ ආරාධනය පිළිගනිමිනි. අසුනෙන් නැගිටගත් මා, දියණිය සහ නිරෝධා සිටි විසිත්ත කාමරයේ වූ සෝපාව වෙත ගමන් කරන විට පැතුම් ද, පුතුගේ කර වටා අතක් දමාගෙන මා පසුපසින් පියවර නගන්නට විය.
"Uncle ආවොත් සිංදු කියවනවාමයි මෙයා uncle ලව්වා..."
පැතුම් කීවේ පුතුගේ හිස අතගාමිනි. සෝපාවෙහි මා හිඳගත් පසුව ඔහු ද, පුතු හා හිඳගත්තේ ය.
"ගගන ගෙදරටම ඇවිල්ලා සිංදුවක් කියවන්නේ නැතුව යවන්නේ කොහොමද..?"
සිනාසෙමින් නිරෝධා කීවා ය.
"එහෙනම් මේක අම්මගෙයි, ළමයින්ගෙයි කුමන්ත්‍රණයක්..."
මම සිනහව සමඟින් තෙපලුවෙමි.
"පේනවා නේද මචං තරම..? ඔන්නොහොමයි මං මේ ගෙදර ජීවත් වෙන්නේ බං..."
පැතුම් ද කියන්නට වූයේ ය.
"සිංදුව මොකක්ද ළමයි..?"
පැතුම්ගේ සරදමට සිනාසුණු මම, පුතු දෙස බලමින් විමසුවෙමි.
"Uncle, ඇපල් මලක් කියන්නකෝ... ඒක දවසක් uncle ලස්සනට sing කළා..."
පසෙක හුන් පැතුම්ගේ දියණිය එකවරම කීවෙන් මම ඇය හා එකඟ වෙමින් ගිටාරය සුසර කරගත්තෙමි. අනතුරුව ගීතයේ පද සමඟ දැහැන්ගත වූයෙමි.
"ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...
පායන්න දෑස මානේ
උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ
මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී...
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...
ඇස්පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරිගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක් ගෑණුළමයෝ...
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...
ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරිකමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගෑණුළමයෝ...
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...
පායන්න දෑස මානේ
උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ
මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී...
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..."*
ගීතයේ පද ගැයෙන අතරතුර දී වරින් වර පියවෙන මගේ නෙතුපියන් අද්දර මැවෙන්නට වූයේ මා විසින් කලකට ඉහත ආදරය කළ මේනකාගේ තුරුණු මුහුණුවර ය. නැත... එහි වූයේ එයට වඩා තුරුණු, නැවුම් සහ සරාගී බවක් පෙන්වන මුහුණුවරකි. එය කොහෙත්ම මේනකාගේ මුහුණුවර නොවීය.
✍🏼 සකුනි හතරසිංහ
(2021.11.25)
*පද රචනය- කැලුම් ශ්‍රීමාල්
සංගීතය- සංගීත් වික්‍රමසිංහ
ගායනය- විශාරද අමරසිරි පීරිස්
මතු සම්බන්දයි......

Comments
Post a Comment