නමක් නැති කතාවක් ✨
(කෙටිකතාව)
එක පුද්ගලයෙක් හිටියා. ඒ කෙනාගේ නම මගෙන් අහන්නෙපා. අපි ඒ කෙනාට "එයා" කියමු. සුදු, උස, හීන්දෑරි, රැළි වැටුණු අකීකරු කොණ්ඩයක් තිබ්බ, රැවුල වවන්න අකමැති කොල්ලෙක් එයා. එයා කොච්චර සුදුද කිව්වොත් මටත් වඩා සුදුයි. එයාගේ කළුම කළු පාට ඇස් නපුරුම නපුරු පාටයි. ඒවගේ තිබ්බේ සීතල බැල්මක්. එයා කෙනෙක් දිහා බැලුවම ඒ කෙනා ගල් වෙන තරම් ඒ බැල්ම සීතලයි. මුල්ම වතාවට එයා මගේ දිහාත් බැලුවේ එහෙමයි. එයාගේ සුදුම සුදු අත්වල නිල් නහර මතුවෙලා පෙනුනා. හිනා නොවුණට එයාගේ උඩුඇන්දේ තිබ්බ අසාමාන්‍ය විදියට උල්වුණු රදනක දත් දෙක මං මුල් දවසෙම දැක්කා. ඒ දත් දෙකයි, කෙල්ලෙක්ගේ වගේ සිහින් රෝස පාට තොල් දෙකයි, තදවුණු කැපීපේන හකුපාඩායි, සීතල බැල්මයි එකතු වුණාම මැවුණේ මිත්‍රශීලි මනුස්සයෙක් නෙවේ. ඔයාලා හිතුවා නම් මට එයා ගැන හිත ගියා කියලා, නෑ... එහෙම වුණේ නෑ. මොකද මගේ හිතේ හිටියේ දුඹුරු පාට හමක් තියන, රැවුල වවපු, උස, ක්‍රීඩාශීලී සිරුරක් තියන සිංහල පාට කොල්ලෙක්. මගේ ඒ සිතුවිලිවලට එයාව සමානුපාතික වුණේම නෑ. ඒත් මට ඒ සීතල බැල්ම මතක හිටියා.
එයායි, මමයි අහම්බෙන් මුණගැහුණු දෙන්නෙක්. එයාව අඳුන්වලා දුන්න මගේ යාලුවා මට එයා ගැන කිව්වේ;
"හෙන ලයින් එකේ ඉන්න කොල්ලෙක් බං... ඩෝන්ට් කෙයාර් වගේ නම් උඹ කතා කරන්න යන්නෙපා... මොකටද නිකං කොල්ලෙක් ගාව පදිරි වෙන්නේ..."
කියලා.
අපි දෙන්නා අතරේ ටිකක් කැපීපෙනෙන වයස් පරතරයක් තිබ්බ නිසා අපිට ඒ තරම්
සුහද වෙන්න අවස්ථාවක් එදා තිබ්බෙත් නෑ. අපි දෙන්නාගේ මුල්ම හමුවීම කිසිම
විශේෂත්වයකින් තොරව ඉවරවුණත් ටික කාලෙකින් ආයෙම අපිට හොඳින් දැනඅඳුරගන්න
අවස්ථාවක් හමුවුණා. ඒ ආදරවන්තයෝ විදියට නෙවේ. පස්සේ අපි හොඳ යාලුවෝ වුණා.
අපි අතරේ ගොඩක් සමානකම් තිබ්බා. අදහස්වල. ආකල්පවල. අපේ මතවල. අපි දෙන්නා
දෙයක් දැක්කේ එකම විදියකට. ඒක ගැන නිර්වචනය කළෙත් එකම විදියකට. හරියට එකම
හිතකින් වගේ. එයා කිව්වේ ඒක soulmateship (ආත්මීය සහකාර සම්බන්ධය) එකක්
කියලා. ඒ කාලේ මං ඒ දේවල් ගැන වැඩිය විශ්වාස කළෙත් නෑ. හිතුවෙත් නෑ.
අපි නිතර කතා කළා. හමුවෙලා නෙවේ. කෙටි පණිවිඩවලින්. කලාතුරකින් දුරකතන ඇමතුම්වලින්. එයා ඒ වෙද්දි කොළඹින් තරමක් ඈත රැකියාවක් කරපු නිසා අපි හමුවෙලා ඇත්තේ අතක ඇඟිලි ගාණට වගේ. ඒත් අපි දවස් ගණන් එකදිගට කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. හැබැයි ඒ Good morning, Good night, කෑවද, කොහෙද ඉන්නේ, මොකද කරන්නේ කියලා අහලා නෙවේ. ඒ කෙටි පණිවිඩ පිරුණේ අපි බලපු චිත්‍රපටිවලින්, කියවපු පොත්වලින්, අහන සිංදුවලින්, අපිට හම්බුණු එක එක විදියේ මිනිස්සුන්ගෙන්, අපි මූණ දීපු සිදුවීම්වලින් වගේ දේවල්වලින්. ඒ ඇරෙන්න මං ලියන කවි, නිසඳෙස්, මගේ හිතේ පිරෙන මාගල් වගේ දිග කතා ඒ සේරම එයා එක්ක මං බෙදාගත්තා. එයත් ඉඳහිටලා නිසඳැසක් වගේ ලිව්වම මට එවනවා. එයා සංගීතයට හරි ආසයි කියලා මට මතකයි. එයාට ගොඩක් ගැඹුරු කටහඬක් තිබ්බා. ඒකෙන් එයා ලස්සන ඉංග්‍රීසි සිංදු ගායනා කළා ගිටාර් ගගහා. එයා ගොඩක් වෙලාවට සංගීතය ගැන කතා කළා. එයා පොත්ගුල්ලෙක්. මට වඩා සමාජය ගැන හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්. දවස් ගණන් ඇදුණු අපේ කෙටි පණිවිඩ සංවාදවල තිබ්බේ ඒවා. අර වගේ පොදුවේ දෙන්නෙක් අතරේ හුවමාරුවෙන කෙටි පණිවිඩ අපි අතරේ හුවමාරු නොවුණ තරම්. ඒ ගැඹුරු බැඳීමට ඒ වගේ සරල ප්‍රශ්න ඕනේ වුණේම නෑ. හැමදාම උදේට ඉර පායන බව වගේම හැමරෑකම ඉර බැහැලා ගියාම අපි නිදාගන්න බවත් අපි දැනගෙන හිටියා. අපි කන බොන බව, අපේ දෛනික ජීවිතය ගත කරන බව දැනගෙන අපි හිටියා. ඒ නිසා ඒ තොරතුරු හුවමාරු කරගන්න දෙන්නටම ඕනේ වෙන්න නැතුව ඇති.
අවුරුදු
හතරක් අමාරුවෙන් ගත්ත උපාධියට කොහෙත්ම අදාළ නොවෙන රැකියාවක් එයා කළේ.
එයාගේ උපාධිය එක්ක සම්බන්ධ රැකියාවක් නොකරන එක ගැන මං ඇහුවම එයා කිව්වේ;
"මං
කරන්නේ මට සැටිස්ෆයි වෙන්න පුලුවන් ජොබ් එකක්... මගේ කොලිෆිකේශන්ස් වලට
මේක මැච් නොවුණත් මං සතුටින් මේ ජොබ් එක කරනවා... මට ජීවත්වෙන්න ඇති තරම්
සැලරියක් මං මේකෙන් ගන්නවා... ඒ ඇති මට..."
කියලා. ඇත්තම කිව්වොත් එයාගේ
සුදුසුකම්වලට ඒ වගේ දෙතුන් ගුණයක වැටුපක් ගන්න පුලුවන් රැකියාවකට එයාට
ලේසියෙන්ම යන්න පුලුවන්කම තිබ්බා. ඒත් එයා තෝරගත්තේ එයාගේ සතුට. එයා එහෙව්
මනුස්සයෙක්.
එයා මට හැමවෙලේම කිව්වා;
"ඔයාට ගැලපෙන්නේ නපුරුකම..."
කියලා.
ඔව්. එයා දැනගෙන හිටියා මං මහ උද්දච්ච, නපුරු, අහංකාර, ආත්මාර්ථකාමී
එකියක් කියලා. ඒ නිසා එයා එහෙම කිව්ව වෙලාවට මට හයියෙන් හිනා ගියා.
එයා
මාව හොඳටම දැක්කා. මාව විනිවිද දැක්කා. මොකද එයාත් එහෙම කෙනෙක්. ඒක මට
තේරුණා. පස්සේ කාලෙකදි ඇත්ත මාව මමම වෙනස් කරගන්න කොට එයා මට අනතුරු
ඇඟෙව්වා.
"ඔයාට වෙන කෙනෙක් වෙලා ජීවිත්වෙලා හෙම්බත් වුණ දාට ඔයාට ඔයාව
එපාවෙයි. ඒ නිසා ඔයා ඔහොමම ඉන්න... මිනිස්සු ඔයාව ඔය විදියට ඇක්සෙප්ට්
කරන්න පුරුදු කරගන්න..."
මගේ වයසයි, අඩු අත්දැකීමුයි නිසා එදා එයා කිව්ව
ඒ කතාව මට තේරුණේ නෑ. එයා එකම දේ නැවත නැවත කියන කෙනෙක් නෙවේ. ඒ නිසා ආයේ ඒ
ගැන මගෙත් එක්ක කතා කළෙත් නෑ.
"අපි කොච්චර කල් ජීවත්වෙයිද කියලා අපි දන්නෑ. අපිට ජීවිත කීයක් තියනවද කියලා අපි දන්නෑ. ඒ නිසා ඔයාට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් ඔයා ඔයාගේ ගමන යන්න... තව එක දවසක් විතරක් අපි ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න කෙල්ල..."
මේ වචන ටික නිතරම වගේ එයා මට කිව්වා.
කාලයත් එක්ක මං වෙනස් වුණා. මගේ ජීවිතේ මංවත් නොහිතපු කෙනෙක් ළඟ මං නතරවෙන්න තීරණය කළා. අර මං හීන දැක්ක රූපේ තිබ්බ කොල්ලෙක් ගාව නතරවුණේ. එයාත් එයාගේ ජීවිතේට වරින් වර ආව අය එක්ක කාර්යබහුල වුණා. හිත් රිදීම්, තැලීම් එක්ක ඉන්න කාලෙක ආයෙම එයා මගෙත් එක්ක සමීප වුණා කලින් වගේම. ඒත් ඒ වෙද්දි මං මගේ වෘත්තීය ජීවිතේ එක්ක හැප්පෙන්න අරගෙන. ඉස්සර හිතේ තිබ්බ සතුටින් ඉන්න කෙල්ලෙක් වීමේ හීනය පැත්තකට දාලා වැඩි වැටුපක් තියන රස්සාවක්, ඉහළ තනතුරක්, ලොකු ගෙයක්, රෝද හතරේ වාහනයක් මගේ ඉලක්ක වෙලා තිබ්බා. කලින් හිටපු නපුරු, ආත්මාර්ථකාමී කෙල්ල වෙනුවට පොඩි දේටත් අඬන, සංවේදී කෙල්ලෙක්ව මං මට ආරෝපණය කරගෙන හිටියා. ඒත් එයා... හිටියා වගේමයි. ඒ විදියමයි. ඒ සීතල බැල්මමයි.
"මං ලීව් ගත්තා කොළඹ එන්න... ආවම ඔයාව මීට් වෙන්න ඕනේ..."
හදිසියේ එයාගෙන් ආව කෙටි පණිවිඩයක එහෙම තිබ්බා. මං කාර්යාලයේ වැඩ ඉවරවෙලා එයා හමුවෙන්න ගියා. මගේ අලුත්ම මෝටර්රථයෙන්. එයා මාව දැකලා සතුටු වුණා.
"කෙල්ල ලස්සන වෙලා..."
එයා එහෙම කිව්වා. එයාත් කඩවසම් වෙලා. තවත් සුදු වෙලාදත් මන්දා. අපි කෝපි බොන්න අවන්හලකට ගොඩවැදුනා.
"මං තව මාස එකහමාරකින් ලංකාවෙන් යනවා... මං ආසාවෙන් හිටපු විදියෙම ජොබ් එකක් හම්බුණා..."
එයා කිව්වේ පැය භාගයක් විතර ආගිය තොරතුරු කතා කළාට පස්සේ. මට දැනුනේ සතුටක්. එයා යන එක ගැන දුකක් දැනුනා කියලා මට බොරු කියන්න බෑ. එයා එයාගේ හීනෙට යන එක ගැන මට සතුටක් විතරයි දැනුනේ. එයා තෝරගෙන තිබ්බේ යුරෝපීය රටක්. එයාට එහේ හොඳ වෙයි කියලා මට හිතුනා.
"අපරාදේ අපිට ආදරේ කරලා බලන්න තිබ්බා..."
මං හදිසියෙම කිව්වා. ඇයි මං එහෙම කිව්වේ කියලවත් මං දැනගෙන හිටියේ නෑ. ඒත් ඉස්සර වගේම එයා ඉස්සරහා මට මං වෙන්න පුලුවන් කියලා මං දැනගෙන හිටියා. මට හැංගෙන්න කිසිම උවමනාවක් එයා ගාවදි දැනුනේ නෑ. මගේ කතාවට එයා කලාතුරකින් දාන එයාගේ අමුතු හිනාව දුන්නේ.
"අපි ආදරේ කළා නම් ඔයා අද ඉන්න තැනට ඔයා කවදාවත් යන්නේ නෑ... ඔයාගේ පොටෙන්ශල් එක ඔයා අඳුරගන්නේ නෑ... ඔයා ගෙන් මං දැක්ක හැමදේම තවත් අය එක්ක ශෙයාර් කරගන්නවට මං කැමති වෙන්නෙත් නෑ. මං ආදරේදි හරිම පොසෙසිව්... එහෙම උනා නම් අපි අතරේ ඩිස්ටන්ස් එකක් මතුවෙන්න තිබ්බා... ඔයාට මාව එපා වෙන්න ඉඩතිබ්බා... අනික මං ඔයාව අඳුරගන්නකොට හිටපු කෙල්ලට වඩා ඔයා දැන් කම්ප්ලීට්ලි වෙනස්... ඊට වඩා අපි මේ ඉන්න තැන් දෙක අපි දෙන්නටම කම්ෆටබල්..."
එයා කිව්වම මං එයාට එකඟ වුණා.
"ඔයාට තව යන්න ගොඩක් දුර තියනවා කෙල්ලේ... ඔයා වටේ ගොඩක් අය එකරැස් වෙයි. ඔයාව ගොඩක් අය අඳුරගනීවී... ඔයා හරියට තරුවක් වගේ බැබලෙයි දවසක... මං ආස නෑ තරුවකට ආදරේ කරන්න... මට ඕනේ සාමාන්‍ය ජීවිතයක්. සීමිත පිරිසක් එක්ක අසීමිත නිදහසකින් ජීවත්වෙන්න... මගේ ජීවිතෙයි, ඔයාගේ ජීවිතෙයි අහසයි, පොළොවයි වගේ කියලා දවසක ඔයාට තේරෙයි... ඇත්තටම ඔයා අහසට අයිති තරුවක්... ඒ තරුව අහසින් අයින් කරන පව මට දැන් කරන්න බෑ..."
එයා තවත් හේතු දැක්වුවා. අපි ආයේ ඒ ගැන කතා කළේ නෑ. ඒත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා. එදා රෑ මං එයාව එයාගේ ගේ ගාවින් බස්සන්න කලින් සුක්කානම උඩ තිබ්බ මගේ වම් අත එයා තදින් අල්ලගත්තා. ඒ එයා මාව ස්පර්ශ කරපු මුල්ම වතාව.
"අපි කොච්චර කල් ජීවත්වෙයිද කියලා අපි දන්නෑ. අපිට ජීවිත කීයක් තියනවද කියලා අපි දන්නෑ. ඒ නිසා ඔයාට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් ඔයා ඔයාගේ ගමන යන්න... තව එක දවසක් විතරක් අපි ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න කෙල්ල..."
ඒක එයා මට හැමවෙලේම කියන දෙයක් වුණත් එවෙලේ ඒක මගේ හිතට තදින්ම දැනුනා. අන්තිමටම එයා මගේ වම් අතේ ඇඟිලි තුඩු යන්තම් සිපගත්තා.
"පරිස්සමින් ඉන්න... සතුටින් ඉන්න..."
එහෙම කියලා එයා බැහැලා ගියා. නෑ... මට වේදනාවක්වත්, දුකක්වත් දැනුනේ නෑ. ඒත් පොඩි පාලුවක් දැනුනා. එයාගේ විලවුන් සුවඳ මෝටර්රථය පුරා තිබ්බා. එයාගේ තොල්වල ස්පර්ශයට මගේ වම් අතේ ඇඟිලි තුඩු හිරිවැටිලා තිබ්බා.
එයා යනකන් අපි ආයේ හමුනොවුණත් සැරින් සැරේ අපි කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. ඒ කිසිම වෙලාවක එදා මෝටර්රථය ඇතුලේ වුණු දේ ගැන අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ. එයා ලංකාවෙන් යන්න කලින් දවසේ අපි පැයක් විතර දුරකතන ඇමතුමකින් කතා කළා.
"අපි කොච්චර කල් ජීවත්වෙයිද කියලා අපි දන්නෑ. අපිට ජීවිත කීයක් තියනවද කියලා අපි දන්නෑ. ඒ නිසා ඔයාට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් ඔයා ඔයාගේ ගමන යන්න... තව එක දවසක් විතරක් අපි ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න කෙල්ල..."
එදත් ඇමතුම විසන්ධි වෙන්න කලින් එයා එහෙම කිව්වා.
එයා ලංකාවෙන් ගියාට පස්සේ මට එවපු එකම සහ අවසානම කෙටි පණිවිඩයේ තිබ්බේ එයා ගමනාන්තයට ගිය බවත්, හැමදේම හොඳින් බවත්, අර සුපුරුදු වචන ටිකත් විතරයි. ඊටපස්සේ එයා එයාගේ දුරකතනය අංකය වෙනස් කරලා තිබ්බා. ඒක මට එයා එව්වේ නෑ. එයාගේ සමාජ මාධ්‍ය ජාලා සේරම එයා ක්‍රියාවිරහිත කරලා තිබ්බා. එයාව අඳුන්වලා දුන්න මගේ යාලුවා එක්කවත් එයාගේ කිසිම සම්බන්ධයක් එතකොට එයාට තිබිලා නෑ. අනික් මං දන්න එයාගේ යාලුවෝ එක්කත් එයාගේ සම්බන්ධකම් ඒ වෙද්දි තිබ්බේ නෑ. එයා හරියට වාශ්ප වුණා වගේ.
කාලයත් එක්ක මටත් එයා ගැන හොයන්න අමතක වුණා. මං මගේ වැඩ එක්ක කාර්යබහුල වුණා. මං අර හීන මැව්ව විදියේ කොල්ලෝ කීපදෙනෙක්ම මගේ ජීවිතේට ඇවිත් ගියා. ඒත් රැඳුණේ නෑ. එයාලා හැමෝම මතුපිටින් පේන මට කැමති වුණාට කාලයත් එක්ක ඉස්මතු වෙන ඇත්ත මට කැමති වුණේ නෑ. එහෙම වෙලාවට හිත බිඳුනම ඉඳ-හිටලා මට එයාව මතක් වුණා. එයාගේ වචන මතක් වුණා.
"මම කොච්චර කල් ජීවත්වෙයිද කියලා මම දන්නෑ. මට ජීවිත කීයක් තියනවද කියලා මම දන්නෑ. ඒ නිසා මට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් මං මගේ ගමන යනවා... තව එක දවසක් විතරක් මම ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න ඕනේ මට..."
එයාගේ වචන මං මටම කියාගත්තා. පස්සේ කාලෙක ඒ වචනම තියන සිංදුවක් හමුවෙලා මම හිතින් වැටුණම ඒක අහන්න පුරුදු වුණා.
"No matter who tries to stop me
I will go on my way
You only live once
Leggo... (Leggo)
Leggo... (Leggo)
Even if I live for a day
I'll have no regrets
Let's jump
Let's jump (Jump Jump Jump Jump)..."*
එයාගේ වචනවලට සමාන තේරුමක් තිබ්බ ඒ කොරියන් සිංදුව පවා මට ශක්තියක් වුණා.
එයා කිව්වා වගේම මං ඉහළම හිණිපෙත්තටම ගියා. මං ඒකට මහන්සි වුණා. කැපවුණා. හැමෝම මං ගැන දැනගත්තා. හැමෝම මං ගැන හොයන්න ගත්තා. ඒ හැමෝම කිව්වේ මං හරි මෘදු ගති තියන, පරාර්ථකාමී, අහිංසක, නිරහංකාර, ලස්සන, දක්ෂ කෙල්ලෙක් කියලා. නෑ... ඇත්තම කිව්වොත් මං එයාලා හැමෝටම මං එහෙම කෙනෙක් කියලා මවලා පෙන්නුවා. මොකද මං දැනගෙන හිටියා ඇත්ත මට කවුරුවත් කැමති වෙන්නේ නෑ කියලා. ඒ නිසා මම වෙනම මම කෙනෙක්ව නඩත්තු කළා. අන්න ඒ මම සෑහෙන්නම ඉහළට ගියා.
ඒත් ඒ ඉහළම තැන ඉඳන් පහළ බලපු දවසක මට දැනුනේ මට මාව නැතිවෙලා වගේ. මගේ වටේ හැමෝම හිටියට කවුරුත්ම නෑ වගේ දැනෙන්න ගත්තා. මට අඬන්න ඕනේ වුණා. කෑගහලා අඬන්න ඕනේ වුණා. මට මාව හිස් වගේ දැනෙන්න ගත්තා. තවදුරටත් මවාගත්ත මං ඇතුලේ මට ජීවත්වෙන්න බැරිවුණා.
දවස් ගාණක් කල්පනා කරලා තීරණයක් ගත්තා. මට මගේ පවුලත් එක්ක තිබ්බේ දුර්වල සම්බන්ධයක් ඒ වෙද්දි. මගේ විවාහය කියන වරපට නීතියෙන් විතරක්ම බැඳිලා නීතියෙන්ම වෙන්වෙලා ගිහිල්ලත් අවුරුදු කීපයක් ගතවෙලා එතකොට. මගේ වටේ හිටපු අය ගැන මං හිටියේ කලකිරීමෙන්. අනෙක් අතට මං කොච්චර ජනප්‍රිය වුණත් මං ගැන හොයන්න ඇත්තටම හිතවත් කෙනෙක් ඒ වෙනකොට නෑ කියලා මං තේරුම්ගත්තා. මාව තේරුම්ගත්ත කෙනෙක් මට එයාගෙන් පස්සේ කවදාවත් හමුවුණේ නෑ. මම මගේ රැකියාවට සමුදුන්නා. කොළඹින් ඈතට වෙන්න සාමාන්‍ය රැකියාවක් හොයාගත්තා. සුඛෝපභෝගී නිවස සහ මෝටර්රථය විකුණලා දැම්මා. ගමන් යන්න නඩත්තුව පහසු පොඩි මෝටර්රථයක් මිලදී ගත්තා. රැකියා ස්ථානයට ආසන්නයෙන්ම එක කාමරේකුයි, පොඩි සාලෙකුයි, පොඩි කුස්සියකුයි, පුංචි මිදුලකුයි තියන ගෙයක් ගත්තා. කියවන්න ආස පොත් ටිකක් ගත්තා. විච්චූරණ ඇඳුම් වෙනුවට සැහැල්ලු, සරල, පහසු ඇඳුම් ටිකක් ගත්තා. සමාජ මාධ්‍ය ජාලාවලින් තරමක් ඈත්වුණා.
ඒ ජීවිතේදි මට සතුට දැනෙන්න පටන්ගත්තා. ඉස්සරම හිටපු ඇත්තම මම ආයෙම ජීවත්වෙන්න හුස්ම ගන්න ගත්තා. මට ජීවත්වෙන්න, මාව නඩත්තු කරන්න තරම් සෑහෙන වැටුපක් ලැබුණා. මම කාර්යබහුල වුණේ නෑ. ඒ විවේකය එක්ක මං ආයෙම චිත්‍රපටි බැලුවා. පොත් කියෙව්වා. මගේ අලුත් ගෙදර පුංචි සාලේ තිබ්බේ හොඳ ඇඳි පුටු දෙකකුයි, පොඩි කනප්පුවකුයි, ලොකු පොත් රාක්කෙකුයි විතරයි. කම්මැලි හිතුනම උයන්නේ නැතුව අතට අහුවෙන මොනාම හරි දෙයක් කාලා හිටියා. ඩෙනිම් කලිසමකුයි, පරණ ටී ෂර්ට් එකකුයි ඇඳගෙන ගම පුරා ඔහේ ඇවිද්දා. ගමේ ළමයි එක්ක ක්‍රිකට් ගැහුවා. ලස්සන ලස්සන දර්ශනවල ඡායාරූප අරගෙන ඒවා පුංචි පුංචි නිසඳැස් එක්ක මගේ සමාජ මාධ්‍යජාලාවල පළ කළා. පුංචි මිදුලේ ලස්සන මල් ගස් ටිකක් වැව්වා. කාලයත් එක්ක හැමෝටම කලින් හිටිය මාව අමතක වෙලා තිබ්බා. කවුරුවත් මාව හෙව්වෙත් නෑ. මට හරි සැහැල්ලුවක්, සතුටක් දැනෙන්න ගත්තා.
වැස්ස දවසක කම්මැලිකමට මුහුණුපොතේ කරක් ගහද්දි අහම්බෙන් මගේ විදේශගතව ඉන්න යාලුවෙක්ගේ ඡායාරූප කිහිපයක් මං දැක්කා. එච්චර උවමනාවක් නැතුව ඔහේ ඒක නොබලම යන්න හදද්දි ඒ ඡායාරූප අතරේ දැකලා හොඳට හුරුපුරුදු රූපයක් පෙනුනා. ඒ රූපය වෙනස් වෙලා තිබ්බා. කළු පාට අකීකරු කොණ්ඩේ පාට කරලා. පුළුල් නළල වහගෙන ඒ පාට කොණ්ඩ කැරලි කිහිපයක් නළලට වැටිලා. ඉස්සර කළු ඇස් දැන් දිලිසුණේ දුඹුරු පාටින්. කාච දාලා වෙන්නැති. කන් දෙක කිහිප තැනකින්ම විදලා මුදු වගේ කරාබු දාලා. අතක බාහුවේ ඉඳන් ඇඟිලිවලට එනකම්ම පාට පාටින් ටැටූ කරලා. කොච්චර වෙනස් වෙලා තිබ්බත් අර නපුරු සීතල බැල්ම, තදවුණු හකුපාඩා, තදින් පියවුණු සිහින් රෝස පාට දෙතොල් ඒ විදියටම තිබ්බා. මං ඡායාරූපයෙන් ඡායාරූපය ගාණේ විශාලනය කර කර බැලුවා. සමහර ඒවයේ එයා අතේ බීර බෝතලයක් තිබ්බා. ඡායාරූප දෙක තුනක එයා ළඟම ලංකාවේ කියලා හිතන්න පුලුවන් ලස්සන කෙල්ලෙක් හිටියා. ඒ කිසිම එකක හිනාවක් නම් තිබ්බේ නෑ. ඒත් එයා සතුටින් කියලා මට හිතුනා. ඒ එයා හොයපු ජීවිතේ. එයාගේ හීනය.
යාලුවා දාපු ඡායාරූපවලට එයාගේ අලුත් මුහුණුපොතේ ගිණුම අමුණලා තිබ්බා. මට ඒ නම හොයාගන්න බැරිවුණු එක සාධාරණයි. ඒ අකුරු කොහෙන් ආව අකුරු ටිකක්ද කියලත් මං කල්පනා කළා. ටිකක් කල්පනා කරලා මං එයාට මිතුරු ඇරයුමක් යැව්වා.
සතියක් පුරා සැරෙන් සැරේ මුහුණුපොතට එබිලා බැලුවට එයා මගේ මිතුරු ඇරයුම පිළිඅරගෙන තිබ්බේ නෑ. එයා මගේ මිතුරු ඇරයුමට ප්‍රතිචාර දක්වලා තිබ්බේ සති දෙකකින් වගේ. එදා මට සතුටු හිතුනා.
📲 Hey
Messenger කෙටි පණිවිඩයක් එයාගේ නමින් සටහන් වුණේ කොළ පාට බිංදුවත් එක්කමයි. මට පුදුම හිතුනා.
📱 Hi. කොහොමද..?
මමත් ප්‍රතිචාර දැක්වුවා.
📲 හොඳයි. ඔයාට..?
මට හිතාගන්න බැරි දුරස්ථ බවක් එයාගෙන් දැනුනා. ඒත් එදයින් පස්සේ අපි අතරේ කෙටි පණිඩිඩ කිහිපසැරයක්ම හුවමාරු වුණා.
📲 ලබන සතියේ මං ලංකාවට එනවා.
අපි ආයෙම කෙටි පණිවිඩ හුවමාරු කරගන්න අරගෙන මාසෙකට විතර පස්සේ එයා එහෙම කෙටි පණිවිඩයක් මට එවලා තිබ්බා.
📱 ලංකාවට ආවම වෙලාවක් තිබ්බොත් හමුවෙමු.
මං කිව්වම එයා 👍 emoji එකක් විතරක් එවලා තිබ්බා. එයා එහෙන් පිටත්වෙන්න තිබ්බ දවසට කලින් දවසේ හදිසියෙන්ම මට එයාගෙන් Messenger ඇමතුමක් ආවා.
"මං හෙට මෙහෙන් එනවා. සති දෙකකට මං එන්නේ... මට ඇවිත් ඔයාගේ ගෙදර ඉන්න පුලුවන්ද..?"
හුඟ කාලෙකින් මං ඒ කටහඬ ඇහුවේ. ඒත් මගෙන් හරියට වෙන දෙයක් අහන්නෙවත් නැතුවම එයා එහෙම ඇහුවම මට දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ. අනික මගේ පුංචි ගෙදර අමුත්තන්ට කියලා වෙනම කාමරේකුත් නෑ.
"ආ..ම්..."
මං මොහොතක් ගත්තේ ඒකයි.
"අම්මලා අක්කා ගාව ඉන්නේ ඔසීවල. කොළඹ ගෙවල් විකුණලා දැන්... හොටෙල් එකක ඉන්නවා කියලා හිතාගෙන හිටියේ... ඒත් ඔයා ඉන්න ගම ගැන කිව්වම එහේ ඉන්න ආස හිතුනා... සති දෙකකට වඩා ඔහේ ඉන්නත් බෑ... ඉතුරුවෙලා තියන ප්‍රොපටීස් වගයක් විකුණන්න නිසා මං ඔහේ එන්නෙත්. ඒවා ඉවර කරගෙන මං ආයෙම එනවා මෙහෙ... ආයේ ලංකාවට එන්න අයිඩියා එකක් නෑ..."
එහෙම කිව්වම නම් කවදාවත් නැති විදියට මගේ පපුව සීරෙනවා දැනුනා. ඒ නිසා මේ සති දෙක මං එයාට මගේ ගෙදර ඉඩදෙන්න හිතුවා. ආයේ කවදාවත් අපි මුණගැහෙන එකකුත් නෑනේ.
"කරදරයක් නැත්නම් මාව ගන්න එයාර්පෝර්ට් එකට එන්න කෙල්ල... අවුරුදු හතක් තිස්සේ ලංකාව ගොඩක් වෙනස්වෙලත් ඇතිනේ..."
මං ඒ ඉල්ලීමටත් එකඟ වුණා. කවදාවත් නැතුව මට එයා ගැන ලෝබකමක් දැනුනා. එයා මගේ soulmate කියලා ඒ වෙද්දි මට පැහැදිලි වෙලා තිබ්බේ. එයා හරි. ඇයි මට ඒක ඒ කාලෙම නොතේරුණේ..? ඒ එක්කම මට මතක් වුණේ අර ඡායාරූපවල හිටපු ගෑනු ළමයව. ඒ ගෑනු ළමයා එයාගේ මුහුණුපොතේ ගිණුමේ එයා දාපු ඡායාරූප දෙක තුනකත් හිටියා. සමහරවිට ඒ එයාගේ පෙම්වතිය වෙන්නැති. මට දුක හිතුනා. ඊර්ෂ්‍යාවක් නම් දැනුනේ නෑ. ඒත් දුක හිතුනා. එයාට මගේ නිදන කාමරේ සූදානම් කරලා මං සාලෙට පොඩි කවිච්චියක් අලුතින් ගෙනත් දාගත්තේ එයා ඉන්න සති දෙකට මට නිදාගන්න තැනක් ඕනේ නිසා. මට කෑම මේසයක්වත් තිබ්බේ නෑ. කෑම මේසයක් තියාගන්න ගෙදර ඉඩක් තිබ්බේවත්, මට උවමනාවක් තිබ්බේවත් නෑ. ඒ නිසා එයා වෙනුවෙන් මට ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ඉඩ තියන හැටියෙන් එකතු කරගන්න වුණා.
එයාර්පෝර්ට් එකේදි මාව දැක්කම එයා හිනාවෙලා මාව බදාගත්තා. එයා උසම උසයි. මං මිටිම මිටියි. මට මුල්ම වතාවට එහෙම හිතුනා. එදා එයා මගේ ඇඟිලි තුඩු සිපගත්තම දැනුනා වගේම හිරියක් ඒ වැළඳගැනීමෙන් මට දැනුනා. එයාගේ දිග සිරුරට මගේ පොඩි මෝටර්රථය ගැලපුනේ නෑ. ඒත් එයා හරිම සුවපහසු විදියට ඉදිරිපස මගී අසුනට වෙලා හිටියා.
"ඔයා දැන් ආයෙම මට මුණගැහුණු කාලේ ඉඳපු කෙල්ල වෙලා..."
එයා වෙනදා වගේම සීතල බැල්මක් එක්ක කිව්වා. මං හිනාවුණා.
"ඔයා සතුටින්ද..?"
ඒ ප්‍රශ්නෙට දෙන්න මට දැන් උත්තරයක් තියනවා. ඔව්. පැහැදිලි උත්තරයක් තියනවා.
"ඔව්. මම සතුටින්..."
එයා හිනාවුණා. අර ඩ්‍රැකියුලා වගේ උල් දත් දෙක පෙන්නලා හිනාවුණා. මූණේ හැම පේශියකින්ම හිනාවුණා. ඒ එක්කම එයාගේ ඇස්, කම්මුල් සේරම හිනාවුණා. ඒක මාරාන්තික හිනාවක්. කෙනෙක්ගේ හදවත සිදුරු කරන්න පුලුවන් හිනාවක්. මට හිතුනා.
"ඇති යන්තම්..."
එච්චරයි එයා කිව්වේ. අපි පරණ දේවල් කතා කළේ නෑ. ඒත් එයා මං ගැන දැනගෙන හිටියාදෝ කියලා මට හිතුනා. මගේ ගෙදරට කටුණායක ඉඳන් එන්න පැය කීපයක් ගතවෙනවා. තෙහෙට්ටුව නිසා එයා වරින් වර නිදාගත්තා. මං මෝටර්රථය පැදෙව්වා.
"ඇත්ත... මෙහේ හරි ලස්සනයි..."
එයා කිව්වේ ඇඟ හෝදගෙන ඇවිත් මං හදපු සැන්ඩ්විච් පෙත්තක් කන ගමන්. මං හිනාවුණා.
"අපි බඳිමු..."
එයා කිව්වේ තවත් සැන්ඩ්විච් පෙත්තක් අතට ගන්න ගමන්. ඒක හරියට බඩගිනියි කියනවා වගේ සාමාන්‍ය ස්වරයකින් කිව්වේ එයා. මං ගල් වුණා. මොකක්ද එයා කිව්වේ කියලා මට තේරුණේ නෑ.
"මං මැරේජස් ගැන විශ්වාස කරන්නෑ කෙල්ල... ඒත් ඔයා තවත් තනියෙන් මෙහෙ ඉන්න ඕනේ නෑ... මට ඔයාව එක්කන් යන්න ලේසියි අපි ලීගලි මැරි කරලා හිටියම... එහේ මටම කියලා මීට වඩා පොඩ්ඩක් ලොකු ගෙයක් තියනවා. පොඩි ඇළක් ළඟ ලීවලින් හදපු ගෙයක්... මේ වගේම ගමක. ඒ ගමේ ලංකාවේ අය නෑ. පොඩි පොපියුලේශන් එකක් ඉන්නේ... ඒත් හරිම ලස්සනයි. නිස්කලංකයි... මගේ තනියට තව බලු කොල්ලෙක් ඉන්නවා... කැලයක්, විලක් එහෙමත් තියනවා... නිවාඩු දවසට අපි විලේ බෝට්ටු පදින්න යමු... අවුරුදු හතක් මං තනියමම හිටියා. දැන් ඇති වගේ... අනික ආයේ ඔයාව තනියම දාලා මට යන්න බෑ දැන්..."
හරිම සාමාන්‍ය විදියට එයා කිව්වේ. මං තාමත් පුදුම වෙලා එයා දිහා බලන් ඉන්නවා. එයා මගේ අතින් ඇදලා එයාගේ කකුල් දෙක උඩින් වාඩි කරවගත්තා.
"ඇයි මාව බඳින්න බැරිද..?"
එයා ඇහුවේ අර සීතල බැල්ම හෙලන ගමන්. තාමත් මට මගේ ඔලුවවත් හොලවගන්න බෑ.
"මං දැනගෙන හිටියා ගෑනු ළමයට හති වැටෙන දවසක් එනවා කියලා... ඒත් ඒ වෙලේ මං ඕක ඔයාට කිව්වා නම් ඒක ඔයාට දැනෙන්නේ ටොක්සික් ඔපීනියන් එකක් විදියට. ඒ නිසා මං ඔයාට දැනෙන්න ඇරියා... ඔයාම තේරුම්ගන්නකන් හිටියා..."
මං පුදුමයෙන් ඇස් ලොකු කරගෙන එයා දිහා බලාගෙන හිටියා. එයා හිටියේ උඩට ඇඳුමක් නැතුව. එයාගේ හීන්දෑරි පපුවයි, බඩයි කොටස් අටකට බෙදිලා තියනවා මං දැක්කේ ඒ වෙලේ. ලොකු පදක්කමක් තියන කළු මාලයක් බෙල්ලේ තිබුණා.
"ඔයා අර කොල්ලව බැන්දම නම් මං ඔයාව හිතින් අතෑරගත්තා අමාරුවෙන්... ඒත් ඊට මාස හය, හතකට පස්සේ ඩිවෝර්ස් වුණා කියලා දැනගත්තම ආයේ ඔයා ගැන මං හොයන්න ගත්තා... ඒත් ඔයා එතකොට ජනප්‍රිය තරුවක්නේ... මට ළඟට එන්න හිතුනේ නෑ... ඔයාට මං වගේ සාමාන්‍ය කෙනෙක්ව මැච් වෙන්නෑ කියලා මට හිතුනා..."
එයා එහෙම කිව්වම මට ඇඬුනා. එයා මෙච්චර මං ළඟින් ඉඳලත් ඇයි මං එයාව තේරුම්නොගත්තේ..?
"අවුරුදු හතක් තිස්සේ නාඬා ඉඳලා දැන් අඬන්න ඕනේ කියලා හිතෙනවා නම් අඬන්න කෙල්ල... ආයේ අඬන්න ඉතුරු කරගන්නෙපා. මොකද මං මේ හදිසියෙම ලංකාවට ආවෙම ඔයාව අරන් යන්න ඕනේ නිසා... මට මගේ නපුරු, සෙල්ෆිෂ් කෙල්ලව තවත් මිස් කරගන්න බෑ... මං මේ සති දෙකම ඔයා එක්ක ඉන්නම්... මැරි කරන එකේ ලීගලි වැඩවලට සති දෙකක් ඇතිවෙයි. මගේ යාලුවෙක් දැනටමත් ඒ ගැන සේරම හොයලා බලලා තියෙන්නේ... මං සති දෙකෙන් යද්දි නම් මට ඔයාව ගෙනියන්න බැරිවෙයි... ඒත් ඉක්මණටම මං ඔයාව එහාට ගන්නම්... ඊටපස්සේ හැමදාම ඔයා මා ගාව..."
එයා කිව්වේ මගේ මූණම දෝතට අරගෙන. ඊටපස්සේ හරිම මෘදු විදියට එයා මාව සිපගත්තා.
"ඉස්සර මේ කෙල්ලට ලස්සනට ලියන්න පුලුවන්කම තිබ්බා... මං ආසයි දිගටම ලියනවා නම්... අර පහුගිය ටිකේ ෆේස්බුක් දාපු නිසඳෙස් වගේ ඒවා ලියන්න දිගටම... ඒකෙන් ඔයාට ඔයාව එක්ස්පෝස් කරන්න පුලුවන් වෙයි කලින්ට වඩා හොඳ විදියකට..."
මට හිතාගන්න බෑ තාමත්. ඒ මං හොයපු රූපය නෙවෙයි. එයා මගේ හීන කුමාරයා නෙවෙයි. ඒත් අනික් හැමඅතින්ම එයාව මට ගැලපෙනවා නේද කියලා මට අමතක වෙලා. නෑ... මට මඟඇරිලා. මගේ හිතේ ඇඳුණු රූපෙට ගැලපෙන මිනිස්සු හොය හොය මම මාවම නැති කරගන්නකොට මගේ ආත්මෙට ගැලපෙන ආත්මයක් තියන මාව හොඳටම තේරුම්ගත්ත කෙනාව මං මඟඇරගෙන. එයා ඈත ඉඳන් බලන් ඉන්න තරම් ඉවසීමක් තිබ්බ කෙනෙක් නිසා ආපිට මට ලැබුණත් එහෙම නොවෙන්නත් ඕනේ තරම් ඉඩත් තිබුණා.
"අපි කොච්චර කල් ජීවත්වෙයිද කියලා අපි දන්නෑ. අපිට ජීවිත කීයක් තියනවද කියලා අපි දන්නෑ. ඒ නිසා ඔයාට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් ඔයා ඔයාගේ ගමන යන්න... තව එක දවසක් විතරක් අපි ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න කෙල්ල..."
එයා එයාගේ සුපුරුදු වචන ටික කිව්වේ මාව තදින් වැළඳගන්න ගමන්. ඇත්ත... මං වැටුණු කාලේ, බිඳුණු කාලේ මාව ශක්තිමත් කළේ එයාගේ ඒ වචන. අදටත් මගේ හිතේ ගැඹුරුම තැනක ඒ වචන තැන්පත් වෙලා තිබුණා. එයා මගේ ළඟ නැති කාලේ ඒ වචන ටික මට මතක් කරලා දුන්න ඒ සිංදුව එයාට තුරුල්වෙලා මං හෙමින් මිමිණුවා.
"No matter who tries to stop me
I will go on my way
You only live once
Leggo... (Leggo)
Leggo... (Leggo)
Even if I live for a day
I'll have no regrets
Let's jump
Let's jump (Jump Jump Jump Jump)..."*
පුංචි වචන ටිකකට මනුස්සයෙක්ගේ ජීවිතයක් රකින්න පුලුවන් කියලා මට ඉගැන්නුවෙත් එයා.
✍🏼 සකුනි හතරසිංහ
*BTS කණ්ඩායමේ Jump ගීතයේ පද කිහිපයක ඉංග්‍රීසි අනුවාදය.




Comments
Post a Comment