දෙමගක 🌈

(කෙටි නවකතාව - 04 කොටස)

-අමන්දා-

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ලියනු ලබන කෙටිනවකතාවකි. කොටස් කිහිපයක් ඇතුළත අවුරුදු කිහිපයක කතාවක් ගොඩනගන බැවින් කතාවට අත්වැල් සපයන සිදුවීම් ලඝුව දක්වන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

ඊටපස්සේ ගෙවුණේ සෑහෙන කරදර කාලයක් අපේ පවුලටම. මං පවුල කියන එකෙන් අදහස් කළේ අපේ ගෙදර විතරක් නෙවේ නැන්දලත් එක්කමයි.

තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම් එකේදි මටයි, මිහීටයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න වුණා. අපි දෙන්නා තැන් දෙකකට වැටුණ නිසා එකට යන්න එන්න බෑ. ඒ දවස්වල අපිට ලෙක්චර්ස් තිබ්බේ හවස. ඉවරවෙද්දි කළුවර වැටෙන නිසා අයියායි, පොඩි අයියායි අපිව ගන්න කැම්පස් එකට ආවා. ඒ වෙද්දි පොඩි අයියා ටෙම්පරරි ලෙක්චරර් පෝස්ට් එකට බායි කියලා ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකකට ගිහින් හිටියේ. එයාට කොහොමත් ලෙක්චරර් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බේ නෑ. එයාගේ කොලිෆිකේශන්ස් වලට සෙට් වෙන ජොබ් එකකට චාන්ස් එකක් ආව ගමන් එයා පැන්නා ඒකට. අයියායි, එයායි දෙන්නා වැඩ කළේ පයින් යන දුරක තිබ්බ ඔෆිස් දෙකක. ඒ නිසා ඒ දෙන්නා එකට යන්න එන්න පටන් ගත්තා. එයාලා දෙන්නා කැම්පස් එක පැත්තෙන් නොයන නිසා මටයි, මිහීටයි ඊටපස්සේ ෆ්‍රී ට්‍රාන්ස්පෝට් සර්විස් එක අහිමි වුණා. බස් එකේ ආවේ ගියේ අපි දෙන්නා.

ඒ අතරේ තමා නැන්දාට කැන්සර් එකක් ආවේ. බ්‍රෙස්ට් කැන්සර් එකක්. එතකොට අපේ අම්මාට ආතරයිටිස් නිසා අම්මා පෙන්ශන් අරගෙන හිටියේ අම්මාගේ කාලේ සම්පූර්ණ වුණ ගමන්. තාත්තාගේ මුල් ගම බණ්ඩාරවෙල. සීයා, ඒ කියන්නේ අප්පච්චිගේ තාත්තා පැරලයිස් වෙලා ඇඳේ හිටපු නිසා නැන්දා ගැන බලන්න ආච්චිටත් විදියක් තිබ්බේ නෑ. මාමාටත් ගමේ වතුපිටි සේරම දාලා කොළඹ ඇවිත් ඉන්න බෑ. ලොකු අයියාගේ පවුලම ඒ වෙද්දි ලංකාවේ නෑ. නැන්දා ගැන අහපු ගමන් එයාට ලංකාවට එන්න විදියකුත් නෑ. ආවා කියලා ලෙඩේ හොඳ කරන්න ලොකු අයියා ජීවකත්* නෙවේනේ. ඒ නිසා අප්පච්චියි, පොඩි අයියායි තීරණය කළා නැන්දව කොළඹ අපේ ගෙදර ගෙනත් නවත්තගෙන ඔපරේෂන් එක කරන්න. ඔපරේශන් එකෙන් පස්සේ අම්මා නර්ස් වුණා නැන්දගේ. ඔයාලා දන්නවනේ කැන්සර් ඔපරේෂන් එකකින් පස්සේ තියන කීමෝ ට්‍රීට්මන්ට්ස් වගේ ට්‍රීට්මන්ට්ස්, ටෙස්ටින් එහෙම ගැන. ඒ නිසා අම්මාට ලේසි වුණේ නෑ එහෙම නැන්දව බලාගන්නත්. මායි, මිහීයි දෙන්නත් අම්මාට උදව් කළා. මං නම් උදව් කළේ නැන්දම්මා නිසා ලකුණු දාගන්න නෙවේ. පුත්තු දෙන්නෙක් විතරක් හිටිය නැන්දා කොහොමත් මට හරි ආදරෙයි පොඩි කාලේ ඉඳන්ම. ඒ නිසා නැන්දා මෙහෙම ඉන්නවා දැක්කම ඒක මගේ හිතට හරි බරක් වුණා.

යන්තම් නැන්දාට සනීපවෙලා එයා එයාගේ වැඩ කරගන්න ගත්තා විතරයි සීයා නැති වුණා. මටයි, මිහීටයි ලෙක්චර්ස් ශේප් එකක් දාගන්න පුලුවන් වුණ නිසා ඒ වෙද්දි ඔෆිස් වල පර්මනන්ට් වෙන ගේමක හිටපු අයියාටයි, පොඩි අයියාටයි ෆියුනරල් එක දවසට කලින් දවසේ එන්න කියලා අපි දෙන්නා අම්මායි, අප්පච්චියි, නැන්දයි එක්ක බණ්ඩාරවෙල ගියා. අපි ආපිට කොළඹ ආවේ හත් දවසේ දානෙත් ඉවර කරලා. අයියලා දෙන්නා නම් ෆියුනරල් එක ඉවරවෙලා කොළඹ ඇවිත් ආයෙම බණ්ඩාරවෙල ආවේ හත්දවසේ දානෙට. ආච්චිව කොළඹ එක්කන් එන්න අප්පච්චි වගේම අම්මාත් ට්‍රයි කළාට එයාට එන්න බෑම කිව්වා. සර්වන්ට්ලා දෙන්නෙක් අප්පච්චිගේ මහගෙදර හිටියා. නැන්දා බැඳලා හිටපු මාමාත් අප්පච්චිලාගේ ගමේමයි. නැන්දලා කොහොමත් ඒ කාලේ ඉඳන්ම පදිංචි වෙලා හිටියේ මාමාගේ මහගෙදරම නිසා පොඩි සැනසීමක් තිබ්බා අප්පච්චිට. ගෙවල් දෙක අතර හූවක දුර තිබ්බේ. නැන්දත් ඒ වෙද්දි සෑහෙන දුරට සනීප වෙලා හිටියේ. අප්පච්චිට සහෝදරයෙකුට කියලා හිටියේ ඔය අක්කා විතරයි. ඒ නිසා මහගෙදර වගකීම ගැන ලොකු ෆීලින් එකක් කොළඹ පදිංචි වෙලා හිටියට අප්පච්චිට තිබ්බා. අපිට බණ්ඩාරවෙල නවතින්න බැරි නිසා නැන්දා තීරණය කළා එහෙ නවතින්න. ට්‍රීට්මන්ට්ස් වලට මාමා නැන්දව කොළඹ එක්කන් එන්නම් කියලා කිව්වා. ඔපරේෂන් එක ඉවර වුණාට නැන්දට තව ට්‍රීට්මන්ට්ස් කරගන්න තිබ්බා. ඒකයි අපි කොළඹ තියාගත්තේ නැන්දව එච්චර දවසක්.

ඒ අතරේ අප්පච්චි ලෝන් එකක් දාලා අපේ ගෙට කෑලි ටිකක් ඇඩ් කරන්න ගත්තා. අයියා වගේම පොඩි අයියාත් කොළඹ ජොබ්ස් කරපු නිසා දෙන්නම කොළඹම ඉන්න තීරණය කරලා හිටියේ. ඒ නිසා අප්පච්චි තීරණය කරලා තිබ්බා ගෙදර තට්ටු දෙක අපි දෙන්නට වෙන වෙනම හදලා දෙන්න. කොළඹ ඉන්න අය නම් දන්නවා ඇතිනේ කොළඹින් ගෙවල්, ඉඩම් ගන්න තියන අමාරුව. අපි සල්ලිකාරයෝ නෙවේනේ එහෙම ගාණක් ගෙවලා ගෙවල්, ඉඩම් ගන්නත්. අනික අප්පච්චිට ආසාවක් තිබ්බා අයියායි, මායි එයාට පේන දුරින් තියාගන්න. අපේ කොළඹ ගෙදර වත්ත ටිකක් ඉඩ තිබ්බට මොකද තව ගෙයක් හදන්න තරම් නම් අපේ වත්ත ඇතුළේ ඉඩක් තිබ්බේ නෑ. ඒ නිසා ගෙට පිටින් තව පඩිපෙළක් දැම්මා උඩ බැල්කනියට සෙට් වෙන්න. එතකොට තට්ටු දෙකට වෙන වෙනම එන්ට්‍රන්ස් එනවනේ. පහළ තට්ටුවේ තිබ්බ අම්මලාගේ කාමරේටයි, අමුත්තන්ගේ කාමරේටයි අමතරව තව කාමර දෙකකුත් අප්පච්චි හැදුවා. පොඩි අයියාත් පහළ තට්ටුව හදන වැඩේට බැහැලම සම්මාදම් වුණේ පහළ තට්ටුව අපි දෙන්නා වෙනුවෙන් වෙන් කරලා තිබ්බ නිසා. ඒ වෙනකොට කොහොමත් පොඩි අයියා මගේ ලීගල් හස්බන්ඩ්නේ.

උඩ තට්ටුවේ තිබ්බ පාවිච්චි නොකරපු පැන්ට්‍රි කොටසට කිචන් එකකුත් එකතු කරලා ඒක එක්ස්පෑන්ඩ් කරන්න අයියා තීරණේ කළෙත් ඒක අස්සේ. ඒ වැඩ නිසා මට උඩ මගේ රූම් එක අතෑරලා පහළ විසිටර්ස් රූම් එකට ශිෆ්ට් වෙන්න වුණා. අවුරුදු ගාණක මගේ කාමරේ පොඩි අයියා ගත්තේ එයා හිටපු රූම් එකත් රෙපයාර් කරන නිසා. පහළ තට්ටුවේ වැඩ කලින්ම ඉවර වුණු නිසා පොඩි අයියාත් එයාගේ බඩුබාහිරාදිය අකුලගෙන පහළ අලුතින් හදපු කාමර දෙකෙන් ලොකුම කාමරේට ආවේ අයියාටයි, මිහීටයි සම්පූර්ණ උඩ තට්ටුවම දීලා. ඒ කාමරේට ඕනේ කරන ෆර්නිචර්ස් සේරමත් පොඩි අයියා ගත්තේ අපි දෙන්නටම ඉස්සරහට පාවිච්චි කරන්න පුලුවන් විදියට. අයියයි, මිහීයි දෙන්නා වෙනම පවුලක් කරලා උඩ තට්ටුවම එයාලාට වෙන්කළේ එහෙම. ඔය කොච්චර මොන දේ කළත් අම්මා තාම නිදාගත්තේ මගේ කාමරේ. වෙඩින් එක ගන්නකන් ඒක නම් වෙනස් කරන අදහසක් අම්මාගේ තිබ්බෙම නෑ.

අප්පච්චිට හාර්ට් ඇටෑක් එකක් ආවේ ඔය වැඩ ඉවර වෙන්න කිට්ටුව වගේ. ටිකක් තත්වේ දරුණු වුණ නිසා අප්පව්චිට බයිපාස් එකක් කරන්න වුණා. එච්චර දවස් කොළඹ එන්න බෑම කිව්ව ආච්චි කොළඹ ආවේ අප්පච්චිගේ අසනීපේ හින්දා. ඒ වෙද්දි සෑහෙන දුරකට සනීප වෙලා හිටි නැන්දත් කොළඹ ආවා. එක පිට ආව කරදර සෑහෙන්න ශේප් වුණේ මොන දේ වුණත් අපිට පවුලේ අපි හිටපු නිසා. පොඩි අයියාගෙයි, මගෙයි මැරේජ් එක නිසා පොඩි කාලේ ඉඳන් තිබ්බ ඒ පවුල් බැඳීම අපි අතරේ තවත් වැඩිවෙලා තිබ්බේ. මිහීත් පවුලට ගොඩක් ඇටෑච්ඩ් වෙච්ච කෙනෙක් වුණ නිසා ඒකට කිසිම බාධාවක් තිබ්බේ නෑ.

මිහී ප්‍රෙග්නන්ට් වුණේ ෆයිනල් ඉයර් එකේදි. කැම්පස් එකේ ගොඩක් ළමයින්ට ඩෙංගු හැදිලා කැම්පස් එක ටික කාලෙකට හදිසියේ වැහුව නිසා අපිට ෆයිනල් එක්සෑම් මාසෙකින් කල් ගියා. ඒ ඩෙංගු හැදුන ළමයි අතරේ මාත් හිටියා. මිහී නම් යන්‍තම් ඒකෙන් බේරුනා. ඕකෙන් මේකෙන් මිහීගේ අන්තිම මාස ගාණට තමා ෆයිනල් එක්සෑම් සෙට් වුණේ. අපි දෙන්නම හිටපු නිසා තමා වැඩේ ගොඩදාගන්න ලේසි වුණේ. මිහී මට වඩා බ්‍රයිට් වුණත් මැරේජ් එකත් එක්ක එයාට ආව රෙස්පොන්සිබිලිටීස් එක්කයි, ප්‍රෙග්නන්සි එක නිසයි එයාටත් සෙකන්ඩ් අපර් එකකින් සැනසෙන්න වුණා. මට ඇත්තටම මිහී පව් කියලා හිතුනා එතනදි නම්. ඒත් මොනා කරන්නද..? මං කිව්වේ බැච් එකේ අනික් උන් අපි හෙන ලකී කියලා හිතුවට කලින් මැරි කරන එක ඔය කියන තරම් ලකයක් තියන එකක් නෙවේ කියලා. ඇත්තටම අයියාව මෙච්චර ඉක්මණට මැරි නොකළා නම් මිහී එයාගේ ඒ ටාර්ගට් එකට යනවා කියලා මට ශුවර්. ඒකයි මං එයා ගැන දුක් වුණේ. මං නම් ෆස්ට් ක්ලාස් එකක් ගැන කිසිම හෝප් එකක් තියාගෙන හිටියේ නැති නිසා මට ඒක ගාණක් නෑ. මං කොහොමත් නැව ගිලුනත් බෑන් චූන් තියරියේ හිටියේ ඉස්සර ඉඳන්ම. අනික මං අයියලා දෙන්නා තරම් බ්‍රයිට් වෙලා ඉඳලා නෑ කවදාවත්ම.

ඔය දේවල් අස්සේ වෙන ප්‍රශ්න වුණා නම් වුණේ ශෙනායා නිසා විතරයි. අයියලාගේ යාලුවෝ ගිය ට්‍රිප් එකකින් තමා ඒ ප්‍රශ්නේ මුලින්ම ඇදුනේ. ඒ ගමනට කොල්ලෝ විතරක් යනවා කියලා අයියයි, පොඩි අයියායි ගියාට එයාලගේ යාලුවො එෆ්බී දාපු ෆොටෝස්වල කෙල්ලොත් හිටියා. ඒවයින් ලොකුවටම ප්‍රශ්නයක් වුණේ අයියයි, පොඩි අයියායි දෙන්නා එක්ක හැම ෆොටෝ එකකම ශෙනායා හිටපු එක. නාන තැන්වල පවා. ඒ පාර නම් මං වගේම මිහීත් අවුල් ගියා. අයියායි, මිහීයි අතරේ මං දැනුවත්ව එහෙම ප්‍රශ්නයක් ඇතිවුණේ මුල්ම වතාවට. ඒක මිහීට තවත් දැනෙන්න ඇත්තේ මිහී ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ අයියලා ඒ ට්‍රිප් එක ගිහින් ඉද්දි. ඒක කියන්නවත් අයියා ළඟ හිටියේ නෑ කියන ෆීලින් එක මිහීට තදටම තිබ්බා. අනික ඒ ස්ට්‍රෙස් එකටත් එක්ක එයා අයියා එක්ක කවදාවත් නැතුව රණ්ඩු කළා. අයියලා ට්‍රිප් එක ගියාට අපි දෙන්නා එයාලා එක්ක රණ්ඩු කරගත්තා කියලා හිතපු අම්මයි, නැන්දයි ගත්තේ අයියලාගේ පැත්ත. අප්පච්චි නම් මුකුත්ම කිව්වේ නෑ වෙනදා වගේම.

ඒ ප්‍රශ්නේ උඩු දිව්වේ ශෙනායාත් කැම්පස් එකෙන් අයින්වෙලා පොඩි අයියාගේ ඔෆිස් එකේම පෝස්ට් එකකට ආව එකෙන්. ඒකෙන් එයාලා තුන්දෙනා ආයේ තදටම ෆිට් වුණා. සිකුරාදාවල්වල බියර් එකක් ගහන්න පබ් යන්න, තුන්දෙනා එක්ක අවුටින් යන්න එහෙම පටන් ගත්තා. මායි, පොඩි අයියයි අතරේ වගේම මිහීයි, අයියයි අතරේත් පොඩි පොඩි වචන හුවමාරුවල ඉඳන් රණ්ඩු වෙනකන් ඒවා ඇදුනා. මුලදි මුලදි රණ්ඩු කළාට පස්සෙන් පහු සද්ද නැතුව හිටියේ ඒ ටූ මච් ෆ්‍රෙන්ඩ්ශිප් එක අපි දෙන්නත් ඉබේම පිළිගත්තා වගේ. ඇත්තටම මිහීයි, මායි හිටියේ ඒ රණ්ඩු එක්ක ඇතිවෙලා. මොකක් හරි අනවශ්‍ය දෙයක් කරලා අහුවෙනකන් මිහීයි, මායි දෙන්න සද්දේ වහලා හිටියා.

කාලයත් එක්ක මං වෙනස් වුණාද මන්දා. ඉස්සර හිටපු සැහැල්ලු දඟ අමන්දා ටිකෙන් ටික නිහඬ තැන්පත් කෙල්ලෙක් වෙන්න ගත්තා. ඒත් මං පුලුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ ගත්තා. ගෙදර ප්‍රශ්නයි, අපේ ප්‍රශ්නයි අස්සේ එහෙම ඉන්න අමාරු වුණත් එහෙම ඉන්න ට්‍රයි කළා මං. සමහර වෙලාවට පොඩි අයියා බැන්නා මං දැන් සීරියස් වැඩී කියලා. අපේ අයියා පවා කිව්වා උඹ දැන් හරි වෙනස් නංගි කියලා. එහෙම වෙලාවට මං කිව්වා නෑ මං පරිණත වෙලා කියලා. ඇත්තටම මං මගේ ඉනර් චයිල්ඩ් මරාගෙන ඉන්නවද කියලා මටම වෙලාවකට හිතුනා. මිහී නම් හිනාවුණා මට එයාව වැහෙන්න අරගෙන කියලා.

ෆයිනල් ලියලා සති දෙක තුනකට විතර පස්සේ මිහීට බබා හම්බුණා. එතකොටත් අප්පච්චිගේ අසනීපේ නිසා අම්මාගේ අවධානය වැඩිය තිබ්බේ අප්පච්චිට. අපේ ගෙදර තත්වේ නිසාම මිහීගේ අම්මාට ඕනේ වුණා එයාව මොණරාගල එයාගේ ගෙදරට ගෙනියන්න බබාත් එක්ක. අනික එතකොටත් අපේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ඉවරත් නෑ. මිහීගේ අම්මාටත් කොළඹ එන්න විදියක් නෑ මිහීගේ බාලම මල්ලියි, පොඩි නංගියි ඒ වෙද්දිත් ඉස්කෝලේ යන නිසා. ලොකු නංගි නම් එතකොට ඒලෙවල් ලියලා හිටියේ. ඒ වෙද්දි මිහීගේ ලොකු මල්ලියි, දෙවනි මල්ලියි ජොබ්ස් කරලා ඒ ගෙවල් දොරවල් සෑහෙනදුරකට පිළියෙළ කරලා තිබ්බේ. ඒ නිසා එහෙම ගිහින් ඒ ගෙදර ඉන්න මිහීට අවුලක් වුණේ නෑ. අයියා නම් මිහී, බබා එක්ක එහේ යනවට කැමති වුණේ නැති වුණත් අපේ ගෙදර තිබ්බ තත්වේ එක්ක එයාටත් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ නිසා අයියා, මිහීව එයාගේ මහගෙදර ගිහින් ඇරලවලා ආවා. අයියා සතියකට, දෙකකට සැරයක් එහෙ ගිහින් ආවා.

අප්පච්චිට සනීප වෙච්ච ගමන් එයාට ඕනේ වුණා මගෙයි, පොඩි අයියාගෙයි වෙඩින් එක ගන්න. ඒ වෙද්දි මං ජොබ් එකකට යන්න පටන් අරගෙන. වෙඩින් එක කල්දාන්න අප්පච්චි අකමැති වුණ නිසා ළඟම තිබ්බ නැකැත්වලට අපි වෙඩිම ගන්න තීරණය කළා.

මං ඒ ටිකේම නිවාඩු නොගෙන වැඩ කළේ වෙඩින් එකට එක පාරම නිවාඩු ගන්න හිතාගෙන. බස් එකේ ආවා ගියාට මං ඒ ජොබ් එකට ආස වුණා. සමහර වෙලාවට සෙනසුරාදාත් වැඩ කරන්න නම් වුණා. මං කැමැතෙන්ම ඕටී කළේ වෙඩින් එක කිට්ටු නිසා. අප්පච්චියි, පොඩි අයියයි වෙඩින් එකේ බර දැරුවට මට ඒකට නිකම්ම අත පිහිදගෙන ඉන්න හිතුනේ නෑ. අනික මහලොකුවට නොවුණට පොඩි පොඩි ආර්ථික හිරවීම් ගෙදර කාට කාටත් දැනෙන්න ගත්තේ වෙඩින් එකත් එක්කමයි.

එදත් මට ඩියුටි වැටුණ සෙනසුරාදාවක්. එතකොට මගෙයි, පොඩි අයියාගෙයි වෙඩින් එකට සති තුනක් වගේ තිබ්බේ. එදා උදේ පාන්දරම අම්මායි, අප්පච්චියි මාතර ගියේ අම්මාගේ නෑයන්ට වෙඩින් කාර්ඩ්ස් බෙදන්න. අම්මාගේ මුල් ගම මාතර. හයිවේ තියන නිසා දවසින් ඒක ඉවර කරගෙන එන්න පුලුවන් නිසා අම්මලා උදෙන්ම ගියා. එදා අයියාත් හවස් වෙලා මොණරාගල යන්න හිටියේ මිහීවයි, පුතාවයි එක්ක එන්න. එතකොට කොල්ලට මාස හතරක්. වෙඩින් එක කිට්ටු නිසා මිහීට ආයේ එන්න ඕනේ කිව්වා කොළඹ. වෙඩින් එකේ වැඩ සමහර ඒවා මං තනියෙන් කරගන්න නිසා මිහීට ඕනේ වුණා මට උදව් කරන්න. ඒ නිසා තමා එයා වැඩියත්ම කොළඹ එන්න ඕනේම කිව්වේ.

මං ඔෆිස් යන්න රෙඩි වෙලා කෑම කාමරේට එනකොට සරමකුයි, ටී එකකුයි ඇඳගෙන අයියා කෑම මේසෙට වාඩිවෙලා හිටියා.

"මොණරාගල යන ගමන උදේ ගියා නම් ඉවරයිනේ. රෑ තිස්සේ අච්චර දුර ඩ්‍රයිව් කරන්නැතිව..."

මං කිව්වේ අයියාට. අනික ඒ පැත්තේ අලි කේසුත් තියනවනේ. හවස් වෙලා යන එක හිතටත් මොකක්ද වගේ.

"මිහීගේ පොඩි මල්ලිත් එක්ක යන්නේ. පොර කොළඹ ඇවිත් ඉන්නේ ට්‍රේනින් එකකට. අද ගෙදර යනවා... ඒ නිසා ඌත් එක්ක හයිවේ එකේම යනවා බං. ඌ ඉන්න නිසා බයක් නෑනේ. තනියම නෙවේනේ... හවස යන එක ලේසියි... අනික යන්න කලින් පොඩි වැඩ වගයක් කරගන්න යන්නත් ඕනේ..."

අයියා කිව්වා. ආයේ ඉතිං මං මොනා කියන්නද..? මං මේසෙට වාඩිවෙනකොටම හොඳට ඇඳ පැළඳගෙන පොඩි අයියාත් කෑම කාමරේට ආවා.

"ඔයාට අද වැඩද..? කලින් කිව්වේවත් නෑනේ..."

මං ඇහුවේ ලකලෑස්ති වෙලා ආව පොඩි අයියාගෙන්. එයාටත් ඉඳලා හිටලා නිවාඩු දවසට වැඩ වැටුණා මටයි, අයියාටයි වගේම. ඒත් කලින් දවසේ එහෙම විත්තියක් කිව්වේ නෑ මට.

"ඔෆිස් එකේ පොඩි වැඩ වගයක් අද බබා. ඔලුව දාලා එක මාර්ක් කරගෙන එනවා මං... යන ගමන් ඔයාවත් ඔෆිස් එකෙන් දාගෙන යන්නම්..."

කවදාවත් නැතුව මට ලිෆ්ට් එකක් දෙන්නම් කිව්වාම නම් පුදුම හිතුනා. මොකද මාව ඔෆිස් දාලා එයාගේ ඔෆිස් එකට යනවා කියන්නේ සෑහෙන වටයක් එයාට. ඒත් මං ඔලුව හොලවලා හා කිව්වේ නිකං හම්බෙන අස්සයාගේ දත් ගණින්නේ මොකටද අමන්දා කියලා හිතලා.

මං කාලා ඉවරවෙලා සාලෙට ගියාම ටීපෝ එක උඩ චාර්ජ් වෙන්න ප්ලග් කරලා තිබ්බ පොඩි අයියාගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන නිසා අතට අරගෙන බැලුවා. ඒ කෝල් එක ශෙනායාගෙන්. ආන්සර් කරන්නත් හදලා රිංග්ස් ගිහින් ඉවර වෙනකන් ඔහේ තියෙන්න ඇරියා. පොඩි අයියා හිටියේ කෑම කාමරේ අයියා එක්ක ලොකු කතාවක කියලා මට සද්දෙන්ම තේරුණා. රිංග්ස් ගිහින් ඉවර වුණාම මං ෆෝන් එක අරගෙන කෝල් ලොග් චෙක් කරද්දි දැක්කේ ශෙනායාට ඊටකලින් දවසේ රෑ පොඩි අයියා කෝල්ස් දෙකක්ම අරගෙන කියලා. රෑ එකොළහට විතර පොඩි අයියා, ශෙනායාට කතා කරන්න තරම් වුණ හදිසිය මොකක්ද කියලා මං හිතුවා. හිතට ආව සැකේ එහෙමම තියාගෙන මං ෆෝන් එක ආයෙම ටීපෝ එක උඩින් තිබ්බා.

"ඕෆ් වෙන්න හවස පහ පහුවෙනවා නම් කෝල් එකක් දෙන්න බබා. මං ගන්න එන්නම්..."

පොඩි අයියා එහෙම කිව්වේ මාව බස්සන කොට. හිතේ තිබ්බ කහට නිසා මට ලොකුවට පොඩි අයියාගේ කතාවලට රෙස්පොන්ඩ් කරන්න එන ගමනේ බැරිවුණා. මං ඔෆිස් එකේ වැඩ කළෙත් ඒ ගැන හිත හිතමයි. මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. වෙඩින් එකට තව සති තුනයි. ඒත් මට දැනුනේ මොකක් හරි තැනක වැරදීමක් වෙලා තියනවා කියලමයි. කමින් කලර්ස් නොට් ගුඩ් අමන්දා... මගේ හිත සැරින් සැරේ මටම කියෙව්වා.

හිතනවා වැඩිකමටද මන්දා මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තා. වැඩවලට කන්සන්ට්‍රේට් කරන්නත් බැරි නිසාමයි මං වරුවෙන් යන්න හිතාගත්තේ. සෙක්ශන් හෙඩ්ට කිව්වේ වෙඩින් එකේ වැඩක් නිසා කලින් යන්න ඕනේ කියලා. වෙඩින් එක කට උඩ තියාගෙනත් නිවාඩු නොගෙන මං වැඩ කරන නිසාම ඒ වගේ රීසන් එකක් කිව්වම මට නිවාඩු දෙන්න බෑ කියලා මගේ ඉමීඩියට් බොස් කේස් දාන්නෑ. ඕෆ් වුණාට පස්සේ පොඩි අයියාට කතා කරන්න මට හිතුනෙත් නෑ. මං එහෙමම බස් එකක නැග්ගේ ගෙදර ගිහින් පැනඩෝල් දෙකක් බීලා හොඳ නින්දක් දාන්න හිතාගෙන.

බස් එකෙන් බැහැලා ප්‍රධාන පාරෙන් ඇතුල් පාරක මීටර් තුන්සීයක් විතර යන්න ඕනේ අපේ ගෙදරට. ත්‍රීවීල් එකකට ඒ පොඩි දුරට සල්ලි ගෙවන්න ඕනේ නැති නිසා කුඩෙත් ඉහලගෙන මං පයින්ම ගෙදරට ආවා. මං එද්දි ගේට් එක පොඩ්ඩක් ඇරලා තිබ්බේ. හරි නම් ඒක ලොක් කරලා තියන්න ඕනේ. ඒත් පිට අයට ඒකේ ලොක් එක දාන්න අමාරු නිසා සමහර වෙලාවට ලොක් එක හරියට වැටුන්නැති වුණාම ගේට් එක පොඩ්ඩක් ඇරෙනවා ඉබේට. ඒත් අපේ ගොන් නාම්බෝ දෙන්නට ඕක බැරිවෙන්න බෑනේ. අප්පච්චියි, අම්මායි උදේ මාතර ගිය නිසා ගැරේජ් එකේ අප්පච්චිගේ කාර් එක තිබ්බේ නෑ. ඒත් වැඩට යනවා කියලා උදේ ගෙදරින් ගියපු පොඩි අයියාගේ කාර් එක ගැරේජ් එකේ තිබ්බා. කොහොමත් එයා ඉක්මණට ගෙදර එනවා කිව්වනේ කියලා මට මතක් වුණේ එවෙලේ. එයාගේ පෝස්ට් එකේ හැටියට එයාට එහෙම වැඩ පවරලා එන්න නිදහස තිබ්බා වැඩ දවසක් නොවෙන දවසට. අපිට තාම එහෙම බෑනේ.

ඒත් මගේ ඇස් නතර වුණේ ගෙදර මිදුලේ නතර කරලා තිබ්බ ගෙදර කාර් තුනෙන් එකක්වත් නොවුණු පිට කාර් එක ගාව. ඒ කාර් එක අපේ ගෙදරට අලුත් වුණාට අවුරුදු ගාණක් කැම්පස් එකේදි දැකලා දැකලා මට ඒ කාර් එක අඳුරගන්න අමාරු වුණේ නෑ. ශෙනායායි, පොඩි අයියායි ගැන මගේ හිතේ තිබ්බ සැකේට කේන්තියකුත් එකතු වුණේ ශෙනායාගේ කාර් එක මිදුලේ තියනවා දැක්කම.

සාලෙට ඇතුල් වෙන දොර ඉබේම ඇරුණේ ඒක ලොක් කරලා නැති නිසා. ගේ අතුළෙන් ආවේ සිංදුවක් ප්ලේ වෙන සද්දයක් යන්තමින්. මට පොඩි අයියා එක්ක වැඩියත්ම කේන්ති ගියේ මගේම ගෙදරට ශෙනායාව ගෙන්න ගත්ත එකට. ඒක මොන තරම් ලැජ්ජා නැති වැඩක්ද..? මොක වුණත් මේක එයාගෙම ගෙදර නෙවේනේ. මගේ ගෙදරනේ. මගේ අම්මාගෙයි, අප්පච්චිගෙයි ගේ. එයා පහළ තට්ටුව හදන්න මොන තරම් සම්මාදම් වුණත් මේක එයාගෙම ගේ නෙවේනේ. හිතේ තරහා වේගෙන් ගලාගෙන එද්දි මං පහළ තට්ටුවේ කාමරෙන් කාමරේට ගියේ පොඩි අයියලාව හොයාගෙන. මගේ කාමරේ, අපි දෙන්නා වෙනුවෙන් වෙන් කරපු පොඩි අයියා ඉන්න කාමරේ, දැන් විසිටර්ස් රූම් එක කරලා තියන අලුතින් එකතු වුණු අනික් කාමරේ ඒ හැමඑකකටම මං ගියා. අම්මලාගේ කාමරේට පවා. ඒත් ඒ එකකවත් ඒ දෙන්නා හිටියේ නෑ. මං කොච්චර තරහින් හිටියත් කිසිම සද්දයක් ඇති නොවෙන්න එහෙම කළේ මට පොඩි අයියාගෙයි, ශෙනායාගෙයි හොරේ අතටම අල්ලගන්න ඕනේ නිසා.

තට්ටු දෙක වෙන් කළාට පස්සේ අයියලා විතරක් යූස් කරන, අපි හරි කලාතුරකින් යූස් කරන ගේ ඇතුළේ පඩිපෙළ දිගේ උඩට නගිද්දි අර සිංදුව ටිකෙන් ටික පැහැදිලිව ඇහෙන්න ගත්තා. ඒක ඉංග්ලිෂ් සිංදුවක්.

"Did all my dreams never mean one thing?
  Does happiness lie in a diamond ring?
  Oh, I've been askin'
  Oh, I've been askin' for problems, problems, problems
  I wage my war, on the world inside
  I take my gun to the enemy's side
  Oh, I've been askin' for (trust me, darling)
  Oh, I've been askin' for (trust me, darling)
  Problems, problems, problems...
"

මං අයියාගෙයි, මිහීගෙයි කාමරේට එබුනේ ටිකක් හිතේ අවුලෙන්. ඒත් ඒක හිස්. අයියා ඒක ලොක් කරලවත් නෑ. එයාගේ සිහිය කොහොමත් මේ ටිකේ අවුල්නේ.

"So look me in the eyes
  Tell me what you see
  Perfect paradise
  Tearing at the seams
  I wish I could escape
  I don't wanna fake it
  Wish I could erase it
  Make your heart believe...

  But I'm a bad liar, bad liar
  Now you know
  Now you know
  That I'm a bad liar, bad liar
  Now you know, you're free to go...
"**

කාලයක් මං පාවිච්චි කරපු මගේ කාමරේත් හිස් නිසා මං ඊළඟට ගියේ පොඩි අයියා ටික කාලයක් හිටපු, එයයි මායි අතරේ අපේ බැඳීම නොහිතපු තරම් දුරදිග ගිය ඒ කාමරේට. ඒ කාමරේ ගාවට යද්දි මට ඇහුණ ගැඹුරු කෙඳිරිය අවුරුදු ගාණක් තිස්සේ පොඩි අයියාගේ නමටම පේවුණු මට අඳුරගන්න අමාරු නොවුණත් මට ඒක තහවුරු කරගන්න ඕනේ වුණා. මගේ කකුල්, අත් පවා හීතල වෙලා තිබ්බේ මං දැනගන්න යන ඇත්ත දරාගන්න බැරි තරම් මගේ හිතත් හීතල වෙලා තිබ්බ නිසා වෙන්නැති. අවුරුදු ගාණක ආදරේ එක දවසක් ඇතුළත නැත්තටම නැතිවෙලා යන්නයි යන්නේ කියන ෆීලින් එක මගේ ඔලුව ඇතුළේ දෝංකාර දි දී මටම ඇහුණා. මගේ පපුව වේගෙන් ගැහුණේ මං ලොකු දුරක් දිව්වා වගේ මහන්සියක් මට දැනෙද්දි. මොන තරම් අවුල් වුණත් මට අන්තිම මොහොතේ සද්ද කරලා හැමදේම අවුල් කරගන්න ඕනේ වුණේ නෑ. ඒ නිසා මං හිමින්ම ඒ කාමරේ අඩවල් කරලා තිබ්බ දොරත් ඇරගෙන ඇතුලට ගියා.

ඒක මේ ලෝකේ කිසිම වයිෆ් කෙනෙක් දකින්න ඕනේ දෙයක් නෙවේ. තාම වෙඩින් එක අරගෙන නැති වුණත් ලීගලි වගේම ෆිසිකලිත් මං පොඩි අයියාගේ වයිෆ් වෙලා ඉවරයිනේ. ඒත් ඒ කාමරේ ඇඳ උඩ මං දැක්ක දේ නම් කිසිම කසාද බැඳපු ගෑනියෙක් නොදැකිය යුතු එකක්. කොල්ලෙක්ට ආදරේ කරන කිසිම කෙල්ලෙක් දකින්න ඕනේ නැති දෙයක්. දොර ඇරුණු සද්දෙට වගේම මගේ කටින් හයියෙන්ම පිටවුණු සද්දෙටත් ඇඳ උඩ හිටපු දෙන්නා කර කර හිටපු දේ නවත්තලා මගේ පැත්ත බැලුවා. ඒ දෙන්නම ගැස්සුණු විදියට එයාලා මාව දැකලා පුදුම වුණා වගේම බය වුණා කියලත් මට තේරුණා. ඒත් මං හිටියේ පුදුමයකට එහා ගිය තරහකින්. මාව ගැහෙන තරම් තරහකින්.

"චූටි..හ්..."

පොඩි අයියාගේ කටින් ඒ වචනේ පිට වෙනකොට මං කන් දෙක වහගත්තා. මට එයාගේ කටහඬවත් අහන්න ඕනේ නෑ. මං එහෙමම බිම වාඩිවුණේ තවත් මගේ කකුල් දෙක පණ නැති නිසා. එතකොටම මං දැක්කා ඒ දෙන්නම ඇඳෙන් කලබලේට නැගිටිනවා. ඒ නිසා මං ඇස් දෙකත් තද කරලා වහගත්තා. මට එයාලව දකින්න ඕනේ වුණේ නෑ. පොඩි අයියා මා ගාවට එද්දි මං හිටියේ බිම වාඩිවෙලා ඇස් දෙක පියාගෙන කන් දෙකත් අත්දෙකෙන් වහගෙන.

නෑ. මට ඕනේ නෑ තමුසෙගේ කටින් ආයේ වචනයක් අහන්න. තමුසෙගේ රූපේ දකින්න ඕනෙත් නෑ. තමුසෙලා දෙන්නව දකින එක පවා මට අප්පිරියයි. තමුසේ කොහිමද පොඩි අයියේ මාත් එක්ක හිටපු ඇඳේම එයා එක්කත් එහෙම හිටියේ..? දෙවියනේ මට මෙහෙම වෙන්න මොකක්ද මං කරපු වැරැද්ද..? මෙහෙම දෙයක් දෑහින් දකින්න තරම් මං අවාසනාවන්තද..? මං හිතුවේ දොර පියනට හිරිවැටිච්ච හීතල වුණු ඔලුව තියාගන්න ගමන්. මීට හොඳයි පොඩි අයියා මාව මැරුවා නම්. I hate you, රමිත්... I hate you, both... ඔයා මගේ ජීවිතේ කෑවා. මාව මෙහෙම අසරණ කළාට ඔයාට මගෙන් කිසිම සමාවක් නෑ. ඔයාලා දෙන්නටම සමාවක් නෑ. ඇයි මට මෙහෙම කළේ..? ඇයි මෙච්චර ලොකු බොරුවක් කළේ..?

✍🏼 සකුනි හතරසිංහ

*ජීවක- බෞද්ධ සාහිත්‍යයේ එන බුද්ධකාලීන යුගයේ විසූ අතිදක්ෂ වෛද්‍යවරයෙකි.

**Song- Bad Liar
    Artist- Imagine Dragons

මතු සම්බන්ධයි........

Comments