අස්ථානගත ප්‍රේමය ❣️

 (කෙටිකතාව)

"කොහෙද ඉන්නේ..?"

පාරේ යන වාහනවල සද්දෙට ජංගම දුරකතනය දිගේ එන ඔහුගේ කටහඬ මට පැහැදිලිව ඇහුනේ නෑ.

"බොරැල්ලේ..."

"ගෙදර එන්නේ කීයටද..?"

"දැන් එන ගමන්... ඇයි..?"

ඈතින් එන 154 බස් රථය දිහා බලන ගමන් මම ඇහුවා.

"ඉක්මණට එනවකො. මට පාලුයි..."

ඔහුගේ කතාවට මට හිනා ගියා.

"එනකං ඉන්න..."

එහෙම කියපු මම ඇමතුම විසන්ධි කරලා ජංගම දුරකතනය ඩෙනිම් කලිසමේ සාක්කුවට දාගත්තා. විනාඩි පහළොවේ දුර පැයකින් යන බස් රථ දුවන මාර්ගයක ඉන්න වුණාම පොඩ්ඩක් කරදරයි. ඒත් ඉතිං අපේ ජීවිත දුවන වේගයට හිමින් යන බස් රථය පළිත් නෑ නේද කියලා මම, මගෙන්ම ඇහුවේ බස් රථයට නගින ගමන්.

කවුළුවක් ආසන්න අසුනක හිඳගත් මම අතේ තිබුණු බඩු මල්ල උකුල උඩින් තියාගත්තා. එහා පැත්තෙන් වාඩිවුණු කෙනා දිහා නොබලම අත්බෑගයේ තිබුණු සවන් බනු අරගෙන දුරකතනයට සම්බන්ධ කරලා කන් දෙකට සම්බන්ධ කරගත්තා.

ගෙදරට ආවම මං දැක්කේ ගේ සේරම පිළිවෙලට අස් කරලා තියන හැටි. ඉශාන් කවදාවත් හිතලා මෙහෙම වැඩක් නොකළට නුශාන් ආව දා ඉඳන් කියන්නත් කලින් මේ වගේ පොඩි පොඩි උදව් මට කරලා තියනවා. ඒත් උදේට ඇඳේ රෙද්දවත් නවන්න කම්මැලි ඉශාන්ට රෑට ඇඳේ රෙදි පොඩි වෙන තරම් දේවල් කරන්න නම් කිසිම කම්මැලිකමක් තිබ්බේ නෑ.

"සයූ... බඩගිනියි කෙල්ල... Wash දාගෙන එන්නකෝ. මං ඔයා එනකං හිටියේ කන්න..."

නුශාන් මුළුතැන්ගෙයි ඉඳන් ආවේ එහෙම කියාගෙන. කවදාවත් මම හදනකන් තේ එකක්වත් හදාගන්නේ නැති ඉශානුයි, මගෙත් එක්ක මහන්සිය එකට බෙදාගන්න නුශානුයි, අයියයි මල්ලියි වුණත් අහසයි පොළොවයි වගේ මට හැමදාම පෙනුනේ. කොහොමත් අවුල් වෙලා තිබ්බ මගේ කොණ්ඩේ තව ටිකක් අවුල් කරපු නුශාන්ම ආයේ මගේ කොණ්ඩේ හැදුවා. මම හිස වැනුවේ ඔහු කියපු දේට එකඟවෙමින්.

"අයියා අද එන්න රෑ වෙනවා කියන්න කිව්වා සයූ. එයාට යාලුවෙක්ගෙ ගෙදර party එකක්ලු..."

"එයා මට call කළේවත් නෑනේ..."

කාමරයට යන්න ගිය මම ආයෙම හැරිලා නුශාන් දිහා බැලුවා. පෙනුමෙන් නුශාන්, ඉශාන්ට වඩා වෙනස්වුණේ උසින් විතරයි. අවුරුදු දෙකකින් ඉශාන්ට බාල වුණත් නුශාන්, ඉශාන්ට වඩා අඟල් හතරක්, පහක්ම උසින් වැඩියි. අනික් හැමඅතින්ම ඒ දෙන්නා සහෝදරයෝ කියන්න තරම් එක වගේ පෙනුමක් තිබ්බා.

"Landline එකට ගත්තේ කෙල්ල... අයියට අමතක වෙලා ඔයාට අද උදේ lectures කියලා..."

"එයාට කවදද මගේ දෙයක් මතක තිබ්බේ..."

නෝක්කාඩුවට කියපු මං ආයෙම යන්න හදද්දී හිරවුණේ නුශාන්ගේ දෑත් අතරේ.

"අයියා නැතුවට මොකෝ. මේ මං ඉන්නේ..."

මාව, ඔහුගේ පැත්තට හරවාගන්න ගමන් නුශාන් හිමින් කිව්වා.

"මං ආවේ එකගෙයි කන්න නෙවෙයිනේ..."

මම කිව්වේ වේදනාවට පත්වුණු හදින්. රෑට මුළු ඇඟම විඳින ඉශාන් උදේට මූණවත් නොබලා ඉන්න දවස් එක්ක ජීවිතේ ගෙවන මට, නුශාන්ගේ රැකවරණය ඇත්තටම මහමෙරක්.

"කවුද කිව්වේ දැන් එකගෙයි කන්න කියලා..? ආහ් මෝඩි..? මං, තමුසෙට ආදරෙයි කියලා තමුසෙගෙ ඇඟේ නගින්න ඇවිත් තියනවද කවද හරි..? ගොන් කතා කියන්නෙපා සයූ... මට එච්චර අසහනයක් නෑ... හැබැයි උඹ මගේ අයියගේ ගෑනි නූනා නම් මං උඹව අරන් ලෝකේ එහා කෙලවරට හරි යනවා... ඒත් මට උඹව තරමටම ඌවත් ඕනේ බං..."

නුශාන්ගේ හඬේ තිබ්බේ වේදනාවක්. මම දැනගෙන හිටියේ නෑ මම, නුශාන්ට ආදරෙයිද කියලා. මම ඒ ප්‍රශ්නේ මගෙන් අහගන්න බයවුණා. ඒකට උත්තරේ ඔව් වුණොත් මගේ අතින් ඉශාන්ට වෙනස්කමක් වෙයි කියලා හිතුනා. මම ඉශාන්ව කසාද බැන්දේ අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයකින් වුණත්, විවාහයත් එක්ක ගෙවුණු අවුරුදු එකහාමර ඇතුළත ආදරය කරන කාලේ හිටපු romantic සහ caring ඉශාන්ව මට හොයාගන්න බැරිවුණා. ඒ පරණ ඉශාන්ව ඉල්ලලා අඬන හිත චුට්ටක් හරි හැදුනේ විවාහයෙන් මාස හයකට පස්සේ අපේ ගෙදර පදිංචියට ආව ඉශාන්ගේ මල්ලී, නුශාන් නිසා. මට වඩා අවුරුදු තුනක් වැඩිමල් වුණු නුශාන් කාලයත් එක්ක ඔහුගේ හිතේ මම ගැන ඇතිවුණු හැඟීම් මට කිව්වට මං ඒවාට ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඒත් ඒ තරම් ආදරේකින් පැනලා යන්න තරම් ආදරය හිඟාකන මගේ හිත පත්තිනියක් වුණෙත් නෑ. අයියාගෙන් නොලැබෙන ආදරය, රැකවරණය අඩුවක් නැතුව මට දෙන්න නුශාන් කවදාවත් පැකිලුනෙත් නෑ. ඇත්තටම නුශාන්ට තිබ්බේ කෙල්ලෙක්ව ආදරය කරලා මරන්න පුලුවන් තරම් ආදරණීය හදවතක්.

"යනවා හඩ්ඩී... Wash දාගෙන එනවා... දැන් නාන්න නම් එපා. හයත් පහුයි..."

මාව නිදන කාමරය පැත්තට තල්ලු කරන ගමන් නුශාන් කිව්වා. ඇඟ දොවාගෙන එන අතරතුර නුශාන් කෑම මේසය සූදානම් කරලා තිබ්බා. එදිනෙදා දේවල් කතාබස් කරන අතරතුර කෑම ගත්ත අපි දෙන්නා රූපවාහිනිය ඉදිරියෙන් අසුන්ගත්තේ එදින ප්‍රවෘත්ති අහන්න හිතාගෙන. අපි දෙන්නම බලන්න කැමති ටෙලිනාට්‍යයක් ප්‍රවෘත්ති විකාශනයෙන් පස්සේ විකාශනය වුණු නිසා දැහැනකට සමවැදිලා වගේ ටෙලිනාට්‍යයත් බැලුවා.

ටෙලිනාට්‍යයෙන් පසුව සංගීතමය වැඩසටහනක් විකාශනය වෙනවා කියලා තිරය මත වැටුණා.

"මේක බලමුද..?"

නුශාන්, මං දිහා බලමින් ඇහුවා. මම කොහොමත් ඉශාන් එනකන් ඉන්න බව නුශාන් දැනගෙන හිටියා.

"හ්ම්ම්ම්... හොඳ classic songs ටිකක් යයි වගේ නුශ්..."

"මොකද කියන්නේ මං beer can දෙකක් ගේන්නද..?"

දඟකාර දෑස් සිහින් කරමින් ඔහු විමසුවේ මං දිහා බලන ගමන්.

"ෂාහ්... මරුනේ... අනේ හා..."

මම කිව්වේ සිනාසෙන ගමන්.

"මං එක්ක ඉඳලම මේකි බේබද්දියක් වෙයි වගේ..."

මගේ නාසය ඇඟිලිවලින් මිරිකමින් නුශාන් කිව්වා.

"මේ වගේ වෙලාවට beer එකක් කියන්නේ so romantic නුශ්..."

"වල් කෙල්ල..."

නුශාන් එහෙම කියන ගමන් කෑම කාමරය දෙසට ගියා. ශීතකරණය ඇරලා බීර කෑන් දෙකක් අරන් ඇවිත් එකක් කඩලා මගේ අතට දුන්නා. මං වාඩිවෙලා ඉඳපු සෝපාවේ පහසුවෙන් දිග ඇදුනු නුශාන් මාව, ඔහුගේ දෙපා මතට ගත්තා. මම, ඔහුගේ පුළුල් පපුතුරේ හිස හොවාගෙන සංගීත ප්‍රසංගයට එකාද්මික වුණා. මේ තමයි අපේ ස්පර්ශයන් අපිව ගෙනියන උපරිම දුර. ඒත් අපේ සිත් අනන්තයක් දක්වාම බැඳිලා කියලා මට හිතුනේ නුශාන්ගේ හදවතේ රාවය ඇහෙන විට යි.

"මේ නිහඬ බව බිඳෙන්න
  තව මොනවා හරි කියන්න
  ඔය නෙත් අගින් සිනාසී
  මා දිහා දැන් බලන්න....

  ඔබ මගේමැයි කියන්න
  මට අයිති නැත සිතන්න
  ඔබ පතා තැවෙන්න
  මට සුසුම් නෑ හෙලන්න....

  මේ නිහඬ බව බිඳෙන්න
  තව මොනවා හරි කියන්න
  ඔය නෙත් අගින් සිනාසී
  මා දිහා දැන් බලන්න....

                                                                          දැන් ළඟයි හිරු නැගෙන්න
                                                                          තව වරක් මා සිඹින්න
                                                                          මට ආදරේ යැයි
                                                                          එක වරක්වත් කියන්න....

                                                                          මේ නිහඬ බව බිඳෙන්න
                                                                          තව මොනවා හරි කියන්න
                                                                          ඔය නෙත් අගින් සිනාසී
                                                                          මා දිහා දැන් බලන්න...."*

✍🏼 සකුනි හතරසිංහ 

      (2021.12.12

*පද රචනය - ටානියා පංචාලි අමරසිංහ 
  සංගීතය    - රෝහණ වීරසිංහ 
  ගායනය    - ක්‍රිශාන්ත එරන්දක

 (ප.ලි. - මේක මට හිතවතියක් කියපු ඇගේ කතාවට මං ලියපු නම් ගම් මනඃකල්පිත සත්‍යය කතාවක්. මගෙන් මේ කතාවේ පසුකතාව අහන්නෙපා මංවත් ඒක දන්නේ නෑ.)

 

Comments